
හර්ෂ ගුණසේන
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රතිපත්ති වල හරය වන්නේ ඇමෙරිකාවේ අයවැය හිඟය සහ ජංගම ගිණුමේ හිඟය අවම කිරීමයි. ලෝකය පුරා ඇතිවන ඇමෙරිකාව සම්බන්ධ යුද්ධ නිසා ඇමෙරිකාවට විශාල පිරිවැයක් දරන්නට සිදුවේ. රුසියාව සමඟ සහජීවනයක් ඇතිකර ගැනීම මගින් මේ යුද්ධ සඳහා දැරීමට සිදුවන පිරිවැය අවම කර ගත හැකි වෙතැයි ඔහු සිතයි. චීනය සමඟ ඇති වෙළෙඳ ශේෂය ඇමෙරිකාවට අවාසියට ඇති විශාලම වෙළෙඳ ශේෂයයි. එබැවින් චීනය සමඟ කෙරෙන වෙළෙඳාමට තීරු බදු පැනවීම මගින් එම අවාසි සහගත වෙළෙඳ ශේෂය අඩු කර ගත හැකි වෙතයි ඔහු සිතයි.
ජනාධිපති ඔබාමා චීනයේ වෙළෙඳ ශේෂය පිලිබඳ ප්‍රශ්ණයට මුහුණ දුන්නේ චීනය හැර පැසිපික් සාගරය දෙපස ඇති රටවල නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිකිරීමට උත්සාහ කිරීම හරහාය. ඒ අනුව චීනයෙන් ලැබෙන භාණ්ඩ වෙනත් රටවලින් ලැබේ. රුසියාව සම්බන්ධයෙන් ඔහු අනුගමනය කල ප්‍රතිපත්තිය වුයේ හැකි තරම් රුසියාව බෙල හීන කිරීමයි.
වර්ෂ 2010 දී රුසියාවට හිතවත් වික්ටර් යනුකොවිච් යුක්රේනයේ ජනාධිපති විය. වර්ෂ 2013 දී ඔහු යුක්රේනය යුරෝපා සංගමය සමඟ ඇතිකර ගැනීමට සුදානම් වූ ගිවිසුම ඇතිකර ගැනීම කල් දැමිය.මේ නිසා රට පුරා ඔහුට එරෙහි විරෝධතා ඇතිවිය. මේ විරෝධතා පිටුපස සිටියේ ඔබාමා ජනාධිපති වූ ඇමෙරිකාවයි. ඇමෙරිකාවේ අරමුණ වූයේ යුක්රේනය බටහිරට සම්බන්ධ කර ගැනීමයි. ඒ අනුව බටහිර කඳවුර රුසියන් දේශසීමාව දක්වා ව්‍යාප්ත වේ. මේ සඳහා ඇමෙරිකාව ඩොලර් බිලියන 5 ක පමණ මුදලක් වියදම් කල බව වාර්තා විය. යනුකොවිච් 2014 පෙබරවාරි වල බලයෙන් පහ වූ අතර රුසියාව 2014 මාර්තු වල යුක්රේනයට අයිති ක්‍රිමියාව ආක්‍රමණය කළේය.
ඉන් පසුව බලයට පැමිණි පොරෂේන්කෝ යුක්රේනය තුල රුසියන් ජාතිකයන් විශාල ප්‍රමාණයක් සිටීම නොතකා යුක්රේනය තුල රුසියන් භාෂාව බල රහිත කිරීම ඇතුළු රුසියන් විරෝධී ක්‍රියා විශාල ප්‍රමාණයක් කළේය. 2019 සෙලෙන්ස්කි බලයට පැමිණෙන විට යුක්රේනයේ රුසියන් විරෝධී මතවාදයක් තිබුනි. සෙලෙන්ස්කි බලයට පැමිණියේද රුසියන් විරෝධී මත වාදය හරහාය. එවකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වූ අතර ජෝ බයිඩන් 2021 දී ජනාධිපති විය.
