
හර්ෂ ගුණසේන
ආණ්ඩුව විසින් 2024 අංක 36 දරණ විදුලිබල පනත සංශෝධනය සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒ පිළිබඳව විශාල සංවාදයක් රටේ ඇතිවූ අතර පෙත්සම් ගණනාවක් ශ්රේෂ්ඨාධිකරණයටද ඉදිරිපත් විය. ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමන අනුව කටයුතු කළ අතර 2025 අංක 14 දරණ සංශෝධන පනත සම්මත කර ගන්නා ලදී. විදුලිබල ක්ෂේත්රයේ ප්රතිසංස්කරණ පිලිබඳ සංවාදය ඉදිරියට ගිය අතර මේ පසුබිමේ විදුලිබල ක්ෂේත්රයේ ප්රතිසංස්කරණ පිලිබඳ පුරවැසි සංවිධානය විසින් කැඳවන ලද සාකච්ඡා මාලාවක් SL Vlog යූ ටියුබ් නාලිකාව විසින් විකාශය කරන ලදී. මේවායේ අවසාන සාකච්ඡාවේදී මතුවූ කරුණක් වුයේ විදුලිබල ප්රතිසංස්කරණ පිලිබඳ පනත් කෙටුම්පතක් 2026 දී ඉදිරිපත් කරන අතර එහි බලශක්තිය විදුලිබලය සහ අදාල ගාස්තු පිළිබඳව රාජ්ය ප්රතිපත්ති ද අන්තර් ගත වනු ඇත. මහජනතාව සමඟ මේ පනත් කෙටුම්පත පිළිබඳව පුළුල් සාකච්ඡාවක් කරනු ඇත. එමෙන්ම මේ අවසන් සාකච්ඡාවේදී ප්රධාන වශයෙන් අදහස් හුවමාරු වූයේ විදුලිබල සැපයුමේ සංයුතිය සහ ප්‍රතිසංස්කරණ පිළිබඳවයි. මේ ගැන පැහැදිලි කිරීමක් අවශ්යයි.
විදුලිබල සැපයුමේ සංයුතිය
බොහෝ රටවල් පුනර් ජනනීය විදුලිබලය පිලිබඳ අවධානය යොමු කර ඇත. මෙයට හේතුවක් වන්නේ පැරිස් සම්මුතියේදී කාබන් විමෝචනය පිලිබඳ නිර්නායක අනුගමනය කරන බවට බොහෝ රටවල් පොරොන්දු වීම නිසාය. සූර්ය බලය සහ සුළං බලය බහුල ලෙස තිබේ. මේවා විදුලි බලය බවට පරිවර්තනය කිරීමේ තාක්ෂනය මිලෙන් අඩු වෙමින් පවතී.ස්ථාවර සැපයුමක් ඇති ඩිසල් පාවිච්චි කරන විදුලි බලාගාර මෙන් නොව පුනර් ජනනීය ප්‍රභවයන් පාවිචිචි කරන බලාගාර වල සැපයුම ස්ථාවර නොවන්නේ එම ප්‍රභවයන් ස්ථාවර නොවන බැවිනි. පුනර්ජනනීය ප්‍රභවයන් ගෙන් ලැබෙන විදුලියේ විචලතාව අවම කිරීම සඳහා එම විදුලිය ගබඩා කර නිකුත්කිරීමට සහ ආවස්තිතතාව වැඩි කිරීමට ආයෝජන අවශ්‍ය වේ. එබැවින් පුනර්ජනනීය විදුලියේ මිල මේ අමතර පිරිවැය සමඟ බද්ධ වී ඇත.
