Friday, November 10, 2023

බංකොලොත් රටක අයවැය, වැඩි පඩි සහ අර්බුද

හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

වර්ෂ 2024 අයවැය ලේඛනය මෙම මස 13 වන දින ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ආණ්ඩුව සිය ආදායම් ඉලක්ක සම්පුර්ණ නොවූ බව පවසමින් ලබන ජනවාරි පළමුවනදා සිට VAT බද්ද  15% සිට 18% දක්වා ඉහල නංවන බව ප්‍රකාශයට පත් කර තිබේ. එමෙන්ම සිනි සඳහා වන තීරු බද්ද නොවැම්බර් 2 වනදා සිට ශත 25 සිට රු. 50 දක්වා වැඩිකර තිබේ. රාජ්‍ය අංශයේ සේවකයන්ද රු. 20,000 ක වැටුප් වැඩිවීමක් ඉල්ලා ඇති අතර ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ට යම් වැටුප් වැඩිවීමක් අයවැයෙන් කරන බව ප්‍රකාශ කර තිබේ.

ආණ්ඩුව ජාත්‍යන්තර මූූල්‍ය අරමුදල (IMF) සමඟ එකඟ වූ කොන්දේසි ඉටු නොකළ බව පවසමින් IMF දෙවන වාරිකය ගෙවීම පමාකර තිබේ. මෙම ඉටු නොකළ කොන්දේසි අතරට විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය පිලිබඳ ණය හිමියන් සමඟ එකඟතාවක්  ඇතිකර ගැනීම පමාවිමද ඇතුලත්ය.

වර්ෂ 2024 විසර්ජන පනත හරහා ආණ්ඩුවේ වියදම් ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ආණ්ඩුවේ පුනරාවර්තන වියදම් රු. බිලියන 2,720කි. එය 2023 පුනරාවර්තන වියදම් රු. බිලියන 2,445 ට සාපේක්ෂව 11% ක වැඩිවීමකි. පොලී ගෙවීම් රු. බිලියන 2634කි. එය 2023 ට සාපේක්ෂව 20% ක වැඩිවීමකි. ප්‍රාග්ධන වියදම් රු.බිලියන 1,209 කි. එය 2023ට සාපේක්ෂව 1% ක අඩුවීමකි. මෙහි එකතුව 2024දී රු. බිලියන 6,563 කි. එය 2023 අයවැය ඇස්තමේන්තු වලට සාපේක්ෂව 12% ක වැඩිවීමකි. වර්ෂ 2022 සමස්ත වියදම වන රු. බිලියන 4,473ට සාපේක්ෂව  46% ක වැඩිවීමකි. (publicfinance.lk) මෙහි විශාල සංඝටකයක් වන පොලී ගෙවීම් වර්ෂ 2022 දී රු, බිලියන 1,565කි. වර්ෂ 2023 දී රු. බිලියන 2,189කි. වර්ෂ 2024දී රු. බිලියන 2,634කි. 

එමෙන්ම ඉදිරි වසරේ සැප්තැම්බර් මාසයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. එය පවත්වන බව ද ඉන් පසුව මහා මැතිවරණය පවත්වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ පරිදි ප්‍රාථමික ගිණුමේ ශේෂය එනම් ආණ්ඩුවේ මුළු ආදායමෙන් පොලී ගෙවීම් හැර ඉතිරි පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් වර්ෂ 2023 දී දල දේශීය නිෂ්පාදිතයෙන් 0.7% ක හිඟයක් විය යුතු අතර 2024දී එම අනුපාතය  0.8% ක අතිරික්තයක් විය යුතුය. වර්ෂ 2025 දී සහ ඉන් පසුව මෙම අනුපාතය 2.3% ක අතිරික්තයක් විය යුතුය. හිඟයක් ව තිබුන ප්‍රාථමික ගිණුමේ ශේෂය අතිරික්තයක් බවට පත් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයටයි.  

මුදල් අමාත්‍යංශයේ වර්ෂ 2023 සඳහා අර්ධ වාර්ෂික වාර්තාව අනුව 2023 ජනවාරි සිට අප්‍රේල් දක්වා ආණ්ඩුවේ මුළු ආදායම රු. බිලියන 820 කි. පොලී හැර මුළු වියදම රු. බිලියන 826කි. මේ අනුව අදාල කාලය  සඳහා ප්‍රථමික ගිණුමේ රු. බිලියන 6ක හිඟයක් වාර්තාවේ. මෙම හිඟය වර්ෂ 2022 සඳහා රු. බිලියන 97 කි. 

එමෙන්ම publicfinance.lk වෙබ් අඩවියට අනුව  2023 මුල් අර්ධ වර්ධය සඳහා ප්‍රථමික ගිණුමේ රු. බිලියන 31 ක අතිරික්තයක් වාර්තාවේ. එනමුත් පොලී ගෙවීම් 2022 මුල් අර්ධ වර්ෂය සඳහා රු. බිලියන 658  වූ අතර 2023 මුල් අර්ධ වර්ෂය සඳහා රු. බිලියන 1273 කි. ඒ අනුව අයවැය හිඟය 2022 මුල් අර්ධ වර්ෂයේ රු. බිලියන  903 සිට 2023 මුල් අර්ධ වර්ෂය සඳහා රු. බිලියන 1243 දක්වා වැඩිවී ඇත.

