දේශපාලනඥයකු වන අතුරලියේ රතන සහ දේශපාලන ක්‍රියාකාරිකයකු වන ගලගොඩ අත්තේ ඥානසාර යන බෞද්ධ භික්ෂුන්ගේ වර්ගවාදී ස්ථාවරයට එරෙහිව සියළුම මුස්ලිම් ඇමතිවරු සිය තනතුරු වලින් ඉල්ලා අස්වූහ. එයට ප්‍රථම මුස්ලිම් ආණ්ඩුකාරවරු වන අසාත් සාලි සහ මොහමඩ් හිස්බුල්ලා ද ඉල්ලා අස්වූහ.
පළමුවෙන්ම කිවයුත්තේ මේ භික්ෂූන් ක්‍රියා කර ඇත්තේ බුදු දහමට එරෙහිව බවයි. මක්නිසාද යත් වෛරය ජනතාව අතර පතුරා ඔවුන් භේද භින්න කරවන වර්ගවාදය බුදුදහමේ මූලික හරයට එල්ල කරන ප්‍රහාරයක් බැවිනි.
පාස්කු ඉරිදා සිද්ධිය සිදුවූ අවස්ථාවේදී ජාතිවාදී කලබල ඇතිවීමට වැඩි විභවයක් ඇතැයි විචාර බුද්ධියක් ඇති සියළු දෙනාගේම අදහස විය. මූලික අවස්ථාවේදී කාදිනල් තුමාගේ මැදහත් වීමෙන් තත්ත්වය සමනය වූ නමුත් පසුව තත්ත්වය පාලනය කරගත නොහැකි මට්ටමට පත්විය. මෙයට ප්‍රධාන හේතුවක් වූයේ දේශපාලන බලපෑම් බවට ද චෝදනා එල්ලවී තිබේ. කාදිනල් තුමාගේ මැදහත් වීම ප්‍රථමයෙන් ජාතික ස්ථාවරයක් ගත නමුත් දෙවනුව එය දේශපාලන ස්ථාවරයකට පසු බසින බව පෙනෙන්නට තිබුණි.
පාස්කු ඉරිදා ප්‍රහාරයන්හි වගකීම ඇත්තේ කවරකුටද යන ප්‍රශ්නයට පිළිතුර ජනතාවට ඒත්තු ගැන්වීමේ උත්සාහය හරහා ආණ්ඩුව කරණ දෙපාර්ශ්වය අතර පවතින ද්වන්දව සටන තීව්‍ර අවස්ථාවකට පත්ව තිබේ. එක් අතකින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක සාක්ෂි විමසනු ලැබේ. අනෙක් අතින් රතන භික්ෂුව ගේ සත්‍යග්‍රහය ආරම්භ විය. මේ කටයුතු දෙකම ප්‍රජාතන්ත්‍රවාදී වුවත් දෙවන කටයුත්ත මගින් එක්තරා දුරකට සමනය වෙමින් තිබුණු ජන වාර්ගික ආතතිය උත්සන්න විය. රතන සහ ඥානසාර යන භික්ෂුන් සහ ඔවුන්ට අනුග්‍රහය දැක්වූ අනෙකුත් ප්‍රධාන පෙලේ අය අදාල ආණ්ඩුකාර වරුන් සහ ඇමතිවරයාට විරුද්ධව ඇති පරීක්ෂණ සිදු කිරීමට ඉඩකඩ සැලසීම සඳහා ඔවුන්ට ඉල්ලා අස්වන ලෙස බලකරන අතරතුරේ.සාමාන්‍ය මුස්ලිම් ජනතාවට හිරිහැර නොකරන ලෙසත් ප්‍රශ්නය ඇත්තේ ඔවුන් සමඟ නොවන බවත් මුස්ලිම් කඩ වර්ජනය කිරීමෙන් ප්‍රශ්නය නොවිසඳෙන බවත් පැහැදිලිව කියා සිටියේ නම් ඔවුන්ගේ ක්‍රියාව ජාතිවාදී මුහුණුවරක් නොගනු ඇත. ඔවුන්ගේ ක්‍රියාවට රටපුරා සහයෝගයක් පැන නැංගේ එම ක්‍රියාව තුළ ජාතිවාදී විෂ බිජ තිබුණ බැවිනි.
එනමුත් ඥානසාර භික්ෂුව පසුව ප්‍රකාශයක් කරමින් රතන භික්ෂුව ගේ ක්‍රියාව මගින් මෙරට සාමාන්‍ය මුස්ලිම් ජනතාව අන්තවාදය කරා තල්ලු කළ බවත් සිංහල ජනතාවටත් වඩා මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියා හෙළිදරවු කිරීමට සහාය දුන්නේ මුස්ලිම් ජනතාව බවත් ප්‍රකාශ කළේය. මොවුන්ගේ ස්ථාවර විවිධ අවස්ථා වලදී වෙනස් වන්නේද එසේ නැතහොත් මේවා වාර්තා කරණ සිය එදිනෙදා වියදම පියවා ගැනීම සඳහා ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව පුවත් විකුණන වෙළෙන්දන් (මොවුන් මාධ්‍ය වේදීන් ලෙසද සමහරුන් විසින් හඳුන්වනු ලැබේ.) විසින් තමන්ට අවශ්‍ය කාරනා ඉස්මතු කලාද යන්න විමසා බැලිය යුතුය.
