Saturday, January 7, 2017

Brexit සහ අහිමි වූ පාරාදීසය

පසුගිය වසරේ බ්‍රිතාන්‍යය මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව බ්‍රිතාන්‍යය අගමැති ඬේවිඞ් කැමරන් ‘එක බ්‍රිතාන්‍යය ජාතියක්’ ගැන සඳහන් කරමින් මහා බ්‍රිතාන්‍යය තව දුරටත් ‘මහා’ කිරීමට ප්‍රතිඥා දුන්නේය. ඔහු එලෙස ප්‍රකාශ කලේ බ්‍රිතාන්‍යය ඉතිහාසයේ ප්‍රථම වරට ජාතිවාදී පක්ෂයක් වූ ස්කොට්ලන්ත ජාතික පක්ෂය ස්කොට්ලන්තයේ ආසන 59න් 56ක්ම ජයග්‍රහණය කිරීමෙන් පසුවය. ස්කොට්ලන්ත ජාතික පක්ෂය එයට පෙර මහා මැතිවරණ හතරකදීම ලබාගෙන තිබුණේ ආසන 5ක් හෝ 6ක් පමණි. එම මැතිවරණය බ්‍රිතාන්‍යයේ ඡන්ද පදනම ආන්තිකකරණය කිරීමට සමත් විය.
පසුගියදා අවසන්වූ  බ්‍රිතාන්‍යය යුරෝපීය සංගමයෙන් වෙන්විය යුතුද? නැද්ද?’ යන්න තීරණය කළ එනම් ‘වෙන්විය යුතු’ යැයි තීරණය කළ ජනමත විචාරණය මගින් මෙම ආන්තිකකරණය වඩාත් තීව්‍ර විය. අයිරිෂ් ජාතිකයන් වෙසෙන උතුරු අයර්ලන්තය, ස්කොට් ජාතිකයන් වෙසෙන ස්කොට්ලන්තය සහ ලන්ඩනය වැනි එංගලන්තයේ නාගරික ප්‍රදේශ බ්‍රිතාන්‍යය යුරෝපීය සංගමයෙන් වෙන්විය යුතු නැතැයි ප්‍රකාශ කළ අතර එංගලන්තයේ බහුතර ප්‍රදේශවල ජනතාව බ්‍රිතාන්‍යය යුරෝපීය සංගමයෙන් වෙන්විය යුතු යැයි වැඩි ඡන්දයෙන් ප්‍රකාශ කළහ. එමෙන්ම මේ ගැන කෙරෙන විවිධ සමාලෝචන මගින් ‘තරුණ පරපුර

වැඩි පිරිසක් වෙන්විය යුතු නැතැයි ප්‍රකාශ කළහ’යිද, ‘වැඩිහිටියෝ විශේෂයෙන්ම එංගලන්තයේ ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාව වෙන්විය යුතු බව ප්‍රකාශ කළහ’යි ද වාර්තා විය.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු යයි වූ මතවාදයට ප්‍රධාන වශයෙන්ම දායක වූයේ ආර්ථික කරුණුය. යුරෝපා සංගමයේ ජාතික රාජ්‍යවල දේශසීමා ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය යටතේ විවිධ යුරෝපා රටවලින් විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපයේ ආර්ථික වශයෙන් සමෘද්ධිමත් නොවූ රටවලින් පැමිණෙන ජනතාව බ්‍රිතාන්‍යයයේ පදිංචි වීම මගින් එරට ජාතිකයන්ට විශේෂයෙන්ම එංගලන්ත ජාතිකයන්ට හිමිව තිබු රැකියා අවස්ථා ඔවුන්ට අහිමි වෙමින් පවතී යැයි ඇතිවූ මතවාදය එයින් ප්‍රධාන විය. එමෙන්ම යුරෝපා සංගමය ඇති කරන විවිධ නීති වලට යටත් වීමට බ්‍රිතාන්‍යයට සිදුවීමද එංගලන්ත වැසියන්ගේ අප්‍රසාදයට හේතුවිය. එබැවින් වෙන්වීමට ප්‍රධාන හේතුව වූයේ නැගෙමින් පැවති ජාතිකවාදී හැඟීමයි.
වෙන්වීමට අදාළ ප්‍රධානතම ආර්ථික කරුණ වූයේ කේක් ගෙඩියෙන් තමන්ට ලැබෙමින් පවතින පංගුව අඩු වීමයි. එනමුත් වෙන්වීම ප්‍රකාශ වූවායින් පසුව සමස්ත කේක් ගෙඩියම අර්බුදයට ලක් විය. බ්‍රිතාන්‍යය පවුම ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව වසර තිහක් තුල පත්වූ අවම අගයට පත්විය. වඩාත් දුර්වල යුරෝපීය සංගමයක් අපේක්ෂා කරන ‘ඩොනල්ඞ් ට්‍රම්ප්’ සහ ‘ව්ලැඞ්මීර් පුටින්’ වැන්නන් හැරුණු කොට බොහෝ ලෝක නායකයන් අපේක්ෂා කළේ එක්සත් යුරෝපීය සංගමයකි.

