Tuesday, June 2, 2015

බ්‍රිතාන්‍ය මහා මැතිවරණයෙන් උගත හැකි පාඩම්


හර්ෂ ගුණසේන
බ්‍රිතාන්‍ය මහා මැතිවරණය අවසන් වී ඇත. එහි ප්‍රතිඵල මගින් පෙන්නුම් කෙරෙන ප්‍රධාන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න බොහෝ කලකට පසු, මැතිවරණයකදී බලයේ සිටි ආණ්ඩුව සිය අසන සංඛ්‍යාව වැඩි කර ගැනීමයි. දෙවැන්න ස්කොට්ලන්ත ජාතික පක්ෂය විසින් 59 ක්වූ ස්කොට්ලන්ත අසන වලින් 56 ක් ජයග්‍රහණය කිරීමයි. 
බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ කිසිම පක්ෂයකට බහුතර බලයක් නොලැබෙන ආණ්ඩුවකි. එනමුත් ඩේවිඩ් කැමරුන් විසින් මෙහෙයවන ලද කොන්සවෙටිව් පක්ෂය 50% කට වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් විය. එමෙන්ම කම්කරු පක්ෂය ලිබරල් පක්ෂය සහ බ්‍රිතාන්‍ය නිදහස් පක්ෂය යන පක්ෂ නායකයෝ පරාජයේ වගකීම පිළිගනිමින් ඉල්ලා අස්වූහ. 1997 සිට 2015 දක්වා බ්‍රිතාන්‍ය මහා මැතිවරණ වලදී එක් එක් පක්ෂය ලබාගත් අසන සහ එම පක්ෂ එම මැතිවරණ වලදී ස්කොට්ලන්තය තුල ලබාගත් ආසන වගුවේ දක්වා ඇත.

පාර්ලිමේන්තු ආසන -එක්සත් රාජධානිය
2015
2010
2005
2001
1997
කොන්සවෙටිව් පක්ෂය
331
306
198
166
165
කම්කරු පක්ෂය
232
258
355
412
418
ලිබරල් පක්ෂය
8
57
62
52
46
ස්කොට්ලන්ත ජාතික පක්ෂය (SNP)
56
6
6
5
6
පාර්ලිමේන්තු ආසන-ස්කොට්ලන්තය
කොන්සවෙටිව් පක්ෂය
1
1
1
1
කම්කරු පක්ෂය
1
41
41
56
56
ලිබරල් පක්ෂය
1
11
11
10
10
ස්කොට්ලන්ත ජාතික පක්ෂය (SNP)
56
6
6
5
6

කම්කරු පක්ෂය ස්කොට්ලන්තයේ හැරුණු විට බ්‍රිතාන්‍යයේ අනෙක් ප්‍රදේශ වල ආසන ප්‍රමාණය වැඩි කරගත් අතර වඩාත් බලවත් පසුබෑමකට ලක් වූයේ ලිබරල් පක්ෂයයි. ස්කොට්ලන්ත ජාතික පක්ෂය (SNP) සිය ආසන සංඛ්‍යාව 6 සිට 56 දක්වා වැඩිකර ගැනීමට සමත් විය. මෙම මැතිවරණයේ තීරණාත්මක භූමිකාව රඟපෑවේ  SNP විසිනි. එහි නායිකාව විසින් මැතිවරණයේදී පහත සඳහන් ප්‍රකාශය කරන ලදී. “කොන්සවේටිව් පක්ෂය බලයට පත්කරන කිසිම ක්‍රියාවක අපි නිරත නොවෙමු. මැතිවරණයෙන් පසුව කොන්සවෙටිව් පක්ෂය බලයට පත් නොවීම සඳහා කොන්සවෙටිව් විරෝධී පෙරමුණකට අපි සහයෝගය දෙමු. ඉන්පසුව කම්කරු පක්ෂයට වඩාත් නිර්භීත වීමට සහ යහපත් වීමට අපි බල කරමු.”  මෙම සටන් පාඨයට එරෙහිව කොන්සවෙටිව් පක්ෂය ක්‍රියාත්මක වෙමින් යම් හෙයකින් කම්කරු පක්ෂය බලයට පැමිණියහොත්  SNP සමඟ ගණුදෙනු කිරීමේදී ආණ්ඩුව දුර්වල විය හැකි බව ප්‍රකාශ කරන ලදී.

1999 සිට 1998 ස්කොට්ලන්ත පනතට අනුව මහා බ්‍රිතාන්‍යය තුල  ස්කොට්ලන්තයේ වඩාත් ස්වාධින ආණ්ඩුවක් ක්‍රියාත්මක වේ. වෙස්ට්මිනිස්ටර් ක්‍රමය තුල තමන් අඩු සැළකිලි ලබන බවට හැඟීමක් ස්කොට්ලන්ත ජාතිකයන් තුල පවතී. මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව SNP  නායිකාව පහත සඳහන් ප්‍රකාශය කළාය. “ස්කොට්ලන්ත ජාතිකයන් වන අප තවදුරටත් නොසලකා හැරිය නොහැක.”
ඉතා මෑතක 2014 දී  ස්කොට්ලන්තය නිදහස් රාජ්‍යයක් විය යුතු දැයි ජනමත විචාරණයක් පවත්වන ලදී. මෙයට පක්ෂව SNP ප්‍රචාරණයේ යෙදුන අතර අගමැතිවරයා සහ විපක්ෂ නායක වරයා ප්‍රමුඛ ප්‍රධාන පක්ෂ එයට විරුද්ධව ප්‍රචාරණයේ යෙදුනහ. මෙයට පක්ෂව ඡන්ද 44.7% ක් ලැබුන අතර විපක්ෂව ඡන්ද 55.3%ක් ලැබුණි. පරාජයෙන් පසු එවකට සි SNP නායකයා ඉල්ලා අස්වූ අතර වත්මන් නායිකාව එම තනතුරට පත් වූවාය.
SNP මැතිවරණ ප්‍රකාශනයේ ප්‍රධාන තැනක් දී තිබුනේ සමස්ත බ්‍රිතාන්‍යයේ ම ප්‍රශ්ණ ගැන සාකච්ඡා කිරීමටය. අසාධාරණ බදු ඉවත් කිරීමටත් අවම වැටුප ඉහල නැංවීමටත් රාජ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමටත් එමෙන්ම ස්කොට්ලන්ත හඬ පාර්ලිමේන්තුවේ ප්‍රබලව ඇසෙන්නට සැලස්විමටත් ඔවුහු ප්‍රතිඥා දුන්හ.
ලංකාවේ සිටින අපට මෙම මැතිවරණයෙන් වැදගත් පාඩම් තුනක් ඉගෙනගැනීමට තිබේ.
පළමුවැන්න ජාතික ප්‍රශ්නයකට යොමු වන ආකාරයයි. ස්කොට් ජාතිකයන්ට වෙස්ට්මිනිස්ටර් ක්‍රමය තුල ප්‍රශ්නයක් තිබෙන බව ඔවුන්ගේ වෙනම රාජ්‍යයක් සඳහා වන ව්‍යාපාරයෙන් පැහැදිලිවේ.එරට රාජ්‍ය නායකයෝ පළමුකොට ඔවුන්ර වඩාත් බලතල සහිත ප්‍රාදේශීය ආණ්ඩුවක් ප්‍රදානය කිරීමෙන්ද දෙවනුව වෙනම රාජ්‍යයක් අවශ්‍යද යන කරණය මත ස්කොට්ලන්තයේ ජනමත විචාරණයක් පැවැත්වීමෙන්ද එයට අනුග්‍රහ දැක්වූහ. මෙය ප්‍රජාතන්ත්‍රවාදය උපරිම මට්ටමෙන් ක්‍රියාත්මක වීමකි. ලංකාවේ ජාතික ප්‍රශ්ණය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යයි මම යෝජනා නොකරමි. එය අවශ්‍ය නොවේ. එනමුත් මෙරට සිංහල බහුතරය විසින් වෙනත් රටවල මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිලිබඳ දැනුවත් වී සිටීම දැනට වඩාත් අවශ්‍ය ජාතික සංහිඳියාවකට මඟ පාදනු ඇත.

දෙවැන්න වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින SNP ඉතාමත් පැහැදිලිවම සමස්ත බ්‍රිතාන්‍යයේ ම ප්‍රශ්ණ ගැන සිය මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කිරීමයි. ලංකාවේ මුල සිටම දෙමල ජාතික පක්ෂ විසින් ජාතික ප්‍රශ්න පිළිබඳව දක්වන ලද්දේ උදාසීන ආකල්පයකි. 1977 පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වීමට අමිර්තලිංගම් ට ලැබුණ අගනා අවස්ථාව ඔහු විසින් පාවිච්චි කළේ එවකට ජාතික වශයෙන් නැගීගෙන ආ අධිපතිවාදයට එරෙහිව  ක්‍රියාකිරීමට නොව දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ පිළිබඳව පමණක් කථා කිරීමයි. ජාතික දේශපාලනයට ඔවුන් අනුගත නොවීම හේතුවෙන් සාමාන්‍ය සිංහල ජනතාව ගේ ඔවුන් පිළිබඳව තිබු ආකල්පය නොපහන් එකක් විය. SNP මෙන් දෙමළ ජාතික පක්ෂද අප සියළු දෙනාටම පොදු රටක් තනා ගැනීමේ මෙරට පොදු දේශපාලන අරගලයට දායක වූයේ නම් දෙමළ ජාතක පක්ෂ කෙරෙහි සිංහල ජනතාවගේ ආකල්පය වඩාත් ධනාත්මක වීමට ඉඩ තිබුණි. එසේනම් එය මෙරට මෑත ඉතිහාසයේ දරුණුම ඛේදවාචකයක් වූ තිස් අවුරුදු යුද්ධය ඇති නොවීමට යම් බලපෑමක් කිරීමට ඉඩ තිබුණි.

