-හර්ෂ ගුණසේන
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් විසින් ලියන ලද මගේ කතාව නැමැති ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදානය පසුගිය මාර්තු 5 වන දින ඔහු ඉගෙන ගත් කොළඹ ආනන්ද මහා විද්‍යාලයයේ කුලරත්න ශාලාවේදී එලි දක්වන ලදී.
පොත්
පිළිගැන්වීම කරන ලද්දේ පළමුව සියළු ආගම්
වල පූජ්‍ය පක්ෂයටද දෙවනුව ඔහුට අතදුන් ගුරුවරුන් ඇතුළු පිරිසටද අවසන
අගමැති ප්‍රධාන දේශපාලනඥයන්ට ද වශයෙනි. මෙය පොතෙහි සඳහන් පරිදි සමස්ත ජීවිතය
පිලිබඳ ඔහුගේ ප්‍රවේශය සිහි ගන්වයි. උත්සවය අවසන පැවති සංග්‍රහය සමන්විත වූයේද
දේශීය රසකැවිලි වර්ග වලිනි.
පොතේ
විස්තරාත්මක පාඨය වනුයේ “සියල්ල දත් කෙනෙකුගේ කතාවක් නොවෙයි. පෘතග්ජන මිනිසකුගේ කතාවක්.” යන්නයි. පෘතග්ජන යන වචනය ඔහු
ගත්තේ බෞද්ධ දර්ශනයෙනි.
මම ඔහුගේ
පාසැල් මිතුරෙක්මි. එමතු නොව 8 වන ශ්‍රේණියේ
සිට පාසැල හැර යන තෙක් ආනන්දයේ ඔහු ගත කළ කාලය තුළ විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාර
යේද ඔහු සමඟ සිටියෙමි. ඔහු නේවාසිකාගාරයේ භාෂාවෙන් ප්‍රසිද්ධ බටර් ගාන්නෙක් ව
සිටියේය. එහි තේරුම ඔහු කිසිවකු සමඟ අමනාප නොවූ බවයි. ඔහු කතා කරන විට ශරීරයට අත
නොතබන අතර අනෙකාගේ කමිසයේ බොත්තම අල්ලා ගෙන කතා කරයි. මෙම ක්‍රියාව මගින් ඔහු සිය
ලෙන්ගතු බව ප්‍රකාශ කරන අතර එය සීමාව නොඉක්මවා ගෞරවාන්විතව කරයි. මෙය අව්‍යාජ ක්‍රියාවකි.
හුදු බටර් ගෑමක් නොවේ.
පොතේ 192
පිටුවේ පුංචි සන්දියේ ගුටිබැට නම්
මාතෘකාවෙන් මෙවැනි සඳහනක් එයි. “මුල් දවස් දෙක තුනේදී පාළුවෙන් පිරිච්ච හුදෙකලා
බවක් දැනුනත්, ටිකෙන් ටික ආනන්දේ පසුබිමට මං හුරුවුණා. මුල් දවස් දෙක තුන තුළදීම
තවත් ළමයෙක් එක්ක ගුටිබැට හුවමාරුවකට මුහුණ දෙන්නට මට සිදුවුණා. ඒ මොකක් මුල් කර
ගෙනද, කවුරුන් එක්කද කියලා දැන් මට මතකයක් නෑ.”
ඒ ළමයා
මම වෙමි. මේබව පොත පිළිබඳව කෙටි විවරණයක්ද සහිතව ඉම්තියාස් වෙත ලියා යැවූ විට ඔහු
මට කතා කර සිනාසෙමින් ගහපු එකා අහුවුණා යැයි කීය. මටද එහි හේතුව මතක නැත. නමුත්
මුළු පොත පුරාම එනම් ඔහුගේ මුළු ජීවිතය පුරාම මෙවැනි සිද්ධියකට ඔහු මුහුණ දුන් එකම
අවස්ථාව මෙයයි. ඒ පිළිබඳව මට කණගාටුවක් තිබේ.
