ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය දැන් සමනය වී ඇතැයි බොහෝ දෙනා සිතති. දිනකට පැය 13 ක විදුලි කප්පාදුවක්ද වාහනයකට පෙට්‍රල් හෝ ඩිසල් හෝ ලබාගැනීම සඳහා දින දෙක තුනක් එක දිගට පෝලිමේ සිටීමටද එමෙන්ම ගෑස් ලබා ගැනීම සඳහා දින ගණන් මාරුවෙන් මාරුවට පෝලිමේ සිටීමටද ඉවුම් පිහුම් සඳහා දර ලිප් පාවිච්චි කිරීමටද අවශ්‍යතාවක් දැන් නැත. එනමුත් අනාගතයේදී මෙම තත්ත්වය නැවතත් නරක අතට හැරීමට ඉඩතිබේ.
භාණ්ඩ වල විශේෂයෙන්ම ආහාර වල මිල ඉහලයන වේගය බොහෝ දෙනකුට දරාගත නොහැක. පහළ මධ්‍යම පාන්තිකයන් අනුක්‍රමයෙන් දුප්පතුන් බවට පත්වෙමින් තිබේ.
මෙම තත්ත්වය අතික්‍රමණය කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව ඩබ්. ඩි. ලක්ෂ්මන් වැනි පවතින තත්ත්වය ඇතිකිරීමට ඍජුවම දායක වූ පුද්ගලයන් හැර වෙනත් ආර්ථික විද්‍යාඥයන්ගේ පොදු එකඟතාවක් තිබේ.
එය මෙසේය. ශ්‍රී ලංකාවට කලින් එකඟතාවකට නොපැමිණ විදේශ ණය නොගෙවන බව ණය හිමියන්ට දැනුම් දීමට සිදුවී තිබේ. එම නිසා ඔවුන් සියලුදෙනා සමග සාකච්ඡා කර ණය ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟතාවකට පැමිණිය යුතුය. මෙය පහසු ක්‍රියාවක් නොවේ. මක්නිසාද යත් අපේ බැඳුම්කර ණය හිමියකු වන ඇමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු සියලු ණය ගෙවන ලෙස ඉල්ලා මෙරටට එරෙහිව ඇමෙරිකාවේ නඩු පවරා තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්වි පාර්ශ්වික ණය හිමියකු වන චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ නැත. මේ වාර්තාව සමඟ ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික වැඩ පිළිවෙල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කල යුතුය. ඔවුන් එය අනුමත කළහොත් මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා යම් ණය මුදලක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත. ඉහත වැඩ පිළිවෙල දැන් කෙරීගෙන යයි. මේ අතරතුර කාලය තුල තාවකාලික ණය මුදල් මිත්‍ර රට වලින් ලබා ගත යුතුය. ඉන් පසුව අපනයන සහ ඍජු විදේශ ආයෝජන මුල් කරගත් ආර්ථික වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කල යුතුය.
ඉහත සඳහන් කල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන ඉදිරි ආර්ථික වැඩ පිළිවෙල තුල අධ්‍යාපන සහ සෞඛ්‍ය වියදම් හැර විදුලිය සහ ඉන්ධන ඇතුළු රජය සතු ආයතන මගින් නිපදවන අනෙක් සියලු භාණ්ඩ සහ සේවා සහන මිලට නොව වෙළෙඳපොළ මිලට අලෙවි කල යුතුවේ. මෙය බොහෝ දුරට දැන් සිදුවේ. එයට අමතරව විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු සියලු රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය කල යුතුවේ. මෙම ප්‍රතිසංවිධානය යනු පුද්ගලීකරණය හෝ ශ්‍රී ලංකා ටෙලිකොම් මෙන් රාජ්‍ය-පුද්ගලික සහයෝගිතාවක් හෝ සිංගප්පුරු රජය සතු ටෙමාසෙක් හෝල්ඩින්ස් ආයතනය මෙන් රජයෙන් බාහිර මනා කළමනාකාරිත්වයක් පවත්වාගත යුතුය. මෙම අවසාන විසඳුම ශ්‍රී ලංකාවේ සංස්කෘතිය අනුව පහසු නොවේ. එබැවින් කල යුත්තේ පළමු හෝ දෙවන ප්‍රතිසංවිධාන විසඳුම්ය.