අවසාන වශයෙන් එරට පරාජිත දේශපාලනඥයන්ගේ ඉල්ලා අස්වීම් රාජපක්ෂගේ නැවත ආගමනය සඳහා කෙරෙන බලපෑම් සමඟ සැසඳිය හැක.
ඩේවිඩ් කැමරුන් විසින් විසින් සඳහන් කළ පරිදි “එක් ජාතියක්” සඳහා ක්‍රියාත්මක වීම බ්‍රිතාන්‍යයට පමණක් නොව ලංකාවටද අද දවසේ අත්‍යවශ්‍ය කාරණයකි.
Published in samabima June 2015


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නරිවාදම


හර්ෂ ගුණසේන විසිනි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ  දින සියයේ වැඩසටහනේ 2015 ජනවාරි 21 දිනය යටතේ මෙසේ කියාසිටියේය. “ දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් ස්ථාපිත කිරීම.........”
1982 ජනාධිපතිවරණයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු දී ඇත. විශේෂයෙන්ම චන්ද්‍රිකා  කුමාරතුංග ජනාධිපති ධුරයට පත්වූ ජනාධිපතිවරණ දෙකේදීම ප්‍රධාන පොරොන්දුවක් වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවය. මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ 2005 ජනාධිපතිවරණයේදී ද විධායක  ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දුවක් විය.
2010 ජනාධිපතිවරණයේදී රාජපක්ෂගේ ප්‍රකාශනයේ විධායක ජනාධිපති ධුරය පිළිබඳව මෙසේ සඳහන් විය.
“විධායක ජනාධිපති ධුරයේ බලතල පරිහරණය කිරීමේදී මම ඉතා ප්‍රවේශම්කාරී වූයෙමි........... විධායක ජනාධිපති ධුරය පිළිබඳ සියලු පක්‌ෂ හා ජනතා නියෝජිතයන් සමග විවෘත සාකච්ඡාවකට එළඹෙමි. පාර්ලිමේන්තුවට ලැබෙන ජනවරමට ගරු කරමින් පාර්ලිමේන්තුවට වග කියන නීතිය ඉදිරියේ සියල්ලන් සමානය යන ප්‍රතිපත්තිය ගරු කරමින් අධිකරණයට වගකියන ව්‍යවස්‌ථා සම්පාදනය, විධායකය හා අධිකරණය එකිනෙකට ගැටෙන ඒකක ලෙසින් නොව, සහජීවනයෙන් බැඳුණු එකම රාජ්‍යයක කොටස්‌ බව තවදුරටත් අවධාරණය කරන භාරකාර ධුරයක්‌ බවට විධායක ජනාධිපති ධුරය පත්කරමි.” 
2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මෙසේ කියා සිටියේය..
“විධායක ජනාධිපති ධුරයේ හොඳ නරක පිළිබඳව සිදුවන විවාදයට මම සාවධානව සවන් දුන්නෙමි. ඒඅනුව පාර්ලිමේන්තු ක්‍රමයේ පවතින දුර්වලතා බැහැර කරමින් ද යහපත් ලක්ෂණ උකහා ගනිමින්ද විධායක ජනාධිපති ක්‍රමය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ තීරණය අනුව සුදුසු පරිදි සංශෝධනය කරමි.”
පොරොන්දුවීමෙන් පසුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට යම් උත්සාහයක් ගත්තේ චන්ද්‍රිකා කුමාරතුංගයි. ඇය සිය පළමු ධුර කාලයේදී එය නොසලකා හැරී අතර දෙවන ධුර කාලයේදී නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. විශේෂයෙන්ම එම ව්‍යවස්ථාවේ තිබූ සංක්‍රාන්තික යෝජනා මත  එවකට විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේදී එයට විරුද්ධ විය.
රාජපක්ෂ පළමු ධුර කාලයේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම නොසලකා සිටි අතර දෙවන ධුර කාලයේදී විධායක ජනාධිපති ධුරය ජනතා අභිලාෂයන් මත සංශෝධනය කරන බවට පොරොන්දු වී තිබියදීත් එයට සපුරා පටහැනිව ජනාධිපතිවරයකුට ධුරයට පත්වීමේ වාර ගණනේ සීමාව ඉවත් කළේය.
මෙම සීමාව ඉවත් කිරීම පළමුව අත්‍යන්තයෙන්ම සදාචාර විරෝධිය. මක්නිසාද යත් ඔහු බලයට පැමිණියේ එහි බලතල අඩු කිරීමට හෝ අහෝසි කිරීමට ප්‍රතිඥා දෙමිනි. එය සහාසික ලෙස ජනතාවට දුන් පොරොන්දු කඩ කිරීමකි. රටේ භාරකාරයා වන්නෙමියි කී පුද්ගලයා රටේ අයිතිකාරයා වීමට තැත් කිරීමකි.  දෙවනුව එය ව්‍යවස්ථාවේ තිබූ සංවරණ සහ තුලන වලට කල බරපතල අභියෝගයකි. ජනාධිපතිට ලැබෙන සුවිශේෂ බලතල නිසා ව්‍යවස්ථා සම්පාදකයන් විසින් ජනාධිපතිහේ ධුර කාල සීමාව වාර දෙකකට සිමා කලේ සංවරණයක් සහ තුලනයක් වශයෙනි. ව්‍යවස්ථාවට කල 18 වන සංශෝධනය නිසා එම එම සංවරණය සහ තුලනය අහෝසි වී ගියේය.
18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ එම අවස්ථාවේ එයට කිසිම හදිසියක් නොතිබුනත් හදිසි පනතක් වශයෙනි. මෙම අවස්ථාවේදී පළමුව අධිකරණය විසින් මේ සංශෝධනය සඳහා ජනමත විචාරණයකට යා යුතු නැතැයි පවසමින් එයට අනුමැතිය දෙන ලදී. එයට මුලික වශයෙන් හේතුවුයේ     අධිකරණය විසින් සිය තීන්දුව ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ගැන සඳහන් වන 3 සහ 4 ඡේද පමණක් ගැන සලකා ව්‍යවස්ථාවේ පදනම වූ සංවරණ සහ තුලන ගැන නොසලකා ප්‍රකාශකළ බැවිනි.
එවකට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් එම සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත කරන ලදී.
18 වන ව්‍යවස්ථා සංශෝධනය හා සසඳන විට 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහසට පොළොව මෙනි. 18 වන සංශෝධනයට කිසිම ජනතා අනුමැතියක් නොතිබූ අතර 19 වන සංශෝධනය  බොහෝ කාලයක් තිස්සේ ජනතා අනුමැතිය ලැබූ ජනතාව විසින් බලාපොරොත්තුවූ සංශෝධනයකි. 18 වන සංශෝධනය ජනතා අභිලාෂයන්ට පටහැනිව ඒකාධිපතියෙක් බිහිකළ අතර 19 වන සංශෝධනය  ජනතා අභිලාෂයන්ට අනුකුලව ඒකාධිපති බලතල අඩුකර පාර්ලිමේන්තුව වඩාත් ශක්තිමත් කළේය. 18 වන සංශෝධනයට පාර්ලිමේන්තුවද අධිකරණයද එක පැහැර අනුමැතිය දුන් අතර 19 වන සංශෝධනයට පාර්ලිමේන්තුවද අධිකරණයද විසින් බොහෝ බාධා පනවන ලදී.   
ව්‍යවස්ථාව මගින් අධිකරණයෙන් බලාපොරොත්තු වන්නේ ව්‍යවස්ථා සංශෝධන මගින්  ව්‍යවස්ථාවේ 1,2,3,6,7,8,9,10,11, 30 (2) සහ  62 (2) යන ඡේද උල්ලංඝනය වන බව බැලීම සහ එසේ වන්නේ නම් එය පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් අනුමත කිරීමට අමතරව ජනමත විචාරණයකට යා යුතු දැයි තීරණය කිරීම පමණක් වන නිසා අධිකරණයේ ක්‍රියාව එක්තරා ප්‍රමාණයකට සාධාරණිකරණය කළ හැක.
එනමුත් පාර්ලිමේන්තුවේ ක්‍රියාව සාධාරණිකරණය කල හැක්කේ කෙසේද? මෙරට පළමු වතාවට රාජ්‍ය නායකයා පොරොන්දුවූ පරිදි සිය බලතල අඩුකිරීමට සහ එම බලතල පාර්ලිමේන්තුවට ලබාදීමට බොහෝ වෙහෙසක් ගත් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම එයට එරෙහිවිය. අධිකරණය ජනාධිපති විසින් අගමැති ගෙන් විමසා කැබිනට් ඇමතිවරුන් පත් කිරීම අනුමත කර තිබියදීත් මේ සඳහා අගමැතිගෙන් විමසිය යුතු නැතැයි ජනාධිපති ගේ ධුර කාල ගණන වැඩිකිරීමට එක පැහැර අනුමැතිය දුන් මේ බත්බැලයෝ පාර්ලිමේන්තුවේදී කියා සිටියහ. එමෙන්ම 17 වන සංශෝධනය අනුව රටේ ඉහළ තනතුරු වලට කෙරෙන පත්වීම නිර්දේශපාලනීකරණය  කිරීම සඳහා ව්‍යවස්ථා සභාවට සිවිල් පුරවැසියන් පත්කිරීමට තිබූ හැකියාව අහෝසි කර එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් පමණක් පිරවිය යුතු යයි ඔවුහු කියා සිටියහ. අවසානයේදී මුල් යෝජනාවට පටහැනිව සිවිල් පුරවැසියන් තුන්දෙනෙක් පමණක් ව්‍යවස්ථා සභාවට පත්කිරීමට එකඟ වන ලදී.   මුල් යෝජනාව වූයේ දස දෙනෙක් වූ අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් තුන්දෙනෙක් පමණක් ව්‍යවස්ථා සභාවට පත් කල යුතු බවය.

දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 19 වන ව්‍යවස්ථාව සම්මත කිරීමට දායකත්වය දුන්නේ තමන් යයි කියා සිටිති. මේ නරිවාදම අනුව මොවුහු තක්කඩියන් නොවන්නේ  නම් කවුරුන් වෙත්ද ?
Published in samabima May 2015

සම්මුතිය

හර්ෂ ගුණසේන
මෙරට දේශපාලන ඉතිහාසයේ පෙර නොවූ විරූ අවස්ථාවකට අපි අද මුහුණ පා සිටිමු.
මෙරට සිටි වඩාත්ම අත්තනෝමතික පාලකයා පරාජය කිරීමට පොදු විපක්ෂය සහ සිවිල් සමාජය ඒකරාශී විය. ජනාධිපති වරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ ඇතිවූ තත්ත්වය මත හිටපු ජනාධිතිවරයා ගේ අධිකාරිවාදී පාලන විලාසය පැහැදිලිවේ. ඔහුගේ පරාජය වඩාත් සමාන වන්නේ ප්‍රජාතන්ත්‍ර වාදී නායකයකුගේ පරාජයකට වඩා රජකුගේ ඇදවැටිමකටය. ඔහුගේ පරාජයෙන් පසු පක්ෂයේ නායකත්වය ඔහු විසින්ම ඔහුගේ ප්‍රතිවාදියාට බාරදෙන තත්ත්වයක් නිර්මාණය වූ අතර ඔහුගේ පක්ෂය පාර්ලිමේන්තුවේ වැඩි බලයක් සහිතව සුළුතර ආණ්ඩුවකට සහයෝගය දෙන තත්ත්වයක් ද නිර්මාණය විය. පැවැත්වුයේ ජනාධිපතිවරණයක් වුවද එමගින් පාර්ලිමේන්තු මැතිවරණයක ප්‍රතිඵල ද ඇතිකරන ලදී. මෙය ප්‍රජාතන්ත්‍රවාදී සහ නෛතික රාමු වලින් පරිබාහිරව එක්තරා ආකාරයකින් විප්ලවයකට පසු ඇතිවන තත්ත්වයක් සිහි ගන්වයි.
එවැනි තත්ත්වයක් ඇතිවුවද බලයට පත්වූ පාර්ශ්වය අධිකාරිවාදී පාලන තන්ත්‍රයක් නොව සම්මුතිවාදී පාලන තන්ත්‍රයක් පවත්වාගෙන යමින් සිටී. ජනාධිපතිවරයා එක අතකින් ආණ්ඩුවේද කැබිනට් මණ්ඩලයේද නායකයා වන අතර අනෙක් අතින් ප්‍රධාන විරුද්ධ දේශපාලන පක්ෂයේ නායකයාද වෙයි. තවත් පියවරක් ඉදිරියට තබමින් පසුගියදා ප්‍රධාන විරුද්ධ දේශපාලන පක්ෂය ඇමති ධුර බාර ගනිමින් ආණ්ඩුවට එක්විය. එයට අමතරව ජනතා විමුක්ති පෙරමුණ අලුතින් ඇතිකරන ලද ජාතික විධායක සභාවේ සාමාජිකත්වය දරමින් ජාතික වැදගත් කමක් ඇති දේශපාලන තීරණ ගැනීමට දායක වේ.
ලබන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් ඇතිකරන බව පසුගිය මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වූ අතර අගමැතිවරයා මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කිරීමට උත්සාහ කරයි. මේ අනුව අප අත් දකිමින් සිටින්නේ නෙල්සන් මැන්ඩෙලා ජනාධිපති වූ පසුව දකුණු අප්‍රිකාවේ ඇතිවූ තත්ත්වයට අනුරූප ශ්‍රී ලංකාවේ මොඩලයයි. දීර්ඝ කාලයක් පක්ෂ දේශපාලනයේ යෙදෙමින්ද  පසුගිය වසර ගණනාවක් තිස්සේ යටත් වැසියන් මෙන්ද ජීවත්වූ ශ්‍රී ලංකික ජනතාවට මෙම තත්ත්වයට අනුගත වීම  තරමක් අපහසුය.
නෙල්සන් මැන්ඩෙලා ජනාධිපති වූ පසුව ඔහු සුදු අප්‍රිකානාවරුන් මර්දනය නොකොට පළමුව ඔවුන් තම පුද්ගලික ආරක්ෂක සේවයේ යොදවා ගනිමින්ද දෙවනුව ඔවුන් ජනාධිපති කාර්යාලයේ සහ කැබිනට් මණ්ඩලයේ සේවයේ යොදවා ගනිමින්ද තෙවනුව ඔවුන්ගේ ක්‍රීඩාව බවට පත්වී තිබූ රග්බි සඳහා පුර්ණ රාජ්‍ය අනුග්‍රහය සහ සිය පුද්ගලික ආශීර්වාදය දෙමින් ලෝක රග්බි කුසලාන තරඟයේ ජයග්‍රාහකයා වීම සඳහා දායකවෙමින්ද දකුණු අප්‍රිකාවට ජාතික සමගිය දායාද කිරීමට සමත් විය.
දකුණු අප්‍රිකාවට ප්‍රශ්නය තිබුණේ එරට තිබූ වර්ණ භේදයයි. අපට ප්‍රශ්න දෙකක් තිබේ. පළමුවැන්න රාජ්‍ය පාලනයේදී අත්තනෝමතිකත්වය පිලිබඳ ප්‍රශ්නයයි. දෙවන ප්‍රශ්නය වන්නේ වසර තිහක් මුළුල්ලේ කළ යුද්ධයට හේතුවූ දෙමළ ජනතාවට බලය බෙදීම පිළිබඳ ප්‍රශ්නයයි. රාජ්‍ය දේපල අයථා ලෙස පරිහරණය කිරීම පළමුවන ප්‍රශ්නය සමඟ බද්ධවී ඇත.
ජනතා විමුක්ති පෙරමුණ ජේ ආර් ජයවර්ධන ජනාධිපති වරයාගේ යුගයේදී කැරලි ගැසීමට යොමුවූ එක්  ප්‍රධාන හේතුවක් වූයේ රාජ්‍යයේ තිබූ අත්තනෝමතිකත්වයයි. මෙම තත්ත්වය අනුක්‍රමයෙන් වැඩි දියුණුවී පසුගිය ආණ්ඩු කාලයේදී උච්චස්ථානයකට පත්විය. මෙයට හේතුව වී තිබෙන ජනාධිපති වරයාට අසීමිත බලතල ලැබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කිරීම මේ දිනවල කෙරෙමින් පවතී.
 මෙයට කලින්ද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට බලයට පත්වූ ජනාධිපතිවරුන් පොරොන්දු වුවද විවිධ හේතු බලයට පත්වීමෙන් පසු එම පොරොන්දුව ඉටු කිරීමට ඔවුහු අකැමැති හෝ අසමත් වූහ. මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා එයට කැමැත්තෙන් සිටින නමුත්  පාර්ලිමේන්තුවේ සිටින විවිධ දේශපාලන පක්ෂ වල විවිධ දේශපාලන ස්ථාවර අතර විධායක ජනාධිපති ධුරය පිලිබඳ යෝජනාව දෝලනය වෙමින් පවතී. දින සියය ඉක්මවුවද පර්ලිමෙන්තුවේද ජනතාව අතරද මනා විවාදයකින් පසුව ව්‍යවස්ථාව පිළිබඳ   අදාල සංශෝධන ගෙන එන්නේ නම් යහපත්ය.
දෙමළ ජනතාවට බලය බෙදීම පිළිබඳ ප්‍රශ්නය මූලික කරගෙන ඇතිවූ යුද්ධමය තත්ත්වය වර්ධනය වීමට හේතුවූයේ ජාත්‍යන්තර බලපෑම් බව වෙනම කරුණකි. එමෙන්ම එම ජාත්‍යන්තර බලපෑම් සමනය කිරීමට යම් අවස්ථාවලදී රාජ්‍යය අසමත් වුවත් යම් අවස්ථාවලදී  රාජ්‍යය විසින් විචක්ෂණ අන්දමින් කටයුතු කොට එම තත්ත්වය සමනය කිරීමට පියවර ගන්නා  ලදී. එනමුත් මූලික ප්‍රශ්නයක් තිබෙන බවද යුද්ධය නිමවීමෙන් එම ප්‍රශ්නය නිම නොවුනු බවද අප වටහාගත යුතුය.
 බලය බෙදීම පිලිබඳ ප්‍රශ්නය තවමත් සාකච්ඡාවට ගෙන නොමැති අතර එය සාකච්ඡාවට ගනු ලබන බව පෙනෙන්නට තිබෙන්නේ මහා මැතිවරණයෙන් පසුව පිහිටුවීමට බලාපොරොත්තු වන ජාතික ආණ්ඩුව යටතේය. පසුගිය ජනාධිපතිවරණ  ව්‍යාපාරය තුල ජාතික ප්‍රශ්ණය සාකච්ඡා නොකිරීමට පොදු සම්මුතියක් සියළු විපක්ෂ බලවේග අතර පැවතුනි. එයට හේතුවූයේ මෙම ප්‍රශ්නය ඉදිරියට ගත හොත් ප්‍රතිවාදී පිල මගින් වර්ගවාදය ඇවිස්සීමට ඉඩකඩ තිබූ බැවිනි. මෙම හොරා පොලිස් සෙල්ලමෙන් පෙන්නුම් කෙරෙන්නේ මෙරට මහජනතාවගේ ද දේශපාලනඥයන්ද ආකල්පයයි. නායකයන්ට මෙයට විසඳුම් දීමට අවශ්‍ය බව පෙනෙන නමුත් එයට අප්‍රමාණ බාධක තිබෙන බව පෙනේ. 

