ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව එක්ව ජිනීවා මානව හිමිකම් කොමිසමට 2015 සැප්තැම්බර් 29 වන දින ඉදිරිපත් කළ, 2015 ඔක්තෝබර් 01 වන දින ඒකමතිකව සම්මත වූ A/HRC/30/L.29 දරන යෝජනාවේ හය වන ඡේදයේ මෙසේ සඳහන් වේ.
‘නීතියේ ආධිපත්‍ය සුරැකීම සඳහා ද ශ්‍රී ලාංකික අධිකරණ ක්‍රමය පිළිබඳව විවිධ ජන කොටස් අතර විශ්වාසය තහවුරු කිරීම සඳහා ද වගවීම අත්‍යවශ්‍ය බවට වන ශ්‍රී ලංකා රජයේ පිළිගැනීම අගයමින් ද, මානව හිමිකම් උල්ලංඝනය හා අයථා භාවිතය සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විශේෂ නීති උපදේශකයකු සහිතව අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බවට වූ ශ්‍රී ලාංකික රජයේ යෝජනාව අගයමින් ද, විශ්වසනීය වූ අධිකරණ ක්‍රියාවලියක් සඳහා සිය අවංකකම සහ අපක්ෂපාතිත්වය සඳහා ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයන්ගෙන් සමන්විතවූ ස්වාධීන අධිකරණ සහ නඩු පැවරීමේ ආයතන පද්ධතියක අවශ්‍යතාව සහතික කරමින් ද, මේ සඳහා විශේෂ නීති උපදේශකගේ කාර්යාලය ඇතුළුව ශ්‍රී ලාංකික අධිකරණ යාන්ත්‍රණය තුළ පොදුරාජ්‍ය මණ්ඩලීය හා විදේශ විනිසුරන්, විත්තියේ නීතිඥවරු, බලය ලත් නඩු පවරන්නන් සහ පරීක්ෂකවරු සිටීමේ වැදගත්කම සහතික කරමු.’
මින්පසුව ජනාධිපතිවරයා විසින් විදේශ විනිශ්චයකරුවන් මේ සඳහා නොයොදවන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලදී. පසුව අගමැතිවරයා ජිනීවා යෝජනාවේ ප්‍රතිපාදන අනුගමනය කරන බව කියා සිටියේය. ඉන් පසුව විදේශ ඇමතිවරයා එය ජනාධිපතිවරයාගේ පුද්ගලික අදහස බව වොෂින්ටනයේදී ප්‍රකාශ කළේය.
විදේශ අමාත්‍ය මංගල සමරවිර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට වොෂින්ටනයේදී කරුණු පැහැදිලි කරමින්
පසුව මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් ද ඇතුළු තවත් අය විසින් මේ සඳහා ජාත්‍යන්තර විනිසුරුවරුන් යොදවා ගැනීම නොකළ යුතු බව කියා සිටින ලදී. පසුව ප්‍රකාශයක් කළ කොමසාරිස්වරයා ඒ පිළිබඳ තීරණයක් ගැනීම ශ්‍රී ලංකාවේ ස්වෛරී අයිතිය බව කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මල්වතු මහානායක හිමියන් සමග සාකච්ඡා කරන අවස්ථාව
යුද්ධය මෙහෙයවූ යුද්ධ හමුදාපති සරත් ෆොන්සේකා පසුගිය දා පාර්ලිමේන්තුවේ සිය මංගල කතාව පවත්වමින් මෙම පරීක්ෂණය විනිවිදභාවයකින් යුතුව සහ ජාත්‍යන්තර නීතිවලට අනුකූලව පැවැත්විය යුතු බව ද මේ සඳහා විදේශ නිරීක්ෂකයන්ගේ සහ උපදේශකයන්ගේ සහභාගිත්වය අවශ්‍ය බව ද විශේෂයෙන්ම සුදු කොඩි සිද්ධිය සම්බන්ධව පරීක්ෂා කළ යුතු බව කියා සිටියේය. ඔහු කියා සිටින්නේ තමා යුද්ධය සඳහා අණ දුන්නේ ජාත්‍යන්තර නීතිවලට අනුකූලව බවත් යුද්ධයේ අවසාන භාගයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්පූර්ණයෙන්ම කොටු වූ පසු තමා අවි ගනුදෙනුවන් සඳහා අත්‍යවශ්‍ය කටයුත්තකට චීනය බලා ගිය බවත් විශේෂයෙන්ම ඒ යුගයේදී නීති විරෝධී අණ දීම් සිදුවී ඇති බවත්ය. ඒ නීති විරෝධී කටයුතු සඳහා වගකිව යුතු අයට දඬුවම් දිය යුතු බව ඔහුගේ මතය වේ. එමෙන්ම එමගින් මෙරට යුද්ධ හමුදාවේ ගෞරවය ආරක්ෂා කර ගත හැකි බව ඔහුගේ මතයයි.
