“ඇමරිකන් ආධාර කපා හැරියට අපට එය දැනෙන්නේ නැහැ”
ආණ්ඩුව කියන කතාව ඇත්තද ?
ඇමෙරිකාව ලෝකය
පුරා බොහෝ රටවල් වලට ආධාර කරනවා. මේ සඳහා කෙලින්ම රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් හෝ
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය (USAID) මගින් හෝ කරනු ලබනවා. මෙය ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තියේම
කොටසක්. ඇමරිකන් විදේශ ප්‍රතිපත්තිය
කියන්නේ ඇමරිකන් ආරක්ෂක ප්‍රතිපත්තියේ දිගුවක්. ඇමරිකන් ආධාර ඉතා වැඩි ප්‍රමාණයක්
යන්නේ ඊශ්‍රාලය, ඊජිප්තුව වැනි රටවලටයි. මේ
සඳහා දේශපාලන හේතු තිබෙනවා. ලංකාවට ලැබෙන්නේ ඇමරිකාව දෙන මුළු ආධාර වලින් ඉතා සුළු
ප්‍රමාණයක්.සමහරවිට සියයට එකකටත් වැඩිය අඩුවෙන්න පුළුවන්. ලංකාවට ලැබෙන ආධාර කලින්
කිවූ පරිදි කෙලින්ම ඇමෙරිකන් ආණ්ඩුව මගින් හෝ USAID මගින් හෝ වෙන්නට පුළුවන්. USAID ආධාර දෙන ප්‍රධාන
අංශ තුනක් තිබෙනවා. ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් සහ පාලනය සඳහා, ආර්ථික
සංවර්ධනය සහ වෙළෙඳාම සඳහා සහ අර්බුදකාරී අවස්ථාවන්හිදී වශයෙන්. මෙයින් ආර්ථික
සංවර්ධනය සහ වෙළෙඳාම සඳහා දෙන ආධාර පුද්ගලික අංශය සමඟ සහයෝගිතාවයෙන් කරගෙන යනු ලබනවා.
විශේෂයෙන්ම ගැමි ආර්ථිකය දියුණු කිරීම සඳහා පුද්ගලික අංශයේ සහයෝගය ඇතිව එමෙන්ම මනා
දැක්මකින් යුතුව විශාල වැඩකොටසක් ඔවුන් කර තිබෙනවා. යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර
ප්‍රදේශවල සංවර්ධනය සඳහා දායකත්වයක් ඔවුන්ගෙන් ලැබෙනවා. මෙයින් සමහර ආධාර රාජ්‍ය
නොවන සංවිධාන මගින් මුදාහරිනු ලබනවා. මෙම ආධාර වලින් කොටසක් ව්‍යපෘති ආධාර වශයෙන්
ආණ්ඩුවටත් ලැබෙනවා. ආණ්ඩුවේ එදිනෙදා වියදම් සඳහා ආණ්ඩුවේ ගිණුමට ඇමරිකන් ආධාර
නොලැබෙන්න පුළුවන්. මෙවැනි ආධාර ඇමරිකාව විසින් ඊශ්‍රාලය වැනි රටවලට ලබාදෙනවා
වන්නටත් පුළුවන්.ප්රවෘත්ති වාර්තා වල සඳහන් වූ අන්දමට සියයට විස්ස කපාහැරි පසුව අදාල
මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන එකොළහක් වනවා. ඒ අනුව කපාහැරි මුදල ඇමරිකන් ඩොලර්
මිලියන දෙකක් පමණ වනවා. මෙය ලංකාවේ ආර්ථිකය සමග බලනවිට එතරම් විශාල මුදලක් නොවෙයි.
ඒ වුනත් ලංකාව දැඩි ආර්ථික අපහසුතා ඇති රටක්. ඩොලර් මිලියන දෙකකින් කළහැකි බොහෝ
වැඩ තිබෙනවා. චීන්නු මේ සල්ලි දෙන්නේ නැහැ.
පසුගියදා ජනාධිපති වරයා කියා තිබුනා විදුලි බිල වැඩි කලේ නැත්නම් රට ආර්ථික
අර්බුදයකට යා හැකි බව. විදුලි බිල වැඩිකිරීම මගින් ආණ්ඩුව විසින් ජනතාව ආර්ථික
අර්බුදයකට යවා තිබෙනවා.අපේ ගෙවුම් ශේෂ හිඟය සහ රාජ්‍ය ණය ඉතා වැඩි අගයක් ගන්නවා.