මේ රටේ පාලකයන් විසින් සිය කෙටි කාලීන දේශපාලන අරමුණු උදෙසා රටේ දීර්ඝ කාලීන අභිලාෂයන් කැප කිරීම අප විසින් අත්දැක ඇත්තෙමු. විවර වූ මේ දුර්ලභ අවස්ථාවේදී  මෙම තත්ත්වය නැවතත් ඇතිවීමට ඉඩ නොදීම සහ  එම තත්ත්වය ඇති කරන පුද්ගලයන් හෙළිදරවු කිරීම අප සියළු දෙනාගේම යුතුකම වේ.
Published in samabima April 2015

දෙමළ ඩයස්පෝරාව සහ සිංහල ඩයස්පෝරාව


හර්ෂ ගුණසේන
ඩයස්පෝරා (diaspora) යන ඉංග්‍රීසි වචනයෙන් සිය මාතෘ භූමියෙන් පිටත විසිරී ජිවත්වන ජන කොට්ඨාශයක් අදහස් වේ. මෙම වචනය පළමුව භාවිතා වූයේ ඊශ්‍රාලයෙන් පිටත ජීවත්වූ යුදෙව් ජනතාව හැඳින්වීමටයි. එමෙන්ම ස්ව කැමැත්තෙන් තොරව වෙනත් බාහිර හේතු මත සිය මව්බිමෙන් පිටත ජීවත්වීමට මොවුන්ට සිදුවී තිබෙන බවක්ද මෙම වචනයෙන් ගම්‍ය වේ.
දෙමළ සන්නද්ධ කොටස් විසින් ආරම්භ කරනලද රාජ්‍ය විරෝධී කැරැල්ල සමයේදී මෙරටින් පිටවූ දෙමළ ජනතාව හැඳින්වීමට දෙමළ ඩයස්පෝරාව යන වචනය පළමුව භාවිතා කරන ලදී. එසමයේදී හා ඊට පසුව නොයෙක් හේතූන් මත රටින් පිටවූ සිංහල ජනතාව හැඳින්වීමට සිංහල ඩයස්පෝරාව යන වචනය මෑතක සිට භාවිතා වේ.
කැරැල්ල සමයේදී LTTE සංවිධානයට මුල්‍යමය වශයෙන් ආධාර කරනු ලැබුවේ දෙමළ ඩයස්පෝරාව විසිනි. දෙමළ ඩයස්පෝරාවේ සිහිනය වූයේ මෙරට තුළ වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීමයි. LTTE නායකත්වයද දැරුවේ මෙම අදහසමය. යුද්ධය අවසාන වීමෙන් පසුව දෙමළ ඩයස්පෝරාව විසින් දෙමළ ජනතාව වාසය කරන ප්‍රදේශ සඳහා රටින් පිටත ක්‍රියාත්මක වන ආණ්ඩුවක්  පිහිටුවා ගන්නා  ලදී.   
සිංහල ඩයස්පෝරාව යුද්ධය සමයේදී ආණ්ඩුවට බලවත්සේ පක්ෂපාත ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගිය අතර යුද්ධයෙන් පසුව එම ආණ්ඩුව අනුගමනය කළ වර්ගවාදී ප්‍රතිපත්තියටද කොන්දේසි විරහිතව ආධාර කළේය.
මේ අනුව දෙමළ ඩයස්පෝරාව ද  සිංහල ඩයස්පෝරාව ද LTTE නායකත්වයද පසුගිය ආණ්ඩුවේ නායකත්වයද කටයුතු කර ඇත්තේ එකිනෙකා ගේ මතවාදය උපස්ථම්භනය වන ආකාරයටය. 2009  සිවිල් යුද්ධය අවසානයේදී LTTE සංවිධානය පරාජයට පත්වූ අතර 2015 මැතිවරණයේ දී වර්ගවාදී ආණ්ඩුව පරාජයට පත්විය.
යුද්ධය අවසාන වීමෙන් පසුව සම්පන්දන් ගේ නායකත්වයෙන් යුතු TNA සංවිධානය දේශපාලන ඉඟි ගණනාවක්ම කරමින් තමන් ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරීමට කැමැති බව අඟවන ලදී. යුද්ධය අවසන්වූ පසුව පවත්වන ලද උත්සවයකදී ජාතික කොඩිය ඔසවා  ජාතික ගීය දෙමළෙන් ගැයීමට TNA නායක සම්පන්තන් විසින් කටයුතු යොදන ලදී. LTTE පාලන සමයේදී මෙය සම්පූර්ණයෙන්ම තහනම් ක්‍රියාවක් විය. මෙම ක්‍රියාවට අනුබල දෙනු වෙනුවට එවකට පවතී ආණ්ඩුව විසින් දෙමළෙන් ජාතික ගීය ගැයීම තහනම් කරන ලදී. එයට හේතු වශයෙන් දැක්වුයේ එවකට බලධරයන් විසින් සහ රාජ්‍ය පාලනයේ මූලික ආයතන විසින් උල්ලංඝනය කර තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට එම ක්‍රියාව පටහැනි බවය. ඉන් පසුව උතුරු පළාත් සභාවේ මහා ඇමති විග්නේශ්වරන් දිවුරුම් දුන්නේ එවකට සිටි ජනාධිපතිවරයා ඉදිරියේ කොළඹදීය.  මෙය ව්‍යස්ථාපිතව සිදුකල යුතු අත්‍යවශ්‍ය කාරණයක් නොවේ. පසුගියදා සම්පන්තන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් ජාතික නිදහස් දින සමරුවට සහභාගී වූහ.
මධ්‍යස්ථ දෙමළ නායකයන්ගේ මෙම ක්‍රියාවන්ට නිසි ප්‍රතිචාර සිංහලයන් වෙතින් නොලැබෙන අතර මෙම ක්‍රියා විශේෂයෙන්ම දෙමළ නායකයන් ජාතික නිදහස් දින සමරුවට සහභාගී වීම දෙමළ ඩයස්පෝරාව විසින් බලවත් ලෙස විවේචනය කරන ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යනු ලැබේ. මෙම විවේචන කොතරම් බලවත් ද යත් එමගින්  TNA සංවිධානයේ දෙදරීමක්ද ඇතිවී තිබේ.  උතුරේ මහා ඇමති වරයා විසින් අනුදත් දෙමළ සංහාරය පිලිබඳ යෝජනාවද එකම රටක් තුළ ජාතීන් දෙකක්  පිලිබඳ ඔහුගේ අදහසද මෙහිම දිගුවකි. මෙම පසුබිම තුළ ජනාධිපතිවරයාගේ උතුරේ සංචාරය අගය කල යුතුය. 
දෙමළ ඩයස්පෝරාව මෙරට කටයුතු වලට ඇඟිලි ගැසීම වැළැක්වීම සඳහා ආණ්ඩුව විසින් මධ්‍යස්ථ දෙමළ නායකයන් ගේ දෑත් ශක්තිමත් කල යුතු අතර හමුදාව විසින් ඉඩම් අත්පත් කර ගැනීමේ ප්‍රශ්නය සහ සරණාගතයන්ගේ ප්‍රශ්නය වැනි ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න වලට කඩිනම් පිළිතුරු ලබාදිය යුතු වේ.  බලය බෙදීම පිලිබඳ ප්‍රශ්නය ව්‍යවස්ථාව සංශෝධනයේ මුල් වටයේදී ඉදිරියට ගැනීමට උපාය මාර්ගිකව බලාපොරොත්තු නොවන බව පෙනෙන්නට තිබෙන අතර මේ පිළිබඳවද එකඟතාවයක් ප්‍රධාන පක්ෂ අතර ඇතිකර ගැනීම අවශ්‍යවේ.
සිංහල ඩයස්පෝරාව මූලික වශයෙන්ම විදේශ ගතවී ඇත්තේ ආර්ථික හේතු මතය. ලංකා ආර්ථිකය යැපෙන ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ විදේශයන්හි සිටින මෙරට ශ්‍රමිකයන් විසින් එවන මුදල් වන අතර එයට යුරෝපා රටවල, උතුරු ඇමෙරිකාවේ  සහ ඈත පෙරදිග සිටින මෙම සිංහල ඩයස්පෝරාවේ දායකත්වය අල්පය.  බලය බෙදීමට විරුද්ධ ඔවුන්ගේ ස්ථාවරය ඔවුන් ජිවත්වන රටවල් විසින්ද  ඔවුන් බොහෝ දෙනෙක් අදහන බුදු දහම විසින්ද අනුදත් සමානාත්මතාව පිලිබඳ සංකල්පයට පටහැනිය.
දෙමළ ඩයස්පෝරාවට  විදේශ ගත වීමට දේශපාලන හේතු තිබුනද ඔවුන් විදේශ ගත වී සිටින ප්‍රධාන කරුණක්   වන්නේ ආර්ථික හේතුය. අන්තවාදී අදහස් දරන දෙමළ ඩයස්පෝරාවද සිංහල ඩයස්පෝරාව ද මෙරට දේශපාලන කටයුතු වලින් ඈත් කර තැබීමට කටයුතු කිරීම  මධ්‍යස්ථ මත දරන සිංහල සහ දෙමළ ජනතාවගේ ද දේශපාලනඥයන් ගේද වගකීම වන්නේය. 
 Published in samabima March 2015


