Wednesday, April 7, 2021

රටට ආදරේ කවුද ?

 

ශ්‍රී  ලංකාවට එරෙහිව මෙතෙක් සම්මතවූ යෝජනා අතරින් බරපතලම යෝජනාව පසුගියදා ජිනීවා හි ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත විය. එහි පුර්විකාවට අමතරව යෝජනා 16 ක් තිබේ. එම යෝජනා දාසයෙන් වඩාත්ම බරපතලම යෝජනාව හයවැන්නයි. එය මෙසේය.

“වගවීම ඉදිරියට ගෙන යාමේ අරමුණින් ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනය කිරීම් හා ඒවාට සම්බන්ධ අපරාධවල සාක්ෂි ආරක්ෂා කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ වැදගත්කම හඳුනාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතියේ බරපතල ලෙස කඩකිරීම් ගැන සාක්ෂි සහ තොරතුරු එකතු කිරීම, ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ සංරක්ෂණය කිරීම සහ, නිසි අධිකරණ බලය සහිත සාමාජික රටවල් තුළ ඇතුළුව, සුදුසුකම් ලත් විනිශ්චය මණ්ඩල ඉදිරියේ වින්දිතයින් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනී සිටීම සහ අදාළ අධිකරණ හා වෙනත් කටයුතු සඳහා සහාය වීම සඳහා අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා හැකි උපායමාර්ග සංවර්ධනය කිරීමට උද්දේශනය කිරීම සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලයේ ධාරිතාව ශක්තිමත් කිරීමට තීරණය කෙරේ” (පරිවර්තනය-දේදුනු සංවාද)

මෙම යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ශ්‍රී ලංකා භූමියෙන් පිටතට ගෙන යනු ලැබේ. එමෙන්ම එහි කාල පරාසයක්ද නොමැත. වර්ෂ 2009 මැයි මස අවසන්වූ යුද්ධයේ මෙන්ම ඊට පසුව කෙරෙන ක්‍රියා සම්බන්ධයෙන්ද මෙම යෝජනාව බලපානු ඇත. සන්නද්ධ කැරැල්ල මැඩපැවැත්වීමේදී සිදුවූවා යැයි කියන “බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්” හෝ “ජාත්‍යන්තර මානුෂීය නීතියේ බරපතල ලෙස කඩකිරීම්” හෝ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී විදේශීය විනිශ්චයකරුවන් යොදා නොගන්නේයැයි මෙම රජය විසින්ද පසුගිය රජය විසින්ද කරන ලද ප්‍රකාශ නිසරු ප්‍රකාශ බවට මේ අනුව පත්වෙයි. මක්නිසාද යත් අනාගතයේදී මේවා විමර්ශනය “නිසි අධිකරණ බලය සහිත සාමාජික රටවල් තුළ ඇතුළුව, සුදුසුකම් ලත් විනිශ්චය මණ්ඩල ඉදිරියේ” සිදු කෙරෙනු ඇත. ක්‍රියාවලීන් තොර බොරු වගාඩම්බර කථා වල ප්‍රතිවිපාක ශ්‍රී ලංකාවට විඳීමට සිදුවී තිබේ. අප දැනටත් යැපෙන්නේ මෙවැනි බොරු වගාඩම්බර කථා මතය. මෙම යෝජනාව අනීතික යෝජනාවක් බව ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව යනු ඇමරිකාවේ ශක්තියද ස්වශක්තියද මත යැපෙන ඊශ්‍රාලය නොවන බවද ශ්‍රී ලංකාවට රුසියාව හෝ චීනය හෝ ඊශ්‍රාලයට ඇමෙරිකාව මෙන් “මියෙන්නේ නම් මියෙම්වා රැකෙන්නේ නම් රැකෙම්වා” (උම්මග්ග ජාතකය) යන මට්ට්ටමෙන් උදවු නොකරන බවද අප විසින් මතක තබා ගත යුතුය.