නේවාසිකාගාරයේ
සිටියදී මම ඔහුට ප්‍රතිවිරුද්ධ වාමාංශික අදහස් දැරුවෙමි. වරක් ඔහු මා කැඳවාගෙන පැරණි සිරිකොතට ගියේය. එවකට 1970
සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව පැමිණ
විපක්ෂයේ සිටි ඩඩ්ලි සේනානායක සහ ජේ ආර් ජයවර්ධන අතර අර්බුදයක් ඇතිව තිබූ සමයයි.
ඔහු ඩඩ්ලි මුලසුනේ ද ඊරියගොල්ල වැන්නවුන්
ප්‍රේක්ෂකයන් ලෙසද තබාගෙන බරපතල ලෙස ජේ. ආර්. විවේචනය කරමින් ප්‍රහාරාත්මක කථාවක්
කළේය. එම කථාවට එතැන සිටි සියල්ලන්ගේම ප්‍රසාදය හිමිවූ බව පෙනෙන්නට තිබුණි. ඒ
යුගයේ තමා ජේ.ආර්. ට විරුද්ධ වූ බව සිය
කෘතියේද ඔහු පැහැදිලිව සඳහන් කරයි. පසුව ජේ. ආර්. ට විරුද්ධවූ ඩඩ්ලිට පක්ෂවූ සමහරු
ඩඩ්ලි පෙරමුණ නම් පක්ෂයක් පිහිටුවා ගනිද්දී ඔහු පක්ෂය හැර නොගියේය.
ඔහු සිය
පොතේ දිස්ත්‍රික් සභා ඡන්දය ගැන සඳහන් කරයි. (178 පිට) මෙහිදී ලලිත් ඇතුලත්මුදලි
විසින් කළුතර පක්ෂ කණ්ඩායම මෙහෙයවීමට ඔහුට ආරාධනය කළ අතර ඔහු එය පිළිගෙන සංවිධාන
කටයුතු කරගෙන යද්දී ඔහු ලයිස්තුවේ 5 වන තැනට පත්කර තිබුණි. මෙයින් කළකිරුණ ඔහු පක්ෂ
නායකත්වය අමතා තමා අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත්වන බවත් එනමුත් පක්ෂයට දිගටම සහාය දෙන
බවත් සඳහන් කර ලිපියක් බාර දුන්නේය. පක්ෂ
නායක ජේ. ආර්. ජයවර්ධන හමුවන ලෙස පසුදින උදයේම පක්ෂ කාර්යාලය විසින් ඔහුට දැනුම්
දෙන ලදී.
එහිදී
නායකයා හමුවීමට යන අතරතුර ඔහුට හමුවූ
ලලිත් ඇතුලත්මුදලි ගේ විත්ති වාචකය වුයේ
මෙයයි. “ඉම්තියාස් මාව තේරුම් ගන්න. මට වචනය වෙනස් කිරීමට සිදුවුණා. කළුතර දිස්ත්‍රික්කයේ
මුස්ලිම්වරු ඉන්නේ සියයට අටයි.” ජේ. ආර්.
ජයවර්ධනගේ තීන්දුව මෙසේ විය.”ඔහු අපේ කථානායක වරයාගේ පුතා නිසා නොවෙයි. ඔහු
මුස්ලිම් කෙනෙකු නිසා නොවෙයි. ඔහු පක්ෂය වෙනුවෙන් සිදුකළ මෙහෙවර අප පිළිගැන්මට ලක්
කළ යුතුයි. ඉම්තියාස් දෙවන ස්ථානයට දාන්න.”
ජේ. ආර්.
ගේ තීන්දුව ඉම්තියාස් ගේ අතීත ක්‍රියා කලාපය එනම් පෙර මොහු මට විරුද්ධව වැඩ කළා
යන්න නොසලකා පක්ෂය වෙනුවෙන් සිදුකළ මෙහෙවර වෙනුවෙන් ගත් තීන්දුවක් විය. ලංකාවේ බොහෝ
දේශපාලනඥයන් තීන්දු ගන්නේ පක්ෂය වෙනුවෙන් නම් පක්ෂයේ අභිප්‍රායයන්ට වඩා පුද්ගලික
අභිප්‍රායයන්ට මුල්තැන දෙමින්ද තීන්දු ගන්නේ රට වෙනුවෙන් නම් රටේ අභිප්‍රායයන්ට
වඩා පක්ෂයේ අභිප්‍රායයන්ට මුල්තැන දෙමින්ද වේ. ඔවුහු එතරම්ම පටු අදහස් ඇති
පුද්ගලයෝ වෙති. ජේ. ආර්. මෙහිදී මෙම තත්ත්වයෙන් විතැන් වෙයි.