අත්තනෝමතිකත්වය සහ ප්‍රචණ්ඩත්වය


හර්ෂ ගුණසේන
ජින් ෂාප් විසින් රචිත ඒකාධිපතිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට නම්වූ කෘතියේ තෙවන පරිච්ඡේදයේ දෙවන සහ අවසාන භාගය මෙවර පත්‍රයේ පළවේ.
මෙවර පරිවර්තනයේදී කුඩා සහ අනුකුඩා ප්‍රජාතන්ත්‍රවාදී සමිති සහ සංගම් වල පැවැත්ම ජින් ෂාප් විසින් අවධාරණය කර තිබේ. පසුගිය රාජ්‍ය කාලයේදී විශේෂයෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වලට එරෙහිව ඇතිකළ ඊනියා ජන මතයට ද එම සංවිධාන වලට එරෙහිව ඇතිකළ මර්දන නීති වලටද හේතුව ඒ අනුව වටහා ගත යුතුය.
එමෙන්ම බලයේ පැවැත්ම උදෙසා තමන්ට අවනත වන ජන කොටසක් සිටීම අත්‍යවශ්‍ය කාරණයක් බව ජින් ෂාප් සඳහන් කරයි. මේ සඳහා තමන්ට අවනත නොවන ජන මාධ්‍ය වෙත ප්‍රචණ්ඩත්වයක් මුදා හැරීමටද සෙස්සන් චාටු කථා මගින් අවනත කර ගැනීමට ද  අවශ්‍ය වේ. නිකොලෝ මැකියවෙල්ලි මේ උපාය මාර්ග ද්විත්වය බොහෝ කලකට පෙර නිර්දේශ කර ඇති අතර එය පසුගිය යුගයේ භාවිතා විය.
එමෙන්ම සමස්තතාවාදී බලය සෑමවිටම රටේ සමස්ත ජනතාවට එරෙහිව පාවිච්චි කිරීමට සිදුවන්නේ නම් එය ශක්තිමත් ලෙස බොහෝ කාලයක් නොපවතිනු ඇති බවට සඳහනක් මෙවර පරිවර්තනයේ එයි. සමස්තතාවාදී බලය මෙරට පාවිච්චි කරනු ලැබුවේ සුළු ජනතාවට එරෙහිවයි. එය සිංහල බෞද්ධ ජනතාවගේ නොමඳ ආස්වාදයට හේතුවන සේ ඔවුන්ගේ හැඟීම් අවුස්සනු ලැබුණි. එමගින් තමන්ට අවනත ජන කොටසකගේ පැවැත්ම තහවුරු කරනු ලැබුණි. හිටපු ජනාධිපතිගේ බලයේ මූලය මෙම ජනතාවයි.
එබැවින් අති විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරමින්ද අති විශාල බලයක් යොදවමින්ද  ව්‍යවස්ථාව සංශෝධනය කරමින්ද මැතිවරණය නියම කලට පෙර කැඳවමින් ද නාමිකව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නැවත බලයට පැමිණීමට හිටපු ජනාධිපතිවරයා උත්සහ කලත් එය වැලකි ගියේය. මැතිවරණයට ආසන්නව නිති විරෝධී ලෙස හමුදා ඛණ්ඩ ස්ථානගත කරවමින්ද මැතිවරණ පරාජය පෙනී පෙනී එය ආපස්සට හැරවීම සඳහා නිති විරෝධී උත්සාහයක් දරමින්ද සිදු කළ කාර්යය සාර්ථක වූයේ නම් ජින් ෂාප් විසින් පෙන්වා දුන් පරිදි ප්‍රචණ්ඩකාරී නොවන දේශපාලන විරෝධතා ව්‍යාපාරයන් පවත්වන්නට සිදුවිය හැකිව තිබුනේ ඉන් පසුවය.      
ජින් ෂාප් විසින් රචිත ඒකාධිපතිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට නම්වූ කෘතිය ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කිරීමට මා පෙළඹවූයේ මහින්ද රාජපක්ෂ රෙජීමයේ අත්තනෝමතික පාලනයයි. යම් දිනයක එම පාලනය පෙරළා දැමීම සඳහා ප්‍රචණ්ඩකාරී නොවන දේශපාලන විරෝධතා ව්‍යාපාරයක යෙදීමට අවශ්‍යවේ යයි හැඟීමක් මා තුළ විය. අත්තනෝමතිකත්වය රාජපක්ෂ පාලනයට පමණක් අනන්‍ය වුවක් නොවේ. මෙයට ඉහත තිබූ සිරිමාවෝ බණ්ඩාරනායක , ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක යුග වලදීද මෙරට පාලනය අඩු වැඩි වශයෙන් අත්තනෝමතික විය. මෙම අත්තනෝමතිකත්වය කූට ප්‍රාප්තියට පත්වූයේ මහින්ද රාජපක්ෂ යුගයේදීය.
ජවිපෙ දෙවන කැරැල්ල මූලික වශයෙන් ඇතිවූයේ පාලකයන්ගේ අත්තනෝමතිකත්වයට එරෙහිවය. උතුරේ කැරැල්ල වර්ගවාදී මුහුණුවරක් ගත්තද එහි හරය වූයේ  පාලකයන්ගේ අත්තනෝමතිකත්වයට එරෙහිවීමයි. මෙම කැරලි නිසා ඇතිවූ ජිවිත සහ දේපල හානි මෙරටට ඔරොත්තු නොදෙන මට්ටමට අති විශාල වූ අතර රටේ ජන ජීවිතය සහ ආර්ථිකය කෙරේ ඉමහත් බලපෑමක් ඒ මගින් ඇතිවිය. මෙම කැරලි වලින් ඝාතනය වූයේ රටට සම්පතක් වන්නට තිබූ සිංහල හෝ දෙමළ තරුණ ජීවිතයි. මෙම කැරලි නායකයන්  ගාන්ධි විසින් සාර්ථකව අත්හදා බලන ලද පසුව ජින් ෂාප් විසින් සුත්‍ර ගත කරන ලද  ප්‍රචණ්ඩකාරී නොවන දේශපාලන විරෝධතා ව්‍යාපාරයක යෙදුනේ නම් ජිවිත හානි අවම වන්නට  ඉඩ තිබුණි. කැරලි මර්දනය කිරීම සඳහා කැරලි කරුවන් විසින් මුදාහල ප්‍රචණ්ඩත්වයට වඩා වැඩි ප්‍රචණ්ඩත්වයක් රාජ්‍යය  විසින් මුදා හරින ලදී. කැරලි දෙකම අවසාන වූයේ ප්‍රචණ්ඩත්වය කූට ප්‍රාප්තියට පත්වීමෙනි. නිදහසින් පසුව තිබූ කෙටි කාල පරිච්ඡේදයක් තුළ අත්තනෝමතිකත්වයද  ප්‍රචණ්ඩත්වය ද  කූට ප්‍රාප්තියට පත්විය.
දැන් අපි සන්ධිස්ථානයකට පැමිණ සිටිමු. අනාගතයේදී මෙරට ප්‍රචණ්ඩත්වය ද එයට හේතුවූ අත්තනෝමතිකත්වය ද නවතා දැමීමට කාලය පැමිණ තිබේ.
මෙයට අඩිතාලම දැමීම සඳහා විශේෂ ආකාරයේ පාර්ලිමේන්තුවක් දැන් අත්හදා බලමින් තිබේ. ජනාධිපතිවරයා එකවිට ආණ්ඩුවේ නායකයාද විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ද වෙයි. අගමැති වරයාද සංහිඳියාව මත පදනම්වූ නව්‍ය ආණ්ඩු ක්‍රමයක් අත්හදා බැලීමට සුදානමින් සිටි. එනමුත් පසුගිය ආණ්ඩුවේ ඇතිවූ දුෂණ සහ අපරාධ වලට නිසි දඬුවම් නිසි කලට නොදෙන්නේ නම් මේ සත් කාර්යය කෙරෙහි වන ජනතා විශ්වාසය පළුදු වී යනු ඇත. එවිට අරවින්ද් කෙජ්රිවාල් පන්නයේ ව්‍යාපාරයකට දේශපාලන අවකාශයක් මෙරට විවෘත වනු ඇත. දැනටමත් හෙළ උරුමය මෙයට සුදානමින් සිටි.


 Published in samabima February 2015

කොටි සංවිධානයේ සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ ක්‍රියාකාරීත්වයේ සමානකම්