ජෝ බයිඩන් චීනය සම්බන්ධ ට්‍රම්ප් ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන ගිය අතර රුසියාව සම්බන්ධව ඔබාමා ගේ ප්‍රතිපත්තිය ඉදිරියට ගත්තේය. මේ අනුව බටහිර කඳවුර විසින් යුක්රේනය නේටෝවට ඇතුලත් කර ගැනීමට ක්‍රියාමාර්ග ගත් අතර රුසියාව ඉතාමත් සාධාරණ ලෙස එයට විරුද්ධ විය. යුක්රේනය ආක්‍රමණය නොකිරීමට රුසියාව ඉල්ලා සිටියේ යුක්රේනය නේටෝවට නොබැඳෙන බවට සහතිකයක් පමණි. ඒ සහතිකය දීමට බටහිර කඳවුරද යුක්රේනයද අසමත් විය. ඒ අනුව රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කල අතර බටහිර කඳවුර යුක්රේනයට දිගටම සහය දුන්නේය. සෙලෙන්ස්කි මේ තීරණාත්මක මොහොත සිය රටට වාසි වන ලෙස කළමනාකරණය කිරීමට අසමත් විය.
බලයට පැමිණි අවස්ථාවේදී සෙලෙන්ස්කි විසින් තම රට තිබුන තත්ත්වය සැලකිල්ලට ගෙන රුසියාව සමඟ සහජීවනයකට යා යුතුව තිබුනැයි අපි අද කියමු. මා පුවත්පත් ලිපියක් මගින් යුද්ධය ආරම්භ වූ වහාම ඒ බව කියා සිටියෙමි. එනමුත් එය කිසිසේත්ම පහසු කටයුත්තක් නොවේ. පළමුවන හේතුව ඒ වන විට යුක්රේනයේ ඉතා බලවත් රුසියන් විරෝධී ආකල්ප තිබීමයි. රුසියන් ජනාධිපති පුටින් විසින් නාසි වාදීන් ලෙස හඳුන්වන ලද්දේ මෙම ජනතාවයි. යුක්රේනය තුල සිටින නාසි වාදීන්ට දඬුවම් කල යුතු බව පුටින් කීය. යම් හෙයකින් සෙලෙන්ස්කි රුසියාවට නැඹුරු ප්‍රවේශයක් ගත්තේ නම් වික්ටර් යනුකොවිච් මුහුණ දුන් ඉරණමට ඔහුට මුහුණ දීමට සිදුවනු ඇත. එය වඩාත් බරපතල වන්නේ යම්හෙයකින් ජනතා විරෝධයක් පැමිණියේ නම් ඇමෙරිකාව එම විරෝධය ඇවිලවීමට සූදානම්ව සිටින බැවිනි.
ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී මේ සඳහා තිබුන සුදුසුම අවස්ථාව වූයේ සෙලෙන්ස්කිගේ ධුර කාලය තුල ට්‍රම්ප් ඇමරිකන් ජනාධිපතිව සිටි 2019-2021 අතර කාලයයි. මේ කාලය තුල ඔහු පුටින් සමඟ සංහිඳියාවකට ගියේ නම් එයට එරෙහිව ඇමරිකාව යුක්රේනය තුල කටයුතු නොකරනු ඇත. නමුත් සෙලෙන්ස්කිට රට තුල ජනමතය හැසිරවීමට සිදුවනු ඇත. ඔහු වැනි ආධුනිකයකුට එවැනි ප්‍රබල ජනමතයක් හැසිරවීම පහසු නොවේ. එබැවින් සෙලෙන්ස්කිට එරෙහිව අප කුමක් කීවත් එහි අවසාන වගකීම බාරගත යුත්තේ යුක්රේන ජනතාව විසිනි.
අනෙක් අතට සිතල් යුද්ධය අවසන් වීමෙන් පසුව වට පහකින් නේටෝව විසින් නැගෙනහිර යුරෝපා රටවල් 14 ක් බඳවා ගත් බව යුද්ධය ආරම්භ වීමට පෙර රුසියාව විසින් පැමිණිලි කරන ලදී. එය ඇත්තකි.නමුත් යුද්ධය ආරම්භවීමෙන් පසුව 2023 දී පින්ලන්තයද 2024 දී ස්වීඩනය ද නේටෝවට ඇතුළත් විය.
