හර්ෂ ගුණසේන
අත්තනෝමතිකත්වය
කොටි සංවිධානය ආරම්භයේ සිටම අනුගමනය කළේ ප්‍රචණ්ඩකාරී
ක්රියාමාර්ගයකි. ඔවුහු විරුද්ධ මත නොඉවසුහ. දෙමළ ජාතිකයන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් විවිධ
ස්ථාවර ගත්තාවූ වෙනත් ආයුධ සන්නද්ධ දේශපාලන සංවිධාන වල සාමාජිකයන් සමුල ඝාතනය
කිරීමට ඔවුහු පළමුකොටම පියවර ගත්හ. ඉන් පසුව එම සංවිධාන වල ක්‍රියාකාරීත්වය
නැත්තටම නැතිවී ගියේය. ඒවා නාම පුවරු වලට
පමණක් සීමා විය. ආයුධ සන්නද්ධ නොවන දේශපාලන සංවිධාන වල වෙනස් මත දරන දේශපාලන
නායකයන් ඝාතනය කිරීම මගින් එම දේශපාලන සංවිධානද තමන්ගේ අණසක යටතේ තබාගැනීමට ඔවුහු
ක්‍රියා කළහ. එමෙන්ම දෙමළ අරගලයට විවේචනාත්මකව සහයෝගය දුන් දෙමළ බුද්ධිමතුන් ද
ඝාතනය කිරීමට ඔවුහු පියවර ගත්හ. අවසානයේදී හරි හෝ වැරදි හෝ නායකයාගේ අණ පමණක්
පිළිගන්නා සන්නද්ධ දේශපාලන ව්‍යාපාරයක් ඔවුහු නිර්මාණය කළහ.
වර්තමාන ශ්‍රී ලංකා රජය විසින් පවතින ව්‍යවස්ථාව
වංචනික ලෙස අධිකරණයේ ද සහයෝගය ඇතුව භාවිතා කරමින් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්
ආණ්ඩු පක්ෂයට ලබා ගැනීම මගින් ජනතාව ලබා නොදුන් බලයක් පාර්ලිමේන්තුව තුළ භාවිතා
කරමින් 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ ධුර කාල සීමාව අවිනිශ්චිත
ලෙස දීර්ඝ කරමින් විරුද්ධ පක්ෂ මර්දනය කරමින් තමන් මෙරට තුල ආධිපත්‍යය සහිත බලවේගය
බවට පත්වීමට පියවර ගන්නා ලදී. එමෙන්ම පසුකාලීනව විවේචනාත්මකව තමන්ට සයෝගය දුන්
බුද්ධිමතුන් කපා හැරීම මගින් හරි හෝ වැරදි හෝ නායකයා ගේ අණ පමණක් පිළිගන්නා
දේශපාලන ව්‍යාපාරයක් මෙරට ඇතිවිය.
එක් ජන කොටසක් කෙරෙහි වැඩි බරක් තැබීම
කොටි සංවිධානයේ ඒකායන අරමුණ වූයේ ශ්‍රී
ලංකාවේ උතුරු සහ නැගෙනහිර වෙනම රාජ්‍යයක් ඇති කිරීමයි. මේ සඳහා පළල් විනාශකාරී වැඩ
පිළිවෙලක් ඔවුන් විසින් ක්‍රියාවට නංවන ලදී. එම පළාත්වල අධිපත්‍යය තමන් අත එනම්
දෙමළ ප්‍රජාව අත තබාගැනීම ඔවුන්ගේ අභිප්‍රාය විය. ඒ අනුව උතුරේ සිංහලයන් ඉවත්වී
ගිය පසු ඉතිරිව සිටි මුස්ලිම් ජනතාව දිනක් හෝ දෙකක් ඇතුළත පිටමං කරන ලදී. යම්
අවස්ථා වලදී නැගෙනහිර මුස්ලිම් ජනතාවද ඔවුන්ගේ පල්ලි තුළදීම ඝාතනයට ලක් වූහ.
වර්තමාන පාලක රෙජීමයේ අරමුණ සිංහල බෞද්ධ
ආධිපත්‍යයක් මෙරට තුල ඇතිකිරීමය. ඒ අනුව රජය විසින් මුස්ලිම් සහ ක්‍රිස්තියානි
පල්ලි වලට පහරදෙන අන්තවාදී බෞද්ධ භික්ෂූන් ට විරුද්ධව නිත්‍යානුකූලව කටයුතු
නොකරමින් ඔවුන්ට අනියම් සහයෝගයක් ලබා දෙන ලදී.
