Monday, February 24, 2014

Cultural Barriers to Innovation in Sri Lanka

By Harsha Gunasena
Cumaranathunga Munidasa, one of the great sons of the soil, once said the nation which does not create new things continuously does not rise in the world; when it is impossible to beg further it bogs down after singing the swan song. It is doubtful whether his vision was really appreciated in its true value in Sri Lanka rather than limiting to the literary meaning to his words.
The basic ingredient of innovation is the ability to challenge the status quo. The individuals who changed the world such as Buddha, Jesus and Marx challenged the status quo and took steps to change the same. They were rebels in the true spirit. When a question was asked by the Kalamas from the Buddha that there are several spiritual teachers and they are uncertain to what to believe, the Buddha responded as follows:
“Of course you are uncertain, Kalamas. Of course you are in doubt. When there are reasons for doubt, uncertainty is born. So in this case, Kalamas, don’t go by reports, by legends, by traditions, by scripture, by logical conjecture, by inference, by analogies, by agreement through pondering views, by probability, or by the thought, ‘This contemplative is our teacher.’ When you know for yourselves that, ‘These qualities are unskillful; these qualities are blameworthy; these qualities are criticised by the wise; these qualities, when adopted and carried out, lead to harm and to suffering’ — then you should abandon them… When you know for yourselves that, ‘These qualities are skilful; these qualities are blameless; these qualities are praised by the wise; these qualities, when adopted and carried out, lead to welfare and to happiness’ — then you should enter and remain in them.” (Translation by Thanissaro Bhikkhu)
Ultimate authorization of free thinking
This is ultimate authorization of free thinking. Although the majority of the country is supposed to be Buddhists, cultural values prevailing in the country are not in line with that thinking. In contrary to what the Buddha recommended, in Sri Lankan society the status quo is hardly challenged. What are frequently challenged are phenomena within the status quo.
Sri Lankan society is plagued by power distance. Power distance between the rulers and the general public; bureaucrats and the common man; managers and the employees; priests and the laymen; teachers and the pupils; and parents and the children. This distance creates a hindrance to challenge the status quo.
The first Vice Chancellor of the Vidyodaya University Rev. Velivitiye Soratha Thero, a great scholar the country has produced, once said that the university students should be researchers and revolutionaries, non-violent of cause.
Power distance
Power distance was defined by Geert Hofsted, a Dutch sociologist, as follows: “Power distance is the extent to which the less powerful members of organizations and institutions (like the family) accept and expect that power is distributed unequally.”
Hofsted’s original theory dealing with cross cultural issues discussed in the book ‘Culture’s Consequences’ published in 1980 proposed four dimensions along which cultural values could be analyzed. Those are: individualism-collectivism; uncertainty avoidance; power distance (strength of social hierarchy) and masculinity-femininity (task orientation versus person-orientation).
Subsequently he added a fifth dimension, long-term orientation, to cover aspects of values not discussed in the original paradigm, mainly in relation to the Chinese culture. In the 2010 edition of ‘Cultures and Organizations: Software of the Mind,’ Hofsted added a sixth dimension, indulgence versus self-restraint.
In Sri Lanka the power distance between the parents and the children is interpreted as obedience and the same between teachers and pupils is interpreted as respect. When the children are more obedient to their parents and express more respect towards their teachers, creativity would reduce to the same extent.
In the societies where obedience and respect is in abundance, children and students in those societies who question the status quo are rare. They try to follow the existing system due to their inherent obedience to the system and respect to the system. They do not question teachers in the lecture hall or class room. In the societies where power distance is high teachers teach and in the societies where power distance is low students learn.
Power distance between managers and the employees can be interpreted as intention to follow. Employees want to follow the instructions given by the managers without questioning the reasonability of the decisions taken without giving a feedback, which creates ‘one way traffic,’ which is a hindrance for growth of any organization.
Fear factor
Power distance between people and public officers and also people and politicians can be interpreted as fear. In the countries where power distance is high, people fear to work against the wrongdoings or malpractices of the politicians and the public officials.
When there is no strong resistance from the general public, politicians and the public officers do not hesitate to carry out their wrongdoings. They dare to threaten, intimidate, bodily harm, make disappear and kill those who work against them in order to establish the fear of people of them. In addition to this they give various concessions to those who oppose them and get their support as well.
Sometimes there can be a power distance among main political institutions, Executive, Legislature and Judiciary although the prevalence of such a situation is not expected. This comes out in the form of submissiveness. One pillar of the basic governance structure should not be submissive to another but the inherent power distance in the society supported by the other conditions may pave the way for this unfortunate situation.
Elimination of power distance
The starting point of the elimination of power distance basically and the associated fear, submissiveness, intention to follow, respect or obedience secondarily is the understanding by the weaker party of the relationship of the underlying reason of this which is the backwardness of the attitudes.
It would be difficult to take away these attitudes of the people which were in existence over a long period of time. But this can be done since the power distance was created by the weaker party of the relationship not by the stronger party according to the definition of Hofsted. Elimination of this would pave the way for the much needed innovation which is essential for a society to flourish.
Suggestion to reduce power distance could be interpreted by the cultural authorities as disrespect to the hierarchy. It is not disrespect at the personal level but lack of respect at the ideological level. When one is having ideological lack of respect only one can challenge the status quo. It is a democratic process against an authoritarian process hither to prevail.
Therefore Sri Lankan society should seriously be aware of this cultural aspect prevailing in the country although the culture of a country cannot be changed over a short period. This awareness itself might bring the desired results.

 (Published in DailyFT on February 12, 2014)

Sunday, February 23, 2014

සුද්දො අපට කළින් නිවන් දකියිද?

[හර්ෂ ගුණසේන]

නුතන පාලන ක්‍රම ප්‍රජාතන්ත්‍රවාදී වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව විසින් හෝ ජනතාව විසින් පත්කරනු ලබන නියෝජිතයන් මගින් හෝ කරනු ලබන පාලනයයි. නුතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණය වී ඇත්තේ පුද්ගල ස්වාධිපත්‍යය (ලිබර්ටි – LIBERTY), සමානතාව (ඊක්වැලිටි - EQUALITY) සහ සාධාරණත්වය (ජස්ටිස් – JUSTICE) පදනම් කරගෙනය. මේවා පුද්ගලවාදී බටහිර සංස්කෘතිය තුළ විශේෂයෙන්ම ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය සංස්කෘතීන් තුළ ඇති වටිනාකම් (VALUES) වේ. ප්‍රජාතන්ත්‍රවාදය ඊට පෙර තිබූ රාජාණ්ඩු ක්‍රම සමඟ සසඳා බලන විට විශාල ඉදිරි පිම්මකි. එනමුත් ප්‍රජාතන්ත්‍රවාදය යනු වැඩි දෙනාගේ පාලනයයි. එමගින් පුද්ගල ස්වාධිපත්‍යයට හානි නොපැමිණවීමට ඇමරිකානු ව්‍යවස්ථා සම්පාදකයෝ වගබලා ගත්හ. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංග තුනෙහි බලතල වෙන වෙනම දක්වා ඒ එකම ආයතනයකටවත් අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට නොහැකි වන සේ ව්‍යවස්ථාව සම්පාදනය කිරීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය ද ඊටත් එහා ගිය පුද්ගල ස්වාධිපත්‍යය ද සුරැකීමට ඔවුහු කටයුතු කළහ. ඉන් පසුව ඇතිවූ ප්‍රංශ ව්‍යවස්ථාවේ ද නුතන වෙනත් ව්‍යවස්ථාවලද පුද්ගල ස්වාධිපත්‍යය මූලික අංගයක් වී තිබේ.

අපගේ වර්තමාන ව්‍යවස්ථාවේ ද මූලික අයිතිවාසිකම් පිළිබඳ කොටස මෙම පුද්ගල ස්වාධිපත්‍යය සුරැකීමට කෙළින්ම අදාළ වේ. ඊට අමතරව පුද්ගල ස්වාධිපත්‍යය සුරැකීම සඳහා විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංග තුනෙහි බලතල වෙන වෙනම දක්වා ඇත.

ව්‍යවස්ථාවේ මෙසේ තිබුණද කණ්ඩායම්වාදී වන අපගේ සංස්කෘතිය තුළ පුද්ගල ස්වාධිපත්‍යයට වටිනාකමක් නොමැත. ලිබර්ටි යන ඉංග්‍රීසි වචනයට සරිලන සිංහල වචනයක්ද නැත. ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයේ ලිබර්ටි වචනය නිර්වචනය කරන්නේ මේ ආකාරයටය. “බලධාරීන් විසින් තමන්ගේ හැසිරීම හෝ දේශපාලන මතවාදයන් හෝ පිළිබඳව පනවනු ලබන පීඩාකාරී අවහිරකිරීම්වලින් තොරව සමාජයේ නිදහසේ සිටීමට ඇති හැකියාව පුද්ගල ස්වාධිපත්‍යය” වේ. මේ ආකාර පුද්ගල ස්වාධිපත්‍යයක අවශ්‍යතාවක් අපේ සමාජයේ නැත. අපේ සමාජයේ තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතාවයි.

වරින් වර තමන්ට කැමති පුද්ගලයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් හෝ ජනාධිපති වශයෙන් හෝ තෝරා පත්කර ගැනීමේ අවශ්‍යතාව මෙරට ජනතාවට ඇත. තමන් විසින් තෝරා පත්කර ගත් තමන්ගේ මිනිහා වන පුද්ගලයා විසින් කරනු ලබන දේ අපේ ජනතාව අනුමත කරති. තමාගේ මිනිහා තමන්ට එපා වීමට ඒ පුද්ගලයා විසින් වැරදි බොහෝ ගණනක් කළ යුතුය. එකම වරද වුව සෑහෙන වාර ගණනක් කළ යුතුය. එතෙක් තමන් තෝරා පත්කර ගත් පුද්ගලයා හෝ පුද්ගලයන් ඔහුගේ හෝ ඔවුන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඡන්ද දායකයෝ ක්‍රියා කරති. තමන් තෝරා පත්කර ගත් නියෝජිතයා යම්කිසි වැරැද්දක් කළත් නීතිඥයකු නඩුවක කතා කරන්නා සේ එය සාධාරණීකරණය කිරීමට ඡන්ද දායකයෝ උත්සාහ කරති.

කණ්ඩායම්වාදී සංස්කෘතිය තුළ සමානතාව සහ සාධාරණත්වය යන ගුණාංගවලට ලැබෙන්නේ පුද්ගලවාදී සංස්කෘතියක් තුළ ලැබෙන වටිනාකම්වලට වඩා වෙනස් වටිනාකම්ය. කණ්ඩායම්වාදී සංස්කෘතිය තුළ සමානතාව සහ සාධාරණත්වය කණ්ඩායම තුළ පමණය. කණ්ඩායමෙන් පිට සමානතාව සහ සාධාරණත්වය පවතින්නේ බොහෝ අඩු මට්ටමකිනි. දෙමළ ජනතාවට වන අසාධාරණකම්වලට සිංහල ජනතාව අඩු සැලකිල්ලක් දක්වන්නේත් එම අසාධාරණකමම සිංහල ජනතාවට සිදුවූ විට එයට බලවත් සැලකිල්ලක් දක්වන්නේත් ඒ නිසාය. එමෙන්ම ජනාධිපතිවරයා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයකදී කිසිම ලැජ්ජාවක් නොමැතිව තමන්ගේ මිනිහාට වෙනස්ව සලකන අන්දම ප්‍රසිද්ධියේ කියා සිටින්නේත් ඒ නිසාය.

බුදු දහමට අනුව බලන විට පුද්ගල ස්වාධිපත්‍යය අගය නොකරන සමාජයක කෙනෙකුට මේ භවයේදීම නිවන් දැකීම සඳහා සමාජයීය වශයෙන් පෙළඹවීමක් ලැබෙන්නේ නැත. දියුණු වීමට උත්සාහ කරන පුද්ගලයකුට තනිවම බුදු වීමට උත්සාහ කරන්නේ යැයි සරදම් කරන්නේ එබැවිනි. බුදු වන්නේ තනිවමය. සිය අඹු දරුවන්ද සමඟ නොවේ. නිවන් දැකීම යනු පූර්ණ අවබෝධයයි. එය ලැබිය යුත්තේ දැන්ය. තනිවමය. පසුව බජාර් පිටින් නොවේ. බුදු දහමේ හරය වඩාත් ස්ථාපිත විය හැක්කේ පුද්ගල ස්වාධිපත්‍යය අගය නොකරන කණ්ඩායම්වාදී ආසියාතික සංස්කෘතීන්වල නොව පුද්ගලවාදී බටහිර සංස්කෘතිය තුළය.

