ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඇණහිට තිබේ. මෙම ඇණහිටීම ඇතිවූයේ කලකට පෙරය. එයට
හේතුව මෙරට දේශපාලනඥයන් විසින් සිය පක්ෂ දේශපාලන අවශ්‍යතාවයන් ජාතික අවශ්‍යතාවයන්ට
වඩා ඉහළින් තැබීමයි. ජනාධිපතිවරයා පත්වුන අවස්ථාවේදී ඔහු එක් ධුර කාලයක් පමණක් නිල
කටයුතු කරණ බව ඔහු විසින්ම ප්‍රකාශ කරණ ලදී. සැමගේ බලාපොරොත්තුව වූයේ ඔහු
නිර්පාක්ෂික ජනාධිපතිවරයකු ලෙස කටයුතු කරනු ඇති බවය. ඔහු විසින් ශ්‍රී ලංකා නිදහස්
පක්ෂයේ නායකත්වය භාර ගැනීමෙන් පසු මේ තත්ත්වය අනුක්‍රමයෙන් වෙනස් විය. මහා
මැතිවරණයට පෙර 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ යම් කඩතොළු
සහිතවය. ඒ අවස්ථාවේදී සංශෝධනය සම්මත කර ගැනීමට ජනාධිපතිවරයාගේ නොමඳ සහයෝගය ලැබුණි.
ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයද ඒ සඳහා උපකාරී විය.
මැතිවරණයේදී
සහ මැතිවරණයෙන් පසුව ඇතිවූ තත්ත්වය තුළ ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ
නායකත්වය ජාතික ආණ්ඩුවේ පැවැත්මට එරෙහිවන ස්වභාවයක් ඇතිවිය. ශ්‍රී ලංකා නිදහස්
පක්ෂය ඔහු සලකන ලද්දේ ද්‍රෝහියකු ලෙසිනි. එම පක්ෂයේ අති බහුතරය ජනාධිපතිවරණයේදී
ඔහුට එරෙහිව ක්‍රියා කළහ. මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ ව්‍යාපාරයට
නායකත්වය දෙනු ලැබූයේ මහින්ද රාජපක්ෂ විසිනි. ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂට නාම යෝජනා දෙනු ලැබුවේ
එසේ නොකර සිටිය නොහැකි වූ නිසාය. ඔහුගේ එම ක්‍රියාව ඔහුට ජනාධිපතිවරණයේදී ඡන්දය
දුන් ජනතාවගේ විරෝධයට හේතුවිය. මැතිවරණයෙන් පසුව ඇතිකළ ජාතික ආණ්ඩුවට එකතුවූයේ ශ්‍රී
ලංකා නිදහස් පක්ෂයෙන් කොටසකි. පසුව ජාතික ආණ්ඩුවට එකතුවූ පිරිසෙන් කොටසක්ද ඉවත්
වූහ. ජාතික ආණ්ඩුවට එකතුනොවූ කොටස ජනාධිපතිවරයා විරුද්ධ වාදියකු ලෙස සැලකූහ.
එබැවින් ජාතික ආණ්ඩුව මුල සිටම ජාතික ආණ්ඩුවක් ලෙස විකාශනය වූයේ නැත. ජාතික
ආණ්ඩුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික කොටස් සැම විටම කටයුතු කලේ විරුද්ධ පක්ෂයේ
සිටි සිය සගයන්ගේ අවශ්‍යතාවයන්ටද අවධානය යොමු කරමිනි. මෙම පසුබිම පැවති ජාතික
ආණ්ඩුව සභාග ආණ්ඩුවක තත්ත්වයට පිරිහීමට හේතුවිය. මෙම තත්ත්වයට මූලික හේතුව වූයේ
ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයයි.
ජනාධිපතිවරණයෙන්
පසුව ඉක්මන් මහා මැතිවරණයකට නොයාමට එක් හේතුවක් වූයේ එහි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ
විශ්‍රාම වැටුප් පිලිබඳ ප්‍රශ්නයයි. යම් හෙයකින් ජනාධිපතිවරයා මධ්‍යස්තව සිට
ඉක්මන් මැතිවරණයකින් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ ජාතික
ආණ්ඩුවට එකතු වූයේ නම් ඇතිවනු ඇත්තේ සැබෑ ජාතික ආණ්ඩුවකි. සභාග ආණ්ඩුවක් නොවේ.