හර්ෂ ගුණසේන
අත්තනෝමතිකත්වය
කොටි සංවිධානය ආරම්භයේ සිටම අනුගමනය කළේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාමාර්ගයකි. ඔවුහු විරුද්ධ මත නොඉවසුහ. දෙමළ ජාතිකයන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් විවිධ ස්ථාවර ගත්තාවූ වෙනත් ආයුධ සන්නද්ධ දේශපාලන සංවිධාන වල සාමාජිකයන් සමුල ඝාතනය කිරීමට ඔවුහු පළමුකොටම පියවර ගත්හ. ඉන් පසුව එම සංවිධාන වල ක්‍රියාකාරීත්වය නැත්තටම නැතිවී ගියේය.  ඒවා නාම පුවරු වලට පමණක් සීමා විය. ආයුධ සන්නද්ධ නොවන දේශපාලන සංවිධාන වල වෙනස් මත දරන දේශපාලන නායකයන් ඝාතනය කිරීම මගින් එම දේශපාලන සංවිධානද තමන්ගේ අණසක යටතේ තබාගැනීමට ඔවුහු ක්‍රියා කළහ. එමෙන්ම දෙමළ අරගලයට විවේචනාත්මකව සහයෝගය දුන් දෙමළ බුද්ධිමතුන් ද ඝාතනය කිරීමට ඔවුහු පියවර ගත්හ. අවසානයේදී හරි හෝ වැරදි හෝ නායකයාගේ අණ පමණක් පිළිගන්නා සන්නද්ධ දේශපාලන ව්‍යාපාරයක් ඔවුහු නිර්මාණය කළහ.
වර්තමාන ශ්‍රී ලංකා රජය විසින් පවතින ව්‍යවස්ථාව වංචනික ලෙස අධිකරණයේ ද සහයෝගය ඇතුව භාවිතා කරමින් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට ලබා ගැනීම මගින් ජනතාව ලබා නොදුන් බලයක් පාර්ලිමේන්තුව තුළ භාවිතා කරමින් 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ ධුර කාල සීමාව අවිනිශ්චිත ලෙස දීර්ඝ කරමින් විරුද්ධ පක්ෂ මර්දනය කරමින් තමන් මෙරට තුල ආධිපත්‍යය සහිත බලවේගය බවට පත්වීමට පියවර ගන්නා ලදී. එමෙන්ම පසුකාලීනව විවේචනාත්මකව තමන්ට සයෝගය දුන් බුද්ධිමතුන් කපා හැරීම මගින් හරි හෝ වැරදි හෝ නායකයා ගේ අණ පමණක් පිළිගන්නා දේශපාලන ව්‍යාපාරයක් මෙරට ඇතිවිය.
එක් ජන කොටසක් කෙරෙහි වැඩි බරක් තැබීම
කොටි සංවිධානයේ ඒකායන අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර වෙනම රාජ්‍යයක් ඇති කිරීමයි. මේ සඳහා පළල් විනාශකාරී වැඩ පිළිවෙලක් ඔවුන් විසින් ක්‍රියාවට නංවන ලදී. එම පළාත්වල අධිපත්‍යය තමන් අත එනම් දෙමළ ප්‍රජාව අත තබාගැනීම ඔවුන්ගේ අභිප්‍රාය විය. ඒ අනුව උතුරේ සිංහලයන් ඉවත්වී ගිය පසු ඉතිරිව සිටි මුස්ලිම් ජනතාව දිනක් හෝ දෙකක් ඇතුළත පිටමං කරන ලදී. යම් අවස්ථා වලදී නැගෙනහිර මුස්ලිම් ජනතාවද ඔවුන්ගේ පල්ලි තුළදීම ඝාතනයට ලක් වූහ.
වර්තමාන පාලක රෙජීමයේ අරමුණ සිංහල බෞද්ධ ආධිපත්‍යයක් මෙරට තුල ඇතිකිරීමය. ඒ අනුව රජය විසින් මුස්ලිම් සහ ක්‍රිස්තියානි පල්ලි වලට පහරදෙන අන්තවාදී බෞද්ධ භික්ෂූන් ට විරුද්ධව නිත්‍යානුකූලව කටයුතු නොකරමින් ඔවුන්ට අනියම් සහයෝගයක් ලබා දෙන ලදී.
සාකච්ඡාව නොඉවසීම
සාකච්ඡාව කොටි සංවිධානයේ දේශපාලන උපාය මාර්ගයක් පමණක් විය. ශ්‍රීලංකා රජය සමග දේශපාලන සාකච්ඡා වල නිරත වෙද්දී තමන් තවදුරටත් සන්නද්ධ වීම ඔවුන් විසින් සිදු කරන ලදී. සාකච්ඡා කර විසඳාගත හැකි ප්‍රශ්නයක් ඔවුන් අත නොවිය. මක්නිසාද යත් ඔවුන් ගේ ඒකායන අරමුණ වූයේ වෙනම ද්‍රවිඩ රාජ්‍යයක් පමණක් වූ බැවිනි. සාකච්ඡා වලදී කොටි සංවිධානය  කිසිසේත්ම අවංක ස්වභාවයක් පෙන්වුයේ නැත. රනිල් වික්‍රමසිංහ යුගයේ පැවැත්වූ සාම සාකච්ඡා වලදී එක් අවස්ථාවක  ඔවුන්ගේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් විසින් අභ්‍යන්තර ස්වයං පාලනයක් සඳහා එකඟ වන ලදී.  මෙය දේශපාලන විසඳුමකට පැමිණීම සඳහා ඔවුන්ට ගත හැකිව තිබූ අගනා පියවරකි. පසුව පැවති සාකච්ඡා වලදී ඔවුන් එයට එකඟ නොවූ අතර ඇන්ටන් බාලසිංහම් සාකච්ඡා වලින් ඉවත් කරන ලදී.
සාකච්ඡාව වර්තමාන රජයේ දේශපාලන උපාය මාර්ගයක් පමණකි. එක්සත් ජාතීන් ගේ මහා ලේකම් බන් කී මුන් 2009 දී යුද්ධය අවසන් කිරීමෙන් පසුව මෙරටට පැමිණි විට ඒකාබද්ධ ප්‍රකාශනයක් මගින් 13 වන සංශෝධනයට එහා ගිය දේශපාලන විසඳුමක් ද්‍රවිඩ ජනතාවට ලබා දෙන බවටද යුද්ධයේදී සිදුවූ වා යැයි කියන අපරාධ සොයා බැලීමට පියවර ගන්නා බවටද වූ පොරොන්දු හිස් ප්‍රලාප පමණක් විය. එමෙන්ම ඉන්දීය අගමැතිවරයා ටද ඉන්දීය විදේශ ඇමතිවරයා මෙරටට පැමිණි විටද 13 වන සංශෝධනයට එහා ගිය දේශපාලන විසඳුමක් ද්‍රවිඩ ජනතාවට ලබාදෙනවා යැයි දුන් පොරොන්දු කඩ කරමින් 13 වන සංශෝධනය කප්පාදු කිරීමට නිත්‍යානුකුල පියවර ගැනීමට උත්සාහ දරමින් ද උතුරු පළාත් සභාවේ  කටයුතු අඩාල කිරීමට ක්‍රියා කරමින්ද රජය කටයුතු කරයි.
ඉන්දියානු සාධකය
කොටි සංවිධානය  තමන් පිළිබඳව අධි තක්සේරුවකින් පසුවිය. රජීව් ගාන්ධි ඔවුන්ගේ නායකයා ඉන්දියාවට කැඳවා බලපෑම් කිරීම ඔවුන්ට අවමානයක් විය. එමෙන්ම ඉන්දු ලංකා ගිවිසුම අනුව ඉන්දීය හමුදාව ඔවුන්ට විරුද්ධව යුද්ධ කිරීම ඔවුන්ට අලාභයක් විය.ඒ අනුව දේශපාලන වශයෙන් තමන්ට මතුවට ලැබෙන අවාසි නොසලකා රජීව් ගාන්ධි මරා  දැමීමට ඔවුහු පියවර ගත්හ.
යුද්ධය සමයේදී ඉන්දියාවට සියලුම තොරතුරු ලබා දෙමින් ජේ. ආර්. ජයවර්ධන යුගයේදී මෙන් නොව තමන් විසින් ඉන්දියානු සම්බන්ධතා  මනාව පාලනය කරන ලදැයි වර්තමාන රෙජීමය විසින් ප්‍රකාශ කරන ලදී. ජයවර්ධන යුගයේදී සිදුවූයේ බටහිරට ගැති දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම මගින් එවකට සෝවියට් පිලේ සිටි ඉන්දියාව පසමිතුරු කර ගැනීමයි. පසුගිය යුද්ධය සමයේදී ඉන්දියාවට ද අවශ්‍ය වූයේ කොටි සංවිධානය යුද්ධමය වශයෙන් පරාජයට පත් කිරීමයි. එබැවින් එම යුගයේදී ඉන්දියානු සම්බන්ධතා පාලනය කිරීම අසීරු නොවිය. එනමුත් යුද්ධයෙන් පසු දේශපාලන වශයෙන් ඉන්දියානු සම්බන්ධතා පාලනය කිරීමේදී තමිල්නාඩුව හරහා ඉන්දියානු දේශපාලනය ටද බලපාන මෙරට ද්‍රවිඩ ජනතාවට දේශපාලන විසඳුමක් දීමේ කාරණය තුළ ඉන්දියාව රැවැට්ටීම දේශපාලන තලයේ බලවත් ප්‍රතිවිපාක ඇතිකිරීමට හේතුවෙයි. මේ සම්බන්ධයෙන් රජය සිටින්නේ චීන සාධකය හරහා තමන්ට ඉන්දියාව පාලනය කිරීමට හැකිවන බවට තමන් පිලිබඳ අධි තක්සේරුවකිනි. නොබැඳි ප්‍රතිපත්තිය නොවන මෙම හෙට්ටු කිරීම මගින් කුඩා රාජ්‍යයක් වන අපට ඇතිවන බලපෑම ඉදිරියේදී දැනෙනු ඇත.   
සන්නද්ධ අරගලය සහ දේශපාලන විසඳුම
සන්නද්ධ අරගලයකින් ලබාගන්නා ජයග්‍රහණ තාවකාලික බවත් නැවත විරුද්ධ පාර්ශ්වය විසින් කරන බලවත් සන්නද්ධ අරගලයකින් තම ජයග්‍රහණය පරාජයක් බවට පෙරළිය  හැකි  බවත් තිරසාර අවසානයක් සඳහා දේශපාලන විසඳුමක් අත්‍යවශ්‍ය බවත් අවබෝධ කර ගැනීමට තරම් කොටි සංවිධානයට ප්‍රඥාවක් නොමැති විය. එසේ වීමට හේතුවුයේ අත්තනෝමතික නායකත්වයත් මොළ සේදීමකට ලක්වී සිටි සාමාජිකත්වයත් එනිසා මේ පිලිබඳ සංවාදයක් ඔවුන්ගේ සංවිධානය තුල නොමැති වීමත් නිසාය.
වර්තමාන පාලක රෙජිමය සිතන්නේ යුද්ධමය ජයග්‍රහණයෙන් පසුව ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් අනවශ්‍ය බවයි.දේශපාලන විසඳුමක් සඳහා වන සාකච්ඡා වට වළල්ලේ යැවීම මගින්ද උතුරු පළාත් සභා මැතිවරණය අනවශ්‍ය ලෙස පමාකිරිම මගින්ද උතුරු පළාත් සභාවට ක්‍රියාත්මක වීමට අවහිර කිරීම මගින්ද පෙන්නුම් කරන්නේ එයයි. මෙරට පැතිරී ඇති බුදු දහමට සපුරා විරුද්ධ වූ සිංහල බෞද්ධ මතවාදය විසින් සාධාරණව සිතීමට නොහැකි ජනතාවක් ඇතිකිරීමත් එනිසා දේශපාලන විසඳුමක් පිලිබඳ කාරණය  මෙරට තුලප්‍රබුද්ධ සාකච්ඡාවකට ලක් නොවීමත් අත්තනෝමතික නායකත්වයත් මෙයට හේතුවයි.
තමන් පිලිබඳ අධි තක්සේරුව
කොටි සංවිධානය සන්නද්ධ අංශයේ තමන් ගැන තිබූ අධි තක්සේරුව නිසා අවසානය තෙක් ගරිල්ලා සටන් ක්‍රම වලින් තොරව රජයේ නිත්‍ය හමුදාව සමග මුහුණට මුහුණලා සටන් කිරීමට පෙළඹුණේය. තමන්ගේ පරාජය අවසාන අවස්ථාවේදී නොව කල්තබා අවබෝධ කර ගෙන සිය පාර්ශ්වයේ සහ සිවිල් වැසියන්ගේ ජිවිත හානි අවම කර ගැනීම සඳහා  යුද්ධය නැවැත්වීමට හෝ සාකච්ඡා කිරීමට හෝ  යටත් වීමට හෝ ඔවුහු නොපෙළඹුනහ.
ජිනීවා යෝජනාවට අදාලව වර්තමාන පාලක රෙජීමය කටයුතු කරනුයේ තමන් පිලිබඳ අධි තක්සේරුවකිනි. කොටි සංවිධානය පරාජය කළ තමන්ට ජාත්‍යන්තර බලපෑම් මගින් කුමන බලපෑමක් කල හැකි දැයි පාලක රෙජීමය සිතනවා විය හැකිය. යුද්ධයෙන් පසුව මෙරට විදේශ ප්‍රතිපත්තිය හැසිරවෙන්නේ යුද්ධයේ අවසන් අවස්ථාවේදී මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය සහ ප්‍රංස විදේශ ඇමතිවරුන්ද මෙරටට පැමිණීමට අවසර නොදුන් ස්වීඩන විදේශ ඇමතිවරයා ද සමග ගනුදෙනු කල ආකාරයට ජෙනරාල් මානසිකත්වයකිනි. රාජ්‍ය තාන්ත්‍රික මානසිකත්වයකින් නොවේ. ජ්‍යාත්‍යන්තර ප්‍රජාව අනුක්‍රමයෙන් වැඩිවන අනුපාතයකින් මෙරටට එරෙහිව සිටී. මානව  හිමිකම්සමුළුවේ මෙරටට එරෙහිව වූ පළමු යෝජනාවට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් දෙවන යෝජනාවට ලැබුණි.  මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදුකරන ක්‍රියාකාරකම් නිසා මුස්ලිම් රටවල් මෙරටට එරෙහිව ඡන්දය දෙනු ඇතැයි අනුමාන කෙරේ. චීනය සහ රුසියාව තමන් සමඟ නම් ප්‍රශ්නයක් නොමැති යැයි රජය සිතනවා විය හැක.
සමාප්තිය
කොටි සංවිධානය තමන්ගේ අඥාන ක්‍රියා මාර්ගය නිසා විනාශයට පත්විය. ඒ සමග දෙමළ ජනතාවගේ බලය බෙදීම ඇතුළු දේශපාලන අභිලාෂයන්ද විනාශයට පත්වී ඇත. වර්තමාන පාලක රෙජීමය කටයුතු කරන්නේද කොටි සංවිධානය කටයුතු කල ආකාරයට සමානවය. ශ්‍රී ලංකා රජය වඩාත් ඥානවන්තව කටයුතු නොකළහොත් කොටි සංවිධානයට සන්නද්ධ තලයේදී සිදුවූ දෙයට සමාන දෙයකට දේශපාලන තලයේදී ශ්‍රී ලංකා රජයට මුහුණ දීමට සිදුවනු ඇත. එවැන්නක් වුවහොත් සමස්ත ජාතියටම එයට මුහුණ දීමට සිදුවනු ඇත. එක්තරා යුගයකදී පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වශයෙන්  ජාත්‍යන්තර ගෞරවයට පාත්‍රව තිබූ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර චුදිතයකු ගේ තත්ත්වයට පත්වීම ඉතාමත් කණගාටුදායක දෙයකි. විදේශික බලවේගයන් මෙරට කටයුතු වලට අතපෙවීම වැළැක්වීම සඳහා මෙරට පාලනය ජාත්‍යන්තරව පිළිගත් උසස් ප්‍රමිතීන්ට අනුකුලව පවත්වාගෙන යමින්  ප්‍රඥාවන්තව කටයුතු කිරීම ශ්‍රී ලංකා රජයේ යුතුකම සහ වගකීමද වේ.
 published in samabima march 2014


