වර්තමාන ආණ්ඩුව බලයට පත්වී ඇත්තේ රටේ විශේෂයෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ පවතින දූෂණ සංස්කෘතිය නැති කරන බවට පොරොන්දු වෙමිනි. රටේ තිබෙන සියලුම ප්‍රශ්ණ වලට මුල දූෂණය බවද දූෂණ ය නැති කිරීමෙන් සියලු ප්‍රශ්න නිවාරණය වන බවද සමහරෙක් සිතති. මෙය සම්පුර්ණ සත්‍යය නොවේ.
එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී මෙවලම් කට්ටලයේ එන අර්ථ දැක්වීම අනුව මෙම දූෂණ මහා පරිමාණ දූෂණ හෙවත් රජයේ මූලික කාර්යයන්ට බලපෑම් කරන දූෂණ හෝ කුඩා පරිමාණ දූෂණ හෙවත් ආණ්ඩුකරණ සහ සමාජයීය රාමුව තුල ඇති දූෂණ හෝ සක්‍රිය දූෂණ හෙවත් අල්ලස ලබන්නා සහ දෙන්නා යන දෙදෙනාම සක්‍රිය දූෂණ හෝ අක්‍රිය දූෂණ හෙවත් මේ දෙදෙනාගෙන් එක් අයකු අක්‍රිය දූෂණ හෝ විය හැක.
මෙයින් දැනට සිදුවන පරිදි මහා දූෂණ වලට නිදහසේ වැඩෙන්නට සලස්වා කුඩා දූෂණ කරන්නන් කොටුකර ගැනීම හෝ සමහරුන් අපේක්ෂා කරන පරිදි මහා දූෂණ කරන්නන් කොටු කර ගෙන කුඩා දූෂණ කරන්නන් ට නිදහසේ ඒවා කරගෙන යාමට සැලැස්වීමෙන් හෝ දූෂණය නැති කළ නොහැක. කළ යුත්තේ මහා හෝ කුඩා හෝ දූෂණ සියල්ලටම එරෙහිවී ඒවා මර්දනය කිරීමයි.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් ජාත්‍යන්තරව වාර්ෂිකව නිර්ණය කරනු ලබන දූෂණය පිලිබඳ දර්ශකයක් තිබේ. එම දර්ශකයට අනුව 2023 දී ශ්‍රී ලංකාව තිබෙන්නේ රටවල් 180 කින් 115 ස්ථානයේය. දූෂණය අඩු මට්ටම වන ලකුණු 100 සිට දූෂණය වැඩි මට්ටම වන ලකුණු 0 දක්වා වන පරාසය තුල ශ්‍රී ලංකාව ලකුණු 34 ක් ලබා ගෙන ඇත. මෙම දර්ශකය ගණනය කිරීම සඳහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් සලකා බලනු ලබන නිර්ණායක පහත දැක්වේ.
1. අල්ලස
2. මහජන මුදල් අයථා පරිහරණය
3. නිලධාරීන් විසින් කිසිම බාධාවකින් තොරව රජයේ කන්තෝරු පුද්ගලික ප්‍රතිලාභ සඳහා යොදා ගැනීම
4. ආණ්ඩුවට රාජ්‍ය අංශයේ දූෂණය නැවැත්වීමට සහ අවංක භාවය බලගැන්වීම සඳහා ඵලදායි යාන්ත්‍රණ ගොඩනැංවීම සඳහා ඇති හැකියාව
5. දූෂණය සඳහා අවස්ථා සලසන අධික නිලධාරිවාදය සහ රෙඩ් ටේප් සංස්කෘතිය
6. සිවිල් සේවයේ සුදුස්සාට තැන නොදී දැනහැඳුනුම් කම් ඇති අයට තැන දීම
7. දුෂිත නිලධාරීන්ට එරෙහිව ඵලදායි ලෙස සාපරාධි නඩු පැවරීමට ඇති හැකියාව
8. රාජ්‍ය නිලධාරීන්ගේ මුල්‍ය විනිවිදභාවය සහ ළබැඳියාවන් අතර ගැටුම් නැවැත්වීම සඳහා ප්‍රමාණවත් නීති තිබීම
9. අකටයුතු නාදකයින්ට (විස්ල්බ්ලොවර්ස්ලාට), ජනමාධ්‍යවේදීන්ට සහ විමර්ශකයන්ට ඔවුන් අල්ලස සහ දූෂණය පිලිබඳ තොරතුරු සපයන විට නීතියේ ආරක්ෂාව තිබීම
10. පටු පුද්ගල අභිමතාර්ථ මගින් රාජ්‍ය යාන්ත්‍රනය ග්‍රහණයට ගැනීම
11. පුරවැසියන්ට පොදු කටයුතු පිලිබඳ තොරතුරු දැනගැන්මට හැකිවීම
දුෂණයට එරෙහිව මෙරට පළමු පනත නම් 1954 අංක 11 දරන අල්ලස් පනතයි. ඉන්පසුව 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභා පනත සහ 1975 අංක 1 දරණ වත්කම් සහ බැරකම් ප්‍රකාශ පනත තිබේ. මෙම සියලුම පනත් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත අනුව නිශේධනය වේ. ඉහත පනත් වල ඇති සියලුම අංගද තවත් අංගද 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට ඇතුළත් ව තිබේ.