මෙම කාරණය විවිධ පුද්ගලයන් විසින් විවිධ දෘෂ්ටි කෝණවලින් අර්ථකථනය කරනු ලැබේ. එකක් වන්නේ බටහිර දෘෂ්ටි කෝණයයි. ඒ අනුව සම්පුර්ණ බර මානව හිමිකම් මත තබනු ලබන අතර බටහිර රාජ්‍ය වල දේශපාලන අභිලාෂයන් නොතකා හරිනු ලැබේ. අනෙක චීන හෝ රුසියන් හෝ දෘෂ්ටි කෝණයයි. ඒ අනුව රාජ්‍ය වල අභ්‍යන්තර කරුණු වලට අත පෙවීම නුසුදුසු යයි තීරණය කරනු ලබන අතර එය එම රටවල දේශපාලන අභිලාශයක් බව සඟවනු ලැබේ. අනෙක වන්නේ සිංහල දෘෂ්ටි කෝණයයි. ඒ අනුව මෙය ශ්‍රී ලාංකික හමුදාවන්ගේ යුද්ධ ජයග්‍රහණයට එරෙහි ශ්‍රී ලංකාවට පසමිතුරු ක්‍රියාවක් ලෙස හඳුන්වනු ලැබේ. දෙමළ දෘෂ්ටි කෝණය අනුව මෙය ශ්‍රී ලංකාවට කරන ලද දඬුවමක් වන අතර එය සැර මදිය. රාජ්‍ය තාන්ත්‍රික දෘෂ්ටි කෝණය අනුව උපායශීලිව කටයුතු කලේ නම් මෙය වලක්වා ගත හැකිව තිබුන බව කියැවේ.

ශ්‍රී ලාංකික දෘෂ්ටි කෝණයෙන් බැලු‍වහොත් මේ ප්‍රශ්නය කෙසේ පෙනෙනු ඇතිද? ඒ සඳහා ප්‍රශ්නයේ මුලට යා යුතුය.

බොහෝ පහසුවෙන් විසඳා ගත හැකිව තිබූ ජාතික ප්‍රශ්නය කුරුවල් කරන ලද්දේ රාජ්‍ය බලය හෙබවූ දේශපාලනඥයන් විසිනි. සිංහලයන් තුළ දමිළයන් කෙරෙහි වූ අවිශ්වාස සහගත හැඟීම උද්දීපනය කිරීම මගින් බලයට පැමිණීමේ කෙටි මගක් සොයා ගන්නා ලද්දේ බණ්ඩාරනායක විසිනි. එක්සත් ජාතික පක්ෂයද සිය ප්‍රතිපත්ති වෙනස් කර එම මගම අනුගමනය කළ අතර දෙමළ ජනතාවගේ සාමකාමී විරෝධයන් නොසලකා හරින ලදී. සන්නද්ධ අරගලය ආරම්භ වූයේ මෙම තත්ත්වයට ප්‍රතික්‍රියාවක් වශයෙනි.

දෙමළ ජාතික සන්ධානය විසින් පසුගියදා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සාදා ගැනීමේ කමිටුව වෙත යවනු ලැබූ යෝජනාව තුළ බලය බෙදා ගැනීමේ අරගලයේ ඉතිහාසය අවදි හතරකට වර්ග කර ඇත. නිදහස ලැබීමට පෙර ජි. ජි පොන්නබලම් දෙමළ ජනතාවට සම තත්ත්වය ඉල්ලා සිටියේය. නිදහසෙන් පසුව 1951 පෙඩරල් පක්ෂයේ ආරම්භයත් සමග දෙමළ ජනතා නියෝජිතයෝ   පෙඩරල් ආණ්ඩුක්‍රමයක් ඉල්ලන ස්ථාවරයකට පත්වුහ. වර්ෂ 1971 දෙමළ ජනතාවගේ මුලික අයිතීන් ඇතුලත් නොවූ නිසා 1976 වඩුක්කොඩෙයි යෝජනාව මගින් වෙනම රාජ්‍යයක් ඉල්ලන ස්ථාවරයකට දෙමළ ජනතා නියෝජිතයෝ  මාරු වූහ. වර්ෂ 1987 ඉන්දීය මැදහත් වීම මත සම්මත කරගත් 13 වන ව්‍යවස්ථා සංශෝධනය  සමග එහි ප්‍රතිපාදන වලට සම්පුර්ණයෙන් එකඟ නැති වුවත් දෙමළ ජනතා නියෝජිතයෝ බෙදුම්වාදය අතහැර දමා පාර්ලිමේන්තුවට පිවිසුනහ.

