Thursday, May 7, 2020

රත්නජීවන් හූල් ස්වාධීන ද?

ස්වාධීන කොමිෂන් සභා බලවත් වන්නේ ස්වාධීන පුද්ගලයන්ගෙනි

රත්නජීවන් හූල් ජාතික මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකි. මෑතකදී ඔහු විසින් පළකරන ලද ලිපි සහ දෙන ලද සම්මුඛ සාකච්ඡා පෙර නොවූ විරූ ආකාරයේ ඒවා බැවින් ඔහු මතභේදයට ලක් වන චරිතයක් විය.

හූල් ගේ උපන්බිම යාපනයේ නල්ලු‍ර් වෙයි. ඔහුගේ පියා ඇන්ග්ලිකන් පූජකවරයකු වූ අතර මව කෝපායි ගුරු පුහුණු ආයතනයේ කථිකාචාර්යවරියක වුවාය. ඔහුගේ බිරිඳ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරියක වන අතර ඔවුන්ට දියණියන් තිදෙනෙක් සහ පුත්‍රයෙක් සිටිති. ඔහුගේ සොහොයුරන් වන රාජන් සහ පෝල් පීඑච්ඩී උපාධිධරයෝ වෙති. රාජන් LTTE සංවිධානයේ සහ රජයේ ක්‍රෑරකම් එකසේ විවේචනය කළ බිඳුණු තල්රුක ග්‍රන්ථයේ සම කතුවරයෙකි.

හූල් මොරටුව විශ්වවිද්‍යාලයේ බීඑස්සී උපාධිධාරී විදුලි ඉංජිනේරුවරයෙකි. ඔහුට එම විෂය පිළිබඳවම ඇමරිකා එක්සත් ජනපදයේ කානේජ් මෙලන් විශ්වවිද්‍යාලයෙන් පීඑච්ඩී උපාධියක්ද ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ඩීඑස්සී උපාධියක් ද තිබේ. (එන්. එම්. පෙරේරා ටද පීඑච්ඩී උපාධියක් සහ ඩීඑස්සී උපාධියක් තිබුණි.) හූල් සිංගප්පූරුවේද කැනඩාවේ ද ඇමරිකා එක්සත් ජනපදයේ ද සේවය කළ අතර 1999 දී ලංකාවට පැමිණියේය. වර්ෂ 2006 දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඔහු යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස පත් කරන ලද නමුත් LTTE සංවිධානයේ මරණ තර්ජන හේතුවෙන් එම ධුරය භාර ගැනීමට ඔහුට නොහැකි විය. ඉන්පසු ඔහු නැවත එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අතර LTTE සංවිධානයේ පරාජයත් සමඟ නැවත ලංකාවට පැමිණියේය. වර්ෂ 2011 ප්‍රාදේශීය මැතිවරණ වලදී එවකට ආණ්ඩුවේ සහාය ලැබූ ඊ පී ඩී පී සංවිධානයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඔහු විසින් විස්තරාත්මකව වාර්තා කරන ලදී. ඊපීඩීපී සංවිධානය තමන්ට අපහාස කළැයි ඔහුට විරුද්ධව කයිට්ස් මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරූ පසුව උසාවියට නොගොස් ඔහු රටින් පිටවී ගියේය. පසුව ඔහු නැවත මෙරටට පැමිණි අතර 2015 දී ජාතික මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස පත් කරන ලදී.

ජනාධිපතිවරයා හූල්ගේ චර්යාව ගැන සඳහන් කරමින් මැතිවරණ කොමිසම ස්වාධින නැතැයි කීය. තවත් බොහෝ අය එම අදහස දරති.

