දුරාතීතයේ පටන් ශ්‍රී ලංකාවේ තිබුනේ විවෘත ආර්ථිකයකි. ඉන්දියන් සාගරයේ බටහිර සහ නැගෙනහිර අතර යාත්‍රා කල වෙළෙඳ නැව් ලංකාවේ නවත්වනු ලැබිය. ආනයන සහ අපනයන වෙළෙඳාමේ යෙදුන ලංකාව එයට අමතරව භාණ්ඩ ආනයනය කර නැවත වෙනත් රටවලට අපනයනය කරන වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක විය.
මුතු, මැණික්, අලිඇතුන් සහ කුළුබඩු වැනි දෑ අපනයනය කල ලංකාව අශ්වයින්, රෙදිපිළි, පිඟන් බඩු සහ සුවඳ විලවුන් වැනි දෑ ආනයනය කරන ලදී. ක්‍රිස්තු පුර්ව තුන්වන ශත වර්ෂයේ ඉන්දියාවේ පාඨලී පුත්‍ර නගරයේ සිටි මෙගස්තිනස් නම් ග්‍රීක තානාපතිවරයා ලංකාවේ සිට කාලිංග දේශයට ඇතුන් ප්‍රවාහනය සඳහා නැව් යොදාගත් බවද ක්‍රිස්තු වර්ෂ නව වන ශත වර්ෂයේ චීනයේ සිටි ලී ශාවෝ විසින් ලංකාවෙන් එරටට සහ වියට්නාමයට එන නැව් විශාල ඒවා බවද වාර්තා කර තිබුණි.
අම්බලන්තොට සහ හම්බන්තොට අතර පිහිටි ගොඩවායේ ඇති සෙල්ලිපියක ක්‍රිස්තු වර්ෂ පළමුවන ශත වර්ෂයේ රජ කල පළමුවන ගජබාහු විසින් එහි තිබුණ ගොඩපවත නම් වරායෙන් ලැබුණ තීරුබදු අසල තිබුන විහාරයකට ප්‍රදානය කළ බව සඳහන් වේ. හයවන ශත වර්ෂයේ විසූ ඊජිප්තු රචකයකු වන කොස්මස් විසින් ඉන්දියන්, චීන, පර්සියන් සහ ඉතියෝපියන් නැව් ලංකාවට පැමිණි බවත් එසේ ගෙනෙන භාණ්ඩ නැවත ප්‍රති අපනයනය කළ බවත් සඳහන් කර ඇත.
දොළොස්වන ශත වර්ෂයේ මහා පරාක්‍රමබාහු විසින් උරත්තුරායි වරායේ හෙවත් වර්තමාන කයිට්ස් හි පිහිටුවන ලද දෙමළ සෙල් ලිපියක වරායට ගොඩ බසින මගීන්ට රජයේ ආරක්ෂාව ලබා දෙන බවද අනතුරට ලක්ව බේරාගන්නා නැව්, අශ්වයින් සහ ඇතුන් ප්‍රවාහනය කරන්නේ නම් සතුන්ගේ වටිනාකමින් 25% ක් ද වෙනත් භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ නම් ඒවායේ වටිනාකමින් 50% ක්ද රජයට ගෙවිය යුතු බව ද සඳහන් වේ. මහා පරාක්‍රමබාහු බුරුමය ආක්‍රමණය කිරීමට ශ්‍රී ලාංකික වෙළෙඳ නැව් පිලිබඳ ප්‍රශ්ණයක් ද හේතු විය.
පසුකලෙක නුවර යුගයේ රජ කළ රජවරු විදේශ සම්බන්ධතා විෂයයෙහි විවෘත ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. නුවර යුගය ආරම්භ කළ පළමුවන විමලධර්මසුරිය පෘතුගීසි භාෂාව මැනවින් දැන සිටි අතර ඔහුගේ මෙහෙසිය වූයේ රෝමානු කතෝලික දෝන කතිරිනා යි. ඒ යුගයේ විවිධ ජාතීන් සහ ආගමිකයන් නුවර සහයෝගයෙන් වාසය කළහ.
විසිවන සියවසේ මුල් භාගයේදී අනගාරික ධර්මපාල විසින් ලංකාවේ කර්මාන්තද වෙළෙඳාම ද නගා සිටුවීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත. ලංකාවේ ආදායම් ලංකා වාසීන්ගේ අභිවෘද්ධිය සඳහා ශිල්ප ශාස්ත්‍ර කෘෂි වාණිජ කර්මාන්තශාලා පිහිටුවීමට වියදම් කට යුතු බවද දුම් නැව් ලංකාවේ හැදීම කට යුතු බවද ඔහු විසින් කියා ඇත.
එදා සිය පිහිටීම නිසා විදේශ වෙළෙඳාමේ කේන්ද්‍රස්ථානයක් ව පැවති ලංකාව අද සිය ආරක්ෂණවාදී ප්‍රතිපත්ති නිසා එම තත්ත්වයෙන් අනුක්‍රමයෙන් ඈත් වෙමින් පවතී. 1962 දී කළ තෙල් ජනසතුව නිසා ලංකාවෙන් පිටව ගිය තෙල් සමාගම් සිංගප්පුරුවට ගොස් එහි පිරිපහදු ඇතිකිරීමටද සිංගප්පුරු වරාය දියුණු කිරීමටද දායක වූහ. මෙරට ඇති විදේශ නාවුක සමාගම් වල කොටස් 50% කට වැඩි ප්‍රමාණයක් ස්වදේශිකයන් සතුවිය යුතුය යන ප්‍රතිපත්තිය නිසා විදේශ නාවුක සමාගම් ලංකාවට එන්නේ නැත. මෙම ප්‍රතිපත්තියට මෙරට නාවික ඒජන්තවරුද සිය ආත්ම ලාභය තකා කැමති වෙති. එම ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නම් එයට විරුද්ධ වෙති. එසේ කරන්නේ නැව් සමාගම් ඒජන්ත වරුන් වශයෙන් කරන ඔවුන්ගේ ව්‍යාපාර දිගටම පවත්වා ගෙන යාමටයි ප්‍රතිඵලය නම් එම සමාගම් මෙම මුහුදු මාර්ගයේම මැද පෙරදිග පිහිටි ඩුබායි හි පිහිටි වරායයන්ටද ඈත පෙරදිග පිහිටි සිංගප්පුරු වරායටද සහයෝගය දීමයි.
