Thursday, May 1, 2014

සංවරණ සහ තුලන

නූතනආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ප්‍රධාන අංශ තුනෙහි කටයුතු සමබරව පවත්වාගෙන යාම සඳහා නොයෙකුත් සංවරණ සහ තුලන හඳුන්වාදී ඇත. නීති සම්පාදනය ව්‍යවස්ථාදායකයේ වගකීම වන අතර සම්පාදිත නීති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන බවට වගබලා ගැනීම අධිකරණයේ කාර්යභාරයයි.
ඇමරිකන් ජනාධිපතිවරයා අධිකරණය ඉදිරියට කැඳවිය හැකි අතර බ්‍රිතාන්‍ය අගමැතිවරයා පාර්ලිමේන්තු වගකීමට යටත්ය. මෙම සංවරණ සහ තුලන මගින් රාජ්‍යයේ විවිධ අංශ සමබරව පවත්වාගෙන යාම හරහා ජනතාවට වඩාත් හොඳ සේවයක් රාජ්‍යය මගින් සැලසිය හැකිවේ. වැඩි බලය වැඩි අත්තනෝමතිකත්වයට හේතුවන බැවිනි.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙයට හාත්පසින්ම වෙනස්ය.    අවරගණයේ සංවරණ සහ තුලන ව්‍යවස්ථාවට ඇතුළත්වී ඇති අතර විධායකය, ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට මතු නොව රාජ්‍ය ව්‍යවස්ථාවට ද වඩා ඉහළින් තබා ඇත. විධායකය මතු නොව විධායකයේ ඇම්බැට්ටයන් පක්කලියන් යනාදී මෙකී නොකී සියලු දෙනා ව්‍යවස්ථාව සාපරාධී ලෙස උල්ලංඝනය කරන අවස්ථාවලදී එයට විරුද්ධව ගත හැකි ක්‍රියාමාර්ගයක් ද නොමැත. ආශ්චර්යයකට මෙන් මෙවැනි විනාශකාරී ව්‍යවස්ථාවකට එරෙහිව ව්‍යවස්ථාව ඇතුළතින් නොව එයට පිටතින් එවැනිම විනාශකාරී සංවරණ සහ තුලන ක්‍රමයක් මෙරට ක්‍රියාත්මක වේ.
1980 ගණන්වල එවකට පැවති අත්තනෝමතික රාජ්‍යයට එරෙහිව ඇතිවුණු ජවිපෙ කැරැල්ල ව්‍යවස්ථාවට පිටතින් ඇතිවූ සංවරණයකි, තුලනයකි. මෙම කැරැල්ලේ ප්‍රාථමික අවස්ථාවේදී ඇතිවූ ආණ්ඩු විරෝධී සහ සමාජ විරෝධීන්ට එරෙහි ක්‍රියා සාමාන්‍ය ජනතාවගේ ආශ්වාදයට හේතුවිය. කැරැල්ල වඩාත් ප්‍රචණ්ඩ වන විට මෙම ආශ්වාදය දිය වී ගිය නමුත් රාජ්‍යයේ අත්තනෝමතිකත්වය එක්තරා ප්‍රමාණයකට පාලනය කිරීමට එම කැරැල්ල සමත් විය.
එම කාලයේදීම ඇතිවූ ද්‍රවිඩ තරුණයන්ගේ කැරැල්ල ප්‍රතිවාදී මුහුණුවරක් ගත්ත ද එහි මූලය අධිකාරීවාදී රාජ්‍ය බලයට එරෙහි වූවකි. කැරලි නායකයන්ගේ අමනෝඥ ක්‍රියා නොවන්නට රාජ්‍යයේ අත්තනෝමතිකත්වය පාලනය වී සම්මුතියකට පැමිණීමට බොහෝ ඉඩකඩ එම ප්‍රචණ්ඩ ක්‍රියාවලිය තුළ තිබුණි.
එල්.ටී.ටී.ඊ. කැරැල්ල මර්දනය කිරීමෙන් පසු දැනට පවතින ජාත්‍යන්තර බලපෑම් ද ව්‍යවස්ථාවට පිටතින් වන තවත් සංවරණයකි, තුලනයකි.    පසුගිය දා ඉවත් කරන්නට යෙදුණ හදිසි නීතිය, කැරැල්ල මර්දනය කර දෙවසරක් ගෙවුණ පසුත් දිගින් දිගටම පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවයක් රටේ ජනතාවගේ පැත්තෙන් නොතිබුණි. මෙම රෙගුලාසි ඉවත් කිරීමට ඉන්දියාවේ සහ බටහිර රටවල බලපෑම බොහෝ සෙයින් ඉවහල් වුණි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය ඉවත් කරන බව ප්‍රකාශ කළ දින උදේ ඒ බව හින්දු පුවත්පත වාර්තා කර තිබුණි. රටේ මානව හිමිකම් වර්ධනය කරන්නේ නම් ජී.එස්.පී. ප්ලස් සහනය දීර්ඝ කරන බවට වූ යුරෝපා සංගමයේ ස්ථාවරය රටේ ජනතාවගේ පැත්තෙන් සාධනීය එකකි. රාජ්‍යයේ ස්වෛරීත්වයට මුවා වී රජය ගත්තේ එයට විරුද්ධ ස්ථාවරයයි.
පසුගිය දා මෙරටට පැමිණි ඇමරිකන් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වූ රොබට් ඕ බ්ලේක් උතුරේ සංචාරයකින් පසුව උතුරේ දෙමළ ජනතාව සිටින ප්‍රදේශවලට දෙමළ පොලිස් නිලධාරීන් යෙදවිය යුතු බව කියා සිටියේය. මෙම ප්‍රකාශය රාජ්‍ය බලධාරීන් කිහිප දෙනකු අතින් අවඥාවට ලක්විය. දෙමළ ප්‍රදේශවල දෙමළ පොලිස් නිලධාරීන් සිටිය යුත්තේ සිංහල පොලිස් නිලධාරීන් දෙමළ කතා නොකරන නිසාය. දෙමළ ජනතාව සමඟ දෙමළ බසින් කටයුතු කළ යුතු බව මෙයට සියවස් 10කට පමණ පෙර සොළී අධිරාජ්‍යවාදීන්ගෙන් මෙරට මුදවා ගෙන ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක යුගයක් සනිටුහන් කළ පළමුවන විජයබාහු මනාව වටහාගෙන තිබුණි. රොබට් ඕ බ්ලේක් වැනි පිටස්තරයකු මෙය පෙන්වා දුන් පසුත් එය වටහා නොගැනීම විස්තර කළ හැක්කේ කෙසේද? මේ සම්බන්ධව ඇමරිකන් බලපෑම නියත වශයෙන්ම ව්‍යවස්ථාවට පිටතින් වන සංවරණයකි, තුලනයකි.
රටක රාජ්‍යය සහ එහි ජනතාව ප්‍රශස්ත ලෙස කල්පනා කරන්නේ නම් එම රටේ යහපාලනයට අවශ්‍ය සංවරණ සහ තුලන එරට ව්‍යවස්ථාව තුළ තිබිය යුතුය. ව්‍යවස්ථාවට පිටතින් සංවරණ සහ තුලන ක්‍රියාත්මක වීම නින්දාවකි. රටේ ජනතාවගේ කොටසක් ආයුධ සන්නද්ධව රාජ්‍යයට බලපෑම් කිරීම ද ජාත්‍යන්තර ප්‍රජාව ආයුධ විරහිතම රාජ්‍යයට බලපෑම් කිරීම ද අනුමත කළ නොහැක. එනමුත් රටේ ජනතාවගේ පැත්තෙන් මෙම බලපෑම් එක්තරා ප්‍රමාණයකට සාධනීය වේ∎
හර්ෂ ගුණසේන
(Published in Samabima 3rd November 2011)