මෙවැනි රටක් බොරු ආඩම්බරකාර කතා කීම බොරු ෂෝ එක නුසුදුසු බවයි මට හිතෙන්නේ.
ඇමෙරිකාව
එමගින් බලාපොරොත්තුවෙන්නේ කුමක්ද?
ප්රවෘත්ති
වාර්තා වල සඳහන් වූ අන්දමට කපාහැරීමට හේතු වශයෙන් දක්වා තිබුනේ ලංකාව මධ්‍යම ප්‍රමාණයේ
ඒක පුද්ගල අදායමක් ඇති රටක් වීමයි. ඊට අමතරව තවත් වැදගත් හේතුවක් තිබුනා. එනම් ඔවුන්
උතුරු පළාතේ අවතැන් වූවන් ට පහසුකම් සැලසීම සඳහා වූ ව්‍යාපෘතියකට හමුදාව අතපෙවීම
නිසා එය අවසන් කිරීමට නොහැකිවූ බව සඳහන් වුනා. උතුරේ දැනට පවතින දැඩි හමුදා පාලනය යටතේ
එය එසේ වන්නට පුළුවන්. මා හිතන හැටියට කපාහැරි මුදල එතරම් විශාල නොවුනත් කපාහැරි විශාල ප්‍රතිශතය සහ එයට ලැබී ඇති ප්‍රසිද්ධිය
අනුව ඇමෙරිකාව අපට පණිවිඩයක් දී තිබෙනවා. අපට විරුද්ධව මානව හිමිකම් කොමිසමේ
යෝජනාවක් ඇමෙරිකාව ගෙනාවා. අපේ මිතුරන් අපෙන් ඈත්වෙමින් සිටිනවා. ජාත්‍යන්තර
නින්දිත රාජ්‍යයක් බවට අප පත්වෙමින් සිටිනවා. ඒ අනුව ඉදිරියේදී මිට වඩා වැඩි
ආර්ථික ප්‍රතිවිපාක වලට අපට මුහුණ දෙන්නට වෙන්න පුලුවන්. පෙරහැරේ කසකරුවන් තමයි දැන් ඇවිත් ඉන්නේ.
මෙහි බලපෑම
ආණ්ඩුවට පමණක් වන්නේ කෙසේද එය ආර්ථිකයට බලපෑවොත්
එහි ප්‍රතිඵල ජනතාවටත් භුක්ති විඳින්න සිදු නොවේ යයි කියන්නේ කෙසේද?
මා කලින් කියපු
විදියට ආණ්ඩුවේ ගිණුමට වන බලපෑම ඉතා අල්ප
වන්නට පුළුවන්. එමගින් රටේ ආර්ථිකයට වන
බලපෑම එයට වඩා වැඩියි. ඒ කියන්නේ මෙම ආධාර ආණ්ඩුව හරහා නොමැතිව වෙනත් ආයතන හරහා
ජනතාවට ලැබෙනවා. අපට දැනට තොරතුරු නැහැ මෙම කපාහරින ප්‍රමාණය කුමන අංශ වලින්
කපාහරිනවාද යන බව. ඉදිරියේදී අපට දැනගන්නට පුළුවන් කුමන ආකාරයට ජනතාවට මෙහි ප්‍රතිඵල
ලැබේද යන බව.
දැනට කාලයකට පෙර යුරෝපා සංගමය මගින් ජී. එස්. පී
+ සහනය නැවත අලුත් කිරීම සඳහා යම් යම් කොන්දේසි වගයක් පැනවුවා. ආණ්ඩුව ඒ කොන්දේසි
වලට එකඟ වුනේ නැහැ. ඒ අනුව යුරෝපා සංගමය ජී. එස්. පී + සහනය නැවත අලුත් කලේ නැහැ.
ජී. එස්. පී + සහනය කියන්නේ යුරෝපා සංගමයට අපේ රටෙන් ආනයනය කරන භාණ්ඩ වෙනුවෙන්
සහනදායි ආනයන බදු ක්‍රමයක් ඇතිකිරීමයි. ඒ අනුව අපේ රටේ භාණ්ඩ වල මිල යුරෝපා සංගමය
තුල අඩුවෙනවා. මෙය අපේ රටේ අපනයන ව්‍යාපාරිකයන්ට වාසියක්. ආණ්ඩුවේ ආර්ථික පණ්ඩිතයෝ
දැන් ඔය ඇමරිකන් ආධාර කැපුවම කියනවා වගේ කිවුවා අපට ඔය සහනය නැති කිරීමෙන් කිසිම
අවාසියක් වෙන්නේ නැහැ කියලා. මේක වැඩියෙන්ම වැදුනේ නිමි ඇඳුම් අපනයන ව්‍යාපාරිකයන්ට.
