මා යම්කිසි ආගමකට අයත් වේ නම් සහ එම ආගම විසින් මා කන බොන සහ අඳින පළඳින ආකාරය නිශ්චය කරන්නේ නම් මම එම ආගමෙන් ඉවත් වෙමි. ඒ එවන් වූ අධිකාරියක් මා නොඉවසන බැවිනි. එනමුත් වෙනයම් අයෙකුට එම ආගම ඇදහීමේ සහ ඒ අනුව කෑමේ බීමේ ඇඳීමේ පැළඳීමේ නිදහස තිබිය යුතුය. එසේම එම නිදහස අනෙකුත් පුරවැසියන්ගේ ඒ හා සමාන නිදහස උල්ලංඝනය නොකළ යුතුය.
මෑතකදී පිහිටුවා ගත් ‛බොදු බල සේනා’ නැමැති සංවිධානයක් හලාල් සහතිකයට විරුද්ධව ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. වෙළෙඳ සමාගම් භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ ගනුදෙනුකරුවන් සඳහාය. ගනුදෙනුකරුවන් හලාල් සහතිකය ඉල්ලා සිටින්නේ නම් සමාගම එම සහතිකය ලබාගනු ඇත. ගනුදෙනුකරුවන් හලාල් සහතිකය ප්‍රතික්ෂේප කරන්නේ නම් සමාගම එම සහතිකය ලබා නොගනු ඇත. කිසිවකුට සහතික ලබාගැනීම සඳහා හෝ ලබා නොගැනීම සඳහා හෝ බල කිරීමේ අයිතියක් නොමැත.
මෙම සංවිධානයේ සහ ඒ හා සමාන වෙනත් සංවිධානවල ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්නයක් තිබේ. මෙම සංවිධානයේ නමෙහිම ප්‍රශ්නයක් තිබේ. යම් බල සේනාවක් වේ නම් එය ‛බොදු’ විය නොහැකිය. යම් සංවිධානයක් බොදු නම් එය ‛බල’ සේනාවක් විය නොහැකිය. ජාතික හෙළ උරුමය පෙනී සිටින්නේ හෙළ උරුමය වෙනුවෙන් නම් එය ජාතික වන්නේ කෙසේද? සමස්ත ජාතියට හෙළයන්ට අමතරව තවත් බොහෝ දෙනා ඇතුළත් වෙති. එමෙන්ම ඔවුන් පෙනී සිටින්නේ හෙළ බොදු උරුමය වෙනුවෙන්ය. හෙළ කිතුනු උරුමය වෙනුවෙන් නොවේ. මෙම සංවිධාන තුළ සහ ඉන් පිටත බෞද්ධ භික්ෂූන්ගේ ක්‍රියාකාරීත්වය ඔවුන්ගේ බෞද්ධකම පිළිබඳව ප්‍රශ්න ඇති කරවයි. මෙරට බෞද්ධ භික්ෂූන් සිතා සිටින්නේ සමස්ත බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ වගකීම සිංහල වර්ගයා වෙත පැවරී ඇති බවත් එබැවින් බුද්ධ ශාසනය ද සිංහල වර්ගය ද ආරක්ෂා කිරීමේ වගකීම තමන් වෙත පැවරී ඇති බවත්ය.
බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම යනු කුමක්ද? චිරාත් කාලයක් මුළුල්ලේ භික්ෂූන් විසින් බොහෝ දුක් මහන්සියෙන් මතු පරම්පරාවල අභිවෘද්ධිය සලකා කටපාඩමින් රැගෙන ආ ත්‍රිපිටකය වළගම්බා රජු දවස මාතලේ අලුවිහාරයේදී ග්‍රන්ථාරූඪ කරන ලදී. දැන් ත්‍රිපිටකය විවිධ භාෂාවන්ට පරිවර්තනය වී මුද්‍රණයෙන් ද එමෙන්ම අන්තර්ජාලයේ ද ඇත. ඒ හා සම්බන්ධ බොහෝ බෞද්ධ පොතපත ද මුද්‍රණද්වාරයෙන් එළි දක්වා ඇත. මේ සඳහා බොදු බල සේනාවේ සභාපති හිමිපාණන් විශාල සේවයක් කර ඇත. එබැවින් දැන් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට නම් ප්‍රතිපත්ති පිරිය යුතුය. අද දවසේ බුද්ධ ශාසනය ආරක්ෂා කරනු ලබන්නේ සුදුසු ශීලයක් සමාදන්ව නිතිපතා විපස්සනා භාවනාවේ හෝ පසුව විපස්සනා භාවනාව කිරීමේ අටියෙන් සමථ භාවනාවේ හෝ යෙදෙමින් එළැඹ සිටි සිහියෙන් යුක්තව වාසය කරන අතලොස්සක් වන ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ආර්ය ශ්‍රාවකයන් විසිනි. මුස්ලිමුන්ට හෝ ක්‍රිස්තියානුවන්ට හෝ එරෙහිව පාරවල් ගානේ මැර ක්‍රියාවල යෙදෙන චීවරධාරීන් විසින් නොවේ. අසූහාරදාහේ පහන් පින්කම් සහ චෛත්‍ය වටේ සිවුරු එතීමේ පින්කම් කරන්නන් විසින් ද නොවේ. එමෙන්ම බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම භික්ෂූන්ට පමණක් සිමාවන කටයුත්තක් ද නොවේ.
