හර්ෂ ගුණසේන
මෙරට දේශපාලන ඉතිහාසයේ පෙර නොවූ විරූ අවස්ථාවකට
අපි අද මුහුණ පා සිටිමු.
මෙරට සිටි වඩාත්ම අත්තනෝමතික පාලකයා පරාජය කිරීමට
පොදු විපක්ෂය සහ සිවිල් සමාජය ඒකරාශී විය. ජනාධිපති වරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ
ඇතිවූ තත්ත්වය මත හිටපු ජනාධිතිවරයා ගේ අධිකාරිවාදී පාලන විලාසය පැහැදිලිවේ. ඔහුගේ
පරාජය වඩාත් සමාන වන්නේ ප්‍රජාතන්ත්‍ර වාදී නායකයකුගේ පරාජයකට වඩා රජකුගේ
ඇදවැටිමකටය. ඔහුගේ පරාජයෙන් පසු පක්ෂයේ නායකත්වය ඔහු විසින්ම ඔහුගේ ප්‍රතිවාදියාට
බාරදෙන තත්ත්වයක් නිර්මාණය වූ අතර ඔහුගේ පක්ෂය පාර්ලිමේන්තුවේ වැඩි බලයක් සහිතව
සුළුතර ආණ්ඩුවකට සහයෝගය දෙන තත්ත්වයක් ද නිර්මාණය විය. පැවැත්වුයේ ජනාධිපතිවරණයක්
වුවද එමගින් පාර්ලිමේන්තු මැතිවරණයක ප්‍රතිඵල ද ඇතිකරන ලදී. මෙය ප්‍රජාතන්ත්‍රවාදී
සහ නෛතික රාමු වලින් පරිබාහිරව එක්තරා ආකාරයකින් විප්ලවයකට පසු ඇතිවන තත්ත්වයක්
සිහි ගන්වයි.
එවැනි තත්ත්වයක් ඇතිවුවද බලයට පත්වූ පාර්ශ්වය
අධිකාරිවාදී පාලන තන්ත්‍රයක් නොව සම්මුතිවාදී පාලන තන්ත්‍රයක් පවත්වාගෙන යමින් සිටී.
ජනාධිපතිවරයා එක අතකින් ආණ්ඩුවේද කැබිනට් මණ්ඩලයේද නායකයා වන අතර අනෙක් අතින් ප්‍රධාන
විරුද්ධ දේශපාලන පක්ෂයේ නායකයාද වෙයි. තවත් පියවරක් ඉදිරියට තබමින් පසුගියදා ප්‍රධාන
විරුද්ධ දේශපාලන පක්ෂය ඇමති ධුර බාර ගනිමින් ආණ්ඩුවට එක්විය. එයට අමතරව ජනතා
විමුක්ති පෙරමුණ අලුතින් ඇතිකරන ලද ජාතික විධායක සභාවේ සාමාජිකත්වය දරමින් ජාතික
වැදගත් කමක් ඇති දේශපාලන තීරණ ගැනීමට දායක වේ.
ලබන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ජාතික
ආණ්ඩුවක් ඇතිකරන බව පසුගිය මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වූ අතර අගමැතිවරයා මුළු
පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කිරීමට උත්සාහ කරයි. මේ අනුව අප අත් දකිමින් සිටින්නේ නෙල්සන්
මැන්ඩෙලා ජනාධිපති වූ පසුව දකුණු අප්‍රිකාවේ ඇතිවූ තත්ත්වයට අනුරූප ශ්‍රී ලංකාවේ
මොඩලයයි. දීර්ඝ කාලයක් පක්ෂ දේශපාලනයේ යෙදෙමින්ද
පසුගිය වසර ගණනාවක් තිස්සේ යටත් වැසියන් මෙන්ද ජීවත්වූ ශ්‍රී ලංකික ජනතාවට
මෙම තත්ත්වයට අනුගත වීම තරමක් අපහසුය.
නෙල්සන් මැන්ඩෙලා ජනාධිපති වූ පසුව ඔහු සුදු අප්‍රිකානාවරුන්
මර්දනය නොකොට පළමුව ඔවුන් තම පුද්ගලික ආරක්ෂක සේවයේ යොදවා ගනිමින්ද දෙවනුව ඔවුන්
ජනාධිපති කාර්යාලයේ සහ කැබිනට් මණ්ඩලයේ සේවයේ යොදවා ගනිමින්ද තෙවනුව ඔවුන්ගේ ක්‍රීඩාව
බවට පත්වී තිබූ රග්බි සඳහා පුර්ණ රාජ්‍ය අනුග්‍රහය සහ සිය පුද්ගලික ආශීර්වාදය
දෙමින් ලෝක රග්බි කුසලාන තරඟයේ ජයග්‍රාහකයා වීම සඳහා දායකවෙමින්ද දකුණු අප්‍රිකාවට
ජාතික සමගිය දායාද කිරීමට සමත් විය.
