පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් සම්මත කරන ලදී. එමෙන්ම උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ මගින් පවත්වනු ලැබූ සමුළුව ද ලෝකයේ කථා බහට ලක්විය. මේවා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇතිවූ බලපෑම සම්බන්ධව විමසා බැලීම වැදගත්ය.
යුරෝපා පාර්ලිමේන්තුව මගින් 2021ජුනි 10 වනදා සම්මත වූ යෝජනාව අනුව යුරෝපා කොමිසම මගින් ශ්‍රී ලංකාවට දී ඇති ජි එස් පී + සහනය උපයෝගී කර ගනිමින් මානව හිමිකම් සම්බන්ධව ශ්‍රී ලංකාව විසින් කළ යුතු කාර්යයන් ඉහළ නංවා ගැනීම සඳහා බලපෑම් කරමින් ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙනත් පනතක් ආදේශ කිරීම හෝ එය ඉවත් කිරීම හෝ සඳහා ඉල්ලීමක් කරමින් ද අවසාන ප්‍රතිකර්මය වශයෙන් ජි එස් පී + තත්ත්වය සහ ශ්‍රී ලංකාවට ඒ සමග ලැබෙන සහන තාවකාලිකව ඉවත් කර ගැනීම සඳහා වන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් හේතුවක් තිබේ දැයි ප්‍රවේසම් සහගතව සලකා බලන ලෙස යුරෝපා කොමිසමෙන් ද යුරෝපා විදේශ රාජ්‍ය තාන්ත්‍රික සේවයෙන් ද යුරෝපා පාර්ලිමේන්තුව ඉල්ලා සිටින අතර හැකි ඉක්මනින් ඒ පිළිබඳව යුරෝපා පාර්ලිමේන්තුවට වාර්තා කරන ලෙසද ඉල්ලා සිටී.
යෝජනාවේ අන්තර්ගතය 2021 ජුනි 8 වනදා ඉදිරිපත් කළ මුල් කෙටුම්පතට වඩා බලවත් වුවත් බොහෝ අය සඳහන් කල පරිදි බරපතල තත්ත්වයක් පෙනෙන්නට නැත. මක්නිසාද යත් යුරෝපා පාර්ලිමේන්තුවේ අපේක්ෂාව තරමක් මෘදු වන නිසාය. ශ්‍රී ලංකාවට මෙයට ප්‍රතිචාර දැක්වීමට කල් තිබේ. එසේ වුවත් මෙම යෝජනාව කියවිය යුත්තේ ජි එස් පී + සහනයට කිසිම සම්බන්ධයක් නැති, එනමුත් යෝජනාවේ අන්තර්ගතයේ ඇති, ශ්‍රී ලංකාව තුළ වැඩිවෙමින් පවතින චීනයේ කාර්ය භාරය සහ ඇඟිලි ගැසීම් පිළිබඳව යුරෝපා සංගමය සැලකිලිමත් වන බවට ඇති සඳහන ද චීනය විසින් එරටේ හුදු පැවැත්ම නිසාම නේටෝ සංවිධානය වෙත අභියෝගයක් එල්ල කරන බව සඳහන් කරමින් ප්‍රථම වතාවට චීනයේ මිලිටරි බලය අභියෝගයට ලක් කරමින් 2021 ජුනි 14 වන දින නේටෝ සංවිධානය මගින් නිකුත් කළ නිවේදනය ද සැලකිල්ලට ගෙනය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකන් ජනාධිපති ධුරය දරන සමයේ සහ ඉන් පසුව පවා යුරෝපය, චීනය සහ රුසියාව සමග වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමට ඇති කැමැත්ත පිළිබඳව සලකා බලමින් නේටෝ නිවේදනය බොහෝ සෙයින් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ බලපෑම මත සිදුවූවක් යයි නිගමනය කල හැක. මෙය ‘ප්‍රථමයෙන් ඇමෙරිකාව’ යන ඇමෙරිකාවේ වෙළෙඳ ශේෂ හිඟය මත මූලිකව පදනම් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ විදේශ ප්‍රතිපත්තියේ පටු ස්වභාවය ද ‘ඇමෙරිකාව නැවත පැමිණ ඇත’ යන චීනයට එරෙහිව සිය මිතුරන් සමග උපාය මාර්ගිකව සන්ධාන ගත වීමේ සහ නැවත පොදු වටිනාකම් සහ හර පද්ධතීන් වලින් යුතු ලෝකය පුරා සිටින ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් එම සන්ධානයට එකතු කර ගැනීමේ අභිලාශය සහිත ජෝ බයිඩන් ගේ විදේශ ප්‍රතිපත්තියේ පළල් ස්වභාවයද ප්‍රකට කරයි. විවිධ ලෝක දේශපාලන විචාරකයන් විසින් පෙන්වා දී ඇති පරිදි අප මේ ගෙවමින් සිටින්නේ එක පසෙකින් රුසියාව සහ චීනයද අනෙක් පසින් ඇමෙරිකාව ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයද සම්මුඛ වන නව සිතල යුද්ධයක ආරම්භක අවස්ථාව විය හැක. ඇමරිකාව සහ රුසියාව ප්‍රධාන කොට ගත් එම රටවල මිතුරු රාජ්‍යයන් ද ඇතුළු රටවල් අතර තිබූ පසුගිය සිතල යුද්ධ සමයේ ශ්‍රී ලංකාව අනුගමනය කළේ නොබැඳි විදේශ ප්රතිපත්තියකි. වර්තමාන මෙරට පාලනය ශ්‍රී ලංකාව චීනය දෙසට ඇදගෙන යන අතර එය රටටද එහි ජනතාවටද අහිතකර වනු ඇත. ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලින මිතුරකු වන චීනය සමග ශ්‍රී ලංකාවේ ඇති ද්වි පාර්ශ්වික මිත්‍රත්වයටද මෙම තත්ත්වය හානිකර වනු ඇත. මක්නිසාද යත් ශ්‍රී ලංකාව චීනය සමග ඇති වර්තමාන සමීප මිත්‍රත්වය ඊට ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ ප්‍රහාරයට ලක් වන නිසාය.
යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනාව සලකා බැලිය යුත්තේ මේ පසුබිම මතය. යුරෝපා සංගමය විසින් එම රටවල් වලට කෙරෙන ආනයන සඳහා ප්‍රදානය කරන වරණිය තීරුබදු සහන තුන් ආකාර වේ. පළමුවන සාමාන්‍ය ක්‍රමය (ජී එස් පී ) යටතේ යම් භාණ්ඩ සඳහා අඩු තීරුබදු පැනවීම හෝ තීරුබදු ඉවත් කිරීම හෝ කරනු ලැබේ. දෙවන ක්‍රමය (ජී එස් පී+) යටතේ තිරසාර සංවර්ධනය සහ යහ පාලනය වෙනුවෙන් කැපවන රාජ්‍ය සඳහා ඊට වඩා වැඩි සහන ක්‍රමයක් ක්‍රියාත්මක වේ. තුන්වන ක්‍රමය අදාල වන්නේ අඩුවෙන්ම සංවර්ධිත රාජ්‍ය සඳහාය. එය ආයුධ හැර වෙනත් ඕනෑම භාන්ඩයක් සඳහා දෙන සහනයකි. ශ්‍රී ලංකාවට අදාල වන්නේ දෙවන ක්‍රමයයි.
ජී එස් පී+ තීරුබදු සහනය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ සුනාමි ව්‍යසනයෙන් හානි වූ ආර්ථිකය වෙනුවෙන් වර්ෂ 2005 දී ය. ඒ වෙනුවෙන් යුරෝපා සංගමය බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව විසින් අත්සන් කර ඇති මානව හිමිකම්, කම්කරු අයිතිවාසි කම්, පරිසරය සුරැකීම සහ යහ පාලනය ට සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ඇති බවයි. ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර සම්මුතීන් තුනක් එනම් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය, වද හිංසාව සහ වෙනත් කෘර, අමානුෂික හෝ ආත්ම ගෞරවය කෙලෙසෙන ආකාරයේ සැලකීම් හෝ දඬුවම් වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතිය සහ ළමයින් ගේ අයිතිවාසිකම් සඳහා වන සම්මුතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට දී තිබුණ මෙම සහනය යුරෝපා සංගමය විසින් 2010 දී අත් හිටවන ලදී. වර්ෂ 2017 දී පසුගිය ආණ්ඩුවේ මැදහත් වීම මත මෙම සහනය නැවත ලබා දෙන ලදී.