ඔයාලා ජීවත් වෙන්නේ අපේ අම්ම හම්බ කරන සල්ලිවලින්


පසුගිය දා ලෙස්ටර් ජේම්ස් පදනම ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වීමට ලෝක සිනමාවට විශිෂ්ට සිනමා කෘති ගණනාවක් දායාද කළ සුප්‍රකට ඉන්දීය සිනමා අධ්‍යක්ෂකවරයෙකු වූ අදූර් ගෝපාල්ක්‍රිෂ්ණන් ලංකාවට පැමිණියේය. ඔහුගේ ‛ගැහැනුන් හතර දෙනා’ නම් වූ චිත්‍රපටය ඔහුගේ ද සහභාගීත්වයෙන් යුතුව නැරඹීමට අවස්ථාව ලදිමි. එය 1940 – 1950 පමණ කාලයේ කේරළයේ කාන්තාවන් විඳින දුක්ඛදෝමනස්සයන් මැනවින් චිත්‍රණය කළ කෙටි චිත්‍රපට හතරක එකතුවකි. චිත්‍රපටය අවසානයේ ප්‍රශ්න ඇසූ පිරිමි මෙම චිත්‍රපටය මැනවින් වින්දනය නොකළ බව පෙනෙන්නට තිබුණි. සාකච්ඡාව අවසානයේදී අධ්‍යක්ෂකවරයා හමු වූ මම මෙම චිත්‍රපටය සර්වකාලීන එකක් බවත් පිරිමින්ට වඩා ගැහැනුන් මෙය වටහා ගනු ඇති බවත් කීමි. ලෝකයේ සෑම තැනම මෙම චිත්‍රපටය පෙන්වූ විට ඔහුගේ අත්දැකීම එය වූ බව පිළිතුරු වශයෙන් ඔහු කියා සිටියේය.
ලාංකික සමාජයේ තිබෙන මූලික ප්‍රශ්නය අනෙකා කෙරේ සංවේදී නොවීමයි. ගැහැනුන් මුහුණ දෙන ගැටලු වටහා ගැනීමට පිරිමි අසමත් වෙති. දෙමළුන් මුහුණ දෙන ගැටලු වටහා ගැනීමට සිංහලයෝ අසමත් වෙති. ඒ අනුව ලාංකික සමාජයේ ප්‍රථම පංතියේ පුරවැසියන් වන්නේ සිංහල බෞද්ධ ගොවිගම පුරුෂයෝය.
ලාංකික ආර්ථිකයට ගැහැනුන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමක පවතී. බොහෝ අය මෙය දැන සිටියත් අවාසනාවකට මෙම දායකත්වය ලබා දෙන කාන්තාවන් නිසි ඇගයීමකට ලක් වී නැත. කලකට පෙර ලංකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ලැබුණේ තේ අපනයනයෙනි. දෙවැනි තැනට ආවේ රබර් අපනයනයයි. තේ හා රබර් කර්මාන්තවල ප්‍රමුඛතම කාර්යයන් වන තේ දලු නෙළීම හා රබර් කිරි කැපීම කරනු ලබන්නේ කාන්තාවන් විසිනි. ඉන් පසුව මෑත යුගයේ වැඩිම විදේශ විනිමය උපයන මාර්ගය බවට ඇඟලුම් කර්මාන්තය පත්විය. එහි ප්‍රමුඛතම නිෂ්පාදන කාර්යය කරනු ලබන්නේ කාන්තාවන් විසිනි. දැනට ලංකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙන්නේ පිටරටවල වැඩ කරන ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල්වලිනි. මෙම ශ්‍රමිකයන්ගෙන් විශාල ප්‍රතිශතයක් කාන්තාවෝ වෙති.
2010 වර්ෂයේ මුළු අපනයන වටිනාකම රුපියල් බිලියන 937 කි. තේවලින් ලද ආදායම රුපියල් බිලියන 155 ක් වූ අතර රබර්වලින් ලද ආදායම රුපියල් බිලියන 19 කි. ඇඟලුම් අපනයනයෙන් ලද ආදායම රුපියල් බිලියන 374 කි. මුළු ආනයන වියදම රුපියල් බිලියන 1526 ක් වූ අතර වෙළඳ ශේෂ පරතරය රුපියල් බිලියන 588 කි. ශ්‍රමිකයන්ගෙන් ලැබුණු විදේශ විනිමය රුපියල් බිලියන 465 කි. මුළු අපනයන ආදායම සහ ශ්‍රමිකයන් එවූ මුදල්වල එකතුව රුපියල් බිලියන 1402 කි. මෙම මුළු විදේශ විනිමය ලැබීම්වල ප්‍රතිශතයක් ලෙස ගතහොත් තේ සහ රබර්වලින් ලද ආදායම 12% කි. ඇඟලුම් අපනයනයෙන් ලද ආදායම 26% කි. ශ්‍රමිකයන් එවූ මුදල් 33% කි. මෙහි මුළු එකතුව 71% කි. ඇඟලුම් කර්මාන්තයෙන් ලැබෙන ආදායමෙන් විශාල ප්‍රමාණයක් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය සඳහා වැය වේ.
මෙම ක්ෂේත්‍රයන්ගේ ප්‍රවර්ධනය කෙරෙහි රාජ්‍යයේ දායකත්වය ප්‍රමාණවත් මට්ටමක නොපවතින අතර ඒ කෙරෙහි රාජ්‍ය ආකල්පය අසතුටුදායකය. තේ සහ රබර් වතුවල සේවය කරන මූලික වශයෙන් ඉන්දියානු සම්භවයක් ඇති වතු කම්කරුවන්ට ලැබෙන වැටුප රටේ අනෙකුත් ක්ෂේත්‍රවල ශ්‍රමිකයන්ට ලැබෙන වැටුපට වඩා අඩු මට්ටමක පවතී. මේ හේතුවෙන් ඉඩප්‍රස්ථා අඩු වුණත් ශ්‍රමිකයන් වෙනත් ක්ෂේත්‍රවල රැකියා සඳහා යොමු වීම වැඩි වෙමින් පවතී. සේව්‍ය සේවක දෙපක්ෂයම එකතු වී ශ්‍රම ඵලදායිතාව වැඩි කිරීමේ ක්‍රමෝපායන් හඳුනා ගැනීම අවශ්‍ය වන අතර එය තනිකර සේවක පක්ෂයේ වගකීමක් නොවේ.
ඇඟලුම් අපනයන ආදායමෙන් 50% ක් ලැබෙන්නේ යුරෝපා සංගමයේ රටවලිනි. එක්සත් ජනපදය 40% කට දායක වන අතර අනෙකුත් රටවල් 10% කට දායක වේ. ජී.එස්.පී. ප්ලස් :ඨීඡූ* සහනය දීර්ඝ කිරීම සඳහා යුරෝපා සංගමය විසින් මානව හිමිකම් ක්ෂේත්‍රයේ යම් යම් වෙනස්කම් ඇති කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින ලදී. මෙම යෝජනා ක්‍රියාත්මක වූයේ නම් ඒවා ජනතාවට හිතකර වනු ඇති අතර මර්දනකාරී පාලනයට අහිතකර වනු ඇත. යුරෝපා සංගමයේ යෝජනා පිළිබඳව සාකච්ඡා කර සාධනීය යෝජනා පිළිගන්නා මට්ටමකට රජය යොමු වුණේ නම් එය අපනයන ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ ආදායම කෙරෙහි සහ ජනතා පරමාධිපත්‍ය හා ජනතා අයිතීන් කෙරෙහි හිතකර ලෙස බලපානු ඇත. එහෙත් රාජ්‍ය ස්වෛරීත්වයට මුවා වී තෝරා ගත්තේ ජනතාවට අහිතකර, රටට අහිතකර, මර්දනකාරී පාලනයකට හිතකර විකල්පයකි.
පසුගිය දා රාජ්‍යය විසින් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීමට තැත් කළ පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවිකාවන්ගේ මූලික සමාජ අවශ්‍යතාවයන් නොසලකා ඇති කරන ලද්දකි. කෙටි කලක් සේවය කර අර්ථසාධක අරමුදල හරහා විවාහය සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම ඔවුන්ගේ පරමාර්ථයයි. රාජ්‍යයට මෙය ඒත්තු ගැන්වීම සඳහා විශාල අරගලයක් කිරීමට අවශ්‍ය විය.
විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණවලින් 60% ක් ලැබෙන්නේ මැද පෙරදිග රටවලිනි. මුළු විදේශගත ශ්‍රමිකයන්ගෙන් 66% ක් ගෘහ සේවිකාවෝ හා නුපුහුණු ශ්‍රමිකයෝ වෙති. 2010 මහබැංකු වාර්තාවේ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබුණ මුදල් වෙළඳ ශේෂ හිඟය ආවරණය කිරීමට උපකාරී වූ බව සඳහන් වේ. ප්‍රේෂණ ආකර්ෂණය කර ගැනීම සඳහා සේවා යෝජකයන් සමඟ ඉහළ වැටුප් ගෙවීම සම්බන්ධව සාමූහික සම්මුතීන්ට එළඹීම හා ඉහළ වැටුප් සහිත       රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන් දිරිමත් කිරීම යන කරුණු දෙක හැරුණු කොට දක්වා ඇති අනෙක් කරුණු බැංකු ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීමට අදාළ වේ. විදේශ රැකියා සඳහා නුපුහුණු ශ්‍රමිකයන් ඇදී යාම ආරම්භ වූයේ 1980 දශකයේ මුල හරියේය. වසර 30 ක් පමණ කාලයක් තිස්සේ වසරින් වසර වැඩි වූ මෙම ප්‍රේෂණ ජාතික ආර්ථිකය පෝෂණය කිරීමට රාජ්‍යය විසින් යොදා ගනු ලැබ ඇත. දීර්ඝ කාලීන වශයෙන් මෙම ශ්‍රමිකයන්ගේ සේවා තත්ත්වය උසස් කිරීමට සහ ඉහළ වැටුප් සහිත රැකියා සඳහා ශ්‍රමිකයන් පුහුණු කිරීමට පුළුල් වැඩපිළිවෙළක් රාජ්‍ය විසින් තවමත් හඳුන්වා දී නොමැත.
පසුගිය කාලයේ වැට් බද්ද ආපසු ගෙවීමේදී අපනයන ව්‍යාපාරිකයන් කෙරෙහි රජය විසින් දක්වන ලද ඍණාත්මක ආකල්පය දැන් යම් තරමකට හොඳ අතට හැරී ඇතත් රජයේ විනිමය ප්‍රතිපත්තිය අපනයනවලට අහිතකරය. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩු කිරීම එනම් රුපියල ප්‍රබල කිරීමේ ප්‍රයත්නයක වර්තමාන රජය නිරතව සිටියි. රුපියල ස්ථායි අගයක පවත්වා ගැනීම සිය අරමුණ බව රජය ප්‍රකාශ කර ඇතත් රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 100 දක්වා අඩුවනු ඇති බවට අනාවැකි පළ කර ඇත. ඩොලරයකට ලැබෙන රුපියල් ගණන වෙළඳපොළේ දිනෙන් දින අඩු වෙමින් පවතී. මේ මඟින් අපනයනයේ සහ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවලින් ලැබෙන රුපියල් ප්‍රමාණය අඩු වී එය එම ප්‍රතිග්‍රාහකයන්ට අහිතකර ලෙස බලපානු ඇත.
සමස්තයක් වශයෙන් රටට මුදල් උපයා දෙන පාර්ශ්වයන් කෙරෙහි රජය දක්වන අසතුටුදායක ආකල්පය දීර්ඝ කාලීන වශයෙන් රටේ ප්‍රගමනයට අහිතකර ලෙස බලපානු ඇත. මෙම මුදල් ලැබෙන ප්‍රධාන ක්ෂේත්‍රයන්වල ගාමක බලවේගය කාන්තාවන් බව රාජ්‍යය මෙන්ම පුරවැසියන් ද සිහියේ තබා ගැනීම වටී∎
හර්ෂ ගුණසේන
(Published in Samabima- 16th September 2011)