එනමුත් වර්ෂ 1971 න්  පසුව ආරම්භ වූ ද්‍රවිඩ සන්නද්ධ අරගලය ප්‍රජාතන්ත්‍රවාදී ද්‍රවිඩ නායකයන්ද ඇතුළු බොහෝ අය විනාශ කරමින් ඉදිරියටම ගිය අතර එම අරගලයට සහයෝගය දීමට ද්‍රවිඩ ප්‍රජාතන්ත්‍රවාදී නායකයන්ට බල කෙරින.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට එරෙහිව කෙරෙන අරගලයක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය පැත්තෙන් අනුමත කළ නොහැක. ආපසු හැරී බලන විට සන්නද්ධ අරගලයේ යෙදුන  කණ්ඩායම් වල පැත්තෙන් ද එය අනුමත කළ නොහැක. ඔවුන් විසින් කළ යුතුව තිබුණේ ප්‍රචණ්ඩකාරී නොවන දේශපාලන විරෝධතා ව්‍යාපාරයකි. මහත්මා ගාන්ධි විසින් ආරම්භ කළ මෙම විධි ක්‍රමය ජිනී ශාප් විසින් පසුව සූත්‍ර ගත කරන ලදී. ප්‍රජතන්තරවාදී රාජ්‍යයන්ට නොව ඒකාධිපති රාජ්‍යයන්ට එරෙහිව කෙරෙන අරගල වලදී ජිනී ශාප් විසින් මෙම ක්‍රමය නිර්දේශ කිරීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ ඒකාධිපති රාජ්‍යයන් නිසගයෙන්ම ආයුධ බලයෙන් සන්නද්ධව ඇති බැවින් ඔවුන් බලවත් නොවන ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් ඔවුන්ගේ බලයට අභියෝග කිරීම පහසු වන නිසාය. කෙසේ වෙතත් මෙම ක්‍රමය මගින් වෙනම රාජ්‍යයක් ලබාගත නොහැක.

විටින් විට පැවති සාම සාකච්ඡාවල කූට ප්‍රාප්තිය ඇතිවූයේ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ 2001-2004  සමයේ නොර්වේ හි ඔස්ලෝ නුවර 2002 දෙසැම්බර් මස  2-5 කාලයේ පැවැත්වූ තුන්වන සාකච්ඡා වටයේදී ජි. එල් පීරිස් ගේ නායකත්වයෙන් යුතු රජයේ නියෝජිත පිරිස සහ ඇන්ටන් බාලසිංහම් ගේ නායකත්වයෙන් යුතු එල්ටීටීඊ නියෝජිත පිරිස දෙමළ කතා කරන ජනතාවගේ ඓතිහාසික වාසභූමිය වන ප්‍රදේශ වල අභ්‍යන්තර ස්වයං පාලනය පදනම් කරගත් විසඳුමකට හා එක්සත් ශ්‍රී ලංකාවක් තුළ පෙඩරල් ක්‍රමයක් ඇති කිරීමට ඇති හැකියාව සොයා බැලීමට එකඟ වීම මගිනි. රජය පැත්තේ සාකච්ඡාවල නායකයා වූ ජී.එල් පිරිස් සහ රජය විසින් එය බොහෝ සෙයින් වර්ණනා කරන ලදී. සම්පුර්ණ සාකච්ඡා වට හයක් ලෝකයේ විවිධ නගරවල පවත්වන ලද අතර අදාළ සාකච්ඡාවට පසුව පැවැත්වූ සාකච්ඡා වලදීද අභ්‍යන්තර ස්වයං පාලනය පිළිබඳ යම් කරුණු සාකච්ඡා විය. එනමුත් තරමක් පසුව පැවැත්වූ ඊළඟ සාකච්ඡා වාරයේදී ප්‍රභාකරන් විසින් බාලසිංහම් ඉවත් කර ඒ වෙනුවට තමිල් චෙල්වම් පත් කරන ලදී. ඉන් පසුව අභ්‍යන්තර ස්වයං පාලනය හෝ පෙඩරල් විසඳුම හෝ ගැන කථා නැත.