සමහරු ෆැක්ටරි වහල බංගලි දේශයට අරගෙන ගියා. රටට විදේශ විනිමය අදායම නැති උනා. අපේ
ළමයින්ට රස්සාවල් නැතිඋනා. අපේ රටේ දැන් තිබෙන ගෙවුම් ශේෂ හිඟයට මේකත් එක හේතුවක්.
රටේ අපනයන අදායම ක්‍රමයෙන් අඩුවෙමින් යනවා. රටේ ප්‍රතිපත්ති සම්පාදකයෝ අපනයන ව්‍යාපාරිකයන්ට
වැඩි බරක් තියල කල්පනා කරන්නේ නැහැ.
මේකේ තවත්
පැත්තක් තියෙනවා. ආණ්ඩුව කොන්දේසි වලට
එකඟ වුනේ නැත්තේ රටේ ස්වාධිනත්වයට එයින් හානි වෙනවා කියලයි. කොන්දේසි වල තිබුනේ
මුලික වශයෙන් මානව හිමිකම් රකින්න කියලයි. මානව හිමිකම් රකින එක ජනතාවට හිතකරයි.
මර්දනකාරී පාලනයකට අහිතකරයි. රටේ පරමාධිපත්‍යය තියෙන්නේ ජනතාවටයි. පාලකයෝ භාරකාරයො
විතරයි. රටේ ස්වාධිනත්වය කියන්නේ ජනතාවහේ ස්වාධිනත්වයයි. පාලකයන්ගේ ස්වාධිනත්වය
නෙවෙයි.
අපිට ඇමෙරිකාව
නැතත් චීනය ඉන්දියාව මැදපෙරදිග ඉන්නවා නේද?
චීනය තමයි
අපිට වැඩියෙන්ම ණය දීල තියෙන්නේ. ආධාර නැහැ
එහෙම නැත්නම් ඉතාම අඩුයි. බණ්ඩාරනායක මැතිනිය ගේ කාලේ හැදුව සම්මන්ත්රණ
ශාලාව චීන ආධාරයක්. ඒ කාලේ චීන ණය තිබුනේ නැහැ. චීනෙන් තමයි අපිට වැඩිම
පොලියට ණය දීල තියෙන්නේ. චීනෙන් හදපු
නොරොච්චෝලේ තාප බලාගාරය දුවනවට වැඩිය කැඩෙනවා. දැන් ණයට හිලවු වෙන්න බලාගාරය චීනෙට දෙන තත්ත්වයක්
තමයි තියෙන්නේ. අපි බටහිරට විරුද්ධවෙලා ඇතිකරගෙන ඉන්නේ මේ වගේ යාලුවෝ තමයි.
මහවැලි යෝජනා ක්‍රමය කරද්දී ආධාර සහ ඉතාම
අඩු පොලියට ණය ලැබුනා බටහිර රටවල් වලින්. ඒ එක රටක් තමයි ස්වීඩනය. යුද්ධයේ අවසන්
කාලයේ ස්වීඩන තානාපති වරයාට මෙරටට එන්න අපි විසා දුන්නේ නැහැ. දැන් ස්වීඩන තානාපති
කාර්යාලයකුත් ලංකාවේ නැහැ. ඉන්දියාව අපිත් එක්ක නැහැ. අපි ඉන්දියාව රවට්ටලා
තියෙන්නේ. තමිල්නාඩුවේ විශාල බලපෑමක් තියෙනවා ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවට. කොටි
විරෝධී ජයලලිතා දැන් ලංකා ආණ්ඩුවට විරුද්ධවෙලා ඉන්නවා. මැද පෙරදිග රටවල් ජිනීවා වලදී අපට සහයෝගය
දුන්නා. ඒවා අපට පක්ෂ ඡන්ද වලට වඩා ඇමරිකාවට විරුද්ධ ඡන්ද. මේ සඳහා පකිස්ථානය
විශාල කාර්යයක් කරනු ලැබුවා. දැන් බොදුබලසේනා කියන බුදුන් වදාළ ධර්මයට පටහැනිව ක්‍රියාකරන
රාජ්‍ය අනුග්‍රහය ලබන සංවිධානයේ ක්‍රියාකලාපය නිසා මුස්ලිම් රටවල තානාපති වරු රජය
සමග සාකච්ඡාවක් පැවැත්වුවා. එනිසා මැද පෙරදිග ඉදිරියට නැති වෙන්න පුළුවන්.
