Friday, October 1, 2021

මංගල නම් බෞද්ධයා

 

“මම කිව්වාම මේක සිංහල බෞද්ධ රටක් නොවෙයි මේක සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ රටක් කියල මට කුණුහරුපෙන් බැන්නා.  මේ රටේ බහුතරය බෞද්ධ බව ඇත්ත. නමුත් මේ රට සියලු ශ්‍රී ලාංකිකයන්ට අයිතියි....ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කල බෞද්ධ දර්ශනය රටකට ආගමකට ජාතියකට කුලයකට සිමා වුන එකක් නෙවෙයි.ඇත්ත වශයෙන්ම ඒක මේ ලෝකයට සිමා වුන දර්ශනයකුත් නෙවෙයි. මේක මුළු විශ්වය ගැනම කථා කරන දර්ශනයක්. ඇත්ත වශයෙන්ම විශ්ව නීතිය ගැන කථා කරන දර්ශනයකට තමයි අපි බුද්ධාගම කියල කියන්නේ.”

අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා මේ අදහස් ප්‍රකාශ කලේ 2019 මැයි 23 දා පාර්ලිමේන්තුවේදීය. එවකට ඔහු මුදල් ඇමති විය. පාර්ලිමේන්තුවෙන් පිටත ඔහු ප්‍රකාශ කල මේ හා සමාන අදහස් නිසා ඔහු එවකට විශේෂයෙන්ම භික්ෂූන් ගේ බරපතල විවේචන වලට ලක් වෙමින් තිබිණ. සිංහල බෞද්ධ රටක් පිළිබඳව ඔහු මේ ප්‍රකාශ කරන්නේ සත්‍යයයි.  මෙය ලිබරල් මතවාදය බව සමහරු කියති. එසේම  නොවේ. එය සාමාන්‍ය නෛතික තත්ත්වයයි. මෙය සාමාන්‍ය විචාර බුද්ධිය ඇති සියලු දෙනාටම වැටහේ. එමතුද නොවේ. පසුව කරන ප්‍රකාශය මගින් ඔහු  අසාමාන්‍ය ලෙස බුදු දහම ඔසවා තැබීය. එසේ ඔසවා තැබුවද ඔහු භික්ෂූන් ගේ සහ සිංහල බෞද්ධයන්ගේ විවේචනයට ලක් විය.  මේ කෙටි ලිපියේ අරමුණ “එහෙම වෙන්නේ ඇයි” යන ප්‍රශ්නයට “අයි ඩෝන්ට් නෝ වයි” යනුවෙන් නොකියා යම් පිළිතුරක් දීමට උත්සාහ කිරීමය.

ක්‍රි. පූ. පළමුවන ශතවර්ෂයේ වළගම්බා යුගයේ  ඇතිවූ බැමිනිටියා සාගතයෙන් පසු එතෙක් මුඛ පරම්පරාගතව පැමිණි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන ලදී.  එයින් පසුව අංගුත්තර නිකාය අටුවාවට අනුව පාංසුකූලික සහ ධර්මකථික භික්ෂුන් අතර ඇතිවූ විවාදයකදී නිවන් අරමුණු කරගෙන ප්‍රතිපත්ති රැකීමට වඩා ත්‍රිපිටක ධර්ම ඉගෙනීම උසස් බවට  මතයක් සම්මත විය. සාසනය පවතින්නේ ත්‍රිපිටකය තිබුනොත් පමණි. දීඝ සහ මජ්ජිම නිකාය අටුවා ද මෙය සනාථ කරයි. මෙය බුදුන්ගේ දැක්මට සපුරා පටහැනි වුවත් බැමිනිටියා සාගතය නිසා මතුවූ සමාජ තත්ත්වය එයට හේතුවන්නට ඇත. දැන් නම් ත්‍රිපිටකය අන්තර්ජාලයේද තිබේ.

ධර්මකථික භික්ෂුන් ශක්තිමත් වීම හේතුවෙන් මුල් කාලයේ භික්ෂූන්ගේ පරමාර්ථය වූ මේ ආත්මයේදීම නිවන් දැකීම අභිබවා මතු නිවන් දකින බලාපොරොත්තුවෙන් ශක්ති පමණින් ආත්මාර්ථ පරාර්ථ දෙකෙහි යෙදීම ඉදිරියට පැමිණියේය. එවකට අධ්‍යාපනය තිබුනේ පිරිවෙන් ආශ්‍රිතව බැවින් බෞද්ධ භික්ෂූන් ත්‍රිපිටකය මතු නොව වෙනත් ලෞකික විෂයයන් පිළිබඳවද දැනුම ලැබූහ. වර්තමාන භික්ෂුව සිය මූලික අරමුණින් බැහැරට ගෙන ආ පරිවර්තනිය ක්‍රියා දාමය මෙයයි.