එහෙන් බැරිම නම් මෙහෙන් ගන්න

අපට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණේ මහා බ්‍රිතාන්‍යයෙනි. බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය සියවස් ගණනාවක් තිස්සේ විකාශනය වී එරටට උචිත වූ ක්‍රමයක් බවට පරිවර්තනය වී ඇත. පාර්ලිමේන්තුවේ ස්වෛරීත්වය මෙම ක්‍රමයේ ප්‍රධාන සාධකයකි.
අප රටේ දැනට ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇමරිකන් හා ප්‍රංශ ව්‍යවස්ථාවල සහ මෙම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයාගේ අත්තනෝමතික සිතුවිලිවල එකතුවකි. මෙම ක්‍රමයේ ව්‍යවස්ථාවල ප්‍රධාන සාධකය වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණයේ සමතුලිතභාවයයි.
මෙම ක්‍රම දෙක අනුව ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්හි ආණ්ඩු පිහිටවනු ලබන්නේ බහුතරයේ කැමැත්ත අනුවය. රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය වන්නේ සහ රාජ්‍යය ක්‍රියාත්මක වන්නේ වැඩි දෙනාගේ කැමැත්ත අනුවය.
බටහිර ප්‍රජාතන්ත්‍රවාදය මෙලෙස විකාශනය වී ඇත්තේ එම රටවල ජනතාවට ආවේණික වූ සිතුම් පැතුම්වලට අනුකූලවය. බටහිර රටවල ජනතාව ජීවිතය කෙරෙහි දක්වන්නේ පුද්ගලවාදී ආකල්පයකි. මෙම සංස්කෘතීන් තුළ පුද්ගල නිදහස හා පුද්ගලයන්ට විවිධ මත දැරීමේ නිදහස ඉතාමත් අගය කරනු ලැබේ. අනෙකාගේ මතයට එකඟ නොවූවත් එම මතය ඔහුට දැරීමට ඇති අයිතිය වෙනුවෙන් කැප වන බවට වූ වෝල්ටෙයාර්ගේ ප්‍රකාශය මෙම තත්ත්වය සංක්ෂිප්ත කර දක්වයි. පුද්ගලයන්ට විවිධ මත දැරීමේ ඇති නිදහස අගය කරන සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය විකාශනය විය හැක්කේ වැඩි දෙනාගේ කැමැත්තට ප්‍රමුඛතාවය දෙන ක්‍රමයක් මගින් පමණි.
ප්‍රජාතන්ත්‍රවාදය ග්‍රීක පෞර රාජ්‍යයන්හි පළමුකොටම ඇති වූ බව කියනු ලැබේ. ක්‍රි.පූ. හයවන සියවසේ බුදුන්ගේ කාලයේ ඉන්දියාවේ තිබූ ලිච්ඡවීන්ගේ රාජ්‍යය ප්‍රජාතාන්ත්‍රික එකකි. බුදුහු මෙම ආණ්ඩුක්‍රමයට ප්‍රශංසා කළහ. එමතුද නොව ඔවුන් අනුගමනය කරන අපරිහානීය ධර්ම හතක් දක්වා එම ධර්ම අනුගමනය කරන තාක් කල් ඔවුන් නොපිරිහෙන බවද උන්වහන්සේ වදාළහ. මෙම අපරිහානීය ධර්ම මෙසේ දැක්විය හැක.
01. එදිනෙදා පරිපාලන කටයුතු සාකච්ඡා කිරීම සඳහා නිතර රැස්වීම් පැවැත්වීම
02. එක්ව රැස්වීම, එක්ව වැඩ කිරීම සහ එක්ව විසිර යාම
03. රාජ්‍ය නීතිය උල්ලංඝනය නොකිරීම
04. වැඩිහිටියන්ට ගරු කිරීම
05. ස්ත්‍රීන්ට ගරු කිරීම සහ ඔවුන් ආරක්ෂා කිරීම
06. ආගමික වතාවත් අනුගමනය කිරීම සහ ආරක්ෂා කිරීම
07. පූජකවරුන්ට ගරු කිරීම
මෙම ධර්ම හත කරුණු තුනකට සාරාංශගත කළ හැකිය. එනම් සම්මුතිය, දුබලයන් ආරක්ෂා කිරීම සහ පිදිය යුත්තන් පිදීමය. බටහිර වැඩි දෙනාගේ කැමැත්ත වෙනුවට ලිච්ඡවී රාජ්‍යයේ් සම්මුතිය ආදේශ වී තිබේ.
සම්මුතියේ ප්‍රභවය පෙරදිග රාජ්‍යයන්හි ජනතාවගේ සිතුම් පැතුම් සහ සංස්කෘතීන් තුළ දක්නට ඇත. පෙරදිග ජනතාව සාමූහිකවාදී වෙති. අපරදිග ජනතාව මෙන් පුද්ගලවාදී නොවෙති. මෙම සාමූහිකවාදී බව තුළ විවිධ කණ්ඩායම් ඇතිවිය හැක. සමහර රටවල, සමහර අවස්ථාවන්හි මෙම කණ්ඩායම් පවුල් ඒකකය දක්වා කුඩා විය හැකි අතර සමහර අවස්ථාවන්හි සමස්ත රාජ්‍යයම එක ඒකකයක් වන සේ විශාල විය හැකිය. මෙම කණ්ඩායම්වල පුද්ගල නිදහසට වඩා කණ්ඩායමේ නිදහස සහ අභිවෘද්ධිය වඩාත් වැදගත් කොට සලකනු ලැබේ. එබැවින් පුද්ගලවාදී වන වැඩිදෙනාගේ කැමැත්ත වෙනුවට සාමූහිකවාදී වන සම්මුතිය ඉදිරියට පැමිණ තිබේ.
ජපන් වෙළඳ සමාගම්වල තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ සම්මුතිය දක්නට ඇත. සමාගම විසින් යම්කිසි තීරණයක් ගැනීමේදී අදාළ ක්‍රියාවලියට දායක වන සියලු දෙනාගේම අදහස් විමසා සියලු දෙනාගේම කැමැත්ත අනුව තීරණය ගනු ලැබේ. තීරණය ගැනීම සඳහා බොහෝ කල් ගතවන නමුත් එය ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ක්‍රියාත්මක කළ හැක.
ප්‍රංශ විප්ලවයේ පෙර ගමන්කරුවකු වන රූසෝ ‛රාජ්‍යය කුඩාවන තරමට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන’ බව පවසා තිබේ. එනම් කුඩා රාජ්‍යයන්හි සම්මුතිය ක්‍රියාත්මක කිරීම විශාල රාජ්‍යයන්ට වඩා පහසුය.
පුද්ගලවාදී සමාජයන්හි අනෙකාගේ මතය ඉවසීමද අත්‍යවශ්‍ය අංගයකි. එබැවින් වැඩිදෙනාගේ කැමැත්ත මත ඇතිවන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්හි ප්‍රතිවාදී මත දරන්නන් මර්දනය කිරීම අධානග්‍රාහී ක්‍රියාවක් ලෙස සැලකේ. එනමුත් සාමූහිකවාදී සමාජයන්හි තම කණ්ඩායමට ප්‍රතිවිරුද්ධ මත දරන්නන් මර්දනය කිරීම අධානග්‍රාහී ක්‍රියාවක් ලෙස නොසැලකේ. බටහිර පුද්ගලවාදී සමාජයන් තුළ විකාශනය වූ වැඩිදෙනාගේ කැමැත්ත මත පදනම් වන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම පෙරදිග සාමූහිකවාදී සමාජයන්හි ක්‍රියාත්මක කිරීමේදී වැඩිදෙනාගේ කැමැත්ත අධිකාරීභාවය හෝ සාහසිකභාවය දක්වා පරිහානියට පත්වේ.
එබැවින් සාමූහිකවාදී සමාජයන්හි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට නම් රාජ්‍යය ක්‍රියාත්මක විය යුත්තේ සියලු දෙනාගේ සම්මුතිය මත ලිච්ඡවීන් ක්‍රියාත්මක වූ ආකාරයටය. ප්‍රතිවිරුද්ධ අදහස් දරන දේශපාලන පක්ෂවල සාමාජිකයන් එකම ආණ්ඩුවේ ක්‍රියාත්මක වන සහ මහජනතාව නිරන්තරයෙන් ආණ්ඩුකරණයට ජනමත විචාරණ මගින් සහභාගී වන ස්විට්සර්ලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාව ඇතුළු පෙරදිග සාමූහිකවාදී රටවල් විසින් ආදර්ශයට ගත යුතුය∎
හර්ෂ ගුණසේන
(Published in Samabima -27 June 2011)