ඔබ යෝජනා කරන
ප්‍රතිපත්තිය කුමක්ද?
මේ සඳහා කෙටි
ප්‍රතිපත්තියක් නැහැ . අපි ඉතාම ප්රශස්ත විදියට විදේශ ප්‍රතිපත්තිය හසුරුවපු
රටක්. ඒ සඳහා අපට බණ්ඩාරනායක මැතිනිය ගේ කාලයේත් කදිර්ගාමර් මහතා විදේශ ඇමති වී සිටි කාලයේත් වැදගත්
පුර්වාදර්ශ තිබෙනවා. මේ අවස්ථා දෙකේම තිබුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු බව අප
මතක තබා ගත යුතුයි. යුද්ධය පැවතී අවසන් කාලයේ සිට රැවටිලිකාර සහ බොරු ආඩම්බරකාර
හැසිරීමකින් යුතු විදේශ ප්‍රතිපත්තියක් අප අනුගමනය කරමින් සිටිනවා. යුද්ධයේ අවසන් කාලයේදී අප විසින් ඉන්දියාව රවටනු
ලැබුවා. ජේ. ආර්. ගේ යුගයේ එල් ටි ටි ඊ සංවිධානය පිළිබඳව ඉන්දියාවේ තිබු ආකල්පය
පසුගිය යුද්ධ කාලයේ බොහෝසෙයින් වෙනස්වී තිබුනා. ඒ අනුව ඉන්දියාව හැසිරවීමට කල
යුතුව තිබුනේ ඉතා සුළු දෙයයි. එනම් යුද්ධයෙන් පසුව දෙමල ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදීම සහතික වීමයි. මේ
වෙනුවෙන් නැවත නැවතත් බොරු සහතික අප විසින් ඉන්දියාවට දී තිබෙනවා. මේක නුසුදුසු ප්‍රතිපත්තියක්. දැනට ඉන්දියාව හසුරුවනු ලබන්නේ
චීනය ඉදීරියට දැමීම මගින්. මේක අමුවෙන්ම කේවල් කිරීමක්.නොබැඳි ප්‍රතිපත්තියක්
නෙවෙයි. රාජ්‍ය තාන්ත්‍රික වශයෙනුත් කේවල් කල හැකියි. එය කල යුත්තේ බොහෝ සියුම්
අන්දමටයි.
අපට බටහිර සමග
තිබෙන්නේ බොරු ආඩම්බරකාර හැසිරීමක්. යුද්ධයේ අවසන් කාලයේ වුනු බටහිර බලපෑම් සමනය
කලේ තර්ජනාත්මක ආකාරයකින්. කිසිම රටක
බලපෑමකට අප නතු විය යුතු නැහැ. ස්වාධීනව
ක්‍රියා කිරීමට අපට හැකියාව තිබිය යුතුයි. එම රටවල් සමග ගනුදෙනු කරන ආකාරය ස්ථිර සාර විය යුතුයි. සන්සුන් විය යුතුයි. තර්ජනාත්මක
වියයුතු නැහැ. අප විදේශ ප්‍රතිපත්තිය හසුරුවනු ලැබුවේ ‘ජනරාල්’ මානසිකත්වයකින්.
‘රාජ්‍ය තාන්ත්‍රික’ මානසිකත්වයකින් නොවෙයි.
ඉන්දියාව
පමණක් නොවෙයි බටහිර ඇතුළු මුළු ජාත්‍යන්තර ප්‍රජාවටම අප බොරු කියා තිබෙනවා. බොරු
පොරොන්දු දී තිබෙනවා. බොරු ඉලක්ක දී
තිබෙනවා. මේවායේ ප්‍රතිඵල වලටයි අපට ඉදිරියේදී මුහුණ දෙන්නට සිදුවී තිබෙන්නේ.
