නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව වන සාකච්ඡාවලදී මූලික කරුණු පිළිබඳව සාකච්ඡා වන බව පෙනෙන්නට ඇති අතර එහි පුළුල් අන්තර්ගතය පිළිබඳ සංවාදයක් ඇතිවී නැත. ඉතාම විවෘතව දක්වා ඇති දේ කුමන්ත්‍රණයක් ලෙස දකින්නට බොහෝ අය උත්සාහ කරති.
නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියේ මුල් පියවර වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීම සඳහා නීතිඥ ලාල් විජේනායකගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කරන ලද අතර එහි වාර්තාව 2016 මැයි මස නිකුත් කරන ලදී. මින් පසුව පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස රැස් විය.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව මන්ත්‍රීවරුන් 21 දෙනකු ගෙන් සමන්විත වන අතර මෙම කමිටුවේ කාර්ය භාරය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සලකා බැලීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත පිළියෙළ කිරීමයි. මෙහෙයුම් කමිටුව විසින් නිශ්චිත විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තවදුරටත් මහජන අදහස් විමසූ අතර මේවා පදනම් කරගෙන මහජන අදහස් විමසීමේ කමිටුව විසින් අතුරු වාර්තාවක්ද ඉදිරිපත් කරන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට මූලික අයිතිවාසිකම්, අධිකරණය, නීතිය හා සාමය, රාජ්‍ය මුල්‍ය, රාජ්‍ය සේවය සහ මධ්‍යම – පර්යන්ත සබඳතා යන සය වැදෑරුම් කාරණා පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නියෝජනත්වයෙන් යුත් අනු කමිටු හයක් පත්කරන ලදී. මෙම අනු කමිටු සියල්ලේම වාර්තා කලකට පෙර ඉදිරිපත් කර තිබුණි.
මෙහෙයුම් කමිටුව රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු අතර එහි සාමාජිකයන් වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල, නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම්, විජේදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත, රිෂාඞ් බද්යුදීන්, පාඨලී චම්පික රණවක, ඩි. එම්. ස්වාමිනාදන්, මනෝ ගනේෂන්, මලික් සමරවික්‍රම, ආර්. සම්පන්දන්, අනුර දිසානායක, ඩිලාන් පෙරේරා, දිනේෂ් ගුණවර්ධන, ජයම්පති වික්‍රමරත්න, එම්.ඒ. සුමන්තිරන්, තුසිතා විජේමාන්න, බිමල් රත්නායක, ප්‍රසන්න රණතුංග, සහ ඩග්ලස් දේවානන්ද යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් සමන්විතය. වර්තමාන ව්‍යවස්ථාවේ ජනතාව, රාජ්‍යය, පරමාධිපත්‍යය, බුද්ධාගම, රාජ්‍යයේ ස්වභාවය, පරමාධිපත්‍යය, ආගම, ආණ්ඩුවේ ස්වභාවය, මැතිවරණ සංශෝධන, බලය බෙදීමේ මුලධර්ම සහ ඉඩම් යන කරුණු කෙළින්ම මෙහෙයුම් කමිටුව මගින් සලකා බැලේ.
ඉදිරිපත්වූ අනු කමිටු වාර්තා සහ වෙනත් සාධක අනුව විද්වත් මණ්ඩලයක් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම් පත් කර ඇති අතර එය වර්තාවක් වශයෙන් මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කර ඇත. මෙය පදනම් කරගෙන මෙහෙයුම් කමිටුව විසින් සිය සංශෝධනද ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ යුතුය. එනමුත් මෙහෙයුම් කමිටුව විද්වත් මණ්ඩලය විසින් වාර්තාවක් ලෙස ඉදිරිපත් කරන ලද කෙටුම්පත, එහි සංශෝධන කිරීම පසුවට තබා ඒ ආකාරයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. ප්‍රකාශයට පත්වී ඇත්තේ කෙටුම්පතක ස්වරූපයෙන් ඇති එම වාර්තාවයි. ඉදිරිපත් කරන ලද කෙටුම්පතේ පරිශිෂ්ටයේ දේශපාලන පක්ෂවල ද විද්වත් මණ්ඩලයේ සාමාජිකයන්ගේ ද විකල්ප යෝජනා අඩංගුවේ.
ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වශයෙන් සිංහලෙන්ද ඔරුමිත්තනාඩු වශයෙන් දෙමළෙන්ද සඳහන් කර තිබේ. ඹබසඒරහ යන ඉංග්‍රීසි යෙදුම ව්‍යවස්ථාවෙන් ඉවත් කර තිබේ. මෙයට හේතුව වශයෙන් මෙහෙයුම් කමිටු සාමාජික එම්. ඒ. සුමන්තිරන් රුපවාහිනී විවාදයකදී පවසා සිටියේ රාජ්‍යය ඒකීය වුවත් පාලන ක්‍රමයේ ඒකීය ලක්ෂණ නොතිබෙන බැවින් ඹබසඒරහ යන වචනය පාවිච්චි නොකළ හැකි බවයි. 13 වන ව්‍යවස්ථා සංශෝධනය පාදක කරගෙන දැනට පවතින පාලන ක්‍රමයේද ෆෙඩරල් ලක්ෂණ තිබේ.
ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන පස් ආකාරයක් වර්තමාන ව්‍යවස්ථාවේ දක්වා තිබේ. එනමුත් යෝජිත ව්‍යවස්ථාවේ එය මෙලෙස දක්වා ඇත. “ ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හල නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත් වන්නේය.” එමෙන්ම ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලය ව්‍යවස්ථාවේ ප්‍රකාරව ක්‍රියාත්මක විය යුතු බව දක්වා ඇත. මෙහි විශේෂය වන්නේ පවතින ව්‍යවස්ථාවේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අධිකරණය මගින් ක්‍රියාත්මක කළ යුතු යයි වන සඳහන ඉවත් කර තිබීමයි. එමෙන්ම කිසිම පළාත් සභාවක් හෝ අධිකාරියක් විසින් මෙරට කිසියම් ප්‍රදේශයක් වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කිරීම හෝ වෙන්වීම සඳහා ඉල්ලීම නොකළ යුතු බව සඳහන් කර ඇත. එසේ කළහොත් 291ඡේදය අනුව ජනාධිපතිවරයාට අගමැතිවරයා විමසා පාර්ලිමේන්තුවේ අනුමැතියට සහ අධිකරණයේ විමර්ශනයට යටත්ව එම පළාත් සභාව විසුරුවා හැරීමට හෝ එහි බලතල සියතට ගැනීමට බලය ඇත.
ආගම සම්බන්ධයෙන් වන යෝජනාවට විකල්ප යෝජනාවක්ද ඇතුළත් වේ. පළමු යෝජනාවෙන් දැනට පවතින ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම තබා ගැනීමට යෝජනා කර ඇති අතර විකල්ප යෝජනාවෙන් අනෙකුත් ආගම් සහ විශ්වාස වෙනස්කමකට භාජනය නොකිරීමේ සඳහන ඇතුළත් වේ.
පවතින ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් 10 ව්‍යවස්ථාවේ සිට 17 ව්‍යවස්ථාව දක්වා වන අතර එය ඉතාමත්ම සීමිත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලින් සමන්විත වේ. යෝජිත ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ඉතාමත් විස්තීර්ණව දක්වා ඇති අතර ඒවා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ඉක්මවා ගොස් සමාජ ආර්ථික සහ පරිසරය පිළිබඳ අයිතිවාසිකම් ද ඇතුළත් කොට ඇත. මෙම පරිච්ඡේදය 9 සිට 47 දක්වා ඡේද 39කින් සමන්විත වේ. ඒවා අතර ජීවනෝපාය, සෞඛ්‍යය, අධ්‍යාපනය, ආහාර, නිවාස, ජලය, සමාජ ආරක්ෂණය, පරිසරය ළමා සහ ආබාධිත අයිතිවාසිකම් ඇතුළත්වේ. මහින්ද සමරසිංහගේ සභාපතිත්වයෙන් යුත් මූලික අයිතිවාසිකම් අනු කමිටුව මෙම සියලු අයිතිවාසිකම් ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලෙස නිර්දේශ කර තිබුණි.
ජනරජයේ ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා සහ සන්නද්ධ හමුදාවල ප්‍රධාන අණදෙන නිලධාරියා වෙයි. ඔහු ආණ්ඩුවේ ප්‍රධානියා නොවන අතර පත්වන්නේ මහජන ඡන්දයෙන් නොවේ. ඔහු තෝරාගන්නේ පාර්ලිමේන්තුවේ සහ යෝජිත දෙවන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් විසිනි. ඔහු බොහෝ අවස්ථාවලදී ක්‍රියා කළ යුත්තේ අගමැතිවරයාගේ උපදෙස් පරිදිය.