ජනතාවගේ ආර්ථික තත්ත්වය යහපත් වනවිට බොහෝවිට කණ්ඩායම්වාදී ගුණාංග යටපත් වී පුද්ගලවාදී ගුණාංග ඉස්මතු වේ. යම් කරුණකට සමාජයේ ඉහළ ස්ථර එක් ආකාරයකට ප්‍රතික්‍රියා දක්වන්නේත් බහුතර ජනතාව ඊට වෙනස් ආකාරයකට ප්‍රතික්‍රියා දක්වන්නේත් මේ නිසා විය හැක.

පසුගිය දා අග විනිසුරුවරියට එරෙහිව ක්‍රියාත්මක වූ නින්දා සහගත එමෙන්ම නීති විරෝධී දෝෂාභියෝග ක්‍රියාවලිය විමසා බැලිය යුත්තේ මේ පසුබිම තුළය. පුද්ගල ස්වාධිපත්‍යය අගයන සමාජයක නම් මෙම ක්‍රියාවලිය මෙසේ සිදුවීමට ජනතාව ඉඩ නොතබනු ඇත. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව තම අණසක යටතට ගෙන බොහෝ කල්ය. ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තුව තුළ සිටින සියලුම මන්ත්‍රීවරුන්ට නොයෙකුත් ඇමැති තනතුරු ජනාධිපතිවරයා විසින් පිරිනමා ඇත. ඔවුන් ක්‍රියා කරන්නේ විධායකයේ බත් බැලයන් මෙන්ය.

මෙරට අධිකරණයේ ක්‍රියාකලාපය ද සෑම විටම ප්‍රශස්ත මට්ටමක තිබුණේ නැත. අධිකරණ තීන්දුවලදී විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණයේදී සහ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන අණ පනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලදැයි විමසා බැලීමේදී අධිකරණය පාලකයාගේ අභිමතාර්ථ සාධනය නොව ජනතා සුබසිද්ධිය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. සරත් ෆොන්සේකාගේ සාධාරණ අයිතිවාසිකම් අහිමි කළේද තිසෙයිනායගම්ට කොටි සංවිධානයට පක්ෂ ලිපියක් ලිවීමේ වරදට අවුරුදු 20කට සිර දඬුවම් නියම කළේද අපගේ අධිකරණය විසිනි. මෑත අතීතයේදී සරත් සිල්වා අධිකරණය  විටෙක විධායකයේ අන්තේවාසිකයකු මෙන්ද විටෙක විධායකයේ විරුද්ධවාදියකු මෙන්ද තවත් විටෙක අත්තනෝමතිකව සරත් සිල්වාගේ පුද්ගල අභිමතාර්ථ සාධනය වෙනුවෙන්ද  ක්‍රියා කළේය. මොහාන් පීරිස් අධිකරණය අනාගතයේදී විධායකයට අවනතවී ක්‍රියාකරනු ඇත. මක්නිසාද යත් එසේ නොමැතිනම් දෝෂාභියෝගයකට මුහුණ දීමට සිදුවන නිසාය.

මෙම පසුබිම තුළ පුද්ගල ස්වාධිපත්‍යය අනුක්‍රමයෙන් අභාවයට යනු ඇත. ජනතාවට එය අවශ්‍ය වනු ඇත්තේ එය නැත්තටම නැතිවී ගිය පසුය. එවිට එය නැවත ලබා ගැනීම සඳහා විශාල අරගලයක් කිරීමට අවශ්‍ය වනු ඇත. එම අරගලයට මුහුණ දීමටද ආණ්ඩුව සූදානම් බව ජනතාව මතක තබා ගත යුතුය∎

(2013 පෙබරවාරි මස සමබිමෙහි පළ කරන ලදී.)

ශීලයෙන් පිරුණ බුදුදහම චණ්ඩිකමෙන් ආරක්ෂා කිරීමට යාම

මා යම්කිසි ආගමකට අයත් වේ නම් සහ එම ආගම විසින් මා කන බොන සහ අඳින පළඳින ආකාරය නිශ්චය කරන්නේ නම් මම එම ආගමෙන් ඉවත් වෙමි. ඒ එවන් වූ අධිකාරියක් මා නොඉවසන බැවිනි. එනමුත් වෙනයම් අයෙකුට එම ආගම ඇදහීමේ සහ ඒ අනුව කෑමේ බීමේ ඇඳීමේ පැළඳීමේ නිදහස තිබිය යුතුය. එසේම එම නිදහස අනෙකුත් පුරවැසියන්ගේ ඒ හා සමාන නිදහස උල්ලංඝනය නොකළ යුතුය.

මෑතකදී පිහිටුවා ගත් ‛බොදු බල සේනා’ නැමැති සංවිධානයක් හලාල් සහතිකයට විරුද්ධව ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. වෙළෙඳ සමාගම් භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ ගනුදෙනුකරුවන් සඳහාය. ගනුදෙනුකරුවන් හලාල් සහතිකය ඉල්ලා සිටින්නේ නම් සමාගම එම සහතිකය ලබාගනු ඇත. ගනුදෙනුකරුවන් හලාල් සහතිකය ප්‍රතික්ෂේප කරන්නේ නම් සමාගම එම සහතිකය ලබා නොගනු ඇත. කිසිවකුට සහතික ලබාගැනීම සඳහා හෝ ලබා නොගැනීම සඳහා හෝ බල කිරීමේ අයිතියක් නොමැත.

මෙම සංවිධානයේ සහ ඒ හා සමාන වෙනත් සංවිධානවල ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්නයක් තිබේ. මෙම සංවිධානයේ නමෙහිම ප්‍රශ්නයක් තිබේ. යම් බල සේනාවක් වේ නම් එය ‛බොදු’ විය නොහැකිය. යම් සංවිධානයක් බොදු නම් එය ‛බල’ සේනාවක් විය නොහැකිය. ජාතික හෙළ උරුමය පෙනී සිටින්නේ හෙළ උරුමය වෙනුවෙන් නම් එය ජාතික වන්නේ කෙසේද? සමස්ත ජාතියට හෙළයන්ට අමතරව තවත් බොහෝ දෙනා ඇතුළත් වෙති. එමෙන්ම ඔවුන් පෙනී සිටින්නේ හෙළ බොදු උරුමය වෙනුවෙන්ය. හෙළ කිතුනු උරුමය වෙනුවෙන් නොවේ. මෙම සංවිධාන තුළ සහ ඉන් පිටත බෞද්ධ භික්ෂූන්ගේ ක්‍රියාකාරීත්වය ඔවුන්ගේ බෞද්ධකම පිළිබඳව ප්‍රශ්න ඇති කරවයි. මෙරට බෞද්ධ භික්ෂූන් සිතා සිටින්නේ සමස්ත බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ වගකීම සිංහල වර්ගයා වෙත පැවරී ඇති බවත් එබැවින් බුද්ධ ශාසනය ද සිංහල වර්ගය ද ආරක්ෂා කිරීමේ වගකීම තමන් වෙත පැවරී ඇති බවත්ය.

බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම යනු කුමක්ද? චිරාත් කාලයක් මුළුල්ලේ භික්ෂූන් විසින් බොහෝ දුක් මහන්සියෙන් මතු පරම්පරාවල අභිවෘද්ධිය සලකා කටපාඩමින් රැගෙන ආ ත්‍රිපිටකය වළගම්බා රජු දවස මාතලේ අලුවිහාරයේදී ග්‍රන්ථාරූඪ කරන ලදී. දැන් ත්‍රිපිටකය විවිධ භාෂාවන්ට පරිවර්තනය වී මුද්‍රණයෙන් ද එමෙන්ම අන්තර්ජාලයේ ද ඇත. ඒ හා සම්බන්ධ බොහෝ බෞද්ධ පොතපත ද මුද්‍රණද්වාරයෙන් එළි දක්වා ඇත. මේ සඳහා බොදු බල සේනාවේ සභාපති හිමිපාණන් විශාල සේවයක් කර ඇත. එබැවින් දැන් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට නම් ප්‍රතිපත්ති පිරිය යුතුය. අද දවසේ බුද්ධ ශාසනය ආරක්ෂා කරනු ලබන්නේ සුදුසු ශීලයක් සමාදන්ව නිතිපතා විපස්සනා භාවනාවේ හෝ පසුව විපස්සනා භාවනාව කිරීමේ අටියෙන් සමථ භාවනාවේ හෝ යෙදෙමින් එළැඹ සිටි සිහියෙන් යුක්තව වාසය කරන අතලොස්සක් වන ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ආර්ය ශ්‍රාවකයන් විසිනි. මුස්ලිමුන්ට හෝ ක්‍රිස්තියානුවන්ට හෝ එරෙහිව පාරවල් ගානේ මැර ක්‍රියාවල යෙදෙන චීවරධාරීන් විසින් නොවේ. අසූහාරදාහේ පහන් පින්කම් සහ චෛත්‍ය වටේ සිවුරු එතීමේ පින්කම් කරන්නන් විසින් ද නොවේ. එමෙන්ම බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම භික්ෂූන්ට පමණක් සිමාවන කටයුත්තක් ද නොවේ.

බුදුහු තමන් අනුගමනය කිරීමට කිසිවකුට බලපෑම් නොකළහ. එමෙන්ම තමන් අතහැර යන කිසිවකුට එසේ නොකරන ලෙසද බලපෑම් නොකළහ. ඒ එක් එක් පුද්ගලයාගේ අභිමතාර්ථයයි. බුද්ධ ශාසනය රැකීම යනු තමන්ගේ ගොඩ වැඩි කිරීමට හෝ අනුන්ගේ ගොඩ අඩු කිරීමට හෝ කටයුතු කිරීම නොව සියලු දෙනාටම ආදර්ශයක් දෙමින් ප්‍රතිපත්ති පිරීමයි. බුදු සමය වෙනුවෙන් මැර ක්‍රියාවල යෙදීම බුදුසමය නොරැකීමක් පමණක් නොවේ, එය විනාශ කිරීමක් ද වේ. මෑතකදී ඇති වූ සටන්කාමී බෞද්ධ සංවිධාන සහ ඒවාට අනුබල දෙන බෞද්ධ භික්ෂූහු බුදු සමය රකිමුයි එය විනාශ කරති. බුදුසමය මෙවැනි හිස් චීවරධාරීන්ගෙන් ද අසිහියෙන් යුක්තව පින්කම් කරමුයි පවුකම් කරන්නන්ගෙන් ද රැක ගැනීමට කාලය එළැඹ තිබේ.

බුද්ධ ජයන්තිය ආශ්‍රිතව ලොව පුරා ඇතිවී තිබෙන බොදු පුනරුදයේ ගෞරවය වඩාත් හිමිවිය යුත්තේ ශ්‍රී ලංකාවට නොව බුරුමය සහ තායිලන්තයටය. මක්නිසාද යත් බුදු දහමේ හරය වන විපස්සනා භාවනාව පරපුරෙන් පරපුරට රැගෙන ආ භික්ෂු පරපුරක් ඒ දෙරටේම සිටීමය. බුරුමයේ මහාසී සයාඩෝ සහ තායිලන්තයේ අචාන් චා ඒ සඳහා මෑත කාලීන උදාහරණ වේ. මීට අමතරව බුරුමයේ එස්.එන්. ගොයෙන්කා සහ ඌ බා කින් යනාදීන්ගෙන් සැදුම්ලත් ගිහි ගුරු පරපුරක් ද වේ. තායිලන්තයේ විසූ ආචාර්ය මන් භුරිදත්ත තෙරුන් (1870-1949) රහතන් වහන්සේ නමකියි එරට පුරා පිළිගැනීමක් තිබේ. රේරුකානේ චන්දවිමල හිමි සහ මාතර ශ්‍රී ඥානාරාම හිමි මේ සඳහා ලංකාවෙන් දිය හැකි මෑත කාලීන උදාහරණ වේ. උන්වහන්සේලා ද බුරුම භාවනා ක්‍රමවල ආභාසය ලදහ. භාවනා ක්‍රම පසෙක තිබියේවා නැතිවී ගිය උපසම්පදාවද බ්‍රිතාන්‍ය යුගයේදී ලංකාවට ගෙන ආවේ බුරුමයෙන් සහ තායිලන්තයෙනි. මේ අනුව බුදු සමය රැකීමේ බලපත්‍රයක් සිංහල වර්ගය සතුව ඇතැයි පැවසීම ප්‍රලාපයකි.

