කාදිනල්ගේ දේව වාක්‍ය
මැල්කම් රංජිත් කාදිනල්තුමා පසුගිය පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම්වලින් හානි වූ කටුවාපිටිය රෝමානු කතෝලික දේවස්ථානය විවෘත කිරීමේ උත්සවයේදී දේශපාලන කතාවක් කළේය. ආගමික නායකයන්ට දේශපාලන කතා තහනම් නොවේ. ප්රශ්නය වන්නේ විචාරශීලිත්වයෙන් තරමක් තොර ස්වභාවයක් පෙන්නුම් කරන සමහර ජනතා කොටස් විසින් මේ දේශපාලන කතා දේව වාක්‍ය ලෙස පිළිගැනීමට ඇති ඉඩකඩයි. බොහෝවිට බෞද්ධ භික්ෂුන් දේශපාලනය කතා කරන විට ඔවුන් යම් දේශපාලනඥයන් පිරිසකට විරුද්ධ වන බව සහ තවත් දේශපාලනඥයන් පිරිසකට පක්ෂ වන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. විදග්ධයකු වන කාදිනල්තුමාගේ කතාවල එවැන්නක් එකවරම පෙනෙන්නට නැත. එනමුත් එතුමාගේ කතා විමසිල්ලෙන් ශ්‍රවණය කරන්නකුට ඒවායේ ඇති දේශපාලන පක්ෂපාතීත්වය අවබෝධ කර ගත හැක.
පසුගිය දිනෙක බටහිර රාජ්‍යයන් විසින් ප්‍රවර්ධනය කෙරෙන මානව හිමිකම් ගැරහීමට ලක් කෙරෙමින් ද ආගම් තිබෙන විට මානව හිමිකම් අනවශ්‍ය බව ප්‍රකාශ කෙරෙමින් ද මානව හිමිකම්වලට වඩා මෙරට සංස්කෘතිය ගැන අප සැලකිලිමත් විය යුතු බව ප්‍රකාශ කෙරෙමින්ද කළ පසුගාමී කතාවට පිළිතුරු වශයෙන් මංගල සමරවීර ඇමතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කළේය. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා සමරවීරට වහාම පිළිතුරු දෙමින් කාදිනල්තුමාගේ දේව වාක්‍යය ආරක්ෂා කළේය.
කටුවාපිටිය කතාවේද එතුමා මානව හිමිකම් විවේචනය කළේය. බුද්ධි අංශ දුර්වල කිරීම පිළිබඳව ආණ්ඩුවට චෝදනා කළේය. බටහිර මානව හිමිකම්වල මුලාරම්භය 1215 දී එංගලන්ත රජු එරට වංශවතුන් සමඟ අත්සන් කළ මැග්නා කාර්ටා ගිවිසුමයි. කිසිම වංශවතෙකුට නිත්‍යනුකුල නඩු තීන්දුවකින් තොරව දඬුවම් කළ නොහැකි යයි එහි සඳහන් වේ. බටහිර මානව හිමිකම්වල නැගීම රෝමානු කතෝලික පල්ලියට එරෙහි ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරයේ නැගීම හා බැඳී පවතී. 16 වන සියවසේදී රෝමානු කතෝලික පල්ලියට එරෙහිවූ මාටින් ලූතර් දේවගැතිතුමා පල්ලියෙන් නෙරපා හරින ලදී. අටවන හෙන්රි රජු විසින් පාප්තුමාගේ ආධිපත්‍යයට එරෙහිව එංගලන්ත සභාව ආරම්භ කරන ලද්දේද 16 වන සියවසේදීය. 17 වන ශත වර්ෂයේදී එංගලන්තයේ සිටි රජු නෙරපා ඔලිවර් ක්‍රොම්වෙල් බලයට පැමිණීමත් ඉන් කලකට පසුව එංගලන්තයේ සම්මත කර ගන්න ලද අයිතිවාසිකම් පිළිබඳ පනතත් 18 වන ශතවර්ෂයේදී ඇමෙරිකාව නිදහස ලැබීමෙන් පසුව නිකුත් කළ නිදහසේ ප්රකාශනයත් ඉන් දශකයකට පමණ පසුව ඇතිවූ ප්‍රංශ විප්ලවයත් මානව හිමිකම්වල සන්ධිස්ථාන වේ. මානව හිමිකම් යනු කාලයක් තිස්සේ බටහිර රටවල ජනතාව එම රටවල රජුන්ගේ අත්තනෝමතික පාලනයන්ටද රෝමානු කතෝලික පල්ලියේ පාලනයටද එරෙහිව ගෙන ගිය අරගලවල ප්රතිඵලයයි. එබැවින් කාදිනල්තුමාට මානව හිමිකම්වලට ඉහළින් ආගම තැබිය නොහැකිය. ආගම මිනිසාට මානව හිමිකම් සහතික කරන ප්‍රභවයක් විය යුතුය.
කාදිනල්තුමාගේ දේව වාක්‍ය අදහන පිරිසගේ දැනගැනීම උදෙසා ඉතාම ප්රගතිශීලි සහ ජනහිතකාමී ආගමික නායකයකු වන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කළ මේ සටහන උපුටා දක්වමි. “ජීවිතයට ඇති අයිතිය ප්‍රථම මානව හිමිකමයි.” අපගේ ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදය වෙන් වන්නේ මානව හිමිකම් සඳහාය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්රඥප්තියට අප අත්සන් තබා ඇත්තෙමු.