ප්රතිසංස්කරණ
විවිධ රටවල විදුලිය ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම විවිධ සමාගම් වලින් කරන අතර මේ එක් එක් අංශයේ විවිධ සමාගම් අතර තරඟකාරීත්වය ප්රවර්ධනය කරනු ලැබේ. මේ නිසා විදුලිය සඳහා තොග වෙළෙඳපොලක් සහ සිල්ලර වෙළෙඳපොලක් නිර්මාණය වී ඇත. තොග වෙළෙඳපොලේ විකුණුම්කරුවන් හා ගැනුම්කරුවන් වන්නේ ජනතා සමාගම් හා බෙදාහරින සමාගම් වන අතර සිල්ලර වෙළෙඳපොලේ පිළිවෙලින් බෙදාහරින සමාගම් සහ පාරිභෝගිකයන් ය. විකුණුම්කරුවන් සම්ප්රේෂණ සමාගම් සමග විදුලිය සැපයීම සඳහා එකඟතාවයන්ට පැමිණේ. පාරිභෝගිකයන්ට සිය කැමැත්ත අනුව බෙදාහරින්නකුගෙන් විදුලිය මිලදී ගත හැක. මෙය විදුලිය බෙදාහැරීමේ වත්මන් ආකෘතිය වේ. මෙම සමාගම් වල අයිතිය රටෙන් රටට වෙනස් වන අතර එය රාජ්‍ය, පුද්ගලික හෝ දෙඅංශයේ හවුල්කාරිත්වයන් විය හැක.
රටවල් තුනක විදුලිබල සැපයුමේ සංයුතිය සහ ප්රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කිරීම ප්රයෝජනවත් වේ යයි සිතමි.
හංගේරියාව
කලින් කොමියුනිස්ට් රටක් වූ හංගේරියාව යුරෝපා සංගමය තුල විදුලි ගාස්තු අඩුම රටකි. (2025 මුල් මාස හය) 2024 දී කාබන් විමෝචනයක් නොමැති න්යෂ්ටික බලයෙන් විදුලි නිෂ්පාදනය 33% ක් වූ අතර සූර් ය බලය 23%කි. LNG සහ ගල් අඟුරු 15% වන අතර 19% ක් ආනයනික විදුලියයි. තොග සහ සිල්ලර වීදුලි වෙළෙඳ පොල පවතින අතර හන්ගේරියන් විදුලි වෙළෙඳ පොල 2007 දී ස්ථාපිතයි. එය යුරෝපා විදුලි වෙළෙඳ පොල වන EPEX SPOT හි හවුල්කරුවෙකි. රජය සතු MVM සමාගම් සමූහය හන්ගේරියන් විදුලි වෙළෙඳ පොලේ ප්‍රබලයෙකි. එයට රජයේ මුදල් යොදවනු ලැබේ. උදාහරණයක් වශයෙන් 2021 දී එහි ප්රාග්ධනය ආසන්න වශයෙන් ඩොලර් මිලියන 563 කින්ද 2022 දී ඩොලර් මිලියන 108 කින්ද වැඩි කරන ලදී. මේ උපාය මාර්ගික ආයෝජන සහ පාඩු පියවා ගැනීම සඳහායි. (සමාගමේ වාර් ශික වාර් තා) එයට අමතරව රජය විසින් බැංකු ණය වලටද පහසුකම් සපයනු ලැබේ.
ජර්මනිය
අනෙක් අතට ජර්මනිය යුරෝපා සංගමයේ වැඩිම විදුලි ගාස්තු සහිත රට (2025 මුල් මාස හය) රට වේ. න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවන්නේ නැත. 2024 දී විදුලිය සැපයීමේ සංයුතිය, පුනර්ජනනීය 58% (සුළං බලය 23% ක් ඇතුලත්ව) ගල් අඟුරු 21% සහ LNG 15%. ජර්මනිය EPEX SPOT හි සාමාජිකයෙකි. බොහෝ කාලයක් ජර්මනියේ විදුලිය ශුද්ධ අපනයනයක් වූ අතර 2023 දී එය වෙනස් විය. පුනර්ජනනීය බලය ප්රධාන වශයෙන් උත්පාදනය කරනු ලබන්නේ පුද්ගලික සමාගම් විසිනි. ජනනය සහ සම්ප්රේෂණය ප්රධාන වශයෙන් පුද්ගලික සමාගම් විසින් කරනු ලබන අතර බෙදාහැරීම ප්රධාන වශයෙන් නගරසභා සතු පොදු සමාගම්, සමුපකාර, සහ ජ්‍යාත්‍යන්තර සමාගම් විසින් කරනු ලැබේ. රජය විසින් විදුලි බල ක්ෂේත්රයේ අයිතිය නැවත ලබාගත යුතු යයි උද්ඝෝෂණ තිබේ.
