දැනට අවුරුදු පනහකට පමණ පෙර මෙරට සිංහල බෞද්ධයන් මෙම ආත්මයේම නිවන් ප්‍රාර්ථනා කළේ නැත. ඔවුන්ගේ පරමාර්ථය වූයේ මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමටයි. 1946 දී නිකුත් කළ විද්‍යාලංකාර ප්‍රකාශනයේ මෙසේ සඳහන් වේ.
“…නමුත් බුද්ධ කාලයෙහි පැවැති ආර්ථික සාමාජික දේශපාලන තත්ත්වයට වඩා අද තත්ත්වය වෙනස්වී තිබෙන බවත් එහෙයින්ම එකල පැවැති භික්ෂු ජීවිතයට වඩා අද භික්ෂු ජීවිතය වෙනස්වී තිබෙන බවත් පිළිගත යුතුය.
එකල බොහෝ සෙයින්ම භික්ෂූන්ගේ පරමාර්ථය වූයේ එම ආත්මයේදීම නිවන් දැකීමයි. පසු කාලවල භික්ෂූන්ගේ පරමාර්ථය වූයේ මතු නිවන් දකින බලාපොරොත්තුවෙන් ශක්ති පමණින් ආත්මාර්ථ පරාර්ථ දෙකෙහි යෙදීමයි. මේ වෙනස්වීම නිසා මුලදී පැවැති භික්ෂු ජීවිතයට වඩා වෙනස්කම් රාශියක්ම පසු කාලවල භික්ෂු ජීවිතයෙහි ඇතිවූ බව ඉතා පැහැදිලිව පෙනේ.”
1956 බුද්ධ ජයන්තියත් සමඟ මෙම තත්ත්වය අනුක්‍රමයෙන් වෙනස් විය. ලංකාවේ නුවර යුගයේදී උපසම්පදාවද නැතිවී ගිය අතර උපසම්පදාව නැවත ගෙනෙන ලද්දේ බුරුමයෙන් සහ තායිලන්තයෙනි. එම දෙරටෙහි ලංකාවේ මෙන් නොව පරපුරෙන් පරපුරට පැවත ආ විපස්සනා භාවනා ක්‍රමද විය. 1956 බුද්ධ ජයන්තියත් සමඟ මෙම විපස්සනා භාවනා ක්‍රම ලොව පුරා ප්‍රචාරය වන්නට විය. 1967 දී මීතිරිගල නිස්සරණ වන සෙනසුන අසෝක වීරරත්න මහතා (පසුව මීතිරිගල ධම්මනිසෙන්ති හිමි) විසින් මෙරට විපස්සනා භාවනාවේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ මාතර ශ්‍රී ඥානාරාම මහ තෙරුන් මුල්තැන තබා ගෙන ආරම්භ කරන විට එහි ඒකායන අරමුණ වූයේ එහි වැඩ වාසය කරන භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලාට මෙම ආත්ම භාවයේදීම නිවන් දැකීමට පහසුකම් සැලසීමයි. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා භාවනා කරන බොහෝ භික්ෂූහුද ගිහියෝද අද ලංකාවේ වෙසෙති.
විද්‍යාලංකාර ප්‍රකාශනය කරන යුගයේදීද එයට පෙරද මෙරට අධ්‍යාපනය සහ දැනුම කේන්ද්‍රගත වූයේ පන්සල වටාය. රට පුරා තිබූ පිරිවෙන්හි උගැන්වීමේ යෙදුණ භික්ෂූහු නොයෙක් විෂයයන් පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇත්තෝ වූහ. 1956 න් පසුව ඇතිවූ පිරිවෙන් විශ්වවිද්‍යාල පනත මගින් විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල තත්ත්වයට පත් කිරීම මගින් අධ්‍යාපනය සම්බන්ධයෙන් භික්ෂූන්ගේ තිබූ බලපෑම අනුක්‍රමයෙන් හීන වන්නට විය.
අද සමාජයේ ආර්ථික වශයෙන් නවීන විද්‍යා පිළිබඳව වන පිළිගැනීම භික්ෂූන් සමත්කම් දක්වන කලා විෂයයන්ට වන පිළිගැනීමට වඩා වැඩිය.
