හර්ෂ ගුණසේන
ඩයස්පෝරා (diaspora) යන ඉංග්‍රීසි වචනයෙන් සිය මාතෘ භූමියෙන් පිටත විසිරී
ජිවත්වන ජන කොට්ඨාශයක් අදහස් වේ. මෙම වචනය පළමුව භාවිතා වූයේ ඊශ්‍රාලයෙන් පිටත
ජීවත්වූ යුදෙව් ජනතාව හැඳින්වීමටයි. එමෙන්ම ස්ව කැමැත්තෙන් තොරව වෙනත් බාහිර හේතු
මත සිය මව්බිමෙන් පිටත ජීවත්වීමට මොවුන්ට සිදුවී තිබෙන බවක්ද මෙම වචනයෙන් ගම්‍ය
වේ.
දෙමළ සන්නද්ධ කොටස්
විසින් ආරම්භ කරනලද රාජ්‍ය විරෝධී කැරැල්ල සමයේදී මෙරටින් පිටවූ දෙමළ ජනතාව
හැඳින්වීමට දෙමළ ඩයස්පෝරාව යන වචනය පළමුව භාවිතා කරන ලදී. එසමයේදී හා ඊට පසුව
නොයෙක් හේතූන් මත රටින් පිටවූ සිංහල ජනතාව හැඳින්වීමට සිංහල ඩයස්පෝරාව යන වචනය
මෑතක සිට භාවිතා වේ.
කැරැල්ල සමයේදී LTTE සංවිධානයට මුල්‍යමය වශයෙන් ආධාර කරනු ලැබුවේ දෙමළ ඩයස්පෝරාව විසිනි. දෙමළ
ඩයස්පෝරාවේ සිහිනය වූයේ මෙරට තුළ වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීමයි. LTTE නායකත්වයද දැරුවේ මෙම අදහසමය. යුද්ධය අවසාන වීමෙන් පසුව දෙමළ ඩයස්පෝරාව
විසින් දෙමළ ජනතාව වාසය කරන ප්‍රදේශ සඳහා රටින් පිටත ක්‍රියාත්මක වන ආණ්ඩුවක් පිහිටුවා ගන්නා ලදී.
සිංහල ඩයස්පෝරාව යුද්ධය
සමයේදී ආණ්ඩුවට බලවත්සේ පක්ෂපාත ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගිය අතර යුද්ධයෙන් පසුව
එම ආණ්ඩුව අනුගමනය කළ වර්ගවාදී ප්‍රතිපත්තියටද කොන්දේසි විරහිතව ආධාර කළේය.
මේ අනුව දෙමළ ඩයස්පෝරාව
ද සිංහල ඩයස්පෝරාව ද LTTE නායකත්වයද පසුගිය ආණ්ඩුවේ නායකත්වයද කටයුතු කර ඇත්තේ එකිනෙකා ගේ මතවාදය
උපස්ථම්භනය වන ආකාරයටය. 2009 සිවිල්
යුද්ධය අවසානයේදී LTTE සංවිධානය පරාජයට පත්වූ
අතර 2015 මැතිවරණයේ දී වර්ගවාදී ආණ්ඩුව පරාජයට පත්විය.
යුද්ධය අවසාන වීමෙන්
පසුව සම්පන්දන් ගේ නායකත්වයෙන් යුතු TNA
සංවිධානය දේශපාලන ඉඟි
ගණනාවක්ම කරමින් තමන් ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරීමට කැමැති බව අඟවන ලදී. යුද්ධය
අවසන්වූ පසුව පවත්වන ලද උත්සවයකදී ජාතික කොඩිය ඔසවා ජාතික ගීය දෙමළෙන් ගැයීමට TNA නායක සම්පන්තන් විසින් කටයුතු යොදන ලදී. LTTE පාලන සමයේදී මෙය
සම්පූර්ණයෙන්ම තහනම් ක්‍රියාවක් විය. මෙම ක්‍රියාවට අනුබල දෙනු වෙනුවට එවකට පවතී
ආණ්ඩුව විසින් දෙමළෙන් ජාතික ගීය ගැයීම තහනම් කරන ලදී. එයට හේතු වශයෙන් දැක්වුයේ
එවකට බලධරයන් විසින් සහ රාජ්‍ය පාලනයේ මූලික ආයතන විසින් උල්ලංඝනය කර තිබූ ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට එම ක්‍රියාව පටහැනි බවය. ඉන් පසුව උතුරු පළාත් සභාවේ
මහා ඇමති විග්නේශ්වරන් දිවුරුම් දුන්නේ එවකට සිටි ජනාධිපතිවරයා ඉදිරියේ කොළඹදීය. මෙය ව්‍යස්ථාපිතව සිදුකල යුතු අත්‍යවශ්‍ය
කාරණයක් නොවේ. පසුගියදා සම්පන්තන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් ජාතික
නිදහස් දින සමරුවට සහභාගී වූහ.
