ඒකීය රාජ්‍යය සහ ஒருமித்த நாடு
දැනට පවතින ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව සහ යෝජිත ව්‍යවස්ථා ප්‍රතිපාදන පිළිබඳව ලියැවුණු මූලික ලිපියක් පසුගිය සතියේ පළවිය. මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ යෝජිත ප්‍රතිපාදන අනුව රාජ්‍යයේ ස්වභාවය පිළිබඳවයි.
පසුගියදා ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුවේ සංවිධානයෙන් පැවති නව ව්‍යවස්ථාව පිළිබඳ සංවාදයේදී අදහස් දක්වමින් මෙහෙයුම් කමිටු සාමාජික ජයම්පති වික්‍රමරත්න, යෝජිත ව්‍යවස්ථාව පිළිබඳ විද්වත් කමිටු වාර්තාව අනුව පළාත් සභාවලට ව්‍යවස්ථාව වෙනස් කිරීමේ බලතල ලබාදී නොමැති අතර එම බලතල ලබාදී ඇත්තේ මධ්‍යයට බවත් ව්‍යවස්ථාදායකයේ අනුමැතියෙන් පසු ජනමත විචාරණයකට යන්නේ නම් එයට සමස්ත ශ්‍රී ලංකාවේම ජනතාවගේ අනුමැතිය ලැබිය යුතු බවත් ඒ සඳහා පළාත් සභාවලින් විමසිය යුතු නැති බවත් එබැවින් රාජ්‍යය ඒකීය බවත් කියා සිටියේය. එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට ප්‍රාන්ත රාජ්‍යවලින් අවසර ගත යුතු බවත් ඉන්දියාවේ සමහර වගන්ති වෙනස් කිරීමට ප්‍රාන්තවලින් අවසර ගත යුතු බවත් ඒ අනුව ඇමෙරිකාව ෆෙඩරල් රාජ්‍යයක් බවත් ඉන්දියාව අර්ධ ෆෙඩරල් රාජ්‍යයක් බවත් කීය.
ඇමෙරිකාවේ හෝ ඉන්දියාවේ හෝ ප්‍රංශයේ හෝ දකුණු අප්‍රිකාවේ හෝ ව්‍යවස්ථාවල ඒවා Unitary ද එසේ නැතහොත් Federal ද යන බව සඳහන් නොවේ. නූතන ව්‍යවස්ථාවල මෙම ලක්ෂණ අඩු වැඩි වශයෙන් තිබේ. යම් ව්‍යවස්ථාවක් Unitary නම් මධ්‍යය විසින් දුන් බලය නැවත අවශ්‍ය විට ලබා ගත හැකි විය යුතුය. නමුත් දැනට ඇති ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවට අවශ්‍ය විට පළාත් සභාවල බලතල ඒවායේ අනුමැතියකින් තොරව නැවත පවරා ගත නොහැක. එබැවින් දැනට පවතින ව්‍යවස්ථාවද Unitary නොවේ.
යෝජිත ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව ව්‍යවස්ථාදායකයට පළාත් සභාවලට අදාළ විෂයයන් සඳහා නීති පැනවිය නොහැක. එසේ පනවන්නේ නම් ඒ සඳහා සියලු පළාත් සභා එකඟ විය යුතුය. එසේ නැතහොත් පාර්ලිමේන්තුවේ හෝ දෙවන මන්ත්‍රණ සභාවේ හෝ පැමිණ නොසිටින මන්ත්‍රීවරුන්ද ඇතුළු සියලු මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකක අනුමැතිය සහ ජනමත විචාරණයකදී සමස්ත ජනතාවගේ අනුමැතිය ඒ සඳහා හිමිවිය යුතුය. එසේ වුවද සියලු පළාත් සභාවල එකඟතාවයෙන් මෙම නීති පනවන්නේ නම් ඉන් පසුව ඒ කරුණ සම්බන්ධයෙන් නීති පැනවීමට පළාත් සභාවලට බලය ඇත. මේවා Unitary ලක්ෂණ නොවේ.
