Monday, February 17, 2014

වර්ගවාදය වෙනුවට පීඩිතයාගේ පැත්ත ගැනීම

Feb 14th, 2013 | By  | Category: RECENT ARTICLEදේශපාලන

දෙමළ මුස්ලිම් ජාතිවාදය ගැන ‛සමබිම’ කතා නොකරන්නේ ඇයි?

මම සමබිම පත්තරේ කියවන්නෙ අවුරුදු එක හමාරකට වැඩි කාලයක ඉඳන්. මේ හැම පත්තරයක්ම එකතු කරලා, එක දිගටම කියවනකොට එකම එක නිගමනයකට එන්න පුලුවන්. පත්තරයේ ඉඩ වැඩියෙන්ම වෙන්වෙන්නේ ජාතිවාදය ගැන කතා කරන්න. ඒත් සිංහල ජාතිවාදය ගැන විතරයි. මුස්ලිම් සහ දෙමළ ජාතිවාදය ගැන වචනයක්වත් නෑ. ඉතින් කොහොමද සමබිමක් වෙන්නෙ. දඹුල්ලෙ පල්ලි කඩපු එක ගැන කියනවා, ඒත් ඇයි ඒ කඩන්නෙ කියල කවුරුත් කතා කරන්නෙ නෑ. නැගෙනහිර පළාතෙ මුස්ලිම් අය පන්සල් ඩෝසර් කරලා ගෙවල් හදනකොට ඒ ගැන වචනයක්වත් ලියන්න ඉඩක් සමබිමේ නෑ. යන්න මුහුදු මහා විහාරෙට, මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න. ඔබම නෙමෙයිද අසමබිමක් නිර්මාණයට දායක වෙන්නෙ. හෙළ උරුමය ජාතිවාදී කණ්ඩායමක් කියනවා. ඇයි ඒ පෑනෙන් මුස්ලිම් කොන්ග්‍රස් එක ගැන, ටී. එන්. ඒ. එක ගැන ලියවෙන්නෙ නැත්තෙ? හෙළ උරුමය ගැන අපිට පැහැදීමකුත් නෑ. එයාල කොහොමත් අක්‍රීයයි. ඒත් හෙළ උරුමය බිහිවෙන්නෙ ඇයි කියන එක තේරුම් ගන්න ඕන. හකීම් සහ සම්බන්ධන් වගේ අයගෙ වැඩ පිළිවෙළ නිසාම තමයි හෙළ උරුමයක් බිහිවෙන්නේ. ඔබත් ඒක දන්නවා, ඒත් ඔබ හෘද සාක්ෂියට ගොඩක් ඈතින් ඉන්නෙ. ජූලියා ගිලාඩ් මුස්ලිම් අයට අවවාද කරනව ෂරියා නීතිය අවශ්‍ය අය වහාම රටින් පිටවෙන්න කියලා. රුසියාව, ප්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය කියන රටවලත් එහෙමයි. ඇමරිකා එක්සත් ජනපදයට ගිය ෂාරුක් ඛාන්ට මොකද වුණේ කියලා ඔබ දන්නවා. ඒ වගේම බංග්ලාදේශයේ පන්සල්වලට මොකද වුණේ කියලත් ඔබ දන්නවා. මේ කිසිම දෙයකට සමබිමේ ඉඩක් නෑ. සිංහල ජාතිවාදය පමණමයි. ඒත් ලිපි කිහිපයක් පමණක් හොඳට ලියල තියෙනව. ඒ ගැන සතුටුයි. මේ වැරදි නිවැරදි කරගන්න. එහෙම නොවුණොත් සමබිමක් කෙසේ වෙතත් මහ කුණු කාණුවක් නම් බිහි වේවි∎

වැලිමඩ චන්දරතන හිමි

————————————————————————————————————-

[හර්ෂ ගුණසේන]

