අද ජාත්‍යන්තර දේශපාලන ක‍්‍රියාකාරකම් අවබෝධ කර ගැනීම තරමක් අපහසු කාර්යයකි. දේශපාලන කුහකකම්, සැ`ගවුණු න්‍යායපත‍්‍ර සහ ද්විත්ව ප‍්‍රමිතීන් ජාත්‍යන්තර සබඳතා තුළ තිබෙන බව බොහෝ දෙනා කියති. රාජ්‍යයන්ගේ ප‍්‍රාථමික අවශ්‍යතා සලකා බැලීමට හැකිනම් සංකීර්ණ ජාත්‍යන්තර සබඳතා වටහා ගත හැක. ප‍්‍රාථමික අවශ්‍යතා යනු කුමක්ද? ප‍්‍රාථමික අවශ්‍යතා යනු ආත්මාරක්ෂාව සහ ආත්මාර්ථයයි.
ඕනෑම සුපිරි බලවතකුගේ විදේශ ප‍්‍රතිපත්තිය සැකසෙන්නේ පළමුව එරට ආරක්ෂක උපායමාර්ග සහ දෙවනුව එරට වෙළෙඳ අවශ්‍යතා සලකාගෙනය. ආරක්ෂක උපායමාර්ග නීති සහ රෙගුලාසි මත පදනම් නොවේ. එයට හේතු වන්නේ සත්‍ය හෝ මනඃකල්පිත බිය වන අතර එය කෙසේ හෝ ආත්මාරක්ෂාව සලසා ගැනීම අරමුණු කරගෙන ඇත.
යුක්රේනයේ සිදුවූයේ කුමක්ද? යුක්රේනියන් කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රථම ලේකම්වරයාව සිටි නිකිතා කෘෂෙව් සෝවියට් නායකයාව සිටි අවධියේ රුසියාවට අනුබද්ධව තිබූ ක‍්‍රිමියාව යුක්රේනයට භාර දෙන ලදී. සෝවියට් දේශය බිඳී ගිය පසු 1991 දී යුක්රේනය ස්වාධීන රාජ්‍යයක් විය. සෝවියට් දේශය සතුව තිබූ පරමාණු අවි බොහොමයක් යුක්රේනයේ ගබඩා කොට තිබූ අතර 1994 දී රුසියාව, බි‍්‍රතාන්‍යය, ඇමෙරිකාව සහ යුක්රේනය අත්සන් කළ යුරේනයේ ආරක්ෂාව සහතික කිරීම පිළිබඳ බුඩාපෙස්ට් ලියැවිල්ල මගින් රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය නොකරන බවට වූ සහතිකය මත මෙම අවි රුසියාවට භාර දෙන ලදී. පසුව ප‍්‍රංශය සහ චීනය ද මෙම ලියැවිල්ලට අත්සන් කරන ලදී. වික්ටර් යනුකොවිච් 2004 දී ජනාධිපති වූ අතර පසුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ වංචා මත මැතිවරණය අවලංගු කිරීමෙන් පසුව වික්ටර් යුෂ්චෙන්කෝ ජනාධිපති වූ අතර යුලියා ටිමොෂේන්කෝ අගමැති වූවාය. වික්ටර් යනුකොවිච් 2010 දී නැවතත් ජනාධිපති විය. 2013 නොවැම්බර් මාසයේදී ප‍්‍රධාන වශයෙන් යුරෝපා සංගමය යුක්රේනය සමග ඇතිකර ගැනීමට ගිය ගිවිසුමක් රුසියාවට හිතැති ජනාධිපතිවරයා විසින් අත්හිටවීමට විරුද්ධව සහ සාමාන්‍ය වශයෙන් ජනාධිපතිවරයා යටතේ වන රාජ්‍ය දූෂණය, බලය අයථා ලෙස පරිහරණය කිරීම සහ මානව හිමිකම් කඩ කිරීමට විරුද්ධව මහා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඇතිවිය.