Monday, June 1, 2015

2014 අයවැය ලේඛනය

හර්ෂ ගුණසේන
රාජ්‍ය අයවැය  ලේඛනය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ප්‍රසිද්ධ කථාවකදී අයවැය පිලිබඳ වූ විවේචනයන්ට පිළිතුරු දෙමින් රජයේ ආර්ථික ප්‍රතිපත්ති ආරක්ෂණවාදී නොවන බව ප්‍රකාශ කළේය. ඔහු මෙම ප්‍රකාශය කිරීමට හේතුවුයේ මෙම අයවැය මගින් ඇතැම් ආනයනික භාණ්ඩ මෙරටෙහිම නිපදවා ගැනීමට අනුබල දීමක් වශයෙන් එම භාණ්ඩ කෙරෙහි වන ආනයනික බදු වැඩිකිරීම නිසා රාජ්‍ය ප්‍රතිපත්තිය  1970 යුගය දක්වා ආපසු රැගෙන යන බවට වූ චෝදනාවට පිළිතුරු වශයෙනි.
බොහෝ කලක සිට මෙරට වෙළෙඳ ශේෂ ප්‍රශ්නයක් තිබේ. එනම් මෙරටින් පිටරටට පටවන භාණ්ඩ  සඳහා මෙරටට ලැබෙන විදේශ විනිමය අදායමට වඩා ඉතා වැඩි විදේශ විනිමය වියදමක් මෙරටට ගෙන්වන  භාණ්ඩ සඳහා   ගෙවීමට සිදුවී ඇති බැවිනි. එසේ වන්නේ මෙරටට ගෙන්වන භාණ්ඩ ප්‍රමාණය මෙරටින් පිටරට යවන භාණ්ඩ ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් වැඩි බැවිනි. මෙයට පිළියම් දෙකක් තිබේ එකක් පිටරට යවන භාණ්ඩ සහ සේවා සඳහා ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි කර ගැනීමයි. අනෙක මෙරටට ගෙන්වන භාණ්ඩ සඳහා ගෙවන මුදල් ප්‍රමාණය අඩුකර ගැනීමයි. අදායම වැඩිකර ගැනීම සඳහා ආක්‍රමණශීලි විය යුතුය. වියදම අඩු කර ගැනීම සඳහා ආරක්ෂණවාදී විය යුතුය. ආණ්ඩුව වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්නේ දෙවන පියවරටයි.
වෙළෙඳාමේ දී  හෝ ක්‍රීඩාවේදී හෝ යුද්ධයේදී හෝ දේශපාලනයේදී හෝ ජයගැනීම සඳහා ආක්‍රමණශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කල යුතුය. එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කල යුත්තේ තම ආරක්ෂාවද සහතික කර ගනිමිනි.එවිට ඔහු ආරම්භයේදීම ජයග්‍රහකයෙකි. ඔහු ක්‍රියා කල යුත්තේ සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමටය.එසේ නොමැතිව යමෙක් ආරක්ෂණවාදී ප්‍රතිපත්තියකට මුල්තැන දෙමින් ඉඩක් ලද විට ආක්‍රමණශීලි වන්නේ නම් ඔහු ආරම්භයේදීම පරජිතයෙකි. ඔහු ක්‍රියා කල යුත්තේ සිය පරාජය ජයග්‍රහණයකට පෙරලා ගැනීම සඳහාය. දැනට වසර හතර හමාරකට පෙර අවසන්වූ යුද්ධය වෙනුවෙන් ආණ්ඩුව සහ හමුදාපතිවරු අනුගමනය කලේ ආක්‍රමණශීලි ප්‍රතිපත්තියකි. ආණ්ඩුව යුද්ධය ජයගැනීමට  ඉවහල්වූ ප්‍රමුඛ තම කරණය එයයි.
ආණ්ඩුව ක්‍රියාකරන්නේ රාජ්‍ය අංශයට වැඩි බරක් තබමිනි. පසුගිය යුගයේ පැවති පුද්ගලික අංශය ආර්ථිකයේ ගාමක  බලවේගය වන බවට වූ සටන් පාඨය තව දුරටත් වලංගු නැත. රාජ්‍ය අංශයේ ව්‍යාපාරික ආයතන වඩාත් ශක්තිමත් කරමින් පවතින අතර උපාධිධාරීන් වඩවඩාත් රාජ්‍ය අංශයට අනුයුක්ත කරගනිමින් පවතී. පුද්ගලික අංශයේ රැකියා අවස්ථා පිළිබඳව තරුණ උපාධිධාරීන්ගේ වැඩි කැමැත්තක් නොමැති අතර ඔවුන්ගේ සුදුසුකම් සහ හැකියාවන් පුද්ගලික අංශයේ අවශ්‍යතා වලට නොගැලපෙන බවට මතවාදයක් පවතී. ආණ්ඩුව පුද්ගලීකරණය කල සමහර ව්‍යාපාර නැවත අත්පත් කරගත් අතර  කොටස් වෙළෙඳපොල තුල සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජන හරහා විශේෂයෙන්ම පුද්ගලික අංශයේ වාණිජ බැංකු වල කොටස් මිලදී ගැනීම සහ එම බැංකු වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීම  මගින් ඒවායේ කළමනාකාරිත්වය කෙරෙහි විශාල බලපෑමක් ඇතිකර ඇත.
ලංකාවේ ආණ්ඩු බොහෝ කාලයක සිට අය වැය හිඟයක් පවත්වාගෙන එයි. මේ මගින් උද්ධමනය සහ දේශීය පොලි අනුපාත වැඩි වීම හරහා දේශීය භාණ්ඩ වල ඉහල යාම මගින්  අපනයන ව්‍යාපාරිකයන්ට අවාසි සහගත තත්ත්වයක් ඇතිවේ. මෙම දේශීය වියදම් ඉහළයාම අපනයන ව්‍යාපාරිකයන් විසින් රුපියලේ අගය අන්තර්ජාතිකව අඩුවීම මගින් පියවා ගන්නා ලදී.  අපනයන ව්‍යාපාරිකයන්ට වන අවාසි සහගත තත්ත්වය  මෑත  කාලයේදී වඩාත් උත්සන්න වී ඇත්තේ ආණ්ඩුව විසින් රුපියලේ අගය ඉහල මට්ටමක තබා ගැනීමට කෘත්‍රිම ලෙස කටයුතු කරමින් සිටින නිසාය.
මේ රටේ අපනයන ව්‍යාපාරද බොහෝ විට තවදුරටත් අමුද්‍රව්‍ය අපනයනය කිරීමේ යෙදී සිටිනු දක්නට ලැබේ.වඩාත් පුළුල් දැක්මක් සහිත අපනයන ව්‍යාපාරිකයන් සිටින්නේ අතලොස්සකි. ආණ්ඩුව අපනයන ව්‍යාපාර සඳහා වන අදායම් බද්ද 12% මට්ටමේ තබාගෙන සිටි. මෙය ප්‍රසංශා කටයුතුය. වාණිජ බැංකු අපනයන ව්‍යාපාර සඳහා සහන ශීලි පොලි අනුපාත පවත්වාගෙන යන්නේ නැත. ආණ්ඩුව විසින් දීර්ඝ කාලින ණය ව්‍යාපාරිකයන්ට දීමට වාණිජ බැංකු ධෛර්යමත් කලත් වාණිජ බැංකු වල අභිප්‍රාය කෙටිකාලින ණය දීමටයි. වාණිජ බැංකු ණය දීමේදී සලකාබලන ප්‍රධාන කාරණය වන්නේ ණය ගන්නා අයට තැබිය හැකි සුරකුමේ වටිනාකමයි; ණය ගන්නා කාරණය සාර්ථක කර ගැනීමට ණය ගන්නා අයගේ ඇති හැකියාව නොවේ.රටක ඉතාම ඉහල මට්ටමේ සමාගම් අතර භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කරන සමාගම් නොව වාණිජ බැංකු සිටි නම් එරට සංවර්ධනය අසමබර  එකක් විය යුතුය.ලංකාවේ සිදුව ඇත්තේ එයයි. 
රාජ්‍ය අංශය ශක්තිමත් කරමින් ආණ්ඩුව බොහෝවිට කරමින් සිටින්නේ ආනයන ආදේශක ශක්තිමත් කිරීමයි. අපනයන සඳහා බොහෝවිට සුළු ව්‍යාපාරිකයන් ද ඇතුළු පුද්ගලික අංශය ශක්තිමත් කල යුතුය.
රටේ අපනයන හැරුණු විට අනෙක් ලැබීම වන්නේ මෙරටින් රැකියා සඳහා පිටරට යන පුද්ගලයන් විසින් එවන මුදල්ය. මෙම ලැබීම් අනුක්‍රමයෙන් වැඩි වෙමින් පවතින නමුත් මෙම මුදල් එවන පිරිස් වෙනුවෙන් ප්‍රමාණවත් යමක් කිරීමට ශ්‍රී ලාංකික ආණ්ඩු බොහෝ කාලයක සිට අසමත්ව ඇත. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන අදායමද ඒ වෙනුවෙන් රජය විසින් දරන පිරිවැය ද රැකියා සඳහා පිටරට යන පුද්ගලයන් විසින් එවන මුදල් ද ඔවුන් වෙනුවෙන් රජය විසින් දරන පිරිවැය ද සංසන්දනය කිරීමේදී වෙනස පැහැදිලිව පෙනේ. ඔවුන් රජයට දැඩි බලපෑමක් කල නොහැකි දුප්පතුන් පිරිසක් වීම එයට හේතුවයි. පොහොසතුන්ද ඇතුළු මුළු රටම අධික ආනයන වියදම් වෙනුවෙන් මොවුන් කෙරෙහි රඳා පැවතුනත් වර්තමාන ආණ්ඩුවේ විදේශ විනිමය ප්‍රතිපත්තිය ද මොවුන් කෙරෙහි අහිතකර ලෙස බලපා ඇත.  රටේ අධ්‍යාපනය හරහා පිටරට සේවා නියුක්තිය වඩාත් ඵලදායි කිරීමට ගත හැකි පියවර ගැනීම ආණ්ඩුව අතපසු කරමින් සිටි.
මෙරට පුද්ගලික අංශය ආණ්ඩුව කෙරෙහි ප්‍රමාණවත් අන්දමින් බලපෑමක් කිරීමට සමත්වී නැත. තමන්ට සහ තමන්ගේ ව්‍යාපාර වලට  ලැබෙන අල්ප වූ වරදාන වෙනුවෙන් ඔවුහු ආණ්ඩුවට ප්‍රසංශා කරමින් සිටිති. ආණ්ඩුවේ ආර්ථිකය පිලිබඳ සමස්ත ක්‍රියාකාරීත්වය ගැන විග්‍රහයක් සහ විවේචනයක් කිරීමට ඔවුහු අසමත් වී ඇත.
2012 වර්ෂය සඳහා ආසියානු රටවල් කිහිපයක ආර්ථික දත්ත මෙහි ඇති  වගුවේ දක්වා ඇත. ආණ්ඩුව විසින් මහත් අභිරුචියෙන් වර්ණනා කරන ආර්ථික ජයග්‍රහණ වෙනත් රටවල් විසින්ද අත්පත් කරගෙන ඇති බව මෙම වගුවෙන් පෙනී යයි.