ඔස්ට්‍රේලියාව
දුරින් පිහිටීම හේතුවෙන් බටහිර ඔස්ට්‍රේලියාව සහ උතුරු ප්රදේශය හැර ඕස්ට්රේලියාවේ සියලුම ප්රාන්ත NEM ජාතික විදුලි වෙළඳ පොලේ සාමාජිකයෝ වෙති. බටහිර ඔස්ට්‍රේලියාවේ පර් ත් සහ තදාසන්න පෙදෙස් වල විදුලි තොග වෙළෙඳ පොළ ක්‍රියාත්මකයි. සිල්ලර වෙළෙඳ පොළේ බොහෝ නිවෙස් සහ කුඩා ව්යාපාර වලට විදුලිය සපයන්නේ Synergy නම් ප්රාන්ත රජය සතු සමාගමයි. බටහිර ඔස්ට්‍රේලියාවේ ද ක්වින්ස්ලන්තයේද බොහෝ විදුලි සමාගම් ප්රාන්ත රජය සතුය. 2024 දී දකුණු ඔස්ට්‍රේලියාවේ පුනර් ජනනීය විදුලිය 74% කි. ටස්මෙනියාවේ ජල විදුලිය සහිතව පුනර්ජනනීය බලය 95% කි. අනෙක් සියලුම ප්රාන්ත වල පුනර්ජනනීය බලය අඩු මට්ටමක පවතී. දකුණු ඔස්ට්‍රේලියාවේ විදුලි ගාස්තු අනෙක් ප්රාන්ත වලට වඩා වැඩි ය. එහි විදුලි ක්ෂේත්රයේ වැඩිපුරම තිබෙන්නේ පුද්ගලික සමාගම්ය. එහි ප්‍රාන්ත රජය විසින් විදුලිබල ක්ෂේත්රයේ අයිතිය නැවත ලබා ගත යුතු යයි ඉල්ලීම් තිබේ.
ශ්රී ලංකාව
ශ්රී ලංකාව තුල රාජ්‍ය ආයතන පුද්ගලීකරණය නොකළ යුතු යයි මතවාදයක් තිබේ. 1956 සිට රජය විසින් පුද්ගලික ආයතන පවරා ගත් අතර එනිසා රාජ්යයේ අධිකාරිත්වය වැඩි විය. 1977 සිට යම් ආයතන පුද්ගලීකරණය කළ අතර එම ක්රමවේදය බොහෝවිට පාරදෘශ්‍ය නොවිය. 2022 දී ඇතිවූ මූල්‍ය අර්බුදයට ප්රධාන හේතුවක් වූයේ රජයෙන් සහනාධාර ලත් රාජ්‍ය සමාගම් වල දිගුකාලීන අලාභයි. එබැවින් වියදම මත පදනම්වූ මිල ක්රමය හඳුන්වා දෙන ලදී. විදුලිබල මණ්ඩලය කොටස් වලට කඩා ප්රතිව්යුහගතකරණය දශක දෙකකට පෙර සැලසුම් කලත් 2024 දී එය නැවත පනතක් මගින් නීතිගත කරන ලදී.
මූල්යඅර්බුදයේඅ බුදය හේතුවෙන් රජයට විශාල ආයෝජන කිරීමට නොහැකි නිසා මේ අවස්ථාවේදී පුද්ගලික අංශයේ ආයෝජන අවශ්‍යයි. රාජ්‍ය ආයතන වල අයිතියේ වෙනස්කම් කිරීම මගින් ඒවායේ කළමනාකරණය කාර් යක්ෂම කිරීමේ විභවයක් පවතී. රජය විසින් අවධානය යොමු කළ යුත්තේ දේශීය සහ විදේශීය මුදල් ප්රවාහයන් පිළිබඳව මිස වත්කම් ගොඩ ගසා ගැනීම පිළිබඳව නොවේ.