බුදුහු තමන් අනුගමනය කිරීමට කිසිවකුට බලපෑම් නොකළහ. එමෙන්ම තමන් අතහැර යන කිසිවකුට එසේ නොකරන ලෙසද බලපෑම් නොකළහ. ඒ එක් එක් පුද්ගලයාගේ අභිමතාර්ථයයි. බුද්ධ ශාසනය රැකීම යනු තමන්ගේ ගොඩ වැඩි කිරීමට හෝ අනුන්ගේ ගොඩ අඩු කිරීමට හෝ කටයුතු කිරීම නොව සියලු දෙනාටම ආදර්ශයක් දෙමින් ප්‍රතිපත්ති පිරීමයි. බුදු සමය වෙනුවෙන් මැර ක්‍රියාවල යෙදීම බුදුසමය නොරැකීමක් පමණක් නොවේ, එය විනාශ කිරීමක් ද වේ. මෑතකදී ඇති වූ සටන්කාමී බෞද්ධ සංවිධාන සහ ඒවාට අනුබල දෙන බෞද්ධ භික්ෂූහු බුදු සමය රකිමුයි එය විනාශ කරති. බුදුසමය මෙවැනි හිස් චීවරධාරීන්ගෙන් ද අසිහියෙන් යුක්තව පින්කම් කරමුයි පවුකම් කරන්නන්ගෙන් ද රැක ගැනීමට කාලය එළැඹ තිබේ.
බුද්ධ ජයන්තිය ආශ්‍රිතව ලොව පුරා ඇතිවී තිබෙන බොදු පුනරුදයේ ගෞරවය වඩාත් හිමිවිය යුත්තේ ශ්‍රී ලංකාවට නොව බුරුමය සහ තායිලන්තයටය. මක්නිසාද යත් බුදු දහමේ හරය වන විපස්සනා භාවනාව පරපුරෙන් පරපුරට රැගෙන ආ භික්ෂු පරපුරක් ඒ දෙරටේම සිටීමය. බුරුමයේ මහාසී සයාඩෝ සහ තායිලන්තයේ අචාන් චා ඒ සඳහා මෑත කාලීන උදාහරණ වේ. මීට අමතරව බුරුමයේ එස්.එන්. ගොයෙන්කා සහ ඌ බා කින් යනාදීන්ගෙන් සැදුම්ලත් ගිහි ගුරු පරපුරක් ද වේ. තායිලන්තයේ විසූ ආචාර්ය මන් භුරිදත්ත තෙරුන් (1870-1949) රහතන් වහන්සේ නමකියි එරට පුරා පිළිගැනීමක් තිබේ. රේරුකානේ චන්දවිමල හිමි සහ මාතර ශ්‍රී ඥානාරාම හිමි මේ සඳහා ලංකාවෙන් දිය හැකි මෑත කාලීන උදාහරණ වේ. උන්වහන්සේලා ද බුරුම භාවනා ක්‍රමවල ආභාසය ලදහ. භාවනා ක්‍රම පසෙක තිබියේවා නැතිවී ගිය උපසම්පදාවද බ්‍රිතාන්‍ය යුගයේදී ලංකාවට ගෙන ආවේ බුරුමයෙන් සහ තායිලන්තයෙනි. මේ අනුව බුදු සමය රැකීමේ බලපත්‍රයක් සිංහල වර්ගය සතුව ඇතැයි පැවසීම ප්‍රලාපයකි.