මරියකඬේ විදේශ ප‍්‍රතිපත්තිය



හර්ෂ ගුණසේන


ලංකාවේ දැන් තිබෙන්නේ මරියකඬේ විදේශ ප‍්‍රතිපත්තියකි. යම් කිසි ප‍්‍රශ්නයක් ඇති වූ විට පළමු කොටම දේශපාලන බැලයන් ලවා ප‍්‍රස්තුත ප‍්‍රශ්නයට හේතු වූ රාජ්‍යයට හෝ පුද්ගලයාට හෝ ප‍්‍රසිද්ධියේ දෝෂාරෝපණය කරවනු ලැබේ. මීට අමතරව රාජ්‍ය තාන්ත‍්‍රික මාර්ගයන් හරහා ප‍්‍රශ්නය විසඳීමට උත්සාහ ගනු ලැබේ. එම උත්සාහයන්ගේ ප‍්‍රවේශය හා ස්ථාවරය ප‍්‍රසිද්ධියේ කරන දෝෂාරෝපණවල ප‍්‍රවේශය හා ස්ථාවරයට වඩා බොහෝ සෙයින් වෙනස් විය හැක. 
මෙම මරියකඬේ විදේශ ප‍්‍රතිපත්තියේ ආරම්භකයා හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස යි. 1977 මහ මැතිවරණයට පෙර ප‍්‍රසිද්ධ    රැුස්වීම්වලදී ඉන්දිරා ගාන්ධි සහ ඇගේ පුත් සන්ජේ ගාන්ධි ඉන්දීය කොන්ග‍්‍රසයේ සලකුණ වූ එළදෙන සහ පැටියාට උපමා කරමින් ඔහු විසින් අපහාසාත්මක ප‍්‍රකාශ කරන ලදී. එයට පසු ඔහු ජනාධිපතිව සිටි යුගයේ ඉන්දීය හමුදාවට ලංකාවෙන් ඉවත් වෙන ලෙස ඔහු විසින් කරන ලද ප‍්‍රසිද්ධ කතාවකදී දැනුම් දෙන ලදී.
පේ‍්‍රමදාසගේත් වර්තමානයේත් වෙනස නම් වර්තමානයේ දේශපාලන බැලයන් ලවා කරවන දෙය පේ‍්‍රමදාස තමා විසින්ම කිරීමයි.
විදේශ සබඳතා සහ විදේශ ප‍්‍රතිපත්තීන් ඉතා පරිස්සමෙන් සහ ගෞරවාන්විතව හැසිර විය යුතුය. සමහරවිට පුද්ගලික හැසිරීමද හොඳ සම්බන්ධතාවකට මුල් විය හැකිය. ලංකාවට නිදහසින් වසර 50 ක් පිරුණු දා පැවැත් වූ උත්සවයේ විශේෂ ආරාධිතයන් පිළිගනු ලැබුවේ එවකට විදේශ ඇමති වූ ලක්ෂ්මන් කදිරගාමර් විසිනි. එම කටයුත්ත ඔහු විසින් මනාව ඉටු කරන ලදී. අතට අත දෙන ආකාරය, කතා කරන ආකාරය සහ හැසිරීම ඉතා ප‍්‍රශස්ත මට්ටමක විය. ඉන්පසුව වඩාත් වැදගත් අමුත්තන් පිළිගැනීමට පැමිණියේ ප්‍රොටොකෝලයේ ඉහළ තැනක සිටි ස්වදේශ ඇමති රත්නසිරි වික‍්‍රමනායකයි. ඔහුගේ හැසිරීම උත්සවාකාර නොවන ‘හලෝ මචං’ මට්ටමේ එකකි. 
කලකට පෙර ලංකාවේ නොබැඳි විදේශ ප‍්‍රතිපත්තියට ඉතා ඉහළ පිළිගැනීමක් ජාත්‍යන්තරයට තිබුණි. බණ්ඩාරනායක මැතිනිය අගමැතිව සිටි කාලයේ නැගෙනහිර පකිස්තානය සහ බටහිර පකිස්තානය අතර යුද්ධයක් ඇවිළී අවසානයේ නැගෙනහිර පකිස්තානය බටහිරින් වෙන්ව බංගලිදේශය නමින් වෙනම රාජ්‍යයක් ඇති විය. මෙම ක‍්‍රියාවලියට ඉන්දියාවේ නොමඳ සහයෝගය ලැබුණි. බටහිර පකිස්තානයේ සිට                නැගෙනහිර පකිස්තානයට ගුවන් මගින් යා යුත්තේ ඉන්දියාව හරහාය. එවකට ඉන්දීය අගමැතිව සිටි ඉන්දිරා ගාන්ධි බටහිර පකිස්තාන් ගුවන් යානාවලට ඉන්දියාවට උඩින් පියාසර කිරීම තහනම් කළාය. පකිස්තාන් රාජ්‍ය නායකයා ලංකාව හරහා සිය ගුවන් යානාවලට පියාසර කිරීමට බණ්ඩාරනායක මැතිණියගෙන් අවසර පැතීය. එවකට ලංකාවට ඉන්දියාව සමග ඉතා හොඳ මට්ටමේ සම්බන්ධතාවක් තිබුණ අතර දෙරට රාජ්‍ය නායකයන් අතර ද සමීප සම්බන්ධතාවක් තිබුණි. බණ්ඩාරනායක මැතිණිය පකිස්තානයට අවශ්‍ය පහසුකම් සැලසූ අතර මේ හේතුවෙන් ලංකාවේ ඉන්දීය සබඳතා පළුදු නොවීය.
ලංකාවට තිබූ මෙම ජාත්‍යන්තර ගෞරවණීය තත්වය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති වූ පසු පිරිහීමට ලක් විය. ඉන්දියාව මනාව හසුරුවා ගැනීමට ඔහුට නොහැකි වූ අතර ජාත්‍යන්තර නොබැඳි විදේශ ප‍්‍රතිපත්තියට වඩා සිය මිත‍්‍රයන්ට සලකන ප‍්‍රතිපත්තියකට ලංකාව මාරු වූ අතර මිතුරන්ගෙන් අවශ්‍ය අවස්ථාවල බලාපොරොත්තු වූ ප‍්‍රතිලාභ ද නොලැබී ගියේය.
චන්ද්‍රිකා කුමාරතුංගගේ ධූර කාලයේදී ලක්ෂ්මන් කදිරගාමර් විදේශ ඇමතිවරයා විසින් ජාත්‍යන්තර තලයේදී කරන ලද අතිවිශාල කාර්යභාරය ඇගේ ධූර කාලයේදී සිදු වූ එකම ප‍්‍රමාණාත්මක වෙනස ද විය හැකිය.
ආර්. පේ‍්‍රමදාස විසින් ආරම්භ කළ මරියකඬේ විදේශ ප‍්‍රතිපත්තිය වර්තමාන පාලකයන් විසින් වඩාත් උත්කර්ෂයට නංවා ඇත. එනම් රාජ්‍යතාන්ත‍්‍රික වශයෙන් ඍජුව කතා කර තම අදහස් නොපැකිළිව ඉදිරිපත් කර ප‍්‍රතිවාදියා තම මතයට නම්මා ගැනීමට ඇති නොහැකියාවයි. මෙයින් සිදුවන්නේ ජාත්‍යන්තර තලයේ අවඥාවට ලක් වීමයි.
මරියකඬේ විදේශ ප‍්‍රතිපත්තියට වත්මන් පාලකයන් විසින් ‘බුරුමයට හැකි නම් අපට නොහැකි ඇයි?’ මාදිලියේ අලූත් එකතු කිරීමක් ද කර ඇත. බුරුම ජුන්ටෝ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කරන ඉල්ලීම්වලට නිසි සැලකිල්ලක් නොදක්වති. එනමුත් චීනයේ පිහිටෙන් පාලනය පවත්වා ගෙන යාමට ඔවුන්ට හැකි වී තිබේ.
පසුගිය යුද්ධයේ අවසාන අදියරේදී ස්වීඩන් විදේශ අමාත්‍යවරයා ද බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රංශ විදේශ ඇමතිවරුන් සම`ග මෙරටට පැමිණීමට බලාපොරොත්තු විය. එනමුත් ඔහුට එ් සඳහා වීසා නිකුත් නොකරන ලදී. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ අපේ මහවැලි ව්‍යාපාරයට විශාල වශයෙන් ආධාර දුන් ස්වීඩනය සිය තානාපති කාර්යාලය ලංකාවෙන් ඉවත් කර ගැනීමයි.
අපේ වෙළඳ ගනුදෙනු වැඩි වශයෙන්ම ඇත්තේ බටහිර රටවල් සම`ගයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සම`ග මනා සම්බන්ධතාවක් පවත්වා ගැනීම අප වැනි කුඩා රටකට අත්‍යවශ්‍ය කොන්දේසියකි. එබැවින් බටහිර රටවලට සහ එක්සත් ජාතීන්ට එරෙහිව මරියකඬේ විදේශ ප‍්‍රතිපත්තිය භාවිතයේ යෙදවීම අමනෝඥ කි‍්‍රයාවකි.x
(Published in Samabima)

