Saturday, November 30, 2019

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සංකල්පීය රාමුවක්

2013 වසරේ සිට වසර තුනක පමණ කාලයක්  ‘සමබිම’  මාසික පුවත්පතේ අපූරු ලිපි පෙළක් පළවිය. ඒ මහාචාර්ය ජිනී ශාප් 1993 වර්ෂයේ පළ කළ From Dictatorship to Democracy ප්‍රකාශනයේ සිංහල පරිවර්තනයි. පරිවර්තකයා වූයේ වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙක් වන හර්ෂ ගුණසේනය. අධිකාරීවාදී පාලනයක් පවතින විට අධික ලෙස නිර්භීත වී පසුව රටින් පළායාම හෝ අනවශ්‍ය ලෙස බිය වී යටත්වීම වෙනුවට එවැනි පාලනයක් සමග කටයුතු කර කල් පවත්නා ප්‍රජාතන්ත්‍රවාදයට පදනමක් සකස් කර ගැනීම පිළිබඳ මීට වඩා හොඳ සංකල්පීයමය මගපෙන්වීමක් කරන අත්පොතක් ඇත්දැයි සැක සහිතය.
මෙම ලිපි පෙළ පසුගිය සැප්තම්බරයේදී පොතක් ලෙසින් ප්‍රකාශයට පත්විය. පහත පළවන්නේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ ඒ සඳහා කළ හැඳින්වීමය.

මහාචාර්ය ජයදේව උයන්ගොඩ

අත්තනෝමතික, ප්‍රජාපීඩක සහ ඒකාධිපති පාලන තන්ත්‍ර බිහිවීමත්, ඒවාට එරෙහිව මහජන අකීකරු විරෝධතා සහ එරෙහිවීම් වලින් එවැනි පාලන තන්ත්‍රවලට ජනතා අභියෝග එල්ලවීමත් ලෝක ඉතිහාසයේ අතීතයේ සිටම පැවතී තිබෙන දේශපාලන සංසිද්ධීන් ය. ඒ පිළිබඳ වඩාත් මෑත කාලීන නිදසුන් ලැබෙන්නේ මැද පෙරදිගිනි. ‘අරාබි වසන්තය’ නමින් හැඳින්වුණු මහජන විරෝධතා නැගිටීම්, කාලයක් තිස්සේ ඒකාධිපති පාලනතන්ත්‍ර පැවතුණු ටියුනීසියාව, ලිබියාව සහ ඊජිප්තුව යන රටවල පැවතුණු පාලනතන්ත්‍ර බිඳ වැටීමට ද තුඩු දුන්නේය. එවැනි අරගල පසුව ජෝර්දානය සහ යේමනය යන රටවලද පැතිරුණි. එහෙත් අරාබි වසන්ත විරෝධතා ව්‍යාපාර වල සහ මහජන නැගිටීම්වල අවසාන ප්‍රතිඵල සාධනීය ඒවා නොවේ. නොයෙකුත් සංකීර්ණ හේතු නිසා, එම සාමකාමී අරගල, එම රටවල ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයට තුඩු දී නැත. ඒ අතරේ, ලිබියාවේ ඊජිප්තුවේ, යේමනයේ සහ ජෝර්දානයේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන අභිලාෂ විශාල පරාජයන්ට පත් විය. එම රටවල නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මහජන අරගල, අනාගතයේදී යළි මතු වීමට බොහෝ විට ඉඩ තිබේ. ඒකාධිපති පාලන තන්ත්‍ර වල ආධිපත්‍යය මහජනයා නොඉවසන මොහොතවල් සාමාන්‍යයෙන් පැන නගින්නේ, කල්තියා දැකිය නොහැකි අවස්ථාවලය යන්න, ඉතිහාසයේ තිබෙන අත්දැකීමකි.