බොදු බල සේනා සංවිධානය මුස්ලිම් විරෝධී බලවේගයක් නිර්මාණය කරමින් යයි. 1983 කළු ජූලියේදී දෙමළ විරෝධීන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු ආකාරයට මෙම සංවිධානවලට ද රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බව පෙනෙන්නට තිබේ. මෙම කාරණයේදී රජය කරවන ඇත්තන් ක්‍රියා කරන්නේ රටේද ජනතාවගේද සුබ සිද්ධිය සඳහා නොවේ. ස්වාර්ථය සඳහාය. තමන්ට තවදුරටත් බලයේ සිටීම සඳහාය. මෙවැනි වර්ගවාදී හැඟීම් ඇවිස්සීම මගින් මුග්ධ ලෙස ක්‍රියා කිරීමට අනුබල ලබන බහුතර සිංහලයන්ගේ සහාය තමන්ට ලබාගත හැකිවනු ඇතැයි ඔවුන් කල්පනා කරනවා විය හැක. අන්තර්ජාතික බලපෑම් කොතෙකුත් තිබුණත් දේශීය වශයෙන් බහුතරයගේ කැමැත්ත තමන්ට ලබාගත හැකිනම් තමන්ගේ විනාශකාරී ගමන එලෙසම යා හැකියයි ඔවුන් සිතනවාද විය හැකිය. ලංකාව ස්වයංපෝෂිත නම් එසේ සිතුවාට සහ ක්‍රියා කළාට ඔවුන්ට හානියක් නොවනු ඇත. එනමුත් ලංකාව ස්වයංපෝෂිත රටක් නොවේ. මෙරට අපනයන රඳා පවතින්නේ බටහිර රටවල් මතය. එමෙන්ම කොටස් වෙළෙඳපොළ සහ රාජ්‍ය බැඳුම්කර ඇතුළු මෙරට ආයෝජනද රඳා පවතින්නේ බටහිර රටවල් මතය. එබැවින් මානව හිමිකම් රැකීම සඳහා බටහිර රටවල් කරන බලපෑම තුළ ආර්ථික තර්ජනයක්ද ඇත. විදේශ රටවලින් ශ්‍රමිකයන් එවන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් එන්නේ මැදපෙරදිග මුස්ලිම් රටවලිනි. එබැවින් මුස්ලිම් විරෝධයකද ආර්ථික බලපෑමක් තිබේ. කලාපයේ බලවතා වන එමෙන්ම බටහිර සමඟ අවබෝධයෙන් කටයුතු කරන ඉන්දියාව අප විසින් රවටා ඇත. චීනය මගින් ඉන්දියාව තුලනය කිරීමට පාලකයන් බලාපොරොත්තු වන බව පෙනේ. ජාත්‍යන්තර තලයේදී ඉන්දියානු අභිලාසයන්ට විරුද්ධව ක්‍රියා කිරීම බරපතළ ප්‍රතිවිපාකවලට හේතුවීමට ඉඩ තිබේ. චීනයෙන් අප ලබා ගන්නා ගිනිපොලී ණය ආපසු ගෙවීම සඳහා අප්‍රිකාව හෝ බුරුමය හෝ මෙන් ස්වභාවික සම්පත්ද අපට නැත. ඒ නිසා ඒ සඳහා ඔවුන් ආයෝජනය කළ ව්‍යාපෘති ඔවුන්ට පවරා දීමට අපට සිදුවී තිබේ. එබැවින් සමස්ත චිත්‍රය අනුව තත්ත්වය රටට ජනතාවට මෙන්ම පාලකයන්ට ද අහිතකර වේ.

මෙවැනි පසුබිමක් යටතේ වර්ගවාදී හැඟීම්වලින් මෝහනය වීම නොකළ යුත්තක් බව බහුතර සිංහලයන් විසින් වටහාගත යුතුව තිබේ. ජනතාව වර්ගවාදී නොවන විට පාලකයන් කවුරුන් හෝ වේවා ඔවුන්ට දෙමළ ජනතාවට සාධාරණය ඉෂ්ට කිරීමට සිදුවනු ඇත. බෙදී සිටින ජනතාවගේ මානව හිමිකම් කැඩීමට වඩා එක්වී සිටින ජනතාවගේ මානව හිමිකම් කැඩීම පාලකයාට අපහසු වනු ඇත. ජනතාවට වඩා ඉදිරියෙන් සිටින ගාන්ධි හෝ මැන්ඩෙලා හෝ වැනි නායකයන් අපට නැත. අපේ නායකයන් සිටිනුයේ ජනතාවට වඩා පසුපසිනි. බණ්ඩාරනායක සහ ජයවර්ධන මෙන්ම රාජපක්ෂද සිටින්නේ ජනතාවට වඩා පසුපසිනි. ඔවුන්ගේ න්‍යාය පත්‍රය සැකසෙන්නේ ජනතාවගේ ඡන්ද පතාය. ඒ සඳහා ඕනෑම පීචං වැඩක් කිරීමට ඔවුහු පසුබට නොවෙති. ජනතාව වර්ගවාදී නම් ඔවුහුද වර්ගවාදී වෙති. යුද්ධයට පෙරත් යුද්ධය කාලයේත් යුද්ධයෙන් පසුවත් නිති දැවෙන මෙරටට ශාන්තිය ළඟා කළ හැකි වන්නේ ද එමෙන්ම අප බැඳ දමා ඇති දම්වැලෙහි කඩා දැමිය හැකි එකම පුරුක වන්නේ ද බහුතර සිංහලයන් විසින් වර්ගවාදී නොවී සිටීමයි. එබැවින් වර්ගවාදී නොවීම බහුතර සිංහලයන් විසින් මේ මොහොතේ කළ යුතු ඓතිහාසික කාර්යභාරය වේ. ඒ සඳහා ඔවුන් බහුතරයකගේ ආගම වන බුද්ධාගමෙන්ද නොමඳ අනුබලයක් ලැබේ. වර්ගවාදී සිංහල භික්ෂූන් විසින් උත්කර්ෂයට නංවනු ලබන ඊනියා සිංහල බුද්ධාගම ඔවුන් විසින් හළ යුතුය. මක්නිසාදයත් එය බුදු දහමට සපුරා පටහැනි වන බැවිනි∎

[හර්ෂ ගුණසේන]

(2013 අප්‍රේල් මස සමබිමෙහි පළ කරන ලදී.)

බටහිර බලපෑම් සහ අපේ ප්‍රතිචාර

එක්සත් ජාතීන් සහ බටහිර රටවල් කොටි හිතවාදීන් බව බහුතර සිංහල ජනතාවගේ හැඟීමයි. බටහිර රටවල් අතරින් ප්‍රථමයෙන්ම කොටි සංවිධානය තහනම් කරන ලද්දේ ඇමරිකාවේය. යුරෝපා රටවල කොටි සංවිධානය තහනම් කිරීමෙහි ලා ඇමරිකාව විසින් විශේෂ කාර්යභාරයක් සිදු කරන ලදී. එසේම කාලයක් තිස්සේ ඇමරිකන් ඔත්තු සේවය විසින් සපයන ලද තොරතුරු මත කොටි සංවිධානයට අයත් ආයුධ ගෙන එන නෞකා යම් ප්‍රමාණයක් විනාශ කිරීමට ශ්‍රී ලංකා හමුදාවට හැකි විය

ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන්ට අසමාන තත්ත්වයක් ඇති බවත් ඔවුන්ගේ ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවත් බටහිර රටවල අදහසයි. මීට අමතරව යුද්ධයේ අවසන් අදියරේදී විශාල ප්‍රමාණයක් සිවිල් වැසියන් ඝාතනය වූ බවත් ශ්‍රී ලංකා රජය විසින් ඔවුන් වෙත හිතාමතාම ප්‍රහාර එල්ල කරන ලද බවත් එම රටවල අදහසයි. මෙම චෝදනා නිවැරදි නොවේ නම් ඒ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් කර චෝදනා සාවද්‍ය බව පෙන්වන ලෙසද ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ.

මෙම ස්ථාවරයන් දෙක එනම් කොටි සංවිධානයට විරුද්ධ වීමත් දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නවලට සංවේදී වන අතර යුද්ධයේ අවසන් අදියරේදී ඔවුන්ට වූවා යැයි සැලකෙන අපරාධවලට විරුද්ධ වීමත් බටහිරට අනුව එකිනෙකට හිලව් කළ නොහැකි ස්ථාවරයන් දෙකකි. සිංහල ජනතාවගේ ආණ්ඩුවත් කල්පනා කරන්නේ බටහිර රටවල් කොටි සංවිධානයට පක්ෂ බවත් තමන්ට විරුද්ධ බවත්ය. මෙය සරල රේඛීය සම්බන්ධතාවයක් බලාපොරොත්තු වීමකි. කොටි සංවිධානය මර්දනය කිරීමට පක්ෂ වන අතර සාමාන්‍ය දෙමළ ජනතාවට එරෙහිව අපරාධ කිරීමට විරුද්ධ වීම සහ එසේ නොවූවා නම් එය පරීක්ෂණයක් මගින් සනාථ කරන ලෙස කීම නැමැති සංකීරණ ස්ථාවරය ලඝු කොට එය කොටි සංවිධානයට පක්ෂ වීමක් ලෙස සිංහල ජනතාව විසින් අර්ථ දක්වනු ලැබේ.

දෙමළ ජනතාව අනෙක් අතට කල්පනා කරනු ඇත්තේ බටහිර රටවල් තමන්ට සිදු වූ අසාධාරණයට සහ කොටි සංවිධානය අමානුෂික ලෙස සමූල ඝාතනයට විරුද්ධ බවත් එයට එරෙහිව ඔවුහු සිංහල ජනතාවගේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන බවත්ය. සිංහල සහ දෙමළ සංස්කෘතික අංගයන් සමග බටහිර සංස්කෘතික අංගයන් සංසන්දනය කර මෙම තත්වය ගවේෂණය කිරීමට ප්‍රථම බටහිර රටවලට ලංකාවට විරුද්ධ වීමට ඇති දේශපාලන අවශ්‍යතාව කුමක්දැයි විමසා බැලීමට කැමැත්තෙමි.

ජේ.ආර්. ජයවර්ධනගේ කාලයේ ඔහුගේ බටහිරට පක්ෂපාතී ආර්ථික හා විදේශ ප්‍රතිපත්තීන් තම ආරක්ෂාවට තර්ජනයක් වෙතැයි සිතූ ඉන්දීය රජය කොටි ත්‍රස්තවාදීන්ට ආධාර කර ලංකාණ්ඩුව අස්ථාවර කිරීමට කටයුතු කළේය. කාම්බෝජයේ සිහනුක් බලයෙන් පහ කර ඇමරිකන් ගැති ලොන්නෝල් බලයට ගෙන ඒමට සී.අයි.ඒ. සංවිධානය කටයුතු කළේ එවකට එම කලාපයේ ව්‍යාප්ත වෙමින් තිබුණු කොමියුනිස්ට් ව්‍යාපාරය මර්දනය කිරීමටය. ඇමරිකාව ඉරානයේ අයතුල්ලා කොමෙයිනිට විරුද්ධව ඉරාකයේ සදාම් හුසේන්ට සහය දුන්නේ කොමෙයිනිගේ බටහිර විරෝධී ප්‍රතිපත්තිය නිසාය. මේවා ස්වෛරී රාජ්‍යයන්ට එරෙහිව සිදු කළ ගර්හිත ක්‍රියාකාරකම් වුවත් බලවත් රාජ්‍යයන් එසේ හැසිරීමට හේතුව වටහාගත හැකිය.