යුරෝපා සංගමයේ බලපොරොත්තු අහිංසකය. ඔවුන් විසින් සහනදායි තීරුබදු යටතේ සංගමයේ රටවල් වලට භාණ්ඩ එවීමට අවසර දෙනු ලබන සුදුසුකම් ලත් රටවල් විසින් එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් වශයෙන් එම රටවල් විසින් අත්සන් කරන ලද ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ක්‍රියාත්මක කරනු ඇතැයි යුරෝපා සංගමය බලාපොරොත්තු වේ. මෙම ජාත්‍යන්තර සම්මුතීන් මගින් නියෝජනය කරනු ලබන්නේ යුරෝපා සංගමය විසින් අනුගමනය කරනු ලබන වටිනාකම් සහ හර පද්ධතින්ය. ශ්‍රී ලංකාව එම සම්මුතීන් ක්‍රියාත්මක කිරීමට නොකැමැත්තේ නම් ශ්‍රී ලංකාවට ජී එස් පී+ තත්වයෙන් මතු නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්ද ඉවත් විය හැකිය.
එබැවින් යුරෝපා සංගමය මෙම යෝජනාව මගින් මෙරට අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසන්නේ යයි ශ්‍රී ලංකාව නොසිතිය යුතුය. ඔවුන් විසින් කර ඇත්තේ ශ්‍රී ලංකාව තමන් විසින් එකඟ වූ කොන්දේසි ඉටු නොකර ඇති බව පෙන්වා දීමයි. එය ඔවුන්ගේ අයිතියයි. එනමුත් චීන බලපෑම ගැන සඳහන් කිරීමේදී ඔවුන් තමන්ගේ වපසරියෙන් පිටට පැන තිබේ.
මෙම යෝජනාව තුල ශ්‍රී ලංකාව විසින් ඉහත සම්මුතීන් ක්‍රියාත්මක නොකිරීමේ උදාහරණ වශයෙන් ශානි අබේසේකර, හිජාස් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජසීම් ගේ නම් සඳහන් කර තිබීම අප විසින් සැලකිල්ලට ගත යුතුය.
මෙම උදාහරණ මගින් වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අත්තනෝමතික බලයේ ප්‍රධාන ධාරාවන් දෙකක් පෙන්නුම් කරනු ලැබේ. පළමුවැන්න නම් ආණ්ඩුවේ ප්‍රධානීන්ට එරෙහි නඩු වලින් ඔවුන් නිදහස් කර ගැනීමයි. මේ සම්බන්ධයෙන් දේශපාලන හිංසනය සොයා බැලීම සම්බන්ධව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයකු ගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කරන ලදී. මෙය කැකිල්ලේ කොමිසමකි. මෙවැනි පුද්ගලයකු ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු වරයකු වීම ශ්‍රේෂ්ඨාධිකරණයටද අපකීර්තියකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට විවිධ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වල පවත්නා නීති යම් ආකාර වලින් නොසලකා හරින අවස්ථා අසන්නට ලැබේ. කෙසේ වෙතත් මෙම කොමිසම ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් අමු අමුවේ උල්ලංඝනය කිරීමටද ස්වභාවික යුක්තියට සහ නීතියේ අධිපත්‍යයට එරෙහිවද දැක්විය හැකි ඉතාමත් ප්‍රබලතම උදාහරණය වේ. ශානි අබේසේකර අත් අඩංගුවට ගන්නේ මෙම අපරාධ බොහොමයක් සම්බන්ධ විමර්ශන ඔහු විසින් කර තිබීමට දඬුවමක් වශයෙනි. ඔහු නිදහස් කිරීමේදී අධිකරණය විසින් ඔහුට එරෙහිව ඇති චෝදනා වල හිස් බව පෙන්වා දෙන ලදී. යම් නිලධාරියකුට ජීවත්වීම සඳහා වෙනත් ක්‍රමයක් නොමැතිනම් නිර්දෝෂී පුද්ගලයන්ට එරෙහිව මෙවැනි ක්‍රියා කිරීමට වඩා පාරේ හිඟා කෑම නම්බුකාර වනු ඇති බව සඳහන් කිරීමට කැමැත්තෙමි.
