Thursday, May 23, 2019

බෞද්ධයන්ගෙන් බුදු දහම බේරා ගැනීම

වෙසක් උත්සවයද රාමසාන් උත්සවයද එකම කාලයක යෙදී තිබේ. උදෑසන මේ ලිපිය ලියන විට නිවස අසළ ඇති පාසලේ, මම වෛර නැත්තෙක් වෙම්වා, සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා යනාදී වශයෙන් මෛත්‍රී භාවනාව ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් ප්‍රචාරය කරනු ඇසේ. අපගේ වචන සහ භාවිතාව අතර ඇති වෙනස මැනවින් පැහැදිලි වන්නේ ජනමාධ්‍ය විසින් විකිණීම සඳහා සකස් කරන ලද සත්‍යයෙන් තරමක් ඈත්වූ ප්‍රවෘත්ති බලන විට සහ කියවන විටය.

මුස්ලිම් ප්‍රජාවට අයත් යම් අයෙක් වරදක් කර ඇත්නම් ඒවාට දඬුවම් කිරීමට රටේ නීති තිබේ. මූලික නීති ප්‍රමාණවත් නැත්නම් තවමත් අහෝසි නොකළ මර්දනකාරී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතද තිබේ. ආරක්ෂක හමුදා සහ පොලිසිය පරීක්ෂණ මෙහෙයුම්  සාර්ථකව කරගෙන යමින් සිටිති.

මේ අවස්ථාවේදී රටේ ජනතාව මුස්ලිම් ප්‍රජාවේ සියලුම අය වෙත ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට කටයුතු කිරීම කැකිල්ලේ තීන්දුවකි. එමෙන්ම එය බෞද්ධ, කිතුනු, හින්දු සහ මුස්ලිම් ආගමික සාරධර්ම උල්ලංඝනය කිරීමකි. මෙම කැකිල්ලේ තීන්දුව හෙවත් සාමූහික දිවි නසාගැනීමේ මාර්ගය යම් ආගමක් හෝ ජන වර්ගයක් හෝ වෙනුවෙන් කරන්නේ නම් එහි අර්ථය ඔවුන් සාමූහික මනෝ ව්‍යාධියකින් පෙලෙන බවයි.

මෙම ක්‍රියාවට සහයෝගය දක්වන්නන්ගෙන් බහුතරය ඉහළ සාක්ෂරතාවයක් සහිත උගත් පිරිසකි. මේ උගතුන් තමුන්ගේ ජාගර විඥානයෙන් එන විවිධ ඇලීම් සහ ගැටීම් වැඩි දියුණු කිරීමට තමන්ගේ තර්ක ඥානය යොදවන පිරිසකි. මෙතරම් උගත් නොවන දැනුමෙන් සහ තර්ක ඥානයෙන් පොහොසත් නොවන සාමාන්‍ය ජනතාව වෙතින් මෙවැනි අවස්ථාවකදී විය හැකි හානිය ඔවුන්ගේ ජාගර විඥානයෙන් එන ඇලීම් සහ ගැටීම්වලට සීමාවේ. ඔවුන්ට මානව භක්තියක් තිබේ නම් මෙම ඇලීම් සහ ගැටීම් සමනය කර ගැනීමට ඔවුන්ට හැකියාව තිබේ. මෙරට උගතුන් තමන්ගේ මානව භක්තිය තර්ක ඥානයෙන් විනාශ කරගත් පිරිසකි.

