Saturday, January 7, 2017

රාජ්‍ය තාන්ත්‍රිකභාවය උදෙසා යුද මානසිකත්වය අත හැරීම

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සිය යුද අත්දැකීම් අළලා රචිත පොත ප්‍රකාශයට පත්කිරීම ආශ්‍රයෙන් ඔහු Daily FT  පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවේ මෙසේ සඳහන් වේ.
“…බොහෝ කැපකිරීම් සහ බොහෝ පරිත්‍යාග හරහා අපි සාමය ළඟා කර ගත්තෙමු. දීර්ඝකාලීන සාමයක් පවත්වාගෙන යාම මෙරට දේශපාලන නායකත්වයේ වගකීමයි. අපි සංහිඳියාව ගැන කතා කරමු. කිලිනොච්චි රෝහලේ අධ්‍යක්ෂවරයා සිංහල බැවින් ඔහු ඉවත් කර ඒ වෙනුවට දෙමළ ජාතිකයකු පත් කිරීමට ඉල්ලා සිටින්නන්ට ඇහුම්කන් දිය යුතුය. ජාතික ගීය දෙමළෙන් ගැයූ පමණින් සංහිඳියාව ඇති නොවේ. ආණ්ඩුව විසින් සාමය අවහිර කරන උතුරේ වර්තමාන තත්ත්වය පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතුය. දේශපාලන අධිකාරිය විසින් මේවා සිය ඇස් ඇරීමට බල කිරීමේ ක්‍රියා ලෙස වටහා ගත යුතු අතර ඔවුන් විසින් ප්‍රශ්නය දෙස පළල් ඇසකින් බැලිය යුතුය.”
ඔබ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැවත ආගමනයක් සිදුවිය හැකි යැයි කියන්නේද?
“තත්ත්වය මනා ලෙස කළමනාකරණය නොකළ හොත් එල්.ටී.ටී.ඊයේ නැවත ආගමනයක් සිදුවිය හැකියි. මක්නිසාද යත් 12,400 ක් වන එහි සාමාජිකයන් සමාජයේ ජීවත්වන බැවිනි. ඔවුන් පුළුල් පුනරුත්ථාපන ක්‍රියාවලියකට භාජනය වූ නමුත් ඔවුන් 100% ක් සාමාන්‍ය පුරවැසියන් බවට පත්වූ බව එයින් සනාථ නොවේ. ඔවුන්ගේ නව නායකත්වය ප්‍රභාකරන්ගේ තරම් ශූර නොවනු ඇත. එනමුත් අවස්ථාව පැමිණි විට එල්.ටී.ටී.ඊය නැවත මතු විය හැක. මන්ද ඔවුන්ගේ මතවාදය තවමත් පවතින බැවිනි. දෙමළ දේශපාලන නායකයන් අධිකරණ, ඉඩම් සහ පොලිස් බලතලවලින් සෑහීමකට පත්වේ යයි මම නොසිතමි. මන්ද ඔවුන්ගේ අභිප්‍රාය වෙන කිසිවක් නොව දෙමළ ඊළම වීමයි.”
මේජර් ජෙනරාල් කමල් ගුණරත්න එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහි අවසන් යුද්ධයේදී 53 වන සේනාංකයට අණ දුන් නිලධාරියා වූ අතර ප්‍රභාකරන් ඝාතනය කිරීමද ඔහුගේ සේනාංකය අතින් සිදුවිය. ඔහුගේ ඉහත සඳහන් ප්‍රකාශ මගින් පෙනී යන්නේ සමස්ත දෙමළ ජාතිකයන් දිගටම මර්දනය කර තබා ගැනීම ඔහුගේ අභිප්‍රාය බවත්, බලය බෙදීම ප්‍රතිඵල රහිත ක්‍රියාවක් බවත්, එසේ වන්නේ දෙමළ නායකත්වයේ අරමුණ ඊළම නිසා බවත්ය.යුද්ධය අවසන් වූ වහාම යුද්ධය දිනූ හමුදා නායකයා වූ සරත් ෆොන්සේකා දෙමළ ජාතිකයන් මර්දනය කර තබා ගැනීමට අතිරේක හමුදා ඉල්ලා සිටියේය.
ජෙනරාල්වරුන්ගේ වගකීම යුද්ධ කිරීමයි. හමුදා නිලධාරීන් සිවිල් කටයුතු අරඹයා කරන ප්‍රකාශ තුළ ඔවුන්ගේ යුද මානසිකත්වය ගැබ්ව තිබේ. ගුණරත්න යෝජනා කරන ආකාරයට රජයකට රටක් තබා කර්මාන්ත ශාලාවක්වත් පාලනය කළ නොහැක. සිරගෙදරක් නම් පාලනය කළ හැක. එනමුත් සියලු හමුදා නිලධාරීන් එසේ නොවේ. ඩෙන්සිල් කොබ්බෑකඩුව එල්.ටී.ටී.ඊය යුදමය වශයෙන් පරාජය කළ හැකි වුවත් ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව කීය.
සරත් ෆොන්සේකාගේ අරමුණ මෙරට විසූ ශ්‍රේෂ්ඨතම නායකයකු වූ දුටුගැමුණුගේ භාවිතාවට සපුරා පටහැනිය. දුටුගැමුණු ෆොන්සේකා බලාපොරොත්තු වූ කාරිය ඉටු කිරීමට භික්ෂූන් යොදා ගත්තේය. වර්තමානයේ එය නොකළ හැකි වුවත් දුටුගැමුණු එදා තැබුවේ සංහිඳියාවේ පළමු පියවරයි. ඔහු යුද මානසිකත්වය යුද්ධය සඳහාද, රාජ්‍ය තාන්ත්‍රිකභාවය රාජ්‍ය පාලනය සඳහාද යොදා ගත්තේය. යුද්ධය අතරතුරේද රාජ්‍ය තාන්ත්‍රිකභාවය යොදා ගැනීම ඔහුගේ විචක්ෂණභාවයයි. දක්ෂ හමුදා නිලධාරියකු වන ගුණරත්නට එම විචක්ෂණභාවය නොමැත.
අරාබි ලෝකයට එරෙහි සුප්‍රකට හය දින යුද්ධය මෙහෙය වූ ඊශ්‍රායල් ආරක්ෂක ඇමති මෝෂේ දයාන් සහ හමුදා නායක යිටිෂාක් රබින් යන හමුදා නිලධාරීන් දෙදෙනා පසුව ඊජිප්තුව සහ පලස්තීන විමුක්ති සංවිධානය සමඟ සාම ගිවිසුම්වලට එළැඹීමට ප්‍රමුඛත්වය ගත්හ. රබින්ට නොබෙල් සාම ත්‍යාගයද හිමි විය. ඒ ඔවුන් රාජ්‍යතාන්ත්‍රිකභාවය උදෙසා යුද මානසිකත්වය අතහැරි බැවිනි. යුගයේ අවශ්‍යතාවය එයයි. රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසිය වනුයේද එයයි.
හර්ෂ ගුණසේන මහතා විසින් 2016 සමබිම නොවැම්බර් කලාපය වෙත රචිත ලිපියකි.

No comments:

Post a Comment