පාබල, නාවික සහ ගුවන් හමුදාවන්ගෙන් සන්නද්ධ වූ ලොව ප්‍රමුඛ ත්‍රස්තවාදී සංවිධානය (එයද ශ්‍රී ලාංකිකයන්ගෙන් සමන්විත වූ ශ්‍රී ලාංකික සංවිධානයකි.) පරාජය කිරීමේ ගෞරවය ජාත්‍යන්තරව ශ්‍රී ලංකා හමුදාව වෙත නොලැබෙන්නේ යුද්ධය සමයේ සිදුවූ බවට සැලකෙන නීති විරෝධී ක්‍රියා නිසාය.
එබැවින් ඒ සඳහා පූර්ණ පරීක්ෂණයක් කර අදාළ නිලධාරීන්ට දඬුවම් කිරීම නීතිගරුකව යුද්ධ කළ අනෙකුත් සෙබළුන්ගේ ගෞරවය පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමක් ද වේ.
මෙම පරීක්ෂණය සඳහා සහභාගී වන විනිසුරන් දේශීය පුද්ගලයන් හෝ වේවා විදේශීය පුද්ගලයන් හෝ වේවා ඔවුන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ද සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ද විශ්වාසය දිනාගත හැකි පුද්ගලයන් විය යුතු අතර අධිකරණ යාන්ත්‍රණය ද එම තත්ත්වයේම තිබිය යුතුය. අධිකරණ ක්‍රියාවලියට ඉහළ මට්ටමේ දේශපාලන අතපෙවීම් අතීතයේදී සිදු වූ අතර අධිකරණ විනිසුරන් ද නොයෙකුත් නොපනත් ක්‍රියාවල යෙදෙමින් අගතිගාමී නඩු තීන්දු දී ඇත. එමෙන්ම යුද සමයේ සිදු වූ විශේෂිත අපරාධ කිහිපයක් පිළිබඳ පරීක්ෂණයකදී ආණ්ඩුවේ ආරාධනයෙන් මෙහි පැමිණි විදේශ විද්වතුන්ට එවකට සිටි නීතිපතිවරයා සැලකූ අන්දම සියල්ලෝම දනිති. මෙම තත්ත්වය පොදුරාජ්‍ය මණ්ඩලීය හෝ වෙනත් විදේශ රටක විනිසුරන්, නඩු පවරන්නන් සහ නීතිවේදීන් මෙම පරීක්ෂණය සඳහා යොදාගත යුතු බවට ජිනීවා යෝජනාවේ එන සඳහනට හේතුවී ඇත. මේ සඳහා පූර්වාදර්ශ බණ්ඩාරනායක ඝාතන නඩුවෙන් ද ගත හැකිය.
කලකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා යොදාගනු ලැබුවේ තරගය පවත්වන රටේ විනිසුරන්ය. කල් ගත වන විට මොවුන් සිය රටේ ක්‍රීඩකයන් අරභයා අගතිගාමී තීන්දු දී ඇති බවට වූ චෝදනාවලට පිළිතුරු වශයෙන් විනිසුරන් තරග වදින රටවල් දෙකෙන් එකකටවත් අයත් නොවිය යුතු බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කරන ලදී.
යුද අපරාධ සම්බන්ධයෙන් වන පරීක්ෂණය සඳහා අදාළ වන්නේද මෙම සිද්ධාන්තයම වේ. එනම් වාර්ගික හෝ ජාතික වශයෙන් හඳුනාගත හැකි ප්‍රශ්නයකදී විනිසුරන්ගේ වාර්ගික හෝ ජාතික අනන්‍යතාව තීරණය සඳහා බල නොපාන්නේ යැයි සහතික කළ හැක්කේ කෙසේද? අනුක්‍රමයෙන් අඩුවී යමින් තිබෙතත් ශ්‍රී ලංකාව තවමත් හරි වැරදි හඳුනා ගත නොහැකි මට්ටමට ජනවාර්ගික වශයෙන් බෙදී පවතී. මේ සම්බන්ධයෙන් විද්වතුන්ගේ ද හුදී ජනයාගේ ද චර්යාව එක හා සමානය.
හර්ෂ ගුණසේන
සමබිම 2016 මැයි කලාපයේ පලවු ලිපියකි.
No comments:
Post a Comment