බොදු බල සේනා සංවිධානය මුස්ලිම් විරෝධී බලවේගයක් නිර්මාණය කරමින් යයි. 1983 කළු ජූලියේදී දෙමළ විරෝධීන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු ආකාරයට මෙම සංවිධානවලට ද රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බව පෙනෙන්නට තිබේ. මෙම කාරණයේදී රජය කරවන ඇත්තන් ක්‍රියා කරන්නේ රටේද ජනතාවගේද සුබ සිද්ධිය සඳහා නොවේ. ස්වාර්ථය සඳහාය. තමන්ට තවදුරටත් බලයේ සිටීම සඳහාය. මෙවැනි වර්ගවාදී හැඟීම් ඇවිස්සීම මගින් මුග්ධ ලෙස ක්‍රියා කිරීමට අනුබල ලබන බහුතර සිංහලයන්ගේ සහාය තමන්ට ලබාගත හැකිවනු ඇතැයි ඔවුන් කල්පනා කරනවා විය හැක. අන්තර්ජාතික බලපෑම් කොතෙකුත් තිබුණත් දේශීය වශයෙන් බහුතරයගේ කැමැත්ත තමන්ට ලබාගත හැකිනම් තමන්ගේ විනාශකාරී ගමන එලෙසම යා හැකියයි ඔවුන් සිතනවාද විය හැකිය. ලංකාව ස්වයංපෝෂිත නම් එසේ සිතුවාට සහ ක්‍රියා කළාට ඔවුන්ට හානියක් නොවනු ඇත. එනමුත් ලංකාව ස්වයංපෝෂිත රටක් නොවේ. මෙරට අපනයන රඳා පවතින්නේ බටහිර රටවල් මතය. එමෙන්ම කොටස් වෙළෙඳපොළ සහ රාජ්‍ය බැඳුම්කර ඇතුළු මෙරට ආයෝජනද රඳා පවතින්නේ බටහිර රටවල් මතය. එබැවින් මානව හිමිකම් රැකීම සඳහා බටහිර රටවල් කරන බලපෑම තුළ ආර්ථික තර්ජනයක්ද ඇත. විදේශ රටවලින් ශ්‍රමිකයන් එවන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් එන්නේ මැදපෙරදිග මුස්ලිම් රටවලිනි. එබැවින් මුස්ලිම් විරෝධයකද ආර්ථික බලපෑමක් තිබේ. කලාපයේ බලවතා වන එමෙන්ම බටහිර සමඟ අවබෝධයෙන් කටයුතු කරන ඉන්දියාව අප විසින් රවටා ඇත. චීනය මගින් ඉන්දියාව තුලනය කිරීමට පාලකයන් බලාපොරොත්තු වන බව පෙනේ. ජාත්‍යන්තර තලයේදී ඉන්දියානු අභිලාසයන්ට විරුද්ධව ක්‍රියා කිරීම බරපතළ ප්‍රතිවිපාකවලට හේතුවීමට ඉඩ තිබේ. චීනයෙන් අප ලබා ගන්නා ගිනිපොලී ණය ආපසු ගෙවීම සඳහා අප්‍රිකාව හෝ බුරුමය හෝ මෙන් ස්වභාවික සම්පත්ද අපට නැත. ඒ නිසා ඒ සඳහා ඔවුන් ආයෝජනය කළ ව්‍යාපෘති ඔවුන්ට පවරා දීමට අපට සිදුවී තිබේ. එබැවින් සමස්ත චිත්‍රය අනුව තත්ත්වය රටට ජනතාවට මෙන්ම පාලකයන්ට ද අහිතකර වේ.
මෙවැනි පසුබිමක් යටතේ වර්ගවාදී හැඟීම්වලින් මෝහනය වීම නොකළ යුත්තක් බව බහුතර සිංහලයන් විසින් වටහාගත යුතුව තිබේ. ජනතාව වර්ගවාදී නොවන විට පාලකයන් කවුරුන් හෝ වේවා ඔවුන්ට දෙමළ ජනතාවට සාධාරණය ඉෂ්ට කිරීමට සිදුවනු ඇත. බෙදී සිටින ජනතාවගේ මානව හිමිකම් කැඩීමට වඩා එක්වී සිටින ජනතාවගේ මානව හිමිකම් කැඩීම පාලකයාට අපහසු වනු ඇත. ජනතාවට වඩා ඉදිරියෙන් සිටින ගාන්ධි හෝ මැන්ඩෙලා හෝ වැනි නායකයන් අපට නැත. අපේ නායකයන් සිටිනුයේ ජනතාවට වඩා පසුපසිනි. බණ්ඩාරනායක සහ ජයවර්ධන මෙන්ම රාජපක්ෂද සිටින්නේ ජනතාවට වඩා පසුපසිනි. ඔවුන්ගේ න්‍යාය පත්‍රය සැකසෙන්නේ ජනතාවගේ ඡන්ද පතාය. ඒ සඳහා ඕනෑම පීචං වැඩක් කිරීමට ඔවුහු පසුබට නොවෙති. ජනතාව වර්ගවාදී නම් ඔවුහුද වර්ගවාදී වෙති. යුද්ධයට පෙරත් යුද්ධය කාලයේත් යුද්ධයෙන් පසුවත් නිති දැවෙන මෙරටට ශාන්තිය ළඟා කළ හැකි වන්නේ ද එමෙන්ම අප බැඳ දමා ඇති දම්වැලෙහි කඩා දැමිය හැකි එකම පුරුක වන්නේ ද බහුතර සිංහලයන් විසින් වර්ගවාදී නොවී සිටීමයි. එබැවින් වර්ගවාදී නොවීම බහුතර සිංහලයන් විසින් මේ මොහොතේ කළ යුතු ඓතිහාසික කාර්යභාරය වේ. ඒ සඳහා ඔවුන් බහුතරයකගේ ආගම වන බුද්ධාගමෙන්ද නොමඳ අනුබලයක් ලැබේ. වර්ගවාදී සිංහල භික්ෂූන් විසින් උත්කර්ෂයට නංවනු ලබන ඊනියා සිංහල බුද්ධාගම ඔවුන් විසින් හළ යුතුය. මක්නිසාදයත් එය බුදු දහමට සපුරා පටහැනි වන බැවිනි∎
[හර්ෂ ගුණසේන]
(2013 අප්‍රේල් මස සමබිමෙහි පළ කරන ලදී.)
No comments:
Post a Comment