මේ දිනවල හොංකොං දූපතේ ජනතාව දියත් කර ඇති විරෝධතා ව්‍යාපාරය, අරාබි වසන්තයට සමාන එකකි. දේශපාලන විරෝධය පසුගිය අවුරුදු කිහිපයේම හොංකොං ජනතාවගෙන් ප්‍රකාශ වුවත්, දැනට සිදුවෙමින් පවතින විරෝධතා ව්‍යාපාරය, ඒ සියල්ලටම වඩා දැවැන්ත, මනා ලෙස සංවිධානය වූ සහ පුළුල් මහජන සහභාගිත්වය ඇති එකක් බව පෙනේ. හොංකොං ජනතාව සාමකාමීව මහා පරිමාණ ලෙස විරෝධය දක්වන්නේ, චීන ආණ්ඩුව යෝජනා කර ඇති නව උදර්පණ නීතියට විරුද්ධවයි. හොංකොං වැසියන් චීනයට උදර්පණය කිරීමේ බලය චීන රජයට ලබා ගැනීම අපේක්ෂා කරන යෝජිත නීතිය, හොංකොං වැසියන්ගේ ස්වාධීන දේශපාලන ව්‍යාපාර මර්දනය කර විනාශ කිරීම අරමුණු කරගත්තකි. එමෙන්ම එම යෝජිත නීතිය, හොංකොං දූපතේ වැසියන්ගේ දේශපාලන අයිතිවාසිකම් සහ සාපේක්ෂ ස්වාධීනතාව උල්ලංඝනය කිරීමක් ද වේ. ඉතා කුඩා දූපතක් වන හොංකොං හි පුරවැසියන්, ලෝකයේ ඉතාම බලවත්, අතිශයින්ම මර්දනකාරී සහ ඒකාධිපති රාජ්‍යයක් වන චීනයේ රජයට, පෙළපාළි, රැස්වීම් සහ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින්, දැවැන්ත සාමකාමී විරෝධතා ව්‍යාපාරයක යෙදී සිටිති. මේ දෙස බලා සිටින නිරීක්ෂකයකුට සිතෙන්නේ හොංකොං මහජන ව්‍යාපාරයේ නායකයන්, මෑතකාලීන ලෝකයේ, ඒකාධිපති විරෝධී නිදහස් මහජන අරගල ගණනාවකට අනුප්‍රාණය සහ මගපෙන්වීම ලබා දුන් එක්තරා කුඩා පොතක් කියවා ධාරණය කරගෙන ඇති බවයි.

එම කුඩා ග්‍රන්ථය, අන් කිසිවක් නොව, හර්ෂ ගුණසේන මහතා සිංහල භාෂාවට පරිවර්තනය කර ඇති, මහාචාර්ය ජීනී ශාප් 1993දී ලියූ From Dictatorship to Democracy නම් රචනයයි.

2018 වසරේදී මියගිය මහාචාර්ය ජිනී ශාප්, ශාන්තිවාදී දාර්ශනික ධාරාවට අයත් ඇමෙරිකානු දේශපාලන විද්‍යාඥයෙකි. මහාචාර්ය ශාප් සහ මහාචාර්ය ග්ලේන් පේජ්  (Glenn Paige) යන දෙදෙනා ශාස්ත්‍රීය මෙන්ම දේශපාලන ක්‍රියාකාරකයන්ගේ ලෝකය තුළද 1970 ගණන්වල සිට ප්‍රසිද්ධව සිටියේ නිර්ප්‍රචණ්ඩවාදී දේශපාලන න්‍යාය සහ දේශපාලන ඉදිරි දර්ශනය අවධාරණය කළ දේශපාලන විද්‍යා ගුරුවරුන් සහ ලේඛකයන් දෙදෙනෙකු ලෙසය. ඔවුන් දාර්ශනික සහ බුද්ධිමය වශයෙන් අනුප්‍රාණය ලබා තිබුණේ බුදුන් වහන්සේගේ, මහත්මා ගාන්ධි තුමාගේ සහ මාටින් ලූතර් කිං තුමාගේ ඉගැන්වීම් සහ ජීවන ආදර්ශ වලිනි.

2017 වසරේදී මියගිය මහාචාර්ය ග්ලේන් පේජ් අවිහිංසාවාදය දේශපාලන න්‍යාය වෙත ගෙන ආවේය. සාම්ප්‍රදායික දේශපාලන විද්‍යාව සහ දේශපාලන න්‍යාය, බලය, දේශපාලන ප්‍රචණ්ඩත්වය, හිංසනය සහ යුද්ධය, සාධාරණීය කළේය. එම සාම්ප්‍රදායික දේශපාලන විද්‍යා පසුබිම වෙතින් පැමිණි ඔහු තරුණ කාලයේදී කොරියානු යුද්ධයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතන සියැසින් දුටු, අත්විඳි කෙනෙකු විය. බුදුදහම, ගාන්ධි ධර්මය සහ අවිහිංසාව ගැන කළ අධ්‍යයන වලින් පසුව, අවිහිංසාව පදනම් කොට ගත් දේශපාලන විද්‍යාවක් සහ දේශපාලනයක හැකියාව ගැන පර්යේෂණ කෙළේය. එහි ප්‍රතිඵලය වූයේ නිර්-ප්‍රචණ්ඩ සහ නිර්ඝාතක: (Non-violent සහ Nonkilling) දේශපාලන න්‍යායක් සහ ඉදිරි දර්ශනයක් නිර්මාණය කිරීමයි. ඔහු මේ ගැන ලියූ ප්‍රධාන ග්‍රන්ථ දෙක නම් Nonkilling Global Political Science (නිර්ඝාත ගෝලීය දේශපාලන විද්‍යාව) සහ Nonviolence Political Science (නිර්ප්‍රචණ්ඩ දේශපාලන විද්‍යාව) යි. ඒ දෙක පිළිවෙළින් පළවූයේ 2002 සහ 1993 යන වසරවලය.

