Tuesday, September 8, 2020

විස්සට පෙරවදනක්

 

විද්‍යාර්ථියකු ගේ සිට දේශපාලනඥයකු දක්වා රූපාන්තරණය වී ඇති කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා අප බලයට බිය විය යුතු නැතැයි කියයි. ඔහු අදහස් කරන්නේ ආණ්ඩුව තමන්ට ලැබී ඇති තුනෙන් දෙකේ බලය අභ්‍යාස කිරීම පිළිබඳව ජනතාව බිය විය යුතු නැති බවයි.

ජනතාව බිය වන්නේ කුමකටද? මන්ද යත් නියම බලය ඇත්තේ ජනතාව අත වන නිසාය.ිප්‍රයෝග මගින් පාලනය’ නම්වූ ලියු ජි (1311-1375) විසින් රචිත සිඩ්නි තායි විසින් පරිවර්තිත යු ලී සි නැමැති ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද පහත සඳහන් නොසලකා හරිනු ලබන දේශපාලන බලය පිළිබඳ කතාව මහාචාර්ය ජිනී ශාප් විසින් රචිත ලියුම්කරු විසින් පරිවර්තනය කරන ලද ඒකාධිපතිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට නම් කෘතියේ දැක්වේ.

“චු නැමැති වැඩවසම් දේශයේ සිටි එක්තරා මහළු මිනිසකු විසින් සිය ජීවිතය පවත්වා ගත්තේ වඳුරන් සේවයේ යොදවා ගැනීම මගිනි. චු දේශයේ මිනිසුන් විසින් ඔහු හඳුන්වන ලද්දේ ජු ගොන්ග් හෙවත් වඳුරු හිමියා යන නමිනි.

දිනපතා උදයේ මහළු මිනිසා වඳුරන් සිය අංගනයට එක්රැස් කරවා වඩාත්ම වැඩිමහළු වඳුරා බණවා අනෙක් වඳුරන් ද සමඟ කඳුකරයට ගොස් එහි ඇති ගස් සහ පඳුරු වලින් පළතුරු කඩා ගෙන එන ලෙස විධාන කරයි. නීතිය වන්නේ සියලු‍ම වඳුරන් විසින් ඔවුන් එක්රැස් කරගත් පළතුරු වලින් දහයෙන් එකක් මහළු මිනිසාට දිය යුතු වීමයි. එසේ කිරීමට අසමත් වන වඳුරන්ට ඉතා නිර්දය ලෙස පහර දෙනු ලැබේ. සියලු‍ම වඳුරන් ඉතා කණගාටුදායක ලෙස පෙළනු ලැබූ අතර කිසිවකු පැමිණිලි කිරීමට තරම් වත් නිර්භීත වූයේ නැත.

එක් දිනෙක කුඩා වඳුරෙක් අනෙකුත් වඳුරන් ගෙන් මෙසේ ඇසීය. “සියලු‍ම පළතුරු ගස් සහ පඳුරු පැල කරන ලද්දේ මහළු මිනිසා විසින්ද? අනෙකුත් වඳුරෝ “නැත. ඒවා ඉබේ පැලවී ඇත.” යනුවෙන් පිළිතුරු දුන්හ. කුඩා වඳුරා නැවත මෙසේ ඇසීය. “අපට මහළු මිනිසාගේ අවසරය නොමැතිව පළතුරු කඩා ගත නොහැකිද?” “අප සියලු‍ දෙනාටම එය කළ හැක.” යනුවෙන් අනෙක් වඳුරෝ පිළිතුරු දුන්හ. කුඩා වඳුරා තවදුරටත් මෙසේ ඇසීය. “එසේනම් අප මහළු මිනිසාගේ අණට යටත්ව ඔහුට සේවය කරන්නේ ඇයි?”

කුඩා වඳුරා සිය ප්‍රකාශය අවසන් කිරීමටත් ප්‍රථම සියලු‍ම වඳුරෝ එක්වරම ඥානය ලබා පවතින තත්ත්වය අවබෝධ කළහ.