දෙවැන්න ජන වාර්ගික සහ ආගමික සුළුතරය හිංසාවට ලක් කිරීමයි. හිජාස් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජසීම් අයත් වන්නේ මේ ගණය ටයි. කිසිම චෝදනාවකින් තොරව පසුව නිදහස් කළ ශක්තික සත්කුමාර අයත් වන්නේද මේ ගණය ටයි. මේ තිදෙනාම රඳවා ගෙන තිබුනේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.
ජාතිවාදය සහ ආගම්වාදය පසුගිය මැතිවරණ දෙකේ දී පවතින ආණ්ඩුවට ඡන්ද ගෙනා ප්‍රධාන හේතු දෙකකි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඉතාමත් විවෘතය. ජනාධිපති පදවියට පත්වූ පසු දෙමළ එක්සත් සංවිධානය සමග ඔහු කිසිම සාකච්ඡාවක් පවත්වා නැත. ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව ඔවුන් සමග 2021 ජුනි 16 වන දින පැවැත්වීමට තිබූ සාකච්ඡාව ජනාධිපති තුමා විසින් දින නියමයක් නොමැතිව කල් දමන ලදී. පවතින රෙජීමයේ මෙම ජාතිවාදී සහ ආගම්වාදී හරයයන් සහ වටිනාකම් යුරෝපා සංගමයේද බටහිර රටවලද සමස්ත ශිෂ්ට සමාජයේද හරයයන් සහ වටිනාකම් වලට පටහැනි වෙයි. මෙම ඝට්ඨනය ශ්‍රී ලංකාව අධිකාරිවාදී රාජ්‍යයන් වන රුසියාව සහ චීනය දෙසට තල්ලු කරයි. ආණ්ඩුව සිතන්නේ නොබෝ කලකින් ලෝකයේ බලවත්ම රාජ්‍යය බවට චීනය පත්වනු ඇති බවත් චීනයේ සමීපතම මිතුරකු වීම ශ්‍රී ලංකාවට වාසි සහගත වනු ඇති බවත්ය.
ආර්ථික තලයේද මෙම ක්‍රියාවම සිදුවේ. වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු පසුගිය ආණ්ඩුව විසින් රාජ්‍ය ගිණුම් වල ස්ථාවරත්වය සඳහා පනවන ලද බදු සිය සාක්කු ගැන පමණක් කල්පනා කරන මෙරට පුද්ගලික අංශයේ ආශීර්වාදය මැද ඉවත් කරන ලදී. දැන් එයට අමතරව වෛරසයේ බලපෑම හේතුවෙන් ද විශාල අයවැය හිඟය කට ආණ්ඩුව මුහුණ දී සිටි. ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත නොයන්නේ ඔවුන් ණය දීමේදී විවිධ කොන්දේසි පනවන නිසාය. මෙම කොන්දේසි දීර්ඝ කාලින වශයෙන් රටට හිතකරය.
සංවර්ධිත රාජ්‍යයක් වූ ග්‍රීසිය පසුගිය කාලයේ මෙවැනි දුෂ්කරතා වලට මුහුණ දුන් විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය මැදහත් වී ග්‍රීසියට පැවතුන තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ණය දෙන ලදී. එනමුත් ඔවුන් විසින් බරපතල කොන්දේසි ග්‍රීසියට පනවන ලදී. ප්‍රතිඵලය ලෙස ග්‍රීසිය දැන් අයවැය හිඟයද ජංගම ගිණුමේ හිඟය ද විශාල වශයෙන් අඩු කර ගෙන ඇත. ශ්‍රී ලංකාවද මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් මෙම මාර්ගයේ යා යුතුය. එනමුත් ආණ්ඩුව කරන්නේ චීන ණය සහ හිතවත් රටවල මහා බැංකු වලින් ලබා ගන්නා අතමාරු මත රඳා පැවතීමයි. මක්නිසාද යත් ඔවුන් කිසිවකු අයවැය හිඟය අඩු කිරීමට යෝජනා නොකරන බැවිනි. මෙයින් සිදුවන්නේ ප්‍රශ්ණය කල් දැමීම සහ එහි ප්‍රතිවිපාක බරපතල වීමට සහ ඉඩ සැලසීමයි.
