Saturday, January 7, 2017

එළාරට ශාප නොකර සංහිඳියාවට පාර කපමු

නට ටික කලකට පෙර ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් රචනා කළ ‘දෙමළාගේ ප්‍රශ්නය’ නැමැති පොත දොරට වැඩීමේ උත්සවයේදී ආචාර්ය අර්ජුන පරාක්‍රම කියා සිටියේ දෙමළාට මෙරට ප්‍රශ්නයක් නැතැයි කියන අයගේ මතය තර්ක කර නිශේදනය නොකළ හැකි බවත් එයට හේතුව වන්නේ එය ඔවුන්ගේ විශ්වාසය නිසා බවත්ය. අපේ ජන සමාජය තුළට මෙවැනි විශ්වාසයක් ඇතුළු වීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ වැරදි ඉතිහාසය ඔවුන්ට කුඩා කාලයේ ඉගැන්වීමයි.
පසුගියදා මා සේවය කරන කාර්යාලයේ මහත්ම මහත්මීන්ගේ අහඹු නියැදියක් තෝරා ඒ අයගෙන් අප රටට වඩාත් අනර්ථයක් වූයේ එළාරගෙන්ද එසේ නැතහොත් කාලිංග මාඝගෙන්ද යන පැනය විමසුවෙමි. එයින් 40% ක් වඩාත් අනර්ථයක් වූයේ එළාරගෙන් යැයි කියා සිටි අතර 60% ක් වඩාත් අනර්ථයක් වූයේ කාලිංග මාඝගෙන් යැයි කියා සිටියහ.
මා බලාපොරොත්තු වූයේ වැඩි පිරිසක් පිළිතුර වශයෙන් එළාරගේ නම ඉදිරිපත් කරනු ඇති බවයි. මන්ද මගේ අදහස වූයේ මෙරට ජනතාවට ඉතිහාසය වැරදි ලෙස උගන්වා ඇති බවත් එබැවින් ඔවුන්ගේ ඉතිහාස දැනුම වැරදි බවත්ය. ප්‍රතිඵලය දැක මම තරමක සතුටක් ලැබුවෙමි.
කාලිංග මාඝගෙන් වඩාත් අනර්ථයක් වූ බව කී අයගෙන් වැඩි දෙනෙක් ඔහු කුමන ජාතිකයකුදැයි නොදත්හ. ඔහු අපගේ වෙහෙර විහාරවලට විශාල හානියක් කළ බවත් එළාර ධාර්මික රජකු බවත් ඔවුහු කීහ. එයින් එක් අයකු (ඔහු ආරක්ෂක නිලධාරියෙකි) කියා සිටියේ කාලිංග මාඝ හෝ එළාර හෝ රට බෙදීමට කටයුතු නොකළ බවත් එකල පැවතියේ රටේ බලය අල්ලා ගැනීම සඳහා වන සටන් බවත්ය.
මහාවංශය ලියවී තිබීම ගැන ජාතියක් වශයෙන් අප ආඩම්බර විය යුතුය. අපගේ වැනි මෙතරම් ලිඛිත පැරණි ඉහිහාසයක් ඇති ජාතීන් තවත් ඇත්නම් ඒ ඉතා අල්ප විය යුතුය. එනමුත් මහාවංශය යනු වීර කාව්‍යයක් බවද අප මතක තබා ගත යුතුය. දුටුගැමුණු එහි ප්‍රධාන වීර චරිතයකි. එළාරගේ චරිතය දුෂ්ට එකකි. එනමුත් මහාවංශ කර්තෘ මහානාම හිමියන් එළාරට සාධාරණය ඉෂ්ට කිරීමට තරම් අපක්ෂපාතී වී තිබේ. ඒ ගැනද අප ආඩම්බර විය යුතුය.
මහාවංශ විස්තරය අනුව සලකා බැලීමේදී ක්‍රි.පූ. දෙවන සියවසේ රජකළ එළාර වැනි ධාර්මික රජෙක් ලංකා ඉතිහාසයේ තවත් සිට නැත. මුළු ලෝක ඉතිහාසයේද එවැනි රජෙක් සිටියා යැයි මම නොසිතමි. එවැනි රජෙක් ලංකාවේ රජ කිරීම ගැනද අප ආඩම්බර විය යුතුය. එළාර සොළී ජාතිකයෙකි.
ඔහු වසු පැටවකු මරණයට පත් කිරීම සම්බන්ධව සිය එකම පුත්‍රයා මරණයට පත්කිරීමට නියෝග කළේය. වරෙක ඔහුගේ රථය වැදී විහාරයක කොටසක් කැඩිණ. ඔහු බිම දිගාවී එම රථයේ රෝදයෙන් තමාගේ ගෙල සිඳින ලෙස කීය. පසුව අමාත්‍යවරු ඔහු අස්වැසූ බව මහාවංශය වාර්තා කරයි. නීතිය පසිඳලන්නා වශයෙන් ඔහු නීතිය තමාට එරෙහිව පාවිච්චි කළේය. නීතිය පසිඳලීමේ උත්කෘෂ්ඨතම භාවිතාව මෙයයි. හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වාගේ නීතිය පසිඳලීමේ තුච්ඡ ස්වභාවය මේ සමඟ සැසඳිය හැක. එමෙන්ම මහාවංශ කර්තෘ එළාර උත්කර්ෂයට නැංවීමේ උත්සාහයක් දැරුවේ යැයි සිතීම උගහටය.