ශ්‍රී ලංකාව
බංගලි දේශය
ඉන්දියාව
පකිස්ථානය
වියට්නාමය
ඉන්දුනීසියාව
තායිලන්තය
දදේනි  මුර්ත වර්ධනය %
      6.40
          6.10
      6.50
      3.70
     5.00
      6.20
     6.40
අය වැය හිඟය දදේනි   ප්‍රතිශතයක් වශයෙන්
      6.30
          4.60
      5.40
      6.30
     5.20
      1.90
     4.60
උද්ධමනය %
      7.50
          8.70
      9.30
      9.70
     9.10
      4.30
     3.00
වාණිජ බැංකු වල ප්‍රමුඛ පොලි අනුපාතය%
   13.00
        13.25
    10.60
   12.41
   13.50
    11.80
     7.10
රැකියා විරහිත ප්‍රතිශතය
      5.20
          5.00
      8.50
      6.20
     4.30
      6.10
     0.70
දළ දේශීය නිෂ්පාදිතයේ අපනයන ප්‍රතිශතය
   22.80
        25.00
    24.30
   12.50
   82.20
    24.30
   75.00
දළ දේශීය නිෂ්පාදිතයේ ආනයන ප්‍රතිශතය
   36.50
        35.30
    31.30
   20.60
   82.10
    25.80
   73.80
රාජ්‍ය ණය දදේනි යේ ප්‍රතිශතයක් වශයෙන්
   77.70
        31.70
    49.60
   50.70
   48.20
    23.00
   44.50
ජිනී අනුපාතය
   49.00
        33.00
    36.80
   30.60
   37.60
    36.80
   53.60
අධ්‍යාපන වියදම දදේනි යේ ප්‍රතිශතයක් වශයෙන්
      2.00
          2.20
      3.30
      2.40
     6.60
      3.00
     3.80
ද දේ නි -දළ දේශීය නිෂ්පාදිතය

පකිස්ථානය හැරුණු කොට අනෙකුත් සියලුම රටවල ආර්ථික වර්ධනය 5% ඉක්මවා ඇත. ඉන්දුනීසියාවේ තායිලන්තයේ මෙන්ම බංගලි දේශයේද අය වැය හිඟය සාපේක්ෂව අඩු මට්ටමක් ගනී. උද්ධමනය අඩු ඉන්දුනීසියාවේ සහ තායිලන්තයේය. ඉන් පසුව උද්ධමනය අඩු ශ්‍රී ලංකාවේය. වාණිජ බැංකු වල පොලි අනුපාතය නැවතත් ඉහත දෙරටේ අඩු මට්ටමක් ගන්නා අතර ඉන් පසුව ඉන්දියාව සිටි. රැකියා විරහිත ප්‍රතිශතය තායිලන්තයේ ඉතා අඩු අතර ඉන් පසුව එය අඩු මට්ටමක් ගන්නේ වියට්නාමයේය. අපනයන  දළ දේශීය නිෂ්පාදිතයට දායක වන ප්‍රමාණය වියට්නාමයේ සහ තායිලන්තයේ ඉතා වැඩි මට්ටමක් ගනී. එමෙන්ම එම දෙරටේ අපනයන සහ ආනයන අත්තර පරතරය ඉතාම අඩු අතර ආනයන වලට වඩා අපනයන වැඩිය. රාජ්‍ය ණය ඉතාම වැඩි අගයක් ගන්නේ ශ්‍රී ලංකාවේය. ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරවද බිය එලවන සුළු අන්දමේ ඉහල මට්ටමක සිටි. රටක් සංවර්ධනය සඳහා ණය ගැනීම අවශ්‍ය වන නමුත් ප්‍රශ්නය වන්නේ ලැබෙන ණය හිතකර කොන්දේසි යටතේ ලබා ගන්නවාද යන්නත් ලැබෙන මුදල් වලින් නිසි ප්‍රයෝජනය ගන්නවාද යන්නත්ය.
වැඩි ජිනී අනුපාතයකින්  කියැවෙන්නේ අදායම බෙදී යාමේ විෂමතාවය වැඩි බවයි.තායිලන්තයේ හැරුණු විට මෙය වැඩි ශ්‍රී ලංකාවේය. තායිලන්තයේ සිදුවන දේශපාලන කැළඹීම් වලට මෙයද හේතුවක්වේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ පසුගිය වසර වල අය වැය මගින් දුප්පතුන්ට වැඩි බරක් දමා ඇති අතර පොහොසතුන් පාවිච්චි කරන සමහර භාණ්ඩ වලට බදු අඩුකර තිබේ. රටේ බදු ආදායම අඩුවී ඇති අතර වැඩි අදායම් ලබන්නන් වෙනුවෙන් ඔවුන්ගේ ධනය මත බද්දක් අයකරන බවට රාවයක් පැතිර ගියමුත් එවැන්නක් අය වැය යෝජනා තුල තිබුනේ නැත. බදු ආදායමෙන් ඉතාම වැඩි දායකත්වය වැට් බද්ද ඇතුළු වක්‍ර බදු මගින් ලබා දෙන අතර ඍජු බදු වල දායකත්වය අනුක්‍රමයෙන් පහල බසිමින් පවතී. මේ අනුව බදු වලට දුප්පතුන්ගේ දායකත්වය වැඩි වෙමින් පවතින අතර  ධනවතුන්ගේ  දායකත්වය සාපේක්ෂව අඩු වෙමින් පවතී. මෙම තිත්ත පෙත්ත ජනතාවට ලබා දෙන්නේ සිංහල බෞද්ධ වර්ගවාදයේ දවටාය.
ඉහත රටවල් අතරින් අධ්‍යාපනයට අඩුම ප්‍රතිශතයක් වෙන් කරන්නේ ශ්‍රී ලංකාව වන අතර වැඩිම ප්‍රතිශතයක් වෙන් කරන්නේ වියට්නාමයයි.

මේ අනුව යුද්ධයෙන් පසුව ආර්ථිකය දියුණු කිරීමට ලැබුණු අගනා අවස්ථාව ප්‍රශස්ත අන්දමින් ශ්‍රී ලංකාව විසින් පාවිච්චි කර නොමැති අතර ආඩම්බර වීමට හැකි තත්ත්වයක් අපට නැත. රාජ්‍ය ණය ගැන සලකා බැලීමේදී බිය විය යුතු තත්ත්වයක් ඇත. රටේ දීර්ඝ කාලින ආර්ථික යහපත වෙනුවෙන් අපනයන  අදායම වැඩි කිරීම අනිවාර්ය වේ. මේ ගැන ප්‍රමාණවත් අන්දමේ බලපෑමක් කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති අතර පුද්ගලික අංශයද වාණිජ බැංකු ද මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයාද මේ පිළිබඳව දක්වන ආකල්පය ඵලදායක නොවේ. 
Published in samabima January 2014