ලලිත් ගේ
විත්ති වාචකය ඔහුගේ ඔහු නොදත් ජාතිවාදී ස්ථාවරය විශද කරන අතර එය ශ්‍රී ලංකාවේ ඛේදවාචකය ද වෙයි. එවකට තිබූ ආණ්ඩුවේ සිටි බුද්ධිමතකුද දක්ෂයකුද වූ
ඔහුගේ වෙළෙඳ ප්‍රතිපත්තිය සහ මහපොළ වැනි ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ ආර්ථික
දිශානතිය වෙනස් කිරීමට සහ වර්ධනය කිරීමට දායක වූ අතර ඔහුගේ සහ එවකට තිබු ආණ්ඩුවේ
හමුදා බලයට මුසුවූ ජාතිවාදී ස්ථාවරය යුද්ධයට පෙර සහ යුද්ධය සමයේ රටේ අවගමනයට හේතු විය.
එය ශ්‍රී
ලංකාවේ ඛේදවාචකය වන්නේ මක් නිසාද? මුස්ලිම් වරුන්ට තැන ලැබෙන්නේ 8% සීමාව තුළ පමණක් වන නිසාය. යාපනයේ
දෙමළ ශිෂ්‍යයන්ට සරසවි පිවිසුම කලකට පෙර ලැබුණේ ඔවුන්ගේ කෝටා එක අනුව පමණක් වූ
නිසාය. කුල භේදය තදින් බලපවත්නා සහ ජාතිභේදය ,මත හිංසාකාරී කෝලාහල ඇතිවූ ඉන්දියාවේ
විවිධ ජනවර්ගවලට විවිධ ආගම් වලට සහ විවිධ කුල වලට අයත් පිරිමිද ගැහැණුද කෝටාවෙන්
තොරව රටේ ජනාධිපති සහ අගමැති ධුර වලට
පත්වන නමුත් ශ්‍රී ලංකාවේ එසේ නොවන නිසාය.
ශ්‍රී ලංකාවේ ජනාධිපති හෝ අගමැති හෝ ධුරයට සිංහල බෞද්ධ ගොවිගම නොවන
පුද්ගලයෙක් පත්වී ඇත්තේ එක වතාවක් පමණක් වන නිසාය. එය උප්පත්තිය අනුව දේවල් තීරණය
කරණ සහ දක්ෂයන්ට තැන නොදෙන ක්‍රමයක් වන
නිසාය. එමෙන්ම එය ඉම්තියාස් විසින් ඔහුගේ
පොත පුරාම පෙන්නුම් කරන ලද සහ එලි දැක්වීමේ උත්සවය දා ඔහුගේ කථාවේ අප
සියළුම දෙනා එකමුතුව නොසිටිය හොත් විනාශය කරා යනු ඇතැයි කරන ලද අවධාරණයට පටහැනි වන
නිසාය.
ගාමිණී
දිසානායක සහ රනිල් වික්‍රමසිංහ අතර තිබූ පක්ෂ නායකත්වය පිලිබඳ තරඟයේදී ඔහු විවෘතවම
රනිල් වික්‍රමසිංහට සහය දුන් බවද එය නොතකා
ගාමිණී දිසානායක සිය ජයග්‍රහණයෙන්
පසු ඉම්තියාස්ට කළුතර දිස්ත්‍රික්
නායකත්වය භාර දුන් බවද පොතේ සඳහන් වේ. පසුව රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයට පත්වූ
පසුව ඔහු සමඟ මත ගැටුමක් ඇතිවූ බවද තමා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තුන්
වතාවක් නෙරපූ බවද ඉම්තියාස් සිය පොතේ
සඳහන් කරයි.