කාලිංග මාඝ සොළී ජාතිකයෙක් නොවේ. ඔහු විජය පැමිණියා යැයි කියන රටෙන්ම ආ අයෙකි. එනමුත් ඔහු ක්‍රි.ව. 13 වන සියවසේ මෙරටට පැමිණියේ සොළී සේනාවක් සමඟය. ඔහු අපගේ ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීය. අනර්ඝ සාහිත්‍යයක් තිබූ අපට මාඝ ඉතුරු කළේ පොත්පත් ස්වල්පයකි. යුද්ධයකදී මිනිසුන් මැරීම තේරුම්ගත හැක. නමුත් ශිෂ්ටාචාරයක් විනාශ කිරීම තුච්ඡ, අධම, නීච ක්‍රියාවකි.
කාලිංග මාඝගෙන් පසු උතුරේ වෙනම දෙමළ රාජ්‍යයක් ඇතිවිය. මේ සත්‍යය අප විසින් පිළිගත යුතුය. එමෙන්ම නැගෙනහිර වෙනම දෙමළ රාජ්‍යයක් නොතිබුණි. රොබට් නොක්ස් 17 වන සියවසේ ලංකාවට එනවිට නැගෙනහිර තිබුණේ උඩරට රජකළ දෙවන රාජසිංහ රජු යටතේය. එමෙන්ම අපගේ ආරක්ෂක නිලධාරියා පැවසූ පරිදි ලංකා ඉතිහාසයේ ජාතීන් අතර යුද්ධ නොවීය. යුද්ධ තිබුණේ රජවරු සහ රජ කුමාරවරු අතර බලය උදෙසාය. එළාරගේ සේනාවේ හරි හරියට සිටියේ සිංහලයෝය. මුගලන් කාශ්‍යපට එරෙහිව සටනට රැගෙන ආවේ ද්‍රවිඩ සේනාවකි. අපේ ඉතිහාසයේ සොළී ආක්‍රමණිකයන්ට එරෙහිව අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ ක්‍රි.ව. 1075 දී රජ වූ පළමු වන විජයබාහු කුලියට සේවය කළ ද්‍රවිඩ සේනාවක ආධාරය ලබා ගත්තේය. මෙවැනි අප්‍රමාණ උදාහරණ ඉතිහාසයේ ඇත.
මේ ඉතිහාසය අප විසින් දැනගත යුතුව ඇත. දෙමළුන් අපගේ රට විනාශ කළා යයි යමකු කියන්නේ නම් එය ප්‍රලාපයකි. මම මෙසේ කියමි. තරුණයකු වූ දුටුගැමුණු දෙපසේම සේනාවන්ගේ ජීවිත හානි වළකනු වස් ද්වන්ධ යුද්ධයකට එළාරට ආරාධනා කළේය. එවකට වයස 60 කට වැඩි වූ එළාර එය පිළිගත්තේය. ඔවුහු දෙදෙනාම වීරයෝ වෙති. එමෙන්ම මෑත කාලයේ සියදිවි හානි කර ගැනීමේ පුද්ගල බෝම්බ ලොවට හඳුන්වා දුන්නේද යුද නාවික සහ ගුවන් බලය තිබූ ලොව එකම රාජ්‍ය නොවන සංවිධානය නිර්මාණය කළේද පරාජය කළ නොහැකි යැයි ලොව සියලු දෙනා සිතූ එම සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජය කළේද ශ්‍රී ලාංකිකයන් විසිනි.
අප ආර්ථිකය විවෘත කළේ ඉන්දියාවට බොහෝ පෙරය. වාර්ගික අරගලයක් මෙරට නොතිබුණේ නම් ආර්ථික මට්ටම අතින් අපට අග්නිදිග ආසියාතික රටවලට ආසන්න වීමට ඉඩ තිබුණි. යුද්ධය අවසන් වී තිබේ. සාමය තවමත් පැමිණ නැත. ස්ථිර ආර්ථික වෘද්ධියක් සඳහා සාමය අවශ්‍යය. ඒ සඳහා ස්ථිර ක්‍රියාමාර්ගයක් ගැනීමට සුදුසු අවස්ථාව අනුක්‍රමයෙන් වියැකී යයි. ඉතිහාසය අනාගතයේදී අපට ශාප නොකළ යුතු යැයි මම විශ්වාස කරමි.

2016 අගෝස්තු 15 වන දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති, ‘සංහිඳියාව යාන්ත්‍රණ ගොඩ නැංවීම සඳහා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ, මහජන අදහස් විමසීමේ වැඩසටහනේදී’, වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන විසින් සිදු කළ අදහස් දැක්වීමක් ඇසුරින් සකස් කළ ලිපියකි.

No comments:

Post a Comment