මූල්‍ය සාක්ෂරතාව පැත්තෙන් බලන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධව කිසිම දෝෂයක් දැකිය නොහැකිය. අපේ රටේ දීර්ඝ කාලීනව පවතී අයවැය හිඟයක් සහ ආනයන සහ අපනයන පරතරයේ හිඟයක් හෙවත් වෙළෙඳ ශේෂයේ හිඟයක් පැවතුනි. මෙම හිඟයයන් පියවා ගනු ලැබුවේ දේශීය සහ විදේශීය ණය ගැනීම මගිනි. ආපසු ගෙවිය යුතු මෙම ණය රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අනුක්‍රමයෙන් වැඩි වෙමින් තිබුණි. මක්නිසාදයත් සෑම අවුරුද්දකම මෙම හිඟයයන් පැවතීමත් ඒ අනුව නැවත නැවතත් ණය ගැනීමට සිදුවීමත් සහ එම ණය බොහෝ විට ගනු ලැබුවේ පරිභෝජනය සඳහා වීමත්ය. එමෙන්ම ණය ලබා ගෙන කරනු ලැබූ ආයෝජනයන්ගේ ප්‍රතිලාභ වලින්  දළ ජාතික නිෂ්පාදිතයේ සැලකිය යුතු වර්ධනයක් සිදු  නොවූ නිසා දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රතිශතය අනුක්‍රමයෙන් ඉහල ගියේය.ආයෝජන හේතුවෙන් දළ ජාතික නිෂ්පාදිතය සැලකිය යුතු ලෙස ඉහළ නැංගේ ආයෝජනය කල වර්ෂයේ එම ආයෝජනය නිසාය.

එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ප්‍රතිව්‍යුහගතකරණය හෙවත් ණය කොටසක් කපා හැරීම සහ ආපසු ගෙවන කාලය දීර්ඝ කිරීමට යෝජනා කිරීම මගින් කෙරනු ලබන්නේ ඉතිරි ණය ආපසු ගෙවීමේ ශක්‍යතාවක් ඇති කිරීමයි. එමෙන්ම නැවත මෙම අමනොඥ  චක්‍රයට හසු නොවීම සඳහා ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීම සහතික කිරීමයි. එය දැනට කෙරෙමින් තිබේ.

වෙළෙඳ ශේෂයේ හිඟය නැති කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාව වන්නේ විදේශ විනිමය අනුපාතය මහා බැංකුව මගින් පාලනය කිරීම නවත්වන ලෙසයි. එවිට රුපියල අවප්‍රමාණය වී ආනයනික භාණ්ඩ වල මිල ඉහල ගොස් ඒවායේ ඉල්ලුම අඩුවීම මගින් වෙළෙඳ ශේෂය තුලනය වනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සහ ඔවුන් නිර්දේශ කර ඇති ක්‍රියා පිළිවෙල මගින් රටේ ආර්ථික වෘද්ධියක් ඇතිවී රට සමෘධිමත් වනු ඇතැයි යමකු බලාපොරොත්තු වන්නේ නම් එය මනස්ගාතයකි. මූල්‍ය අරමුදල විසින් සිදු කරනු ලබන්නේ රාජ්‍යය වැටී ඇති උගුලෙන් බේරා ගැනීමයි. රාජ්‍යය මූල්‍ය වශයෙන්  ස්ථාවර තත්ත්වයකට පත් කිරීමයි. ඔවුන්ගේ කාර්යය එයින් අවසන් වේ. එයින් පසුව රට සංවර්ධනය කල යුත්තේ අප විසිනි. රාජ්‍යය විසින් එයට මග පෙන්විය යුතුය.

අපනයන වර්ධනය කල යුත්තේ අප විසිනි. දේශීය ව්‍යාපාරිකයන් නංවාලිය යුත්තේ අප විසිනි. විදේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීමට රටේ නීතිමය පසුබිම ඉහල නංවා රාජ්‍යයේ අකාර්යක්ෂමතාවයන් නැති කල යුත්තේ අප විසිනි.

ලංකාවේ ප්‍රමාණයට වඩා විශාල රාජ්‍ය සේවයක් ඇති අතර එම රාජ්‍ය සේවකයන් බඳවාගෙන ඇත්තේ ඒ ඒ කාලවල බලයේ සිටි දේශපාලනඥයන්ගේ ඡන්ද පදනම ශක්තිමත් කර ගැනීම සඳහාය. පසුගිය කාලයේ පැවති අධික උද්ධමනය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වල මූර්ත අගය හෙවත් රටේ මිල මට්ටම අනුව වැටුපේ අගය පහල ගියේය. කල යුතු වන්නේ රාජ්‍ය සේවය අවශ්‍ය ප්‍රමාණයට සංකෝචනය කර ඉතිරි වන සේවකයන්ට සාධාරණ වැටුපක් ගෙවීමයි. මෙම ක්‍රියාව සිය ඡන්ද පදනමට බලපෑමක් විය හැකි නිසා ආණ්ඩුව කරමින් සිටින්නේ අලුතින් සේවකයන් බඳවා ගැනීම බරපතල ලෙස සීමා කිරීමයි.

රට තිබෙන තත්ත්වය අනුව රාජ්‍ය සේවකයන් ඉල්ලන වැටුප් වර්ධකය දීමට ආණ්ඩුවට හැකියාවක් නැත. එනමුත් ඉදිරියට එන්නේ මැතිවරණ වර්ෂයක් නිසා යම් ප්‍රමාණයක වැටුප් වර්ධකයක් දීමට ආණ්ඩුව එකඟ වනු ඇත. ජනාධිපතිවරයා කර ඇත්තේ එයයි. 

