
හර්ෂ ගුණසේන
කොළඹ විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ බව තරණය අරබයා ලියන ලද “නවකථාවක් පමණක් නොවන නවකථාවක් – බව තරණයේ යථාර්ථ රීතිය, දාර්ශනිකත්වය සහ සමාජ විමුක්තිකාමී යොමුව” නැමති කෘතිය ජනගත කිරීම පසුගිය මැයි 29 වන සිකුරාදා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදුවිය. මේ පොතෙහි අඩංගු කරුණු සහ මුල් බවතරණ කෘතිය පළ කළ කාල වකවානුවේදී ඇතිවූ විරෝධතා පිළිබඳව දෙසුම් දෙකක් මහාචාර්ය සඳගෝමි කෝපරහේවා සහ මහාචාර්ය නිර් මාල් රන්ජිත් දේවසිරි විසින් සිදු කරන ලදී. අනතුරුව පොතේ කතුවරයා විසින්ද පොත පිළිබඳව දේශණයක් පවත්වන ලදී. මම සෙනසුරාදා එක හුස්මට පොත කියැවූයෙමි. ඉරිදා උයන්ගොඩයන් හමුවී පොතේ යම් කරුණු සාකච්ඡා කළෙමි. මේ පොත පිළිබඳව යම් සටහනක් තැබීමේ අදහස මතුව ආවේ එම සාකච්ඡාවේ දිය.
ඔහු අපගේ ගම්වැසියෙකි. ඒ දෙආකරයකිනි. අපි කළුබෝවිල ග්‍රාම සේවා වසමේ නිවැසියෝ වෙමු. කාට ඡන්දය දුන්නත් ඡන්ද පොළේදී ඇතැම් විට හමුවෙමු. එමෙන්ම ඔහුගේ මුල් ගමද මගේ පියාගේ මුල්ගමද මාතර කඹුරුපිටිය ප්‍රදේශය වෙයි.
උයන්ගොඩයන් පුහුණු සාහිත්‍ය විචාරකයෙක් නොවේ. එබැවින් මෙහි කෙරෙන්නේ හුදු සාහිත්‍ය විචාරයක් නොවේ. පොතේ නමින්ම ගම්‍ය වන පරිදි එයට එහා ගිය පුළුල් විචාරයකි.
බව තරණය පොතේ ප්‍රධාන චරිත දෙකක් ඇතැයි උයන්ගොඩයන් කියයි. එක චරිතයක් සිදුහත් ගේ සහ බුදුන්ගේය. අනෙක් චරිතය පොදු ජනතාවගේය. බවතරණයේ විවිධ තැන් වල පොදු ජනතාව යන වචනය සඳහන් වන අතර සිදුහත් කුමරු ගේ සහ බුදුන් වහන්සේ ගේ චරිත වික්‍රමසිංහයන් විසින් නිරූපනය කර ඇත්තේ පොදු ජනතාවගේ දුක් කම්කටොලු වලට සංවේදී වූ චරිත වශයෙනි.
අවුරුදු තිස් පහකට පමණ පෙර රුපියල් 48 කට බව තරණය මිලදී ගෙන එය කියැවූ මට කරුණු දෙකක් නිසා සන්තෝෂයක් උපනි. එයින් එකක් වූයේ සිදුහත් කුමරු සිය බිරිඳටත් පිය රජුටත් නොදන්වා ගිහි ගෙය හැර ගියහයි සම්මතයේ එන කථාව වික්‍රමසිංහයන් විසින් වෙනස් කර තිබීමයි. බව තරණයට අනුව සිදුහත් කුමරු ගිහිගෙය හැර යන්නේ යශෝධරා ගේ අනුදැනුම සහිතවයි. 10 වන පරිච්ඡේදයේ මෙසේ සඳහන් වේ, “එළිය වැටෙන්ට පෙර යහනින් නැගුනු සිදුහත් මුහුණ කට සෝදා මාළිගාවෙන් නික්මෙන්ට සුදානම් විය. සිදුහත් වලට යන බව දන සිටි යශෝධරා කලින් නැගී ඔහුට වුවමනා සියලු දේ සම්පාදනය කළාය.” මේ සන්තෝෂය සරච්චන්ද්‍රයන් ගේ මනමේ නාටකයේ මනමේ කුමරිය සම්බන්ධයෙන් ඔහු දුන් නව අර්ථ කථනය දැකීමෙන් ලත් සන්තෝෂය ට සමානයි.