කෙසේ වෙතත් මෙම ක්‍රියාවට මුස්ලිම් ඇමතිවරුන් විසින් විශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදී පිළිතුරක් දී තිබේ. එම පිළිතුරේ හරය නම් දෙපිරිසක් කඹ ඇදිල්ලක නිරත වන විට එක් පාර්ශවයක් කඹය අතහැරීම හා සමානය. ජීවිතය අරභයා බුදුන් විසින් දී ඇති පිළිතුරත් මේ හා සමාන බව ජාතිවාදී උද්ඝෝෂණ වල නිරතව සිටින බෞද්ධයන්ගේත් බෞද්ධ භික්ෂුන්ගේත් අවධානය පිණිස සඳහන් කරමි. ජාතිවාදියකු හෝ කුලවාදියකු හෝ බෞද්ධයකු හෝ ඉන්ද්‍රජාලිකයකු හෝ නොවුන උත්තර මනුෂ්‍යයකු පමණක්ම වුන බුදුන් ගේ නිර්දේශය වන අතහැරීම මුස්ලිම් ඇමතිවරුන් විසින් සිදුකිරීම නිසා රතන භික්ෂුව ගේද ඔහු පසුපසින් සිටගත් දේශපාලන බත් බැලයන්ගේද සුක්ෂ්ම ලෙස කුප්පනු ලැබූ ජාතිවාදීන්ගේ ගේද ප්‍රශ්චාත් භාගය හෙවත් පස්ස බිම ඇනී තිබේ. ඥානසාර භික්ෂුව සිය ස්ථාවරය වෙනස් කිරීම නිසා සිය ප්‍රශ්චාත් භාගය බිම ඇනිමේ වේදනාව අඩු කර ගෙන ඇත.
මුස්ලිම් මන්ත්‍රීවරුන්ට කිරීමට තවත් එක් ප්‍රජාතන්ත්‍රවාදී පියවරක් ඉතිරිව තිබේ. ඥානසාර භික්ෂුව දින වකවානු සඳහන් කර අදාල පුද්ගලයන් එදිනට පෙර ඉල්ලා අස් නොවුන හොත් රට පුරා සැණකෙළි පවත්වන බවට ප්‍රකාශයක් කළේය. ඔහු සිය ස්ථාවරය පසුව වෙනස් කිරීම පැසසිය යුතුය. එනමුත් ඔහුගේ අබසරණයි ප්‍රකාශය මෙන්ම එය ජාතිවාදය අවුස්සන සුළු ප්‍රකෝප කාරී එකකි. ඒ අවස්ථාවේදී ඔහු අවට රැස්ව සිටි නීචයන් පිරිසක් එයට සාදුකාර දුන් බවද සිහියේ රඳවා ගත යුතුය. අදාල මුස්ලිම් ඇමතිවරුන්ට සහ ආණ්ඩුකාරවරුන් ට එරෙහි චෝදනා යම් සාධාරණ දිනකට පෙර විභාග කර අවසන් නොකරන්නේ නම් පාර්ලිමේන්තුව නියෝජනය කරණ සියළුම මුස්ලිම් මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වන බව ඔවුන්ට කියා සිටිය හැක.
එසේ ඉල්ලා අස් වන්නේ නම් අදාල දේශපාලන පක්ෂ වලට ඔවුන්ගේ ලැයිස්තුවේ ඊළඟට සිටින මුස්ලිම් නොවන පුද්ගලයන් මන්ත්‍රීවරුන් ලෙස නම් කළ හැක. එක් මන්ත්‍රීවරයකු හැර මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රීවරුන් පත්ව ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙනි. ජාතිවාදයෙන් අන්ධකරනු ලැබූ සහ කිසිම පිළිගත් ආගමික සහ දේශපාලන නායකයකු විසින් ජාතිවාදයේ නපුර පෙන්වා දෙනු නොලැබූ බහුතර සිංහල ජනතාව සිය මනෝ භ්රාන්තියෙන් මිදෙනු ඇත්තේ මෙවැනි පියවර මගින් පමණි.
එමෙන්ම මුස්ලිම් ජන වර්ගය සංස්කෘතික වශයෙන් මෙරට පොදු සංස්කෘතියෙන් ඈත් වෙමින් පවතින තත්ත්වයට පිළියම වන්නේ ඔවුන් සමඟ ඒ පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීමයි. ඔවුන්ට පහර දීම මගින් ඔවුන් අන්තවාදය වෙත තල්ලු කිරීම නොවේ. වර්ජන කාරී තත්ත්වයක් තුළ කර්මාන්ත ශාලාවක් පාලනය කර ඇති කළමනාකරුවකු මෙය හොඳින් වටහා ගනු ඇත. අපගේ ජාතික නායකයන් හෝ ආගමික නායකයන් හෝ ඔවුන් දැන සිටින මේ සරල සත්‍යය ජනතාවට එක එල්ලේ ප්‍රකාශ කිරීමට මැලි වන්නේ හෙවත් වැල යන අතට මැස්ස ගසන්නේ ජාතියේ අභාග්‍යය නිසාය.
published in colombo telegraph on 7/6/2019)
No comments:
Post a Comment