නවත්වන්න ඔල්වරසන් නවත්වන්න බොන ජයපැන් එ් මැරුණේ අපේ කෙනෙක් අපේ ගෙදර ළ`ග නෑයෙක්


 හර්ෂ ගුණසේන


දැන් දෙමළ අන්තවාදය යුද්ධමය වශයෙන් පරාජය කර ඇත. දෙමළ අන්තවාදය ශක්තිමත් කළ සිිිිිංහල අන්තවාදය වඩාත් ප‍්‍රබල වී ඇත. අද ජාතික ප‍්‍රශ්නයක් නැති ලෙසට රාජ්‍යය හැසිරෙන්නේ එබැවිනි. ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමට යෝජනා කිරීම වැනි අමනෝඥ කි‍්‍රයාවලින් රාජ්‍යයේ අපරිණත මානසිකත්වය එළි දැක්වේ. මෙවැනි මානසිකත්වයකින් යුතු නායකත්වයකට රාජ්‍යයක් තබා කර්මාන්ත ශාලාවක්වත් මනාව පාලනය කළ නොහැක. නොමනාව පාලනය කළ හැක. එය බුරුම මිලිටරි ජුන්ටන් හෝ විමුක්තිකාමියකුගේ සිට කෲර පාලකයකුගේ මට්ටමට පිරිහුණුු රොබට් මුගාබේ මෙනි.
රට මුහුණ දී තිබෙන මෙම තීරණාත්මක අවස්ථාවේදී සොළී සතුරු හමුදාවන් පරාජය කර රට දිනූ දුටුගැමුණු සහ පළමුවන විජයබාහු යන ශ්‍රේෂ්ඨ රාජ්‍ය තාන්ති‍්‍රකයන් දෙදෙනා යුද්ධ ජය ගැනීමෙන් පසු දැරූ ආකල්ප නිර්වින්දනය වී සිටින අපේ සමාජයේ යහපත ස`දහා විමසා බලනු වටී. එයට පෙර සිංහලයන් අතර පවත්නා දුර්මතයක් සාකච්ඡුා කිරීමට කැමැත්තෙමි. එනම් ‘අතීතයේදී ද්‍රවිඩයන් ජාතියක් වශයෙන් සිංහලයන් ආක‍්‍රමණය කළ බව’යි. මෙම ප‍්‍රවාදය ඉතිහාසගත සාක්ෂි අනුව බිඳ හෙළිය හැක. අතීතයේදී සිදු වූයේ රාජ කුමාරවරුන් අතර බලය හා ආධිපත්‍යය සඳහා වූ යුද්ධයි. එ්වාට ජාති හෝ වර්ගය හෝ සාධකයන් නොවීය.
ලක්දිව රාජ කුමාරවරු ස්වකීය අභ්‍යන්තර අරගලවලදී බොහෝ විට දකුණු ඉන්දියානු ආධාර පැතූ බව වංශ කතාවල සඳහන් වේ. ධාතුසේන රජුගේ පුත් මුගලන් සිය සොහොයුරු වූ කාශ්‍යප සම`ග යුද කිරීමට රැුගෙන ආවේ දකුණු ඉන්දීය සේනාවකි. ”සලමෙවන් රජු රජ කරන කල දෙටුතිස් කුමර මයිල් සිරිනාග තෙමේ එතෙර ගොස් බොහෝ දෙමළුන් ගෙන අවුත් උතුරු රට ගන්ට පටන් ගත.” ”සිරිස`ගබෝ (අග්බෝ කුමර* දෙමළු කැටිව ලක්දිව පැමිණ දෙටුතිස් මරා රජ විය.” ”දළ සිව් නැමැති දෙටුතිස්ගේ ඇමැති දෙමළ සෙන් ගෙනවුත් සිරිස`ගබෝ නැවත දඹදිවට පළවා හැරීය.” ”මානවම්ම  දඹදිව බොහෝ කලක් සිට එරජු හා මිතුරු වී ද්‍රවිඩ සේනා ගෙන ලක් රජය ගත්තේය.” යනාදී වශයෙන් ලංකා ඉතිහාසය මුළුල්ලේම දක්නට ලැබෙන මෙවැනි සිද්ධීන් ජාතිවාදී පදනමක් උඩ ඇති විය හැකි දැයි විමසා බැලිය යුතුය. එකල තිබූ චෝල, පාණ්ඩ්‍ය, කේරළ ආදී ද්‍රවිඩ රාජ්‍යයන් අතර ද නිරතුරුවම යුද්ධ පැවතිණි. 
සමහර අවස්ථාවලදී සිංහල රජවරු දකුණු ඉන්දියාව ආක‍්‍රමණය කළහ. දෙවන සේන (නමවෙනි සියවස*, පස්වන කාශ්‍යප (10 සියවස*, සිව්වන උදය (10 සියවස* සහ මහා පරාක‍්‍රමබාහු (12 සියවස* ඔවුන්ගෙන් සමහරෙකි. මාඝ ලක්දිව ආක‍්‍රමණය කරන සමයේ මෙරට සිටියේ සිංහල රජෙක් නොවේ. ”ධාර්මික යැයි සිතිය හැකි පරිදි රජ කළ” පරාක‍්‍රම නම් පාණ්ඩ්‍ය කුමාරයායි. ඔහුට කලින් රජ කළ ලෝකේශ්වර කාලිංග වංශිකයෙකු වූ බවත් සොළීන්ට විරුද්ධව සටන් කළ බවත් කොට්ටන්ගේ ගිරි ලිපිවලින් ඔප්පු වේ. මහා පරාක‍්‍රමබාහු සොළී, පඬි සේනා සමඟ පමණක් නොව බුරුමයට ද විරුද්ධව සටන් කළ බවට චූල වංශයේ එන විස්තරය දෙවනගල සෙල්ලිපියෙන් සනාත වේ. බුරුමය දෙමළ රටක් නොවේ. ලංකාව හා ඉපැරණි සබඳකම් තිබූ බෞද්ධ රටකි. මෙරට පළමු රජු වූ විජය, රටේ ප‍්‍රගතියට බොහෝ දෑ කළ නිශ්ශංකමල්ල සහ ලක්දිව දරුණු ලෙස විනාශ කළ මාඝ ද පැමිණියේ එකම කාලිංග දේශයෙනි. කි‍්‍ර.ව. 560 දී කීර්ති ශී‍්‍ර රජු දවස දන්ත ධාතුව මෙරටට ගෙන ආවේ ද කාලිංග දේශයෙනි. එම කරුණු අනුව ‘දෙමළුන් ලංකාව විනාශ කළා’ යන වැකියෙන් ගම්‍ය වන ‘දමිළයෝ ජාතියක් වශයෙන් සිංහලයන් ආක‍්‍රමණය කළහ’ යි යන අදහස නිසරු එකක් බවත් එකල පැවතියේ රාජ කුමාරවරුන් අතර බලය සඳහා කෙරුණු යුද්ධ බවත් පැහැදිලි විය යුතුය.
පුරාතන යුගයේ සිට සිංහල රජවරු ද්‍රවිඩ රජ කුමරියන් සරණ පාවා ගත්හ. ඔවුහු ජාතිවාදය නොතැකූ අතර රදළ සම්බන්ධතාව උසස් කොට තැකූහ. චන්ද්‍රමුඛ රජුගේ බිසව ද්‍රවිඩ දේවියකි. මහානාම රජුට දාව ද්‍රවිඩ ස්ත‍්‍රියක කුස උපන් සොත්ථිසේන එක් දිනක්් රාජ්‍යය කළේය. කුප‍්‍රකට අනුලා දේවියට දමිළ සැමියන් දෙදෙනෙක් සිටියහ. සිංහල රාජ්‍යයට පසු කලෙක නායක්කාර් වංශිකයන් පත් වූයේ ද සිංහල රජුන්ගේ ඉහත සඳහන් සිරිත නිසාය. 6 වන පැරකුම්බා රජුගේ දුව ලෝකනාථා විවාහ වූයේ ද්‍රවිඩ ජාතිකයකු සමඟය. 6 වන බුවනෙකබා නමින් රජ වූ සපුමල් කුමරුගේ පියා ද ද්‍රවිඩ ජාතිකයෙකි. එකල සිටි යුද්ධ සේනාවෝ දමිළයන්ගෙන් සමන්විත වූහ. අගම්පඩි සේනාවට සිංහලයන් ද සිටි නමුත් බොහෝ විට කේරල, කර්ණාටක ආදී දකුණු ඉන්දියාවෙන් පැමිණි ජනයා මේ ගණයට අයත් වූහ. කුලියට ගත් යුද භටයන් කොටසක් වූ වේලක්කාර සේනාව සමන්විත වූයේ ද්‍රවිඩයන්ගෙනි. පළමු වරට සිංහල රජුට සේවාකම් කළ දමිළයන් ගැන සඳහන් වන්නේ කි‍්‍ර.ව. 3 වන ශත වර්ෂයේ අග භාගයේදීය.
ද්‍රවිඩ භික්ෂුහූ එකල ලංකාවේ සිටියහ. චෝල රටේ උරග පුරයේ උපන් බුද්ධදත්ත හිමියෝත් කාඤ්චී පුරයේ උපන් බෑරතිත්ථ ධම්මපාල හිමියෝත් ද්‍රවිඩ ජාතික අටුවාචාරීන් වහන්සේලාය. සොළී රටින් පැමිණි භික්ෂූන් කොටසක ප‍්‍රධානියා වූ සංඝමිත‍්‍ර සහ මහසෙන්ගේ ආචාර්යවරයා වීය. සමහර යුගවලදී දකුණු ඉන්දියානු ද්‍රවිඩ රටවලදී බුද්ධ ධර්මයට රාජ්‍ය අනුග‍්‍රහය ලැබුණු බව පැහැදිලි වෙයි.
එකල විද්‍යාස්ථානයන්හි ද්‍රවිඩ භාෂාව ඉගැන්වුණි. වෝහාරතිස්ස රජුගේ ඇමතියෙකු වූ කපිල ද්‍රවිඩ භාෂා විශාරදයෙකි. සය වන අග්බෝ රජුගේ ඇමතියෝ ද්‍රවිඩයෝ වූහ. දෙවන පැරකුම්බා ද්‍රවිඩ භාෂාව දැන සිටි බව දඹදෙණි අස්නෙන් පැහැදිලි වේ. එකල අපේ භාෂා සාහිත්‍යයට ද්‍රවිඩ භාෂාව තදින් බලපෑ බව උමන්දාව වැනි පොත් සාක්ෂි දරයි. ද්‍රවිඩ භාෂාව සහ සාහිත්‍ය තොටගමුවේ විජයබා පිරිවෙනේ ද උගන්වන ලදී. 1815 ගිවිසුමේදී මොණරවිල කැප්පෙටිපොල, ගලගොඩ හා ගලගම යන තිදෙනා හැරුණු විට අනෙක් අය අත්සන් කළේ දෙමළෙනි. මෙකල ඉංග‍්‍රීසිය මෙන් එකල දෙමළ ”ප‍්‍රභූවරුන්ගේ භාෂාවක්ව” තිබුණු බව එයින් පිළිගත හැකිය.