මහාචාර්ය ජිනී ශාප්ගේ පසුබිමද මීට සමානයි. ඔහු තරුණ කාලයේ සිට උනන්දුව දැක්වූයේ ලෝකයේ සිදුවන දේශපාලන ගැටුම් ප්‍රචණ්ඩත්වයට සහ මනුෂ්‍ය ඝාතන වලට තුඩු නොදෙන පරිදි, සාමකාමීව විසඳීමේ විකල්ප සොයා ගැනීමටය. 1983දී හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඇල්බර්ට් අයින්ස්ටයින් ආයතනය පිහිටුවීම ඔහුගේ අවිහිංසාවාදී ශාස්ත්‍රීය, පර්යේෂණ සහ ක්‍රියාකාරී ජීවිතයේ වැදගත් අවස්ථාවක් විය. මහාචාර්ය ශාප් තරුණ කාලයේ සිටම මහත්මා ගාන්ධිගේ අවිහිංසාවාදී ධර්මයෙන් මහත් අනුප්‍රාණය සහ ආභාසය ලැබූ දේශපාලන විද්‍යාඥයකු විය. 1973 දී The Politics of  Nonviolent Action (නිර්-ප්‍රචණ්ඩ ක්‍රියාකාරීත්වයේ දේශපාලනය) නම් සුප්‍රසිද්ධ කෘතිය ඔහුගේ ආචාර්ය උපාධි ප්‍රබන්ධය පදනම් කරගත් ග්‍රන්ථයකි. ඉන්පසුව ඔහු මහත්මා ගාන්ධිගේ දර්ශනය ගැන පොත් ගණනාවක්ම ලියා පළ කෙළේය. බටහිර සහ ඉංග්‍රීසි කතා කරන ලෝකයට ගාන්ධිතුමාගේ අවිහිංසාවාදී අරගලයේ ධර්මය පැහැදිලි කර දුන් ප්‍රධානතම ශාස්ත්‍රඥයකු වූයේ මහාචාර්ය ශාප්ය. ඒවා අතර Gandhi Wields the Weapon of  Moral Power (1960, ගාන්ධි චර්යාධර්මයේ අවිය ඔසවයි), Civil Defence; An Introduction  (1967, සිවිල් ආරක්ෂාව; හැඳින්වීමක්), The Politics of Non-Violent Action (1973 නිර්-ප්‍රචණ්ඩ දේශපාලන ක්‍රියාකාරීත්වයේ දේශපාලනය ), Gandhi as a Political Strategist (1999-ගාන්ධි දේශපාලන උපායමාර්ගිකයෙකු ලෙස) යන මේවා වැදගත් ඒවාය.

හර්ෂ ගුණසේන මහතා සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත්තේ, මහාචාර්ය ශාප් 1993දී ලියූ ත්‍From Dictatorship to Democracy: A Conceptual Framework for Liberation යන කෘතියෙනි. එය පළකරනු ලැබුවේ ඇල්බර්ට් අයින්ස්ටයින් පදනම විසිනි. එම කෘතියට සුවිශේෂ ඉතිහාසයක් තිබේ. ඔහු එය ලියුවේ, බුරුමයේ මිලිටරි ආඥාදායක පාලනයට එරෙහිව අරගල ව්‍යාපාරයේ, විදේශයේ පිටුවහල් ගතව සිටි නායකත්වයේ ඉල්ලීම මතය. බුරුමයේ මිලිටරි ඒකාධිපති පාලනය ආරම්භ වූයේ 1962දීය. එය ඉතාම මර්දනකාරී පාලනතන්ත්‍රයක් විය. ඉතා ශක්තිමත් මිලිටරි ඒකාධිපති ආණ්ඩුවට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදී බලවේග දියත් කළ අරගලය මහත් පසුබෑම්වලට තුඩු දී තිබිණ. මුලදී එය පළකරන ලද්දේ විදේශගත බුරුම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ පුවත්පත්වල ඉංග්‍රීසි සහ බුරුම භාෂාවලිනි. එම ලිපි පෙළ ග්‍රන්ථයක් ලෙස පළකරන ලද්දේ අවුරුදු කිහිපයකට පසුවය.