මෑතක් වන තුරු ලංකාවට අදාළව මෙවැනි තත්වයක් දකින්නට නොතිබුණි. තමන්ට බටහිර රටවල් විරුද්ධ යැයි වැරදි උපකල්පනයකට පැමිණ චීනය, බුරුමය සහ ඉරානය වැනි රටවල් සමග පමණ ඉක්මවා හාදකම් පැවැත්වීම යනු බටහිර රටවලට ඇත්ත වශයෙන්ම ලංකාවට විරුද්ධව කටයුතු කිරීමට මග පාදා දීමකි. ලංකාව වැනි කුඩා රටකට වඩාත් උචිත වන්නේ ජේ.ආර්. ජයවර්ධන අනුගමනය කළ මිතුරන් සමඟ සිටීමේ විදේශ ප්‍රතිපත්තිය නොව බණ්ඩාරනායක මැතිණිය අනුගමනය කළ නොබැඳි විදේශ ප්‍රතිපත්තියයි. ඉතා වැදගත් පූර්වාදර්ශ තිබියදීත් ලංකාව මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම ප්‍රශ්නයකි.

දෙවනුව සංස්කෘතික වෙනස සලකා බැලීමේදී විශේෂයෙන්ම ජාතීන් අතර ඇති සංස්කෘතික වෙනස්කම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම වැදගත් ය.

බොහෝ බටහිර රටවල සංස්කෘතිය පුද්ගලවාදී වේ. මේ පිළිබඳව අධ්‍යයනයක් කළ හර්ට් හොෆ්ෂේඩ් පුද්ගලවාදී බව මෙසේ නිර්වචනය කර ඇත. පුද්ගලයන් අතර ඇති අන්තර් සම්බන්ධතා දුර්වල සමාජයක පුද්ගලවාදී බව වර්ධනය වේ. බොහෝ දෙනා තමන් ගැන හෝ තමන්ගේ පවුල ගැන පමණක් සංවේදී වෙති. මෙයට ප්‍රතිවිරුද්ධව උපතේ සිට පුද්ගල සම්බන්ධතා ඉතාමත් දැඩි සමාජවල සාමූහිකවාදී බව දක්නට ඇත. මෙම පුද්ගල සම්බන්ධතා පුද්ගලයන් විවිධ කණ්ඩායම්වලට ගොනු කරන අතර මෙම අන්තර් සබඳතා සමහර විට මුළු ජීවිත කාලය පුරාම පවතී. ලංකාව ඇතුළු පෙරදිග රටවල ජනයා බොහෝ විට සාමූහිකවාදී වෙති.

ෆොක්ස් ට්‍රොම්පනාස් නැමැති ලේඛකයා ඔහුගේ පොතක පහත සඳහන් සිද්ධිය ඉදිරිපත් කරයි.

“ඔබගේ සමීප මිතුරකු ඔහු විසින් පදවන ලබන වාහනයකින් ඔබ යම් ස්ථානයකට ඇරලවනු ලබයි. ඔබගේ මිතුරා නියමිත වේගයට වඩා වැඩි වේගයකින් රථය ධාවනය කර පදිකයෙකු අනතුරකට ලක් කරයි. ඔබ හැර වෙනත් සාක්ෂිකරුවෙකු නැත. මිතුරා නියමිත වේගයට වැඩි වේගයකින් රථය ධාවනය කළ බව ඔබ දන්නේ නම් ඔබ එය උසාවියේදී කියා සිටින්නේ ද?”

සාමූහිකවාදී රටවල වැසියන් බොහෝවිට උසාවියේදී තම මිතුරා නියමිත වේගයට වඩා වැඩි වේගයකින් රථය ධාවනය කළ බව නොකියනු ඇත. ඔවුන් බොරු කීමට අකැමැති නම් තමන් ස්පීඩො මීටරය නොදුටු බව කියනු ඇත. එයට ප්‍රතිවිරුද්ධව පුද්ගලවාදී රටවල්වල තම මිතුරාගේ ක්‍රියාව උසාවියේදී අනාවරණය කරනු ඇත.

මෙසේ වන්නේ මිත්‍රත්වය වෙනුවෙන් තමන් වාහනයකින් රැගෙන යාම සහ අනතුරකදී ඇත්ත වශයෙන්ම සිදු වුණු දේ වෙනස් ක්‍රියාවන් දෙකක් ලෙස පුද්ගලවාදියෙකු කල්පනා කිරීමය. සාමූහිකවාදියෙකු මෙම ක්‍රියාවන් දෙක එකිනෙකට හිලව් කිරීමට උත්සාහ දරනු ඇත. අවසාන ප්‍රතිඵලය මිතුරාට තමන් පක්ෂ වන්නේ ද විරුද්ධ වන්නේ ද යන සරල රේඛීය ප්‍රශ්නයට දෙන පිළිතුරකි.

මම ඔබේ අදහසට විරුද්ධ වන අතර එම අදහස ප්‍රකාශ කිරීමට ඔබට ඇති අයිතිය වෙනුවෙන් දිවි හිමියෙන් කැප වන බවට වූ වොල්ටෙයාර්ගේ ප්‍රකාශය පුද්ගලවාදී සංස්කෘතික අංග සංක්ෂිප්ත කර දක්වයි. සාමූහිකවාදී රටවල වැසියන්ට වොල්ටෙයාර්ගේ ප්‍රකාශය දිරවා ගැනීම අපහසුය. සංස්කෘතිය පිළිබඳ මෙම සංක්ෂිප්ත සාකච්ඡාව මා ඉහතින් මතු කළ එක්තරා ආකාරයක ප්‍රශ්නයට පිළිතුරක් වේ යැයි සිතමි.

බටහිර රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාව කෙරෙහි දක්වන ආකල්පය සමාජයක් වශයෙන් අවබෝධ කර ගැනීමට සාමාන්‍ය සිංහල හා දෙමළ ජනතාවට නොහැකි වුවද සිවිල් සමාජයේ ප්‍රබලයන්ට හා ආණ්ඩුව කරවන දේශපාලනඥයන්ට මෙම තත්ත්වය මනාව වැටහී යා යුතුයි. දේශපාලනඥයන් කරන්නේ මෙම තත්ත්වය වැටහුණත් සාමාන්‍ය ජනතාව නොමග යවමින් අප විසින් ඉහත සාකච්ඡා කළ ජනතාවගේ සංස්කෘතියට අනුකූල සරල සමීකරණය ඔවුන්ට ඉදිරිපත් කර ඊනියා දේශප්‍රේමය මතු කරමින් සිය ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමය.∎

හර්ෂ ගුණසේන

(2013 අප්‍රේල් මස සමබිමෙහි පළ කරන ලදී.)

එඩ්වඩ් ස්නොඩන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකිරීම ජාත්‍යන්තර නීතියට පටහැනි ද?

ඇමරිකන් ව්‍යවස්ථාව මෑත අතීතයේදී රාජ්‍ය බලය සියතට ගත් ජන සමූහයක් විසින් ඇතිකරන ලද ප්‍රථම ඉදිරිගාමී ව්‍යවස්ථාව වේ. මෙම ව්‍යවස්ථාවෙන්ම පුද්ගල ස්වාධිපත්‍යය (LIBERTY) සහතික කර ඇත. චීනය හෝ රුසියාව හෝ වෙනත් ඊනියා විප්ලවකාරී රාජ්‍යයන්හි ව්‍යවස්ථා තුළ හෝ ඒවායේ ක්‍රියාකාරිත්වයේ හෝ පුද්ගල ස්වාධිපත්‍යයට කිසිම පිළිගැනීමක් නොමැත. ‛අත්තාහි අත්තනෝ නාතෝ’ – ‛තමන්ගේ විමුක්තිය තම අතමය’ යනුවෙන් වන බුදුවදන අනුව පුද්ගල ස්වාධිපත්‍යය බුදුදහමේ හරය සමඟද බද්ධ වේ. ලෝක ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි ගමන පුද්ගල ස්වාධිපත්‍යය සමඟ බද්ධ වී ඇත.

ඇමරිකන් ව්‍යවස්ථාවේ පූර්විකාවේ සිංහල පරිවර්තනය මෙසේය. “එක්සත් ජනපදයේ ජනතාව වන අපි වඩාත් සම්පූර්ණ ඒකාබද්ධ රාජ්‍යයක් පිහිටුවා ගැනීම සඳහා ද සාධාරණත්වය (JUSTICE) තහවුරු කිරීම සඳහා ද දේශීය නිරවුල් බව සහතික කිරීම සඳහා ද සාමූහික ආරක්ෂාව සැලසීම සඳහා ද ජනතා සුභසාධනය ප්‍රවර්ධනය සඳහාද පුද්ගල ස්වාධිපත්‍යයේ (LIBERTY) ආශීර්වාදය අප සියලුරෑ දෙනා වෙත ලැබීම සහතික කිරීම සඳහා ද අපගේ සෞභාග්‍යය සඳහා ද මෙම ව්‍යවස්ථාව ඇමරිකා එක්සත් ජනපදය සඳහා පැනවීම සහ තහවුරු කිරීම කරම්හ.”

ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ පුද්ගල ස්වාධිපත්‍යය (LIBERTY  – ලිබර්ටි) යන වචනය නිර්වචනය කරන්නේ මේ ආකාරයටය. “බලධාරීන් විසින් තමන්ගේ හැසිරීම හෝ දේශපාලන මතවාදයන් හෝ පිළිබඳව පනවනු ලබන පීඩාකාරී අවහිර කිරීම්වලින් තොරව සමාජයේ නිදහසේ සිටීමට ඇති හැකියාව පුද්ගල ස්වාධිපත්‍යය වේ.”

ඇමරිකානු ව්‍යවස්ථාවේ පූර්විකාව මගින් බලාපොරොත්තු වන අරමුණු අතර සාමූහික ආරක්ෂාව සැලසීම සහ පුද්ගල ස්වාධිපත්‍යයේ (LIBERTY ) ආශීර්වාදය සියලු ජනතාව වෙත ලැබීම සහතික කිරීමද වේ. මෙහි සඳහන් වන ආකාරයට මෙම අරමුණුවල ප්‍රමුඛතා ලැයිස්තුවක් නැත. සියලුම අරමුණු එක හා සමාන වන අතර එකකට වඩා අනෙකක් උසස් හෝ පහත් හෝ නොවේ. එනම් සාමූහික ආරක්ෂාව වෙනුවෙන් පුද්ගල ස්වාධිපත්‍යය කැප කිරීම හෝ පුද්ගල ස්වාධිපත්‍යය වෙනුවෙන් සාමූහික ආරක්ෂාව කැප කිරීම හෝ ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වන්නේ නැත.