මෙයට අමතරව 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත අනුව අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය පිහිටුවා තිබේ.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට අනුව ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිලිබඳ කොමිෂන් සභාවක් පිහිටුවා තිබේ.
දුෂණ විරෝධී පනතේ 107 වගන්තිය අනුව යම් රජයේ සේවකයකු සාමාජිකයකු අධ්යක්ෂවරයකු හෝ සේවා නියුක්ත යකු වන විට බැඳියාවන් අතර ගැටුමක් ඇතිවිට ඒ බව ප්රකාශ නොකිරීම වරදකි. කොමිසම විසින් මේ පිලිබඳ කටයුතු කිරීම හා කළමනාකරණය කිරීම රීති මගින් නිශ්චිතව දැක්විය යුතුය.
එබැවින් ඉහත ඉහත 7,8, 9 සහ 11 යන කාරනා පිළිබඳව බලපැවැත්වෙන නීති සම්මතව ඇත.
ඉහත 4 කාරණය පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද අවධානය යොමුකර ඇති අතර පහත දැක්වෙන ඔවුන්ගේ යෝජනා වල 3 සහ 6 යන කරුණු වල මේ පිළිබඳව සාකච්ඡා වේ.
ඉහත 3,5,6,10 යන කරුණු පිළිබඳව රජයේ අවධානය බෙහෙවින්ම යොමු විය යුතුය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් 2023 මාර්තු මස නිකුත් කරන ලද අංක 23/116 දරන වාර්තාවේද ලංකාවේ දූෂණයට ඇති නැමියාව පිලිබඳ සඳහන් කර ඇත. රාජ්‍යයේ විවිධ අංශ වල ආණ්ඩුකරණය පිළිබඳව ඇති දුර්වලතාද ඉතා ඉහල මට්ටමක ඇති දූෂණයද හේතුවෙන් දූෂණයට එරෙහිව කටයුතු කිරීමට, රාජ්‍ය ආයතන වල පරිපාලනය විධිමත් කිරීමට, ආදායම් එකතුකිරිම සහ වියදම් පරිපාලනය සඳහා ආණ්ඩුවේ කටයුතු ඩිජිටලීකරණය කිරීමට වේදිකාවක් සැකසීමට, රාජ්‍ය අංශයේ විනිවිදභාවය ආරක්ෂා කිරීමට සහ මුදල් විශුද්ධිකරණ සහ ත්‍රස්තවාදීන්ට අධාරදීමේ ක්‍රියාවලි වලට එරෙහිව කටයුතු කිරීමට යොමුවීම අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද අවධාරණය කර ඇත.
බොහෝ කාලයක් තිස්සේ ආණ්ඩු විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන ලද සහ දූෂිත නිලධාරීන්ගේ විරෝධතාවයට හේතුවූ රජයේ කටයුතු ඩිජිටලීකරණය පිළිබඳව වර්තමාන ආණ්ඩුව ප්‍රමුඛතාවයක් දීමට සුදානම් බව ඒ පිළිබඳව අමාත්‍යංශයක් ඇතිකිරීමට යෝජනා කිරීමෙන් පෙනෙන්නට තිබේ.
2023 සැප්තැම්බර් මස නිකුත් කරන ලද අංක 23/340දරන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව අනුව 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත මගින් දූෂණ විරෝධී නීති රාමුව බොහෝ සෙයින් බලසම්පන්න කරන ලද බව කියා සිටියි.
ආණ්ඩුව දූෂණ සංස්කෘතිය නැති කිරීම සඳහා කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟවූ තවමත් ක්‍රියාත්මක කිරීම අතපසු වී ඇති පහත දැක්වෙන කරුණු ඉටු කිරීම සඳහා වහාම පියවර ගත යුතුය.
