කාන්තා අයිතිවාසිකම් සහ කාන්තාවන් බල ගැන්වීම් පිළිබඳව මේ දිනවල කතාකරනු අසන්නට ලැබේ. මේ පිළිබඳව කථා කරනු ලබන්නේ පුරුෂ මූලික දෘෂ්ටි කෝණයකිනි.
යුරෝපයේ මධ්‍යතන යුගයේ සහ ඉන් පසුව කාන්තාව, ලිංගිකත්වය සහ විවාහය වැනි කරුණු පිළිබඳව පුරුෂයන්ගේ ආකල්ප පසුගාමී ඒවා විය. එම ආකල්ප සකස් වූයේ කතෝලික පල්ලියේ බලපෑම යටතේය. ඔවුන් කාන්තාවන් ගෙන් බලාපොරොත්තු වූයේ කන්‍යාභාවය, නිශ්ශබ්දතාව, ඉදිරියට නොඑන ස්වභාවය, සන්සුන් බව, කිකරුබව වැනි ගුණාංගය. මේ තත්ත්වය අනුක්‍රමයෙන් වෙනස් වන්නට පටන්ගත්තේ 16 වන සියවසේ ආරම්භ වූ ප්‍රොතෙස්තන්ත්‍ර ව්‍යාපාරය සහ 18 වන සියවසේ ආරම්භවූ කාර්මික විප්ලවය නිසාය.
17 වන සියවසේ දෙවන රාජසිංහ යුගයේදී රාජ්‍යයේ සීමාවෙන් පිට නොයෑමේ කොන්දේසිය මත මෙරට ටික කලක් විසූ රොබට් නොක්ස්, එවකට උඩරට වැසියන් සිය නිවෙස් වල ඉඩකඩ නොමැති ස්වභාවය නිසා බාල වියේදී අසල නිවෙස් වල රාත්‍රිය ගතකිරීමට පුරුදුව සිටි බවත් ඒ අනුව ලිංගික ක්‍රියාවන් සඳහා සහකරුවන් සහ සහකාරියන් ඔවුන්ට ලැබුන බවත් ඔහුගේ පොතේ සටහන් කර තිබේ. එවකට තිබු බටහිර සංස්කෘතිය විසින් හික්මවනු ලැබූ නොක්ස් මෙම ක්‍රියාවලිය දකින්නේ ඔවුන් තරුණ වියට පැමිණෙන විටම පුද්ගලික මට්ටමින් වෛශ්‍යා වෘත්තියේ යෙදීමක් ලෙසයි. එමෙන්ම පුරුෂයන් කිසිවිටෙකත් සිය බිරියගේ කන්‍යාභාවය අපේක්ෂා නොකළ බවද ඔහු සඳහන් කරයි. එම යුගයේ තිබූ බටහිර සංස්කෘතිය විසින් අදටත් හික්මවනු ලබන අපි අදද එම ක්‍රියාවලිය දකින්නේ නොක්ස් එදා බැලූ දෘෂ්ටි කෝණයෙනි. එනමුත් බටහිර සංස්කෘතිය මේ වනවිට මේ කරුණු සම්බන්ධයෙන් එවකට උඩරට තිබූ සංස්කෘතියට බොහෝ සෙයින් සමාන මට්ටමකට පරිවර්තනයවී ඇත. උත්ප්රාසය එයයි.
වර්ෂ 1815 උඩරට රාජ්‍යය බ්‍රිතාන්‍යයට යටත් වීමට ටික කලකට පෙර ලියවුනැයි සැලකෙන නීති නිඝණ්ඩුව නැමැති උඩරට නිතිය ගැන සඳහන් වන පොතට අනුව පුරුෂයාගේ හෝ භාර්යාවගේ හෝ කැමැත්තෙන් විවාහය අවසන් කළ හැක. එහිදී අගතියට පත් පාර්ශ්වයට යම් සහන තිබේ. දැනට බලපැවැත්වෙන උඩරට නීතිය යටතේ දෙදෙනාගේ කැමැත්තෙන් විවාහය අවසාන කළ හැක. රටේ අනෙක් පෙදෙස් වල බලපැවැත්වෙන රෝම ලන්දේසි නීතිය යටතේ නිශ්චිත කාරනා තුනක් යටතේ හැර දෙදෙනාගේ කැමැත්තෙන් වුවත් විවාහය අවසන් කළ නොහැක. මේ වන විට බටහිර රටවල දික්කසාද නීති 1815ට පෙර උඩරට පැවති නීතියට බොහෝ සෙයින් සමාන වනසේ වෙනස් වී ඇත. උත්ප්රාසය එයයි.