සන්තෝෂයක් උපන් අනෙක් කරුණ නම් අපගේ සාහිත්‍යයේ දේවත්වයට පිරිහෙළා තිබූ බුද්ධ චරිතය බවතරණයේ නැවත මනුෂ්‍යත්වයට නංවා තිබීමයි. මහා පරිනිබ්බාන සුත්‍රයේ පාඨ උපුටා දක්වමින් මහගමසේකර ප්‍රබුද්ධ රචනා කළේ ඊට පසුවයි.
බව තරණය පිටවූ පසු එය බරපතල ලෙස විවේචනය කරමින් යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් විසින් පොත් තුනක් ලියන ලදී. එකල එම පොත් මම කියැවීමි. එම පොත් දැනට මා සතුව නැත. පසුගිය දිනෙක පොතක් සෙවීම සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ගිය විට ඒවා දැනට මුද්‍රණයේද නැති බව දන ගතිමි.
මට මතක හැටියට බව තරණයට එරෙහිව කළ ප්‍රබලම විවේචනය එය විය. අනෙක් ඒවා හුදු විරෝධතා පමණක් විය. එහි නගා තිබු එක් කරුණක් මේ ලිපියේ ඉදිරියට නැවත මතු කරමි. මේ පොත් තමා පරිශීලනය කළ බවත් ඒවායේ අඩංගු කරුණු සිය පොතේ විෂය පථයට ඇතුළත් නොවූ බැවින් ඒවා පොතේ සාකච්ඡා නොකළ බවත් උයන්ගොඩයන් මා සමග කීය.
උයන්ගොඩයන් ගේ පොත බවතරණය පිළිබඳව අප මෙතෙක් සාකච්ඡා නොකළ මානයකට අප රැගෙන යයි. ඔහු පොතේ හැඳින්වීමේ දී කියන පරිදි “මේ රචනයෙන් සිදුවන්නේ බව තරණය නවකථාව සහ ඒ තුළින් ප්‍රකාශ වන කතුවරයාගේ ලෝක දෘෂ්ටිය ඔහුගේම පරිකල්පන රාමුව ඇතුළත සිටගෙන තේරුම් ගැනීමේත්, අගය, විචාරණය සහ අර් ථ කථනය කිරීමේත් උත්සාහයකි. ඒ අතර මෙම රචනයෙහි වැඩි අවධානය යොමු වන්නේ, බව තරණය නවකථාවක් පමණක් නොවීම යන ගති ලක්ෂණය පැහැදිලි කර ගැනීමටය.”
මේ කෙටි ලිපියේ මා අවධානය යොමු කරන්නේ ඉහත දෙවන කාරණයට සහ බුදු දහමේ කේන්ද්‍රීය කරුණු වන නිවන, කර් මය සහ පුනර් භවය පිලිබඳ වික්‍රමසිංහයන් බව තරණයේ මතුකළ අදහස් ඉස්මතු කිරීමටයි.
“බව තරණය කතුවරයා වූ මාර් ටින් වික්‍රමසිංහ තම නවකථාව තුළින් නිර් මානය කර ඇති බුදුන්වහන්සේ වූ කලි අධ්‍යාත්මික සහ ලෞකික යන අර්ථ දෙකින්ම ‘විප්ලවකරුවෙකි.’ එම විප්ලවියත්ව භාවිතයෙහි සහ දර්ශනයෙහි ලෞකික හරය වන්නේ සමාජ සමානාත්මතාවයයි.”
