ලංකාවේ මැතිවරණ නිශ්චිත දින වලට නොපැවැත්වේ. පාර්ලිමේන්තුව නියමිත කාල සීමාව සම්පුර්ණ වීමට පෙර විසුරුවා හැරීමට ජනාධිපතිට බලය තිබෙන අතර නියමිත කාලයට කලින් ජනාධිපතිවරණයක්ද පැවැත්වීමට ඔහුට/ඇයට බලය තිබේ. මෙම බලතල බොහෝ විට පාවිච්චි කරනු ලබන්නේ ජනාධිපතිට හෝ ජනාධිපති අයත් දේශපාලන පක්ෂයට හෝ වාසි සහගත යයි සිතෙන අවස්ථාවක මැතිවරණ පැවැත්වීමටයි. පළාත් සභා ඡන්ද වසර ගණනාවක් කල් ගොස් ඇත. මැතිවරණ කොමිසමට පළාත් සභා ඡන්ද පැවැත්වීමට නොහැක්කේ සීමා නිර්ණය පිලිබඳ අවශ්‍ය අනුමැතීන් පාර්ලිමේන්තුව විසින් ලබා දී නොමැති නිසාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වන වගන්තිය අනුව මූලික අයිතිවාසිකම් පිලිබඳ උසාවියේ බලය පාර්ලිමේන්තුවට බල පාන්නේ නැත.
මෙවර පළාත් පාලන ආයතන වල මැතිවරණ කල් තබා තිබේ. සිමා නිර්ණය පිලිබඳ ප්‍රශ්ණ නිසා පසුගිය පළාත් පාලන මැතිවරණද කල් දමන ලදී. අවසානයේදී මැතිවරණ පැවැත්වෙන විට පළාත්පාලන සභිකයන්ගේ ප්‍රමාණය තිබුණ ප්‍රමාණයට වඩා දෙගුණයකට අසන්න විය. දැන් එම ප්‍රමාණය අඩු කිරීමට සාකච්ඡා කරමින් තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තියට අනුව ජනතාව කෙරෙහි පිහිටා ඇති පරමාධිපත්‍යයට ඡන්ද බලයද ඇතුලත්වේ. එනමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තියට අනුව එම පරමාධිපත්‍යය ජනතාව විසින් භුක්ති විඳීමේ පස් ආකාරයෙන් එක් ආකාරයක් වන්නේ ජනාධිපතිවරණයකදීද පාර්ලිමේන්තු මැතිවරණයකදීද ජනමත විචාරණයකදීද ඡන්ද බලය පාවිච්චි කිරීමයි. පළාත් සභා හෝ පළාත් පාලන ආයතන මැතිවරණ එයට ඇතුලත් නොවේ.
එනමුත් ව්‍යවස්ථාවේ 4 වන වගන්තියේ පරමාධිපත්‍යය භුක්ති විඳීමේ තවත් ආකාරයක් වන්නේ මූලික අයිතිවාසිකම් පිලිබඳ ඇති අයිතියයි. ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ 12(1) වගන්තිය අනුව නිතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය යනුවෙන් සඳහන් වන බැවින්ද පළාත් පාලන මැතිවරණ පිලිබඳ නීතියක් තිබෙන බැවින් සහ ව්‍යවස්ථාවේ 3 වන වගන්තියේ ඡන්ද බලය පිලිබඳ සඳහන් වන බැවින්ද පළාත් පාලන මැතිවරණ නිසි කලට නොපැවැත්වීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයකැයි සැලකිය හැක.