භික්ෂු දේශපාලනය සාධාරණීකරණය කිරීම සඳහා විද්‍යාලංකාර ප්‍රකාශනය ප්‍රවේශය ලබන්නේ “පසුකාලවල භික්ෂූන්ගේ පරමාර්ථය වූයේ මතු නිවන් දකින බලාපොරොත්තුවෙන් ශක්ති පමණින් ආත්මාර්ථ පරාර්ථ දෙකෙහි යෙදීමයි” යන ප්‍රකාශනයෙනි. විද්‍යාලංකාර ප්‍රකාශය කරන කාලයේ බුද්ධ කාලයට වඩා ආර්ථික සාමාජික තත්ත්වය වෙනස්වීම එම ප්‍රකාශයට හේතුවූ අතර අද තත්ත්වය එදාට වඩා වෙනස්වීම එම ප්‍රකාශයේ අදට ඇති වලංගුභාවය පිළිබඳ ප්‍රශ්න ඇති කරවයි.
විද්‍යාලංකාර ප්‍රකාශනයේ මූලික අරමුණ වූයේ එකල බලවත්ව සිටි කොම්ප්‍රදෝරු පන්තියේ ග්‍රහණයෙන් යම් පමණකට පීඩනයට යටත්ව සිටි පොදු රටවැසියා එයින් මුදවා ගැනීමයි. විද්‍යාලංකාර ප්‍රකාශනය සැකසීමට මුල්වූ කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර, යක්කඩුවේ ප්‍රඥාරාම, කොටහේනේ පඤ්ඤාකිත්ති, නාත්තන්ඩියේ පඤ්ඤාකර, බඹරැන්දේ සිරි සීවලී, වල්පොල රාහුල ආදී මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටුකළ භික්ෂුහු ප්‍රගතිශීලි වුහ, අදීන වූහ, නිර්භය වූහ, අදානග්‍රාහී නොවූහ. බලවතුන්ගේ අනුදැනුම ඇතුව විද්‍යාලංකාර පිරිවෙනට දානය නොලැබී යද්දී දානය සපයා ගැනීම සඳහා මුදල් ලබාගැනීමට යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් විසින් රචිත පංච තන්ත්‍රය පොත් පෙළෙහි එක තැනක “අපායට යන්ට ඕනෑ නම් නුඹට, කරපන් මහ ඇමතිකම එක දවසකට” යනුවෙන් ලියා තබා එවකට සිටි අගමැතිවරයාගේ උදහසටද ලක් වුහ. නිර්භය වීම යනු රාජ්‍ය අනුග්‍රහය සහිතව මුස්ලිම් හෝ ක්‍රිස්තියානි හෝ දේවස්ථානවලට අලභාහනි කිරීම නොවේ. එම ප්‍රකාශනයේ මෙසේද සඳහන් වේ.
“අද ලෝකයෙහි මනුෂ්‍යයන්ගේ යහපත පිණිස කරන හැම වැඩපිළිවෙලක්ම දේශපාලනයට අයිති යයි අපි විශ්වාස කරමු. ආගමෙහි දියුණුව වෙනුවෙන් ක්‍රියා කිරීම භික්ෂූන්ට අයිති යුතුකමක් බව කවුරුත් පිළිගනිති. ආගම දියුණුව පවතින්නේ එය අදහන රටවැසියාගේ දියුණුව උඩම බව පැහැදිලිය. සිංහල මනුෂ්‍යයා බුද්ධාගම්කරයා යම් කලක දියුණු නම් බුද්ධාගමේ දියුණුවත් එම කාලයේම බව ඉතිහාසයෙන් ඔප්පු වේ. එබැවින් භික්ෂු ජිවිතයට කැළැල් නොවන පරිද්දෙන් අපේ රටවැසියාගේ යහපතට හේතුවන යම් වැඩපිළිවෙලක් වේ නම් එහි නම දේශපාලනය වේවා කුමක් හෝ වේවා එහි යෙදීම භික්ෂුන්ට සුදුසුමය.”