මෙය සමනය කර ගැනීමට සහ විශේෂයෙන් ආණ්ඩුවේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට VAT බද්ද වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. VAT බද්ද ඇති කල පසු සමහර භාණ්ඩ වලට 20%ක අනුපාතයට බදු අය කල අතර සමහර භාණ්ඩ වලට 10% ක අනුපාතයක් අදාල විය. ඉන්පසුව එක අනුපාතයක් ලෙස 15% හඳුන්වා දෙන ලදී. සමහර යුග වලදී එම අනුපාතය අඩුවූ අතර පසුගිය දශක දෙක තුල එය 15% වඩා  ඉහල ගොස් නොතිබුණි. 

මෙම තත්වය තුල ඉතා අපහසුවෙන් ජිවත්වන සාමාන්‍ය පොදු ජනතාවට බරපතල අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවේ. එමෙන්ම රටේ නිෂ්පාදනය සඳහා ඍජුව දායකවන පුද්ගලික අංශයේ සේවක වැටුප් රාජ්‍ය අංශයට සාපේක්ෂ වශයෙන් පහල බසිනු ඇත. එමෙන්ම වර්ෂ 2015 දී රාජ්‍ය අංශයේ සේවක වැටුප් රු.10,000 කින් වැඩි කරමින් රාජ්‍ය අයවැයට විශාල බරක් දුන් යහපාලන ආණ්ඩුවට රාජ්‍ය සේවකයන් එතරම් විශාල ප්‍රමාණයකින් කැමැත්ත ප්‍රකාශ නොකළ බවද ආණ්ඩුව මතක තබා ගත යුතුය.

මෙම සමස්ත ප්‍රශ්නය දෙස බැලීමේදී තවත් අතුරු පැත්තක් තිබේ. එනම් එවකට පැවති ආණ්ඩු විසින් මෙම සේවකයන් බඳවා නොගත්තේ නම් ඔවුන්ට කුමක් විය හැකිව තිබුණිද? පී.බි. ජයසුන්දර විසින් දීර්ඝ කාලයක් තිස්සේ මෙහෙයවනු ලැබූ ආර්ථික ක්‍රමය යටතේ බදු සහන දුන් මෙරට පුද්ගලික අංශය විසින් මෙම සේවකයන් බඳවා ගත හැකිව තිබුණිද? වෙනත් වචන වලින් කිවහොත් මෙරට පුද්ගලික අංශය දීර්ඝ කාලයක් තිස්සේ තමන් ලැබූ බදු සහන වෙනුවෙන් රටට සාධාරණයක් ඉෂ්ට කර තිබේද?

අපේ රටේ ඉහල පුද්ගලික අංශයේ රාජ්‍ය අනුග්‍රහය ලත් ගජ මිතුරෝ විශාල ප්‍රමාණයක් සිටිති. රටේ ආර්ථිකය වර්ධනය කිරීමේ අභිලාශයක් ඔවුන්ට නොමැත. ඔවුන්ගේ අභිලාශය වන්නේ ධනයේ ඊළඟ පියවර වන දේශපාලන බලය ලබා ගැනීමයි.

නිෂ්පාදනයට බර තැබූ දේශීය ධනපති පන්තිය වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව අපට තිබේ. කලින් සිටි මෙම ධනපති පන්තිය 1956න් පසුව ඇතිවූ සහ 1970 දී උත්කර්ෂයට නැංවුණු ඊනියා සමාජවාදී ආර්ථික ක්‍රමය යටතේ නැතිකර දමන ලදී. ඉන්පසු රටේ ධනය රාජ්‍යය වෙත සංකේන්ද්‍රණය විය. වර්ෂ 1977න් පසුව ඇතිවූයේ රාජ්‍ය අනුග්‍රහය ලත් නව ධනපති පන්තියකි. 

රටේ ආර්ථිකය වර්ධනය කල හැක්කේ ව්‍යාපාරිකයන්ටයි. වෘත්තීය සමිති වලට හෝ රාජ්‍ය සේවකයන්ට හෝ නොවේ. මෙම දේශීය ධනපති හෝ ව්‍යාපාරික හෝ පන්තිය වර්ධනය කරන්නේ කෙසේද? රාජ්‍යයට එය කල හැක්කේ දැනට රජය සතුව පවතින ව්‍යාපාර මනා විනිවිද භාවයකින් යුතුව ජනතාවට විකිනීමෙනි. මෙම ව්‍යාපාර බොහොමයක් පුරවා ඇත්තේ ඒ ඒ කාලවල සිටි ආණ්ඩු වල හිතවතුන්ගෙනි. ඒ අනුව බොහෝ ආයතනවල වෘත්තීය සමිති මාෆියාවක් තිබේ. සේවයේ ඉහලට යාමට හැකිවන්නේ විවිධ සම්බන්ධතා මතය. කාර්යක්ෂමතාව මත නොවේ. මේ තත්ත්වය වෙනස් කර ආයතනවල ලාභ වැඩිකර හැකි වන්නේ පුද්ගලීකරණය මගින් පමණි. එමෙන්ම කිසිම ව්‍යාපාරිකයකුට ඒකාධිකාර පවත්වාගෙන යාමට රජය ඉඩදිය යුතු නැත.