පසුගිය ‛සමබිම’ කලාපයේ විවේචනාත්මක පාඨක ප්‍රතිචාර කිහිපයක් තිබුණි. ඒ අතරින් වැලිමඩ චන්දරතන හිමි ඉදිරිපත් කළ අදහස සාකච්ඡා කිරීමට කැමැත්තෙමි. ප්‍රසංශා වෙනුවට විවේචන පළවීම සතුටට කාරණයකි. මක්නිසාදයත් ඉන් වැරදි තිබේනම් නිවැරදි කරගත හැකි බැවිනි. එනමුත් සමබිම පාඨකයකු මෙන් ම ලේඛකයකු ලෙස ද මා සතුව කෙටි කරුණු පැහැදිලි කිරීමක් සහ ප්‍රති විවේචනයක් තිබේ. මේ මගේ පුද්ගලික අදහස් වන අතර අවශ්‍යයෙන් ම ‛සමබිමේ ’ අදහස් නොවේ.

ඒ හිමියන්ගේ අදහස වන්නේ ‛සමබිම’ කතා කරන්නේ සිංහල ජාතිවාදය ගැන පමණක් බවත්, දෙමළ සහ මුස්ලිම් ජාතිවාදය ගැන කතා නොකරන බවත්, ‛සමබිම’ ලේඛකයන් සිටින්නේ හෘදය සාක්ෂියට බොහෝ ඈතින් බවත්ය. උන්වහන්සේ අවුරුදු එක හමාරකට වැඩි කාලයක සිට පත්‍රය කියවීමත් ඒවා එකතුකරගෙන තබාගැනීමත් සතුටට කාරණයකි. එනමුත් අප ගැන වැරදි වැටහීමක් ඇතිකරගෙන සිටීම කණගාටුවට කාරණයකි. එය අපගේ අදහස් ඉදිරිපත් කිරීමේ නොහැකියාවක් දැයි සිතේ. පහත දැක්වෙන පැහැදිලි කිරීම ඒ වෙනුවෙනි.

අපි සියලු ආකාරයේ ජාතිවාදයට විරුද්ධ වෙමු. අපගේ අරමුණ වන්නේ එක ශ්‍රී ලාංකික ජාතියක් තැනීමයි. එනමුත් දැනට මෙරට පවතින අධිපති මතවාදය වන්නේ සිංහල ජාතිවාදයයි. මෙම අධිපති මතවාදය මගින් අනෙකුත් ජනකොටස් ආන්තිකකරණයකට ලක්වෙමින් පවතියි. මෙම මතවාදය රාජ්‍යයේ ද, බහුතර සිංහලයන්ගේ ද මතවාදයයි. මේ මගින් අනෙකුත් ජාතීන්ට ද වඩවඩාත් ජාතිවාදී වීමට බලකෙරෙමින් තිබේ. අප විරුද්ධ වන්නේ මෙම තත්ත්වයටයි.

රාජ්‍යය ද බහුතර සිංහලයන් ද ජාතිවාදීවන විට සුළුතර දෙමළුන් සහ මුස්ලිමුන් ජාතිවාදී නොවී සිටිතියි සිතිය හැක්කේ කෙසේ ද? දෙමළ අරගලය පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකික රාජ්‍යයට සුළු ජාතීන් වෙත සාමයේ හස්තය දිගු කිරීමට අගනා අවස්ථාවක් ලැබුණි. රාජ්‍යය එයින් ප්‍රතිඵලයක් ගත්තේ නැත. පාරවල් ඇතුළු යටිතල පහසුකම් සැපයීම පමණක් ප්‍රමාණවත් නැත. එයින් කොමිස් ලැබීම වෙන ම කාරණයකි. ප්‍රතිසන්ධාන කොමිසම පත් කළේ ජාත්‍යන්තර බලපෑම් නිසා ය. එහෙත් එහි යෝජනා ක්‍රියාත්මක නොකෙරේ. යුද්ධය පවතින කාලයේ ෆෙඩරල් රාජ්‍යයක් ගැන සාකච්ඡා පැවැත්වුණි. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම කොටසක් වන 13 වන සංශෝධනය පවා ක්‍රියාත්මක නොකෙරේ. රාජ්‍යය පසෙක තිබියේවා, මේ ආකාරයෙන් කර්මාන්ත ශාලාවක් වත් පාලනය කළ නොහැක. කර්මාන්ත ශාලාවක් හෝ රාජ්‍යයක් හෝ තුවක්කුවෙන් පාලනය කල නොහැක. කර්මාන්ත ශාලාවේ සේවකයන් හෝ රාජ්‍යයේ වැසියන් හෝ මුළු හදවතින් ම කර්මාන්ත ශාලාවේ හෝ රාජ්‍යයේ හෝ අභිවෘධිය සඳහා ක්‍රියා කළ යුතු ය. සේවකයන් හෝ වැසියන් සියලු දෙනාගේම සහයෝගය දිනා ගැනීම පාලකයාගේ දක්ෂතාව යයි.