මෙම සන්නද්ධ අරගලය එල්ටීටීඊ පැත්තෙන් වෙනම රාජ්‍යයකින් අවසන් විය යුතු බවද එයට ප්‍රතික්‍රියා වශයෙන් රාජ්‍යය පැත්තෙන් එය සන්නද්ධවම පරාජය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද  නිගමනය කරන ලද්දේ ප්‍රභාකරන් විසිනි. රනිල් වික්‍රමසිංහ විසින් හෝ මහින්ද රාජපක්ෂ විසින් හෝ නොවේ.

සිය අභිමතාර්ථ සාධනය වනු ඇතැයි බලවත් විශ්වාසයක් ප්‍රභාකරන් තුළ විය. ඒ අනුව ඔහුට දෙවන සැලැස්මක් නොතිබිණ. සන්නද්ධ අරගලයෙන් ප්‍රභාකරන් පරාජය වූ පසුව දෙමළ ජනතාවට අභ්‍යන්තර ස්වයං පාලනය හෝ පෙඩරල් විසඳුම හෝ තබා ව්‍යවස්ථාවේ ඇති 13 ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කර ගැනීමට වත් නොහැකි වී තිබේ. එසේ නොහැකි වී ඇත්තේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 13 ව්‍යවස්ථා සංශෝධනය  සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ ඊට අමතරව දෙවන මන්ත්‍රණ සභාවකද සහතික වීම් සහ එදා සිට අද දක්වා 13 ව්‍යවස්ථා සංශෝධනය  සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ඉන්දියාවෙන් කෙරෙන නොමඳ බලපෑම් ද මධ්‍යයේය.

සන්නද්ධ අරගලයේදී විශේෂයෙන්ම එහි  අවසාන භාගයේදී ශ්‍රී ලංකා හමුදාව වෙතින් යුද්ධ අපරාධ කෙරී ඇතැයි විවිධ ප්‍රවෘත්ති ඒ  කාලයේදී පලවූ අතර ශ්‍රී ලංකා රජය ඒවා  ප්‍රතික්ෂේප කළේය. එම ප්‍රතික්ෂේප කිරීම් සාධනීය නොවූ අතර පළමුවෙන් සිවිල් වැසියන් කිසිවකු ඝාතනය වූයේ නැතැයි කී රජය පසුව යම් ප්‍රමාණයක් ඝාතනය වී ඇතැයි පිළිගත්තේය. මෙම තත්ත්වය යටතේ ස්වාධීන පරීක්ෂණයක් තිබිය යුතු බවට විවාදයක් නොමැත.

හමුදාව පැත්තෙන් සලකන කළ  මෙම චෝදනාව විනයගරුක හමුදාවක් ලෙස ඔවුන්ගේ ගෞරවයට හානි කරන අතර ලොව බලවත්ම රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම යුදමය වශයෙන් පරාජය කිරීමේ ඔවුන්ගේ අභිමානයට කැළලකි. (ලොව බලවත්ම රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායමද එය පරාජය කළ රාජ්‍ය හමුදාවද සමන්විත වුයේ ශ්‍රී ලාංකිකයන් ගෙනි.) එමතුද නොව යුද පිටියේ සටන මෙහෙයවූ සැබෑ නායකයා වන එවකට යුද්ධ හමුදාපතිවරයා හමුදාව යුද්ධ අපරාධ නොකළ බවද ඒ බව ඕනෑම පරීක්ෂණයකදී තමාට ඔප්පු කර පෙන්විය හැකි බවද කියයි.