මෙම සිංහල පරිවර්තනය කියවන පාඨකයාට පෙනෙනු ඇති පරිදිිඒකාධිපතිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට’ නම් වූ මෙම රචනය, ඒකාධිපති පාලනතන්ත්‍රයන්ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගල කරන දේශපාලන ව්‍යාපාරවල අත්පොතක් වැන්න. එම රචනයේ ඇති විශේෂත්වය නම්, එය හුදෙක් දේශපාලන ක්‍රියාකාරිකයන්ගේ උපදේශ ග්‍රන්ථයක්ම නොව, ඒකාධිපති පාලන තන්ත්‍රවල ස්වභාවය හා ගතිලක්ෂණ, ඒවා බලයේ සිටීමට අනුගමනය කරන මූලෝපාය සහ උපක්‍රම, ඒකාධිපති පාලන තන්ත්‍රවලට එරෙහිව දියත් කෙරුණු ලෝකයේ විවිධ අරගල වල ශක්තීන්, සීමා සහ අත්දැකීම් යන මේවා පිළිබඳව ආධිපත්‍ය විරෝධී දේශපාලන ව්‍යාපාරවල දෘෂ්ටිකෝණයෙන් කෙරෙන විචාරාත්මක සමාලෝචනයන්ද වීමයි. මහාචාර්ය ශාප්ගේ විවරණය, මහජන දේශපාලන ව්‍යාපාර රොමෑන්තික කිරීමේ උත්සාහයක් නොවන්නේ එබැවිනි. ඔහුගේ උත්සාහය ඒකාධිපති පාලනවලට මුහුණදීමත්, ඒවාට එරෙහිව සාමකාමීව සහ නිර්ප්‍රචණ්ඩ කරන මහජන අරගලවල සාර්ථකත්වයේ මෙන්ම පසුබෑම්වලද ඉඩකඩ පිළිබඳව කෙරෙන යථාර්ථවාදී විග්‍රහයකි.

ඒකාධිපති විරෝධී මහජන අරගල ගණනාවක අත්දැකීම්ද ඉන් ලබාගත හැකි පාඩම්ද සමාලෝචනය කරමින්, එම මහජන ව්‍යාපාර වෙත ඉදිරිපත් වූ බුද්ධිමය මගපෙන්වීමක් වූ මෙම රචනය, ලෝකයේ බොහෝ ජනතා ව්‍යාපාරවල ක්‍රියාකාරකයන් විසින් පරිශීලනය කරනු ලැබ ඇත්තකි. එය භාෂා බොහෝ ගණනකට පරිවර්තනය කර තිබෙන්නේද ඒ නිසාය. මෙවැනි වැදගත් කෘතියක් සිංහල පාඨකයාට ලියාදීමට හර්ෂ ගුණසේන මහතා ඉදිරිපත් වී ඇත්තේ, ලංකාවේ දේශපාලනයේද ඒකාධිපතිවාදී පරිවර්තනයකට අවකාශය විවෘත වී ඇති පසුබිමකය. ඒ ලංකාවේ නිදහසින් පසු දේශපාලන ඉතිහාසයේ දශක හතක කාලය තුළ, ඒකාධිපති පාලනතන්ත්‍රයක් බිහි නොවී තිබීම, අප රටේ දේශපාලන ඉරණමේ ඇති අසමසම විශේෂත්වයකි. එම තත්ත්වය ඉදිරි කාලයේද වෙනස් නොවී පවතිනු ඇත යන්න අප හැම දෙනාගේම අපේක්ෂාව විය යුතුය. මහාචාර්ය ජිනී ශාප්ගේ කෘතිය සිංහල භාෂාවෙන් කියවීමෙන් ලබාගන්නා දේශපාලන අනුප්‍රාණය, අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා නිරන්තරව සිදුවෙන අවිහිංසාවාදී සහ සාමකාමී මහජන අරගල ප්‍රාණවත් කිරීමට දායක වනු ඇත යන්න අප හැමගේ ප්‍රාර්ථනය විය යුතුය.

Published in Samabima Sunday suppliment on November 29,2019

No comments:

Post a Comment