රටේ පවතින තත්ත්වය අනුව සමහර විශාල  ව්‍යාපාර ක්ෂණිකව විකිණිය හැකි වන්නේ විදේශීය ආයෝජකයන්ටයි. විදේශීය ආයෝජකයන් ව්‍යාපාර කරන්නේ අපගේ භූමිය තුලය.එබැවින් ඔවුන්ට අපව පාලනය කල නොහැක. පසුගියදා රුවන්ඩා ජනාධිපති පෝල් කගාමේ එරට සිටි චීන ව්‍යාපාරිකයන් ගණනාවකට රටින් පිටවන ලෙස අණ කළේය. රජයේ අරමුණ වියයුත්තේ රැකියා උත්පාදනය කිරීමයි. සුදුසු නියාමනයක් කිරීමයි. විදේශීය හෝ දේශීය හෝ ව්‍යාපාරිකයන්ට රජය බිය විය යුතු නැත.

රට බංකොලොත් වී ඇති බව ප්‍රකාශ වන්නේ රජය සතු ශේෂ පත්‍රයක් නොමැති නිසාය. ශේෂ පත්‍රය යනු යම් ආයතනයක දේපල ඇතුළු වත්කම් සහ ගෙවිය යුතු ණය ඇතුළු වගකීම් වලින් සමන්විත වන ප්‍රකාශයකි. රට බංකොලොත් වීම පාදක වන්නේ ආදායම් සහ වියදම් ප්‍රකාශය මතය. එනම් අපේ ආදායමට වඩා වියදම වැඩි බැවින් ලබාගත් ණය ගෙවීමට නොහැකි වීමයි. පුද්ගලයකු හෝ ආයතනයක් හෝ බංකොලොත් වන්නේ අවසාන වශයෙන් සිය වත්කම් වලට වඩා වගකීම් වැඩි වූ විටය. රට එම තත්ත්වයට තවමත් පත්වී නොමැත. එබැවින් මෙම තත්ත්වයෙන් මිදී මනා මූල්‍ය පරිපාලනයකින් ඉදිරියට යාමට අපට තවමත් අවකාශ තිබේ. 

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-10-november-2023/

Published in Colombo Telegraph and in Samabima supplement of Anidda on 10 November 2023

Friday, November 3, 2023

මානව හිමිකම් බටහිර කුමන්ත්‍රණයක්ද?

 හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

මානව හිමිකම් ගැන බොහෝ කලකට පෙර සිවිල් සමාජ ක්‍රියාධරයන් හඬ නගන විට එය බොහෝ දෙනෙකු ගේ දෘෂ්ටි කෝණයෙන් බටහිර රටවල අවශ්‍යතාවයන් ඉටු කිරීමට ඔවුන්ගේ මුදල් රැගෙන කරන ව්‍යාපෘතියක් විය. විවේචකයන්ගේ දැක්ම අනුව මානව හිමිකම්  සමපාත වූයේ නව ලිබරල් චින්තනයටයි.  එබැවින් සමාජවාදීහුද වාමාංශිකයෝද ජාතිකවාදී හුද  ජාතිවාදීහුද  යුදවාදීහුද සමස්ත ජනයාගේ මානව හිමිකම් රැකීමේ ආස්ථානයට විරුද්ධ වුහ. මානව හිමිකම් කන්නදැයි ඔවුහු ඇසූහ.මෙය කූට ප්‍රාප්තියට පත්වූ යේ ලංකාවේ දැනට සිටින කාදිනල් හිමිද වසර ගණනාවකට පෙර මානව හිමිකම් යනු බටහිර සංස්කෘතිය අප මත බලෙන් පැටවීමට උත්සාහ කිරීමක් බව ප්‍රසිද්ධියේ කියා සිටීමත් සමගය. රට තුල ඒ සඳහා විශාල ජනමතයක් නොමැති නම් උන්වහන්සේ එවැනි ප්‍රකාශයක් සිදු නොකරනු ඇත. එම ප්‍රකාශයේ මෙරට පසුගාමී ජන මතය නිරූපනය විය.

එමෙන්ම දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් විරුද්ධ පක්ෂයේ සිටින විට මානව හිමිකම් ගැන බොහෝ සෙයින් සංවේදී වන අතර ආණ්ඩු බලය ලැබුන පසු එම සංවේදීත්වය ඔවුන් වෙතින් ගිලිහී යයි.ඒ සඳහා එක් හේතුවක් වන්නේ ආණ්ඩුව අස්ථාවර කිරීම සඳහා විරුද්ධ පක්ෂ විසින් මානව හිමිකම් මෙවලමක් ලෙස පාවිච්චි කිරීමයි. පවතින ආණ්ඩුවද මානව හිමිකම් නොසලකා සිය බලය තහවුරු කර ගැනීමට උත්සහ කරයි. එවිට එය මෙවලමක් පමණි. මානව හිමිකම් වෙනුවෙන් හඬ නැගීමේ අයිතිය සැමවිටම ආණ්ඩු විරෝධී පිරිස් අත  පමණක් පැවතිය යුතු යයි සිතීම හුදු ප්‍රලාපයකි. මානව හිමිකම් යනු මානවයන්ට ඇති විශ්ව සාධාරණ අයිතියකි.