සිංහල ජනතාව පැත්තෙන් සලකන කළ මෙම චෝදනාව නින්දාවකි. සතුරා සමග සටන් කිරීමේදී නිරායුධ සතුරාට ආයුධයක් දී ඔහු සමග සටන් කළ ඉතිහාසයක් ඔවුන් සතුව ඇත. ඉතිහාසයේ යුද පිටි වලදී තුවාල වී තිබුනේ ඔවුන්ගේ සෙබළුන්ගේ පිටුපසට නොව පපුවලට බව ඔවුහු කියති.

දෙමළ ජනතාවගේ පැත්තෙන් මෙය අන්තිම අසාධාරණයකි. නිරායුධ පිරිස් ඝාතනය වී ඇත්නම් චුදිතයාට දඬුවම් කිරීම නොව අවම වශයෙන් සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව වත් ඔවුන් දත යුතුය.

ශ්‍රී ලංකා රාජ්‍යය පැත්තෙන් මේ පිළිබඳව පුර්වාදර්ශ තිබේ. ජවිපෙ 1971 කැරැල්ල මර්දනයේදී අපරාධකරුවන්ට එරෙහිව පැවරූ ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩුවද ඊලාම් යුද්ධයේ මුල් අවදියේදී සිදුවූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය කළ අපරාධකරුවන්ට එරෙහිව පැවරූ නඩුවද ඒ අතර වේ.

එබැවින් මේ පිළිබඳව පරීක්ෂණයක් කර යම් පිරිස් හමුදා නීති වලට පටහැනිව කටයුතු කර ඇත්නම් ඔවුන් හඳුනා ගැනීම එසේ නොකළ අනෙකුත් හමුදා භට පිරිස් වල ගෞරවය සහ අභිමානය රැකීමකි. මෙම ගෞරවය සහ අභිමානය සඳහා ඔවුන්ගේ සහෝදර භට පිරිස් සමහරක් සිය ජිවිත කැප කල අතර සමහරක් සදාකාලිකව අබාධිත වූහ. ඉතා විශාල සංඛ්‍යාවක් වන මෙම භට පිරිස් වල ගෞරවය සහ අභිමානය සුළු පිරිසක් වෙනුවෙන් කැපකිරීම කිසිසේත්ම දේශප්‍රේමය නොවේ.

මේ සම්බන්ධයෙන් බොහෝ සාධනීය යෝජනා එවකට ශ්‍රී ලංකා රජය වෙතට ඉදිරිපත් විය. එකක් දකුණු අප්‍රිකානු මොඩලයයි. පසුව දකුණු අප්‍රිකානු ජනාධිපති බවට පත්වූ සිරිල් රමපෝෂා මේ සඳහා සාකච්ඡා වකට මෙරටට පැමිණි අතර පසුව රජය එම යෝජනාව අතහැර දමන ලදී. මේ පිළිබඳව දේශීය පරීක්ෂණයක් නොවන විට හිටපු එක්සත් ජාතින් ගේ මහ ලේකම් බෑන් කී මුන් විසින් දරුස්මාන් කමිටුව පත් කරන ලදී. එයට මෙරටට පැමිණීමට අවස්ථාව නොදුන් නිසා කමිටුව විසින් ශ්‍රී ලංකා පාර්ශ්වයේ අදහස් ඇතුළත් නොකර ඒක පාර්ශ්වික වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකාව දැන් ගමන් කරමින් සිටින්නේ හේතු ඵල ධර්මයන් අනුව සැකසෙමින් තිබෙන මාවතක් දිගේය. වර්තමාන ආණ්ඩුව මේ මාර්ගයේ යාමට කැමැත්තක් දක්වන බව පෙනෙන්නට තිබේ.  මක්නිසාද යත් ජිනීවා යෝජනා වල හත් වන යෝජනාවේ ඇතුළත් කරුණු වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව කෙරුණු දේ සම්බන්ධයෙන් වන අතර අටවන යෝජනාව තනිකරම කොවිඩ් ආසාදනය වූ මුස්ලිම් මළ සිරුරු ආදාහනය සම්බන්ධයෙන් වේ. පළපුරුදු දේශපාලනඥයකු වන මහින්ද රාජපක්ෂ මේ පිළිබඳව මුල සිටම විරුද්ධ වූ අතර අවසානයේදී එම මළ සිරුරු භූමදානයට ඉඩ දෙන බවට පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්ද කළේය. පකිස්ථාන අගමැතිවරයා ඒ පිළිබඳව ප්‍රසංශා කළ පසුව පවා ආණ්ඩුව එම ප්‍රකාශයට වෙනත් අර්ථයක් දීමට උත්සාහ කළේය. එය එම පිලේ දේශපාලන නායකයා වන අගමැතිවරයාට කරන ලද නින්දාවකි. එමෙන්ම ජිනීවා සැසිවාරය පැවැත්වෙන අතරතුර පවා යෝජනාව තවත් බලවත් කිරීමට හේතුවන කරුණු ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ විය.

