පසුගිය නොවැම්බර් 30 වන දින සිට ශ්‍රී ලංකා රුපියල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව අධි ප්‍රමාණය වෙමින් තිබේ. නොවැම්බර් මස 30 වන දින ඩොලරයක මිල රුපියල් 329 ක් වූ අතර මාර්තු 21 වන දින එම අගය රුපියල් 304 කි. මෙම කාලය තිස්සේ අගය අඩුවෙමින් පවතී ඩොලරය මාර්තු 21 වන දින තරමක් අගය වැඩි වන ස්වභාවයක් පෙන්නුම් කර තිබේ. ශ්‍රී ලංකාව මෙම තත්ත්වය එනම් ඩොලරයේ අගය දිගින් දිගටම අඩුවීම අත්විඳින්නේ දෙවන වතාවටයි.
කාලාන්තරයක් මුළුල්ලේ ඩොලරයේ අගය රුපියල් වලින් අනුක්‍රමයෙන් වැඩිවිය. ආර්ථික අර්බුදය සමයේ ඉතා කෙටි කලක් තුළ 2022 මාර්තු 7 සිට 2022 මැයි 13 වන විට ඩොලරයේ අගය රු.202 සිට රු. 369 දක්වා වැඩි විය. ඉතිහාසයේ පළමු වතාවට ඩොලරයේ අගය අඩුවීමට පටන්ගත්තේ 2023 පෙබරවාරි 26 සිට 2023 ජුනි 8 දක්වා රු. 364 රු.290 දක්වා අඩු වීමෙනි. මෙය ආර්ථික අර්බුදය සමයේ විශාල අගයකට ඉහල නැගී ඩොලරය සමපේක්ෂණ ප්‍රවණතාවන් අඩුවී සාමාන්‍ය තත්ත්වයට පත්වීමේ ප්‍රතිඵලයකි.
පවතින තත්ත්වය ආර්ථිකය හොඳ අතට හැරීමක් ලෙස විවිධ අර්ථකතන තිබේ. එහි සත්‍යයක් තිබේ. මහ බැංකු වාර්තා අනුව 2023 වර්ෂය තුල ගෙවුම් ශේෂයේ ප්‍රධාන සංඝටකය වන ජංගම ගිණුමේ අතිරික්තයක් තිබේ. ජංගම ගිණුම සමන්විත වන්නේ වෙළෙඳ ශේෂය එනම් ආනයන වියදම සහ අපනයන ආදායම අතර පරතරය, විදේශ ශ්‍රමිකයන් විසින් එවන ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම් වැනි සේවා අදායම් වලිනි. මෙම කාලය තුළ සුපුරුදු පරිදි ආනයන වියදම අපනයන ආදායම ඉක්මවා ගිය අතර ඒ අනුව වෙළෙඳ ශේෂය හිඟයක් විය (එක්සත් ජනපද ඩොලර් බිලියන -4.9). නමුත් විදේශ ශ්‍රමිකයන් විසින් එවන ප්‍රේෂණ (ඩොලර් බිලියන 6) සහ සංචාරක ව්‍යාපාරය වැනි සේවා ආදායම් (ඩොලර් බිලියන 2.1) විශාල ලෙස වර්ධනය වූ බැවින් ජංගම ගිණුමේ අතිරික්තයක් පෙන්නුම් කිරීමට අප සමත් වී තිබේ. මෙම අතිරික්තය 1977 වර්ෂයට පසුව එන ජංගම ගිණුමේ එකම අතිරික්තයයි. මුල්‍ය ගිණුමේ එතරම් ප්‍රගතියක් පෙන්නුම් නොකළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරික ණය සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහ ලෝක බැංකුවේ ණය ද ලැබී තිබේ. එමෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළේ සහ ආණ්ඩුවේ සුරැකුම්පත් වල කෙරෙන විදෙස් ආයෝජනයන් හි ශුද්ධ ලැබීමක් 2023 වසර තුළ පෙන්නුම් කරයි. මේවා ආර්ථිකය වර්ධනය වීමේ ධනාත්මක ලක්ෂණ වේ. අනෙක් කාරණාව වන්නේ අනයනික භාණ්ඩ වල පරිභෝජනය රටේ පවතින තත්ත්වය අනුව අඩුවීමට ඇති ඉඩ ප්රස්තාවයි. මෙය ආනයන වියදම අඩුවීමට හේතුවේ.