ඔහුගේ පසුගිය අප්‍රේල් 24 දින ඬේලි මිරර් සම්මුඛ සාකච්ඡාවට පෙර මැතිවරණ කොමිසමට ඔහු ලිපියක් ලිවීය. එය පුවත්පත්වල පලවී තිබිණ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තම දුරකථනයෙන් අමතා 2020 මැයි 28 දින මැතිවරණය පැවැත්විය යුතු යයි තමාට යෝජනා කළ බවත් තමා එයට එකඟ නොවූ බවත් ඔහු එහි සඳහන් කළේය. තවද ජනාධිපතිවරයාට මැයි 28 මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය බවත් ඒ අනුව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත්කරනු ඇති බවත් ඉන්දීය මාධ්‍යවේදී පී.කේ බාලචන්ද්‍රන් පුවත්පත් ලිපියක් මගින් හෙළිදරවු කළ බවද ඔහු සඳහන් කර තිබුණි.

ඔහුගේ ප්‍රශ්ණය නම් සභාපතිවරයා කොමිසමෙන් නොවිමසා තීරණ ගැනීමයි. එයට විවිධ උදාහරණ ඔහු විසින් දී තිබූ අතර ඔවුන් ප්‍රවෘත්ති සාකච්ඡා වලට සහභාගී වන අන්දම ඔහු මෙසේ සඳහන් කරයි. “ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කුමක් කිව යුත්තේ දැයි කොමිසම තුළ එකඟතාවකට නොපැමිණ ඔහු ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වයි. අප දෙදෙනා පඹයන් මෙන් ඔහු දෙපස වාඩිවී සිටිමු.”

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා 2018 ඔක්තෝබරයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය සකස් කිරීමට දායක වූ බව ඔහු නිරාවරණය කරයි. “මහින්ද දේශප්‍රිය එය ප්‍රතික්ෂේප කරන මුත් කොමිසමේ ඡේ්‍යෂ්ඨ නිලධාරීන් මට දැන්වූ පරිදි 2018 ඔක්තෝබර් මස පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් නිවේදනය සකස් කලේ අධ්‍යක්ෂ චන්න ද සිල්වා යි. ඔවුන් දෙදෙනා ජනාධිපති කාර්යාලයේ ගේට්ටුව තෙක් එකට ගොස් ද සිල්වා එතැනදී මෝටර් රථයෙන් බැස ගත් අතර දේශප්‍රිය තනිවම ඉදිරියට ගියේය.”

වර්ෂ 2018 ඔක්තෝබර් සිද්ධියේදී හූල් තනිවම ජනාධිපතිගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ නොමැත. කොමිසම පුද්ගලයෙක් නොවන නිසා මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක්ද ඉදිරිපත් කළ නොහැක.

එනමුත් කරුණාතිලක සහ තවත් අයෙක් (වරුණ කරුණාතිලක සහ සුනන්ද දේශප්‍රිය) එරෙහිව දයානන්ද දිසානායක සහ තවත් අය නඩුවේ තීන්දුව අග විනිසුරු ඇතුළු අනෙක් විනිසුරු මඩුල්ලේ ද අනුමැතිය අනුව ප්‍රකාශයට පත් කරමින් මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා 1999 ජනවාරි 27 දින මෙසේ කීය. “1998. 8. 28 දින මැතිවරණය පැවැත්විය යුතු යයි පළමුවන විත්තිකරු ස්ථිර ලෙසම කිව යුතුව තිබුනේද? ඔහු සිටි අසීරු අවස්ථාව පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබුනත් ව්‍යවස්ථාව ඔහුගේ ස්වාධීනත්වය සහතික කරන නිසා මැතිවරණයේ සියළුම පැති සම්බන්ධව නීතියට අනුගත විය යුතු බව ඔහු විසින් ස්ථිරව කිව හැකිව තිබුණි. මේ සඳහා ඔහුට අධිකරණ නියෝගයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගයට අවතීර්ණ විය හැකිව තිබුණි. නමුත් මෙම අධිකරණයට ලැබී ඇති තොරතුරු අනුව ඔහු මෙහි නීතිමය තත්ත්වය නිශ්චය කර ගැනීමට හෝ නීතිමය පිළියමක් ලබා ගැනීමේ උපාය මාර්ගයක් අනුගමනය කිරීමට හෝ ක්‍රියා කර නොමැත.”