පසුගියදා ට්‍රම්ප්, වාන්ස් සහ සෙලෙන්ස්කි අතර වූ සාකච්ඡාවේදී සෙලෙන්ස්කි හේ හැසිරීම සම්බන්ධව විවිධ විවේචන ඔහු වෙත එල්ල වෙමින් පවතී. ඔහු රාජ්‍ය තාන්ත්‍රික නොවුන බව ඇත්තකි. ඔහුගේ ප්‍රවේශය ම වැරදිය. ශරීර භාෂාවද වැරදිය. ඔහු සිටියේ අත් බැඳ ගෙනය. ඔහුගේ සීමාව ඔහු විසින් දැනගත යුතුව තිබුණි. නමුත් ට්‍රම්ප් රාජ්‍ය තාන්ත්‍රික ද? මෙවැනි සාකච්ඡාවක් මෙලෙස විවෘතව පැවැත්වුයේ ඇයි?
සෙලෙන්ස්කිගේ ඇඳුම ගැන කීමට ඇත්තේ ඔහු ඇමෙරිකන් කොන්ග්‍රසය අමතන විට ඇඳ සිටියේද මේ ඇඳුමම බවයි.
ට්‍රම්ප් හෝ බයිඩන් හෝ ඇමරිකාව නොවේ. ඇමරිකාව ඊට වඩා විශාලය. ඇමරිකාව විසින් පොළඹවනු ලැබ යුද්ධයකට පැටලුන යුක්රේනය මෙලෙස අතරමං කිරීමට මාර්ග සිතියම සකස් කිරීම ඇමරිකාවට කල හැකිද? එය රාජ්‍ය තාන්ත්‍රික භාවයද?
බයිඩන් ගේ සමයේදී ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරමින් ඔබාමා යුගයේදී ඇතිකරගත් න්‍යෂ්ටික අවි පිලිබඳ ගිවිසුමෙන් ට්‍රම්ප් ගේ යුගයේදී ඇමෙරිකාව ඉවත්වීම ගැන කියා සිටියේ ඇමරිකාව කිසිසේත් විශ්වාස කල නොහැකි බවයි. ඔහු ට්‍රම්ප් විශ්වාස කල නොහැකි යයි කීවේ නැත. ඇමෙරිකාව හෝ වෙනත් කිසිම රටක් හෝ මෙසේ කටයුතු නොකළ යුතුය. සෙලෙන්ස්කිටද ඇමෙරිකාවට කීමට ඇත්තේ එයයි.
යුක්රේන යුද්ධයේදී ඇමරිකාව යුරෝපයද ඒ සඳහා පෙළඹවිය. යුක්රේනය මතුනොව යුරෝපයද වර්තමාන තත්ත්වය නිසා බලවත් අර්බුදයකට යනු ඇත. යුරෝපා නායකයෝ ලන්ඩනයේදී රැස්වී යුක්රේනයට සහය දෙන බව කියා ඇත. එමෙන්ම යුක්රේනය සමඟ එක්ව බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සාම ගිවිසුමක් සකස් කරන බව කියා ඇත. එම ක්‍රියාව පිළිබඳව ධවල මන්දිරට සතුට ප්‍රකාශ කර ඇත.
වර්තමාන තත්ත්වය තුල සෙලෙන්ස්කි වැඩ වරද්දා ගත් බව නිගමනය කිරීමට ඉක්මන් නොවිය යුතු යයි සිතමි. මෙය ඊට වඩා බොහෝ සෙයින් බරපතල ප්‍රශ්නයකි. නැවත ප්‍රතිෂ්ඨාපනය නොකළහොත් මෙය බටහිර සන්ධානයේ බිඳ වැටීමයි. මෙහිදී බොහෝ දෙනෙකුට වැඩ වරදිනු ඇත. මෙහි ජයග්‍රාහකයා බොහෝ විට චීනය වනු ඇත.