එදින රාත්‍රියේ මහළු මිනිසා නින්දට වැටෙන තුරු බලාසිට සියලු‍ම බාධක සහ තමන් සිරකර තිබූ දඬුවැට කඩා දැමූ වඳුරෝ එය සම්පුර්ණයෙන්ම විනාශ කළහ. මහළු මිනිසා ගබඩා කර තැබූ සියලු‍ම පළතුරු පැහැර ගත් වඳුරෝ ඒ සියල්ලම රැගෙන වනාන්තරයට පළා ගිය අතර නැවත නොපැමිණියහ. අවසානයේදී මහළු මිනිසා කුසගින්නේ මියගියේය.”

එබැවින් බිය විය යුත්තේ බලය අනිසි ලෙස අභ්‍යාස කරන පුද්ගලයන්ය. වර්ෂ 1978 ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් වර්තමාන ව්‍යවස්ථාව ගෙන එන විට රටේ බහුතරය එයට විරුද්ධ වූයේ නැත. එයට විරුද්ධ වූයේ සුළු පිරිසකි. විරුද්ධ වූ සුළු පිරිස අතර ලියුම්කරු ද සිටියේය. එම ව්‍යවස්ථාවේ අසාධනිය ලක්ෂණ මෙන්ම සාධනීය ලක්ෂණද තිබේ. එම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට තිබූ ඒකාධිපති බලතල වලට අනුමැතිය දුන් එක්සත් ජාතික පක්ෂය තමන්ට දීර්ඝ කාලීනව විපක්ෂයේ සිටීමට සිදුවූ විට එම ඒකාධිපති බලතල වලට විරුද්ධ වී ඒවා අඩු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රීවරයකුගේ පමණක් විරුද්ධත්වය ඇතිව ව්‍යවස්ථාවට 19 වන සංශෝධනය ගෙන ආවේය. ව්‍යවස්ථාවට 17 සහ 19 සංශෝධන ගෙන එන විට විපක්ෂ දේශපාලන පක්ෂ වලටද ඇහුම් කන් දීමට ආණ්ඩු වලට සිදුවූ අතර එම ඇහුම්කන් දීම මගින් ශක්ති සම්පන්න නොවූ 1972 ව්‍යවස්ථාව සහ 1978 ව්‍යවස්ථාව එහි යෝජකයන්ට මෙන්ම ජනතාවටද යම් ව්‍යසනයන් ගෙන ඒමට මුල් විය.

අප යම් ප්‍රමාණයකට බිය විය යුත්තේ ඒ නිසාය.

1978 ව්‍යවස්ථාවේ ප්‍රකාර ජනාධිපතිට සිය අභිමතානුසාරී බලය පාවිච්චි කිරීමට බොහෝ අවස්ථා තිබේ. ඔහු හෝ ඇය රජෙකු හෝ රැජිනක හෝ නොවන නිසා එම බලය අත්තනෝමතික ලෙස පාවිච්චි කිරීමට ඉඩ දීම යුතු නොවේ. ව්‍යවස්ථාවට 17 සහ 19 සංශෝධන ගෙන ආවේ ඒ නිසාය. දීර්ඝ සාකච්ඡාවකින් තොරව සම්මත කර ගත් 19 සංශෝධනයේ විවිධ අඩුපාඩු කම් තිබේ. ඒවා සමනය කිරීම අවශ්‍ය දෙයකි. එනමුත් පාක්ෂික දේශපාලනයක නිරත වන රටේ ජනාධිපතිවරයාට රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළ තනතුරු සිය අභිමතය මත පමණක් පිරවීමට ඉඩදීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට හිතකර නොවේ. 17 වන සංශෝධනයට පෙර මෙරට පැවතියේ එම තත්ත්වයයි. ඉන්පසු ව්‍යවස්ථා සභාව මගින් එම තත්ත්වය වෙනස් කරන ලදී.

ඇමෙරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාවේ දෙවන වගන්තියේ දෙවන කොටස අනුව ජනාධිපතිවරයාට ශේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් ද රාජ්‍යයේ ඉහළ නිලධාරීන්ද තානාපතිවරුන්ද පත්කිරීමට බලය ඇත්තේ සෙනෙට් සභාවේ උපදෙස් සහ අනුමැතියට යටත්වය.