විධායකය අගමැතිගෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් සමන්විත වේ. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා අගමැතිය. කැබිනට් අමාත්‍යවරු 30 ක් වන අතර කැබිනට් නොවන අමාත්‍යවරුද 30 ක් සිටිය හැක. කැබිනට් මණ්ඩලය පළාත් සභාවලට අයත් විෂයක් පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේදී පළාත් අමාත්‍ය මණ්ඩල සමඟ එක්ව කටයුතු කළ යුතුය.
ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුවෙන් සහ දෙවන මන්ත්‍රී මණ්ඩලයෙන් සමන්විත වේ. තෝරා පත් කර ගනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 233 කි. අගමැති තෝරාගැනීමේ ජනාධිපතිවරයාගේ අභිමතයට සීමා පමුණුවා ඇත. දෙවන මන්ත්‍රී මණ්ඩලය මන්ත්‍රීවරුන් 55 දෙනෙකු ගෙන් සමන්විත් වේ. මේ සඳහා එක් පළාත් සභාවකින් මන්ත්‍රීවරුන් පස් දෙනෙකු බැගින් පළාත් සභා 9 යෙන් මන්ත්‍රීවරු 45 දෙනෙකු පත්වන අතර පාර්ලිමේන්තුව මගින් පාර්ලිමේන්තුවේද පළාත් සභාවලද මන්ත්‍රීවරුන් නොවන කීර්තිමත් තැනැත්තන් 10 දෙනෙකු දෙවන මන්ත්‍රී මණ්ඩලය සඳහා නම් කළ යුතුය.
සෑම පනත් කෙටුම්පතක්ම පාර්ලිමේන්තුවේ සභාගත කළ වහාම දෙවන මන්ත්‍රී මණ්ඩලයටද යොමු කළ යුතුය. යෝජිත ව්‍යවස්ථාව අනුව “දෙවන මන්ත්‍රී මණ්ඩලය එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ආපසු යොමු කරන අවස්ථාවෙහිදී, එහි මතය අනුව නැවත සළකා බැලීම අවශ්‍ය ක්ෂේත්‍ර පිළිබඳ නිශ්චිතව දක්වනු ලැබිය යුතුය. යම් පනත් කෙටුම්පතක් නීතියක් බවට පැනවීමට පෙරාතුව, පාර්ලිමේන්තුව විසින් දෙවන මන්ත්‍රී මණ්ඩලයේ අදහස්වලට නිසි සැලකිල්ල දක්වනු ලැබිය යුතුය. ව්‍යවස්ථාදායකය විසින් පළාත් සභාවලට අයිති බලතල සම්බන්ධ නීති පනවන්නේ නම් ඒ සඳහා සියලු පළාත් සභාවල අනුමැතිය ලැබිය යුතුය. එසේ නැතහොත් එය පාර්ලිමේන්තුවේ හෝ දෙවන මන්ත්‍රී මණ්ඩලයේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක අනුමැතිය ලබා ගැනීමට අමතරව, ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමතකළ යුතුය.
පළාත් ආණ්ඩුකාරවරුන්ගේ බලතල කප්පාදු කර ඇති අතර ඔවුන් මහ ඇමතිවරුන්ගේ උපදෙස් පරිදි ක්‍රියා කළ යුතුය. ඔවුන් මහ ඇමතිවරුන් යටතට පත් කර නැත. ශ්‍රේෂ්ඨාධිකරණයට අමතරව ව්‍යවස්ථා අර්බුද පිළිබඳව කටයුතු කිරීම සඳහා ව්‍යවස්ථා අධිකරණයක් පත් කර ඇත.
සමස්ත වශයෙන් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිරමීඩයක් සේ ඇති බලය සමතලා කිරීමකටද විහිදුවා හැරීමකටද ලක් කර ඇත. මෙය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් වන අතර මෙහි ඇති ගුණ දොස් පිළිබඳව පුළුල් ජනතා සංවාදයක් ඇතිවිය යුතුය. මේ පිළිබඳව ලිපි පෙළක් ලිවීමට අප බලාපොරොත්තු වන අතර ව්‍යවස්ථාවක් සඳහා වන යෝජනාවලියේ පිටපතක් https://www.samabima.com/යන වෙබ් අඩවියෙන් බා ගත හැක. ■
හර්ෂ ගුණසේන විසින් 509 සමබිම ඉරිදා අතිරේකයට ලියන ලද ලිපියකි.
(2018 පෙබරවාරි 10 දින අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකයේ පළ කරණ ලදී.)
No comments:
Post a Comment