උයන්ගොඩයන් සඳහන් කරන්නේ වික්‍රමසිංහයන් බව තරණය නවකථාවෙන් මතුකළ සමාජ සමානාත්මතා සහ සමාජ විසම්මුතිවාදී ප්‍රවේශය වෙතින් බෞද්ධ දර ශණය අර්ථ කථනය කිරීමේ ප්‍රයත්නය ගුණපාල මලලසේකර සහ කේ එන් ජයතිලක යන විද්වතුන් ගේ බුදු දහම සහ ජාති ප්‍රශ්නය නම් කෘතියෙන් හැර වෙනත් කෘතියකින් මතු නොවූ බවයි. එමෙන්ම සමාජ සමානාත්මතාව පිලිබඳ බුදුන් වහන්සේ ගේ ඉගැන්වීම් පිලිබඳ ප්‍රබල කතිකාවක් සිංහල බෞද්ධ සමාජයෙහි මතු නොවීම, නුතන ලංකාවේ සමාජීය සහ බුද්ධිමය පරිවර් තන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් මතුවන ප්‍රහේලිකාවක් බවද ඔහු සඳහන් කරයි. සියම් නිකාය විසින් වෙනත් කුල වල සාමාජිකයන් මහණ කිරීම අත්හිටවීම නිසා 19 වන සියවසේ මුල අමරපුර නිකාය ආරම්භ වීම උඩරට ගොවිගම රදල ආධිපත්‍යයට එරෙහිව නැගුනු කැරැල්ලකැයි ඔහු කියයි. මෙම සංස්කෘතික විඥානය මෙරට මහජන පරිමණ්ඩලය තුළ පුද්ගලික සහ මහජන පරිමණ්ඩල දෙක අතරමැද අළු පැහැති එනම් අඳුරු අවකාශයට සීමාවී ඇත. මේ අනුව වික්‍රමසිංහයන් සිදුහත් චරිතය ගොඩනගා ඇත්තේ ලාංකික බෞද්ධ සමාජයට තම හෘදය සාක්ෂිය ස්වයං පරීක්ෂණයකට ලක්කර ගැනීමට ආරාධනය කිරීමේ පණිවුඩයද සන්නිවේදනය කරමින් බව උයන්ගොඩයන් කියයි.
කතුවරයාගේ නිරීක්ෂණය වන්නේ වික්‍රමසිංහයන් සිය නවකථාවෙන් ගොඩනැගූ මුල් බුදු දහමේ තිබුණ සමාජ සමානත්මතාවාදී සහ සමාජ විමුක්තිවාදී දැක්ම නූතන බෞද්ධ සමාජ වලට ඇති අදාලත්වය පිලිබඳ තර්කය ඉදිරියට ගෙන යාමේ අරමුණ සහිත සමාජ ව්‍යාපාරයක මතුවීමට ප්‍රමාණවත් ආවේගයක් සැපයීමට බවතරණය වෙනුවෙන් පෙනීසිටි ප්‍රගතිශීලි බුද්ධිමතුන්ට උවමනා වූයේ නැති බවයි. වික්‍රමසිංහයන් එය නොකළේ ඔහු සමාජ ක්‍රියාකාරිකයකු නොවුන නිසා බවද කතුවරයා කියයි.
අනගාරික ධර්මපාල තුමා බුදුන් ගේ පණිවිඩය ලෝකයට ගෙනයාමේ ප්‍රමුඛ කාර් යයක් කළ නමුත් සමාජ සමානත්මවාදී පණිවුඩය පිළිබඳව ඔහු උනන්දු වුයේ නැති බවත් ඒ කාර් යය ඔහුගෙන් පවරා ගත්තේ දකුණු ඉන්දීය බෞද්ධයන් වන ඉයෝති දාස්, ලක්ෂ්මි නරාසු සහ සින්ගාරවේලු බවත් කතුවරයා සඳහන් කරයි. එබැවින් බවතරණය පෝක් සමුද්‍ර සන්ධියෙන් එපිටට සහ දකුණු ආසියාවට රැගෙන යා යුතු බව උයන්ගොඩයන් කියයි. බවතරණය නුදුරේදීම ඉංග්‍රීසියට පරිවර්තනය වන බව සම්මන්ත්‍රණයේදී ඔහු කීය.