1. රජයේ රු. බිලියනයකට වැඩි ප්‍රසම්පාදන කොන්ත්‍රාත්ලාභින්ගේ විස්තර, ආයෝජන මණ්ඩලය හරහා බදු සහන ලබා ගන්නා සමාගම් වල ලැයිස්තුවක් සහ සුඛෝපභෝගී වාහන ආනයනය වෙනුවෙන් බදු සහන ප්‍රමාණයද ඇතුළුව ලබාගන්නා අයගේ ලැයිස්තුවක් අර්ධ වාර්ෂිකව ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය මාර්ගගත වේදිකාවක් සැකසීම. මෙය 2023 මාර්තු 31ට පෙර කළ යුතුව තිබුනත් තවමත් ඉටුකර නොමැත. විස්තර ප්‍රසිද්ධ කිරීමට නියමිතව තිබුනේ 2024 ජුනි 30 වන විටය. එයද තවම ඉටුවී නොමැත.
2. දූෂණ විරෝධී පනත අනුව 2024 මාර්තු 31 දිනට රජයේ නිශ්චිත නිලධාරීන් විසින් ඔවුන්ගේ වත්කම් 2024 ජුනි 30වන දිනට පෙර ප්‍රකාශ කළ යුතුය. එසේ ප්රකාශ කර නොමැති නිලධාරීන්ගේ ප්‍රකාශ ගෙන්වා ගැනීමටත් ඒවා ප්‍රසිද්ධ කිරීමටත් ප්‍රමාද වීම සඳහා දඩ මුදල් අයකර ගැනීමටත් කටයුතු කිරීම.
3. රජයට ආදායම් ලැබෙන සෑම දෙපාර්තමේන්තුවක් සඳහාම දූෂණ විරෝධී ක්‍රියාවලියක් සඳහා සැලසුමක් සකස් කිරීම. මෙය කිරීමට නියමිතව තිබුනේ 2024 අගෝස්තු 31 දින වේ.
4. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ RAMIS නම් මාර්ගගතවද භාවිතා කළ හැකි පරිගණක වැඩසටහන ක්‍රියාත්මක කිරීම. මෙය නියමිතව තිබුනේ 2024 අගෝස්තු 31 දිනට වේ.
5. පොදු දේපල සම්බන්ධයෙන් වගකීම් ඉෂ්ට කිරීම පැහැර හරින රජයේ නිලධාරීන්ට එරෙහිව දඩ මුදල පැනවීමට විගණකාධිපතිට බලය ලැබෙන සේ ජාතික විගණන පනත සංශෝධනය කිරීම. මෙය නියමිතව තිබුනේ 2024 සැප්තැම්බර් 30 දිනටය.
6. අල්ලස් හෝ දුෂණ මර්දන කොමිසමට උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම. නියමිත දිනය 2024.10.30.
7. එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධී සම්මුතිය අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ද සහාය ඇතිව වත්කම් නැවත ලබාගැනීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කර එය සම්මත කර ගැනීම. නියමිත දිනය 2024 නොවැම්බර් 30.
8. රජයේ ප්‍රසම්පාදනය පිලිබඳ පනතක් සම්මත කර ගැනීම. නියමිත දිනය. 2024.12.31.
පසුගිය ආණ්ඩුව වත්කම් නැවත ලබාගැනීම සඳහා වන පනත් කෙටුම්පත සකස් කරමින් පවතින බව ප්‍රකාශයට පත්කර තිබුණි. එනමුත් ඔවුන් මේ සියලු ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ කාර්ය සාධන මට්ටම ජනතාවට හෙළි කළේ නැත. නමුත් වර්තමාන ආණ්ඩුව ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ රටේ පවතින දුෂණ සංස්කෘතිය වෙනස් කිරීමේ ප්‍රධාන සටන් පාඨය මතය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙහි දක්වා ඇත්තේ එම සටන් පාඨය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය එක්තරා වැඩපිළිවෙලකි. එබැවින් මේ කටයුතු සම්බන්ධව කාර්ය සාධන මට්ටම ආණ්ඩුව විසින් නොපමාව ජනතාවට හෙළි කළ යුතුය.
රාජ්‍ය සේවයේ දූෂණය නැති කිරීමට පෙර ඉටුකළ යුතු කොන්දේසිය නම් අතිරික්ත සේවකයන් ඉවත්කර ඉතිරි අයගේ වැටුප් වැඩි කර ඔවුන්ට කාර්ය සාධන ඉලක්ක ලබා දීමයි.