අප ජිවත් වන්නේ කාන්තාව, ලිංගිකත්වය සහ විවාහය පිළිබඳව අපේ උරුමය වූ ලිබරල් ස්වභාවය අහෝසි කරගත්, අප මත බලයෙන් පටවන ලද එම කරුණු සම්බන්ධ ලිබරල් නොවන සංස්කෘතියක ජිවත් වෙමින් එය අපේ උරුමය යැයි සිතන සමාජයකය. කාන්තා අයිතිවාසිකම් ගැන කථා කළ යුත්තේ මේ පසුබිම යටතේය.
කාන්තාවන්ට ඡන්ද බලය පළමුවෙන්ම ලැබුනේ ස්වීඩනයේ 1718-1772 යුගයේදීය. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ඡන්ද බලය ලැබුනේ 1931 දී වන අතර ප්‍රංස කාන්තාවන්ට ඡන්ද බලය ලැබුනේ 1944 දීය. යුරෝපයේ බොහෝ රටවල කාන්තාවන්ට ඒ වන විට ඡන්ද බලය ලැබී තිබුණි.
එක්සත් ජාතින් විසින් කාන්තාවන්ට කෙරෙන සියලුම ආකාරයේ වෙනස් කම් වලට එරෙහි සම්මුතිය සම්මත කර ගන්නා ලද්දේ 1979 දීය. ලෝකයේ බොහෝ රටවල් සිය ශක්ති ප්‍රමාණයෙන් එනම් සිය සංස්කෘතීන් විසින් ඉඩදෙන ප්‍රමාණයෙන් කාන්තාවන්ට කෙරෙන වෙනස්කම් වලට එරෙහි වෙමින් යති. සවුදි අරාබියේ විවාහ වන අවම වයස අවු. 18කි. එරට ළමා අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතියට වර්ෂ 1996 දී අත්සන් කළ අතර කාන්තාවන්ට කෙරෙන සියළුම ආකාරයේ වෙනස් කම් වලට එරෙහි සම්මුතියට වර්ෂ 2000 දී අත්සන් කරන ලදී. අපේ රටේ එය තවමත් එය සියළුම පුරවැසියන්ට අවු. 18 නොවේ.
එසේ අවම වයසක් අවශ්‍ය වන්නේ දරුවන්ට සිය ළමා කාලය ලබා දිය යුතු නිසාය. කාන්තාවන්ගේ කාර්යය දරුවන් වැදීමට සහ හැදීමට පමණක් සීමා නොවිය යුතු නිසාය. මෙරට එම වයස නීතිමය වශයෙන් සියළු පුරවැසියන්ට ලබා දීමට අප තවමත් අපොහොසත්ව ඇත.
මෙහි ඇති පළමු වගුවේ දක්වා ඇති නිර්ණායක 8ට අදාලව කාන්තාවන් සහ පුරුෂයන් අතර එක් එක් රටවල පවතින නීතිවල සාධනීය බව පිළිබඳව එක් එක් රටවලට ලකුණු දීමේ ක්‍රමයක් කාන්තාව, ව්‍යාපාර සහ නීතිය 2023 යන මාතෘකාව යටතේ ලෝක බැංකුව විසින් සපයා ඇත. මේ පිලිබඳ වාර්තාවේ 2023 වර්ෂය සඳහා විවිධ රටවලට ලකුණු දී තිබේ. පළමු වගුවේ ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු දක්වා තිබේ. මෙම වාර්තාව පුරුෂ මූලික දෘෂ්ටි කෝණයකින් බැහැරව කාන්තාව දෙස සමාන පුරවැසියකු ලෙස බලන ලෙස අපට බලකර සිටී.
සියලු රටවල කරන ලද සමීක්ෂණයක් පදනම් වූ මේ වාර්තාවේ සියලු රටවල් අතරින් ලකුණු සියයෙන් සියයම ලබාගෙන නීතිමය වශයෙන් කාන්තාවන්ට සියලු රැකවරණය ලබා දෙන රටවල් ඇත්තේ 14 කි. ඒවා නම් බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, ප්රංසය, ග්‍රීසිය, අයිස්ලන්තය, ලැට්වියාව, ලක්සම්බර්ග්, පෘතුගාලය, ස්පාඤ්ඤය, ස්වීඩනය, ජර්මනිය සහ නෙදර්ලන්තය වේ.
මෙම වාර්තාවේ රටවල් 190ක් අතරින් ශ්‍රී ලංකාව සිටින්නේ 150 වන ස්ථානයේය. ලබාගෙන ඇති මුළු ලකුණු සියයෙන් 65.6 කි. සවුදි අරාබිය 136 වන ස්ථානයේ සිටින අතර ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව සියයෙන් 71.3 කි. මේ අනුව අප විසින් තව බොහෝ දුරක් ඉදිරියට යා යුතුව තිබේ.