යුක්රේනය සහ ශ්‍රී ලංකාව වැනි රටවල විදේශ සම්බන්ධතා පිළිබඳව අප බොහෝ දෙනෙක් අනුදත් ප්‍රවේශය වන්නේ නොබැඳි ප්‍රතිපත්තියයි. ශ්‍රී ලංකාව විශේෂයෙන්ම බණ්ඩාරනායක මැතිනිය ගේ යුගයේ කටයුතු කර ඇත්තේ මේ ආකාරයටයි. ජේ ආර් ජයවර්ධන යුගයේ බටහිරට පක්ෂවීම හෝ පක්ෂ වෙතැයි එවකට බටහිරට එරෙහි ඉන්දියාව විසින් සිතා ගැනීම නිසා හෝ යුක්රේනය මුහුණ දුන් තත්ත්වයට ආසන්න තත්ත්වයකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවිය. ඒ අවස්ථාවේදී අප බේරුනේ ජේ ආර් විසින් මුළු රටම එරෙහි වෙද්දී ඉන්දියාව සමඟ සාම ගිවිසුම අත්සන් කිරීම නිසාය.
මේ සම්බන්ධයෙන් අප රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන ප්‍රතිපත්තිය විමසා බැලිය යුතුය. ඔහු ඉදිරිපත් කරන්නේ නොබැඳි ප්‍රතිපත්තිය නොවේ ශ්‍රී ලංකාවට පක්ෂ ප්‍රතිපත්තියයි. ඔහු පක්ෂ ඉන්දියාවට ද නැතිනම් චීනයට දැයි ඇසූ ප්‍රශ්ණය කදී ඔහු තමන් ශ්‍රී ලංකාවට පක්ෂ බව කියා ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කරන්නේ ද ඇමෙරිකාවට පක්ෂ ප්‍රතිපත්තියයි. දීර්ඝ කාලීනව ඇමෙරිකාවට පක්ෂ ප්‍රතිපත්ති කෙරෙහි ඇමරිකන් ජනාධිපතිවරු අවධානය යොමු කළ අතර ට්‍රම්ප් කෙටි කාලින වාසි කෙරෙහි අවධානය යොමු කරයි. මක්නිසාද යත් අයවැය හිඟය සහ ජංගම ගිණුමේ හිඟය ඉක්මනින් අඩු කර ගත යුතු නිසාය.
ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේනයට දුන් යුද ආධාර වලට හිලව්වට එහි ඇති ඛනිජ සම්පත් වල අයිතිය ඉල්ලා සිටියේය. ට්‍රම්ප් මේ අවස්ථාවේදී ඇමෙරිකාව විසින් යුක්රේනයට දී ඇති පොරොන්දු සහ එකඟතා සැලකිල්ලට ගන්නේ නැත.
ඉන්දියාවේ පසුගියදා පැවති සම්මේලනයේදී චීන නැව් පර්යේෂණ සඳහා පැමිණීම පිළිබඳව රනිල් ගෙන් ප්‍රශ්නයක් අසනු ලැබිය. ප්‍රශ්ණකාරිය ගේ සැලකිල්ල යොමුවූයේ එම නැව් නිසා ඉන්දීය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි. රනිල් කියා සිටියේ එම නැව් පැමිණීම තමන් තාවකාලිකව නැවැත්වූ බවත් තම මුහුදු සීමාවේ පර්යේෂණ කරන්නේ නම් තම රටට යම් මුදලක් ලැබිය යුතු බවත් ඒ සඳහා නීති සම්පාදනයට කටයුතු කල බවත්ය. මේ ප්‍රවේශය ට්‍රම්ප් ගේ ප්‍රවේශයයි. එය නොබැඳි ප්‍රවේශය ඉක්මවා යන්නකි.
