Tuesday, October 11, 2022

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවසාන විසඳුම නොවේ

 හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

ශ්‍රී ලංකාව වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩ එම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහය පතා තිබේ.  පසුගිය සැප්තැම්බර් පළමුවනදා  විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ මාස 48ක වැඩපිළිවෙලක් සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක පමණ මුදලකින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යයමණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්යයමණ්ඩල-මට්ටමේ එකඟතාවකට පැමිණි බව වාර්තා විය. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කල යුතුය.

මෙම ඩොලර් බිලියන 2.9 ක් මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිණුම් ඒකකය වන විශේෂ ගැනුම් හිමිකම් (SDR) බිලියන 2.2 කි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුල ශ්‍රී ලංකාවේ පංගුව (Quota) SDR මිලියන 578.8 කි. ඒඅනුව මෙම ණය මුදල ශ්‍රී ලංකාවේ පංගුව මෙන් 380% කි. දැනට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ණය ශේෂය SDR මිලියන 857.49 කි. එය ශ්‍රී ලංකාවේ පංගුව මෙන් 148% කි. ඒ අනුව මෙය සැලකිය යුතු අනුග්‍රහයකි. 

කෙසේ වෙතත් ආර්ජන්ටිනාව මෙවැනිම මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය  ආර්ජන්ටිනාවේ පංගුව මෙන් 1000% ක මුදලක් එනම් ඩොලර් බිලියන 44ක් (SDR බිලියන 31.9) මෙම වසරේ මාර්තු මස අනුමත කරන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුල ආර්ජන්ටිනාවේ පංගුව SDR බිලියන 3.1  කි ආර්ජන්ටිනාවේ දළ දේශීය නිෂ්පාදිතයට එරට ණය අනුපාතය 80% ක් පමණ වන අතර ශ්‍රී ලංකාවේ එය 110% ඉක්මවා ඇත. එබැවින් ශ්‍රී ලංකාවට ලැබුන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අති විශාල එකක් නොවේ.

විධායක මණ්ඩලයේ තීරණ සම්මුතිය මත ගන්නා අතර අවශ්‍ය අවස්ථාවලදී ඡන්ද විමසීමක් සිදුකරනු ලැබේ. ශ්‍රී ලංකාවට ඡන්ද 7247ක් ඇති අතර එය සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 0.14% කි. එක්සත් ජනපදයේ ඡන්ද ප්‍රතිශතය සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 16.5% ක් වන අතර ජපානයේ එය 6.14% කි. චීනයේ එය 6.08%කි. රුසියාවේ 2.59% කි. එක්සත් ජනපදය, ජපානය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, සහ ජර්මනිය යන රටවල ඡන්ද වල එකතුව සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 36.01% කි. එම රටවල් නියෝජනය කිරීමට වෙනම  අධ්‍යක්ෂවරු ද සිටිති. චීනය හැර අනෙක් රටවල් කාණ්ඩ වශයෙන් බෙදා ඇති අතර අධ්‍යක්ෂ වරු සහ විකල්ප අධ්‍යක්ෂ වරු සිටින්නේ එම කාණ්ඩ වලටයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ විකල්ප අධ්‍යක්ෂ වරයකු වශයෙන් මහා බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ වරයා වන චන්ද්‍රනාත් අමරසේකර කටයුතු කරයි.

 ශ්‍රී ලංකාවේ පංගුවේ (Quota) ප්‍රමාණය මුළු පංගු වල එකතුවෙන් 0.12% කි. පංගුව තීරණය කරනු ලබන්නේ එක්  එක්  රටේ දළ දේශීය නිෂ්පාදිතයට 50% ක් ද ආර්ථිකයේ විවෘත භාවයට 30% ක් ද ලැබීම් වල විචල්‍යතාවට 15% ක් ද රඳවා ගත්  ජාත්‍යන්තර සංචිත වලට 5% ක් ද වශයෙන් ගෙන ඒවායේ බර තැබූ සාමාන්‍යය ගැනීමෙනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ඉහලින්ම සිටින්නේ පාලක මණ්ඩලයයි. එහි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ ද විකල්ප නියෝජිතයා වශයෙන් මහා බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ද සිටිති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රටක් ගොඩ දමනු ඇතැයි යමෙක් සිතන්නේ නම් එය මුලාවකි. ණය ගෙන රටවල් ගොඩ යන්නේ කෙසේද? ණය ගෙවීමට හැකි ශක්තිමත් ආර්ථිකයක් රටක් ඇති කර ගත යුතුය.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය මුදල් සපයන්නේ රටක් ගෙවුම් ශේෂ අර්බුදයකට හෙවත් රටින් පිටවන විදේශ මුදල් රටට ලැබෙන විදේශ මුදල් වලට වඩා දිගින් දිගටම වැඩි වන අවස්ථා වලදී එම හිඟය තාවකාලිකව පියවා ගැනීම සඳහාය. දීර්ඝ කාලීනව එය පියවා ගැනීම එම රටේ වගකීමකි. එනමුත් ණය දීමේදී වෙනත් ඕනෑම මූල්‍ය ආයතනයක් මෙන්   ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද අදාල රටට ණය ආපසු ගෙවීමට හැකියාවක් ඇති දැයි සලකා බලයි. එම මුදල් ආපසු ගෙවීමට හැකි වන්නේ අදාල රටේ මූල්‍ය ප්‍රතිපත්ති  හේතුවෙන් දීර්ඝ කාලීනව රටින් පිටවන විදේශ මුදල් රටට ලැබෙන විදේශ මුදල් වලට වඩා අඩු වීමට හැකියාවක් තිබෙන්නේ නම් පමණි. ඒ සඳහා අපනයන මුල් කරගත් ආර්ථික වැඩ පිළිවෙලක් තිබිය යුතුය.