දේශපාලනඥයන්ගේ දූෂණ නැති කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ ප්‍රතිලාභ කපා හැරීම මගිනි. සමහරු කෙතරම් මුදල් තිබුනත් දූෂණයේ යෙදෙන අතර බොහෝ දෙනෙකුට තමුන්ට ධනය ලැබේ නම් දූෂණයේ යෙදීමේ අවශ්‍යතාවයක් නැත. සිංගප්පුරුවේ දූෂණය නැති කිරීමේ ප්‍රථම පියවර වූයේ එරට ඇමතිවරුන්ට පුද්ගලික අංශයේ ප්‍රධාන විධායක නිලධාරියකු ගන්නා වැටුප ප්‍රදානය කිරීමයි. එනම් ඔවුන්ගේ සේවයට සරිලන වැටුපක් ගෙවීමයි. ඉන්පසු ලි ක්වාන් යූ දුෂනයට එරෙහිව ඉතාම තද නීති ක්‍රියාත්මක කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුදල් අවශ්‍යවන ප්‍රධාන හේතුවක් වන්නේ දැනට පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ මුළු දිස්ත්‍රික්කයක මැතිවරණ කටයුතු වල යෙදීමට සිදුවීමයි. එබැවින් මෙම ක්‍රමය මිශ්‍ර සමානුපාතික ක්‍රමයක් බවට පරිවර්තනය කළ හොත් සමානුපාතික ක්‍රමයේ හොඳ අංග රැක ගෙන කේවල ක්‍රමයේ යම් අංගද ඇතුලත් කල හැක. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රමුඛ කාර්යභාරය නීති සම්පාදනය කිරීමයි. ඔවුන් එයින් වියුක්ත කරන විමධ්‍යගත අයවැය වැනි ක්‍රම නැති කළ යුතුය. එවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුෂණ ක්‍රියාවල යෙදෙන්නට අවකාශ නොලැබේ. දුෂණ ක්‍රියාවල යෙදීමට අවකාශ ලැබෙන්නේ විධයකයටයි ව්‍යවස්ථාදායකයට නොවේ. එබැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවරා ඇති ඍජු විධායක කාර්ය භාරය ඔවුන්ගෙන් ඉවත් කළ යුතුය. පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා වලින් සිදුවන්නේ අධීක්ෂණයකි. ඍජු මැදහත් වීමක් නොවේ.
මෙවැනි සාධනීය කරුණු ගැන කථා නොකර ඒවා ක්‍රියාත්මක නොකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි කිරීමට පමණක් කථා කිරීම සහ එය ක්‍රියාත්මක කිරීම මගින් සිදුවන්නේ දුෂණයට හේතු ඉතිරි කිරීම සහ ඔවුන් දුෂණයට තවදුරටත් පෙළඹවීමයි. අනික් අතට පාර්ලිමේන්තුවට දක්ෂයන් පැමිණීම වැළැක්වීමද සිදුවිය හැක. පාර්ලිමේන්තුවට අවශ්‍ය දක්ෂයන්ය. ගැලරියට කථා කිරීමෙන් රටේ ප්‍රශ්ණ විසඳිය නොහැක.
මේ අනුව දූෂණය හුදු දේශපාලකයන්ට සිමා වන්නක් නොවන බවත් වර්තමාන රජය ගොඩනැංවීමට දායක වූ රාජ්‍ය සේවකයන්ද එයට ඇතුලත් වන බවත් රජය විසින් හුදු සටන් පාඨ වලින් ඔබ්බට ගොස් කල යුතු විශාල කාර්යභාරයක් තිබෙන බවත් වටහා ගත හැක. රජය විසින් මෙම කාර්ය භාරය වහ වහා ඉෂ්ට කිරීම ඔවුන් බලයට පත්කළ ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමක් වෙයි.
අවසාන වශයෙන් කිවයුත්තේ ආණ්ඩුවේ බැඳුම්කරවල පොලී අනුපාතය අඩුකර ගැනීමේ අටියෙන් වෙරිටේ රිසර්ච් ආයතනය මගින් පසුගිය වසරේ ඉදිරිපත් කළ අදහසක් වන බැඳුම්කර හිමියන්ද පිළිගත් ආණ්ඩුකරණය හා බැඳුනු බැඳුම්කර අවස්ථාව ලැබුණු ඉක්මනින් නිකුත් කිරීමට පියවර ගැනීම සුදුසු බවයි. මේවායේ යාන්ත්‍රනය වන්නේ දුෂණයෙන් තොර වීමද ඇතුළත් යහපත් ආණ්ඩුකරණයේ නිර්ණායක ක්‍රියාත්මක වන විට පොලී අනුපාතය අඩුවීමත් එසේ නැති විට පොලී අනුපාතය වැඩි වීමත්ය. මෙමගින් ආණ්ඩුවලට යහපත් ආණ්ඩුකරණයක් ඇති කිරීමට උත්තේජනයක් සපයයි.
Published in Colombo Telegraph on November 7,2024)
https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-7-november-2024/