Tuesday, June 2, 2015

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නරිවාදම


හර්ෂ ගුණසේන විසිනි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ  දින සියයේ වැඩසටහනේ 2015 ජනවාරි 21 දිනය යටතේ මෙසේ කියාසිටියේය. “ දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් ස්ථාපිත කිරීම.........”
1982 ජනාධිපතිවරණයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු දී ඇත. විශේෂයෙන්ම චන්ද්‍රිකා  කුමාරතුංග ජනාධිපති ධුරයට පත්වූ ජනාධිපතිවරණ දෙකේදීම ප්‍රධාන පොරොන්දුවක් වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවය. මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ 2005 ජනාධිපතිවරණයේදී ද විධායක  ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දුවක් විය.
2010 ජනාධිපතිවරණයේදී රාජපක්ෂගේ ප්‍රකාශනයේ විධායක ජනාධිපති ධුරය පිළිබඳව මෙසේ සඳහන් විය.
“විධායක ජනාධිපති ධුරයේ බලතල පරිහරණය කිරීමේදී මම ඉතා ප්‍රවේශම්කාරී වූයෙමි........... විධායක ජනාධිපති ධුරය පිළිබඳ සියලු පක්‌ෂ හා ජනතා නියෝජිතයන් සමග විවෘත සාකච්ඡාවකට එළඹෙමි. පාර්ලිමේන්තුවට ලැබෙන ජනවරමට ගරු කරමින් පාර්ලිමේන්තුවට වග කියන නීතිය ඉදිරියේ සියල්ලන් සමානය යන ප්‍රතිපත්තිය ගරු කරමින් අධිකරණයට වගකියන ව්‍යවස්‌ථා සම්පාදනය, විධායකය හා අධිකරණය එකිනෙකට ගැටෙන ඒකක ලෙසින් නොව, සහජීවනයෙන් බැඳුණු එකම රාජ්‍යයක කොටස්‌ බව තවදුරටත් අවධාරණය කරන භාරකාර ධුරයක්‌ බවට විධායක ජනාධිපති ධුරය පත්කරමි.” 
2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මෙසේ කියා සිටියේය..
“විධායක ජනාධිපති ධුරයේ හොඳ නරක පිළිබඳව සිදුවන විවාදයට මම සාවධානව සවන් දුන්නෙමි. ඒඅනුව පාර්ලිමේන්තු ක්‍රමයේ පවතින දුර්වලතා බැහැර කරමින් ද යහපත් ලක්ෂණ උකහා ගනිමින්ද විධායක ජනාධිපති ක්‍රමය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ තීරණය අනුව සුදුසු පරිදි සංශෝධනය කරමි.”
පොරොන්දුවීමෙන් පසුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට යම් උත්සාහයක් ගත්තේ චන්ද්‍රිකා කුමාරතුංගයි. ඇය සිය පළමු ධුර කාලයේදී එය නොසලකා හැරී අතර දෙවන ධුර කාලයේදී නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. විශේෂයෙන්ම එම ව්‍යවස්ථාවේ තිබූ සංක්‍රාන්තික යෝජනා මත  එවකට විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේදී එයට විරුද්ධ විය.
රාජපක්ෂ පළමු ධුර කාලයේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම නොසලකා සිටි අතර දෙවන ධුර කාලයේදී විධායක ජනාධිපති ධුරය ජනතා අභිලාෂයන් මත සංශෝධනය කරන බවට පොරොන්දු වී තිබියදීත් එයට සපුරා පටහැනිව ජනාධිපතිවරයකුට ධුරයට පත්වීමේ වාර ගණනේ සීමාව ඉවත් කළේය.
මෙම සීමාව ඉවත් කිරීම පළමුව අත්‍යන්තයෙන්ම සදාචාර විරෝධිය. මක්නිසාද යත් ඔහු බලයට පැමිණියේ එහි බලතල අඩු කිරීමට හෝ අහෝසි කිරීමට ප්‍රතිඥා දෙමිනි. එය සහාසික ලෙස ජනතාවට දුන් පොරොන්දු කඩ කිරීමකි. රටේ භාරකාරයා වන්නෙමියි කී පුද්ගලයා රටේ අයිතිකාරයා වීමට තැත් කිරීමකි.  දෙවනුව එය ව්‍යවස්ථාවේ තිබූ සංවරණ සහ තුලන වලට කල බරපතල අභියෝගයකි. ජනාධිපතිට ලැබෙන සුවිශේෂ බලතල නිසා ව්‍යවස්ථා සම්පාදකයන් විසින් ජනාධිපතිහේ ධුර කාල සීමාව වාර දෙකකට සිමා කලේ සංවරණයක් සහ තුලනයක් වශයෙනි. ව්‍යවස්ථාවට කල 18 වන සංශෝධනය නිසා එම එම සංවරණය සහ තුලනය අහෝසි වී ගියේය.