මෙය නීති ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් සලකුණු කළ නඩු තීන්දුවකි. මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා, ව්‍යවස්ථාවේ 35 වන වගන්තියේ දැක්වෙන ජනාධිපති මුක්තියට නව අර්ථකතනයක් ඉදිරිපත් කලේ මෙම නඩු තීන්දුව මගිනි. කොමසාරිස්වරයා අධිකරණ නියෝගයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගයට අවතීර්ණ නොවීම පිළිබඳව මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා ඔහු දෝෂ දර්ශනයට ලක් කරයි. එබැවින් ප්‍රනාන්දු විනිසුරුවරයා සඳහන් කරන මෙම නීතිමය ක්‍රියාමාර්ගය පිළිබඳව සොයා බැලීම මැතිවරණ කොමිසමේ කාර්යයකි. හූල් මැතිවරණ කොමිසම සිය කාර්යය කරන තෙක් බලා නොසිට අධිකරණය ඉදිරියට ගියේය. මක්නිසාද යත් නීතිවිරෝධී නියෝගයක් කොමිසමට ක්‍රියාත්මක කළ නොහැකි බැවිනි.

විනිසුරු මාක් ප්‍රනාන්දු තමා අධිකාරීවාදී පාලකයන්ට එරෙහිව පොදු ජනතා සුබසිද්ධිය උදෙසා නඩු තීන්දු දීමේදී අප්‍රමාණ සතුටට පත්වන බව වරෙක කියා සිටියේය. එබැවින් හූල් මෙම අවස්ථාවේදී නිර්භය ලෙස ස්වාධීන විය.

ජුනි 2 දිනෙන් පසුව මැතිවරණයක් පැවැත්වීමට කොමිසම කළ තීරණය හූල් ආරක්ෂා කරයි. “ මුස්ලිම් කොංග්‍රසයේ රවුෆ් හකීම් සහ නිසාම් කාරියප්පර් අපගේ තීරණය ව්‍යවස්ථාවට එරෙහි යයි කියති. එය එසේ නොවේ. 70(5) ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බව සත්‍යයකි. එය උල්ලංඝනය කලේ අප නොවේ. කෝවිඞ් -19 වසංගතය නිසා පාර්ලිමේන්තුවට 2020.06.02 ට පෙර රැස්විය නොහැක.”

2019 නොවැම්බර් 28 දින පලවූ ඬේලි මිරර් පත්‍රය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව ඔහු විවෘතව කතා කරයි. ඔහු මේ පිළිබඳව ඇමරිකන් තානාපති කාර්යාලයෙන් විමසූ බවත් ඔවුන් කොමිසම මේ පිළිබඳව විමසුවොත් පිළිතුරු දෙන බව සඳහන් කළ බවත් ඔහු කියයි. කොමිසමට මේ පිළිබඳව දැන්වූ විට ඒ වන විට ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයෙක් නොවුන බැවින් ඒ පිළිබඳව විමසිය නොහැකි යයි කොමිසම ප්‍රකාශ කළ බව ඔහු කියයි.

“ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කාරණය නාම යෝජනා දිනයේදී මවිසින් මතුකළ යුතු තරම් බරපතළ කාරණයකැයි මම සිතුවෙමි. එනමුත් කොමිසමේ අනෙක් සාමාජිකයන්ද මගේ නීතිවේදී හිත මිතුරන්ද කියා සිටියේ නාම යෝජනා දිනයේදී අනෙක් අය විරෝධතා මතු කරනු ඇති බවත් ඒ පිළිබඳව විමර්ශනය කිරීමට මා එම ක්‍රියාවලියට සම්බන්ධ නොවී සිටිය යුතු බවත් ය. ලිඛිත විරෝධතා සංසරණය වන බව ඔවුහු කීහ. එනමුත් ඒ අවස්ථාවේදී විරෝධතා ඉදිරිපත් නොකෙරිණ.”