මෑත අතීතයේදී පැවැත්වුන ජනමත විචාරණයකින් බ්‍රිතාන්‍යය සමඟ එකට සිටීමට තීරණය කළ එමෙන්ම මෙම ජනමත විචාරණයේදී යුරෝපීය සංගමය සමඟ එකට සිටීමට තීරණය කළ ස්කොට්ලන්තය තවත් ජනමත විචාරණයකින් බ්‍රිතාන්‍යයයෙන් වෙන්වී යුරෝපීය සංගමයට එක්වීමට තීරණය කළ හොත් බ්‍රිතාන්‍යය මුහුණ දෙන බරපතලම අර්බුදය එය වනු ඇත. ජාතිවාදයේ ප්‍රතිඵලය එයයි.
ශ්‍රී ලංකාවේද විශේෂයෙන්ම පසුගිය ආණ්ඩු කාලය අතරතුරදී ජාතිවාදී හැඟීම් බලවත් විය. මිනිසුන් බලාපොරොත්තු වූයේ කේක් ගෙඩියෙන් තමන්ට ලැබෙන පංගුව වැඩි කර ගැනීමටයි. එනමුත් ප්‍රතිඵලය ලෙස සමස්ත කේක් ගෙඩියම අර්බුදයට ලක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ජි.එස්.පී ප්ලස් සහනය අපට අහිමි වූ අතර යුරෝපා සංගමයේ රටවලට අපගේ මත්ස්‍ය අපනයනය තහනම් විය. එම ආණ්ඩුව තව දුරටත් පැවතියේ නම් මේ වනවිට තව තවත් ආර්ථික තහංචි අප රටට පැනවී හමාරය. එමෙන්ම ඊනියා ජාතිවාදී හැඟීම් අප අතර නොපැවතියේ නම් තිස් අවුරුදු යුද්ධයක් ද නොපවතිනු ඇත. දකුණු ආසියාවේ පළමුවෙන්ම ආර්ථිකය විවෘත කළ රට වූයේ ශ්‍රී ලංකාවයි. ඉන්දියාව එරට ආර්ථිකය විවෘත කලේ ඊට දශකයකටද පසුවයි. යුද්ධයක් නොපැවතියේ නම් අපේ දළ ජාතික නිෂ්පාදනය මේ වන විට අග්නිදිග ආසියාවේ රටවලට සම වනු ඇත. අප රටේ මිනිසුන්ගේ පටු දෘෂ්ටිවාදයන් නිසා අපට නොලැබී ගිය ප්‍රතිලාභ බොහෝය. ජාතිවාදයේ ප්‍රතිඵලය එයයි.

හර්ෂ ගුණසේන විසින් 2016 සමබිම ජුලි කලාපයට ලියන ලද ලිපියකි

No comments:

Post a Comment