රජයේ බදු වැඩි කිරීම හරහා රජයේ ආදායම වැඩි කර ගැනීමද මේ ක්‍රියාවලියට ඇතුලත් ය. මතක තබා ගත යුතු කාරණය නම් මෙම ක්‍රියාවලියේ පුර්ණ අවධානය රාජ්‍යය වෙත යොමුවී තිබීමයි. ජනතාව වෙත නොවේ. වැටි ඇත්තේ රාජ්‍යයයි. එබැවින් පළමුව එය නගා සිටුවිය යුතුය. ජනතාව දෙස බැලිය යුත්තේ දෙවනුවයි. රාජ්‍යයෙන් තොරව ජනතාවට පැවැත්මක් නැත.
රාජ්‍යයේ ගිණුම් වල දීර්ඝ කාලින අයවැය හිඟය ද රටේ වෙළෙඳ ශේෂයේ දීර්ඝ කාලීන හිඟයද ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අමනොඥ ප්‍රතිපත්ති ද රට මේ තත්ත්වයට වැටීමට හේතුවී තිබේ.
එනමුත් මෙම ප්‍රතිසංවිධාන හරහා පීඩාවට පත්වන නියම ජනතාවට සහන සැලසීමටද රාජ්‍යයට සිදුවනු ඇත. නියම ජනතාවයයි සඳහන් කලේ දැනට පවතින සහනාධාර හරහා සහනාධාර නොලැබිය යුතු කොටස් ද සහන ලබන නිසාය. උදාහරණයක් නම් ඉන්ධන වලට දෙන සහනාධාර හරහා ධනපතියන්ද එම සහනාධාර ලබා ගන්නා බැවිනි. සුබදායක කාරණය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද මෙම තත්වය වටහා ගෙන පීඩාවට පත්වන ජනතාවට එම සහන ලබා දිය යුතු යයි කියා සිටීමයි.
රාජ්‍ය ආයතන මෙම තත්ත්වයට පත්වුයේ පැවති සියලුම රජයයන් විසින් මෙම ආයතන වල තනතුරු ඉහල සිට පහලටම සිය අන්තේවාසිකයන් ගෙන් පිරවීමයි. ගෝඨාභය රාජපක්ෂ මෙම තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කලත් එය කල නොහැකි විය. එමෙන්ම මෙම ආයතන වල ප්‍රබල වෘත්තීය සමිති ද තිබේ. එම සමිති සමන්විත වන්නේද ඉහත සඳහන් අන්තේවාසිකයන් ගෙනි. මෙම ආයතන වල පුද්ගලික අංශයේ මෙන් කාර්යක්ෂමව වැඩ කරන පිරිස් විරලය. එසේ වැඩ කලත් පුද්ගලික අංශයේ මෙන් ඔවුන් ට වැඩි වැටුප් දෙන ක්‍රමයක් නැත. එබැවින් කිසිවකු වැඩ කිරීමට උනන්දු වන්නේ ද නැත. උසස්වීම් බොහෝවිට ජ්‍යෙෂ්ඨත්වය අනුවයි. කාර්යක්ෂමතාව අනුව නොවේ.
සරත් පොන්සේකා ජ්‍යෙෂ්ඨත්වය අනුව යුදබිමේ අණදෙන නිලධාරීන් පත් කලේනම් තවමත් රට යුද්ධ කරනු ඇත. ඔහු හමුදාවේ එවකට පැවති සම්ප්‍රදාය නොසලකා වැඩ කල හැකි කනිෂ්ඨ පිරිස් යුද බිමේ අණ දෙන නිලධාරීන් ලෙස පත් කළේය. ශවේන්ද්‍ර සිල්වා එවැන්නෙකි. යුද්ධ හමුදාවේ වෘත්තීය සමිති නැත.
ඉහත සඳහන් කල වෘත්තීය සමිති පිලිබඳ විවේචනයට ව්‍යතිරේකයක් තිබේ. එනම් මෙරට පැවති අත්තනෝමතික ආණ්ඩු විසින් පාගා දමන ලද වෘත්තීය අයිතිවාසිකම් ලබා ගත්තේ වෘත්තීය සමිති විසින් කරන ලද නිර්භය වෘත්තීය අරගල නිසා බවය.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වූ විගස වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු අදානි සමාගමට බදු දීමට එරෙහි වෘත්තීය සමිති විරෝධතාව කියවා ගත යුත්තේ මේ පසුබිම යටතේය. මේ රටේ පවතින සමාජවාදී චින්තනය යටතේ රජයේ සම්පත් වැඩි දියුණු කිරීම සඳහා රජයට මුදල් නොමැති වුවත් රජය එම වියදම දැරිය යුතුය. ගිනි පොලියට හෝ ණයට ගැනීම මේ සමාජවාදීන්ට ප්‍රශ්ණයක් නොවේ. රට මේ තත්ත්වයට වැටී ඇත්තේ මේ සමාජවාදී චින්තනය නිසාය.