පසුගිය වතාවේ පළාත් පාලන ඡන්ද නිසි කලට නොපැවැත්වූ විට ඒ පිලිබඳ වගකීම පාර්ලිමේන්තුව සතුවූ බැවින් පාර්ලිමේන්තුවට එරෙහිව උසාවි නියෝගයක් දිය නොහැකිව තිබුණි. (SC FR No.35/2016). නඩු තීන්දුවේදී එවකට අග්‍ර විනිශ්චයකාරවරයා විසින් බරපතල නිරීක්ෂණ ගණනාවක් කර තිබුණි. “මෙම තත්ත්වය සමනය කිරීමට පාර්ලිමේන්තුව විසින් නීති සම්පාදන ක්‍රියාවක් කර නොතිබුණි.” “2012 අංක 22 දරණ පළාත්පාලන ඡන්ද විමසීම් (සංශෝධන) පනත යටතේ සිය අක්‍රිය වීම මගින් ව්‍යවස්ථාදායකය ද එම පනත යටතේ සිය වගකීම් සහ කාර්යයන් ඉෂ්ට කල යුතු ඇමතිවරයා සහ වෙනත් අය ඇතුළු විධායකය ද පළාත්පාලන මැතිවරණ පැවැත්වීම ප්‍රමාද කිරීම සඳහා දායක වී ඇත.” “පෙත්සම්කරුවන්ගේ මුලික අයිතිවාසිකම් රාජ්‍යය විසින් කඩ කර ඇත.”
ජනාධිපතිවරයා දැන් කරමින් සිටින්නේද එම කාර්යයයි. පළාත් පාලන මැතිවරණ කල් තබාගැනීම සඳහා ව්‍යවස්ථාදායකය හරහා කල හැකි කාර්යය වන්නේ පනත සංශෝධනයයි. එයද මුලික අයිතිවාසිකම් හරහා අධිකරණයේ අභියෝගයට ලක් විය හැක. මුදල් හිඟය පිලිබඳ ප්‍රශ්ණය මතු කරන ලද්දේ එනිසාය. මුදල් නොමැතිකම හේතුවෙන් මැතිවරණය කල් දාන්නේ නම් මැතිවරණ දිනය තීරණය කිරීමේ අයිතිය මුදල් ඇමතිවරයාට හෝ ඇමති මණ්ඩලයට ලැබෙන බවත් ඉදිරි ජනාධිපතිවරණයකදී හෝ පාර්ලිමේන්තු මැතිවරණයකදී හෝ මෙම කාරණය ම ඉදිරියට ගතහැකි බවත් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයේ දී ප්‍රකාශ කල විට අධිකරණයේ ප්‍රතික්‍රියාව වූයේ නිතියේ ප්‍රතිපාදන අනුව මැතිවරණය තිබිය යුතු වුවත් මුදල් ප්‍රශ්ණය අධිකරණයේ බල සීමාවෙන් පිටත පවතින බවය. අධිකරණ තීරණය ඉදිරියේදී බලාපොරොත්තු විය හැක.
ජනාධිපතිවරයා ආණ්ඩු කරන්නේ පාර්ලිමේන්තු බලය සහිත පොදුජන පෙරමුණේ සහායෙනි. මේ අවස්ථාවේදී ඔහුට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක. එසේ වුවහොත් ඊළඟට බලයට පත්වන පක්ෂය සමඟ ගනුදෙනු කිරීම ඔහුට මිට වඩා අපහසු විය හැක. ජනාධිපතිවරයා බොහෝ දේශපාලන අවදානම් ගන්නා අයෙකි. එබැවින් මීළඟ මැතිවරණය බොහෝ විට ජනාධිපතිවරණය විය හැක. රට සාමාන්‍ය තත්ත්වයට පත්කර ජනාධිපතිවරණයට මුහුණ දීම ඔහුගේ අරමුණ විය හැක.
පසුගියදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා මැතිවරණය සම්බන්ධව කළ ප්‍රකාශ සහ ඔහුගේ අහංකාර පරවශ හැසිරීම අපට අනුමත කළ නොහැක. අනෙක් අතට පළාත් පාලන මැතිවරණයෙන් පුරවැසියන් හැටියට අප බලාපොරොත්තු වන්නේ කුමක්ද? අපගේ ගම් පළාත් වල කාර්යයන් නිසියාකාරව ඉටුකරවා ගැනීමද එසේ නොමැතිනම් වැඩි බලය හිමිවන පක්ෂ හරහා මධ්‍යයේ පාලනයට බලපෑම් කිරීමද? බොහෝ විට මේ මැතිවරණය පැවැත්වුවහොත් වැඩි බලයක් හිමිකරගනු ඇත්තේ ජාතික ජන බලවේගය හෝ සමගි ජනබලවේගය හෝ විය හැක.
