Saturday, January 7, 2017

අවදානමට පෙර සූදානම

පසුගියදා පැවති ඇමරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සහ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ජනමත විචාරණයක් මගින් ගත් තීරණය පාදක කරගෙන නිදහස් වෙළෙඳාම සහ ගෝලීයකරණය යල්පැනගිය සංකල්ප බවත් නව සංකල්ප වනුයේ ජාතිකවාදය සහ ආරක්ෂණවාදය බවත් අමාත්‍ය චම්පික රණවක ප්‍රකාශ කළ බව ඬේලි මිරර් පත්‍රය විසින් නොවැම්බර් 16 වන දින වාර්තා කර තිබුණි.
ලෝකය පවතින්නේ දීම සහ ගැනීම මතය. රටවල් ආනයනය සහ අපනයනය මත රඳා පවතී. ආරක්ෂණවාදය යනු රටකට ගෙන එන යම් භාණ්ඩයක් එම රටේ නිපදවන එම භාණ්ඩයට වඩා මිල අඩු නම් සහ එම රටේ නිපදවන භාණ්ඩය ආරක්ෂා කිරීමට එම රටට අවශ්‍ය නම් ආනයනික භාණ්ඩ වලට වැඩි තීරු බද්දක් පැනවීමයි. එවිට පාරිභෝගිකයා විසින් මිලදී ගනු ලබන්නේ රජය විසින් මිල වැඩි කර ඇති ආනයනික භාණ්ඩය නොව එම රටේ නිපදවන භාණ්ඩයයි.
සියලුම රටවල් මේ ආකාරයෙන් ක්‍රියා කළහොත් ජාත්‍යන්තර වෙළෙඳාම හරහා සියලු රටවලට ඇති කර ගත හැකි වාසි ඇහිරී යයි. මක්නිසාද යත් යම් රටකට අඩු මිලකට සියලුම භාණ්ඩ නිෂ්පාදනය කළ නොහැකි බැවිනි. යම් රටක් තමන්ට අඩු මිලට නිෂ්පාදනය කල හැකි භාණ්ඩ අතිරික්තයක් නිෂ්පාදනය කර ඒවා අපනයනය කරන අතර තමන්ට අඩු මිලට නිෂ්පාදනය නොකළ හැකි භාණ්ඩ ආනයනය කිරීම මගින් සියලුම රටවලටද ඒවායේ වැසියන්ටද වාසියක් සිදුවේ. මෙම තත්ත්වය ජාත්‍යන්තර වෙළෙඳාම ප්‍රවර්ධනයට හේතුවේ. එනමුත් විශේෂයෙන් ආහාර සම්බන්ධයෙන් රටවල් විසින් ආරක්ෂණවාදී ප්‍රතිපත්ති පවත්වා ගෙන යනු ලැබේ. එයට ප්‍රධාන හේතුව විශේෂයෙන් යුදමය තත්ත්වයකදී තමන්ට අවශ්‍ය පමණට ආහාර වලින් රට ස්වයංපෝෂිත විය යුතු බැවිනි.
අප විසින් 1977 දක්වා ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳාමේදී අනුගමනය කළේ ආරක්ෂණවාදී ප්‍රතිපත්තියයි. එම ප්‍රතිපත්තිවල අසාර්ථකත්වය අපි අත්දැක ඇත්තෙමු.
රටක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වෙළෙඳාමේදී අපනයන අදායමට වඩා ආනයන වියදම අඩුනම් වෙළෙඳ අතිරික්තයක් තිබේ. විශේෂයෙන්ම කුඩා රටවල අභ්‍යන්තර වෙළෙඳපොළ කුඩා බැවින් පිටරටවල ඇති වඩා විශාල වෙළෙඳපොළ ඉලක්ක කර ගෙන අපනයනය කළ හැකිනම් එය වාසි සහගත තත්ත්වයකි. ආරක්ෂණවාදී ප්‍රතිපත්ති මගින් මෙය කළ නොහැක. එය කළ හැකි වන්නේ ප්‍රහාරාත්මක ප්‍රතිපත්ති මගින් පමණි. ඇති කර ගැනීමට යන ඉන්දු ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම අපගේ අපනයනකරුවන්ට ප්‍රහාරාත්මක අන්තයක් කරා රැගෙන යා හැක. එම අභියෝගය භාර ගැනීමට අප සූදානම් විය යුතුය.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමය සමඟ තිබූ සම්බන්ධය වෙළෙඳ ගිවිසුමකට එහා ගිය එකකි. බ්‍රිතාන්‍ය වැසියන්ට තිබූ ප්‍රශ්නය වූයේ යුරෝපා සංගමයේ සිටින නැගෙනහිර යුරෝපා රටවලින් බ්‍රිතාන්‍යය  වෙත පැමිණෙන ශ්‍රමිකයන් නිසා බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ රැකියා අවස්ථා අඩු වීමයි. අනෙක් අතට බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම නිසා බ්‍රිතාන්‍ය ආර්ථිකයට මොවුන්ගෙන් ලැබෙන දායකත්වය අහිමි වනු ඇතැයි තර්ක කරනු ලැබේ.
ශ්‍රී ලංකාවේද බොහෝ ක්ෂේත්‍රවල ශ්‍රම හිඟයක් තිබේ. දැනටත් අනවසර ශ්‍රමිකයන් මේ අඩුව පිරවීමට ඉන්දියාවෙන් ගෙන එනු ලැබේ. ඉන්දු ලංකා වෙළෙඳ ගිවිසුම හරහා අපට අවශ්‍ය ක්ෂේත්‍රවල ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට අපට අවස්ථාව තිබේ. වෘත්තිකයන් සම්බන්ධ සරල උදාහරණයක් ගතහොත් ඉන්දියාවෙන් වෛද්‍යවරු මෙරටට රැගෙන ආවොත් සමහර විට වෛද්‍යවරයෙකු චැනල් කර පැය දෙකක් හෝ තුනක් නිකරුනේ කල් ගත කිරීමට රෝගියකුට අවශ්‍ය නොවනු ඇත.
පැසිෆික් සාගරය ආශ්‍රිත රටවල වෙළෙඳ හවුල සඳහා වන සාකච්ඡා වලින් ඇමෙරිකාව ඉවත් වන බව ඇමරිකන් ජනාධිපති ධූරයට පත්වූ ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගියදා කියා සිටියේය. මෙම හවුලේ චීනය නොමැත. මෙය ජනාධිපති ඔබාමාගේ ව්‍යාපෘතියකි. මෙම හවුල තීරුබදු වලින් නිදහස් වෙළෙඳාම ප්‍රවර්ධනය කරන අතර එහි එක් අරමුණක් විය හැක්කේ ඇමරිකාවට ගලා එන චීන භාණ්ඩ වලට තර්ජනයක් එල්ල කිරීමයි. ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය චීන භාණ්ඩ වලට වැඩි තීරුබදු පැනවීමයි. කෙසේ වෙතත් මෙයින් අදහස් වන ප්‍රධාන කාරණය වන්නේ ලංකාව වැනි කුඩා රටවලට නිදහස් වෙළෙඳාමේ ඇති වාසියයි. ඇමෙරිකාව හෝ බ්‍රිතාන්‍යය  ආරක්ෂණවාදී වන විට අප ප්‍රහාරාත්මක විය යුත්තේ එබැවිනි.
ඡේෂ්ඨ වරලත් ගණකාධීකාරිවරයෙකු වන  හර්ෂ ගුණසේන මහතා විසින් 2016 දෙසැම්බර් සමබිම කලාපයට රචිත ලිපියකි

No comments:

Post a Comment