හූල් ගේ අපේක්ෂාව වූයේ සියළුම අපේක්ෂකයන් නීතියට අනුගත වනු දැකීමය. ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයන් ගෙන් විරෝධතා ඉදිරිපත් නොවීය. එනමුත් ඔහු සෑහීමකට පත්වී නොමැත. ඔහු සෑහීමකට පත් වනුයේ අදාළ අධිකාරිය මේ අවස්ථාවේදී මෙරට ඇමරිකන් තානාපති කාර්යාලය ගෝඨාභය රාජපක්ෂ ඇමරිකන් පුරවැසිභාවය අත්හළ බව ලිඛිතව දැනුම් දුන්නොත් පමණි.

දැන් ඇතිවන ප්‍රශ්ණය නම් මැතිවරණ කොමිසමේ සාමාජිකයකුගේ ස්වාධීනත්වය පිළිබඳ අර්ථ දැක්වීම කුමක්ද? එය විරුද්ධ අපේක්ෂකයන්ගෙන් ස්වාධීනව මැතිවරණය සඳහා සමබිමක් නිර්මාණය කිරීම පමණද? අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් නම් “ඔවුන්ගේ අධිකරණමය අධිකාරිත්වය අපක්ෂපාතී අන්දමින් ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත් කාරණයකි.”

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) 2012 අප්‍රේල් මාසයේදී ඊජිප්තුවේ කයිරෝ නුවර පැවැත්වුණු සමුළුවකදී තිරසාර ලෙස මැතිවරණ කලමනාකරණයට අදාළ මූලධර්ම පහක් සම්මත කර ගන්නා ලදී. ඒවා නම් ස්වාධීනත්වය, අපක්ෂපාතිත්වය, පාරදෘශ්‍යතාව, වෘත්තීය දක්ෂතාව සහ තිරසාර ස්වභාවය වේ. “ස්වාධීනත්වය යනු මැතිවරණ කලමනාකරණ මණ්ඩලය ආයතනික ස්වාධීනත්වයක් භුක්ති විඳින අතර අනවශ්‍ය බලපෑම් වලින් මිදී ඇති බව සහ ඒවාට ප්‍රතිචාර නොදක්වන බවයි. අපක්ෂපාතිත්වය යනු සාධාරණ ලෙස කටයුතු කරන සහ දේශපාලන ක්‍රියාදාමය නියාමනය කරන අවංක අතරමැදියකු බවයි. පාරදෘශ්‍යතාව යනු අවංක අතරමැදියකු ලෙස කටයුතු කරන සහ එසේ පෙනෙන්නට තිබෙන අයකු වියයුතු බවයි. වෘත්තීය දක්ෂතාවයෙන් අදහස් වන්නේ පාලනය කරන ලද වියදම් සහිත මනා සේවයකි. තිරසාර ස්වභාවය යනු මනා ලෙස කලමනාකරණය කළ මැතිවරණ වරින් වර දිගටම පැවැත්වීමේ හැකියාවයි.”

එබැවින් දේශපාලන පක්ෂ විරෝධතාවක් මතු නොකලත් මැතිවරණ කොමිසම, ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ පුරවැසිභාවය පිළිබඳ ව්‍යවස්ථාවේ කොන්දේසි අනුගමනය කර ඇත්දැයි සෑහීමකට පත්විය යුතුය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පුද්ගලික මාධ්‍ය ආයතන කොමිසම විසින් නිකුත් කරන ලද උපමාන (guidelines) නොසලකා ක්‍රියා කරන බවට මැසිවිලි නගන බව අපි දනිමු. මේ සම්බන්ධයෙන් හූල් ප්‍රකාශ කරන්නේ ඔවුන් උපමාන නොසලකන්නේ නම් ඔවුන්ගේ බලපත්‍ර අවලංගු කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමට කීමට මැතිවරණ කොමිසමට හැකි බවයි.