එමෙන්ම මහා වංසයේ සිට මෙරට ඉතිහාසය අධ්‍යයනය කරන ලද්දේ ද්‍රවිඩයන්ට එරෙහි සිංහල බෞද්ධ  සංස්කෘතියේ ප්‍රගමනයක් ලෙසයි. නිදර්ශනයක් වශයෙන් එළාර බුදුදහම ආරක්ෂා කල බව මහා වංශයේම ඔහු ගැන එන විස්තරයෙන් සනාථ වුවත් දුටුගැමුණු ප්‍රධාන කොටගත් වීර කාව්‍යයක් ලෙස රචිත මහා වංශයේ සමස්තාර්ථය ලෙස ලැබෙන පණිවුඩය වන්නේ එළාර බුදු දහම විනාශ කල බවයි. අද පවා මෙරටට බරපතලම විනාශය කල ද්‍රවිඩයකු නොවූ කාලිංග මාඝ ට වඩා විනාශයක් එළාර විසින් බුදුදහමට කලැයි සිතන බොහෝ දෙනෙක් වෙති. එකල ජනවාර්ගික යුද්ධ නොවූ අතර යුද්ධ පැවතියේ රජවරුන් සහ කුමාරවරුන් අතර බලය ලබා ගැනීම උදෙසාය. එළාර ගේ හමුදාවේ හරි හරියට සිංහලයන් සිටි අතර මෙරට රජවරු මෙරට සිටි සිය ප්‍රතිමල්ලවයන් සමග යුද්ධ කිරීම සඳහා ද්‍රවිඩ හමුදා වල සහාය ලබා ගත්හ. එමෙන්ම සමහර සිංහල රජවරු දකුණු ඉන්දියාව ආක්‍රමණය කළහ.

නුවර යුගයේදී සිංහලයන්ද ද්‍රවිඩයන්ද මුස්ලිම් වරුන්ද ඔවුන්ගේ අනන්‍යතාවන්ට ගරු කරමින් එකට ජීවත්වූ ආකාරය එකල සමාජයෙන් අපට උගත හැකිය.

ඉංග්‍රීසි යුගයේදී අධ්‍යාපනය අනුක්‍රමයෙන් පිරිවෙන් වලින් ඉවතට ගොස් මිෂනාරීන් අතටද පසුව ගිහියන් අතටද පත්විය. ඒ යුගයේදී අනගාරික ධර්මපාල තුමා ගේ ප්‍රධානත්වයෙන් ඇතිවූ ජාතික පුනර්ජීවන ව්‍යාපාරයේ  සම්පුර්ණ අවධානය තිබුනේ සිංහල ජනවර්ගය  වෙත පමණි. මෙය ඉන්දීය නිදහස් ව්‍යාපාරයට සපුරා වෙනස් විය. ධර්මපාල තුමා මූලික වශයෙන් සිංහලයන්ගේ සානුකම්පිත තත්ත්වය සහ ඔවුන්ගේ දුර්වල ආර්ථික බලය ගැන දුක් විය. ව්‍යාපාරික පවුලකින් පැවත එන ඔහු රටේ ආර්ථික බලය අන්‍ය ජාතිකයන්ගෙන් සිංහලයන් අතට පත්වනු දැකීමට රුචි විය. එබැවින් ඔහු අන්‍ය ජාතිකයන් විශේෂයෙන්ම මුස්ලිම්වරුන් විවේචනය කළේය. සිංහල බෞද්ධ අනන්‍යතාවය ඔහු අවධාරණය කළේය. තේ රබර් වැවීම ඉංග්‍රීසින් අතට වී තිබේ. වෙළෙඳාම මරක්කල දෙමළ ජාතීන් අතට පත්ව තිබේ. අප නැති කරණ මත්පැන් වෙළෙඳාම පමණක් සිංහලයන් විසින් කරනු ලබන්නේ මන්ද?” (1911 දෙසැ 30 සිංහල බෞද්ධයා) යටත් විජිත යුගයේදී සිංහලයන්ට සහ බෞද්ධයන්ට විවිධ අතවර වලට මුහුණ පෑමට සිදුවුවත් ගුණදාස අමරසේකර සුත්‍ර ගත කරන පරිදි මෙය ජාතික චින්තනය නොවේ. එය බෙදුම්වාදයේ උපතයි.

මෙය වර්තමාන සිංහල බෞද්ධ ජාතිකත්වයේ ද උපතයි. බුදුදහමේ හරයෙන් ඉවතට ගමන් ගනිමින් සිටි භික්ෂූහු ද  මෙම ප්‍රවාහයට අසුවූහ.  පසුව බණ්ඩාරනායක විසින් බලයට ඒම සඳහා පාවිච්චි කලේද  මෙම බලවේගයයි. වර්තමාන පාලක පන්තියද බලයට ඒම සඳහා අවුස්සා ගත්තේ මොවුන්ගේ මේ චින්තන ධාරාවයි. මෙම දේශපාලන මැදහත්වීම් නිසා මෙය දැඩි විශ්වාසයන්ගෙන් සමන්විත ආගමක් බවට වර්ධනය වී තිබේ. එය බුදු දහම නොවේ.

මංගල සමරවීර අභියෝග කළේ මෙම තත්ත්වයට එරෙහිවයි. ඉතාම තාර්කික වූ මෙම ක්‍රියාව අපේ රටේ පවතින පසුගාමීත්වය විසින් විවේචනයට ලක් කර ඇත.

-          හර්ෂ ගුණසේන-‘මංගල’ කලාපය - සමබිම #98,  2021 අගෝස්තු, කාණ්ඩය 10 කලාපය 9

No comments:

Post a Comment