මේ නිකුත් වන්නේ සමබිම ඉරිදා සංග්‍රහයේ 600 වන කලාපයයි. රාවය පුවත්පතේ අතිරේකයක් වශයෙන් මෙය අරම්භවූයේ 2008 මාර්තු මස දීය. මෙම අවස්ථාව සමබිම ඉරිදා සංග්‍රහය සහ 2010 ජූලි මස ආරම්භ කරන ලද සමබිම පුවත්පත විසින් කරන ලද කාර්ය භාරය දෙස නැවත හැරී බැලීමට සුදුසු අවස්ථාවකැයි සිතමි.
මා සමබිමට සම්බන්ධ වන්නේ සමබිම පුවත්පතේ ලේඛකයකු ලෙස 2010 ඔක්තෝබර් මස දීය. ඒ වන විට මා ඉංග්‍රීසි පුවත්පත් වලට ලිපි කිහිපයක් ලියා තිබූ අතර යුද්ධය අවසාන වීමෙන් පසුව එවකට ආණ්ඩුව විසින් ගනිමින් තිබූ ජාතිවාදී ස්ථාවරයට එරෙහිව ඉංග්‍රීසි පුවත්පත් වලට යවනු ලැබූ ලිපි පළ නොවිය. පසුව සිංහලෙන් රාවය පුවත්පතට ලිපියක් යැවූ නමුත් එයද පළ නොවිය. මේ අතරතුර එවකට රාවය පුවත්පත් සමග පළවූ සමබිම ඉරිදා සංග්‍රහයේ ජාතිවාදයට එරෙහිව ලිවිය හැකි ලේඛකයන්ට අලුතෙන් පලකරන පුවත්පතක් වෙනුවෙන් ආරාධනා කර තිබුණි. ඒ අනුව 18 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව එය චිරාත් කාලයක් තිස්සේ පැවති රාජාණ්ඩු වලින් ප්‍රජාතන්ත්‍රවාදයට වූ ආණ්ඩුක්‍රම විකාශය ආපසු හැරවීමක් ලෙස හඳුන්වමින් සමබිම පුවත්පතට ලියන ලද ලිපිය එහි පළවිය. එයින් පසු දිගටම සමබිම පුවත්පතටද වරින් වර සමබිම ඉරිදා සංග්‍රහයටද දායක වී ඇත්තෙමි.
මා විසින් සහ සහෝදර ලේඛකයන් විසින් සමබිමට ලියන ලද ලිපි බොහොමයක් අත්තනෝමතික අධිකාරීවාදී පාලන විලාසයන්ට සහ ජාතිවාදයට එරෙහිව ද ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන්ට සහ රටේ සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් රැකීමට පක්ෂව ද ලියන ලද ඒවාය. රටේ සමබිමක් නිර්මාණය වන්නේ ඒ හරහාය. අපේ රටේ බොහෝ පිරිසක් ජාතිවාදීහු වෙති. එබැවින් ජාතිවාදයට එරෙහිව ලියන ලද ලිපි පවත්නා අධිපතිවාදී මතවාදයට එරෙහිව ලියන ලද ඒවාය. මගේ බොහෝ මිතුරෝද ඥාතීහුද ජාතිවාදයට එරෙහිව මා දරන මතයට එකඟ නොවෙති. සමහරු මා සමඟ ඔවුන්ගේ ඇති සම්බන්ධතාවයට හානි වෙතැයි බියෙන් ඒවා නොකියවති. සමහරු බුදු දහමේ හරයට සම්බන්ධ ආයතනයකට මගේ ඇති සම්බන්ධය හේතුවෙන් මගේ මතය පිළිබඳ විමතියට පත්වෙති. දහම අනුව ඉදිරියට යනවිට ජාතිය පමණක් නොව මමංකාරය ද පසුව අස්මි මානයද හළ යුතු බව ඔවුහු නොදනිති. බොහෝ පැවිද්දෝ ද එය නොදනිති. එසේ නොමැති නම් තමන් දේශනා කරන දහම වෘත්තීය මට්ටමෙන් කර එය තමන්ගේ පුද්ගලික ජිවිතයට සම්බන්ධ කර නොගැනීමට තරම් වෘත්තීය වෙති. ඔවුහු වෘත්තීය පැවිද්දෝ වෙති.
