Thursday, May 7, 2020

ප්‍රජාතන්ත්‍රවාදයේ අධි අවදානම් කලාපය

මැතිවරණ කොමිසම විසින් මහ මැතිවරණ දිනය ජුනි 20 දිනට නියම කර තිබේ. ඒ පිළිබඳව ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද්දේ මාර්තු 2 දිනය. මහ මැතිවරණය අප්‍රේල් 25 වන දිනට නියම කරන ලද අතර අභිනව පාර්ලිමේන්තුව මැයි 14 දින රැස්වන සේ දින නියම කරන ලදී. මැතිවරණ කොමිසම මැතිවරණ දිනය කල් දමා ඇත්තේ කොමිසමට 1981 අංක 1 දරන පාර්ලිමේන්තු පනතේ 24 (3) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරවයි. ව්‍යවස්ථාවේ 70 (5) (අ) වගන්තිය අනුව අභිනව පාර්ලිමේන්තුව රැස් වන දිනය පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දින සිට මාස තුනක් ඇතුළත එනම් ජුනි 2 ට පෙර විය යුතුය. මෙම තත්ත්වය එනම් අභිනව පාර්ලිමේන්තුව ජුනි 2 ට පෙර රැස් නොවීම ව්‍යවස්ථාවට පටහැනි බැවින් සහ රටේ පවතින තත්ත්වය අනුව මැතිවරණය එදිනට පෙර පැවැත්විය නොහැකි බැවින් මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම් වෙත ලිපියක් යොමු කරමින් මෙය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර උපදෙසක් ගන්නා ලෙස ඉල්ලා සිටියත් ලේකම්වරයාගේ පිළිතුර වූයේ පවතින තත්ත්වය අනුව ජුනි 2 අභිනව පාර්ලිමේන්තුව රැස්වන සේ ඊට කලින් මැතිවරණය පැවැත්විය හැකි බවයි.

මේ අනුව දැන් ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවී තිබේ. මේ තත්වයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් වනු ඇත.

දැනටත් රට පාලනය වන්නේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව නොවේ.

ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට පෙර 44 (2) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට කැමති තරමක් අමාත්‍යධුර තමන් වෙත තබා ගැනීමට අවස්ථාව තිබූ නමුත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් එම ප්‍රතිපාදනය ඉවත් කිරීම නිසා ජනාධිපතිවරයාට කිසිම අමාත්‍ය ධුරයක් තමා වෙත තබා ගත නොහැක. එනමුත් ආරක්ෂක අමාත්‍යවරයෙක් පත් කර නොමැති පසුබිමක ජනාධිපතිවරයා නිල නොලත් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. එමතුද නොවේ. 2019 දෙසැම්බර් 10 වන දින ආරක්ෂක අමාත්‍යංශයට පවරා දුන් දෙපාර්තමේන්තුවලට අමතරව 2020 මාර්තු 17 වනදින ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවද එම අමාත්‍යංශයට පවරා දී තිබේ.

රටේ පවතින්නේ හදිසි තත්ත්වයකි. එනමුත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර නොමැත. ව්‍යවස්ථාවේ 155(4) (i) වගන්තිය අනුව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළහොත් විසුරුවා හළ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට සිදුවේ. එබැවින් පොලිස් ඇඳිරි නීතියක් ප්‍රකාශයට පත් කර තිබේ. පොලිස් ඇඳිරි නිතිය මේ ආකාරව මහා පරිමාණයෙන් නිත්‍යනුකුලව ක්‍රියාත්මක කළ හැක්කක් නොවේ. රන්ජන් රාමනායකගේ නීතිඥ එම්. ඒ. සුමන්තිරන් ප්‍රකාශ කළ පරිදි ඔහු රිමාන්ඞ් භාරයෙන් නිදහස් වන්නේ ඒ අනුවය.

වහා පිළියම් නොයෙදුවහොත් මෙම තත්ත්වය ඉදිරියේදී තවත් ව්‍යාප්ත වනු ඇත.

ආණ්ඩුව සහ ආණ්ඩුවේ ආධාරකරුවන් හැර විපක්ෂ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජය ඇතුළු අනෙකුත් සියළු දෙනාම අපේක්ෂා කළේ කෝවිඞ් වසංගතය සමනය වන තුරු පාර්ලිමේන්තු මැතිවරණය කල් තබා ගැනීමටයි. එය ඉතාමත් සාධාරණ අපේක්ෂාවකි. එනමුත් ආණ්ඩුව උත්සාහ කළේ ජුනි 2 අභිනව පාර්ලිමේන්තුව රැස් කිරීමට හැකි වන සේ ඊට පෙර මැතිවරණය පැවැත්වීමටයි. නාම යෝජනා අවසන් වන තෙක් වසංගත තත්ත්වය නිසියාකාරව පාලනය කිරීම ආණ්ඩුව විසින් කල් දමන ලදී. එනමුත් දැන් ඇතිවී ඇති තත්ත්වය ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නොසලකා අනීතිකව ක්‍රියා කිරීමට ඇති කැමැත්තට රුකුලකි. මෙය වඩාත් භයානක වන්නේ ජුනි 20 වන දිනද මැතිවරණය පැවැත්වීමට සුදුසු වාතාවරණයක් ඇති නොවුනහොත් මැතිවරණ දිනය තවත් කල් යා හැකි බැවිනි.

