Sunday, August 25, 2019

ඒකාධිපතිවාදය පරාජය කිරීම වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය දිනවීමේ අභියෝගය

වර්ෂ 2015 ජනාධිපතිවරණයේදී සිවිල් සමාජය විසින් සාධනීය කාර්යභාරයක් ඉෂ්ට කරන ලද අතර ජනාධිපතිවරණ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සුවිශේෂී විප්ලවකාරී අවස්ථාවකි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනද යුද ජයග්‍රහණයේ උන්නතිකාමයද යොදාගනිමින් එවකට පවත්වාගෙන ගියේ හිට්ලර්ගේ මුල් යුගයේ මෙන් ජනතා අනුමැතිය සහිත ඒකාධිපතිත්වයකි.

මැතිවරණ ප්‍රතිඵල පිටවන අවස්ථාවේදී එවකට තිබූ පාලනය විසින් මාරුවන ආණ්ඩු බලය බලහත්කාරයෙන් රැක ගැනීමේ වෑයමක් තිබුණ අතර එවකට සිටි ප්‍රධාන රජයේ නිලධාරීන්ගේ බලපෑම මත සහ අවසන් මොහොතේදී වර්තමාන අගමැතිවරයා මැදහත්විම මත සිදුවීමට ගිය විනාශය වළක්වා ගන්නා ලදී. එම අවස්ථාවේදී ජයග්‍රාහී ජනාධිපති අපේක්ෂකයා සිටියේ කුරුණෑගල පොල් වත්තක සැඟවීය. පැවති ප්‍රජාතන්ත්‍රවාදයේ ආශ්චර්යය එම සිදුවීමෙන්ම පෙනේ. හිටපු ජනාධිපතිවරයාට පිටත්ව යාමට හෙලිකොප්ටර් යානයක් සපයාදීම පිළිබඳව ප්‍රශ්න කළ එක් අවස්ථාවකදී වර්තමාන අගමැතිවරයා ප්‍රශ්නයට උත්තර නොදී අපට ජනාධිපති ධුරය ලැබුන බව කියා සිටියේය. ඒ අවස්ථාවේදී ගනුදෙනුවක් සිදුවූ බවට එම ප්‍රකාශය සාක්ෂියකි. ජිනී ෂාප් සියිඒකාධිපතිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට’ නැමැති කෘතියේ සාකච්ඡාව පිළිබඳව මෙසේ කියයි. “මෙවැනි ගැටුම්වලදී සාකච්ඡාවේ උචිත කාර්ය භාරය වනු ඇත්තේ තීරණාත්මක අරගලය අවසානයේදී නිශ්චිත ලෙස ඒකාධිපතීන්ගේ බලය විනාශ කළ පසු ජාත්‍යන්තර ගුවන් තොටුපළක් කරා නිරුපද්‍රිතව යාමට ඔවුන්ට පහසුකම් සැලසීමයි.”

ශ්‍රී ලංකාව නිදහස ලබාගත්තේ ලේ හැලීම්වලින් තොරවය. ඉන්දියානු නිදහස් අරගලයේදී මෙන් පාරට බැස විරෝධතා දැක්වීමේ ක්‍රමයක් හෝ කැරලි ගැසීමේ ක්‍රමයක් හෝ අප විසින් අනුගමනය නොකරන ලදී. එනමුත් විදේශ ආක්‍රමණිකයන්ට එරෙහිව සිංහල රජවරුන් විසින් කෙරුණු යුද්ධ හැරුණු විට ඔවුන්ට එරෙහිව ජනතා උද්ඝෝෂණ සහ කැරලි විශාල ප්‍රමාණයක් ලන්දේසි යුගයේ අවසානයේ සිට බි්‍රතාන්‍ය යුගයේ 1848 දක්වා ඇතිවී තිබේ. විසිවන සියවසේ අපට නිදහස ලැබුනේ සාකච්ඡා මාර්ගයෙනි. එබැවින් සටන්කාමී අරගලයක් තුළ රටේ සියලු‍ ජන කොටස් එක්රැස් කිරීමට අපට අවස්ථාවක් නොමැති විය. ඒ හේතුවෙන් අවශ්‍ය අවස්ථාවේදී නොව අනවශ්‍ය අවස්ථාවලදී ලේ හැලීමට අපට සිදුවිය.