එමෙන්ම රජයේ අයවැය හිඟය නිසා එය පියවීමට මුදල් ණයට ගැනීමට සිදුවේ.මේ අනුව විදේශ රට වලින් හෝ ආයතන වලින් හෝ මුදල් ණයට ගත් විට ඒවා ආපසු ගෙවීමේදී ගෙවුම් ශේෂයට බලපෑමක් සිදුවන බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අර්බුදයට ලක්වූ රටවල අයවැය හිඟය අඩු කිරීමට උපදෙස් දෙයි.

යම් රටක ගෙවුම් ශේෂ අතිරික්තයක් තිබේ නම් අයවැය හිඟය එම රටට එතරම් ප්‍රශ්ණයක් නොවේ.ජපානය එවැනි රටකි.

මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කරුණු අමාත්‍ය මණ්ඩලයටද ඉදිරිපත් කර නොතිබුනත් එය අමාත්‍ය මණ්ඩලයටද විපක්ෂ නායකයාටද ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබුණි. කෙසේ වෙතත් එය පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කිරීම පසුවට කල් තබා ඇත.

එකඟ වූ මූලික කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ප්‍රකාශයට පත් කර ඇත. වර්ෂ 2025 දී ආණ්ඩුවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමටත් එම අතිරික්තය රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 2.3% ට අඩු නොවීමටත් එකඟ වී ඇත. ප්‍රථමික ගිණුම යනු ආණ්ඩුවේ ආදායම් සහ ණය පොලිය හැර ආණ්ඩුවේ වියදම් අතර පරතරයයි. මේ සඳහා බදු පදනම පුළුල් කිරීමට අවශ්‍යවේ. අදාල පියවර ගනිමින් තිබේ.

ඉන්ධන සහ විදුලිය සඳහා අමතර සහන නොමැති මිලක් ඉදිරිපත් කිරීමද යෝජිත අතර එය දැනටමත් ක්‍රියාත්මකයි. ජනතාවට දැරීමට සිදුවන ආර්ථික අපහසුතා හේතුවෙන් සමාජයේ ආර්ථික වශයෙන් පහල ස්ථර වලට සමාජ ආරක්ෂණ දැලක් ක්‍රියාත්මක කිරීම ද යෝජිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු කළමනාකර අධ්‍යක්ෂවරිය වූ ක්‍රිස්ටීන් ලෙගාඩි ගේ යුගයේදී  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි තීරණ වල සමාජ බලපෑම පිලිබඳ වඩාත් සංවේදී විය.

රටේ මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවන මහා බැංකුව ස්වාධින විය යුතු බවද  රටේ මුල්‍ය පද්ධතිය ස්ථාවර විය යුතු බවටද එකඟ වී ඇත. ආණ්ඩුවේ මූල්‍ය කටයුතු පිලිබඳ විනිවිදභාවය මගින් දූෂණයට ඇති ඉඩ ඇහිරීමද ඒ සඳහා නීති සම්පාදනය කිරීමද යෝජනා අතර වේ.

මේ ප්‍රතිසංස්කරණ  වැඩ පිළිවෙල හරහා පළමුව ආර්ථිකය සංකෝචනය වනු ඇත. ප්‍රතිසංස්කරණ ස්ථාපිත වූ පසු ආර්ථිකයේ ප්‍රසාරණය ආරම්භවනු ඇත. බොහෝ කාලයක් තිස්සේ අතපසු කර තිබූ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කල හැකි නම් එය මේ අවස්ථාවේදී රටක් වශයෙන් ගත හැකි ප්‍රශස්තම පියවරයි.

Published in Colombo telegraph on 26 September 2022 and in Samabima suppliment in Anidda on 23 September 2022

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-26-september-2022/

No comments:

Post a Comment