ඇමෙරිකා එක්සත් ජනපදය විරෝධතා ව්‍යාපාරයට මැදිහත් වූ අතර යුක්රේනයේ ප‍්‍රජාතාන්ත‍්‍රික ආයතන ගොඩනැගීම වෙනුවෙන් ඇමෙරිකාව ඩොලර් බිලියන පහක් වියදම් කළ බව වාර්තා විය. එක්සත් ජනපද සහය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නියුලන්ඞ් සහ යුක්රේනයේ ඇමෙරිකන් තානාපති ජෙෆ්රි පියට් අතර වූ, පසුව ජනමාධ්‍යයට අනාවරණය වූ දුරකථන සාකච්ඡුාවකදී ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමෙන් පසුව විපක්ෂ නායකයකු වූ විටලි ක්ලිට්ශේකෝ වෙනුවට තවත් විපක්ෂ නායකයකු වූ ආසෙනි යැට්සෙන්යුක් බලයට පත් කිරීමට නියුලන්ඞ්ට අවශ්‍ය වූ අතර දැනට අන්තර්වාර අගමැති වශයෙන් කටයුතු කරන්නේද යැට්සෙන්යුක් ය. නියුලන්ඞ් විසින් මෙම සාකච්ඡාවේදී යුරෝපා සංගමයට එරෙහිව අසභ්‍ය වචන පාවිච්චි කරන ලදී.
ක‍්‍රිමියන් ජනතාව ප‍්‍රධාන වශයෙන් රුසියානුවෝ වෙති. ක‍්‍රිමියාව යුක්රේනය තුළ වෙනම පාර්ලිමේන්තුවක් සහිත සීමිත නිදහසක් ඇති රටක් වන අතර යුක්රේන් නීතියට යටත්ය. ක‍්‍රිමියාවේ සිටින රුසියානුවන්ගේ ආරක්ෂාව මූලික කර ගනිමින් රුසියාව විසින් සිය හමුදා ක‍්‍රිමියාවට එවූ අතර ක‍්‍රිමියානුවන් රුසියාවට එකතු වීමට කැමති දැයි විමසමින් ජනමත විචාරණයක් පවත්වන ලදී. ක‍්‍රිමියානුවන් විසින් 2014 මාර්තු 16 වනදා 95% කට වැඩි ඡන්ද ප‍්‍රමාණයක් මගින් තමන් රුසියාවට එකතුවීමට කැමති බව ප‍්‍රකාශ කරන ලදී.
යුක්රේන අර්බුදයට අදාළ කරුණු සැකෙවින් ඉහත සඳහන් කළ අතර යුක්රේන අර්බුදය විග‍්‍රහ කරන විට අයෙකුට ඇමෙරිකාව වැරදි යැයි කිව හැක. තවත් අයෙකුට රුසියාව වැරදි යැයි කිව හැකිය. සත්‍ය වශයෙන්ම දෙපාර්ශවයම වැරදි වේ. ඇමෙරිකාව විසින් තමන් කැමති අයකු රුසියාවට යාබදව ඇති යුක්රේනයේ බලයට පත් කිරීමට එරට තුළ පැවති සිවිල් අරගලය උපයෝගී කර ගන්නා ලද අතර රුසියාව විසින් අන්තර්ජාතික නීතිවලට සහ 1994 බුඩාපෙස්ට් සම්මුතියට පටහැනිව ක‍්‍රිමියාව ආක‍්‍රමණය කරන ලදී. ඇමෙරිකාව සහ රුසියාව විසින් සිය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කටයුතු කරන ලද්දේ යුක්රේනියානු ජනතාවගේ ස්වාධිපත්‍යය කැප කරමිනි. ඇමෙරිකාව කටයුතු කර ඇත්තේ ඔවුන් කියන ලෙස නොවන අතර ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට අදාළව රුසියාවේ ක‍්‍රියාකාරීත්වය සහ ක‍්‍රිමියාවේ ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය මගින් රුසියාවේ දේශපාලන කුහකකම පෙන්නුම් කෙරේ. ක‍්‍රිමියානුවන්ට තමන්ට අවශ්‍ය දෙය ලැබී ඇත. යුක්රේනයට බොහෝවිට සදහටම ක‍්‍රිමියාව අහිමිවී ඇත. සිවිල් අරගලය සමග අමෙරිකාවේද සහයෝගය ඇතුව යැට්සෙන්යුක් බලයට පත්වී ඇත. යුක්රේන ජාතිකයන්ගේ දේශපාලන අභිලාෂයන්ට සිදුව ඇත්තේ කුමක්ද? අද දවසේ දේශපාලනයේදී රටක ජනතාවගේ දේශපාලන අභිලාෂයන් එරට නායකයන්ගේ දේශපාලන අභිලාෂයන්ට වෙනස්ව සලකා බැලිය යුතු වන්නේ බොහෝවිට නායකයන් තමන්ගේ පුද්ගලික දේශපාලන අභිලාෂයන් රටේ දේශපාලන අභිලාෂයන්ට වඩා ඉදිරියෙන් තබන බැවිනි.