සමහර දෙමළ රජවරු බෞද්ධයන්ව සිටි බව පෙනේ. ක‍්‍රි.ව. 5 වන ශත වර්ෂයේ සිටි කුඩා පාරින්ද නම් දෙමළ රජු බෞද්ධයෙකුව සිටි බව ඔහුගේ අනුරාධපුර සෙල් ලිපියෙන් නිගමනය කළ හැකිය. අසද්දා කව ලියූ රාජාධි රාජසිංහ මෙන්ම අනෙක් නායක්කාර් වංශික රජවරුද බෞද්ධයෝ වූහ. පොළොන්නරු යුගයේ සිංහල කලා ශිල්පවල හින්දු බලපෑම ශිව දේවාල, ප‍්‍රතිමාඝර සහ සඳකඩ පහණින් ගවයා ගිලිහී යාම වැනි කරුණුවලින් පැහැදිලි වෙයි. ලංකා ඉතිහාසය මුළුල්ලේම පවතින ද්‍රවිඩ සම්බන්ධතා ගැන සලකා බලන විට ජාති භේදවාදී හැගීම් එකල පැවතුණු බවට පැහැදිලි සාක්ෂි නොමැත.
යුද්ධයෙන් පසුව පළමුවන විජයබාහු දෙමළ ජනතාව සමඟ අදහස් හුවමාරු කිරීමට දෙමළ භාෂාව භාවිත කළ අතර ඔවුන්ගේ ඇදහිලි ක‍්‍රම යටපත් නොකර එ්වාට රාජ්‍ය අනුග‍්‍රහය ලබා දුන් බවට සාක්ෂි ඇත. එමතුද නොව ඔහු සොළීන් සමඟ මිත‍්‍ර සම්බන්ධතාද ඇති කරගෙන ඇත.
පළමුවන විජයබාහු රජතුමාගේ කාලයේදී කරවන ලද පාලමෝට්ටෙයි (කන්තලේ අසළ* දෙමළ සෙල් ලිපියේ බ‍්‍රාහ්මණ කාන්තාවක් විසින් ශිව දෙවියන්ට කරන ලද පරිත්‍යාගයන් ගැනත් එයට වේලක්කාර සේනාව මගින් ආරක්ෂාව ලබා දීමක් ගැනත් සඳහන් වේ. මේ පිළිබඳව විස්තරයක් ලියන ආචාර්ය පරණවිතාන  මේ ශිව දේවාලය කරවන ලද්දේ පළමුවන විජයබාහු විසින් හෝ එතුමාගේ අනුග‍්‍රහය යටතේ හෝ විය හැකි බව සඳහන් කරයි. ආචාර්ය පරණවිතාන මෙසේ ද කියයි. ”විජයබාහු සම්බන්ධව මෙතෙක් සොයා ගත් ඓතිහාසික ලේඛන හා සෙල් ලිපි අනුව ඔහු බුදු සමයේ ශ්‍රේෂ්ඨ අනුග‍්‍රහයෙකු බවත් චෝල සමයේ පහත් තත්වයක වැටුණු බුදු සමය න`ගා සිටුවීමෙහිලා ඔහු මුළු ශක්තියම යෙද වූ බවත් පැහැදිලිය. නමුත් මෙම සෙල්ලිපියෙන් පැහැදිලි වන පරිදි බුදු සමය කෙරේ ඔහු තුළ පැවති ප‍්‍රබල ලැදියාව ඔහුගේ යටත් වැසියන් අතර ප‍්‍රචලිත වූ ඇදහිලිවලට ඔහුගේ අනුග‍්‍රහය පුළුල් කිරීමට බාධකයක් නොවීය.’’ 
පළමුවන විජයබාහු තනිකරම දෙමළ හින්දු ප‍්‍රදේශවල බුදු පිළිම ගොඩ නොනංවන්නට ඇතැයි අනුමාන කරමි. නිකවැරටිය අසළ බුදු මුත්තාවෙන් ක‍්‍රි.ව. 1122 කරවන ලද දෙමළ ටැම් ලිපි දෙකක් හමුවී ඇත :ෑග2ගඪදක සසස*. වීරබාහුගේ     (මෙ නම් එවකට ප‍්‍රදේශාධිපතිව සිටි මානාභරණ යැයි ආචාර්ය පරණවිතාන සඳහන් කරයි* නිලධාරීන් පැරණි සිරිත් විභාග කර බලා, කම්මල්කරුවන්ට ”කොට්ට කලූ” බඩු ගෙන යන අශ්වයන්ගේ සෑදැල සහ මළවුන්ගේ මුහුණු ආවරණය සඳහා රෙදි ආදිය භාවිතයට ඉඩ ඇතැයි තීරණය කර රෙදි සෝදන්නන්ට ඔවුන්ගේ සේවය එ් අනුව ඉටු කරන ලෙස නියෝග කිරීමක් ගැන මෙයින් පළමු වන ලිපියේ සඳහන් වේ. එ් යුගයේ රජය දෙමළ ජනයා සමග කටයුතු කිරීමේදී මාධ්‍ය ලෙස දෙමළ භාෂාව යොදාගත් බව මෙයින් පැහැදිලි වෙයි. දෙවන ලිපියේ ස`දහන් වන්නේ සොළී රජ කුමරියන් ඊශ්වර දේවාලයකට දුන් පහනක් නඩත්තු කිරීම සඳහා කළ මුදල් පරිත්‍යාගයක් ගැනයි. මේ ලිපියෙන් පැහැදිලි වන පරිදි එවකට ලංකාව සොළීන් සමග මිත‍්‍ර සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබූ බව පෙනෙතැයි ආචාර්ය පරණවිතාන කියයි.  දුටුගැමුණු ලංකාව බිහි කළ ශ්‍රේෂ්ඨතම දේශපාලනඥයෙකි. ඔහුට සටන් කිරීමට සිදු වූයේ එවැනිම ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙක් වූ එළාර සම`ගය.    දුටුගැමුණු ප‍්‍රධාන චරිතය කොට ගත් වීර කාව්‍යයක් ලෙස රචිත මහාවංශය එළාරගේ දුර්ගුණයකට දක්වන්නේ ඔහු නොනසන ලද මිථ්‍යාදෘෂ්ටි ඇතිව විසූ බව පමණි. ඍජු ස්වභාව ඇති එළාර නම් දෙමළ තෙමේ යනුවෙන් පටන් ගන්නා මහාවංශ විස්තරය රජ තෙමේ විනිශ්චය කාලයේ සතුරන් කෙරෙහිත් මිතුරන් කෙරෙහිත් මධ්‍යස්ථ වී යනුවෙන් ද සඳහන් කරයි. එක් දිනක් එළාර භික්ෂුන් හමු වී ආපසු එන අතරතුර ඔහුගේ රථය වැදීමෙන් චෛත්‍යයක කොටසක් කැඞී ගියේය. එකල ඔහු රථයෙන් බැස ”චක‍්‍රයෙන් මාගේ හිස ද සිඳිව්” යැයි මඟ හොත් බව මහාවංශයේ සඳහන් වේ. නමුත් මහාවංශයේම වළගම්බා පින් චෝරනාග ගැන ”එ් පාපිෂ්ට තෙම ලෝකාන්තරික නිරයෙහි උපනි” යනුවෙන් ද මහසෙන් ගැන ”පවිටු වූ මහසෙන් රජු” යනුවෙන් ද සඳහන් වේ.
යුද්ධයේදී අවසන් අදියරේදී තරුණ වියේ පසු වූ දුටුගැමුණු විසින් දෙපාර්ශවයේම සේනාව විනාශ වීම වැළැක්වීම සඳහා යෝජනා කළ ද්වන්ද්ව සටනට එවකට වයස 70 ක් පමණ වූ එළාර කැමැති වීම මගින් මොවුන් දෙදෙනාගේ විශේෂයෙන්ම එළාරගේ ශ්‍රේෂ්ඨත්වය විද්‍යමාන වේ.
යුද්ධයෙන් පසු දුටුගැමුණු විසින් එළාර සොහොන නිර්මාණය කරන ලද්දේ එම ශ්‍රේෂ්ඨ මිනිසාට ගෞරව කිරීමට අමතරව යුද්ධයෙන් පරාජය වූ ජනතාවට ගෞරව කිරීමටයි. ඉන්පසු දුටුගැමුණු, එම ස්ථානය පසු කර යන  ඕනෑම කෙනෙකු රථයෙන් බැස පයින් ගමන් කළ යුතු බවට නියෝග කළේය. මෙම නියෝගය කෙතරම් බලවත් වීද යත් දුටුගැමුණුගේ සොහොයුරාගේ බාල පුත් වළගම්බාට, සොළී ආක‍්‍රමණයකින් පසු පළා යන විට එළාර සොහොන පා ගමනින් පසු කර යාමට සිදු වීම නිසා                   ආක‍්‍රමණිකයන්ගෙන් බේරීමට සිය බිසව වූ සෝමා දේවිය රථයෙන් බස්වා පළා යාමට සිදු විය.
පරාජිතයෙකුට මේ තරම් ගෞරව කළ අවස්ථාවක් ලංකා ඉතිහාසයෙන් සොයා ගැනීමට නොහැක. මෙය ලෝක ඉතිහාසයේද අසාමාන්‍ය සිදු වීමකි.     දුටුගැමුණුගේ සහ පළමුවන විජයබාහුගේ විශිෂ්ට රාජ්‍ය තාන්ත‍්‍රිකභාවය ආදර්ශයට ගැනීම වත්මන් රාජ්‍ය පාලකයන්ගේත් ඔවුන්ට බලපෑම් කරන සිංහල අන්තවාදීන්ගේත් නිර්වින්දනය වී සිටින සිංහල සමාජයේත් වගකීමක් හා යුතුකමක් වන්නේය.
දෙමළ අන්තවාදය ද සිංහල අන්තවාදය ද මතවාදී තලයේදී පරාජයට පත් කිරීම අද ජීවත් වන දමිළයන්ගේත් සිංහලයන්ගේත් ඓතිහාසික කාර්යභාරය වන්නේය. මේ සඳහා මූලිකත්වය ගත හැකි වන්නේ මධ්‍යස්ථ මතධාරී සිංහලයන්ටයි x
(Published in Samabima)