මේ සමාජවාදීන් රාජ්‍ය දේපල රජය යටතේ අකාර්යක්ෂමව හෝ පවත්වා ගත යුතු යයි සිතන නමුත් පසුගිය කාලය මුළුල්ලේ වසරින් වසර වැඩිවූ රටේ ආදායම් බෙදී යාමේ විෂමතාව ගැන ඔවුන් කිසිම අවධානයක් යොමුකර නැත. ඔවුන් විසින් ඉල්ලා සිටිය යුතු වුයේ රටේ සංවර්ධනයේ ප්‍රතිලාභ බහු ජනතාවට බෙදී යනසේ රටේ බදු ක්‍රමය ප්‍රතිසංවිධානය කරන ලෙසයි. සමාජවාදයට වඩාත් ආසන්න වන්නේ එයයි. ආණ්ඩුවේ අන්තේවාසිකයන්ට රාජ්‍ය දේපල පාලනය කිරීමට ඉඩ හැරීම නොවේ.
ආර්ථික විද්‍යාඥයන් නොවන දේශපාලනඥයන් සමහරෙක් ඉහත දැක්වූ වැඩ පිළිවෙලට එකඟ නොවෙති. වාසුදේව නානායක්කාර එවැන්නෙකි. රට පුරා මෙම පසුගාමී චින්තනය පැතිරවීමට දායක වුයේ ඔවුන්ය.
රට දැන් සන්ධිස්ථානයකට පැමිණ තිබේ. මෙම ආර්ථික ගැටලුවට අප මුහුණ දෙන්නේ කෙසේදැයි එකඟත්වයකට පැමිණිය යුතුව තිබේ. ආර්ථික විද්‍යාඥයන් ඉදිරිපත් කරන පොදු අදහසට එනම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ඉල්ලීම සහ ඒ අනුව මතුවන ඉහත සඳහන් කල රටේ අයවැය හිඟයට අදාල ආර්ථික ගැටළු වලට පිළියම් දීමේ ක්‍රියාදාමයට විකල්ප අදහසක් යමකු දරන්නේ නම් ඒ පිළිබඳව වහාම විවෘතව සාකච්ඡා කල යුතුය. මක්නිසාද යත් ලිප ගිනි දැල්වෙමින් තිබේ අප සැලිය ඇතුලේය. ඒ බව රජය විසින් ද සඳහන් කර තිබේ.
එක අතකින් මෙම විකල්ප වැඩ පිළිවෙල ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ ඩබ්. ඩි. ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල් යන මහා බැංකු අධිපතිවරුන් විසින් පී. බි. ජයසුන්දර ගේ උපදෙස් අනුව අත්හදා බලා තිබේ. රට මේ තත්ත්වයට වැටී ඇත්තේ ඒ අනුවය.
දශක ගණනාවක් තිස්සේ රට ආපස්සට ගියේ සහ අප මේ තත්ත්වයට මුහුණ දී සිටින්නේ අප විසින් අනුගමනය කල රටට ඔරොත්තු නොදෙන ප්‍රතිපත්ති නිසාය. එබැවින් මේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට යම් පිරිසක් එරෙහි වන්නේ නම් තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ එම වෙනස් කිරීම් කල නොහැක.
එසේ නම් අවම තත්ත්වය කුමක්ද? ව්‍යවස්ථාවට එකඟ වීමයි. ව්‍යවස්ථාවට පිටින් ජනාධිපතිවරයාද පාර්ලිමේන්තුවද අධිකරණයද කටයුතු කර ඇති රටක ව්‍යවස්ථාවට එකඟ වීම සැලකිය යුතු කොන්දේසියකි.
තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ වෘත්තීය සමිති උද්ඝෝෂණය කරන විට ආණ්ඩුව පුද්ගලීකරණය හකුලා ගත යුතුය. සිවිල් සමාජය විරුද්ධ වන විට ආණ්ඩුව හදිසි නීතිය ඉවත් කර ගත යුතුය.
මේ තිත්ත කසාය බීමට වෘත්තීය සමිතිද සමහර දේශපාලනඥයන්ද කැමති නොවනු ඇත. සමස්ත ජනතාවම එයට අකමැති නම් මෙම නරාවලේ සාමූහිකව ගිලීමට අපට පොදු එකඟතාවකට පැමිණිය හැක. ජනතාවගෙන් කොටසක් පමණක් එයට එකඟ නොවේ නම් හදිසි නීතිය පනවා වැඩ කටයුතු ඉදිරියට ගෙන යා යුතුය.