දකුණු අප්‍රිකාවට ප්‍රශ්නය තිබුණේ එරට තිබූ වර්ණ
භේදයයි. අපට ප්‍රශ්න දෙකක් තිබේ. පළමුවැන්න රාජ්‍ය පාලනයේදී අත්තනෝමතිකත්වය පිලිබඳ
ප්‍රශ්නයයි. දෙවන ප්‍රශ්නය වන්නේ වසර තිහක් මුළුල්ලේ කළ යුද්ධයට හේතුවූ දෙමළ ජනතාවට
බලය බෙදීම පිළිබඳ ප්‍රශ්නයයි. රාජ්‍ය
දේපල අයථා ලෙස පරිහරණය කිරීම පළමුවන ප්‍රශ්නය සමඟ බද්ධවී ඇත.
ජනතා විමුක්ති පෙරමුණ ජේ ආර් ජයවර්ධන ජනාධිපති
වරයාගේ යුගයේදී කැරලි ගැසීමට යොමුවූ එක්
ප්‍රධාන හේතුවක් වූයේ රාජ්‍යයේ තිබූ අත්තනෝමතිකත්වයයි. මෙම තත්ත්වය අනුක්‍රමයෙන්
වැඩි දියුණුවී පසුගිය ආණ්ඩු කාලයේදී උච්චස්ථානයකට පත්විය. මෙයට හේතුව වී තිබෙන ජනාධිපති
වරයාට අසීමිත බලතල ලැබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කිරීම මේ
දිනවල කෙරෙමින් පවතී.
මෙයට
කලින්ද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට බලයට පත්වූ ජනාධිපතිවරුන් පොරොන්දු වුවද
විවිධ හේතු බලයට පත්වීමෙන් පසු එම පොරොන්දුව ඉටු කිරීමට ඔවුහු අකැමැති හෝ අසමත්
වූහ. මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා එයට කැමැත්තෙන් සිටින නමුත් පාර්ලිමේන්තුවේ සිටින විවිධ දේශපාලන පක්ෂ වල
විවිධ දේශපාලන ස්ථාවර අතර විධායක ජනාධිපති ධුරය පිලිබඳ යෝජනාව දෝලනය වෙමින් පවතී.
දින සියය ඉක්මවුවද පර්ලිමෙන්තුවේද ජනතාව අතරද මනා විවාදයකින් පසුව ව්‍යවස්ථාව පිළිබඳ අදාල සංශෝධන ගෙන එන්නේ නම් යහපත්ය.
දෙමළ ජනතාවට බලය බෙදීම පිළිබඳ ප්‍රශ්නය මූලික
කරගෙන ඇතිවූ යුද්ධමය තත්ත්වය වර්ධනය වීමට හේතුවූයේ ජාත්‍යන්තර බලපෑම් බව වෙනම
කරුණකි. එමෙන්ම එම ජාත්‍යන්තර බලපෑම් සමනය කිරීමට යම් අවස්ථාවලදී රාජ්‍යය අසමත්
වුවත් යම් අවස්ථාවලදී රාජ්‍යය විසින්
විචක්ෂණ අන්දමින් කටයුතු කොට එම තත්ත්වය සමනය කිරීමට පියවර ගන්නා ලදී. එනමුත් මූලික ප්‍රශ්නයක් තිබෙන බවද යුද්ධය
නිමවීමෙන් එම ප්‍රශ්නය නිම නොවුනු බවද අප වටහාගත යුතුය.
බලය
බෙදීම පිලිබඳ ප්‍රශ්නය තවමත් සාකච්ඡාවට ගෙන නොමැති අතර එය සාකච්ඡාවට ගනු ලබන බව
පෙනෙන්නට තිබෙන්නේ මහා මැතිවරණයෙන් පසුව පිහිටුවීමට බලාපොරොත්තු වන ජාතික ආණ්ඩුව
යටතේය. පසුගිය ජනාධිපතිවරණ ව්‍යාපාරය තුල
ජාතික ප්‍රශ්ණය සාකච්ඡා නොකිරීමට පොදු සම්මුතියක් සියළු විපක්ෂ බලවේග අතර පැවතුනි.
එයට හේතුවූයේ මෙම ප්‍රශ්නය ඉදිරියට ගත හොත් ප්‍රතිවාදී පිල මගින් වර්ගවාදය
ඇවිස්සීමට ඉඩකඩ තිබූ බැවිනි. මෙම හොරා පොලිස් සෙල්ලමෙන් පෙන්නුම් කෙරෙන්නේ මෙරට
මහජනතාවගේ ද දේශපාලනඥයන්ද ආකල්පයයි. නායකයන්ට මෙයට විසඳුම් දීමට අවශ්‍ය බව පෙනෙන
නමුත් එයට අප්‍රමාණ බාධක තිබෙන බව පෙනේ.
මේ රටේ පාලකයන් විසින් සිය කෙටි කාලීන දේශපාලන
අරමුණු උදෙසා රටේ දීර්ඝ කාලීන අභිලාෂයන් කැප කිරීම අප විසින් අත්දැක ඇත්තෙමු. විවර
වූ මේ දුර්ලභ අවස්ථාවේදී මෙම තත්ත්වය
නැවතත් ඇතිවීමට ඉඩ නොදීම සහ එම තත්ත්වය
ඇති කරන පුද්ගලයන් හෙළිදරවු කිරීම අප සියළු දෙනාගේම යුතුකම වේ.
Published in samabima April 2015
No comments:
Post a Comment