අප උත්සාහ ගත්තේ ආණ්ඩු පෙරලීමට නොවේ. ජනතා සිත් සතන් පෙරලීමටයි. වෙනත් මතවාද කෙසේ වෙතත් ජාතිවාදී චින්තනයක් ආපසු හැරවීම ඉතාමත් අසීරු කාර්යයකි. මක්නිසාද යත් ඔවුන් බොහෝ දෙනෙක් එම චින්තනය ආගමක් සේ අදහන බැවිනි. එම මතවාදය හැලීමට නම් ඔවුන්ට රබින්ද්‍රනාත් තාගෝර් ගේ ගෝරා නවකතාවේ ගෝරා හෙවත් ගෞර් මෝහන් බාබු ට සිදුවූ දේ වැන්නක් සිදුවියයුතුය. ඒ තරම් පුද්ගලික නොවූවත් එවැන්නක් මටද සිදුවිය.
බොහෝ දෙනා තරුණ කාලයේදී විවිධ දේශපාලන ව්‍යාපාර වලට සම්බන්ධ වෙති. මම එකල මෙරට විසූ චින්තකයකු වන ආචාර්ය ඊ.ඩබ්. අදිකාරම් (1905- 1985) ගේ අභාසය ලැබීමි. ඔහුගේ සාකච්ඡා වලට සහ දේශන වලට සහභාගී වීමි. එක දිනක ඔහුගේ නිවසේදී ඔහු හමුවූ අවස්ථාවක මා කවුදැයි ඔහු විමසීය. මා සිංහලයකු යයි මම පිළිතුරු දුනිමි. මා එසේ කියන්නේ මන්දැයි ඔහු විමසීය. මා සිංහල භාෂාව කථා කරන නිසා යයි මම පිළිතුරු දුනිමි. සිංහල කථා කරන සියලුම දෙනා සිංහලයන් දැයි ඔහු විමසීය. මම නැතැයි කීමි. මක්නිසාදයත් දෙමළ වාසගමක් සහිත සිංහල පමණක් දන්නා දෙමළ නොදන්නා මිතුරකු මට සිටි නිසාය. මගේ දෙමව්පියන් සිංහල බව මම නැවත කීමි. ඔවුන්ගේ දෙමව්පියන් සිංහල වූයේ කෙසේදැයි ඔහු විමසීය. මම නිරුත්තර වීමි. මක්නිසාද යත් මෙම ප්‍රශ්නය දිගින් දිගටම අතීතයට යා හැකි බැවිනි. ඒ වන විට මම ආචාර්ය පරණවිතානයන්ගේ සිංහලයෝ නමැති පොත කියවා තිබුනෙමි. එහිදී ඔහු මෙරට සිංහලයන් සහ දමිළයන් අතීතයේදී මිශ්‍ර වී ඇති බව කියා තිබුණි. ආගම පිළිබඳව ආචාර්ය අදිකාරම් ගේ මතය වූයේ එය මිනිසුන් භේද කරන බවය. එය සත්‍යයකි. මේ සාකච්ඡාවෙන් කලකට පසු මගේ ජාතිය සහ ආගම පිළිබඳව වූ බැඳීම් බොහෝ දුරට අඩු කර ගැනීමට සමත් වුනෙමි. මම මනුෂ්‍යයෙක් පමණක් වීමි.
මේ අවස්ථාවේදී සමබිමේ අභිලාෂයන්ට පටහැනිව ජාතිවාදය දේශපාලනික වශයෙන් මස්තකප්‍රාප්ත වී ඇත. එය අපගේ ක්‍රියාමාර්ග අසාර්ථක වීමකි. ආණ්ඩුවේ අභිලාශය එය තවදුරටත් ඉදිරියට ගෙන යමින් බහුතරය වන සිංහල බෞද්ධ ජනතාව ඇන්දවිමයි. විවිධ දේශපාලන හේතු නිසා මෙම ඇන්දවීම අනුක්‍රමයෙන් අසාර්ථක වන ලකුණු පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් ඇන්දවීමේ අවසානය පෙනෙන තෙක් මානයක නැත. මක්නිසාද යත් විපක්ෂයද මෙම ඇන්දවීමම එක්තරා මට්ටමකින් කරන නිසාය. එබැවින් අපට තවදුරටත් බොහෝ දේ ලියන්නට තිබේ.
Published on May 3, 2021
#600 වන කලාපයට හර්ෂ ගුණසේන විසින් ලියන ලද ලිපියකි.
No comments:
Post a Comment