විකීලීක්ස් කතා වස්තුව


හර්ෂ ගුණසේන
ලිඛිත ව්‍යවස්ථාවල නිශ්චිත වශයෙන් අර්ථ දක්වා ඇතත් නැතත් නූතන රාජ්‍යයන්හි ජනතා පරමාධිපත්‍යය යනු මූලික සංකල්පයකි. මෙය ප‍්‍රංශ ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ෙඡ්දයේ පැහැදිලිව සඳහන් කර ඇත. ලාංකික ව්‍යවස්ථාවේ තුන්වන සහ සතරවන ෙඡ්ද වල මෙය වඩාත් පැහැදිලිව අර්ථ ගන්වා ඇත.
ජනතා පරමාධිපත්‍යය කෙළින්ම ක‍්‍රියාවට නැගුවහොත් අරාජික තත්ත්වයක් ඇතිවන බැවින් එය ක‍්‍රියාවට නගන්නේ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය මඟිනි. සංකල්පයක් වශයෙන් පිළිගත්ත ද ක‍්‍රියාත්මක කිරීමේදී ජනතා පරමාධිපත්‍යය බොහෝ ගැටළු සහගත තත්ත්ව වලට මුහුණ පායි.
බලයට පැමිණීමට පෙර අහෝසි කරන බවට ප‍්‍රතිඥ දෙන, බලයට පැමිණි පසු වඩාත් ශක්තිමත් කරනු ලබන අපගේ වර්තමාන ව්‍යවස්ථාව යටතේ මෑත කාලීන ලංකාවේ ජනතා පරමාධිපත්‍යය වනාහි, පාලකයන් විසින් මැතිවරණ වලදී බොහෝ විට සොරකම් කරනු ලබන පාලිතයන්ගේ මනෝභාවයෙන් හෙබි ඇතැම් සරසවි ඇදුරන් ද ඇතැම් විදග්ධයන් ද ඇතුළු අවරගනයේ ඡුන්ද දායකයන් විසින් මැතිවරණ වලදී ස්ව කැමැත්තෙන් දන්දෙනු ලබන මැතිවරණ දෙකක් අතරතුර බලූවන අපූර්ව වූ ප‍්‍රපංචයකි.
නූතන රාජ්‍ය වල ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණ යන මූලික අංග තුන හැරුණු කොට භාෂණයේ සහ ප‍්‍රකාශනයේ නිදහස සහතික කරනු වස් පුවත්පත්ද ජනතා පරමාධිපත්‍යය විෂයෙහි ලා ඉතා වැදගත් කාර්ය භාර්යයක් ඉටු කරයි. ජුලියන් අසාන්  ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කර ඇති පරිදි විකීලීක්ස් වෙබ් අඩවියේ පරමාර්ථය භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස මුල් කොට ගත් බටහිර පුරුෂාර්ථයන් උත්කර්ෂයට නැංවීමයි. බටහිර අධිකාරිවාදී රාජ්‍යයන් සැබෑ ලෙසම කරමින් සිටින්නේ බටහිර පුරුෂාර්ථයන්ට ප‍්‍රතිවිරෝධී ක‍්‍රියාවලියකි. මෙම ක‍්‍රියාවලියට විරුද්ධ වීම බටහිර පුරුෂාර්ථයන්ට පක්ෂවීමකි. එනම් බටහිරට පක්‍ෂවීමකි. විරුද්ධ වීමක් නොවේ. විකිලීක්ස් වෙබ් අඩවිය පසුගියදා ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට අදාළ රහස්‍ය තොරතුරු හෙළි කරමින් විශාල ආන්දෝලනයක් ඇතිකර ඇත.
සඳ දෙස බලන්නැයි ඇඟිල්ල දික්කර පෙන් වූ විට සඳ දෙස නොබලා ඇඟිල්ල දෙස බැලීමේ පෘතග්ජන ව්‍යවහාරයට අනුව විකිලීක්ස් මඟින් අනාවරණය කරනු ලැබූ තොරතුරු දෙස නොබලා එම තොරතුරු සන්නිවේදනය කරනු ලැබූ ඇමෙරිකානු රාජ්‍ය තාන්ත‍්‍රිකයන් දෙස බැලීමට බොහෝ විචාරකයෝ කැමැත්තක් දක්වති. ඇමරිකන් නිලධාරීන් විසින් මේ ප‍්‍රකාශ කර ඇත්තේ ඔවුන් දරන අව්‍යාජ අදහස්ය. මේ අව්‍යාජ අදහස් මඟින් හෙළිවන අදාළ රටවල ප‍්‍රමුඛ පුද්ගලයන්ගේ ක‍්‍රියා කලාපය විශ්ලේෂණය කර බලනු වටී. මීට අමතරව ඇමෙරිකාව විසින් ඉරාකයේ සහ ඇෆ්ඝනිස්ථානයේ සිදු කර ඇති යුද අපරාධ ගණයේ ලා සැලකිය හැකි නොයෙකුත් ක‍්‍රියාකාරකම් ද විකිලීක්ස් මඟින් හෙළිදරව් කර ඇත. මේ හෙළිදරව් කිරීම් වලට ප‍්‍රතික‍්‍රියා වශයෙන් ජුලියන් අසාන් ට හා මේ තොරතුරු වෙබ් අඩවියට සැපයූ සෙබලාට නොයෙක් වර්ගයේ දඬුවම් නියම කළ යුතු බවට ප‍්‍රමුඛ ඇමරිකන් දේශපාලනඥයකු විසින් අදහස් දක්වා ඇත.
මේ මඟින් ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත ඉතා ප‍්‍රකට ලෙස එළි දැක්වේ. පළමු කොට ලංකාව ඇතුළු  වෙනත් රටවල යුද අපරාධ ගැන පරීක්ෂණ කළ යුතු යැයි හඬ නඟන ඇමෙරිකාව තමන් විසින්ම යුද අපරාධ කරන සහ කරවන රටකි. දෙවනුව ඇමෙරිකාව භාෂණය හා ප‍්‍රකාශනයේ නිදහස අගය කරන අතරම එම නිදහස තමන්ට එරෙහිව පාවිච්චි කරන විට එයට විරුද්ධ වන රටකි. විකිලීක්ස් විසින් අනාවරණය කරන ලද්දේ රාජ්‍යයන් විසින් ජනතාවට වසන් කළ තොරතුරුය. මෙම අනාවරණය අදාළ පුද්ගලයන්ගේ හෝ රාජ්‍යවල හෝ අනු දැනුම ඇතුව නොකළ බැවින් එය සොරකමකි. එනමුත් මෙම අනාවරණය කිරීම් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සනාථ කෙරෙන සහ එමඟින් ජනතා පරමාධිපත්‍යයද සනාථ කෙරෙන බැවින් මෙම ක‍්‍රියාව සොඳුරු සොරකමකි. මෙම තොරතුරු දැන ගැනීම මඟින් ලොවපුරා වෙසෙන සාමාන්‍ය ජනතාව වඩාත් බලවත් වී ඇත. එමෙන්ම අනාගතයේදී ලෝක ඉතිහාසය වඩාත් නිවැරදිව සහ විස්තර සහිතව ලියැවීමට මෙය හේතුවක් වනු ඇත.
එමතුද නොව දැනට හෙළි කර ඇති තොරතුරු පාදක කොටගෙන අනාගතයේදී බල රහිත පුද්ගලයන් විසින් බල සහිත පුද්ගලයන්ට අභියෝග කළ නොහැකි වන කල්හි බල සහිත පුද්ගලයන්ගේ නොයෙකුත් අගතිගාමී ක‍්‍රියා බලරහිත පුද්ගලයන් විසින් විකිලීක්ස් හෝ එ් සමාන වෙනත් වෙබ් අඩවි වලට හෝ මුදා හැරෙනු ඇත. මෙමඟින් අවසාන පරමාධිපත්‍යය හිමි ජනතාව වඩාත් ශක්තිමත් කෙරෙන අතර රාජ්‍යයන්ට වඩාත් වගකීම් සහගතව ක‍්‍රියා කිරීමට බල කෙරෙනු ඇත. විකීලීක්ස් මඟින් දැනට අනාවරණය කර ඇත්තේ ප‍්‍රධාන වශයෙන් ඇමෙරිකාවට සම්බන්ධ රහස් තොරතුරුය. අනාගතයේදී ඇමෙරිකාව තරම් විවෘත නොවන අධිකාරී වාදී චීනය සහ වෙනත් එවැනි රාජ්‍යයන්ට සම්බන්ධ රහස් තොරතුරුද අනාවරණය වීමට ඉඩ තිබේ. එමෙන්ම තවත් කාලයක් යනවිට විකිලීක්ස් අනාවරණය කරන්නේ තෝරාගත් තොරතුරු පමණක්ද යන බවද අනාවරණය වනු ඇත.
(published in Samabima)