එමෙන්ම 2019 ඔක්තෝබර් 23 වන දින එවකට සිටි මුදල් ඇමතිවරයා විසින් ව්‍යවස්ථාවේ 150 (2) වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලද මුදල් ඇස්තමේන්තුවක් මගින් 2020 ජනවාරි 1 සිට 2020 අප්‍රේල් 30 දක්වා ආණ්ඩුවේ මූල්‍ය වියදම් අනුමත කර ගන්නා ලදී. මේ අනුව අප්‍රේල් 30 න් පසුව මුදල් වියදම් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැත. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට මුදල් වියදම් කිරීමට බලය ඇත්තේ යම්කිසි වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් (150(3) ව්‍යවස්ථාව* සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් සඳහා දිනයක් හෝ දින හෝ නියම කරන අවස්ථාවක, ඒ මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසින් කලින් ප්‍රතිපාදන සලසා නොමැති නම් (150(4) ව්‍යවස්ථාව) පමණිග මේ අවස්ථාවේදී 150(3) ව්‍යවස්ථාව අදාළ නොවේ. මක්නිසාද යත් පාර්ලිමේන්තුව විසුරුවා හරින විට විසර්ජන කෙටුම්පතක් ඉදිරිපත් කර නොතිබූ බැවිනි. එමෙන්ම රාජ්‍ය රාජ්‍ය මුල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේය. (148 ව්‍යවස්ථාව)

අවශ්‍යතාවයේ නියාම ධර්මය අනුව මෙම සියළු තත්ත්වයන් අතික්‍රමණය කිරීමට හැකි වනු ඇතැයි ජනාධිපතිවරයා සහ ඔහුගේ නීති උපදේශකයන් සිතනු ඇත. එනමුත් සුමන්තිරන් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙන්නේ මෙම නීති මූලධර්මය ක්‍රියාත්මක වන්නේ ගත හැකි වෙනත් කිසිම ක්‍රියාමාර්ගයක් නොමැතිනම් පමණක් බවයි. මේ අවස්ථාවේදී ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය අනුව හදිසි අවස්ථාවකදී ජනාධිපතිවරයාට විසුරුවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය හැක. එබැවින් එම මූලධර්මය මේ අවස්ථාවේදී අදාළ නොවේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිවේදනයේ නැවත පාර්ලිමේන්තුව රැස්වන දිනය දැක් විය යුතු බැවින්ද එම දිනය පාර්ලිමේන්තුව විසුරුවන දිනයට මාස තුනක් නොඉක්මවිය යුතු බැවින්ද මැතිවරණය ජුනි 2 දිනෙන් ඔබ්බට මැතිවරණ කොමිසම විසින් දින නියම කෙරුණු විට ජනාධිපතිගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිවේදනය අවලංගු වන බවත් ඒ අනුව පාර්ලිමේන්තුව නැවත රැස් විය හැකි බවත් සුමන්තිරන් ජනාධිපති නීතිඥවරයා ඊයේ සිරස රුපවාහිනියේ වැඩසටහනකදී කීය. මෙය ඉතා ප්‍රබල තර්කයකි.

අපගේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කුළුණු තුනෙන් එකකි. එබැවින් එය අනවශ්‍ය යයි කිසිවකුටත් තර්ක කළ නොහැක. ජනතාව එය අනවශ්‍ය යයි සිතන්නේ නම් ජනමත විචාරණයක් මගින් පාර්ලිමේන්තුව අහෝසි කර ජනාධිපතිට අත්තනෝමතික බලතල ලබාදෙන ව්‍යවස්ථාවක් සම්මත කළ හැක. එසේ නොමැතිව විශේෂයෙන්ම විරුද්ධ පක්ෂ මේ අවස්ථාවේදී ආණ්ඩුවට සහයෝගය දෙන බව ප්‍රකාශ කර තිබියදීත් තමන්ට බලය නැති පාර්ලිමේන්තුවක් ජාතික අපදා තත්ත්වයකදී රටේ ව්‍යවස්ථාපිත ක්‍රියාදාමය ආරක්ෂා කර ගැනීම සඳහා නැවත රැස් කිරීම අනවශ්‍ය යයි කිසිවකුටත් කිව නොහැක. එසේ කිව හැක්කේ සිය දේශපාලන අභිලාෂයන් රටේ පොදු අභිලාෂයන්ට වඩා ඉහළින් තබන්නන්ට පමණි.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙස ආණ්ඩුවට කියා සිටීම දේශපාලන වශයෙන් ආණ්ඩු විරෝධී ක්‍රියාවක් නොවන බව ආණ්ඩුවට දේශපාලන වශයෙන් පක්ෂපාත ජනතාවද තේරුම් ගත යුතුය. අප ක්‍රියා කරන්නේ අපගේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙනි. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සිටිමින් ඒකාධිපති රාජ්‍යයක් අවශ්‍ය යයි අපට ප්‍රසිද්ධියේ කිව හැකි නමුත් ඒකාධිපති රාජ්‍යයක සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් අවශ්‍ය යයි කීම ජීවිතයත් මරණයත් අතර ක්‍රියාවක් වනු ඇත.

හර්ෂ ගුණසේන විසින් සමබිමට ලියන ලද ලිපියකි


Published in 22April 2020
http://www.samabima.com/?p=20721

No comments:

Post a Comment