LTL හෝල්ඩින්ස් සමාගමේ අයිතිය පිලිබඳ ප්‍රශ්නය එන්නේ මේ පසුබිම තුලය. මෙහි ප්‍රශ්නගත ගනුදෙනුව වන්නේ විදේශ කොටස් හිමි සමාගම එම කොටස් විදුලිබල මණ්ඩලයට පිරිනමා එය ප්රතික්ෂේප වීමෙන් පසුව සමාගමේ සේවකයන් විසින් එය මිලදී ගැනීමයි. යම් හෙයකින් මණ්ඩලය පුද්ගලික අයිතියේ තිබුනේ නම් මෙම අවස්ථාව නැති කර ගන්නේ නැත. එමෙන්ම මණ්ඩලය මෙම කොටස් ගත්තේ නම් සමාගමේ වර්ධනය බාල වීමට එය හේතුවක් වන්නට ඉඩ තිබුණි. විගණකාධිපතිවරයාට පමණක් සුදුසු විගණනයක් කිරීමට හැකියයි සිතීම පිළිගත නොහැක. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්යවස්ථාව අනුව විගණකාධිපතිවරයාට මෙම සමාගම විගණනය කළ නොහැක. මේ අනුව ආණ්ඩුව විසින් කළ යුත්තේ සොබාධනවි බලාගාරය ගොඩ නැගීම අවශ්ය නම් LTL මූලික කොටස් නිකුතුවට ඉඩ දීමයි. ප්‍රාග්ධනය ගලා එන්නේ මේ ලෙසටයි.
අවසාන සාකච්ඡාවේදී කතිකා කළ විදුලි බල සැපයුමේ සංයුතිය
2030 සිට පුනර් ජනනීය බලයෙන් 70% ක් විදුලිය නිපදවීමට බලාපොරොත්තුවන විදුලිබල මණ්ඩලයේ සැලැස්ම විවේචනයට ලක් විය. රට නියම අවස්ථාවේදී ගල් අඟුරු බලාගාර ගොඩනැගුවේ නැත.එමෙන්ම සම්ප්රේෂණය සඳහා නියම අවස්ථාවේදී ආයෝජනය කළේ නැත. පුනර්ජනනීය බලය නිෂ්පාදනය කරන පළාත් වලින් බස්නාහිර පළාතට විදුලිය සම්ප්රේෂණය වැඩි දියුණු කළ යුතුය. වහලවල් මත සවිකර ඇති සූර්ය පැනල වලින් ජනිත විදුලියට පහසුකම් සැලසීම සඳහා බෙදාහැරීම් ජාලයද ශක්තිමත් කළ යුතුය. දැන් ප්‍රශ්නය වන්නේ සම්ප්රේෂණ ජාලය සඳහා ඩොලර් බිලියන 5 ක් (උපකල්පිත අගයකි) වියදම් කරන්නේද නැතහොත් බෙදාහැරීම් ජාලය සඳහා ඩොලර් බිලියන 2 ක් (උපකල්පිත අගයකි) වියදම් කර කලින් ප්රතිඵලයම ලබා ගන්නේද යන්නයි. බෙදාහැරීම් ජාලය සඳහා වියදම් කරන්නේ නම් බටහිර ඕස්ට්රේලියාවේ අත්හදා බැලූ ලෙස වහලවල් මත සවිකර ඇති සූර්ය පැනල වලින් ජනිත විදුලියේ ප්රමාණය ඉහල නැංවිය හැක. මේ අනුව පුනර්ජනනීය බලයෙන් 70% ට වඩා විදුලිය නිපදවීමට හැක. එමෙන්ම පසුව සාකච්ඡා කරන පරිදි සංශෝධිත පනතට අනුව මෙම වියදම් පුද්ගලික අංශයට දැරීමට අවස්ථාව තිබේ.