මැද පෙරදිග ලාභ ශ‍්‍රමය මත රැදෙන අපේ ආර්ථිකය

මැද පෙරදිග ලාභ ශ‍්‍රමය මත රැදෙන අපේ ආර්ථිකය
හර්ෂ ගුණසේන

පසුගිය දා පැවැති  G20 සමුළුවේදී චීනය සිය මුදල් එ්කකය වන යුවානය අඩු අගයක පවත්වාගෙන යන බවට වන ඇමෙරිකානු චෝදනාව අලූත් විය. ඊට ප‍්‍රති උත්තර වශයෙන් ඇමෙරිකාව අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ඩොලර් නෝට්ටු අච්චු ගසන බව චීනය කියා සිටියත් මෙම රටවල් දෙකම උත්සාහ කරන්නේ තම මුදලේ අගය අඩු මට්ටමක තබා ගැනීමටය. එයට හේතුව එ් මඟින් තම රටවල්වලින් කෙරෙන අපනයන ජාත්‍යන්තර වෙළඳපොළේ තරගකාරී මට්ටමක තබාගෙන අපනයන ආදායම වැඩිකර ගැනීමට උත්සාහ දැරීමයි.
ශ‍්‍රී ලංකාවේ තත්ත්වය මෙයට වඩා වෙනස්ය. ආණ්ඩුව රුපියලේ අගය ඩොලරයට සාපේක්‍ෂව වැඩි අගයක තබා ගැනීමට උත්සාහ කරයි. මේ විෂයභාර බලධාරීන් නුදුරු අනාගතයේදී රුපියලේ අගය වැඩිවන බවට අනාවැකි ප‍්‍රකාශ කර ඇති අතර වෙළඳපොළේ දී අනුක‍්‍රමයෙන් මේ අනාවැකි සනාථ වෙමින් පවතී. මේ ප‍්‍රතිපත්තියෙන් රටේ ආපනයනවලට වන හානිය ගැන ආණ්ඩුවට තැකීමක් නැත. මෙයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ අනුක‍්‍රමයෙන් වැඩි වෙමින් පවතින මෙරට ශ‍්‍රමිකයන් පිටරටවල රැකියාව කර මෙරටට එවන මුදල්ය.
2008 වර්ෂය ගතහොත් මෙරට මුළු අපනයන ආදායම රු. බිලියන 878 ක් වන විට ශ‍්‍රමිකයන් උපයා එවා තිබෙන මුදල් ප‍්‍රමාණය රු. බිලියන 316 කි. මෙය මුළු අපනයන ආදායමෙන් 36% ක් වන අතර මෙම ප‍්‍රතිශතය වසරක් පාසා වැඩිවෙමින් පවතී. මෙම රුපියල් බිලියන 316 න් 60% ක් එනම් රු. බිලියන 189 ක් ලැබී ඇත්තේ මැද පෙරදිග රටවලිනි. 
2008 වසරේදී 
තේ, රබර්, පොල් ඇතුළු සියලූ කෘෂිකාර්මික අපනයනයන් ගෙන් ලද අදායම රු. බිලියන 200 කි. 
ඇඟළුම් අපනයනයෙන් ලද ආදායම රු. බිලියන 376 කි. (මෙයින් විශාල ප‍්‍රමාණයක් ඇඟළුම් කර්මාන්තයට අදාළ අපනයන වෙනුවෙන් වැය වේ.)
 ආහාර අපනයනය වෙනුවෙන් වැය කර ඇති මුදල රු. බිලියන 123 කි. 
මෝටර් රථ, බෙහෙත්, ටයර් ආදී වෙනම පාරිභෝගික භාණ්ඩ වෙනුවෙන් වැය කර ඇති මුදල රු. බිලියන 113 කි.
 2009 වසරේදී
 ආරක්ෂාව වෙනුවෙන් වැය කර ඇති මුදල රු. බිලියන 135 කි.
 අධ්‍යාපනය වෙනුවෙන් වැය කර ඇති මුදල් රු. බිලියන 77 කි.
 සෞඛ්‍යය වෙනුවෙන්  වැය කර ඇති මුදල බිලියන 56 කි.
2008 වර්ෂයේ විදේශගත ශ‍්‍රමිකයන්ගෙන් 67% ක් ගෘහ සේවිකාවන් හා නුපුහුණු ශ‍්‍රමිකයන්ගෙන් සමන්විත වේ. මෙම ප‍්‍රතිශතය 2000 වර්ෂයේදී 74% ක් විය. මේ සංඛ්‍යා ලේඛන අනුව රටේ ආර්ථිකයට විදේශගත ගෘහ සේවිකාවන්ගෙන් සහ නුපුහුණු ශ‍්‍රමිකයන්ගේ දායකත්වයේ ප‍්‍රමාණය පැහැදිලි වේ. මේ අව වරප‍්‍රසාදිත කොටස් වෙනුවෙන් රජයේ දායකත්වය පසුගිය වසර ගණනාව තිස්සේ ඉහළ ගියත් එය කිසිසේත්ම සෑහීමකට පත්විය හැකි මට්ටමක නොපවතී. සංසන්දනාත්මකව බලතොත් රු. බිලියන 189 ක් මුදල් උපයා මෙරටට එවූ මැද පෙරදිග ශ‍්‍රමිකයන්ට දෙනු ලැබූ රාජ්‍ය දායකත්වය රු. බිලියන 37 ක ආදායමක් ලැබූ සංචාරක කර්මාන්තයට දෙන ලද රාජ්‍ය දායකත්වයට අලගු තැබීමටවත් ප‍්‍රමාණවත් නැත. විදේශගතව සිටින වෘත්තිකයන්ගේ ප‍්‍රතිශතය මුළු විදේශගත ශ‍්‍රමිකයන්ගෙන් 1% කි. 
රජයේ දිගු කාලීන වගකීමක් වන්නේ විදේශගත වන ශ‍්‍රමිකයන්ගේ ගුණාත්මකභාවය ඉහළ නංවා රටට වැඩි ආදායමක් ලබා ගැනීමට කටයුතු කිරීමයි. එමෙන්ම රජයේ කෙටි කාලීන වගකීම වන්නේ දැනට විදේශගත වන ශ‍්‍රමිකයන්ගේ සේවා තත්ත්වය උසස් කිරීමට කටයුතු කිරීම සහ විදේශ ගත වීමේ ක‍්‍රියාවලිය ඔවුන්ට වඩාත් පහසු කිරීමයි.
එනමුත් රජය දැන් කරමින් සිටින්නේ ඉතා අඩු වියදමකින් ලැබෙන මෙම මුදල්ද උපයෝගී කරගනිමින් විනිමය අනුපාතය ඉහළ නැංවීමට කටයුතු කිරීමයි. එමඟින් එම මුදල් එවන ශ‍්‍රමිකයන්ට ලංකාවේදී ලැබෙන රුපියල් ප‍්‍රමාණය අඩුවන අතර රටට විදේශ මුදල්  රැගෙන එන අපනයනකරුවන්ට ව්‍යාපාරික වශයෙන් අවාසි සහගත තත්ත්වයක් ඇතිවේ.
අප ආනයනය කරන සුඛෝපභෝගී සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මෙරටට ගෙන එ්මට විශාල දායකත්වයක් සපයන්නේ මැද පෙරදිග වහල් සේවයේ  යෙදෙන ගෘහ සේවිකාවන් හා නුපුහුණු ශ‍්‍රමිකයන් ස්වකීය දහදියෙන්, කඳුළෙන්, සුසුමෙන් සහ ලෙයින් උපයන සොච්චම් මුදල් බව මැද පෙරදිග යන කාන්තාවන් කෙරෙහි අවඥ සහගත ආකල්පයක් දරන ඊනියා සුචරිතවාදීන්ද මෙරට මුදල් ඇමැති ඇතුළු රාජ්‍ය බලධාරීන්ද මෙම ලිපිය කියවන පාඨකයන් ඇතුළු සමස්ත ශ‍්‍රී ලංකාවාසී ජනතාවද සිහියේ තබා ගැනීම වටී.
ආත්ම ගරුත්වයක් ඇති ජාතියකට මෙම තත්ත්වය ඉවසා සිටිය හැකිද? .

(Published in Samabima)