රට තිබෙන්නේ ඉතාමත් අවදානම් තත්ත්වයකය. ආණ්ඩුවේ නායකයන්ද විපක්ෂ දේශපාලන පක්ෂද උගතුන්ද වෘත්තිකයන්ද ජනතාවද හැසිරෙන්නේ රට තිබෙන අවදානම් තත්ත්වය ගැන නොසලකමිනි. ඔවුන් සියලු දෙනාම එකිනෙකාට ප්‍රතික්‍රියා කරමින් සිටිති. ක්‍රියා කරන්නන් විරලය.
අද රටේ තිබෙන්නේ ආර්ථික අර්බුදයකි. එයට හේතුවී තිබෙන්නේ පැවති සහ පවතින දේශපාලන සංස්කෘතියයි. මෙම දේශපාලන සංස්කෘතියේ දේශපාලනඥයෝ මෙන්ම රාජ්‍ය සේවකයෝද ජනතාවද කොටස්කරුවෝ වෙති.
ආර්ථික අර්බුදය ඇතිවීමට හේතුව දීර්ඝ කාලයක් තිස්සේ පැවති රජයේ අයවැය හිඟය සහ එයට අනුබද්ධ රටේ ආනයන සහ අපනයන අතර පරතරය වන වෙළෙඳ ශේෂ හිඟයයි.මෙම හිඟයයන් පියවීමට ගන්නා ණය දිගින් දිගටම පවතින එම හිඟයයන් හේතුවෙන් ගෙවා ගැනීමට නොහැකි වීම අර්බුදයේ ආසන්න හේතුවයි. එම ආසන්න හේතුවට හේතු වූයේ ගෝඨාභය රාජපක්ෂ රජයේ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තියි. එහි පළමු පියවර වන බදු අඩුකිරිම සිදුකළේ මෙරට පුද්ගලික අංශයේ ආශීර්වාදය සහිතව බව මෙහිලා සඳහන් කළ යුතුය. අතලොස්සක් හැර මෙරට පුද්ගලික අංශයද දේශපාලනඥයන්ද රාජ්‍ය සේවකයන්ද ජනතාවද කල්පනා කරන්නේ තමන්ට රාජ්‍යයෙන් කුමක් කඩා ගත හැකිද සහ එම කඩා ගන්නා කොටසේ ප්‍රමාණය ගැන මිස තමන්ගෙන් රාජ්‍යයට දිය යුතු දේ ගැන නොවේ. අර්බුදයේ ඊලග ආසන්න හේතුව වූයේ ඊට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජය විසින් මුදල් ණයට ගෙන සිදුකළ උපයෝගිතාවක් නොමැති හෝ අඩු උපයෝගිතාවක් ඇති ව්‍යාපෘති මගින් ආර්ථික වර්ධනය කෘත්‍රිමව ඉහළ නැංවීමයි.
මෙම අර්බුදයේ මූල හේතුව මෙරට පවතින සමාජවාදී චින්තනයයි. මේ අනුව අපට විශාල රාජ්‍ය සේවයක් සහ අනුබද්ධ විශාල රාජ්‍ය ආයතන සංඛ්‍යාවක් ඇත. පුද්ගලික අංශය ප්‍රසාරණය නොවීම හෝ ප්‍රසාරණය වීමට නිසි අවකාශ නොසැලසිම නිසා හෝ ශ්‍රම බලකායට එකතුවන ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා සලසා දෙන ලද්දේ රාජ්‍ය අංශය අනවශ්‍ය ලෙස ප්‍රසාරණය කිරීම මගිනි. මේ රැකියා බොහෝ විට ලබා දෙන ලද්දේ ආණ්ඩු බලය හිමි දේශපාලන පක්ෂයේ හිතවතුන්ටයි. රාජ්‍යයට අනුබද්ධිත පාඩු ලබන බොහෝ ව්‍යාපාර තිබේ. එමෙන්ම ලාභ ලබන ව්‍යාපාරද උපරිම කාර්යක්ෂමතාවකින් වැඩ කරන්නේ නැත. එබැවින් රාජ්‍යය කුඩා කිරීම රජයේ අයවැය හිඟය අඩු කිරීමට අත්‍යවශ්‍ය සාධකයකි. මෙය රටේ පිළිගත් සමාජවාදී චින්තනයට පටහැනිය. එයට අනුව රාජ්‍යය විශාල කළ යුතුය. බොහෝ දෙනෙක් සලකන්නේ රජය සතු දේපල විකිණීම නින්දාවට කාරණයක් ලෙසය. සමහරවිට මෙම චින්තනයට හේතු වුයේ මෙරට තිබූ දක්ෂිණාංශික ආණ්ඩු විසින් කිසිම විනිවිදභාවයකින් තොරව රජය සතු ව්‍යාපාර සිය හිතවතුන්ට කුණු කොල්ලයට පවරා දීම විය හැක.