ලෝකය මෙම දිසාවට අනුක්‍රමයෙන් ගමන් කරමින් සිටී. එය වඩාත් පැහැදිලි වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලාන්තර සමාලෝචනයේ ක්‍රියාකාරකම් වල ප්‍රගතිය පිළිබඳව සලකා  බලන විටය.

එක්සත් ජාතින් විසින් මානව හිමිකම් පිලිබඳ විශ්ව ප්‍රකාශණය නිකුත් කරන ලද්දේ 1948 දී ය.එවකට තිබුන කුඩා දෙපාර්තමේන්තුව ජිනීවා වලට ගෙන ගොස් මානව හිමිකම් මධ්‍යස්ථානය ඇති කරන ලද්දේ 1980 ගණන් වලය. 1993 වියනා ප්‍රකාශනයෙන් පසුව එම වසරේදී මානව හිමිකම් මහා කොමසාරිස් වරයෙක් පත් කරන ලදී. කොමසාරිස් වරයාගේ කාර්යය වන්නේ මානව හිමිකම ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම, ඒ අනුව ජනතාව බලාත්මක කිරීමට උදවු කිරීම, මේ සම්බන්ධයෙන් ආණ්ඩු වලට උදවු කිරීම සහ සියලු එක්සත් ජාතීන්ගේ වැඩ සටහන් වලට මානව හිමිකම් දර්ශනය ඇතුලත් කිරීම වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලාන්තර සමාලෝචනයේ අරමුණ වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටින සෑම රටකම ජනතාවට දැනෙන පරිදි ඒවායේ මානව හිමිකම් ගුණාත්මක වශයෙන් ඉහල නැංවීමයි. මෙම ක්‍රියාවලිය බිම්  මට්ටමේ මානව හිමිකම් සුරැකීම ඉලක්ක කොට ඇත. මේ සඳහා රාජ්‍යයන්හි මානව හිමිකම් වාර්තාව සමාලෝචනයට බඳුන් කෙරෙන අතර  කුමන ආකාරයේ හෝ මානව හිමිකම් උල්ලංඝනයන්ට අවධානය යොමුකෙරේ.

විශ්ව කාලාන්තර සමාලෝචනය ඇතිකරන ලද්දේ 2006 මාර්තු මස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සම්මත කර ගන්නා ලද 60/251 යෝජනාව අනුවයි. මේ අනුව එක්සත් ජාතීන්ගේ සියලු සාමාජික රටවලට වසර 4-5 කට වරක් සිය මානව හිමිකම් චර්යාව අනෙක් රටවල සමාලෝචනයට භාජනය කිරීමට සිදුවේ. ඒ අනුව සෑම රටක්ම නිශ්චිත කාලයේදී සිය රටේ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන අතර එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් මෙම ක්‍රියාමාර්ග වැඩි දියුණු කිරීම සඳහා නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කරනු ලැබේ. වර්ෂ 2008 දී පළමු සමාලෝචනය සිදු  කෙරුණු අතර මේ වනවිට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 ම තුන් වතාවක් සමාලෝචනය සඳහා භාජන වී තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2023 ජුලි මස විශ්ව කාලාන්තර සමාලෝචනයේ වාර්තාවේ විවිධ රටවල් විසින් ඉදිරිපත් කෙරුණු තෝරාගත් යෝජනා සහ නිර්දේශ වල පරිවර්තනයක් පහත දක්වා ඇත. ඒ රටවල් බටහිර රටවල් පමණක්ම නොවේ. ඔවුහු සමස්ත ලෝක ප්‍රජාව නියෝජනය කරති. ශ්‍රී ලංකාවට මුළු නිර්දේශ 294 ක් ලැබුන අතර එයින් තෝරාගත් යෝජනා 31ක් පහත දක්වා ඇත.

එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධයෙන් 2021 මාර්තු මස සිදු කෙරුණු විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාවේ විවිධ රටවල තෝරාගත් නිර්දේශ පරිවර්තනය කර ඉදිරිපත් කර ඇත. ඇමෙරිකා  එක්සත් ජනපදයට මුළු නිර්දේශ 347 ක් ලැබී තිබුණි.එයින් තෝරාගත් යෝජනා 34ක් පහත දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ සහ ඇමෙරිකාවේ මානව හිමිකම් ප්‍රශ්ණ සහ ඒ සම්බන්ධ යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කරන රටවල පසුබිම සලකා  බැලීමේදී  මානව හිමිකම් සුරක්ෂිත කිරීම යනු හුදු බටහිර මතවාදයක් පමණකි යන පසුගාමී මතවාදය බැහැර කර මානව හිමිකම් යනු සමස්ත ලෝක ප්‍රජාව ම සිය රටවල් මුහුණ දෙන විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඒවා නිවැරදි කර ගනිමින් ඉදිරියට යාමට දරන උත්සාහයක් බව අවබෝධ කර ගැනීමට හැකිය.