ප්‍රංශ ව්‍යවස්ථාවේ 56 වන වගන්තිය අනුව එරට ව්‍යවස්ථා සභාවට පත්කරන සාමාජිකයන් 9 දෙනා ගෙන් තුන් දෙනෙකු ජනාධිපතිවරයා විසින්ද, තුන් දෙනෙකු ජාතික මන්ත්‍රණ සභාවේ සභාපති විසින්ද, තුන් දෙනෙකු සෙනෙට් සභාවේ සභාපති විසින්ද පත් කරනු ලැබේ. එයට අමතරව හිටපු ජනාධිපතිවරුන් නිල බලයෙන් එයට පත්වේ. ජාතික මන්ත්‍රණ සභාවේ පනත්වල ව්‍යවස්ථාපිතභාවය තීරණය කිරීම සඳහා ඒවා ව්‍යවස්ථා සභාවට යොමු කළ යුතුය. මෙයට අමතරව ජනාධිපතිවරණ සහ ජනමත විචාරණ මනාව පැවැත්වෙන බව ව්‍යවස්ථා සභාව විසින් සහතික කළ යුතු අතර ජාතික මන්ත්‍රණ සභාවේ සහ සෙනෙට් සභාවේ මැතිවරණ සම්බන්ධ මතභේද වලදී ව්‍යවස්ථා සභාවට තීරණ ගත හැක.

ඉන්දියාවේ ශේෂ්ඨාධිකරණයට විනිශ්චයකාරවරුන් පත් කරන්නේ ජාතික අධිකරණ කොමිසමේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසිනි. මෙම කොමිසම සමන්විත වන්නේ අගවිනිසුරු, වෙනත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනෙකු, අධිකරණ ඇමති, සහ තවත් විද්වතුන් දෙදෙනෙකු ගෙනි. මේ විද්වතුන් දෙදෙනා පත් කරන්නේ අගමැති, විපක්ෂ නායක සහ අගවිනිසුරු ගෙන් සමන්විත මණ්ඩලයක් විසිනි. (ඉන්දියානු ව්‍යවස්ථාවේ 124 වන වගන්තිය)

දකුණු අප්‍රිකාවේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සහ ජාතික මන්ත්‍රණ සභාව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ මතය විමසා අග්‍රවිනිශ්චයකාරවරයා සහ නියෝජ්‍ය අග්‍රවිනිශ්චයකාරවරයා පත් කිරීමට ජනාධිපතිවරයාට බලය තිබේ. රටේ ඉහළම අධිකරණය වූ ව්‍යවස්ථා අධිකරණයේ අනෙකුත් සාමාජිකයන් ජනාධිපතිවරයා විසින් පත් කරන්නේ අධිකරණ සේවා කොමිසම මගින් ඉදිරිපත් කරනු ලබන නාමාවලියකින් තෝරා ගනු ලබන අය පිළිබඳව අග්‍රවිනිශ්චයකාරවරයාගේ සහ ජාතික මන්ත්‍රණ සභාව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ මත විමසා බැලීමෙන් අනතුරුවයි. (දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාවේ 174 වන වගන්තිය)

එබැවින් විවිධ රටවල රාජ්‍යයේ ඉහළ තනතුරු වලට නිලධාරීන් විශේෂයෙන්ම විනිසුරුවරුන් පත් කිරීමේ දී නොයෙක් සංවරණ සහ තුලන ක්‍රියාත්මක වේ. මෙරට 17 වන සංශෝධනයට පෙර මෙවැනි තත්ත්වයක් නොතිබිණි. 18 වන සංශෝධනය මගින් ඉවත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 19 වන සංශෝධනය මගින් නැවත ඇතිකිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට කරන ද නිර්දේශයක් මත ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර ඇත්නම් මිස,

අග්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්; අභියාචනාධිකරකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්; අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන්; නීතිපතිවරයා; විගණකාධිපතිවරයා; පොලිස්පතිවරයා; පරිපාලන කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා; සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා පත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැත. මෙම ක්‍රියා පටිපාටිය ස්වාධීන කොමිෂන් සභා නවයක සාමාජිකයන් පත් කිරීමේදීද අදාළ වේ.

ව්‍යවස්ථාවට අදාළ මෙරට සහ පිටරට පූර්වාදර්ශ ඉහත දක්වා ඇත. බලය නිසි ලෙස භාවිතා කිරීම බලය දරන්නා ගේ යුතුකම සහ වගකීම වේ. 

 published in sunday anidda on 6/9/2020

https://www.samabima.com/?p=21545

හර්ෂ ගුණසේන විසින් සමබිමට ලියන ලද ලිපියකි.

No comments:

Post a Comment