ජනාධිපතිවරයා වැඩ කරමින් සිටින්නේ ජනතාවට නිරාවරණය නොකළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කොන්දේසි සපුරා ලීමටයි. සාමාන්‍ය මූල්‍ය අවබෝධයක් ඇති අයකුට රජයේ ආදායම වැඩි කිරීමේ සහ වියදම අඩු කිරීමේ මෙම ක්‍රියාවලියට එකඟ නොවී සිටිය නොහැක. පෙනෙන්නට තිබෙන ආකාරයට ආණ්ඩුව වැඩි බරක් තබා තිබෙන්නේ ආදායම වැඩි කිරීමේ ක්‍රියා වලියටයි.
මෙවැනි අවස්ථාවක වියදම් අඩු කිරීම පිළිබඳව ඉහල සිට ආදර්ශයක් දිය යුතු බව ජනාධිපතිවරයාට අවබෝධ නොවේ. ඔහු උත්සවාකාරයෙන් නිදහස සමරන අතර ජනරජ පෙරහැරක්ද සංවිධානය කරයි. ඔහු මේ ආදර්ශය දෙන්නේ නම් අවශ්‍යයෙන්ම කල යුතු බදු වැඩිකිරීම් පිළිබඳව මෙතරම් විරෝධයක් පැන නගින්නේ නැත. වියදම් අඩු කිරීමට ඔහු උත්සාහ කරන්නේ මැතිවරණ වියදම් කපා හැරීමෙනි.
රාජ්‍ය බැංකු වල අයිතියෙන් 20% ක් සේවකයන්ට සහ තැන්පත් කරුවන්ට ලබාදෙන බවට වූ ඔහුගේ අතුරු අයවැයයෝජනාව පිලිබඳ කිසිම පියවරක් ගෙන නොමැත. ශ්‍රී ලන්කන් ගුවන් සේවය පුද්ගලීකරණය කල යුතු බව ඔහු අගමැති වූ විට ජාතිය අමතමින් කියා සිටියේය. රක්ෂණ සංස්ථාවද පුද්ගලීකරණය කරන බව ඔහු විදේශ සඟරාවකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කියා සිටියේය. මේ කිසිවක් සිදුවන බවක් හෝ ඒ පිළිබඳව උත්සාහ දරන බවක් පෙනෙන්නට නැත. රක්ෂණ සංස්ථාව සතු ලංකා හොස්පිටල් ආයතනය කිසිම අපහසුවකින් තොරව කොටස් වෙළෙඳපොලේ විකිණිය හැක. එය රක්ෂණ සංස්ථාව පුද්ගලීකරණය කරනවාට වඩා බොහෝ පහසු කාර්යයකි. එමෙන්ම එය 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කරනවාටද වඩා බොහෝ පහසු කාර්යයකි. (එය ක්‍රියාත්මක කළ යුතු බව මම සිතමි.) එමෙන්ම බදු පදනම පුළුල් කිරීම රාජ්‍ය කටයුතු ඩිජිටලීකරණය හරහා පහසුවෙන් කල හැක.