මෙම මත
ගැටුමට හේතු වශයෙන් පොතේ සඳහන් වන්නේ ආර්ථික අතින් අන්ත දක්ෂිණාංශික පිළිවෙතකට
යොමු වීම සහ නොබැඳි පිළිවෙතින් ඈත් වීමයි. අන්ත දක්ෂිණාංශික පිළිවෙතකට යොමුවීම
පිළිබඳව උදාහරණ ඔහු නොසපයන අතර නොබැඳි පිළිවෙතින් ඈත්වීම ගැන උදාහරණ වශයෙන් ඔහු
සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය වූ පලස්තීන ජනතාවගේ නිදහස් සටනට සහාය
දැක්වීමෙන් විතැන් වීම සහ ඇමෙරිකාව ඉරාකය සම්බන්ධයෙන් ගත් ආක්‍රමණකාරී ප්‍රතිපත්තියට
සහාය දැක්වීමයි. මේ උදාහරණ පිළිබඳව මම ඔහු සමඟ එකඟ වෙමි.
එනමුත් ජේ
ආර්. ජයවර්ධනද ඊශ්රාලය සමඟ සම්බන්ධතා ඇති කර ගත්තේය.
ඊශ්රාලය වර්ගවාදී (apartheid) රාජ්‍යයකි.
ඔවුන්ගේ වර්ගවාදී ස්වභාවයද, පලස්තීන
ජාතිකයන් බලයෙන් සිය වාසස්ථාන වලින් පලවා හරින රාජ්‍ය ප්‍රතිපත්තියද පලස්තීන රාජ්‍යය
තුළ ඊශ්රායල් හමුදා රැඳවීම ද ගාසා හි දැනට කෙරෙන වර්ග සංහාරය ද හමාස්, හිස්බුල්ලා
සහ හූති සටන්කාමීන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාද අපවිසින් හෙළා දැකිය යුතුය යි මම සිතමි. රනිල් වික්‍රමසිංහ පසුගියදා
නොබැඳි සමුළුවේදී කථා කරමින් සමුළුව විසින් ගාසා සංහාරය හෙළා දැකිය යුතු බවද
පලස්තීන රාජ්‍යය ඉදිරි අවුරුදු 5 ඇතුළත
පිහිටුවිය යුතු බවද කීය. එමෙන්ම රතු මුහුදේ හූති සටන්කාමීන් ගේ ක්‍රියා නිසා ශ්‍රී
ලංකාවේ ආර්ථිකයට වන බලපෑම හේතුවෙන් එයට එරෙහිව නාවික හමුදා සහාය දීමටද ඔහු කටයුතු කර තිබේ.
ඉම්තියාස්
ගේ පොතේ නොයෙක් තැන්වල ඉතා කුඩා සිද්ධීන් සහ ඒවාට මුහුණ දුන් සාමාන්‍ය මිනිසුන්ගේ
නම් ගම් සහිතව විශේෂයෙන්ම ඉම්තියාස්
විසින් ඔවුන් ඇමතූ හෘදයංගම ආකාරයටම දක්වා තිබේ. මෙහිදී රඩ්යාඩ් කිප්ලිං ගේ කවක
පදයක් මට සිහිවිය. “If you can talk with
crowds and keep your virtue, or walk with Kings nor
lose the common touch,-----you will be a Man, my son.”
“නුඹට ජනතාව සමඟ ගැවසෙමින් නුඹගේ ගුණධර්ම ආරක්ෂා කර ගත හැකිනම් සහ රජුන් සමඟ
ගමන් කරමින්ම සාමාන්‍ය මිනිසුන් සමඟ සම්බන්ධතාව පවත්වාගත හැකිනම්, මා පුත, නුඹ
මිනිසෙක් වන්නේය.”
ඉම්තියාස් බාකීර් මාකාර් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම එම නිර්වචනයට සුදුසු
පුද්ගලයෙකි. මේ පොත දේශපාලනඥයන් විසින් ද ජනතාව විසින්ද කියැවිය යුතු පොතකැයි
මම සිතමි.
No comments:
Post a Comment