සැලසුම් කළ පරිදි එම ආණ්ඩුවේ අරමුණු විය යුතුව තිබුනේ නව ව්‍යවස්ථාවක් ඇති කිරීම,
ඒ හරහා ජාතික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් සෙවීම සහ රටට කල් පවත්නා ජාතික ප්‍රතිපත්ති
සැකසීමයි. එයින් පසුව ජාතික ආණ්ඩුව විසිරවිය යුතුව තිබිණි.
මේ
යටතේ මහින්ද රාජපක්ෂට එරෙහි නඩු වලට දැන් තිබෙන තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක්
ඇතිවිය හැකිව නොතිබුණි.
පැවති
තත්ත්වය යටතේ ද මහජන අදහස් විමසීමේ කමිටුවක් පත්කර, එහි වාර්තාව පාර්ලිමේන්තුවට
ඉදිරිපත් කර ඉන් පසුව පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස රැස්ව
මෙහෙයුම් කමිටුවක් පත්කර, එහි අනු කමිටු හයක් පත්කර, එම අනු කමිටු වල
කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියළුම දේශපාලනඥයන්ගේ සහයෝගය ලැබ, එම
අනු කමිටු සහ මහජන අදහස් විමසීමේ කමිටුවේද අදහස් සැලකිල්ලට ගෙන මෙහෙයුම් කමිටුව
විසින් පත් කරණ ලද විද්වත් කමිටුවක් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ආකාරයෙන් සකසන
ලද වාර්තාවක්ද එළි දැක්වීමට හැකි විය.
අගමැතිවරයාගේ
අභිප්‍රාය වන්නට ඇත්තේ ජනාධිපතිවරයා ගේ දේශපාලන නායකත්වයෙන් නව ව්‍යවස්ථාව පිලිබඳ
සංවාදය ජනතාව වෙත ගෙන යාමට විය හැකිය. බලාපොරොත්තුවූ ජාතික ආණ්ඩුව නොව ඇතිවූ සභාග
ආණ්ඩුව තුළ ජනාධිපතිවරයාද අගමැතිවරයා ද
මෙම ක්‍රියාවලියට නායකත්වය දීමට පසුබට වූහ.
ජනාධිපතිවරයා මධ්‍යස්තව සිටියේ නම් සහ ඔහුගේ ධුර කාලය එක් වතාවකට සිමා
කිරීමට ඔහු ඇත්ත වශයෙන්ම කැමැත්ත දැක්වූයේ නම් එම කර්තව්‍යය ඔහු විසින් කළ හැකිව
තිබුණි.
පැවතුනු
දේශපාලන තත්ත්වය යටතේ එනම් ප්‍රබල දේශපාලන කණ්ඩායමක් විපක්ෂයේ සිටි තත්ත්වය යටතේ
මෙරට සංඝ සමාජයේ ඉහළ තලයේ පසුගාමී සහ බෞද්ධ විරෝධී කොටස් (මෙම ප්‍රකාශය සඳහා සාධක
සැපයිය හැක.) ව්‍යවස්ථාවක් අනවශ්‍ය ලෙස මත පළ කරද්දී නිශ්ශබ්දව සිටීමට
ජනාධිපතිවරයාද අගමැතිවරයාද කටයුතු කළහ.