එම සාකච්ඡාවේදීම ඉන්දියාව සහ චීනය අතර වන ගැටුම් කාරී තත්ත්වය තුල ශ්‍රී ලංකාව වාසි ලබාගන්නා බව ප්‍රශ්ණ කරුවෙන් කීය. එකවිට QUOD (මෙය චීනයට එරෙහි සංවිධානයකි. ඇමෙරිකාව, ජපානය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සාමාජිකයන්ය.) සහ BRICS (මෙය නැගී එන ආර්ථික බලයක් සහිත රටවල් සඳහා වන කණ්ඩායමක් වන අතර ප්‍රධාන රටවල් වන්නේ බ්‍රසීලය,රුසියාව,ඉන්දියාව, චීනය, සහ දකුණු අප්‍රිකාවයි.) සංවිධාන වල සාමාජිකයකු වන ඉන්දියාව චීනය සමඟ ගැටුමකට නොයනු ඇති බවත් ඔවුන්ට ඔවුන්ගේ ගේම් එක ගැසිය හැකි අතර අපි අපගේ ගේම් එක ගසන බවත්ය. මේ ගේම් එක නොබැඳි ප්‍රතිපත්තිය නොවේ සමහර විට එය අවස්ථා වාදී විය හැක.
වර්ෂ 2024 ජනවාරි මස රනිල් ජනාධිපති ව සිටි යුගයේදී නොබැඳි සමුළුව අමතමින් පලස්තීන රාජ්‍යය වසර පහක් ඇතුලත පිහිටුවීම සඳහා නොබැඳි සමුළුව කටයුතු කළ යුතු බව කීය. පසුව ඔහු රතු මුහුදේ ක්‍රියාත්මක වන හුතී කැරලි කරුවන්ට එරෙහිව ඇමරිකානු නාවුක හමුදාව සමඟ කටයුතු කළේය. ඒ පිලිබඳ ප්‍රශ්ණ කල විට ඔහු කීවේ හුතී කැරලිකරුවන්ගේ ක්‍රියා නිසා යුරෝපයට සහ ඇමෙරිකාවට යන ලංකාවේ අපනයන වලට වැඩිපුර නාවුක ගාස්තු ගෙවීමට සිදුවන නිසා ඔවුන් මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි. මෙය පලස්තීනයට එරෙහි වීම නොවේ. ඊශ්රාලයට පක්ෂවීමද නොවේ. නොබැඳි ප්‍රතිපත්තියද නොවේ. ශ්‍රී ලංකාවට පක්ෂ වීමයි.
එමෙන්ම යුක්රේන යුද්ධය පටන්ගත් යුගයේදී රනිල් කියා සිටියේ (එවකට ඔහු බලයේ නොසිටියේය) සෙලෙන්ස්කි යුක්රේනයට පක්ෂ නොවූ බවයි. ඔහු ඒ අවස්ථාවේදී බටහිර විවේචනය කළේය. (ඔහු බටහිර ගැත්තෙකැ යි චෝදනා තිබේ. ) එමෙන්ම රුසියාවට පක්ෂව කථා කළේය. චීනය සහ ඉන්දියාව උදාහරණ ලෙස පෙන්වමින් ආසියාව මේ අවස්ථාවේදී ස්වාධීනව සිටින බවත් පැත්තක් නොගන්නා බවත් කීය. යම් හෙයකින් රනිල් ඒ අවස්ථාවේදී යුක්රේනයේ බලයේ සිටියේ නම් මුළු රටම විරුද්ධ වෙද්දී ජේ ආර් ඉන්දියන් ගිවිසුම අත්සන් කලාක් මෙන් තමන් නේටෝවට නොබැඳෙන බවට සහතිකයක් රුසියාවට දෙනු ඇත. මෙවැනි තීරණාත්මක අවස්ථා වලදී සාමාන්‍යයෙන් මුග්ධ ඊනියා ජනමතය නොසලකා හැරිය යුතුය.
කුඩා රටක් රනිල් පන්නයේ විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන්නේ නම් එම රටේ රාජ්‍ය නායකයා අතිශයින්ම විචක්ෂණ පුද්ගලයකු විය යුතුය. මක්නිසාද යත් එය කඹයක ගමන් කිරීම වැනි දෙයක් නිසාය. සෙලෙන්ස්කිට එම විචක්ෂණ භාවය නැත. ට්‍රම්ප් ට එම විචක්ෂණ භාවය තිබේදැයි නුදුරු අනාගතයේදී ඔහු විසින් පෙන්නුම් කරනු ඇත.
Published in Colombo Telegraph and Anidda on March 6, 2025
https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-6-march-2025/
No comments:
Post a Comment