අපට විරුද්ධව
ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් ගෙනාවා. එකේ මොනවාද තියෙන්නේ. උගත්
පාඩම් සහ ප්රතිසන්ධාන කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කරන්න කියනවා. ඒ කොමිසම අපේම
කොමිසමක්. මේ ගැන අපි කලින් දුන්න පොරාන්දු ඉටු කරේ නැති නිසා මේ ගැන මානව හිමිකම්
කොමසාරිස් වරියට මේ ගැන මැදිහත් වීමට අවශ්‍ය පසුබිම සකස් කර තිබෙනවා. ඊට අමතරව රාජ්‍යයේ මානව හිමිකම් කෙලෙසීම පිලිබඳ වත්
අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීම පිලිබඳ වත් සඳහන් වෙනවා. මේවගේම යෝජනාවක් අපට
විරුද්ධව 1987 දී මානව හිමිකම් කොමිසමට රටවල් කිහිපයක් විසින් ගෙන ආවා. එකාලයේත්
අපි ජාත්‍යන්තරව නින්දාවට පත් වුනා. දැනුත් අපි
ජාත්‍යන්තරව නින්දාවට පත් වෙමින් සිටිනවා. ඒ කාලයේ යුද්ධය තිබුණු කාලයේ අපි
ඉතාම අපහසුතාවයට පත් වුනා. ඉන්දියාව අපට බලපෑම් කළා. පරිප්පු දැම්මා. ඒ කාලයේ වුනු නින්දාවෙන් අපි ගැලවුනේ කොටි
සංවිධානයේ නරුම ක්‍රියාකලාපය නිසා. දැන් වන නින්දාවෙන් ගැලවීමට දෙමල මිනිසුන්ට
සාධාරණය ඉටු කල යුතුයි. සිංහල බෞද්ධ නොවන මිනිසුන්ට වෙනස්ව සලකන ක්‍රමය නැතිකළ
යුතුයි. සියලු දෙනාටම එක සමානව සලකියයුතුයි. බලය බෙදිය යුතුයි. රට නොබෙදිය යුතුයි.
රට නොබෙදන්න පුළුවන් බලය බෙදීමෙන් පමණයි. ආණ්ඩුවට අවශ්‍ය බලය බෙදන්න නෙවෙයි. තියන
බලයත් සංකේන්ද්‍ර කරන්න. රටේ අයවැයෙන් සෑහෙන ප්‍රමාණයක් පාලනය කරන්නේ රාජපක්ෂ පවුල
විසින්. දැන් තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු පාර්ලිමේන්තුවක්. දැන්
සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය
කරපු ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් පත් කරපු
අගවිනිසුරුවරයෙක්. අපි යහ පාලනයක් ඇතිකරගත යුතුයි.
මම හිතන්නේ නැහැ සිංහල මිනිස්සු වැඩි පිරිසක්
බලය බෙදීමට විරුද්ධ වෙයි කියල. මේකට විරුද්ධ වෙන්නේ අන්තවාදී මිනිස්සු. අන්තවාදී
සංවිධාන. යුද්ධය දිනපු හැටියේ ආණ්ඩුව කිවුවා නම් අපේ අරමුණ මේකයි. අලුත් ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවක් ගේනවා බලය බෙදනවා කියල මිනිස්සු එකට විරුද්ධ වෙන එකක් නැහැ. මම
හිතන්නේ ආණ්ඩුව මේ ප්‍රතිසංස්කරණ නොකළේ මිනිස්සු මේකට විරුද්ධ වෙයි කියල නෙවෙයි.
ඇත්ත වශයෙන්ම ආණ්ඩුවට ඒ ගැන අවශ්‍යතාවයක් තිබුනේ නැති නිසා. ආණ්ඩුව කියන්නේ
රාජපක්ෂ පවුල. බලය තියෙන්නේ එතනයි.
මේවා හදාගත්තා
නම් අපේ විදේශ සම්බන්ධතා යහපත් වෙනවා. අපට විදේශ ආයෝජන ලැබෙනවා. විදේශ ආධාර
ලැබෙනවා. ඇමෙරිකාව අපේ අධාර කපන්නේ නැහැ. සියලුමදෙනා අපට උදවු කරනවා. රටේ සාමය
ඇතිවෙනවා. යුද්ධය අවසන් වීමේ ප්රතිලාභ ජනතාව අතරට යනවා. රාජපක්ෂ ජනාධිපතිවරයාට යුද්ධය ජය ගැනීමෙන් පසුව
ලංකාව ආසියාවේ ආශ්චර්යය කිරීමේ අගනා අවස්ථාවක් ලැබුනා. එම අවස්ථාව දැන් ඔහුගේ
අතින් ගිලිහි යමින් පවතිනවා. මේක ඉතාම කණගාටුදායක තත්ත්වයක්.
Interview to lankadipa on 30/4/2013
No comments:
Post a Comment