මෙම වෙබ් අඩවියේ මීට පෙර පළ වූ ලිපියක් මගින් නෙල්සන් මැන්ඩෙලා මෙම තත්ත්වය කළමනාකරණය කළ අන්දම දැක්වේ. පරාජිත සුදු අප්‍රිකානු ජාතිකයන්ගේ හදවත් දිනා ගැනීමට ඔහු කළු ජාතිකයන්ගේ අභිප්‍රායයන්ගෙන් ඔබ්බට ගියේ ය. දුටුගැමුණු එළාර පරාජය කිරීමෙන් පසු එළාර සොහොන ගොඩනංවා එයට ගරු කරන ලෙස නියෝග කළේ ඇයි? සංහිදියාවේ පළමු පියවර එයයි. සංහිඳියාවක් නොමැතිව සංවර්ධනයක් නොමැත. ශුර දේශපාලනඥයකු වූ දුටුගැමුණු එය මනාව දැන සිටියේ ය. ඔහු වීරයකු වන්නේ එනිසා ය. දෙමළා පරාජය කළ නිසා පමණක් නොවේ. සිංහලයන් ඉතිහාසය උගත යුත්තේ ජාතිවාදී මුග්ධයන්ගෙන් නොව, ප්‍රඥාවන්තයන්ගෙනි. ඉතිහාසය ලියවෙන විට මහින්ද රාජපක්ෂ වීරයකු වන්නේ නැත. ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත්, කේවට්ටයන් පිරිසකගේ උපදෙස් අනුව කටයුතු කළ, අසාර්ථක නරපතියකු ලෙස ඔහු ඉතිහාස ගත වනු ඇත. තවමත් ඔහුට එම තත්ත්වය වෙනස් කිරීමට අල්ප අවස්ථාවක් තිබේ.

සුළුතරයේ ජාතිවාදය බහුතරයේ සමස්තය පිළිබඳ හැඟීම මගින් පරාජය කළ හැක, පරාජය කර තිබේ. බහුතරය විසින් කළ යුත්තේ සුළුතරයේ අනන්‍යතාවට ගරු කරමින් එක් ශ්‍රී ලංකික ජාතියක් ගොඩ නැංවීම උදෙසා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමයි. මෙය සුළුතරයට කළ නොහැක, මෙය කළ හැක්කේ බහුතරයටයි. එබැවින් වඩා බරපතල සහ පළමුකොට ම නිවැරදි කරගත යුතු සිංහලයන්ගේ ජාතිවාදය ගැන අපි කථා කරමු. දෙමළ හෝ මුස්ලිම් හෝ ජාතිවාදය අප ඉවසන බවක් එයින් අදහස් වන්නේ නැත.