ජාතික ආරක්ෂාව ඇමරිකන් ආණ්ඩුවල ප්‍රමුඛතා ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ගනී. එරට විදේශ ප්‍රතිපත්තිය සැකසී ඇත්තේ ජාතික ආරක්ෂාව අරමුණු කරගෙනය. සීතල යුද්ධය පැවති කාලයේ කොමියුනිස්ට් වාදයේ ව්‍යාප්තිය අවහිර කිරීම උදෙසා ලොව පුරා තිබූ නොයෙකුත් ආණ්ඩු පෙරළීම සඳහා ඉතාමත් අසාධාරණ වූ ක්‍රියාමාර්ග එවකට තිබූ ඇමරිකන් ආණ්ඩු මගින් ගන්නා ලදී. බොහෝ සිවිල් මිනිසුන්, ගැහැනුන් සහ දරුවන් ඝාතනය වන දැනට පවතින ඇෆ්ගන් යුද්ධයද ඇමරිකාවට විරුද්ධ ඉස්ලාම් අන්තවාදීන් මැඩ පැවැත්වීම සඳහා කරගෙන යන්නකි. පුද්ගල ස්වාධිපත්‍යය පසෙක තිබියේවා, ජාතික ආරක්ෂාව විෂයයෙහි ලා ඇමෙරිකාව විදේශිකයන්ගේ සිවිල් අයිතිවාසිකම් ගැනවත් තැකීමක් නැත. කෙසේ වෙතත් ඇමරිකාව ජාතික ආරක්ෂාව වෙනුවෙන් පුද්ගල ස්වාධිපත්‍යය කැප කරන බව පෙනේ. මෙය ඇමරිකන් ව්‍යවස්ථාවේ මූලික අභිප්‍රායන්ට ප්‍රතිවිරුද්ධ තත්ත්වයකි. යුදමය තත්ත්වයක් තුළදී ජාතික ආරක්ෂාව වෙනුවෙන් පුද්ගල ස්වාධිපත්‍යය කැප කිරීම තේරුම් ගත හැක. සාධාරණීකරණය කළ නොහැක්කේ මතුවට ඇති විය හැකි යැයි අනුමාන කරන යුදමය තත්ත්වයක් වෙනුවෙන් වර්තමානයේදී පුද්ගල ස්වාධිපත්‍යය කැප කිරීමය. ජාතික ආරක්ෂාව විෂයයෙහි ලා ඇමරිකාවට මේ තරම් සැලකිලිමත් වීමට සිදුවූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝක දේශපාලනයෙහි ඇතිකරගත් විශේෂ තත්ත්වය හේතුවෙනි. සීතල යුද්ධයෙන් පසුව ඇමරිකාව තනි ලෝක බලවතා වූ අතර මෙම තත්ත්වයද අනුක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී.

විකිලීක්ස් වෙබ් අඩවියේ ක්‍රියාකාරීත්වය විමසා බැලිය යුත්තේ මේ පසුබිම යටතේය. මෑතකදී භාවිතයට ආ විසිල් බ්ලෝවර් සංකල්පය හා විකිලීක්ස් වෙබ් අඩවිය හරහා විවිධ රාජ්‍යවල රහස් හෙළිදරව් කිරීම මගින් එම රාජ්‍යයන් වෙත වඩාත් විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාකිරීමට බල කෙරෙමින් පවතී. වෙනත් වචනවලින් කිවහොත් ජාතික ආරක්ෂාව උදෙසා පුද්ගල ස්වාධිපත්‍යය කැප නොකරන ලෙස ලොව පුරා රාජ්‍යයන්ට බල කෙරෙමින් පවතී. මෙම බල කිරීම අදාළ වන්නේ දැනටමත් පුද්ගල ස්වාධිපත්‍යය ස්ථාපිතව ඇති බටහිර රාජ්‍යයන්ටය. පුද්ගල ස්වාධිපත්‍යය කිසිසේත් ස්ථාපිතව නොමැති චීනය හෝ ශ්‍රී ලංකාව හෝ වෙනත් එවැනි රටවලට මෙම බලපෑම අදාළ නොවේ. මෙම බලපෑම හරහා ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් පරිණත වෙමින් පවතී. ලෝකය පුරා සිටින ජනතාවාදීන්ගේ සහ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ යුතුකම වන්නේ ජුලියන් අසාන්ශේ සහ එඩ්වඩ් ස්නොඩන් වැන්නන්ගේ ක්‍රියාකාරිත්වයට ආශීර්වාද කිරීමත් ඔවුන් ආරක්ෂා කිරීමත් වේ.

එඩ්වඩ් ස්නොඩන් කළේ කුමක්ද? සී.අයි.ඒ. සංවිධානයේ සහ ඇමරිකන් ජාතික ආරක්ෂක ඒජන්සියේ සේවය කළ ඔහු තමා සන්තකයේ තිබූ ඇමරිකන් සහ බ්‍රිතාන්‍ය රජයන් මගින් කළ “සමස්ත ප්‍රජාවගේ චර්යාවන් සහ ක්‍රියාවන් නිරීක්ෂණය” (අවේක්ෂණය – SURVEILLANCE) කිරීමට අදාළ රහස්‍ය තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කිරීමයි.

එක්සත් ජාතීන් විසින් 1948 දෙසැම්බර් මස 217 දරණ යෝජනාව මගින් සම්මත කර ගන්නා ලද මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 12 වන වගන්තිය මෙසේය. “කිසිම පුද්ගලයකු ඔහුගේ පුද්ගලිකත්වය, පවුල, නිවස හෝ ලිපි ගනුදෙනු සම්බන්ධයෙන් අත්තනෝමතික මැදහත් වීමකට භාජනය නොවිය යුතුය. එවැනි මැදහත් වීම් සහ ප්‍රහාරවලට එරෙහිව නීතියේ රැකවරණය පැතීමට සියල්ලන්ටම අයිතිය තිබේ.”

දෙවන ලෝක යුද්ධයෙන් පසුව නියුරම්බර්ග් නඩු විභාගයේදී ඇතිකර ගන්නා ලද ජාත්‍යන්තර මූලධර්මවල හතරවන මුලධර්මය මෙසේය. “පුද්ගලයකුට සදාචාරාත්මක තෝරා ගැනීමක් කිරීමට අවකාශ තිබුණේ නම් ඔහු තම ආණ්ඩුවේ හෝ තම ප්‍රධානියෙකුගේ හෝ නියෝගය අනුව කටයුතු කිරීම නිසා ඔහු අන්තර්ජාතික නීතියට ඇති බැඳීමෙන් නිදහස් වන්නේ නැත.”

2008 දී සංශෝධනය කරන ලද 1978 විදේශීය රහස් තොරතුරු අවේක්ෂණ පනත අනුව ඇමෙරිකන් රජයට 2017 දෙසැම්බර් 31 දක්වා විදේශිකයන්ගේ ඉලෙක්ට්‍රෝනික පණිවුඩ හුවමාරු අවේක්ෂණය කිරීමට අයිතිය ඇත. මෙම ඇමරිකානු නීතිය මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 12 වන වගන්තියටද නියුරම්බර්ග් හතරවන මූලධර්මයටද පටහැනිය. එබැවින් එඩ්වඩ් ස්නොඩන් කළ ක්‍රියාවට විරුද්ධ වී ඔහු අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකිරීම ජාත්‍යන්තර නීතියට පටහැනි වේ.

එඩ්වඩ් ස්නොඩන් සිය හෙළිදරව්වෙන් පසුව හොංකොං වෙත ගොස් පසුව එතැනින් රුසියාවට ගියේය. ස්නොඩන් සිය රටට බාර දෙන ලෙස ඇමරිකාව මේ දෙරටටම බලපෑම් කළේය. මේ දෙරටම මෙම බලපෑම්වලට අවනත වූයේ නැත. ඒ අතර ඔහු ලෝකයේ නොයෙකුත් රටවලට දේශපාලන රැකවරණ පතා අයදුම් කළ අතර සැලකිය යුතු රටවල් ප්‍රමාණයක් එම ඉල්ලීම ඉවත දමා තිබුණි. වෙනිසියුලාව, ඉක්වදෝරය සහ බොලීවියාව ස්නොඩන්ට දේශපාලන රැකවරණ දීමට කැමැත්ත පළකර තිබුණි. රුසියාව, හොංකොං, වෙනිසියුලාව, ඉක්වදෝරය සහ බොලීවියාව යන රටවල් ක්‍රියාකරන්නේ ඇමෙරිකාවට විරුද්ධවය, ස්නොඩන්ට පක්ෂව නොවේ. ස්නොඩන් හෝ අසාන්ශේ වැන්නන්ට සැබෑවටම පක්ෂපාතී විය හැක්කේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පුද්ගල ස්වාධිපත්‍යය කැප නොකරන රාජ්‍යයකට පමණි. එවැනි රාජ්‍යයන් දැනට ලෝකයේ නැත. ලොව පුරා සිටින ජනතාවාදීන්ගේ අරමුණ විය යුත්තේ ලොව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ඒ මට්ටමට පරිණත කරවා ගැනීමයි. කෙසේ නමුත් දැනට පවතින තත්ත්වය අනුව ඉහත රටවල් දැක්වූ සහයෝගය ප්‍රශංසා කටයුතුය.

මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 14 වන වගන්තිය මෙසේය. “හිංසාවෙන් ගැලවීම සඳහා වෙනත් රටක රැකවරණය පැතීමට සහ භුක්ති විඳීමට සැමට අයිතිය තිබේ. දේශපාලනික නොවන අපරාධ සම්බන්ධයෙන් අව්‍යාජව මතුවන්නා වූ චෝදනා සහ එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති සහ අරමුණුවලට පටහැනිවූ ක්‍රියා පිළිබඳව මෙම අයිතිය ඉල්ලා සිටිය නොහැක.”

මේ අනුව ස්නොඩන්ට වෙනත් රටක දේශපාලන රැකවරණ පැතීමට අයිතිය තිබෙන අතර ඇමෙරිකාව ඔහුගේ එම අයිතියට බාධා කරමින් ජාත්‍යන්තර ගුවන් ගමන් අවහිර කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියට පටහැනිය.

එබැවින් ස්නොඩන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් පරිණත කර ගැනීමට අපේක්ෂා කරන ලොවපුරා සිටින ජනතාවාදීන්ගේ යුතුකම වන්නේය∎

හර්ෂ ගුණසේන 

(2013 අගෝස්තු මස සමබිමෙහි පළ කරන ලදී.)

ආගම රාජ්‍යයෙන් මුදවාගෙන ජනතාවට ලබාදීම

හර්ෂ ගුණසේන-

එක්සත් ජාතික පක්ෂය විසින් නව ව්‍යවස්ථාවක් සඳහා වන මූලික කරුණු පිලිබඳ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. මේ ගැන ජනතාව සහ විවිධ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර ව්‍යවස්ථාව කෙටුම්පත් කරන බව එම පක්ෂය විසින් ප්‍රකාශ කර ඇති අතර දැනටමත් එම ක්‍රියාවලිය ආරම්භ කර ඇත. ඔවුන් අවංක වේ නම් මෙරට ව්‍යවස්ථා ඇතිවූ ආකාරය පිලිබඳ සලකා බලන කළ මෙය ඉදිරිගාමී පියවරකි. ඉන්දියාවේ හෝ දකුණු අප්‍රිකාවේ හෝ ජනරජ ආරම්භයේදීම සිදුවූ දෙය නිදහස ලබා වසර හැට පහක් ගතවූ තැන විරුද්ධ පක්ෂය විසින් හෝ කිරීමට උත්සාහ කිරීම වටිනා දෙයකි.

මෙම යෝජනාවලියේ අංක 1 II  යෝජනාවේ මෙසේ සඳහන් වේ. “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමෙන අතර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතියට අනුකුලව අනෙකුත් සියලු ආගම් වල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම”

මෙම අංක 1 II යෝජනාව පිලිබඳ සාකච්ඡාවට පුර්විකාවක් වශයෙන් 1815 උඩරට ගිවිසුමේ සිට සෝල්බරි ව්‍යවස්ථාව, 1972 ව්‍යවස්ථාව සහ 1978 ව්‍යවස්ථාවද අනෙකුත් බෞද්ධ රටවල් වන බුරුමයේ 1947, 1974 සහ 2008 ව්‍යවස්ථාවන්ද කාම්බෝජයේ 1993 ව්‍යවස්ථාවද තායිලන්තයේ 2007 ව්‍යවස්ථාවද තුළ බුද්ධාගම පිලිබඳ කෙරෙන සඳහන් උපුටා දැක්වීමට කැමැත්තෙමි.

1815 උඩරට ගිවිසුමෙහි බුද්ධාගම පිළිබඳව මෙසේ සඳහන් වේ. මෙම ඡේදය උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලයේ ඇති එහි මුල් සිංහල පිටපතේ ඡායා පිටපතකින් වන අතර එහි අකුරක දෙකක නොපැහැදිලි ගතියක් තිබේ.

“මෙකී රටවල්වල මුලාදෑනි සහ වැසියන් විසිනුත් අදහන්නාවූ බුද්ධ ශාසනයද දෙවාගමද කඩකළ නොහැකිව පවත්වන්ඩ ඕනෑව සහ මෙකී කටයුතු ද සංඝයා ද විහාරස්ථාන ද දේවාලද පවත්වන්ඩ සහ ආරක්ෂා කරන්ඩ ඕනෑය.”