වර්ෂ 2020 දී සිංගප්පූරු වරාය කන්ටේනර් (TEU)මිලියන 36.6 ක් හසුරුවා ඇති අතර ඩුබායි හි විශාලතම වරාය වන ජෙබර් අලි වරාය කන්ටේනර් මිලියන 13.5 ක් හසුරුවා ඇත. පිහිටීම පිලිබඳ වඩා වැදගත් ස්ථානයක් දරණ කොළඹ වරාය හසුරුවා ඇත්තේ කන්ටේනර් මිලියන 6.85 කි.
කොළඹ වරායේ පර්යන්ත දෙකක් පුද්ගලීකරණය කර වරාය විශාල කර ඇත. මේ හේතුව නිසා මුහුදු මාර්ගයෙන් ඈත පිහිටි ඉන්දියානු වරාය වලින් නැවත ප්‍රති අපනයනය සඳහා කොළඹ වරායට පැමිණෙන භාණ්ඩ සඳහා පහසුකම් සලසා ඇත. ඒ අනුව අතීතයේදී ලංකාව හිමි කරගෙන සිටි විදේශ වෙළෙඳ මධ්‍යස්ථානයේ තත්ත්වය ඉන්දියානු භාන්ඩ ප්‍රති අපනයනය සඳහා පමණක් සීමාවී ඇත.
මෙම පසුබිම යටතේ මෑතකදී ඉන්දියානු අදානි සමාගමට කොටස් 49% ක් පවරා දීමට ගිය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරායේ වෘත්තීය සමිති වල බලපෑම මත පවරා නොදෙන ලදී. ඒ වෙනුවට වඩාත් ඈතින් පිහිටි බටහිර පර්යන්තයේ කොටස් 85%ක් එම සමාගමටම පවරා දෙන ලදී. රටේ පැත්තෙන් බලන විට මෙය මුග්ධ ක්‍රියාවකි. යම් හෙයකින් නැගෙනහිර පර්යන්තය පවරා දුන්නේ නම් සීමාසහිත වූ ඉදිකිරීම් මේ වන විට අවසන් වන්නට ඉඩ තිබුණි. වරාය අධිකාරිය යටතේ තබාගත් එම පර්යන්තයේ කිසිම දියුණු කිරීමක් මේ වන විට කර නොමැත්තේ රජයට මුදල් නොමැති නිසාය. වරාය වෘත්තීය සමිති මෙසේ ක්‍රියා කිරීමට හේතුව ආත්ම ලාභයයි. සිය සම්පුර්ණ ජවය නොයොදවන රැකියා සුරක්ෂිත කර ගැනීමටයි.
දේශපාලනඥයන් විසින් ඉතාමත් අකාර්යක්ෂම රාජ්‍ය ආයතන පුද්ගලීකරණය නොකොට සිය මැතිවරණ ව්‍යාපාර සඳහා දායකවන පුද්ගලයන්ගෙන් පුරවනු ලැබේ. එය ඔවුන්ට බලයේ සිටීම සඳහා උපකාරීවේ.
මේ අනුව මේ රටේ නාවික ඒජන්තවරුද වෘත්තීය සමිතිද දේශපාලනඥයන්ද කරන්නේ අධම ක්‍රියාවකි. මේ අධම ක්‍රියාව ජනතාවට පෙනෙන්නේ ඉතා හොඳ දෙයක් වශයෙනි. මක්නිසාද යත් ඔවුන් ආරක්ෂණවාදයෙන් අන්ධ වී ඇති නිසාය.
විදේශ ආයෝජන වලට එරෙහි මෙම මිත්‍යාව වර්ධනය කිරීමට විශාල සේවයක් කර ඇත්තේ ජනසතු කිරීම් ප්‍රවර්ධනය කළ ලාංකික ආණ්ඩු විශේෂයෙන්ම බණ්ඩාරනායක ආණ්ඩු විසිනි. චීනය වැනි කොමියුනිස්ට් පක්ෂයක් විසින් පාලනය කරන රටක් පසුගිය දශක කිහිපය තුල මේ සා විශාල දියුණුවක් අත්පත් කර ගනිමින් එරට දරිද්‍රතාව විශාල වශයෙන් පහත දැමීමට සමත්ව ඇත්තේ විදේශ ආයෝජන වලට ඉඩහැරීම සහ රජය සතු ව්‍යාපාර පුද්ගලික අංශයට පවරා දීමේ ක්‍රියාවලිය හරහා යි.
චීනයේ කල දේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන ලංකාවේ කළ හැක්කේ ජනතාවගේ අනුමැතිය යටතේ පමණි.ජනතාව සිය ආදානග්‍රාහී පටු මතවාදය ඉවත නොදමන තාක් කල් නාවික ඒජන්තවරු ද වෘත්තීය සමිතිද දේශපාලනඥයන් ද මෙම මාර්ගයේම ගමන් කරනු ඇත.
published in Colombo Telegraph on 20 October 2022
https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-20-october-2022/
No comments:
Post a Comment