මෙහි විවාහය පිළිබඳව ශ්‍රී ලංකාව ලකුණු සියයෙන් 100ක් ලබාගෙන ඇත. ඒ පිළිබඳව සැලකිලිමත් වී ඇත්තේ කාන්තාවට සිදුවන වෙනස් කම් පිලිබඳවය. ශ්‍රී ලංකාව අඩුවෙන්ම ලකුණු ලබා ගෙන ඇත්තේ දරුවන් ලැබීමෙන් පසු කාන්තාවන් රැකියාවේ නියුක්ත වීම පිලිබඳ නීති සම්බන්ධයෙනි. මේවාට අදාලව සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් අසන ලද ප්‍රශ්ණ දෙවන වගුවේ ඇත.
රජය විසින් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන 2024 මාර්තු 7වන දින නිකුත් කරන ලද පනත් කෙටුම්පත සලකා බැලිය යුත්තේ මේ පසුබිම මතය.
පනතේ ප්‍රධාන කාර්යය වන්නේ කාන්තාවන් පිලිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීමයි. ජාතික කොමිෂන් සභාව 7දෙනෙකු ගෙන් යුක්ත වන අතර එය පත්කරනු ලබන්නේ ව්‍යවස්ථා සභාවේ නිර්දේශ 5කින්ද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් ගේ සංසදයෙන් නිර්දේශ 2කින්ද සමන්විතව ජනාධිපතිවරයා විසිනි.
කාන්තා අයිතිවාසිකම් උල්ලංඝණය වීමට එරෙහිව කටයුතු කිරීමට කොමිසමට බලය ඇති අතර කාන්තා අයිතිවාසිකම් පිළිබඳව සමාජය දැනුවත් කිරීමද කොමිසමේ කාර්යයකි. එමෙන්ම කාන්තා අභිවෘද්ධය සහ සවිබල ගැන්වීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක කෙටුම් පතක් කොමිසම විසින් සකස් කළ යුතු අතර එය අමාත්‍ය මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
කොමිසමේ සේවයේ යෙදෙන්නන් පත් කිරීමේ බලය කොමිසම සතුවන අතර ඔවුන් ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද යෝජනාවක් මගිනි. ඒ සඳහා වන ක්‍රියා පටිපාටිය ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරයකු ඉවත්කිරීමේ පටිපාටියම විය යුතුය. කොමිසමේ විධායක අධ්‍යක්ෂ වරයා අමාත්‍ය වරයාගේ නිර්දේශ මත ජනාධිපති විසින් පත් කළ යුතුය.
අවම වශයෙන් කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයන් තිදෙනෙකු පුර්ණ කාලීන විය යුතුය. කාන්තාවන් සඳහා වූ ජාතික අරමුදල කොමිසම භාරයේ ඇති අතර පාර්ලිමේන්තුවෙන් කොමිසම සඳහා අනුමත්වන මුදල් ඇතුළු සියලු අරමුදල් එම ගිණුමට බැර විය යුතුය. කොමිසමට එහි අතිරික්ත මුදල් ආයෝජනය කළ හැක.
කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දෙන පුද්ගලයකුට අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙන්නෙකුට ලැබෙන රැකවරණයම ලැබේ. කොමිෂන් සභාව විසින් කිකුත් කරනු ලබන සෑම සිතාසියක්ම එහි සභාපතිවරයාගේ අත්සන යටතේ වියයුතුය. කොමිෂන් සභාවේ අධිකාරයට එරෙහිව කරනු ලබන සෑම ක්‍රියාවක්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකාරියට එරෙහිව කරන ලද්දක් සේ සලකනු ලැබේ. කාන්තා අයිතිවාසිකම් උල්ලංඝණය සම්බන්ධයෙන් පළමු පැමිණිල්ල කළ යුත්තේ කොමිසමේ කාර්ය මණ්ඩල සාමාජිකයකු වන කාන්තා අයිතිවාසිකම් සඳහා වන පාර්ලිමේන්තු කොමසාරිස් ටයි.
මේ අනුව මෙම කොමිෂන් සභාව ඉතාමත් බලගතු එකකි. රජයක් විසින් කළ යුතු වන්නේ මෙවැනි කාර්යයන්ය. නියාමනයන්ය. වෙනත් වචන වලින් කිවහොත් ආණ්ඩු කිරීමය. මෙරට බොහෝ දෙනා සිතන පරිදි ව්‍යාපාර නොවේ. එය පුද්ගලික අංශයේ කාර්යයකි.
Published in Colombo Telegraph on 4th April 2024 and on Samabima supplement in Anidda
https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-4-april-2024/
No comments:
Post a Comment