සාකච්ඡාව නොඉවසීම
සාකච්ඡාව කොටි සංවිධානයේ දේශපාලන උපාය
මාර්ගයක් පමණක් විය. ශ්‍රීලංකා රජය සමග දේශපාලන සාකච්ඡා වල නිරත වෙද්දී තමන්
තවදුරටත් සන්නද්ධ වීම ඔවුන් විසින් සිදු කරන ලදී. සාකච්ඡා කර විසඳාගත හැකි ප්‍රශ්නයක්
ඔවුන් අත නොවිය. මක්නිසාද යත් ඔවුන් ගේ ඒකායන අරමුණ වූයේ වෙනම ද්‍රවිඩ රාජ්‍යයක්
පමණක් වූ බැවිනි. සාකච්ඡා වලදී කොටි සංවිධානය
කිසිසේත්ම අවංක ස්වභාවයක් පෙන්වුයේ නැත. රනිල් වික්‍රමසිංහ යුගයේ පැවැත්වූ
සාම සාකච්ඡා වලදී එක් අවස්ථාවක ඔවුන්ගේ න්‍යායාචාර්ය
ඇන්ටන් බාලසිංහම් විසින් අභ්‍යන්තර ස්වයං පාලනයක් සඳහා එකඟ වන ලදී. මෙය දේශපාලන විසඳුමකට පැමිණීම සඳහා ඔවුන්ට ගත
හැකිව තිබූ අගනා පියවරකි. පසුව පැවති සාකච්ඡා වලදී ඔවුන් එයට එකඟ නොවූ අතර ඇන්ටන්
බාලසිංහම් සාකච්ඡා වලින් ඉවත් කරන ලදී.
සාකච්ඡාව වර්තමාන රජයේ දේශපාලන උපාය මාර්ගයක්
පමණකි. එක්සත් ජාතීන් ගේ මහා ලේකම් බන් කී මුන් 2009 දී යුද්ධය අවසන් කිරීමෙන්
පසුව මෙරටට පැමිණි විට ඒකාබද්ධ ප්රකාශනයක් මගින් 13 වන සංශෝධනයට එහා ගිය දේශපාලන
විසඳුමක් ද්‍රවිඩ ජනතාවට ලබා දෙන බවටද යුද්ධයේදී සිදුවූ වා යැයි කියන අපරාධ සොයා
බැලීමට පියවර ගන්නා බවටද වූ පොරොන්දු හිස් ප්‍රලාප පමණක් විය. එමෙන්ම ඉන්දීය
අගමැතිවරයා ටද ඉන්දීය විදේශ ඇමතිවරයා මෙරටට පැමිණි විටද 13 වන සංශෝධනයට එහා ගිය
දේශපාලන විසඳුමක් ද්‍රවිඩ ජනතාවට ලබාදෙනවා යැයි දුන් පොරොන්දු කඩ කරමින් 13 වන
සංශෝධනය කප්පාදු කිරීමට නිත්‍යානුකුල පියවර ගැනීමට උත්සාහ දරමින් ද උතුරු පළාත්
සභාවේ කටයුතු අඩාල කිරීමට ක්‍රියා කරමින්ද
රජය කටයුතු කරයි.
ඉන්දියානු සාධකය
කොටි සංවිධානය තමන් පිළිබඳව අධි තක්සේරුවකින් පසුවිය. රජීව්
ගාන්ධි ඔවුන්ගේ නායකයා ඉන්දියාවට කැඳවා බලපෑම් කිරීම ඔවුන්ට අවමානයක් විය. එමෙන්ම
ඉන්දු ලංකා ගිවිසුම අනුව ඉන්දීය හමුදාව ඔවුන්ට විරුද්ධව යුද්ධ කිරීම ඔවුන්ට
අලාභයක් විය.ඒ අනුව දේශපාලන වශයෙන් තමන්ට මතුවට ලැබෙන අවාසි නොසලකා රජීව් ගාන්ධි
මරා දැමීමට ඔවුහු පියවර ගත්හ.