මෙම
වාතාවරණය තුළ නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමට හෝ මෙරට ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීමට
හෝ හැකියාවක් නොමැත. ජනවාර්ගික යුද්ධයේ අවසානයේදී ප්‍රභාකරන් සහ ඔහුගේ සගයන්
මරුමුවට පත්වනවිට යුද්ධය අවසන් වීමේ සැනසුමත් සමඟම ලංකාවේ බල තුලනය දෙමළ ජනතාවට
අවාසි සහගත ලෙස වෙනස් විය. යුද්ධය කාලයේදී
පෙඩරල් රාජ්‍යයක් ඇති කිරීමටද යුද්ධයෙන් පසුව 13+ විසඳුමක්
දීමටද ශ්‍රී ලංකික නායකයෝ දෙමළ ජනතාවට පොරොන්දු වූහ. කෙසේ වෙතත් තුවක්කු කඳේ බලය
අහිමි වූ පසු ප්‍රජාතන්ත්‍ර වාදයේ බලයද දෙමළ ජනතාවට අහිමි විය. එසේ වන්නේ ශ්‍රී
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බහුතරයේ ඒකාධිපතිත්වය මත පදනම් වන හෙයිනි.
මෙම
තත්ත්වය යටතේ සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්වය කෙබඳු විය යුතුද? බෙදී ගිය ජන
වර්ග සම්බන්ධව ශ්‍රී ලංකාව පසුගාමී සීමිත
ජන කොටසක් මත රඳා පවතින අවස්ථාවාදී දේශපාලනඥයන් සිටින රටකි. ලොව බොහෝ රටවල්
මෙබඳුය. එවැනි සමහර රටවල ප්‍රබල නායකයෝ පසුගාමී ජනතා මත වලට විවෘතවම අභියෝග කළහ.
මහත්මා ගාන්ධි සහ නෙල්සන් මැන්ඩෙලා උදාහරණ වේ. ලී ක්වාන් යූ වැනි සමහර නායකයෝ
තමන්ගේ දේශපාලන බලය උපයෝගී කොට ගෙන කටයුතු කළහ. මෙවැනි අවස්ථාවක් යුද්ධයෙන් පසුව
මහින්ද රාජපක්ෂටද 2015 න් පසුව මෛත්‍රිපාල සිරිසේනටද ලැබුණි. ඔවුන්
දෙදෙනාගෙන් කෙනකු මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නම් ඔහුට ඉහත සඳහන් කළ නායකයන්
කෙනකුගේ තත්ත්වයට පත් වන්නට ඉඩ ප්‍රස්ථාව තිබුණි. ඔවුහු පුද්ගලික ලාභ අපේක්ෂාවෙන්
ඉතිහාසයේ කුණු බක්කිය තෝරාගත්හ.
එබැවින්
සිවිල් සමාජයේ කාර්ය භාරය වන්නේ පවතින තත්ත්වයට එරෙහි ප්‍රබල ජන මතයක් ගොඩ නැංවීමට
කටයුතු කිරීමයි. වික්ටර් අයිවන් විසින් නොයෙක් වර සඳහන් කරන්නට යෙදුන පරිදි තනිකර
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් මිදුන ජනතා සහභාගිත්වයක් ද සහිත නව ව්‍යවස්ථාවක්
සඳහා ජනතාව පෙළ ගැස්වීමට ක්‍රියා කිරීමයි. මේ සඳහා සාධාරණ ලෙස සිතන සියළු ජන කොටස්
ඒකාබද්ධව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. දැනට ඇති ව්‍යවස්ථාවේ ජනතා සහභාගිත්වය ඇත්තේ
ජන මත විචාරණයකදී පමණක් වන අතර ජනතා ක්‍රියාකාරිකම් කෙරෙන්නේ එක් එක් ජන වර්ග වෙන
වෙනමය. මේ සඳහා එක් පෙරමුණක් සෑදීම අත්‍යවශ්‍ය වේ. මෙය කිරීම සිවිල් සමාජය දේශපාලනයට බැසීමකි. මෙම
තත්ත්වයෙන් ගොඩ එනු හැක්කේ පවතින තත්ත්වයට එරෙහි ප්‍රබල ජනමතයක් ගොඩ නැංවීමෙනි.එසේ
නොමැතිව අවස්ථාවාදී දේශපාලනඥයන් මත පමණක් රඳා පැවතීම ප්‍රතිඵල රහිත ක්‍රියාවක් වනු
ඇත.
No comments:
Post a Comment