Thursday, May 23, 2019

හේතුව අවසන් නොකිරීමේ ඵලය

නැවතත් ත්‍රස්තවාදය මෙරටට පැමිණ තිබේ. 

අපගේ මවුබිම නිදහසින් පසුව කැරලි තුනකට මුහුණ දී ඇති අතර විවිධ ජන වර්ග සහ ආගම් අතර බොහෝ ්ආරවුල් ඇතිවුණි. මෙම කැරලිවලට සහ ආරවුල්වලට පාදක වූ හේතු සෙවීමේ ගවේෂණයක ජාතියක් වශයෙන් අප නිරත වී නැත. අප කර ඇත්තේ එම හේතුවලින් ඇතිවූ ඵල යම් ජයග්‍රහණ සහ යම් පරාජයන් සහිතව පාලනය කිරීමයි. කෙටි කාලීනව ඵල පාලනය කළ හැක. එනමුත් දීර්ඝ කාලීනව හේතු මුලිනුපුටා දැමීම අවශ්‍ය වේ. 

අවිශ්වාසය සහ අසමගිය ඇතිවීමට පාදක වූ මෙම හේතු සමහර විට වළක්වා ගත හැකි ඒවා විය හැකි අතර සමහර විට බරපතළ සාකච්ඡාවකින් විසඳා ගත යුතු ඒවා විය හැක. ජනවර්ග අතර සිදුවිය යුතු මෙම සාකච්ඡාව සහ ගවේෂණය අප නොකරන තාක් කල් රටේ දේශපාලන සහ සමාජ තත්ත්වය අවිනිශ්චිතව පවතිනු ඇත. මෙම අවිනිශ්චිතතාවය නැති කර ගැනීම එක් රටක් සහ එක් ජාතියක් වශයෙන් ඉදිරියට යාමට දමන අඩිතාලමක් වෙයි.

ජනතා විමුක්ති පෙරමුණේ කැරලිවලට සමාජ අසමානතාවය ප්‍රධාන හේතුවක් විය. ආර්. ප්‍රේමදාස ජනාධිපති වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ලෙන් පසුව එයට හේතු සෙවීම සඳහා පත් කළ කොමිසමේ එක් නිර්දේශයක් වූයේ රාජ්‍ය සේවයට බඳවා ගැනීම්වලදී සුදුස්සාට සුදුසු තැන ලබා දෙන ලෙසයි. ජනාධිපතිවරයා ඒ අනුව පියවර ගත් අතර දේශපාලනඥයන් ගේ නිර්දේශ මත පත්වීම් සිදු කළ ක්‍රමය අත් හිටුවා නැවත මධ්‍ය ලිපිකාර පරීක්ෂණය ස්ථාපිත කළේය. දැන් අපි නැවතත් පසුපසට ගොස් සිටිමු.

වාර්ගික කැරැල්ල 2009 දී අවසන් වීමට පෙර මෙරට නායකයන් පෙඩරල් විසඳුමක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටි අතර යුද්ධය අවසන් වීමෙන් පසුව 13+ විසඳුමක් පිළිබඳව පොරොන්දු දුන්හ. එයින් අදහස් කළේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය දෙවන මන්ත්‍රණ සභාවක් වැනි විසඳුමකි. ඉන් පසුව ඇතිවූ උගත් පාඩම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්තේ ඉතාමත්ම අල්ප වශයෙනි.

ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කැරැල්ල 1989 දී පරාජයට පත්වන විට රටේ දේශපාලන බල තුලනය අත්තනෝමතික රාජ්‍යයට වාසි වන ලෙස වෙනස් විය. එමෙන්ම 2009 දී දෙමළ සන්නද්ධ අරගලය පරාජයට පත්වන විට රටේ දේශපාලන බල තුලනය දෙමළ ජනතාවට අවාසි වන ලෙස වෙනස් විය. අවස්ථා දෙකේ දීම බල තුලනය වෙනස් වූයේ පීඩිතයන්ට අවාසි වන ආකාරයටය. රටේ කටයුතු සිදු වන්නේ යුක්තිය සහ සාධාරණත්වය අනුව නොවේ. රටේ බලවත් පිරිස් භුක්ති විඳින දේශපාලන බලය අනුවයි. 

අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස අපි උදම් අනමු. පසුගිය ආණ්ඩු කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත්වී අධිකාරීවාදය ඉස්මතුවිය. එම අධිකාරීවාදයද ඉතාමත් මධ්‍යගත එක් පවුලක අධිකාරිවාදයක් විය. පවතින ආණ්ඩුව යටතේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අපි නැවතත් භුක්ති විඳිමු. මෙරට අද තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය තුළද ඇත්තේ බහුතරයේ අධිකාරිත්වයයි. නියම ප්‍රජාතන්ත්‍රවාදය තුළ බහුතරයේ මතය ක්‍රියාත්මක වන්නේ සුළුතරයේ අයිතිවාසිකම් ද රැකෙන ආකාරයටයි. මෙම තත්ත්වය අද ක්‍රියාත්මකවන ප්‍රජාතන්ත්‍රවාදය තුළද මෙයට පෙර යම් කාල වකවානුවලදී මෙරට ක්‍රියාත්මකවූ ප්‍රජාතන්ත්‍රවාදය තුළද දක්නට නොවීය. අපි දැන් පවතින සීමිත ප්‍රජාතන්ත්‍රවාදය ද අතහැර නැවත අධිකාරිවාදයකට යාමට සුදානමින් සිටිමු.

මෙම අපේක්ෂිත තත්ත්වය තුළ අධිකාරිවාදී රාජ්‍යය විසින් අනවශ්‍ය ඵල විනාශ කර දමනු ඇත. හේතු එලෙසම පවතිනු ඇත. මක්නිසාද යත් හේතු විනාශ කිරීමට නම් අධිකාරිත්වය හළ යුතු බැවිනි. සංහිඳියාවත් සහජීවනයත් අධිකාරිත්වයත් එකට ගමන් නොකරයි. ඒවා පරස්පරය. සංහිඳියාවත් සහජීවනයත් ඇති තැන ත්‍රස්තවාදයකට ඇතිවීමට හෝ වැඩිවීමට හෝ ඉඩක් නොමැත. අපි ඒ ඉඩ මෑත අතීතය තුළද අවාසනාවකට මෙන් සකස් කරමින් සිටියෙමු. අනාගතයේදී මහා පරිමාණයෙන් ඒ ඉඩ සකස් කිරීමට බලාපොරොත්තු වෙමු. ■

හර්ෂ ගුණසේන විසින් 515 වන සමබිම ඉරිදා අතිරේකයට ලියන ලද ලිපියකි.

No comments:

Post a Comment