ශ්‍රී ලංකාව චීනය දෙසට වඩාත් නැඹුරු වීමේ ක්‍රියාවලිය ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ආරක්ෂක සංවිධානයක් වන නේටෝ සංවිධානය විසින් අභියෝගයට ලක් කර හෝ ලක් කරනු ලැබීමට ඉඩ ඇති තත්ත්වයට පත් කර ඇත. වැදගත් කරණය වන්නේ 1980 ගණන් වල ශ්‍රී ලංකාවේ අභිලාෂයට පටහැනිව මෙරටට අහස් යානා එවූ ඉන්දියාව චීනයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය සහ ඕස්ට්‍රේලියාව සමඟ සන්ධාන ගත වී සිටීමයි. ඉන්දියානු අහස් යානා මගින් යාපනයට සහනාධාර හෙලු අවස්ථාවේදී එවකට සිටි ජනාධිපති ජයවර්ධනට කල හැකිව තිබුනේ එකම ප්‍රකාශයක් කිරීමයි. ආක්‍රමණයකදී සතුරාට එරෙහිව යුද වැද මරණයට පත්වීමට සමස්ත ශ්‍රී ලාංකිකයන් සුදානම් බව ඔහු කියා සිටියේය.
ඒ යුගයේදී ජයවර්ධන ජනාධිපති වරයා එක්සත් ජනපදය සමඟ සමීප මිත්‍රත්වයක් පැවැත්වූ අතර ඉන්දියාව සිටියේ ප්‍රතිවිරුද්ධ පිළේය. මෙම සිද්ධියෙන් පසුව එක්සත් ජනපදය විසින් ඉන්දියාව සමඟ ගනුදෙනු බේරා ගන්නා ලෙස ජනාධිපති ජයවර්ධනට දන්වන ලදී. සිතල යුද්ධය සමයේදී නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුග වලදී විශේෂයෙන්ම අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක ගේ කාලයේදී ශ්‍රී ලංකාව වඩාත් සුරක්ෂිත විය.
ජනාධිපති වරයා චීනය සමඟ සමීප මිත්‍රත්වයක් පැවැත්වීමට මතුනොව චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලන විධි ගැන ඉගෙන ගැනීමටද කැමතිය. වර්ෂ 1971දී මෙරට තිබු උතුරු කොරියානු තානාපති කාර්යාලය ආණ්ඩුව පෙරලීමේ කැරැල්ල පිටුපස සිටියේ යයි සැක පිට වසා දමන ලදී.
සියලු ප්‍රශ්ණ එකට වෙලී ඇත. ශ්‍රී ලංකාවේ අපනයන වලින් 60%ක් පමණ යන්නේ උතුරු ඇමෙරිකාව, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය ටයි. මෙයින් එක්සත් ජනපදය 25% ක හිමිකමක් කියයි. ප්‍රශ්ණය දෙස බැලිය යුත්තේ මෙම තත්ත්වයද සැලකිල්ලට ගනිමිනි.
ජී එස් පී+ සහනය තබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් කළ යුත්තේ රටේ පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් සුරැකීමයි. මෙය අධිකාරී වාදී පාලන රෙජීමය කට පසුබැසීමක් ලෙස හැඟෙනු ඇත.මෙම ක්‍රියා මාර්ගය රටේ ස්වාධිපත්‍යය සමඟ ගැටුමක් නැත. මක්නිසාද යත් ස්වාධිපත්‍යය ඇත්තේ ජනතාව අත වන අතර ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඔවුන් අත ඇති ස්වාධිපත්‍යය පාවා දීමක් නොවේ. ස්වාධිපත්‍යයට හිමිකමක් පාලකයන්ට නැත. ඔවුන් කරන්නේ එය තාවකාලිකව අභ්‍යාස කිරීමයි.
එසේය. රෙජිමයට මෙය ලජ්ජාවට කාරණයකි. මෙය ඔවුන්ගේ ආත්ම ගෞරවය කෙළෙසීමකි. මක්නිසාද යත් පිටස්තරයකු විසින් මෙරට ජනතාවගේ මූලික අයිතීන් සුරැකීම පිළිබඳව ඔවුන්ට සිහි කැඳවන බැවිනි.මෙම මූලික අයිතිවාසිකම් සුරැකුව හොත් ද්විත්ව ප්‍රතිලාභයක් එනම් රටට ජී එස් පී+ සහ පුරවැසියන්ට මානව හිමිකම් ලැබේ.
published in colombo telegraph on 25 June 2021 and in Anidda
https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-25-june-2021/
No comments:
Post a Comment