1947 සෝල්බරි ව්‍යවස්ථාවේ බුද්ධාගම ගැන සඳහනක් නොමැති අතර 1972 ව්‍යවස්ථාවේ බුද්ධාගම පිළිබඳව වන ඡේදය පහත දැක්වෙන පරිදි මවිසින් සිංහලට පරිවර්තනය කර ඇත.“6. ව්‍යවස්ථා 18 (ඉ) යටතේ ප්‍රදානය කර ඇති අයිතිවාසිකම් සියලුරෑම ආගම් වලට සහතික කරන අතර බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙමින් ඒ අනුව බුද්ධාගම ආරක්ෂා කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ වගකීම ශ්‍රී ලාංකික ජනරජය විසින් දැරිය යුතු වේ.”

1978 ව්‍යවස්ථාවේ මෙම ඡේදයේ මූලික වෙනසක් නොමැත. එහි බුද්ධාගම වෙනුවට බුද්ධශාසනය ආදේශ වී ඇත. 1947 බුරුම ව්‍යවස්ථාවේ බුද්ධාගම පිලිබඳ ඡේදය පහත දැක්වෙන පරිදි සිංහලට පරිවර්තනය කර ඇත.

“21.1. සංගමයේ විශාල බහුතරයක් පුරවැසියන් අදහන බැවින් බුද්ධාගමට ඇති විශේෂ තත්ත්වය රාජ්‍යය පිළිගනී.

21.2. එමෙන්ම මෙම ව්‍යවස්ථාව ක්‍රියාත්මකවූ දින ඉස්ලාම් ආගම, ක්‍රිස්තියානි ආගම, හින්දු ආගම සහ ජිවවාදය සංගමයේ භාවිතා වූ සමහර ආගම් වශයෙන් රාජ්‍යය පිළිගනී.

21.3.ආගමික ඇදහීම හෝ විශ්වාසය මත රාජ්‍යය විසින් කිසිම බාධකයක් පැනවීම හෝ අගතිගාමී වීම හෝ නොකළ යුතුයි.

21.4. දේශපාලන හේතු මත ආගම අනිසි ලෙස යෙදවීම තහනම් වේ. වාර්ගික හෝ ආගමික කණ්ඩායම් අතර ප්‍රකෝපකාරිත්වය, වෛරය හෝ අසමගිය වැනි හැඟීම් ඇතිකිරීමේ අරමුණින් හෝ එම හැඟීම් ඇතිවිය හැකි යම් ක්‍රියාවක් කිරීම මෙම ව්‍යවස්ථාවට පටහැනි වන අතර එය නීිතිය අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වේ.”

1974 සහ 2008 බුරුම ව්‍යවස්ථා වල බුද්ධාගම ගැන සඳහනක් නැත. 1993 කාම්බෝජ ව්‍යවස්ථාවේ බුද්ධාගම පිලිබඳ ඡේදය පහත දැක්වෙන පරිදි සිංහලට පරිවර්තනය කර ඇත.

“43. ස්ත්‍රී පුරුෂ ඛේමර් පුරවැසියන්ට තමන් කැමති ඇදහිල්ලක් දැරීමට අයිතිය තිබේ. ආගමික නිදහස රාජ්‍යය මගින් සහතික කරන අතර එම නිදහස පාවිච්චි කළ යුත්තේ අන් ආගමික නිදහසට අවහිර නොවන ආකාරයට සහ රටේ නීතිය සහ සාමය උල්ලංඝනය නොවන ආකාරයටය. බුද්ධාගම රාජ්‍ය ආගම වන්නේය.”

2007 තායිලන්ත ව්‍යවස්ථාවේ බුද්ධාගම පිලිබඳ ඡේදය පහත දැක්වෙන පරිදි සිංහලට පරිවර්තනය කර ඇත.

“9. රජු බෞද්ධයෙක් වන අතර ආගම්වල ආරක්ෂකයා වේ.

79. බොහෝ කාලයක් මුළුල්ලේ බහුතර තායි ජාතිකයන් විසින් අනුගමනය කළ බුද්ධාගමද අනෙකුත් ආගම්ද රාජ්‍යය විසින් ආරක්ෂා කළ යුතු සහ අනුග්‍රහය දැක්විය යුතු වේ. එමෙන්ම සියලුරෑම ආගම්වල අනුගාමිකයන් අතර මනා අවබෝධය සහ සහයෝගීතාවට අනුබල දීමත් ජිවිතයේ ගුණාත්මක භාවය සහ සුචරිතය වර්ධනය කිරීමෙහි ලා ආගමික මූලධර්ම භාවිතය ධෛර්යමත් කිරීමත් රාජ්‍යය විසින් කළ යුතුය.”

බුද්ධාගම රාජ්‍යය විසින් ආරක්ෂා කිරීම පිලිබඳ සංකල්පය 1815 උඩරට ගිවිසුමේ පැහැදිලිව සඳහන් වේ. උඩරට ගිවිසුම යනු සිංහල ජන ප්‍රධානින් විසින් රටේ පාලනය ඉංග්‍රීසින් වෙත පවරා දෙන ලද අවස්ථාවේ ඔවුන් සමඟ ඇති කර ගන්නා ලද ගිවිසුමයි. එම අවස්ථාවේදී උඩරට පළාත් වල බහුතරය අදහන ලද ආගම වූයේ බුද්ධාගමයි. රාජ්‍ය පාලනය භාරගනු ලබන්නේ ක්‍රිස්තියානි පාලකයන් පිරිසක් විසින් වන අතර මීට පෙර පහතරට පලාත් අල්ලාගෙන සිටි වෙනත් යුරෝපීය ආක්‍රමණිකයන් විසින් ඔවුන් ගේ ආගම ප්‍රචාරය කිරීමටත් බුද්ධාගම මැඩ පැවැත්වීමටත් ගනු ලැබූ ක්‍රියාමාර්ග උඩරට ප්‍රධානින් දැන සිටියහ. එබැවින් එම අවස්ථාවේදී බුද්ධාගම ආරක්ෂා කිරීමේ කොන්දේසිය ගිවිසුමට ඇතුලත් කිරීම අනිවාර්ය දේශපාලන අවශ්‍යතාවකි.

ස්වාධීන රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අඩංගු කරුණුත් රටක් යටත් කරගන්නා විට ආක්‍රමණිකයා සහ යටත් වන්නා අතර ඇතිවන ගිවිසුමක අඩංගු කරුණුත් එකිනෙක සංසන්දනය කළ නොහැක. ස්වාධීන රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අරමුණ රටේ ජිවත්වන සියලුම ජනකොටස් ඒකරාශී කිරීමත් ජනකොටස් අතර ආරවුල් ඇතිවීම වැළැක්වීමත් සියලුරෑම ජන කොටස් එක හා සමාන ලෙස සැලකීමත්ය. එක ජන කොටසක් අනෙක් ජනකොටසින් ආරක්ෂා වීමට සැලසුම් කිරීම හෝ එක ජනකොටසකට අනෙක් ජනකොටසට වඩා සැලකීම හෝ නොවේ. 1972 ව්‍යවස්ථාවේ බුද්ධාගම අඩංගු ඡේදය කෙටුම්පත් කරන ලද්දේ යටත් විජිත මානසිකත්වයෙනි. ස්වාධීන රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයෙකු සතු මානසිකත්වයකින් නොවේ. එම යටත් විජිත මානසිකත්වය දැන් මෙරට සමස්ත බෞද්ධ ජනතාව වෙත විස්තීරණය වී ඇත.

මෙම කාරණය ඉහත දක්වා ඇති වෙනත් බෞද්ධ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙරට ව්‍යවස්ථාව සමඟ සංසන්දනයෙන් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි. මෙරට ව්‍යවස්ථාව අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවන අතර බුද්ධාගම, 1978 ව්‍යවස්ථාව අනුව බුද්ධ ශාසනය සුරැකීමේ සහ වැඩිදියුණු කිරීමේ වගකීමද රාජ්‍යය සතුය. වෙනත් ආගම් සුරැකීමේ සහ වැඩිදියුණු කිරීමේ වගකීමක් රාජ්‍යයට නැත. එම ආගම් සම්බන්ධයෙන් රාජ්‍යයට ඇත්තේ එම ආගම අදහන්නන්ගේ මූලික අයිතිවාසිකම් සහතික කිරීමේ අවම වගකීමකි.

1947 බුරුම ව්‍යවස්ථාව බුද්ධාගමට විශේෂ තත්ත්වයක් ඇති බව පිළිගන්නේ එම ආගම රටේ බහුතරයක් අදහන බැවිනි. එනමුත් බුද්ධාගම ආරක්ෂා කිරීම රාජ්‍යයේ වගකීමක් නොවේ. වඩාත් වැදගත් කාරණය වන්නේ ආගමික හැඟීම් ඇවිස්සීම නීතියෙන් දඬුවම් කළ යුතු වරදක් බව එම ඡේදයේම දක්වා තිබීමයි. දැන් වාසුදේව ඇමතිවරයා නීතිගත කිරීමට උත්සාහ කරමින් ඇති බවට පුවත්පත් මගින් වාර්තා වන්නේ මෙම කාරණයයි.

කාම්බෝජ ව්‍යවස්ථාවේ බුද්ධාගම ගැන සඳහන් වන්නේ 43 වන ඡේදයේය. එනම් ඡේද 42කට පසුවය. බුද්ධාගම රාජ්‍ය ආගම බව සඳහන් වුවත් එයට පෙර ආගමික නිදහස රාජ්‍යය මගින් සහතික කරන බවත් එම නිදහස අන් අයට හිරිහැරයක් නොවන ලෙස පාවිච්චි කළ යුතු බවත් දක්වා තිබේ.

තායි ව්‍යවස්ථාවේ බුද්ධාගම පමණක් නොව අනෙකුත් ආගම්ද ආරක්ෂා කිරීම රාජ්‍යයේද රජුගේද වගකීම වේ. මෙරට ව්‍යවස්ථාවේ රාජ්‍යයේ වගකීම වන්නේ බුද්ධාගම පමණක් ආරක්ෂා කිරීමය. අනෙකුත් ආගම් ආරක්ෂා කිරීම රාජ්‍යයේ වගකීම නොවේ. මෙම ආරක්ෂාකාරී, ලිංමැඩි එමෙන්ම අසාධාරණ ප්‍රතිපත්තියට ජිවය ලැබෙන්නේ 1815 උඩරට ගිවිසුම මගිනි. ඉහත දැක්වූ පරිදි එය එවකට පැවති දේශපාලන තත්ත්වය අද තත්ත්වයට අනුගත කිරීමේ අමනෝඥ ක්‍රියාවලියකි.
බුරුම සහ තායි ව්‍යවස්ථා වල එන සියලුරෑම ආගම් වලට ගරු කිරීමේ සම්ප්‍රදාය අශෝක රජුද අනුදත් ක්‍රමයයි. ඔහුගේ ගිරිලිපි 14 අතර වන 12 වන ගිරිලිපියේ මේ පිළිබඳව එන සඳහනේ සිංහල පරිවර්තනය මෙසේය.

“අශෝක රජු සියලුම ආගම් වල ගිහියන්ට සහ පැවිද්දන්ට ගරු කරයි……. තමන්ගේ ආගම හුවා දැක්වීමත් අනුන්ගේ ආගම හෙළාදැකීමත් සුදුසු හේතුවක් නොමැතිව නොකළ යුතුය. හේතුවක් තිබුණත් එසේ කළ යුත්තේ මෘදුවය. එනමුත් අනෙක් ආගම් වලට ගරු කිරීම වඩාත් සුදුසුය. එසේ කිරීමෙන් තමන්ගේ ආගමටද අනෙකුත් ආගම් වලටද යහපතක්ම සිදුවේ. එසේ නොකිරීමෙන් තමන්ගේ ආගමටද අනෙකුත් ආගම් වලටද අයහපතක්ම සිදුවේ…… එබැවින් ආගම් අතර සහජීවනය සුදුසුය. තමන් අනෙකුත් ආගම් ධර්මයන්ට ඇහුම්කන්දීම සහ ගෞරව කිරීම සුදුසුය.”

එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියේ විධායකය විකල්ප 2.4 යටතේ මෙසේ සඳහන් වේ. “රාජ්‍ය සභාවේ තීරණයන් සියලුරෑ සාමාජිකයන්ගේ සම්මුතිය ඇතිව ගත යුතු අතර සම්මුතියකට එළැඹීමට නොහැකිවූ අවස්ථාවකදී පමණක් බහුතර මතය අනුව තීරණ ගැනීම සිදුවිය යුතුය. රාජ්‍ය පාලන ධර්මයන් සම්බන්ධව බුදුන් වහන්සේ දේශනා කළ සමගියෙන් රැස්වීම, සමගියෙන් සාකච්ඡා කිරීම, සමගියෙන් විසිර යාම යන මූලධර්ම මෙමගින් තහවුරු කරනු ඇත.”

මෙයින් මතුවන අපගේ සංස්කෘතිය සහ දේශපාලන ක්‍රමවේද පිළිබඳව වෙනම සාකච්ඡා කළ යුතුවේ. මවිසින් මෙයට පෙර සමබිම පුවත්පතෙහි මෙය සාකච්ඡා කර ඇත. අප විසින් කළ යුත්තේ සහ අශෝක රජු විසින් කර ඇත්තේ මෙයයි. සමගියෙන් රැස්වීම, සමගියෙන් සාකච්ඡා කිරීම, සහ සමගියෙන් විසිර යාමට විරුද්ධ විය හැක්කේ කවරකුටද? බුදුදහමේ හෝ වෙනත් ආගමක හෝ දක්වා ඇති හරවත් දෙයක් උචිත පරිදි ව්‍යවස්ථාවට බද්ධ කළ හැකිනම් එසේ කළ යුතුය. නොකළ යුත්තේ බුදුදහම අදහන්නන්ට ව්‍යවස්ථාව හරහා සමාජයේ විශේෂ තැනක් පිරිනැමීමයි.

මෙතෙක් දුර කරන ලද කරුණු දැක්වීම අනුව දැනට ඇති බුද්ධාගම පිළිබඳ ඡේදය ඉවත් කර ඒ වෙනුවට 1947 බුරුම ව්‍යවස්ථාවේ 21.1 සිට 21.4 දක්වා ඡේද සහ තායි ව්‍යවස්ථාවේ 79 වන ඡේදය සුදුසු පරිදි සංස්කරණය කර අප ව්‍යවස්ථාවට එකතු කරන මෙන් යෝජනා කරමි.

බුද්ධාගම පැත්තෙන් ගතහොත් ශ්‍රී ලංකා රාජ්‍යයේ ආරක්ෂාවක් බුද්ධාගමට හෝ බුද්ධ ශාසනයට අවශ්‍යද? නැත. 1972 සිට ගතවූ අවුරුදු 40 තුළ ශ්‍රී ලංකා රාජ්‍යය විසින් බුද්ධාගමට හෝ බුද්ධ ශාසනයට සපයා ඇති විශේෂ ආරක්ෂාවක් හෝ විශේෂ වැඩිදියුණු කිරීමක් තිබේද? නැත. බුදු දහම යනු කුමක්ද? මේ ආත්ම භාවයේදීම එනම් මරණයට පෙර තමන් පිළිබඳ පූර්ණ අවබෝධය ලැබීම සඳහා කළ යුතු ආර්ය පර්යේෂණයේ පර්යේෂණ ක්‍රමවේදයයි (RESEARCH METHODOLOGY). බුදුදහම අද ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින්නේ වළගම්බා රජු දවස මාතලේ අලුරෑවිහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ නිසාත් විශේෂයෙන්ම බුරුම සහ තායි භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා විසින් පරපුරෙන් පරපුරට රැගෙන ආ විදර්ශනා භාවනා ක්‍රම ගිහියන්ට හඳුන්වා දීමත් නිසාය. ධර්මය සියලු දෙනාටම විවෘතය. යමෙකුට මෙය අනවශ්‍ය නම් බලෙන් දීමේ අවශ්‍යතාවක් නැත. ධර්මයෙන් ප්‍රයෝජන ගත යුත්තේ මනුෂ්‍යයන්ය. රාජ්‍යයන් නොවේ. එබැවින් රාජ්‍යය අනාගමික විය යුතු යයි යෝජනා කරමි. එනම් ආගම පිළිබඳ ඡේදය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ හැක.

මගේ දෙවන යෝජනාව පළමු යෝජනාවේම දිගුවකි. දෙවන යෝජනාව ක්‍රියාත්මක කරන්නේ නම් ප්‍රශස්තය. යටත් පිරිසෙයින් පළමු යෝජනාවවත් ක්‍රියාත්මක කරන්නේ නම් මෙරට බෙදී සිටින ජනයා ඒකරාශී කිරීමේ යුගයේ අවශ්‍යතාවට උපකාරී වනු ඇත. මෙම යෝජනා එක්සත් ජාතික පක්ෂය විසින් අධ්‍යයනය කරන්නේ නම් මැනවි. එමෙන්ම සමබිම පුවත්පත මගින් පාඨකයන්ට ද මේ පිළිබඳව සාකච්ඡා කළ හැක∎

(2013 ජුලි මස සමබිමෙහි පළ කරන ලදී.)

වෙනස්කම් රැකගෙන එක්ව සිටීමේ සුන්දරත්වය

උතුරු පළාත් සභා මැතිවරණයට අදාළව (හෝ අදාළ නැතිව) දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රසිද්ධ වූ පසු උතුරු පළාත් සභාවේ අනාගතය පිළිබඳ බොහෝ වාද විවාද ඇතිවිය.

මෙරට දෙමළ ජනතාවට බලය බෙදීම පිළිබඳව බහුතර සිංහල ජනතාව දක්වන්නේ අප්‍රමාණ බියකි. දෙමළ ජනතාව පසෙක සිටියේවා, මධ්‍යම ආණ්ඩුවේ බලය සිය පවුලේ සාමාජිකයන් හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් ඇමතිවරුන් අතර බෙදාගැනීමට පවා ජනාධිපතිවරයා අකැමැත්තක් දක්වයි. එබැවින් සිංහල ජනතාවගේ බලය බෙදීමට ඇති බිය වැඩිවන තරමට ජනාධිපතිවරයා සතුටට පත්වේ. මහා ජීවිත විනාශයකින් අවසන් වූ යුද්ධයකින් පසුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිතව දක්වා ඇති බලතල ලබා ගැනීම සඳහාත් දෙමළ ජනතාවට විශාල අරගලයක් කිරීමට සිදුවී ඇත.

තමිල්නාඩුවේ කලකට පෙර පැවැති වෙනම රාජ්‍යයක් පිළිබඳ සංකල්පයේ නැගීම සහ අනුක්‍රමයෙන් එහි වැටීම පිළිබඳ කෙටි අධ්‍යයනයක් මේ අවස්ථාවේදී කිරීම සුදුසු යැයි සිතමි. මක්නිසාදයත් එම ඓතිහාසික විකාශයෙන් ශ්‍රී ලංකාවේ සිටින අපට බොහෝ පාඩම් උගත හැකි බැවිනි.

වෙනම ද්‍රවිඩ රාජ්‍යයක් හෙවත් ද්‍රවිඩ නාඩුවක් පිළිබඳ අදහසට දේශපාලන අනුග්‍රහයක් ලැබෙන්නේ 1921 දී මැඩ්රාස් ප්‍රාන්තයේ බලයට පැමිණි ජස්ටිස් පක්ෂය මගිනි. මෙම ද්‍රවිඩ නාඩු සංකල්පයට දෙමළ පමණක් නොව තෙලිඟු, මලයාලම් සහ කන්නඩ යන භාෂා කතා කරන සමස්ත ද්‍රවිඩ ජනතාවද ඇතුළත් වූහ. මෙම සංකල්පයේ මූල බීජය වූයේ 19 වන ශතවර්ෂයේ අගභාගයේ සිට බ්‍රාහ්මණයන්ට සහ ඔවුන්ගේ ආධිපත්‍යයට එරෙහිව මැඩ්රාස් ප්‍රාන්තයේ ඇතිවූ ව්‍යාපාරයයි. බ්‍රාහ්මණ නොවන ද්‍රවිඩයන් එම ප්‍රදේශවල මුල් පදිංචිකරුවන් බවත් බ්‍රාහ්මණයන්ගේ හෙවත් ආර්යයන්ගේ ආක්‍රමණයෙන් පසුව ද්‍රවිඩ ප්‍රදේශවල මුල් කාලයේ නොතිබුණු සමාජයීය විෂමතා ඇතිවූ බවත් පෙරියාර් නම් දෙමළ නායකයා කියා සිටියේය. මෙම සමාජයීය විෂමතාවලට එරෙහිව ඔහු කටයුතු කළ අතර සාම්ප්‍රදායික හින්දු විවාහයට එරෙහිව අන්තර් කුල සහ ආදර සම්බන්ධතා අනුව වන විවාහවලටද ඔහු අනුබල දුන්නේය. තමිල්නාඩුව අද ලබා ඇති ආර්ථික සමෘද්ධියේ මූලබීජය සමාජයේ සියලුදෙනාම සමාන බවට පෙරියාර් ප්‍රමුඛ දෙමළ නායකයන්ගේ තිබූ සංකල්පය විය හැක. ඉන්දියානු ජාතික කොංග්‍රසයේ “බ්‍රාහ්මණ අධිපත්‍යය”ටද හින්දි භාෂාවටද ඔහු විරුද්ධ විය. රාමායනයෙන් කියැවෙන්නේ රාවණා විසින් පාලනය කළ ද්‍රවිඩයන් ආර්යයන් විසින් පාගා දැමීම යැයිද ඔහු කියා සිටියේය. පාකිස්ථානයේ නිර්මාපකයා වූ මොහමඩ් අලි ජින්නා හා එක්ව ඉන්දියාව හින්දුස්ථානය, පාකිස්ථානය, ද්‍රවිඩස්ථානය සහ බංගලිස්ථානය යනුවෙන් කොටස් හතරකට කැඩිය යුතුයැයි ඔහු කියා සිටියේය. 1947 දී ඉන්දියාව නිදහස ලබන විට එය ඉංග්‍රීසීන් වෙතින් ආර්යයන් වෙතට බලය මාරුවීමක් ලෙස ඔහු අර්ථ දැක්වීය.

නිදහස ලබන විට ඉන්දියානු ප්‍රාන්ත මූලික වශයෙන් බෙදා තිබුණේ ඉංග්‍රීසීන් විසින් බෙදා වෙන් කළ සීමාවන් සහිත ප්‍රාන්ත සහ මහාරාජාවරුන්ගෙන් අත්පත් කරගත් ප්‍රාන්ත වශයෙනි. දකුණු ඉන්දියාව සලකා බැලුවහොත් එය බෙදී තිබුණේ ඉංග්‍රීසීන්ට යටත්ව තිබූ මැඩ්රාස් ප්‍රාන්තය සහ මහාරාජාවරුන්ගෙන් අත්පත් කරගත් මයිසූර් ප්‍රාන්තය, හයිද්‍රාබාද් ප්‍රාන්තය හා ට්‍රවන්කෝ – කොචින් ප්‍රාන්තය වශයෙනි. මේවා ජනවර්ග අනුව බෙදුණු ප්‍රාන්ත නොවීය. නිදහසෙන් පසුව භාෂා අනුව ප්‍රාන්ත බෙදන ලෙසට වූ දේශපාලන ඉල්ලීම්වලට අනුව 1953 දී මැඩ්රාස් ප්‍රාන්තයේ තෙලිඟුරෑ භාෂාව භාවිතා කරන ප්‍රදේශ 16 ක් එකතු කොට ආන්ද්‍ර ප්‍රාන්තය නම් වෙනම ප්‍රාන්තයක් ඇතිකරන ලදී. 1956 ප්‍රාන්ත ප්‍රතිසංවිධානය කිරීමේ පනත මගින් සමස්ත ඉන්දියාවේම ප්‍රාන්ත භාෂා අනුව නැවත බෙදා වෙන් කරන ලදී. දකුණු ඉන්දියාව සලකා බැලුවහොත්, එහි ඇතිවූ වෙනස්කම් මෙසේය. හයිද්‍රාබාද් ප්‍රාන්තය සහ ආන්ද්‍ර ප්‍රාන්තය එකතු කොට තෙලිඟුරෑ භාෂාව භාවිතා කරන ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තය ඇති කරන ලදී. ට්‍රවන්කෝ – කොචින් ප්‍රාන්තය සහ මැඩ්රාස් ප්‍රාන්තයේ මලබාර් ප්‍රදේශ එකතු කොට මලයාලම් භාෂාව භාවිතා කරන කේරල ප්‍රාන්තය ඇතිකරන ලදී. ට්‍රවන්කෝ – කොචින් ප්‍රාන්තයේ දෙමළ භාෂාව භාවිතා කරන දකුණු දිග ප්‍රදේශ මැඩ්රාස් ප්‍රාන්තයට එකතු කරන ලදී. මැඩ්රාස් ප්‍රාන්තය තමිල්නාඩු වශයෙන් 1968 දී නැවත නම් කෙරිණ. හයිද්‍රාබාද් ප්‍රාන්තයේ සහ බටහිර බොම්බේ ප්‍රාන්තයේ කන්නඩ භාෂාව භාවිතා කරන ප්‍රදේශ මයිසූර් ප්‍රාන්තයට එකතු කරන ලදී. මයිසූර් ප්‍රාන්තය 1973 දී කර්ණාටක ප්‍රාන්තය යනුවෙන් නැවත නම් කෙරිණ.