මක්නිසාද යත් වඩා වටින්නේ රාජ්‍යයයි. එහි පැවැත්මයි. ජනතාව හෝ ප්‍රජාතන්ත්‍රවාදය හෝ නොවේ. රාජ්‍යයෙන් තොරව ජනතාවගේ හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ හෝ පැවැත්මක් නැත. ඉන් පසුව ජනතාවයි. ප්‍රජාතන්ත්‍රවාදය එන්නේ අවසානයටයි. තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය එන්නේ ඊටත් පසුවයි. මෙය ඒකාධිපතිවාදය ප්‍රවර්ධනය කිරීමක් නොවේ. කඩාකප්පල්කාරිත්වය අවවර්ධනය කිරීමකි.
මේ වනවිට රටේ බොහෝ නාමධාරී උගතුන් සහ නාමධාරී සිවිල් සමාජ ක්‍රියාකාරකයින් විසින් ආණ්ඩුව විසින් පැනවූ හදිසි නීතියට එරෙහිව මත ප්‍රකාශ කර ඇත. එමතු ද නොවේ. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ ජාත්‍යන්තර ප්‍රජාව ද එයට විරුද්ධ වී ඇත. මේ අතර ජනාධිපතිවරයා හදිසි නිතිය ඉවත් කර ගන්නා බව ප්‍රකාශකර තිබේ. එනමුත් මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමට හදිසි නීතිය අවශ්‍ය වනු ඇතැයි මම අනුමාන කරමි.
මේ තත්ත්වයෙන් ගොඩ ඒමට වඩාත් ප්‍රශස්තම ක්‍රියා මාර්ගය වන්නේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වල එකතුවෙන් තනා ගන්නා සර්ව පාක්ෂික ආණ්ඩුවකි. එවැනි ආණ්ඩුවක් මගින් මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීම වඩාත් පහසුවනු ඇත. අපේ රටේ දේශපාලනඥයන්ද ජනතාවද, නැවත කියමි, ජනතාවද කටයුතු කර ඇත්තේ රටට එරෙහිවයි. ඔවුන් සියලු දෙනාම සිය පුද්ගලික කෙටි කාලින අභිමතාර්ථ සාධනය පිණිස කටයුතු කළා විනා රටේ දීර්ඝ කාලින චිරස්ථිතිය පිණිස කටයුතු කර නැත. එබැවින් පාර්ලිමේන්තු මැතිවරණයකින් පසුව ඊළඟට පත්වන ආණ්ඩුව මගින් මේ බරපතල මෙතෙක් අතපසු කල ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීම අපහසු වනු ඇත.
මේ එයට කාලයයි. අනෙක් අතට පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමට කාලය එනතෙක් බලා සිටීමට රටට නොහැක. පාර්ලිමේන්තුවේ සියල්ලන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතු වීමට නොකැමැත්තේ නම් ජනාධිපතිවරයාට තනිවම ක්‍රියා කිරීමට සිදුවනු ඇත. මක්නිසාද යත් ඔහු වගකීම භාරගෙන සිටින බැවිනි.
ඒ අවස්ථාවේදී ආර්ථික ප්‍රතිසංස්කරණ වලට එරෙහි වන්නන්ට එරෙහිව හදිසි නීතිය නැවත පනවනු ඇත. පැනවීමට සිදුවේ.
රටේ ජනතාව විසින්ද අරගලකරුවන් විසින්ද ඉල්ලා සිටි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ඉන් පසුව කල යුතු කාර්යයකි. දේශපාලන සංස්කෘතිය පමනක් නොවේ. ජනතාවගේ සංස්කෘතියද වෙනස් කල යුතුය. මක්නිසාද යත් දේශපාලන සංස්කෘතිය ජනතාවගේ සංස්කෘතියේ උප කුලකයක් වන බැවිනි. පළමුව කල යුතු දේ පළමුව කල යුතුය.පෙරමුණු ගණනාවක එකවිට සටන් කල නොහැක.
එබැවින් මේ තීරණාත්මක අවස්ථාවේදී දීගු කාලයක් තිස්සේ ක්‍රියාත්මක කල නොහැකි වූ ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමට ප්‍රමුඛත්වය දිය යුතුය. මානව හිමිකම් ක්‍රියාකාරිකයන්ද විද්වතුන්ද මේ බව අවබෝධ කරගත යුතු යයි සිතමි.
Published in Colombo Telegraph on Auhust 19, 2022. Same article was published in Samabima suppliment of Anidda newspapaer-printed version- on August 18,2022 under the topic රට වැටී ඇත්තේ සමාජවාදී චින්තනය නිසයි.
No comments:
Post a Comment