මෙම ප්‍රශ්නය ගැන බුදු දහමේ දෘෂ්ටි කෝණයෙන් ද මා සාකච්ඡා කර ඇත. මෙරට වෙසෙන බොහෝ භික්ෂූහු සිංහලකම උපාදාන කරගෙන වාසය කරති. සිංහලකම ආරක්ෂා කිරීම ගිහි සිංහලයන් විසින් කරනු ඇත. භික්ෂූන් ගේ වගකීම වන්නේ තමන් ධර්මයෙහි හැසිරෙන අතර සිය දායකයන් ධර්මයෙහි හැසිරවීමයි. වර්ගය හෝ කුලය හෝ ජාතිය හෝ ගැන සංවේදී වීම නිස්සරණාධ්‍යාසයෙන් පැවිදි වූ භික්ෂුවකට තරම් නොවේ. මක්නිසා ද යත් වර්ගවාදී හෝ කුලවාදී හෝ ජාතිවාදී හෝ වීම බුදු සමයට සපුරා පටහැනි බැවිනි. මේ කථා කළේ චන්දරතන හිමියන් ගැන නොවේ. ඒ හිමියන්ට වඩා බොහෝ උගත්, ප්‍රසිද්ධ, වැඩිහිටි භික්ෂුන් වහන්සේලා ද කටයුතු කරන්නේ මේ ආකාරයට ය.

ෂරියා නීතිය අවශ්‍ය අයට රටින් පිටවන ලෙස ඕස්ට්‍රේලියාවේ අගමැතිවරිය කියාසිටි බව ද ශාරුක් ඛාන්ට ඇමෙරිකාවේදී සැලකූ ආකාරය ද ලිපියේ සඳහන්වේ. එයින් අදහස් කරන්නේ පිටරටවල ද ජාතිවාදය ඇති බවත් සිංහල ජාතිවාදය එයින් සාධාරණීකරණය වන බවත් වියහැක. නමුත් එය එසේ නොවේ. මෙරට වාස්තවික තත්ත්වය වෙනත් රටවල වාස්තවික තත්ත්වයට වඩා වෙනස් ය. ඕස්ට්‍රේලියාවේ තිබෙන්නේ එක ම නීතියකි. එනම් එංගලන්ත පොදු නීතියයි. රටවැසියන් පිරිසකට වෙනස් නීතියක් පැනවීමට එරටට ඇති හැකියාව අල්ප ය. ලංකාවේ තත්ත්වය මෙයට වඩා වෙනස් ය. එංගලන්ත පොදු නීතිය ද, රෝම ලන්දේසි නීතිය ද, උඩරට නීතිය ද, තේසවලාමේ නීතිය ද, මුස්ලිම් නීතිය ද ලංකාවේ භාවිත වේ. වඩා වැදගත් කාරණය වන්නේ උඩරට සිංහලයන්ට පමණක් යම් යම් අවස්ථාවලදී අදාළ නීතියක් ද තිබීමයි. තේසවලාමේ නීතියට ද මුස්ලිම් නීතියට ද විරුද්ධවන පුද්ගලයන් මෙම කාරණය ද සැලකිල්ලට ගත යුතු ය. ෂරියා නීතිය මෙහි පැනවිය යුතු යයි මෙයින් අදහස් නොවන අතර මේ ලිපිය පළවන විට මෙරට ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී නීතිවිරෝධී ජනරජය බවට පත්වී තිබෙනු ඇත.

ශාරුක් ඛාන් මතු නොව එංගලන්ත පුරවැසියකු වන පසුගිය ඔලිම්පික් උළෙලේ ද්විත්ව රන් පදක්කම් ලාභියකු වන මෝ ෆාරා ද සිය පදක්කම් පෙන්වීමෙන් පසුව පවා ඇමෙරිකාවට ආගමනය වන අවස්ථාවේදී සැලකිය යුතු කාලයක් රඳවාගෙන තිබුණි. හේතුව ඔහුගේ සෝමාලියානු ජන්මයයි. මෙම තත්ත්වයට අපගේ එකඟත්වයක් නැත. එනමුත් එයට හේතුව වන්නේ සැප්තැම්බර් 11 සිද්ධියෙන් පසු ඇමෙරිකාව අනුගමනය කරන ආරක්ෂක ප්‍රතිපත්තියයි. එම ප්‍රතිපත්තිය තුළ ශාරුක් ඛාන් ද මෝ ෆාරා ද වෙනත් සාමාන්‍ය මුසල්මානුවකුට හෝ සෝමාලියානුවකුට සමාන වනු ඇත. වඩාත් වැදගත් කාරණය වන්නේ 1860 දී ඒබ්‍රහම් ලින්කන් විසින් කළු ජාතික වහල් මෙහෙය සිවිල් යුද්ධයක් මගින් පරාජය කළ, 1960 මාටින් ලුතර් කිං ගේ යුගය වන විටත් කළු ජාතිකයන්ට වෙනස්කම් කළ ඇමරිකාවේ දැනට කළු ජාතිකයකු මහජන ඡන්දයෙන් ජනාධිපති වී සිටීමයි. අපේ රටවැසියන් ද මෙසේ පරිණාමය විය යුතු යයි අපි කියා සිටිමු.