මෙම තත්ත්වය ඇතිවී තිබෙන්නේ ව්‍යවස්ථාවේ 104 ඊ වගන්තිය සංශෝධනයේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය ආපස්සට ගොස් ඇති නිසාය. 19 වන සංශෝධනයට පෙර කොමිසමට ඕනෑම මාධ්‍ය ආයතනයකට උපමාන නිකුත් කිරීමට හැකි අතර එම ආයතන විසින් ඒවා පිළිපැදිය යුතුය. 19 වන සංශෝධනයෙන් පසුව කොමිසමට සියළු මාධ්‍ය ආයතන වෙත උපමාන නිකුත් කිරීමට හැක. රාජ්‍ය මාධ්‍ය ආයතන විසින් ඒවා පිළිපැදිය යුතුය. තවද එම උපමාන පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුය. එමෙන්ම රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන මගින් ඒවා පිළිපැදීම සම්බන්ධව ව්‍යවස්ථාව නිහඬය. එනිසා කොමිසමේ සභාපති කියන ආකාරයට බටර් කපන්නාක් මෙන් ඔවුන්ගේ කාර්යය කළ නොහැක. මෙම තත්ත්වය 19 සංශෝධනය මගින් අපේක්ෂිත දේ හාස්‍යයට ලක් කරන්නකි. හූල් ගේ සඳහන එන්නේ මේ පසුබිම යටතේය.

මැතිවරණ දිනයේදී ඡන්දය පාවිච්චි කිරීම සඳහා පුත්තලමේ සිට මන්නාරමට ගිය මුස්ලිම් ජාතිකයන්ට පහර දීම පිළිබඳව හූල් බලවත්සේ විවේචනාත්මක වෙයි. මොවුන් සඳහා විශේෂ ඡන්ද මධ්‍යස්ථාන ඇතිකිරීමට තමන් ඉල්ලා සිටි බවත් ඒ සඳහා නීතියේ ප්‍රතිපාදන තිබුනත් එම ඉල්ලීම නොසලකා හැරි බවත් ඔහු කියයි. කොමිසමේ සභාපතිවරයා නිවැරදි ලෙස කුඩා ජන වර්ග සඳහා ජාතික සංවේදනයක් සඳහා කතා කරන නමුත් ආයතනය තුළ මුස්ලිම්වරුන්ට එරෙහිව කුරිරු විහිළු කෙරෙන බවත් පුත්තලමට නැවත පැමිණීමට ඉඩ දුන්නොත් ඔවුන් වංචාකාරී ලෙස නැවත ඡන්දය පාවිච්චි කරනු ඇති බවත් ප්‍රකාශ වූ බව ඔහු කියයි.

හූල් විසින් නිරාවරණය කරන ලද තොරතුරු තුළ රහසිගත තොරතුරු ඇතුලත්ව නැත. තොරතුරු දැනගැනීමේ පනතට අනුව මැතිවරණ නීති අනුව රහසිගතව තබා ගත යුතුවන පවත්වන ලද මැතිවරණයකට අදාළ තොරතුරු මහජනතාවට ලබා නොදිය යුතුය. එමෙන්ම පනතට අනුව තොරතුරු හෙළි කිරීමෙන් විය හැකි හානියට වඩා මහජන සුබසිද්ධිය වැඩි නම් එම තොරතුරු හෙළිදරවු කළ හැක.

එබැවින් හූල් ගේ ක්‍රියාකාරකම් මගින් මැතිවරණ කොමිසමේ පාරදෘශ්‍යතාව වැඩි වන අතර එහි සභාපතිවරයාට සහ සාමාජිකයන්ට ස්වාධීන වීමට සහ අපක්ෂපාත වීමට බල කෙරේ. ඒ මගින් කොමිසම කෙරෙහි වන මහජන විශ්වාසය වැඩි වනු ඇත. ඔහු කොමිසමට සහභාගී වීම මගින් කොමිසම සහ එහි සභාපතිවරයා බලවත් වේ. හූල් අපේ යුගයේ දුර්ලභ වීරයෙකි, ඔහු මතභේදාත්මක වන්නේ ඒ නිසාය.

හර්ෂ ගුණසේන විසින් සමබිමට ලියන ලද ලිපියකි.


Published on 30 April 2020
http://www.samabima.com/?p=20777

No comments:

Post a Comment