ප්‍රස්ථාරය – විනිමය අනුපාතික චලිතය – ඇමරිකානු ඩොලර් සඳහා රුපියල්
මේ අනුව විදේශ මුදල් හෙවත් ඩොලර් පිටට යන ප්‍රමාණයට වඩා ලැබෙමින් තිබෙන බැවින් වෙළෙඳ පොළේ ඩොලර් අතිරික්තයක් තිබේ. මේ අනුව ඩොලරයක මිල අනුක්‍රමයෙන් අඩු වෙමින් යයි. මහ බැංකුව මෙම අඩුවීමේ සීග්‍රතාව පාලනය කරනු වස් වෙළෙඳපොළෙන් රුපියල් වැයකර ඩොලර් මිලදී ගනිමින් සිටියි. මේ අනුව 2023 වර්ෂය අවසානයේ මහ බැංකුව විදේශ සංචිත ඩොලර් බිලියන 4.4 ක් දක්වා වැඩි කරගෙන ඇත. මේ තුළ වෙළෙඳ පොළෙන් ශුද්ධ ඩොලර් මිලදී ගැනුම් ඩොලර් බිලියන 1.7 කි.
විනිමය අනුපාතය පහළ යාමේ හේතුව එයයි. නමුත් මෙය සමස්ත චිත්‍රය නොවේ. මක්නිසාද යත් දැනට ආනයන පාලනයක් තිබේ. වාහන වැනි සමහර දෑ ආනයනය කිරීමේ තහනමක් පවතී. එමෙන්ම අපනයනකරුවන් ඔවුන්ට ලැබෙන විදේශ මුදල් වහාම රුපියල් බවට පත්කිරීමේ මහා බැංකුව මගින් පනවන ලද නීතිය තවමත් වලංගුය. තවමත් විදේශ ණය සම්පුර්ණයෙන් ගෙවීම ආරම්භ කර නැත. එබැවින් දැන් වෙළෙඳ පොළේ පවතින ඩොලර් අතිරික්තය ස්වභාවික නොවන අතර වෙළෙඳපොළේ සියළු සංඝටකයන් වෙළෙඳපොළට තවමත් ඇතුළත්ව නැත. එම සංඝටක සියල්ලම නැවතත් වෙළෙඳපොළට පැමිණි විට මේ පහළ යන විනිමය අනුපාතය නැවතත් ඉහල යාමට ඉඩ තිබේ.
ශ්‍රී ලංකාව පාරිභෝගික භාණ්ඩද අතරමැදි භාණ්ඩ ද ආයෝජන භාණ්ඩ ද ආනයනය කරන අතර විශේෂයෙන්ම පාරිභෝගික භාණ්ඩ වල මිල ඩොලරයේ අගය අඩුවූ ප්‍රමාණයට මිල අඩුවී නැත. අතරමැදි භාණ්ඩයක් වන තෙල් මිලද ඒ ප්‍රමාණයට අඩුවී නැත. මේ දිනවල ජාත්‍යන්තර වෙළෙඳ පොළේ තෙල් මිල තරමක් ඉහල යාම එයට හේතුවක් විය හැක. එමෙන්ම ජනවාරි සිට වැට් බද්ද වැඩි වීමද එක හේතුවකි.
මෙහි ඇති බරපතල කාරණය මෙයයි. මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම් අප විසින් භාණ්ඩ සහ සේවා අපනයනය වැඩි කළ යුතුය. එනම් අපනයන ප්‍රවර්ධනය කළ යුතුය. අපනයනකරුවන් විදේශ වෙළෙඳ පොළ වලට භාණ්ඩ හෝ සේවා හෝ විකිණීමේදී ඒවායේ මිල තීරණය වන්නේ හුදු ඒවා නිපදවීමට වියදම් වන මුදල සහ ලාභ ආන්තිකය මත පමණක් නොව ජාත්‍යන්තර වෙළෙඳ පොළේ අපහේ තරඟකරුවන් ඉදිරිපත් කරන මිල ගණන් ද මතය. අපගේ තරඟ කරුවන් වන්නේ ඉන්දියාව, තායිලන්තය, බංග්ලාදේශය, වියට්නාමය, ඉන්දුනීසියාව වැනි රටවල්ය. එම රටවල විනිමය අනුපාතය අපගේ මෙන් අනුක්‍රමයෙන් අඩුවන තත්ත්වයක් නොමැති බැවින් ජාත්‍යන්තර මිල ගණන් ඉහල යන තත්ත්වයක් නොමැත.