ඔහු රට පාලනය කිරීමට උත්සාහ කරන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහාය. සිය අණ පිළිපදින ආරක්ෂක සේවයක් ඒ සඳහා ප්‍රමාණවත් බව ඔහු වටහා ගත යුතු යයි සිතමි.පසුගිය ජනාධිපතිවරයාගේ අවසාන යුගයේදී ආරක්ෂක ප්‍රධානීන් ඔහුගේ අණ ක්‍රියාත්මක නොකළ බව අපි දනිමු.
එමෙන්ම ජනාධිපතිවරයාට ජනවරමක් නොමැති බැවින් ඔහු බරපතල තීන්දු නොගෙන සිටිය යුතු බවට වන මතවාදය හිස් ප්රලාපයකි. ඔහු පත්වී ඇත්තේ ව්‍යවස්ථාව අනුවය. ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නොවේ. ජෝන් කෙනඩි ගේ අභාවයෙන් පසු ලින්ඩන් ජොන්සන් ද රිචඩ් නික්සන් ඉල්ලා අස්වීමෙන් පසු ජෙරල්ඩ් ෆෝඩ් ද ඇමරිකන් ජනාධිපතිවරුන් වූ පසු කිසිවෙක් ඒ ගැන ප්‍රශ්න නොකළහ. ප්රජාතන්ත්රවාදී බොහෝ රටවල අගමැතිවරුන් ඉල්ලා අස්වූ පසු වෙනත් අය විසින් ඔවුන්ගේ ධුර කාල සම්පුර්ණ කරනු ලැබේ.
ජනාධිපතිවරයා උත්සාහ කරමින් සිටින්නේ කලයුතු අවම ප්‍රතිසංස්කරණ කර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමටයි. ඒ සඳහා ඔහුට සහයෝගය දීම අප සියල්ලන්ගේම යුතුකමයි. මෙම ණය මුදල සාපේක්ෂව කුඩා ප්‍රමාණයක් වුවත් එයින් ලැබෙන සහතිකය නිසා රට පහලට යමින් තිබෙන ගමන ආපසු උඩට හැරෙනු ඇත. එම උඩට හැරවීම අප කැමති අළුත් ආණ්ඩුවක් මගින් කරවා ගැනීමට සිහින දැකීම අමනෝඥ ක්‍රියාවකි. මක්නිසාද යත් එය වහ වහා කළ යුතු ක්‍රියාවක් බැවිනි.
ඒ සඳහා ජනාධිපතිවරයා ගනිමින් තිබෙන බදු වැඩි කිරීම සහ විදුලි ගාස්තු නැංවීම වැනි අත්‍යවශ්‍ය එමෙන්ම ජනප්‍රිය නොවන තීරණ වලට අප විසින් සහයෝගය දැක්විය යුතුය. මක්නිසාදයත් ඒවා කවරකු විසින් හෝ ගතයුතු සහ ගැනීම ප්‍රමාද කළ තීරණ බැවිනි. ආණ්ඩුවට හුස්ම ගතහැකි තත්ත්වයට පත්වූ විට රටේ ආර්ථික වර්ධනය ඇතිකිරීම සඳහා ක්‍රියා කළ යුතුය. මූල්‍ය අරමුදල දෙන ණයෙන් ආර්ථික වර්ධනයක් ඇතිවන්නේ නැත. එය ආණ්ඩුවට හුස්ම ගැනීම් සඳහා දෙන සහනයක් පමණකි.
එබැවින් අප ජනාධිපතිවරයාට බල කල යුත්තේ ඔහු ප්‍රමාද කරමින් සිටින රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් වන අනෙකුත් ආර්ථික ප්‍රතිසංස්කරණ ද ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙසයි. පළාත්පාලන මැතිවරණ පවත්වන ලෙස නොවේ. එම ආර්ථික ප්‍රතිසංස්කරණද කලයුත්තේ මේ අවස්ථාවේ දිය. රට සාමාන්‍ය අතට හැරුණු පසුව නොවේ.
(Published in Colombo Telegraph on March 3, 2023)
https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-3-march-2023/
No comments:
Post a Comment