ප්‍රජාතන්ත්‍රවාදයද අපට ලැබුනේ නිදහස සමඟමය. ඊට පෙරද බි්‍රතාන්‍ය පාලන යුගයේදී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් භුක්තිවිඳ ඇත්තෙමු. ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීමට ගිය අවස්ථාවේදීද එය බේරා ගනු ලැබුවේ අරගලයකින් නොවේ. ඡන්දයෙනි. එබැවින් ලැබුන ප්‍රජාතන්ත්‍ර නිදහසේද අගයක් අපට නොතිබුණි. ඉහත සඳහන් කළ ජිනී ෂාප්ගේ කෘතියේදී ඒකාධිපතිත්වයන්ට එරෙහි ප්‍රචණ්ඩකාරී නොවන අරගලයේදී අරගලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමෙන් අරගලය අවසානයේදී නැවත ඒකාධිපතිත්වයක් ඇතිවීමේ අනතුර අවම කර ගත හැකි වන බව ඔහු පෙන්වා දෙයි. මේ අනුව නිකම් ලැබුන ප්‍රජාතන්ත්‍රවාදී නිදහසෙන් අපි හෙම්බත්ව සිටිමු. රාජ්‍ය සේවකයන්ද වැඩ කරන්නේ රණසිංහ ප්‍රේමදාසගේ හෝ මහින්ද රාජපක්ෂගේ හෝ වැනි නියෝග ලැබුන විට පමණි.

නිදහසෙන් පසු ලංකාව පාලනය කර ඇත්තේ පවුල් කිහිපයක් මගින් පමණි. එකිනෙකාගේ පාලන කාල තුළදී සිදුවූ වැරදි සහ දූෂණ වසා ගැනීමේ සම්ප්‍රදායක් මෙරට පවතී. එම වැරදි සහ දූෂණවලට මිනීමැරුම්ද පසුගිය යුගයේ එකතුවිනි. ශ්‍රී ලංකා පොලිසියේ දක්ෂ නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය මොට කර දමා ඇත. වැරදි සහ දූෂණයට ගැසුවත් අඩුම තරමේ එයට හිලව්වක් වශයෙන් රටේ නොවිසිඳී ඇති ජාතික ප්‍රශ්නය සහ ආණ්ඩුක්‍රම ව්‍යුහය වැනි ඉතාමත්ම තීරණාත්මක ප්‍රශ්නවලට සාකච්ඡා කර විසඳුමක් ලබා ගත හැකි වී නම් එයද ගනුදෙනුවකි. ගනුදෙනුවේ ප්‍රතිඵලයක් වශයෙන් ජනාධිපති පදවිය පමණක් ලැබීම ප්‍රමාණවත් නොවේ. එය දිනා ගත් දෙයකි. මිනීමැරුම් කිසිම ගනුදෙනුවක ප්‍රස්තුත කාරණය විය නොහැක.

ඊළඟ ජනාධිපතිවරණය එන්නේ මෙම පසුබිම තුළය. ඊළඟ ජනාධිපතිවරයාට වර්තමාන ජනාධිපතිවරයා තරම් බලතල නොමැත. ඔහුට අමාත්‍යංශ තබාගත නොහැක. වර්තමාන ජනාධිපතිවරයාට හිටපු ජනාධිපතිවරයා තරම් බලතල නොමැත. වර්තමාන ජනාධිපතිවරයා තමන්ට යම් බලයක් තිබෙන බව පෙන්වාගෙන සිටින්නේ නීති විරෝධීව කටයුතු කිරීම මගින් සහ එයට එරෙහිව ආණ්ඩුව ප්‍රතික්‍රියා නොකිරීම මගිනි. ඊළඟ ජනාධිපතිවරයාට කළ හැකි දේවල සීමාවන් තිබේ. නිශ්චිත පාර්ලිමේන්තු බලයක් සහිත ගෙම්බන් රහිත ආණ්ඩුවක බලය අගමැති වටා සංකේන්ද්‍රණය වනු ඇත.

ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව ඇත. ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය පිළිබඳව නිශ්චිත යමක් ප්‍රකාශ වී නොමැත. ඔහු තෝරා ගැනුනේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙළකට නොව පවුලේ නායකයාගේ නම් කිරීම මතය. ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙළට තෝරා ගැනුනත් ඔහුට වැඩි ඡන්ද ලැබෙන්නට ඉඩ තිබුණි. ශ්‍රී ලංකාවේ පවුල්වාදය එවැනිය. ප්‍රශ්නය වන්නේ ඔහුගේ අතීත චර්යාව සහ මිලිටරි සම්භවයයි. එය ඉදිරියට ගෙන යන ලකුණු පෙනෙන්නට තිබේ. මෙම “විනයට” විනය නොපිළිපදින බොහෝ දෙනෙක් කැමති වන්නේ කකුළුවන් හැලියේ දිය කෙළින්නාක් මෙනි.

සජිත් ප්‍රේමදාසට තවමත් සිය පක්ෂයේ අනුමැතිය නොලැබී ඇතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියයි. ඔහුගේ දැක්ම ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයාගේ දැක්ම මෙන්ම පටුය. ජනතාවගේ දැක්ම ද පටු බැවින් මේ දෙදෙනාගෙන් කෙනෙකු පත්විය හැක. කෙසේ වෙතත් වර්තමාන ව්‍යවස්ථාව අනුව රටේ අනාගතය පිළිබඳ දැක්මක් තිබිය යුත්තේ අගමැතිවරයාටයි. ජනාධිපතිවරයාගේ කාර්ය ගෝඨාභයට හෝ සජිත්ට හෝ පහසුවෙන් කළ හැක.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රශ්නය පෙනෙන අන්දමට ඔහුගේ පක්ෂයේ නායකත්වයයි. සිරිසේනද කුණු කූඩයට යාමට සූදානම් වන්නේ ජනාධිපතිකමට ඉහළින් පක්ෂ නායකත්වය තැබූ නිසාය. අවාසනාවකට මෙන් එක්සත් ජාතික පක්ෂයේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද අයෙකු ජනාධිපති වුවහොත් ඔහුට පක්ෂ නායකත්වය ලැබේ. ජනාධිපතිගේ බලතල අඩු කරන විට වැඩවසම් පක්ෂවලද ව්‍යවස්ථා වෙනස් කළේ නම් වඩාත් සුදුසුය.

ජවිපෙ නායකයාද මෙවර මැතිවරණයට ඉදිරිපත් වන අතර ස්වාධීන අපේක්ෂකයන් කිහිප දෙනෙක් ද ඉදිරිපත් වීමට නියමිතයි. මෙයට අමතරව ඡන්දය අවලංගු කිරීම මගින් ක්‍රමයට විරෝධතාව ප්‍රකාශකිරීමේ ප්‍රයත්නයක් ද තිබේ. එබැවින් මෙවර ජනාධිපතිවරණය පසුගිය වතාවේ මෙන් දෙපිලක් අතර කෙරෙන සටනක් නොවේ. බොහෝ පිරිස් අතර කෙරෙන සටනකි. එබැවින් සිවිල් සංවිධානවල කාර්යභාරය ව්‍යාකූල වී ඇත. මෙය තවත් ව්‍යාකූල වන්නේ ජනතාවද ඉඳහිට වැරදි තීන්දු ගන්නා නිසාය. බි්‍රතාන්‍ය ජනතාවගේ Brexit තීන්දුව එවැනි එකකි.

වර්ෂ 2015 දී තත්ත්වය සරල විය. පටු විය. එබැවින් තේරීම පහසු විය. දැන් තත්ත්වය සංකීර්ණය. පළල්ය. ප්‍රශ්නය සංකීර්ණ වන විට නිවැරදි පිළිතුරේ නිර්මාණශිලිත්වය වැඩිය. එබැවින් මේ අවස්ථාවේදී සිවිල් සමාජයට නිර්මාණශීලි පිළිතුරක් දීමේ හැකියාව තිබේ.

530 වැනි සමබිම ඉරිදා අතිරේකය සඳහා හර්ෂ ගුණසේන විසින් ලියන ලද ලිපියකි. 

No comments:

Post a Comment