බංගලිදේශයේ පන්සල් කඩන්නන්ගේ ද, මානවවාදී ලේඛනයක් වන තස්ලිමා නස්රීන් විසින් මුස්ලිම් අන්තවාදීන්ට එරෙහිව ලියන ලද ‛ලජ්ජා’ කෘතිය තහනම් කළ උන්ගේ ද, ලොව දැනට අනුමත ප්‍රමිතීන්ට එරෙහිව ස්ත්‍රී නිදහස අවුරන්නන්ද, බාමියන් බුදුපිළිම කඩා දැමු තලේබාන් අන්තවාදීන්ගේ ද ක්‍රියාකලාපයට අපි එරෙහි වෙමු. අප අනුගමනය කළ යුත්තේ මුස්ලිම් අන්තවාදීන්ව නොව කාලයක් තිස්සේ ජාතිවාදයට එරෙහිව පරිණාමයවන ඇමරිකන් ජනතාවයි.

මා ඉපදුනේ සිංහලයෙක් සහ බෞද්ධයෙක් වශයෙනි. මම දැනට සිංහලයෙක් හෝ බෞද්ධයෙක් හෝ නොවන අතර මිනිසෙක් වෙමි. මම පීඩකයා සමඟ නොව පිඩිතයා සමඟ සිටීමට කැමැත්තෙමි. සිංහලයා අතින් දෙමළා පීඩනයට පත් වනවිට දෙමළෙක් වෙමි. බෞද්ධයා අතින් ක්‍රිස්තියානිකාරයා පීඩාවට පත් වනවිට ක්‍රිස්තියානිකාරයෙක් වෙමි. කුලවතා අතින් කුලහීනයා පීඩාවට පත් වනවිට කුලහීනයෙක් වෙමි. පුරුෂාධිපත්‍යය වෙතින් ස්ත්‍රිය පීඩාවට පත් වනවිට ස්ත්‍රියක් වෙමි. මිනිසුන් අතින් තිරිසනුන් පීඩාවට පත් වනවිට තිරිසනෙක් වෙමි. ධනවතා අතින් දුප්පතා පීඩනයට පත්වන විට දුප්පතෙක් වෙමි. ජනතාව පීඩාවට පත්වන විට පෙළණු ලැබූ ජනතාවම වෙමි. එමෙන් ම සිංහලයන් හෝ බෞද්ධයන් හෝ පීඩනයට පත් වනවිට සිංහලයෙක් ද බෞද්ධයෙක්ද වෙමි.

අවසාන වශයෙන් සමබිම ලේඛකයන් සිය හෘදය සාක්ෂියට අනුව ලියන බවත්, ඔවුන් කුලියට හෘදය සාක්ෂියට විරුද්ධව ලියන පිරිසක් නොවන බවත්, ඔවුන් ආණ්ඩුවේ ජනමාධ්‍යවල සේවය කරන ඇතැම් මාධ්‍යවේදීන් මෙන් බත් බැළයන් නොවන බවත් අවධාරණයෙන් කියා සිටිමි∎

(2013 පෙබරවාරි මස සමබිමෙහි පළ කරන ලදී.)

No comments:

Post a Comment