“රටවැසියාගේ දියුණුව සඳහා ක්‍රියා කිරීම මෙන්ම ඔවුන්ගේ දියුණුවට බාධක වන කරුණුවලට විරුද්ධව ක්‍රියා කිරීමත් භික්ෂුන්ට අයත් බව අපි පිළිගනිමු. උදාහරණයක් වශයෙන් කිවහොත් අපේ රටවැසියාගේ පොදු දියුණුව සඳහා මේ ලඟදි ලැබුණු නිදහස් අධ්‍යාපනය විනාශ කරලීමට කරන හැම උත්සාහයකටම විරුද්ධව ක්‍රියා කොට එය චිරස්ථායි කර ගැනීම භික්ෂුන්ට අයත් පරම යුතුකමකි.”
විද්‍යාලංකාර ප්‍රකාශනය කරන කාලයේද ඉන් දස අවුරුද්දක් ගතවන තෙක්ද මෙරට භික්ෂූන්ට ප්‍රමාණවත් දේශපාලන බලයක් නොතිබුණි. එනමුත් එම ප්‍රකාශනය කිරීමට මුල්වූ කිසිම භික්ෂුවක් අන්‍යාගමිකයන්ට හිරිහැරයක් වන ආකාරයේ සහ භික්ෂු ජීවිතයට කැළැල් වන ආකාරයේ ක්‍රියාවල නිරත නොවූහ.
බුදුසමය පාවා දෙමින් භික්ෂූත්වයට නිගා දෙමින් මෙකල පාරවල් ගානේ මැර ක්‍රියාවල යෙදෙන භික්ෂූන්ගේ සහ ඔවුන්ට අනුබල දෙන මැරයන්ගේ ක්‍රියා විමසා බැලිය යුත්තේ මෙම පසුබිම යටතේය. මොවුහු දේශපාලන අර්ථයෙන් ප්‍රගතිශීලී නොවෙති. රටේ මහජනයාගේ පොදු දියුණුව සඳහා ක්‍රියා නොකරති. මොවුහු වර්ගවාදී වෙති. මොවුන් ආගම ආරක්ෂා කිරීමට උත්සාහ කරන්නේ රජුගේ සිරුරෙහි වසා සිටි මැස්සා කඩුවෙන් කැපීමට උත්සාහ කළ අඥාන මිත්‍රයා පරිද්දෙනි. මොවුහු පීඩකයෝ වෙති. පීඩිතයන් වෙනුවෙන් පෙනී නොසිටිති. මෙය බුදුන් අනුදත් මාර්ගයටද විද්‍යාලංකාර ප්‍රකාශනය කළ භික්ෂූන් අනුදත් මාර්ගයටද සපුරා පටහැනිය. එමෙන්ම මොවුහු විද්‍යාලංකාර ප්‍රකාශනයෙන් පසුව ඇතිවූ බුදුසමයේ ආධ්‍යාත්මික අංශයේ දියුණුවට අවිඥානික වෙති. නිවන් මගට විරුද්ධ වෙති. බුදුසමය ලොවපුරා පැතිරීමට බාධකයක් වෙති. විද්‍යාලංකාර භික්ෂූහු නිවන් අවබෝධ කිරීමෙහි නොයෙදුණු නමුත් ඔවුහු ප්‍රගතිශීලී වූහ. රටේ පොදු ජනයාගේ ප්‍රගතියට දායක වූහ. මොවුහු ප්‍රතිගාමී වෙති. එමෙන්ම පාලකයන්ගේ දේශපාලන අභිමතාර්ථයන් වෙනුවෙන් දැන හෝ නොදැන හෝ පෙනී සිටිමින්ද පොදු මහජනතාව නොමග යවමින්ද ඒ වෙනුවෙන් බුදුසමය සහ භික්ෂූත්වය පාවා දෙමින්ද නින්දා සහගත කාර්යභාරයක නිරත වෙති. මොවුන් ඉතිහාසයේ කුණු බක්කියට විසි වන දිනය වැඩි ඈතක නොවේ. මෙරට බුදුසමයද එදින කුණුබක්කියට විසි නොවීමට මෙරට සැබෑ බෞද්ධයන් අවදියෙන් සිටිය යුතු වේ∎
(2013 සැප්තැම්බර් මස සමබිමෙහි පළ කරන ලදී.)
No comments:
Post a Comment