මෙම වෙනස්කම් ඇතිකරන ලෙස ද්‍රවිඩනාඩු ව්‍යාපාරයේ නායකයන්ගෙන් විශාල බලපෑමක් නොවීය. මෙසේ ප්‍රාන්ත වෙන් කළ පසු ආන්ද්‍ර ප්‍රදේශ්, කේරල සහ කර්ණාටක යන ප්‍රාන්තවල ද්‍රවිඩ නාඩුවක් සඳහා අවශ්‍යතාවයක් නොවීය. පෙරියාර්ගෙන් පසුව බලවත්ව සිටි දෙමළ නායකයා වූ අන්නදොරේ ද්‍රවිඩ නාඩුව ද්‍රවිඩයන්ට සහ තමිල්නාඩුව දෙමළුන්ට යන සටන් පාඨය රැගෙන ආවේය. 1962 ඇතිවූ ඉන්දු – චීන යුද්ධයේ සහ 1963 දී ඉන්දීය පාර්ලිමේන්තුව මගින් වෙනම රාජ්‍ය ඉල්ලීම් තහනම් කරමින් පැනවූ 16 වන ව්‍යවස්ථා සංශෝධනයේ බලපෑම හේතුවෙන් දෙමළ නායකයන් විසින් වෙනම රාජ්‍ය ඉල්ලීම අතහැර දමන ලදී. වඩා වැදගත් කාරණය වන්නේ මෙයයි, 1962 දක්වා මැඩ්රාස් ප්‍රාන්තයේ බලයේ සිටියේ කොංග්‍රසයයි. 1962 දී කොංග්‍රසය බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගන්නා විට ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයට දිනාගත හැකිවූයේ ආසන 50 කි. වෙනම රාජ්‍ය සංකල්පය අතහරිනු ලැබූ පසුව 1967 දී ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය ආසන 138 ක් දිනාගත් අතර කොන්ග්‍රසයට දිනාගත හැකිවූයේ ආසන 50 ක් පමණි. මේ අනුව ප්‍රථම වතාවට මැඩ්රාස් ප්‍රාන්තයේ බලය කොන්ග්‍රසයට අහිමි වූ අතර අන්නදොරේ ප්‍රධාන ඇමතිවරයා ලෙස පත්විය.

එවකට වෙනත් ද්‍රවිඩ ප්‍රාන්තවල තිබූ ත්‍රෛභාෂා ප්‍රතිපත්තිය, එනම් ඉංග්‍රීසි, හින්දි සහ ප්‍රාන්ත භාෂාව ව්‍යවහාරය නවත්වා ද්විභාෂා ප්‍රතිපත්තියට එනම් ඉංග්‍රීසි සහ ප්‍රාන්ත භාෂාව – මේ අවස්ථාවේදී දෙමළ – භාවිතයට ගැනීම අන්නදොරේ ලැබූ ජයග්‍රහණයක් විය. භාෂාව සම්බන්ධයෙන් ඉන්දීය නායකයන් දැක්වූයේ පරෙස්සම් සහගත එමෙන්ම සහනශීලි ප්‍රතිපත්තියකි. 1960 දී පමණ හින්දි භාෂා ව්‍යවහාරය ගැන අන්නදොරේ ප්‍රමුඛ දෙමළ නායකයන්ගේ බලවත් විරෝධය හමුවේ එවකට අගමැති ජවහර්ලාල් නේරු විසින් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධීකාරක භාෂාවක් වශයෙන් තවදුරටත් පවත්වාගෙන යන බවට පාර්ලිමේන්තු ප්‍රකාශයක් කරන ලදී. පසුව ඉන්දිරා ගාන්ධි විසින් හින්දි සහ ඉංග්‍රීසි යන භාෂා දෙකම රාජ්‍ය භාෂා වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

ඉන්දිරා ගාන්ධි ඉන්දීය අගමැති වූ පසුවද 1966 දී භාෂා අනුව ප්‍රාන්ත බෙදීම තවදුරටත් පුළුල් කරන ලදී. පන්ජාබයේ අකාලි ඩාල් පක්ෂයේ ඉල්ලීම අනුව පන්ජාබයේ හින්දි භාවිතා කරන ප්‍රදේශ ඇතුළත්ව හර්යානා නමින් නව ප්‍රාන්තයක් ඇතිකරන ලද අතර ශික් නොවන පන්ජාබයේ ඊසාන දිග කොටස් හිමාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයට අනුබද්ධ කරන ලදී. ඉන්දිරා ගාන්ධි අනුගමනය කළේ මධ්‍යය ශක්තිමත් කරන ප්‍රාන්ත දුර්වල කරන ප්‍රතිපත්තියකි. ප්‍රාන්ත බලය කොංග්‍රසය සතුව තිබූ ප්‍රාන්තවල සිටි ප්‍රබල මහ ඇමතිවරුන් සමඟ ගනුදෙනු කිරීමට ජවහර්ලාල් නේරු කැමති වූ අතර ඉන්දිරා ගාන්ධි තමාට පක්ෂපාත මහ ඇමතිවරුන් පත් කිරීමට ප්‍රිය කළාය. එක් වරෙක කොංග්‍රසයට බලය නොතිබූ තමිල්නාඩු සහ ගුජරාට් යන ප්‍රාන්ත ආණ්ඩු විසුරුවා, ඒවා මධ්‍යය ආණ්ඩුව යටතට පත් කිරීමට ඇය ක්‍රියා කළාය. ඉන්දිරා ගාන්ධිට පසුව පත්වූ ඉන්දීය අගමැතිවරු ඇයගේ මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ නැත. ඒ අනුව වෙන්වීම සඳහා එවකට ඉන්දීය ප්‍රාන්තවල තිබූ ප්‍රවණතා මේ වනවිට බොහෝ සෙයින් අඩුවී ඇත.

මේ අනුව ජනතාව ව්‍යවහාර කරන භාෂාව සහ ඔවුන් අයත් ජනවර්ගය අනුව ප්‍රාන්ත වෙන් කිරීම සහ බලතල බෙදාහැරීම එම ජනවර්ගවලට වෙනම රාජ්‍යයක් බවට පත්වීම සඳහා වන අවශ්‍යතාව නැති කරන හෝ අවම කරන බව අපට පෙනීයයි. ජනතා විමුක්ති පෙරමුණේ ජනවර්ග අනුව පළාත් සභා ඇතිකිරීමත් ඒවාට බලය බෙදීමටත් විරුද්ධ ස්ථාවරය මෙම ප්‍රායෝගික අත්දැකීම් මගින් ප්‍රශ්න කෙරේ. ඉන්දියාව අත්දැක ඇති මෙම ප්‍රායෝගික සත්‍යයන් දෙමළ ජනතාවට බලය බෙදීම වෙනම දෙමළ රාජ්‍යයක් මෙරට ඇතිවීමට හේතු වන බවට වන මෙරට සිංහල අන්තවාදීන්ගේ මතයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධය. සිංහල අන්තවාදීන්ගේ මෙම මතවාදයන් ලෙහෙසියෙන්ම කුප්පනු ලැබියහැකි, සිය ජනවර්ගය සහ සිය ආගම උපාදාන කොටගෙන වෙසෙන ඊනියා සිංහල බෞද්ධයන්ගේ සිතුම් පැතුම් කෙරෙහි බලපායි. ආගම මතුනොව ධර්මයද ඇත්තේ දැඩිව අල්ලා ගැනීමට හෙවත් උපාදාන කිරීමට නොව පහුරක් සේ සංසාරය නමැති ගංගාවෙන් එතෙර වීමට පාවිච්චි කිරීමටත් ඉන් පසුව අතහැර දැමීමටත් බව අලගද්දුපම සුත්‍රයේදී බුදුහු දේශනා කළහ. පුද්ගලික වශයෙන් වන උපාදානය අතහැර දැමීම පුද්ගලික විමුක්තියට හේතුවන අතර දේශපාලන වශයෙන් වන උපාදානය අතහැර දැමීම දේශපාලන විමුක්තියට හේතු වේ. මෙම අවස්ථා දෙකෙහිදීම ක්‍රියාත්මක වන්නේ එකම ධර්මතාවයකි. එමෙන්ම පසුකාලීනව භාෂාව අනුව ප්‍රාන්ත බෙදූ පසු තමිල්නාඩුවේ වෙනම රාජ්‍ය සංකල්පය ප්‍රධාන වශයෙන් ජනතාවගේ නොව දේශපාලනඥයන්ගේ ඉල්ලීමක් බවට ලඝු වී ගිය බවත් ඉන්පසුව දේශපාලනඥයන් ද එය අතහැර දැමූ බවත් 1962 සහ 1967 තමිල්නාඩුවේ මැතිවරණ ප්‍රතිඵල සංසන්දනය කිරීමෙන් පෙනී යයි.

උතුරු පළාත් සභා මැතිවරණයෙන් දෙමළ ජාතික සන්ධානය ආසන 38 කින් ආසන 30 ක් දිනාගෙන ඇති බව මෙම ලිපිය ලියන අවස්ථාවේ වාර්තා විය. මෙය 2/3 කට එහාගිය විශාල බලයකි. එමෙන්ම ඉංග්‍රීසි බසින් ලියන ස්ථාපිත දේශපාලන විචාරකයකුවූ ඩී.බී.එස්. ජෙයරාජ් අනියමාර්ථයෙන් කළ පුරෝකථනවලට පටහැනිව සී.වී. විග්නේශ්වරන් යාපනය දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබාගෙන ඇත. ලංකාණ්ඩුව මේ අවස්ථාවේදී ද බොහෝ විට කටයුතු කරන්නා සේ අනුවණ ලෙස ආණ්ඩුව තුළ ස්ථානගත වී ඇති සිංහල අන්තවාදීන්ගේ පෙළඹවීම් මත කටයුතු කළහොත් මෑත කාලයේදී එක්සත් ජාතීන්ගේ මැදහත්වීමෙන් වෙනම රාජ්‍ය ඇතිවූ කොසෝවෝ, නැගෙනහිර ටිමෝරය හෝ දකුණු සුඩානය වැනි තත්ත්වයක් මෙරටද ඇතිවිය හැක. එසේ නොමැතිව ඉන්දීය අත්දැකීම්ද සැලකිල්ලට ගෙන ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කළහොත් බලය විමධ්‍යගත කළ ප්‍රබල හා අදීන, නිශ්චිතව කිවහොත් වර්තමානයේදී මෙන් ජාත්‍යන්තර ප්‍රජාව විසින් පාලනය කරනු නොලබන ජාතික රාජ්‍යයක් මෙරට ඇති කිරීමේ අගනා අවස්ථාවක් තිබේ∎

(2013 ඔක්තෝබර් මස සමබිමෙහි පළ කරන ලදී.)

හර්ෂ ගුණසේන