තෝරාගත් යෝජනා සහ නිර්දේශ වල අදාල අංකය  ඉදිරියෙන් දක්වා ඇති අතර අවසානයේ නිර්දේශ ඉදිරිපත් කල රටේ නම දක්වා ඇත. මෙම නිර්දේශ වලට බොහෝ සෙයින් සමාන තවත් නිර්දේශ වෙනත් රටවල් වලින් ඉදිරිපත් කර තිබු අතර තෝරාගත් නිශ්චිත නිර්දේශය කල රටේ නම පමණක් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව ට ලැබුණ නිර්දේශ සහ යෝජනා

65.1 ප්‍රධාන මානව හිමිකම් සම්මුතීන්ට සහභාගී වීම සලකා  බලන්න (යුක්රේන්)

65. 21 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ  සමඟ නිර්මාණාත්මකව සම්බන්ධ වෙමින් සහ සහයෝගයෙන් වැඩ කිරීම සහ  ජාතික ක්‍රියාකාරකම් වලට ලැබෙන තාක්ෂණික සහය ලබාගැනීම තව දුරටත් කරගෙන යන්න.(පිලිපීනය)

65.24 බලය විමධ්‍යගත කිරීම සඳහා කටයුතු කරන්න (ස්විට්සර්ලන්තය)

65.26 ඕනෑම ආකාරයක වෙනස් කොට සැලකීමට එරෙහිව නීති පද්ධතිය ශක්තිමත් කිරීමට කටයුතු කරන්න ( කියුබාව)

65.27 දික්කසාදය පිලිබඳ නීති පද්ධතිය වෙනස් කරන්න. ලිංගිකත්වය සම්බන්ධ දූෂිත ක්‍රියාකාරකම් අපරාධ ලෙස අර්ථ දැක්වෙන සේ අපරාධ නිතිය සංශෝධනය කරන්න. (බුරුන්ඩි)

65.28 ආන්තික ජන කොටස් ප්‍රධාන ජනකොටසට එකතු  කර ගැනීම සඳහා වන උත්සාහයන් බල ගන්වන්න. බහුත්වවාදය ක්‍රියාත්මක කරන්න. (බංගලාදේශය)

65.33 ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධිනත්වය ආරක්ෂා කරන්න.(යුක්රේන් )

65.35 අධිකරණය සහ මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ආයතන වල ස්වාධිනත්වය සහතික කිරීම සඳහා වන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉක්මන් කිරීමට පළල් උපදේශණ ක්‍රියාවලියක් ආරම්භ කරන්න. (ක්‍රොයේෂියාව)

65.53 මරණ දඬුවම නිත්‍යානුකූලව තහනම කිරීම ගැන සලකා බලන්න. (ඉතාලිය)

65.65 සිරකරුවන්ට සැලකීමේදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගරු කිරීම සහතික කිරීම සඳහා බන්ධනාගාර පිරී ඉතිරී යාම අඩු කිරීමට පියවර ගන්න. (ලිබියාව )

65.66 අතුරුදහන් වුවන්ගේ පවුල් සිටින අවිනිශ්චිත තත්ත්වය සිහි තබාගෙන විනිවිද පෙනෙන ආකාරයකින් ඔවුන්ට ප්‍රශ්ණ වලට පිළිතුරු සහ හානි පූරණයට කටයුතු කරන්න. ( පින්ලන්තය) 

65.68 පොලිසිය මගින් සිදුකරන ලද වදහිංසා කිරීම්  සහ නීතිවිරෝධී මරණ පිලිබඳ චෝදනා ගැන නිසි විමර්ශනයක් සිදුකර නඩු පවරන්න. (කොස්ට රිකා)

65.70 රට තුල ඇති එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් පෙන්වා දී ඇති පරිදි විවිධාකාර අවස්ථාවල අත්තනෝමතික රඳවා ගැනීම් දක්වා වන පුද්ගල නිදහස අහිමි කිරීම් වලට ඉඩ සලසන හදිසි නීති රෙගුලාසි ප්‍රතිසංස්කරණය කරන්න. (කොලොම්බියා)

65.77 දැනට ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න. නව පනත ජාත්‍යන්තර වගකීම් වලට අනුකූල වන බවත් කථාකිරීමේ සහ රැස්වීමේ නිදහසට බාධා ඇති නොවන බවත් සහතික කරන්න. (ජර්මනිය)

65.84 ජාත්‍යන්තර වගකීම් වලට අනුකූල වනසේ ජාතික නීති සකස් කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්න. (රුසියාව)

65.91  අපරාධකරුවන් නිතිය ඉදිරියට පැමිණවීම සහතික කරනු වස් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලබන පැහැර ගැනීම, අනිතිකව රඳවා ගැනීම, වධ හිංසා පැමිණවීම සහ  ලිංගික හිංසනය පිළිබඳව කෙරෙන විමර්ශන කඩිනම් කරන්න. (බොට්ස්වානා)

65.94 යුද්ධය කාලය තුල හමුදාව විසින් අත්පත් කරගත් ඉඩම් පිළිබඳව ලේඛනයක් සකස් කරන්න. තමන්ගේ අහිමිවූ ඉඩම් අයිතිය ආපසු ලබාගන්නා නිතිය ස්ථාපිත කර ඒ සඳහා වන ක්‍රියා මාර්ගය සකසන්න. නිතිකව වගවීමේ යාන්ත්‍රණයක් සහ සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක් සකසන්න. (කොලොම්බියාව)

65.99  ස්වාධින සහ විශ්වාසනීය සත්‍ය සහ සංහිඳියා කොමිසමක් පත් කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්න.(කෙන්යාව)

65.104 රටේ සංහිඳියාව සඳහා වන ක්‍රියාමාර්ග ඉදිරියට කරගෙන යාම සඳහා පරදු පාර්ශ්වයන් සියලු දෙනාම සහභාගී කර ගන්න. (තායිලන්තය) 