මධ්‍යස්ථ දෙමළ නායකයන්ගේ
මෙම ක්‍රියාවන්ට නිසි ප්‍රතිචාර සිංහලයන් වෙතින් නොලැබෙන අතර මෙම ක්‍රියා
විශේෂයෙන්ම දෙමළ නායකයන් ජාතික නිදහස් දින සමරුවට සහභාගී වීම දෙමළ ඩයස්පෝරාව
විසින් බලවත් ලෙස විවේචනය කරන ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යනු ලැබේ. මෙම විවේචන
කොතරම් බලවත් ද යත් එමගින් TNA සංවිධානයේ දෙදරීමක්ද ඇතිවී තිබේ. උතුරේ
මහා ඇමති වරයා විසින් අනුදත් දෙමළ සංහාරය පිලිබඳ යෝජනාවද එකම රටක් තුළ ජාතීන්
දෙකක් පිලිබඳ ඔහුගේ අදහසද මෙහිම දිගුවකි. මෙම
පසුබිම තුළ ජනාධිපතිවරයාගේ උතුරේ සංචාරය අගය කල යුතුය.
දෙමළ ඩයස්පෝරාව මෙරට
කටයුතු වලට ඇඟිලි ගැසීම වැළැක්වීම සඳහා ආණ්ඩුව විසින් මධ්‍යස්ථ දෙමළ නායකයන් ගේ
දෑත් ශක්තිමත් කල යුතු අතර හමුදාව විසින් ඉඩම් අත්පත් කර ගැනීමේ ප්රශ්නය සහ
සරණාගතයන්ගේ ප්රශ්නය වැනි ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න වලට කඩිනම් පිළිතුරු ලබාදිය යුතු
වේ. බලය බෙදීම පිලිබඳ ප්රශ්නය ව්‍යවස්ථාව
සංශෝධනයේ මුල් වටයේදී ඉදිරියට ගැනීමට උපාය මාර්ගිකව බලාපොරොත්තු නොවන බව පෙනෙන්නට
තිබෙන අතර මේ පිළිබඳවද එකඟතාවයක් ප්‍රධාන පක්ෂ අතර ඇතිකර ගැනීම අවශ්‍යවේ.
සිංහල ඩයස්පෝරාව මූලික
වශයෙන්ම විදේශ ගතවී ඇත්තේ ආර්ථික හේතු මතය. ලංකා ආර්ථිකය යැපෙන ප්‍රධාන ආදායම්
මාර්ගයක් වන්නේ විදේශයන්හි සිටින මෙරට ශ්‍රමිකයන් විසින් එවන මුදල් වන අතර එයට යුරෝපා
රටවල, උතුරු ඇමෙරිකාවේ සහ ඈත පෙරදිග සිටින
මෙම සිංහල ඩයස්පෝරාවේ දායකත්වය අල්පය. බලය
බෙදීමට විරුද්ධ ඔවුන්ගේ ස්ථාවරය ඔවුන් ජිවත්වන රටවල් විසින්ද ඔවුන් බොහෝ දෙනෙක් අදහන බුදු දහම විසින්ද අනුදත්
සමානාත්මතාව පිලිබඳ සංකල්පයට පටහැනිය.
දෙමළ ඩයස්පෝරාවට විදේශ ගත වීමට දේශපාලන හේතු තිබුනද ඔවුන් විදේශ
ගත වී සිටින ප්‍රධාන කරුණක් වන්නේ ආර්ථික
හේතුය. අන්තවාදී අදහස් දරන දෙමළ ඩයස්පෝරාවද සිංහල ඩයස්පෝරාව ද මෙරට දේශපාලන කටයුතු
වලින් ඈත් කර තැබීමට කටයුතු කිරීම මධ්‍යස්ථ
මත දරන සිංහල සහ දෙමළ ජනතාවගේ ද දේශපාලනඥයන් ගේද වගකීම වන්නේය.
No comments:
Post a Comment