අප විසින් යම් විදුලි බලාගාර LNG පාවිච්චි කිරීමට බලාපොරොත්තුවෙන් ස්ථාපිත කර ඇතත් LNG සැපයීමේ යටිතල පහසුකම් නොමැති බැවින් එම බලාගාර වල පාවිච්චි කරන්නේ ඩීසල්ය. LNG ඩීසල් වලට වඩා මිලෙන් අඩු වන නමුත් එය පුනර්ජනනීය බලයට වඩා මිලෙන් වැඩිය. එබැවින් LNG බලාගාර පාවිච්චියෙන් විදුලි බිල අඩුකර නොහැක. ආයෝජකයින් මෙරටට පැමිණෙන විට හෝ මෙරට භාණ්ඩ අපනයනය කරන විට හෝ මෙරට විදුලිය නිෂ්පාදනයේ වැඩි බරක් පුනර්ජනනීය බලයට යොදා තිබේ නම් එය අපට වාසි සහගතය. එමෙන්ම සැලසුම් කරන විට අප විදුලිය පාවිච්චි කරන්නේ කුමන කටයුත්තකටද යන බව උදා. හයිඩ්‍රජන් නිපදවීමටද නැතහොත් ඩේටා සෙන්ටර් වලටද යන්න වැදගත් වේ.
අවසාන සාකච්ඡාවේදී කතිකා කළ යෝජිත ප්‍රතිසංස්කරණ
සංශෝධිත පනත අනුව සමාගම් කීයක් ඇතිවන්නේද යන්නත් ඒවායේ අයිතියත් අපි දනිමු. 2024 පනතේ 15 වන වගන්තිය සංශෝධනය කර නොමැති බැවින් පුද්ගලික ආයෝජකයන්ට නව සම්ප්රේෂණ ජාල ගොඩනැගිය හැක. 2024 පනතේ 30(2) වගන්තිය සංශෝධනය කර විදුලිබල තොග වෙළෙඳ පොළක් වෙනුවට තොග ස්ථානීය වෙළෙඳ පොළක්, තොග වෙළෙඳ පොළක්, අනුශාංගික සේවා වෙළෙඳ පොළක් සහ සිල්ලර වෙළෙඳ පොළකින් සමන්විත ජාතික විදුලිබල වෙළෙඳ පොළක් ඇති කිරීමට කටයුතු කර තිබේ.
දැනටත් පුද්ගලික අංශය සතු ජනන සමාගම් තිබේ. යෝජිත රජය සතු ජනන සමාගමට පුද්ගලික අංශය හා එක්ව ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වීමේ හැකියාවද සාකච්ඡා විය. ඉදිරි බෙදාහැරීම සම්බන්ධයෙන් පුද්ගලික සමාගම් ඇතිවිය හැකි අතර ඒ සඳහා පනතෙන් බාධාවක් නොමැත.
එබැවින් ආණ්ඩුවේ අරමුණ වන්නේ පවතින රාජ්ය දේපළ රජය සන්තකයේ තබාගෙන ඒවා ප්රසාරණය කිරීම සඳහා අවශ්යවන ආයෝජන පුද්ගලික අංශයෙන් ලබා ගැනීමයි. මෙම ආයෝජන සම්ප්‍රේෂණය, බෙදාහැරීම, ජනනය හෝ සිල්ලර වෙළෙඳ පොළේ නව බෙදාහැරීම් සමාගම් ඇතිකිරීම සඳහා විය හැක. කවුරු ආයෝජනය කළත් ඒවා ප්රතිපුරණය කර ගත හැකි වන්නේ පාරිභෝගිකයන්ගෙන් අය කරන විදුලි ගාස්තු මගිනි.
එමෙන්ම බලශක්තියෙන් ලාභ ඉපයීමට බලාපොරොත්තුවක් රජයේ නැති බවද ප්‍රකාශ විය. එහි තේරුම නම් ටෙන්ඩර් වලට පුද්ගලික අංශය සමඟ රාජ්ය අංශය ද තරඟකාරීව ඉදිරිපත් වන බවත් රාජ්ය අංශයේ ටෙන්ඩර් ලාභ හෝ පාඩු නොමැති තත්ත්වයක් මත ඉදිරිපත් කරන බවත්ය.