මෙය දාර්ශනික නවකතාවක් බව උයන්ගොඩයන් විසින් සඳහන් කර ඇත. එයට හේතුවන එමෙන්ම බව තරණයේ ඇති මතභේදකාරී වන යම් කරුණු පහත දැක්වේ.
බවතරණයේ 16 වන පරිච්ඡේදයේ බුදුන් සමග සැරියුත් තෙරුන් කරන සාකච්ඡාවක් තිබේ. එහි මෙසේ සඳහන්ය. “කුසල් අකුසල් වල පල විදින්නේ මනුෂ්‍යයා පමණයි.අනික් සතුන්ට කුසලාකුසල විඥානයක් නැත. එහෙයින් කුසලාකුසල පල විඳින පුනර් භවයක් ඔවුන්ට නැත….මනුෂ්‍යයා භවයෙන් භවයට යන්නේ ඉඳුරු වෙනස් සැටියෙනි. ඔහුට කුසලාකුසල විඥානයක් ඇත. විඥාන ධාතුව ශුක්‍ර ශ්‍රෝණිත වල ඇත. ශුක්‍ර ශ්‍රෝණිත එක්වීමෙන් වැඩි බිහිවන දරුවා මව් පියන්ගේ කුසලාකුසල ක්‍රියා අනුව විපාක විඳියි…කුඩා දරුවන් විදින්නේ මව් පියන්ගේ කුසලාකුසල ක්‍රියා වල පල යි. ඒ පලයන්ට වාහකයන් වන්නේ සංඛාර කර් ම පදාර් ථයි. ඒ පදාර් ථ මව් පියන්ගේ ශුක්‍ර ශ්‍රෝණිත වල ඇත. සංස්කාර කර් ම හා කුසලාකුසල විඥානය ද නිසාය මනුෂ්‍යයාගේ පුනර් භවය. ජීවාත්මයක් ඇත්නම් පමණි මනුෂ්‍යයා පුනරුප්පත්තියක් ලබන්නේ. …..ජීවාත්මයක් නැති නිසා මනුෂ්‍යයාට හිමි වන්නේ පුනර් භවයයි.”
14 වන පරිච්ඡේදයේ මෙසේ සඳහන් වේ. “ජීවාත්මය පිලිබඳ සංකල්පය ඉඳුරා සිතින් බැහැර කොට කෙලෙසුන් තවන්නෝ දෙවිදියකින් විමුක්තිය ලබති. ඒ විමුක්තිය සද්ධා විමුක්තිය , ප්‍රඥා විමුක්තිය යනු විසින් හැඳින්වෙයි. සද්ධා විමුක්තිය පුණ්‍ය චේතනාව වැඩීමෙන් ලැබිය යුත්තකි. ප්‍රඥා විමුක්තිය ධර් මය, පටිච්ච සමුප්පාදය,දර් සනය ඉගෙන බවුන් වැඩීමෙන් ලැබිය යුත්තකි. එය උගතුන්ට හා පින්සිත් ඇත්තන්ට උචිත විදර් ශනා මාර් ගයකි. ..සද්ධාව සහ පුණ්‍ය චේතනාව පිරිහෙන විට සද්ධා විමුක්තිය ලැබුවාහු විමුක්තියෙන් පිරිහෙයි. උපධිශේෂ නිර් වාණය සද්ධා විමුක්තිය ලබුවහුට පසක් කොට ගත නොහැකිය. උපධිශේෂ නිර් වාණය පසක් කොට ගන්නේ විදසුන් වඩා සමාධියට සමවදින්නා ය. (ලේඛකයාගේ සටහන – මෙය ප්‍රඥා විමුක්තිය විය යුතුය.)….ශ්‍රද්ධා විමුක්තිය ලබන්න නිවන පසක් කොට ගන්නේ භවයෙන් එතෙර වීමෙන් පසු නොහොත් මරණයෙන් පසුය.” “සද්ධා මහින් හෝ ප්‍රඥා මගින් හෝ ඉඳුරු දොරටු වසා ගන්නාට නිවන පසක් කොට ගත හැක්කේ මඳ වෙලාවකට පමණි……..ඇතැම් විටෙක ඔහුගේ පස්කම් ආසාව පිබිදෙයි. එවිට ඔහු සැනෙකින් සමාධියට සම වැදෙයි.”