65.106 සියලු පරදු පාර්ශ්වයන් සමඟ නිර්මාණාත්මකව එකතු වන අතර ජාතික සංහිඳියාව සඳහා වන ක්‍රියාමාර්ග ශක්තිමත් කරන්න. (වියට්නාමය)

65.107 ජාතික සංහිඳියාව සඳහා වන ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන අතර මහජන නිදහස සහතික කරන්න. (යේමනය)

65.114  ජාතික සංහිඳියාව ඉදිරියට ගෙන යාමේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයමින් ජාතික මට්ටමේ ක්‍රියාමාර්ග සඳහාද මුල පුරන්න. (පකිස්ථානය)

65.118 ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ සහජීවනය  සඳහා  කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න. (තුර්කිය)

65.124 ජාතික සංහිඳියාව සඳහා සියලුම පාර්ශ්ව නිර්මාණාත්මකව එකතුකර ගැනීමේ ක්‍රියාව දිගටම කරගෙන යන්න. (චීනය) 

65.129 වින්දිතයන්ට සත්‍යය, යුක්තිය සහ හානි පූරණය සඳහා ප්‍රවේශය සහතික කරමින් අන්තර් ජාතික මානුෂිය නීතිය සහ මානව හිමිකම් කඩකළ ඇතැයි සිතිය හැකි අය සම්බන්ධ විමර්ශන වලට ඉඩදී ඒවායේ ප්‍රතිඵල අනුව ඔවුන්ට නඩු පවරන්න. (ඉක්වදෝරය)

65.132 අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලයට සහ හානි පූරණය සඳහා වන කාර්යාලයට ඔවුන්ගේ වගකීම් කාර්යක්ෂමව සහ ඵලදායි ලෙස ඉටුකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයන්න.(ඉරානය)

65.134 මානව හිමිකම් කවුන්සිලයට  දුන් පොරොන්දු ඉටු කරමින් විශේෂයෙන්ම වාර්ගික සහ ආගමික සුළුතරයට අයත් ජනතාවට එරෙහිව සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයට, අපයෝජන සහ හිරිහැර කිරීම වලට හමුදාවේ සහ රජයේ නිලධාරීන් ඇතුළු වගකිවයුතු  සියලුදෙනාට ඇති දණ්ඩමුක්තිය අවසන් කරන්න.( ඇමරිකා එක්සත් ජනපදය) 

65.149 වෛරය සහ ආගමික නොඉවසීමට සපුරා එරෙහි ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය දිගටම රැගෙන යන්න. (කියුබාව)

65.161 ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර වේතන පිලිබඳ පරතරය නැති කිරීමට ගන්නා උත්සාහයන් ශක්තිමත් කරන්න.(ඉරාකය)

65.165 අවදානමට ලක් වියහැකි කණ්ඩායම් වලට ඵලදායි සමාජ ආරක්ෂණය සහතික කරන වැඩ පිළිවෙල ශක්තිමත් කරන්න. (සිංගප්පුරුව)

65.251 දරුවන් අපයෝජනයෙන් සහ සුරාකෑමෙන් සහ ළමා විවාහ වලින් ආරක්ෂා කිරීමට තවදුරටත් පියවර ගන්න. (බංගලාදේශය) 

ඇමරිකා එක්සත් ජනපදයට ලැබුන නිර්දේශ සහ යෝජනා 

26.1 නිල අනුමැතිය නොදුන් ඉතිරි සියලු මානව හිමිකම් සම්මුතීන් වලට නිල අනුමැතිය දීමට කටයුතු කරන්න (සෝමාලියාව)

26.23 මානව හිමිකම් කවුන්සිලය සමඟ නැවත සම්බන්ධ වන්න. කාන්තාවන්ට එරෙහි සියලු වෙනස් කොට සැලකීම් නැති කිරීමේ සම්මුතියට, අබාධිත පුද්ගලයන්ගේ අයිතීන් පිලිබඳ සම්මුතියට දරුවන්ගේ අයිතීන් පිලිබඳ සම්මුතියට නිල අනුමැතිය දෙන්න (කැනඩාව) 

26.30 කාන්තාවන්ට එරෙහි සියලු වෙනස් කොට සැලකීම් නැති කිරීමේ සම්මුතියට නිල අනුමැතිය දීම සලකා බලන්න.(ඊශ්රාලය )

26.31 කාන්තාවන්ට එරෙහි සියලු වෙනස් කොට සැලකීම් නැති කිරීමේ සම්මුතියට, අබාධිත පුද්ගලයන්ගේ අයිතීන් පිලිබඳ සම්මුතියට සහ දරුවන්ගේ අයිතීන් පිලිබඳ සම්මුතියට හැකිතාක් ඉක්මනින් නිල අනුමැතිය දෙන්න (ජපානය)

26.51 සංක්‍රමණික සේවා නියුක්තයන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ අයිතීන් ආරක්ෂා වන ජ්‍යාත්‍යන්තර සම්මුතියට අත්සන් කරන්න. (පිලිපීනය)

26.67 අන්තර්ජාතික අපරාධ අධිකරණයට සම්බාධක පනවමින් කරන ලද විධායක නියෝග 13928 අවලංගු කරන්න (ඩෙන්මාර්කය)

26.71 අන්තර්ජාතික අපරාධ අධිකරණයේ  කාර්ය මණ්ඩලයට එරෙහිව පනවන ලද සම්බාධක සියල්ල ඉවත් කරන්න (ප්‍රංශය)