එබැවින් ජිනීවා යෝජනා සම්බන්ධයෙන් විරෝධයක් ගොඩ නගමින් ආණ්ඩුවේ පාර්ශ්වයක් විසින් සිදුකරන  සැලසුම් සහගතව තෝරා ගත්  වැඩපිළිවෙළ රට දේශපාලනිකව සහ ආර්ථික වශයෙන් අර්බුදයකට ගමන් කරන මාර්ගය විවර කරයි. එබැවින් එය අවසානයේදී  එය රට පමණක් නොව සිංහල ස්වෝත්තමවාදයද  අනිවාර්ය අර්බුදය කට රැගෙන යනු ඇත. එම අවස්ථාවේදී සිංහල ස්වෝත්තමවාදය තවදුරටත් නැංවිය  හැක්කේ  ජනතාවගේ දේශපාලන මුග්ධභාවය ඉහල නැංවීමෙන් පමණි. එබැවින් මේ වැඩපිළිවෙළ දේශප්‍රේමී හෝ අවම වශයෙන් උපායශීලි හෝ නොවේ. එය ඊළඟ මැතිවරණයේ දී ජාතිවාදී සිංහල බෞද්ධ ඡන්ද  ඉලක්ක කරගත් ඉතාමත් ලාමක උත්සාහයකි.

එසේනම් රට ක්‍රියාත්මක කළ යුතු සැබෑ දේශප්‍රේමි වැඩපිළිවෙළ කුමක්ද? පළමුවෙන් එය ඊළඟ මැතිවරණය හෝ ලාභ ජනප්‍රියතාව හෝ ඉලක්ක කර නොගත් කෙටිකාලින නොව දීර්ඝ කාලීන දැක්මක් ඇති වැඩපිළිවෙළක් විය යුතුය. දෙවනුව එය රටේ සමස්ත ජනතාව ඒකරාශී කරන සියලු‍ දෙනාගේම සහයෝගය දිනාගත් වැඩපිළිවෙළක් විය යුතුය. සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ වේවා සිය වර්ගය හෝ ආගම හෝ ගැන පමණක් සිතන්නා දේශප්‍රේමියෙක් වන්නේ කෙසේද? ඔහු බෙදුම්වාදියෙකි, ආත්මාර්ථකාමියෙකි. සැබෑ දේශප්‍රේමියා රටේ සමස්ත ජනතාව ගැන සිතයි. රට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එක් සේසත් කළ හැක්කේ එවන්නකුටයි. බෙදුම්වාදියකුට නොවේ. 

 https://www.samabima.com/?p=22648

#597 වන සමබිම ඉරිදා අතිරේකයට හර්ෂ ගුණසේන විසින් ලියන ලද ලිපියකි. 

No comments:

Post a Comment