පසුගිය මහින්ද රාජපක්ෂ රජය කාලය තුළ මෙරට මානව හිමිකම් අන්තිම අඩියකට වැටී තිබුණි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය විය. පුවත්පත් කලාකරුවන් ගණනාවකට පහරදෙන ලදී. සමහරු පැහැර ගෙන යන ලදුව පසුව නිදහස් කරන ලදී. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් විය. තජුදීන් ඝාතනය කර එය රිය අනතුරක් සේ පෙනෙන්නට සලස්වන ලදී. මෙය වසන් කිරීමට ඉහළ පොලිස් නිලධාරින්ද ඉහළ වෛද්‍ය නිලධාරින්ද සම්බන්ධ වූහ. මෙහෙයුමකදී වැලිකඩ සිරකරුවන් ඝාතනය කරන ලදී. නාවික හමුදාවේ නිලධාරීන් විසින් ශිෂ්‍යයන් පිරිසක් කප්පම් ගැනීම සඳහා රඳවාගෙන පසුව ඔවුන් මරාදමන ලදී. රාජපක්ෂගේ අන්තේවාසිකයෝ ස්ත්‍රීහු දූෂණය කළහ. නොයෙකුත් මැර ක්‍රියාවල යෙදුණහ. රාජපක්ෂටද ඔහුගේ අන්තේවාසිකයන්ටද එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවුනි.
කාදිනල්තුමා මානව හිමිකම් පහළට දැමීමේ හේතුව වන්නේ මානව හිමිකම් කඩා දැමූ පසුගිය ආණ්ඩුවට ආවැඩීම හැර වෙන කුමක්ද?
මේ කාලයේ ඝාතන බොහොමයකටම බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධව සිටි බවට පොලිසිය විසින් තොරතුරු හෙළි කරගෙන ඔවුන් අත්අඩංගුවට ගන්නා ලදී. ඥානසාර වැනි මැර භික්ෂුන් ඇතුළු අන්තවාදී පිරිස් විසින් ද රාජපක්ෂ ගැත්තන් විසින්ද පතුරුවා හරින ලද මෙම ආණ්ඩුව විසින් බුද්ධි අංශ විනාශ කළ බවට වන චෝදනාව ප්රලාපයකි. පවතින ආණ්ඩුවක දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කිරීම බුද්ධි අංශයක කාර්ය භාරයද? පුවත්පත් කලාවේදීන් ඝාතනය කිරීම බුද්ධි අංශයක කාර්ය භාරයද? කප්පම් ගැනීම සඳහා ශිෂ්‍යයන් ඝාතනය කිරීම බුද්ධි අංශයක හෝ රණවිරුවන්ගේ හෝ කාර්ය භාරයද? කාදිනල්තුමා බුද්ධි අංශ දුර්වල කිරීම යනුවෙන් අදහස් කරන්නේ මෙම අත්අඩංගුවට ගැනීම් විය යුතුය. එසේ නම් එය පසුගිය ආණ්ඩුවට ආවැඩීම වෙන කුමක්ද?
කාදිනල්තුමා දිවයින පත්‍රයේ පුවතක් පාදක කරගෙන අයිඑස්අයිඑස් කණ්ඩායමේ නායකයා බලවත් රටක භාරයේ සිටින බවත් මෙම පාස්කු ඉරිදා ප්‍රහාරය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවත් කීය. දිවයින වැනි පුවත්පතක වාර්තාවක් පදනම් කරගෙන කතා කිරීම ආගමික නායකයකුට තරම් නොවේ. මෙම පුවත්පතේ කෙන්ද කන්ද කරන වාර්තාකරණය දොස්තර සාෆි පිළිබඳ ප්‍රවෘත්තියෙන් සනාථ වේ. කාදිනල්තුමා මේ ව්‍යංගයෙන් චෝදනා කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයටයි. ලංකාව චීන ගැති රටක් බවට පත්කරන ලද්දේ රාජපක්ෂ ආණ්ඩුවයි. ජනාධිපති ජයවර්ධනගේ යුගයේදී අපට ඉන්දියාව සමඟ ගනුදෙනු බේරාගන්නා ලෙස කී ඇමෙරිකාව අපගේ බැඳියාව චීනයට විතැන් වූ පසුව මෙරට පිළිබඳ බලවත් උනන්දුවක් දක්වන්නට විය. කෙසේ වෙතත් මෙම බල අරගලයේදී ඇමෙරිකාවට චෝදනා කිරීම රාජපක්ෂවාදීන්ගේ ප්රතිපත්තියයි. කාදිනල්තුමා එම ප්රතිපත්තියම අනුව යයි.
ජනාධිපති සිරිසේන දේශපාලනඥයන් සෑමවිටම ගෙදර යාමට සූදානම් බව පවසමින් මේ කතාවට පිළිතුරු දී තිබුණි. නමුත් කාදිනල්ලා එසේ ජනතාව ඉදිරියට යන්නේවත් ගෙදර යන්නේවත් නැත.
කාදිනල්තුමාගේ වේදනාව අපි හඳුනමු. ඝාතනයට ලක්වූ කිතුනුවන්ගේ වේදනාවද අපි හඳුනමු. දේපල හානි කරනු ලැබූ සහ මර්දනයට ලක්වූ මුස්ලිම්වරුන්ගේ වේදනාවද අපි හඳුනමු. රටේ ජනාධිපති පාස්කු ඉරිදා සිද්ධිය පිළිබඳව සිය වගකීම පැහැර හැරීමද අපි දනිමු. රටේ ජනාධිපති සහ අගමැති ජනවාර්ගික අරගලවලදී නිසි කලට ප්‍රතිචාර නොදැක්වීමද අපි දනිමු. එමෙන්ම රටේ කාදිනල්තුමා දේශපාලන ගැත්තකු වීම ගැන අපි කණගාටු වෙමු.
527 වැනි සමබිම අතිරේකයට හර්ෂ ගුණසේන විසින් ලියන ලද ලිපියකි.
No comments:
Post a Comment