18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ එම අවස්ථාවේ එයට කිසිම හදිසියක් නොතිබුනත් හදිසි පනතක් වශයෙනි. මෙම අවස්ථාවේදී පළමුව අධිකරණය විසින් මේ සංශෝධනය සඳහා ජනමත විචාරණයකට යා යුතු නැතැයි පවසමින් එයට අනුමැතිය දෙන ලදී. එයට මුලික වශයෙන් හේතුවුයේ     අධිකරණය විසින් සිය තීන්දුව ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ගැන සඳහන් වන 3 සහ 4 ඡේද පමණක් ගැන සලකා ව්‍යවස්ථාවේ පදනම වූ සංවරණ සහ තුලන ගැන නොසලකා ප්‍රකාශකළ බැවිනි.
එවකට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් එම සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත කරන ලදී.
18 වන ව්‍යවස්ථා සංශෝධනය හා සසඳන විට 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහසට පොළොව මෙනි. 18 වන සංශෝධනයට කිසිම ජනතා අනුමැතියක් නොතිබූ අතර 19 වන සංශෝධනය  බොහෝ කාලයක් තිස්සේ ජනතා අනුමැතිය ලැබූ ජනතාව විසින් බලාපොරොත්තුවූ සංශෝධනයකි. 18 වන සංශෝධනය ජනතා අභිලාෂයන්ට පටහැනිව ඒකාධිපතියෙක් බිහිකළ අතර 19 වන සංශෝධනය  ජනතා අභිලාෂයන්ට අනුකුලව ඒකාධිපති බලතල අඩුකර පාර්ලිමේන්තුව වඩාත් ශක්තිමත් කළේය. 18 වන සංශෝධනයට පාර්ලිමේන්තුවද අධිකරණයද එක පැහැර අනුමැතිය දුන් අතර 19 වන සංශෝධනයට පාර්ලිමේන්තුවද අධිකරණයද විසින් බොහෝ බාධා පනවන ලදී.   
ව්‍යවස්ථාව මගින් අධිකරණයෙන් බලාපොරොත්තු වන්නේ ව්‍යවස්ථා සංශෝධන මගින්  ව්‍යවස්ථාවේ 1,2,3,6,7,8,9,10,11, 30 (2) සහ  62 (2) යන ඡේද උල්ලංඝනය වන බව බැලීම සහ එසේ වන්නේ නම් එය පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් අනුමත කිරීමට අමතරව ජනමත විචාරණයකට යා යුතු දැයි තීරණය කිරීම පමණක් වන නිසා අධිකරණයේ ක්‍රියාව එක්තරා ප්‍රමාණයකට සාධාරණිකරණය කළ හැක.
එනමුත් පාර්ලිමේන්තුවේ ක්‍රියාව සාධාරණිකරණය කල හැක්කේ කෙසේද? මෙරට පළමු වතාවට රාජ්‍ය නායකයා පොරොන්දුවූ පරිදි සිය බලතල අඩුකිරීමට සහ එම බලතල පාර්ලිමේන්තුවට ලබාදීමට බොහෝ වෙහෙසක් ගත් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම එයට එරෙහිවිය. අධිකරණය ජනාධිපති විසින් අගමැති ගෙන් විමසා කැබිනට් ඇමතිවරුන් පත් කිරීම අනුමත කර තිබියදීත් මේ සඳහා අගමැතිගෙන් විමසිය යුතු නැතැයි ජනාධිපති ගේ ධුර කාල ගණන වැඩිකිරීමට එක පැහැර අනුමැතිය දුන් මේ බත්බැලයෝ පාර්ලිමේන්තුවේදී කියා සිටියහ. එමෙන්ම 17 වන සංශෝධනය අනුව රටේ ඉහළ තනතුරු වලට කෙරෙන පත්වීම නිර්දේශපාලනීකරණය  කිරීම සඳහා ව්‍යවස්ථා සභාවට සිවිල් පුරවැසියන් පත්කිරීමට තිබූ හැකියාව අහෝසි කර එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් පමණක් පිරවිය යුතු යයි ඔවුහු කියා සිටියහ. අවසානයේදී මුල් යෝජනාවට පටහැනිව සිවිල් පුරවැසියන් තුන්දෙනෙක් පමණක් ව්‍යවස්ථා සභාවට පත්කිරීමට එකඟ වන ලදී.   මුල් යෝජනාව වූයේ දස දෙනෙක් වූ අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් තුන්දෙනෙක් පමණක් ව්‍යවස්ථා සභාවට පත් කල යුතු බවය.

දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 19 වන ව්‍යවස්ථාව සම්මත කිරීමට දායකත්වය දුන්නේ තමන් යයි කියා සිටිති. මේ නරිවාදම අනුව මොවුහු තක්කඩියන් නොවන්නේ  නම් කවුරුන් වෙත්ද ?
Published in samabima May 2015

No comments:

Post a Comment