මෙවැනි ප්‍රශ්නවලට බුදු දහමේ ප්‍රවේශය කෙබඳුද? බුදු දහම පුද්ගල දහමකි. මාක්ස්වාදය වැනි සමාජ දහමක් නොවේ. බුදු දහම නිර්දේශ කරන්නේ තමන් පිළිබඳව ආර්ය පර්යේෂණයක් කරන ලෙසය. වෙනත් ක්‍රමවලින් එන දැනුම් කිසිවක් එකහෙළා නොපිළිගන්නා ලෙසත් තමන් විසින් අත්දකින ආර්ය පර්යේෂණයේ ප්‍රතිඵලය පමණක් පිළිගන්නා ලෙසත් බුදු දහම කියා සිටී. අප එදිනෙදා  කරමින් සිටින්නේ කුමක්ද? ඉන්ද්‍රියයන් මගින් විවිධ අරමුණු ගෙන ඒවාට විවිධ අර්ථකථන දී ඒ අනුව ක්‍රියාත්මක වීමයි. මෙම සමස්ත ක්‍රියාවලිය සාවධාන ලෙස සමීපව නිරීක්ෂණය කරන ලෙස බුදු දහම අපට යෝජනා කරයි. මෙම සමීප නිරීක්ෂණය මගින් මෙම යන්ත්‍රය ක්‍රියාකරන ආකාරය පිළිබඳ වැටහීමක් ඇති කර ගැනීමට අපට අවකාශ ලැබේ. සරල උදාහරණයක් කිවහොත් අප පිටතට යවන හුස්ම ඇතුළට ගන්නා හුස්මට වඩා උෂ්ණත්වයෙන් වැඩි විය යුතු බව අපි දනිමු. මක්නිසාද යත් අපගේ ශරීර උෂ්ණත්වය පිටත උෂ්ණත්වයට වඩා වැඩි බැවිනි. මෙම දැනීම අපට ලැබෙන්නේ තර්ක ඥානය මඟිනි. යම් හෙයකින් මෙම ක්‍රියාවලිය පිළිබඳ සම්පුර්ණ අවධානය යොමු කොට සීතල සහ උණුසුම දැනීම මගින් මෙම වෙනස හඳුනාගත් විට එම දැනීම සම්පුර්ණ දැනීමකි. එහි තර්ක ඥානයක් නොමැත.

මෙම යන්ත්‍රය ක්‍රියාකරන්නේ හේතු සහ ඵල අතර සම්බන්ධය නිසා බවත් ඒ තුළ යම් නිත්‍ය ඒකකයක් නොමැති බවත් සමීප නිරීක්ෂණයකදී වැටහෙන බව බුදු දහම කියා සිටී. බුදු දහමේ ආරක්ෂකයන් වන භික්ෂුන්ගේ ප්‍රධාන කර්තව්‍යය විය යුත්තේ ජනතාව මෙම සමීප නිරීක්ෂණය වෙත පෙළඹවීමයි. ඇත්ත වශයෙන්ම මෙම සමීප නිරීක්ෂණ ක්‍රියාවලිය සැමට පොදුවූ දහමකි. බුදු දහමට සීමා කළ හැක්කක් නොවේ. බුදු දහමට සීමා කළ හැක්කේ ඒ තුළ අන්තර්ගතව ඇති වන්දනා මාන විදිය.

බුදු දහම යෝජනා කරන මාර්ගයේ මමත්වය තුනී කරමින් ගමන් කරන පුද්ගලයා තුළ වර්ගවාදී හෝ ආගම්වාදී හෝ හැඟීම් ඇතිවිය නොහැක. අවසානයේදී තමන්ට උපකාරී වන ප්‍රඥාවද ශ්‍රද්ධාවද විර්යයද සමාධියද අවසානයේ සතියද හළ යුතු ඔහු/ඇය ආරම්භයේදීම බුදු දහමට හෝ සිංහලකමට ඇති ඇල්ම මගින් ඇතිවන අගතිගාමිත්වයද හළ යුතුය.

මේ වෙසක් සමයේ භික්ෂුන් ද බෞද්ධයන්ද කටයුතු කළ යුත්තේ අන්තවාදී හැඟීම් අවුළුවන සුළු ක්‍රියාවන්වල සහ ප්‍රකාශනවල යෙදීම නොවේ. ඒවා නිවන සුළු ක්‍රියාවන් සහ ප්‍රකාශනවල යෙදීමයි. ■

හර්ෂ ගුණසේන විසින් 517 වන සමබිම ඉරිදා අතිරේකයට ලියන ලද ලිපියකි.

No comments:

Post a Comment