වර්ෂ 2004 දී මැතිවරණ වංචා කළ දූෂිත එ්කාධිපති එමෙන්ම තම දේශපාලන ප‍්‍රතිවාදිනිය සිරගත කළ මානව හිමිකම් උල්ලංඝනය කරන්නකු සිය ජනාධිපති ලෙස යුක්රේනයට ලැබී තිබුණි. ඔහු රුසියානු හිතවාදියකු වූ නිසා රුසියාවට ඔහු තබා ගැනීමට අවශ්‍ය විය. එබැවින් ඇමෙරිකාවට ඔහු ඉවත් කිරීමට අවශ්‍ය විය. විශේෂයෙන්ම බලගතු රටවලට යාබදව තිබෙන කුඩා රාජ්‍යයන්ගේ අභ්‍යන්තර අරගලවලට ජාත්‍යන්තර බල අරගලය සම්බන්ධ වූ විට සිදු වන්නේ මෙයයි.
මෙයට සාපේක්ෂව ශ‍්‍රී ලංකාවේ තත්ත්වය විමසා බලමු.
ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ උපාය මාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පරමාණු බලවතකු වූ වැඩි ආර්ථික වර්ධනයක් සහිත එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය බලාපොරොත්තු වන ඉන්දියාවට සමීපව පිහිටා ඇත. එයට අමතරව ඉන්දීය ප‍්‍රාන්ත රාජ්‍යයක් වූ මිලියන 72 ක ජනගහණයක් සහිත තමිල්නාඩුව ශ‍්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන්ගේ දේශපාලන අභිලාෂයන් ගැන දැඩි සැලකිල්ලක් දක්වයි. ජයවර්ධන ජනාධිපතිවරයාගේ යුගයේදී තමිල්නාඩුවේ ප‍්‍රධාන ඇමතිවරයා මෙරට ජනවර්ග ප‍්‍රශ්නයේ ප‍්‍රධාන කාර්යභාරයක් ඉටුකළ අතර රජීව් ගාන්ධි ඝාතනයෙන් පසුව මෙම තත්ත්වය කණපිට හැරුණි.