එනමුත් රාජ්‍යය එක් රාජ්‍යයකි. දෙමළෙන් ‘ඔරු’ වශයෙන් සඳහන් වන්නේ ‘එක්’ යන අර්ථයයි. එසේ වන්නේ පරමාධිපත්‍යය බෙදී නොමැති නිසාය. ඉහත සඳහන් කළ පරිදි මධ්‍යම ආණ්ඩුවට, පළාත් සභාවලට භාරදුන් කාර්යයන් සඳහා නීති සම්පාදනයට, පළාත් සභාවලින් අවසර ගත යුතු නමුත් එසේ නොමැති නම් ව්‍යවස්ථාදායකයේ තුනෙන් දෙකක අනුමැතියෙන් සහ සමස්ත ජනතාවගේ අනුමැතියෙන් එම නීති අනුමත කරගත හැකි නිසා පරමාධිපත්‍යය බෙදී නොමැත. යම් හෙයකින් එම නීති සම්පාදනය පළාත් සභාවල අනුමැතියකින් තොරව කිසිසේත්ම කළ නොහැකිනම් පරමාධිපත්‍යය බෙදී ඇත. එය එසේ නොවේ.
එමෙන්ම යෝජිත ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව ව්‍යවස්ථා සංශෝධනයක් කෙරෙන්නේ නම් පාර්ලිමේන්තුවේ සහ දෙවන මන්ත්‍රණ සභාවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව තුනෙන් දෙකක අනුමැතිය සහ ව්‍යවස්ථා අධිකරණය අවශ්‍යයයි සිතන්නේ නම් සමස්ත ජනතාවගේ අනුමැතිය සහිතව එය කළ යුතුය. ඒ සඳහා පළාත් සභාවල අනුමැතිය අවශ්‍ය නොවේ. එබැවින් පරමාධිපත්‍යය බෙදී නොමැත.
මෙයින් අදහස් වන්නේ රාජ්‍යය බෙදී නොමැති බවත් පාලන ක්‍රමය යම් ප්‍රමාණයකට එසේ නොමැති නම් එක්තරා මට්ටමකට බෙදී ඇති බවත්ය. පාලන ක්‍රමය තිබෙන්නේ රාජ්‍යය තුළය. එබැවින් පාලන ඒකක තුළ යම් මට්ටමකට බෙදී ඇති පාලන ක්‍රමය, සමස්ත ජනතාවගෙන් කෙරෙන ජනමත විචාරණය යන කොන්දේසිය යටතේ රාජ්‍යය නැමැති ඒකකය තුළ නොබෙදී ඒකීය වේ.
ඇමෙරිකන් ව්‍යවස්ථාවේ පස්වන ව්‍යවස්ථාව අනුව කොන්ග්‍රසයේ සහ සෙනෙට් සභාවේ තුනෙන් දෙකක අනුමැතිය තිබේ නම් ව්‍යවස්ථා සංශෝධනයක් කළ හැකි අතර එය ප්‍රාන්ත ව්‍යවස්ථාදායකවලින් හතරෙන් තුනක අනුමැතිය ලැබිය යුතුවේ. එබැවින් ප්‍රාන්තවල අනුමැතියකින් තොරව ඇමෙරිකාවේ ව්‍යවස්ථා සංශෝධනයක් කළ නොහැක.
ඉන්දියාවේ ව්‍යවස්ථා සංශෝධන කළ හැක්කේ 368 වන ව්‍යවස්ථාව අනුවයි. ඒ අනුව ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා තෝරා ගැනීම ඇතුළු සමහර වගන්තිවලට කෙරෙන සංශෝධන ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභා භාගයකට නොඅඩු සංඛ්‍යාවකින් අනුමත විය යුතුය. එබැවින් ඇමෙරිකාවේ ජනතා පරමාධිපත්‍යය බෙදී පවතින අතර ඉන්දියාවේ එය අර්ධ වශයෙන් බෙදී පවතී. මෙරට යෝජිත ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව ජනතා පරමාධිපත්‍යය බෙදී නොමැත. එබැවින් රාජ්‍යය ඒකීය වේ. ■
510 වන සමබිම ඉරිදා අතිරේකයට හර්ෂ ගුණසේන විසින් ලියන ලද ලිපියකි.
No comments:
Post a Comment