යුද්ධය සමයේදී ඉන්දියාවට සියලුම තොරතුරු ලබා
දෙමින් ජේ. ආර්. ජයවර්ධන යුගයේදී මෙන් නොව තමන් විසින් ඉන්දියානු සම්බන්ධතා මනාව පාලනය කරන ලදැයි වර්තමාන රෙජීමය විසින් ප්‍රකාශ
කරන ලදී. ජයවර්ධන යුගයේදී සිදුවූයේ බටහිරට ගැති දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්තියක්
පවත්වාගෙන යාම මගින් එවකට සෝවියට් පිලේ සිටි ඉන්දියාව පසමිතුරු කර ගැනීමයි. පසුගිය
යුද්ධය සමයේදී ඉන්දියාවට ද අවශ්‍ය වූයේ කොටි සංවිධානය යුද්ධමය වශයෙන් පරාජයට පත්
කිරීමයි. එබැවින් එම යුගයේදී ඉන්දියානු සම්බන්ධතා පාලනය කිරීම අසීරු නොවිය. එනමුත්
යුද්ධයෙන් පසු දේශපාලන වශයෙන් ඉන්දියානු සම්බන්ධතා පාලනය කිරීමේදී තමිල්නාඩුව හරහා
ඉන්දියානු දේශපාලනය ටද බලපාන මෙරට ද්‍රවිඩ ජනතාවට දේශපාලන විසඳුමක් දීමේ කාරණය තුළ
ඉන්දියාව රැවැට්ටීම දේශපාලන තලයේ බලවත් ප්‍රතිවිපාක ඇතිකිරීමට හේතුවෙයි. මේ
සම්බන්ධයෙන් රජය සිටින්නේ චීන සාධකය හරහා තමන්ට ඉන්දියාව පාලනය කිරීමට හැකිවන බවට
තමන් පිලිබඳ අධි තක්සේරුවකිනි. නොබැඳි ප්‍රතිපත්තිය නොවන මෙම හෙට්ටු කිරීම මගින්
කුඩා රාජ්‍යයක් වන අපට ඇතිවන බලපෑම ඉදිරියේදී දැනෙනු ඇත.
සන්නද්ධ අරගලය සහ දේශපාලන විසඳුම
සන්නද්ධ අරගලයකින් ලබාගන්නා ජයග්‍රහණ
තාවකාලික බවත් නැවත විරුද්ධ පාර්ශ්වය විසින් කරන බලවත් සන්නද්ධ අරගලයකින් තම ජයග්‍රහණය
පරාජයක් බවට පෙරළිය හැකි බවත් තිරසාර අවසානයක් සඳහා දේශපාලන විසඳුමක්
අත්‍යවශ්‍ය බවත් අවබෝධ කර ගැනීමට තරම් කොටි සංවිධානයට ප්‍රඥාවක් නොමැති විය. එසේ
වීමට හේතුවුයේ අත්තනෝමතික නායකත්වයත් මොළ සේදීමකට ලක්වී සිටි සාමාජිකත්වයත් එනිසා
මේ පිලිබඳ සංවාදයක් ඔවුන්ගේ සංවිධානය තුල නොමැති වීමත් නිසාය.
වර්තමාන පාලක රෙජිමය සිතන්නේ යුද්ධමය ජයග්රහණයෙන්
පසුව ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් අනවශ්‍ය බවයි.දේශපාලන විසඳුමක් සඳහා වන සාකච්ඡා
වට වළල්ලේ යැවීම මගින්ද උතුරු පළාත් සභා මැතිවරණය අනවශ්‍ය ලෙස පමාකිරිම මගින්ද
උතුරු පළාත් සභාවට ක්‍රියාත්මක වීමට අවහිර කිරීම මගින්ද පෙන්නුම් කරන්නේ එයයි.
මෙරට පැතිරී ඇති බුදු දහමට සපුරා විරුද්ධ වූ සිංහල බෞද්ධ මතවාදය විසින් සාධාරණව
සිතීමට නොහැකි ජනතාවක් ඇතිකිරීමත් එනිසා දේශපාලන විසඳුමක් පිලිබඳ කාරණය මෙරට තුලප්රබුද්ධ සාකච්ඡාවකට ලක් නොවීමත්
අත්තනෝමතික නායකත්වයත් මෙයට හේතුවයි.