එබැවින් ඉන්දියානු දේශපාලන අවශ්‍යතාවයන් සහ තමිල්නාඩුවේ උද්වේගයන් ද එයට අමතරව සිය භූගෝලීය පිහිටීම නිසා සුපිරි බලවතුන්ගේ අවශ්‍යතාවයන්ද තුලනය කිරීමට ද ශ‍්‍රී ලංකාවට සිදුවේ. ජයවර්ධන යුගයේ සිට මෙරට සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් නිසා බටහිරින් බලාපොරොත්තු වූ යුද්ධ ආධාර නොලැබුණි. කුමාරතුංග යුගයේ කදිර්ගාමර් විදේශ ඇමති ලෙස කටයුතු කරන විට මෙම තත්ත්වය වෙනස් වුණි. වර්තමානයේ ලංකාව පළමුව ඉන්දියානු බලපෑම් තුලනය කිරීම සඳහා ද දෙවනුව යුද්ධයෙන් පසුව එන බටහිර බලපෑම් තුලනය කිරීම සඳහා ද චීනයට වඩාත් බර තබා ක‍්‍රියා කරන පිළිවෙතක් අනුගමනය කරයි. සිරිමාවෝ බණ්ඩාරනායක විසින් අනුගමනය කරන ලද නොබැඳි ප‍්‍රතිපත්තිය මෙය නොවන බව අවධාරණය කළ යුතුය. එයට ප‍්‍රතිවිරුද්ධව මෙය ප‍්‍රතිපත්තීන් මත නොව අමුවෙන්ම කේවල් කිරීම මත පදනම් වූ දඩබ්බර ක‍්‍රියා පටිපාටියකි. මෙම ක‍්‍රියාපටිපාටිය කොතෙක් දඩබ්බරදැයි ඉන්දියාව ජිනීවා යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටීමට ප‍්‍රත්‍යුපකාර වශයෙන් ජනාධිපතිවරයා විසින් මෙරට මුහුදු සීමාවේ මසුන් මරමින් සිට අත්අඩංගුවට ගත් ධීවරයන් සැණෙකින් නිදහස් කිරීමෙන් පෙනේ. කලකට පෙර ඉන්දියාවේ බුරුම ප‍්‍රතිපත්තිය නිසා බුරුමය චීනය මත රඳා පැවතුණු බැවින් ඉන්දියාව ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ පරෙස්සමිනි. යුක්රේනයේ සිදුවූ දෙයද සැලකිල්ලට ගනිමින් බටහිර රාජ්‍යයන් වඩාත් ආක‍්‍රමණික ලෙස හැසිරෙනු ඇතැයි බලාපොරොත්තු විය හැක. ඉන්දියාව දැනට එකතු වී සිටින්නේ බටහිර සමග බවත් ජයවර්ධන යුගයේ මෙන් රුසියාව සමග නොවන බවත් අප මතක තබා ගත යුතුය.
ඕනෑම රටක් තවත් රටකට උදව් කරන්නේ ස්වාර්ථය උදෙසාය. එරටට ඇති අනුකම්පාවකට නොවේ. චීනයේ ලංකා ප‍්‍රතිපත්තිය අප විසින් පරිස්සමින් සලකා බැලිය යුත්තේ ඔවුන් බුරුමයේ සහ සුඩානයේ අනුගමනය කළ ප‍්‍රතිපත්තීන් නිසාය. බුරුමය චීනයේ අධිකාරිත්වය සහ මානව හිමිකම් උදෙසා වූ අන්තර්ජාතික බලපෑම හේතුවෙන් චීනය මත බර නොතබන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරයි. චීනය විසින් ඉතා තීරණාත්මක අවස්ථාවකදී සුඩානය අත්හැර දමනු ලැබූ අතර පසුව ජාත්‍යන්තර ප‍්‍රජාවගේද අනුමැතිය ඇතිව එරට දෙකඩ කරනු ලැබිණ.
ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් ද මතුකරන ලද දේශීය ප‍්‍රශ්නයක් අප හමුවේ තිබේ. ජාත්‍යන්තර ප‍්‍රජාව මෙරට පාලකයන්ට කියා සිටින්නේ මෙරට වැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය නොකරන ලෙසත් වාර්ගික සහ ආගමික සුළුතර කොටස්වලට අසමාන ලෙස නොසලකන ලෙසත්ය. ලංකාව විසින් අත්සන් කර ඇති ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව මෙය ඉතාමත් සාධාරණ ඉල්ලීමකි. එයට අමතරව යුද්ධයේ අවසන් අදියරේදී සිදු වූ ක‍්‍රියා පිළිබඳව විශ්වාසනීය විමර්ශනයක් ඔවුහු බලාපොරොත්තු වෙති. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇතුළු නොයෙකුත් විදෙස් නායකයන් සමග ඇතිකරගත් එකගතා මත ද ජාත්‍යන්තර නිර්ණායක මත ද මෙය සාධාරණ ඉල්ලීමක් වේ. සිංහල වීරයන් වූ සිය සේනාවේ ද සතුරු සේනාවේ ද සෙබළුන්ගේ ජීවිත විනාශය වළකනු සඳහා සිය ප‍්‍රතිවාදියා සමග ද්වන්ධ යුද්ධයකින් සටනේ තීරණය දැකීමට යෝජනා කළ දුටුගැමුණු ද බි‍්‍රතාන්‍යයන්ට එරෙහි වීමට තීරණය කළ පසු තමන් සන්තකයේ තිබූ බි‍්‍රතාන්‍යයන්ට අයිති ආයුධ ආපසු යැවීමට කටයුතු කළ කැප්පෙටිපොළ ද ගත් ක‍්‍රියාමාර්ග අනුව ද මෙය සාධාරණ ඉල්ලීමකි. නිරායුධ දෙමළ වැසියන් මරා දැමීම, එවැනි දෙයක් සිදුවූවානම්, අප අනුමත කරන්නේ කෙසේද? එය එසේ නොවූවා නම් හමුදාවේ සහ රාජ්‍යයේ කිර්තිනාමය ප‍්‍රතිෂ්ඨාපනය කළ යුතුය.
