හර්ෂ ගුණසේන
නෙල්සන්
මැන්ඩෙලා අභාවප්‍රාප්ත විය. මුළු ලෝකයම ඔහු වෙනුවෙන් කම්පා වේ. ඔහු විශිෂ්ට
නායකයකු බව කියැවේ. ඇමරිකන් කොඩිය ඔහු
වෙනුවෙන් අඩකුඹ කොට ඇත.
මහින්ද
රාජපක්ෂ නිදහස් ලෝකයෙන් ගැරහුම් ලබයි. බ්‍රිතාන්‍ය නායකයා මෙරටටම පැමිණ ඔහු
විවේචනය කළේය.ඇමෙරිකාව අපට විරුද්ධව ජාත්‍යන්තර
මානව හිමිකම් කවුන්සිලයේ අපට විරුද්ධව යෝජනාවක් ද ගෙනැවිත් ඇත.
බොහෝ නිදහස්
අරගල ජයග්‍රහණය කල නායකයෝ ඇත. වියට්නාමයේ හෝ චි මින් එවැන්නෙකි. හෝ චි මින් ගේ
ආරක්ෂක ඇමතිවරයා වුද ප්රන්සයට සහ ඇමරිකාවට විරුද්ධ වියට්නාම අරගලයට යුද්ධමය
නායකත්වය දුන්නාවුද වෝ න්ගුයෙන් ගියප් පසුගියදා අභාවප්‍රාප්ත විය. ඔවුන් දෙදෙනාම වචනයේ
පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ටයෝ වෙති.
රොබට් මුගාබේ
සිම්බාබ්වේ නිදහස් අරගලය ජයග්‍රහණය කල නායකයාය. ඔහු දැන් ජාත්‍යන්තර නීචයෙකි.
අයෙක් විශිෂ්ටයෙක් වන්නේද අයෙක් නිචයෙක් වන්නේද ඇයි? පරාර්ථය සහ ආත්මාර්ථය ද පර අනර්ථය
සහ ආත්ම අනර්ථය ද නිසාය.
නෙල්සන් මැන්ඩෙලා
සිරගත වීමට පෙර අප්‍රිකානු ජාතික සංගමයේ සන්නද්ධ අංශයේ නායකයා විය. ඔහු විශිෂ්ටත්වයට
පත්වුයේ වර්ණ භේද වාදයට විරුද්ධ අප්‍රිකානු නිදහස් අරගලය සාර්ථක ලෙස අවසන් කල නිසා
පමණක් නොවේ. එම මට්ටමින් ගත් විට හෝචි මින් ද රොබට් මුගාබේ ද විශිෂ්ටයෝ වෙති.
හෝචිමින් තම පසුකාලීන ක්‍රියා කලාපය මගින් තම විශිෂ්ටත්වය රැක ගත්තේය. රොබට්
මුගාබේ තම පසුකාලීන ක්‍රියා කලාපය මගින් හුදු නීචයකු බවට පරිවර්තනය විය. මැන්ඩෙලා
තම පසුකාලීන ක්‍රියා කලාපය මගින් තම විශිෂ්ටත්වය වඩ වඩාත් ඔප් නංවා ගෙන ලෝක පුජිත
තත්ත්වයට පත්විය
විශිෂ්ටත්වයට
පත්වීමට මැන්ඩෙලා කලේ කුමක්ද? මහින්ද රාජපක්ෂ නොකළ දේ ය. රොබට් මුගාබේ නොකළ දේ ය. දුටුගැමුණු
කල දේ ය. එනම් තමන් විසින් පරාජය කල
පුද්ගලයන්ට ගෞරවය ලබා දීමයි. එය එතරම්ම සරල දෙයකි. එමෙන්ම එය එතරම්ම ගැඹුරු දෙයකි.
දකුණු අප්‍රිකාවේ
සුදු ජාතිකයන්ට ගෞරවය ලබාදීමේ ක්‍රියාවලියේදී වර්ණභේද වාදී යුගයේදී දැඩි පිඩාවට පත්වූ කළු ජාතිකයන්ගෙන්
එයට දැඩි විරෝධතා එල්ලවිය. මැන්ඩෙලා එයින් නොසැලී තම ක්‍රියා පිළිවෙල ඉදිරියටම ගෙන
ගියේය. ඔහු යෝධයකු වන්නේ එනිසාය. මහින්ද රාජපක්ෂ යුද්ධයෙන් පසුව මෙරට දෙමල
ජාතිකයන්ට ගෞරවය ලබා දීමට කල්පනා කලේ නැත. ජන බලයක් නැති අන්තවාදීන් එයට විරුද්ධ
වනු ඇතැයි ඔහු සිතන්නට ඇත. ඔහු අඟුටු මිට්ටකු වන්නේ එනිසාය. දෙදෙනාටම ලැබුනේ සමාන
මට්ටමේ අවස්ථාවන්ය. මැන්ඩෙලා තොරණ මුදුනේ සිටින්නේද රාජපක්ෂ බිම ලැගගෙන
පහුරුගාන්නේද ඔවුන්ගේ ක්‍රියා කලාපය නිසාය. මෙරට ඊනියා සිංහල බෞද්ධයන් ඇතුළු අප
සියලු දෙනා තම ක්‍රියා කලාපය ගැන නැවත සිතා බැලීමට ලෝක පුජිත නායකයකු වූ නෙල්සන්
මැන්ඩෙලා අභාවප්‍රාප්ත වූ අද දින අධිෂ්ඨාන කරගත යුතුය.
(නෙල්සන් මැන්ඩෙලා ගේ අභාවය වෙනුවෙන් ලියන ලදී)
No comments:
Post a Comment