පොලි අනුපාතද පහත වැටී තිබේ. එමෙන්ම දැන් උද්ධමනය ඉතාම අඩු අගයක් ගත්තත් අධි උද්ධමනය යුගයේ වැඩිවූ දේශීය මිල ගණන් වල අඩුවීමත් දක්නට නොමැත. වැඩිවූ VATබද්ද නිසා භාණ්ඩ මිල තවත් වැඩිවී ඇත. VAT ලියාපදිංචි ආයතන වලින් මිලදී ගන්නේ නම් අපනයන ව්‍යාපාරිකයන්ට VAT බද්ද වියදමක් නොවේ. එය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ආපසු ගෙවන ලෙස ඉල්ලා සිටිය හැකි බැවිනි.
මේ තත්ත්වය තුළ යම් හෙයකින් ඩොලරයේ අගය රු.280 වැනි මට්ටමකට පැමිණිය හොත් සියලු අපනයන ව්‍යාපාර පාඩු ලබන තත්ත්වයකට පැමිණිය හැක.
2022 වසරේ එක්වරම රුපියල අව ප්‍රමාණ වූ විට එනම් ඩොලරයක රුපියල් අගය 360 දක්වා වැඩිවූ යුගයේ අපනයන ව්‍යාපාරිකයන් විදේශ විනිමය ලාභ ලැබූහ. එවකට තිබුණ දැඩි උද්ධමනය හමුවේ සහ ඉහල පොලි අනුපාත යටතේ දේශීය පිරිවැය ඉහල යාමට එය සහනයක් විය. පසුව මෙම තත්ත්වය ලිහිල් වූ විට 2023 ජුනි මාසයේදී ඩොලරය රු.290දක්වා අඩුවිය. එය ඉතාම කෙටි කලකින් රු. 309 දක්වා ඉහල නැංගේය.
සංචාරක ව්‍යාපාරයේ පිරිවැටුම වැඩි සංචාරකයන් පිරිසක් පැමිණීම නිසා අනුක්‍රමයෙන් ඉහලයන තත්ත්වයක් තිබුනත් ඩොලරයේ අගය අඩුවීම නිසා ඔවුන්ගේ ලාභ අන්තිකයේ අඩුවීමක් තිබේ. විදේශ ප්‍රේෂණ එවන්නන්ටද ලැබෙන්නේ අඩු රුපියල් ප්‍රමාණයකි.
මෙම ක්ෂේත්‍රයට අවධානය යොමු කල යුත්තේ අප රට වැටී ඇති තත්ත්වයෙන් දීර්ඝ කාලීනව ගොඩ ගැනීම සඳහා කළ යුතු ප්‍රශස්තම ප්‍රතිකර්මය සංචාරක ව්‍යාපාරය වැනි සේවා ඇතුළු අපනයන වර්ධනය කිරීමයි. එබැවින් ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය රුපියල overvalue වන මට්ටමට වඩා ඉහළින් තිබෙන්නේ නම් ප්‍රශස්තය.
මෙම තත්ත්වය රටේ සමස්ත නිෂ්පාදනය වැඩිවූ තත්ත්වයක් තුළ ඇති වන්නේ නම් එය ස්වාභාවිකය. නමුත් මෙම තත්ත්වය එනම් ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය අඩු වීම හෙවත් රුපියලේ අගය වැඩිවීම තාවකාලික තත්ත්වයකි. ඉදිරියේදී ආනයන තවදුරටත් ලිහිල් වී මුළු ණය ගෙවන තත්ත්වයට පත්වූ විට මේ තත්ත්වය එනම් ඩොලරයට ගෙවන රුපියලේ අගය නැවත වැඩිවිය හැක.
මෙම කාරණය එනම් වර්තමානයේ ඇති ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන ස්වභාවය මායාවක් බවත් එය නැවතත් අගාධයට වැටෙන බවත් කියැවෙන කථා හුදු ප්රලාපයන්ය. එසේ විය හැක්කේ අප වැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළහොත් පමණි. සංචාරක ව්‍යාපාරයේ වර්ධනය සහ විදේශ ප්‍රේෂණ වැඩිවීම යථාර්තයකි. ඒවා අනාගතයේදී අඩු වැඩි විය හැක. නමුත් ඒවා ඇස්බැන්දුම් නොවේ. සංචාරක ව්‍යාපාරය සඳහා ආණ්ඩුව විශාල බරක් තබා ක්‍රියාකරනු පෙනෙන්නට තිබේ. රටේ නිෂ්පාදනය නැංවීමට වඩා කෙටි කාලීනව මෙය ක්‍රියාත්මක කළ හැකි දෙයකි.
ආර්ථික කළමනාකරණය යනු තුලනය කිරීමේ හෙවත් balancing වැඩකි. කිසි ප්‍රතිපත්තියක අන්තයට ගිය නොහැක.
Published in Colombo Telegraph on 21st march 2024
https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-21-march-2024/
No comments:
Post a Comment