රාජ්‍යය කරමින් සිටින්නේ කුමක්ද? ඔවුන්ට මෙම ප‍්‍රශ්නය සදහටම විසඳීමේ අවශ්‍යතාවක් නොමැත. එනමුත් සදහටම බලයේ රැඳී සිටීමේ අවශ්‍යතාවක් ඔවුන්ට ඇත. එබැවින් වර්ගවාදී සහ ආගම්වාදී සිංහලයන්ගේ එම හැගීීම් ජිනීවා යෝජනාව ගෙන ආ බටහිර රාජ්‍යයන්ට එරෙහිව අවුළුවමින් ද සුළු ජාතිකයන්ගේ සාධාරණ ඉල්ලීම් බෙදුම්වාදය ලෙස අර්ථ දක්වමින් ද සමස්ත දේශය මුහුණදෙන අභාග්‍යය ඉදිරියේ සිය පැවැත්ම තහවුරු කර ගැනීමට පාලකයෝ සමත් වී සිටිති. බලයේ සිටීම සඳහා වන මෙම උපායමාර්ගය අනුව පහසුවෙන් විසඳා ගත හැකි දේශීය ප‍්‍රශ්නයක් සියුම් ජාත්‍යන්තර බල අරගලය සමග ඉතාමත් අන්තරායදායක ලෙස බද්ධ කිරීමට පාලකයෝ කටයුතු කරති. යුක්රේනයේ සිදුවූ දේ සමග සසඳා බලන විට රටට මේ නිසා දීර්ඝකාලීන ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇත.
එබැවින් මෙරට මහජනතාව කුමක් කළ යුතුද? බටහිරට අවලාද නැගීම කිසිසේත්ම ප‍්‍රතිඵලදායී නොවන බව ඔවුන් විසින් වටහා ගත යුතුය. දේශපාලන කුහකකම්, සැගවුණු න්‍යාය පත‍්‍ර සහ ද්විත්ව ප‍්‍රමිතීන් ජාත්‍යන්තර සබඳතා තුළ තිබේ. ලංකා රාජ්‍යයද ක‍්‍රියා කරන්නේ එලෙසය. තමන්ගේ ප‍්‍රශ්නයට අන් අයෙකුට අවලාද නැගීම මගින් තමන් විසින් ප‍්‍රශ්නය තමන්ගේ ග‍්‍රහණයෙන් මුදා හරින අතර එමගින් එයට විසඳුමක් දීමට තමන්ට ඇති හැකියාවද තමන් විසින් අවම කරගනු ලැබේ. ජාතික තලයේදී මෙවැනි ක‍්‍රියා නොකළ යුතු අතර තමන්ගේ ප‍්‍රශ්නය තමන් විසින් නොවිසඳීම මගින් විදෙස් බලවේගවලට මෙරට ප‍්‍රශ්නවලට මැදහත් වීමට රාජ්‍යය විසින්ම මාර්ගය සලසා දෙනු ලැබේ. පාලකයන් තමන්ගේ උපාය සාර්ථක ලෙස ක‍්‍රියාවට නංවා ඇත. මහජනතාවද එම උගුලේ අසුවී ඇති බව පෙනේ.
Published in Samabima on 9th June 2014
No comments:
Post a Comment