තමන් පිලිබඳ අධි තක්සේරුව
කොටි සංවිධානය සන්නද්ධ අංශයේ තමන් ගැන තිබූ
අධි තක්සේරුව නිසා අවසානය තෙක් ගරිල්ලා සටන් ක්‍රම වලින් තොරව රජයේ නිත්‍ය හමුදාව
සමග මුහුණට මුහුණලා සටන් කිරීමට පෙළඹුණේය. තමන්ගේ පරාජය අවසාන අවස්ථාවේදී නොව
කල්තබා අවබෝධ කර ගෙන සිය පාර්ශ්වයේ සහ සිවිල් වැසියන්ගේ ජිවිත හානි අවම කර ගැනීම
සඳහා යුද්ධය නැවැත්වීමට හෝ සාකච්ඡා කිරීමට
හෝ යටත් වීමට හෝ ඔවුහු නොපෙළඹුනහ.
ජිනීවා යෝජනාවට අදාලව වර්තමාන පාලක රෙජීමය
කටයුතු කරනුයේ තමන් පිලිබඳ අධි තක්සේරුවකිනි. කොටි සංවිධානය පරාජය කළ තමන්ට ජාත්‍යන්තර
බලපෑම් මගින් කුමන බලපෑමක් කල හැකි දැයි පාලක රෙජීමය සිතනවා විය හැකිය. යුද්ධයෙන්
පසුව මෙරට විදේශ ප්‍රතිපත්තිය හැසිරවෙන්නේ යුද්ධයේ අවසන් අවස්ථාවේදී මෙරටට පැමිණි
බ්‍රිතාන්‍ය සහ ප්රංස විදේශ ඇමතිවරුන්ද මෙරටට පැමිණීමට අවසර නොදුන් ස්වීඩන විදේශ
ඇමතිවරයා ද සමග ගනුදෙනු කල ආකාරයට ජෙනරාල් මානසිකත්වයකිනි. රාජ්‍ය තාන්ත්‍රික මානසිකත්වයකින්
නොවේ. ජ්‍යාත්‍යන්තර ප්‍රජාව අනුක්රමයෙන් වැඩිවන අනුපාතයකින් මෙරටට එරෙහිව සිටී.
මානව හිමිකම්සමුළුවේ මෙරටට එරෙහිව වූ පළමු
යෝජනාවට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් දෙවන යෝජනාවට ලැබුණි. මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදුකරන ක්‍රියාකාරකම්
නිසා මුස්ලිම් රටවල් මෙරටට එරෙහිව ඡන්දය දෙනු ඇතැයි අනුමාන කෙරේ. චීනය සහ රුසියාව
තමන් සමඟ නම් ප්‍රශ්නයක් නොමැති යැයි රජය සිතනවා විය හැක.
සමාප්තිය
කොටි සංවිධානය තමන්ගේ අඥාන ක්‍රියා මාර්ගය
නිසා විනාශයට පත්විය. ඒ සමග දෙමළ ජනතාවගේ බලය බෙදීම ඇතුළු දේශපාලන අභිලාෂයන්ද
විනාශයට පත්වී ඇත. වර්තමාන පාලක රෙජීමය කටයුතු කරන්නේද කොටි සංවිධානය කටයුතු කල
ආකාරයට සමානවය. ශ්‍රී ලංකා රජය වඩාත් ඥානවන්තව කටයුතු නොකළහොත් කොටි සංවිධානයට
සන්නද්ධ තලයේදී සිදුවූ දෙයට සමාන දෙයකට දේශපාලන තලයේදී ශ්‍රී ලංකා රජයට මුහුණ දීමට
සිදුවනු ඇත. එවැන්නක් වුවහොත් සමස්ත ජාතියටම එයට මුහුණ දීමට සිදුවනු ඇත. එක්තරා
යුගයකදී පරමාදර්ශී ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් වශයෙන් ජාත්‍යන්තර ගෞරවයට පාත්රව තිබූ ශ්‍රී ලංකාව
ජාත්‍යන්තර චුදිතයකු ගේ තත්ත්වයට පත්වීම ඉතාමත් කණගාටුදායක දෙයකි. විදේශික
බලවේගයන් මෙරට කටයුතු වලට අතපෙවීම වැළැක්වීම සඳහා මෙරට පාලනය ජාත්‍යන්තරව පිළිගත්
උසස් ප්‍රමිතීන්ට අනුකුලව පවත්වාගෙන යමින් ප්‍රඥාවන්තව කටයුතු කිරීම ශ්‍රී ලංකා රජයේ
යුතුකම සහ වගකීමද වේ.
published in samabima march 2014
No comments:
Post a Comment