රූපවාහිනිය නොමැති කාලයේ රේඩියෝවෙන් හේන්පිටගෙදර ඥානසිහ හිමියන් දෙසූ බණක් මගේ මතකයේ තිබේ. එහිමියන් කීවේ යම් අවස්ථාවලදී රහතුන් රහත් භාවයෙන් පිරිහිය හැකි බවයි. ඒ මතය වික්‍රමසිංහයන් ඉහත දක්වන මතය හා සමපාත වේ.
17 වන පරිච්ඡේදයේ බුදුන් යශෝධරාව හමුවීම පිලිබඳ පුවත මෙසේ දක්වා ඇත. යක්කඩුවේ හිමියන් විරුද්ධ වූහයි මට මතක කරුණ මෙයයි. “ඈ මුසපත් වූවක මෙන් බුදුන්ගේ දණිස් පහළ කකුල් ද අල්ලමින් සිඹින්නට වූවාය…සිදුහත් ලෙස යුද හරඹ දැක්වීමෙන් ජයගෙන යසෝධරාවගේ ප්‍රේමය හිමි කරගත් තැන් සිට රහල් කුමරුන් උපදින තෙක් ගත කළ ගිහි ජීවිතය පිලිබඳ තොරතුරු සිහිකරවන ගර් භාගාරයද එහි නොයෙක් සලකුණුද දුටු බුදුන් වහන්සේ ආවර්ජනයෙන් සමාධියට සම වැදුණෝ ය. මුහුණ පුරා මෙත් කරුණා පහන් බව පැතිරිණ. මේ වෙනස් වීම යශෝධරාවට වහා හැඟුනෙන් ඈ ප සිඹිම නවතා නැඟී බුදුන්ගේ මුහුණ බැලුවාය.”
යක්කඩුවේ හිමියන් මෙයට විරුද්ධ වූයේ මෙයින් බුදුන් කෙලෙස් ප්‍රහීන නොකළ බව හැඟෙන නිසාය. අනෙක් අතට වික්‍රමසිංහයන් ගේ අදහස වන්නට ඇත්තේ කෙලෙස් පහළ වීම ස්වභාවික වන අතර ඒවා ඒ ඒ අවස්ථාවේදී ප්‍රහීන කළ යුතු බවය. මෙය ඔහුගේ ඉහත දක්වන ලද අදහස් වලින්ද ගම්‍ය වේ.
අප විසින් කරුණු දෙකක් ඉටු කළ යුතුව ඇතැයි මම සිතමි. පළමුවැන්න ලිපියේ මුල් කොටසේ මතු කළ උයන්ගොඩයන් සඳහන් කළ කාරණය වන බව තරණයෙන් මතුකළ සමාජ විමුක්තිවාදී දැක්ම ඉදිරියට ගෙනයන සමාජ ව්‍යාපාරයක් ඇති කිරීමට හැකි හේතු සාධක විමසා බැලීමයි. දෙවැන්න වික්‍රමසිංහයන් පුනර්භවය සහ නිවන පිළිබඳව මතුකළ මතභේදකාරී කරුණු වලට පදනම්වූ මුලාශ්‍ර විමසීමයි. සම්මන්ත්‍රණය අවසානයේදී බවතරණයත් හර් මන් හෙස ගේ සිද්ධාර්ථ නවකතාවත් රජා රාඕ ගේ සර් පයා සහ කඹය පොතත් එකට ගෙන කියවිය යුතු යයි ද ඒ සඳහා ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ගේ අසපුව සුදුසු යයි ද කතුවරයා යෝජනා කළේය.
මහාචාර් ය ජයදේව උයන්ගොඩ ගේ මේ පොත බවතරණයත් සමග බුදු සමය පිලිබඳ උනන්දුවක් දක්වන සියල්ලන් විසින්ම කියවිය යුතු යයි මම සිතමි.
Published in Colombo Telegraph on June 4, 2026
https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-june-4-2026/
No comments:
Post a Comment