අවසානයේදී වැදගත් ප්රකාශයක් ඉදිරිපත් විය. විදුලිබල මණ්ඩලය කොටස් වලට කැඩීම සිදුවනවිට විදුලිය තරඟකාරීත්වය සහ වෙළෙඳපොළ නිදහස හරහා වාණිජකරණය විය යුතුය. ඇතිවන ආයතන ස්වාධින අධ්‍යක්‍ෂවරු හරහා සංස්ථාපිත විය යුතුය. එමෙන්ම අයිතිය කොටස් වෙළෙඳපොළ හරහා බෙදී යා යුතුය.
ඉන්දියාව සමඟ සම්බන්ධ වීම
විදුලිබල මණ්ඩලයේ සැලසුම අනුව ඉන්දියන් විදුලි වෙළෙඳපොළ සමඟ සම්බන්ධවීම සලකා බලා තිබුණි. මෙම ලිපියේ සාකච්ඡා කළ පරිදි ලෝකය ගමන් කරන්නේ විදුලිබල ජාල සම්බන්ධ කිරීම වෙතටය. ශ්‍රී ලංකාවට කළ හැක්කේ විශේෂයෙන් පුනර්ජනනීය බලය හරහා අතිරික්ත ජනනයක් වන විට ඉන්දියාවට විකිණීමත් අවශ්‍ය විට ඉන්දියාවෙන් මිලදී ගැනීමත් ය. යුරෝපා සංගමය මෙන් නොව ඉන්දියාවේ අසල්වැසි රාජ්‍ය සමඟ ඇති විදුලිබල සම්බන්ධතා ද්වි පාර්ශ්වික වේ. කළ යුත්තේ ද්වි පාර්ශ්වික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමෙන් වැළකීම නොව සියලු අදාල රටවල් සමඟ එකතුවී පවතින සම්බන්ධතා බහු පාර්ශ්වික කර ගැනීමයි.
සමාප්තිය
ආණ්ඩුව සංශෝධිත පනත ක්රියාත්මක කර ඇති බැවින් පනතෙන් පොරොන්දු වූ පරිදි අවසන් සැලසුම වසරක් ඇතුලත ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැක.
ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බැවින් රට මූල්‍ය අර්බුදයකට යනු ඇතැයි සිතිය නොහැක. නමුත් දැන් අවශ්යතාව වන්නේ ආර්ථික වර්ධනයයි. ඒ සඳහා ආයෝජන අවශ්‍ය වේ. ආණ්ඩුවට මෙයට හැකියාවක් නැත. බලාපොරොත්තු පරිදි ආයෝජන නොපැමිණෙන්නේ නම් රාජ්‍ය ආයතන විකිණීමෙන් අරමුදල් සපයා ගත හැක.
ශ්රී ලංකාවේ අනාගත ආර්ථික ප්රගතිය රැඳී ඇත්තේ විදුලි රැහැන් පමණක් නොව භෞතිකවද ඉන්දියාව සමඟ සම්බන්ධ වීමෙනි. මේ සඳහා විශාල රටවල් සමඟ ගනුදෙනු කිරීමේදී ඇතිවන බිය ජනක තත්ත්වයෙන් ශ්රී ලාංකිකයන් මිදිය යුතුය. මේ සම්බන්ධ ආදර්ශයක් සිරිමා බණ්ඩාරනායක සහ රනිල් වික්රමසිංහ විසින් දී තිබේ.
(මේ ලිපිය සම්පාදනය කිරීමේදී කීර්ති ගොඩිගමුව ගෙන් ලැබුණ දායකත්වය ලියුම්කරු අගය කරයි.)
Published in Colombo Telegraph and in Anidda on December 12, 2025
https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-12-december-2025/
No comments:
Post a Comment