26.75 ජාත්‍යන්තර නීති උල්ලංනයන්ට ඇති දණ්ඩ මුක්තිය අහෝසි කරන්න. අන්තර්ජාතික අපරාධ අධිකරණයට පනවා ඇති සම්බාධක ඉවත් කරන්න. ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිලිබඳ රෝම සම්මුතිය ට නිල අනුමැතිය දෙන්න.(පලස්තීනය)

26.79  මානව හිමිකම් කවුන්සිලය සමඟ නැවත සම්බන්ධ වන්න (ජර්මනිය)

26.93 පැරිස් මූලධර්ම අනුව ජාතික මානව හිමිකම් ආයතනයක් ස්ථාපිත කරන්න. (කටාර්)

26.102 සියලුම මට්ටම් වල රජයේ නිලධාරීන්ට වෙනස් කොට සැලකීමට එරෙහිවීම සම්බන්ධයෙන් අමතර පුහුණු කිරීම් ක්‍රමානුකූලව කරන්න. (කාම්බෝජය) 

26.106 දේශපාලන අවශ්‍යතාවයන් සඳහා මානව හිමිකම් මුවාවෙන් ස්වාධින රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමෙන් වලකින්න. (චීනය)

26.108 වෙනත් රටවලට නීති විරෝධී ලෙස ආයුධ අපනයනය කිරීම නවත්වන්න. (මෙක්සිකෝව)

26.113 ජාතිය, වාර්ගිකත්වය,ආගම සහ ලිංගිකත්වය අනුව වෙනස්කොට සැලකීම  සහ නිතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් සිදුකරන වාර්ගික හඳුනාගැනීම් නැතිකිරීමට සාධනීය පියවර ගන්න. (රුසියාව) 

26.172 සවුදි හමුදා විසින් යේමන ජනතාවට එරෙහිවද ඊශ්රායල් රජය විසින් පලස්තීන ජාතිකයන්ට එරෙහිවද කරනු ලබන කුරිරු ක්‍රියාවන්ට මැදහත් වීමද ඔවුන්ට ආයුධ විකිනිමද  නවත්වන්න. (ඉරානය)

26.176 ග්වන්තනමෝ රඳවාගැනීම් මධ්‍යස්ථානය හැකි ඉක්මනින් වසා දමන්න (ප්‍රංශය)

26.179  මරණ දඬුවම මධ්‍යම ආණ්ඩුව මගින් අහෝසි කර ප්‍රාන්ත රාජ්‍ය ද එය අහෝසි කරන ලෙස උනන්දු කරන්න. (ස්විට්සර්ලන්තය)

26.217 වාර්ගික අසාධාරණත්වය සහ තුවක්කු සංස්කෘතිය නැති කිරීමට නීති ශක්තිමත් කරන්න. (ඉන්දියාව)

26.219 බලය පාවිච්චි කිරීම පාලනය කිරීම  සම්බන්ධ ජාත්‍යන්තර නිර්ණායක වලට අනුව පොලිසියේ කෘරත්වය සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග බලගන්වන්න. (තයිලන්තය) 

26 .235 මෑතකදී ගත්  පියවර වන ආරක්ෂිත ප්‍රජාව සඳහා ආරක්ෂිත පොලිස් කටයුතු නමින් යුත් විධායක නියෝගය, වාර්ගික හඳුනාගැනීම් නැති කිරීම සහ බන්ධනාගාර සුපරීක්ෂණය යන ක්‍රියාමාර්ග හරහා වාර්ගිකව  වෙනස් කොට සැලකීමට එරෙහි ක්‍රියාමාර්ග ශක්තිමත් කරන්න    (ශ්‍රී ලංකාව)

26.240 හමුදාව තුල සිදුවන ලිංගික හිංසනය සම්බන්ධව කටයුතු කරන්න. (ඊශ්රාලය )

26.261 නිතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන තුල   සුදු ස්වෝත්තමවාදීන් වැනි අන්තවාදී කොටස් වල බලය වැඩිවීම ගැන සැලකිලිමත් වන්න. නිතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන්ට මානව හිමිකම් සහ මූලික නිදහස ඉලක්ක කරගෙන විධිමත් පුහුණුවක් ලබා දෙන්න. (තුර්කිය)

26.265 ආගමික නිදහස පැවැත්වීම සඳහා ඉහල ප්‍රමුඛත්වයක් දෙන්න. මේ සම්බන්ධ නිර්මාණාත්මක මුලපිරීම් සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සම්බන්ධ කර ගන්න. (බල්ගේරියාව)

26.268 අන්තර්ජාලයේ අදහස් ප්‍රකාශනයේ නිදහස සහතික කිරීම සඳහා නව ක්‍රියාමාර්ග ගන්න. (හයිටි)

26.271 විරෝධතා කරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් විසින් ප්‍රමාණයට වැඩි බලයක් යෙදවීම සහ වධහිංසාව පිලිබඳ චෝදනා විමර්ශනය කරන්න. සාමකාමී රැස්වීමේ අයිතියට එරෙහි සීමාකිරීම් අඩුකරන්න. (ඊජිප්තුව)

26.275 ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය සහතික කරන්න. ප්‍රාන්ත රාජ්‍යයන්  ඡන්දදායකයන් කෙරෙහි වෙනස් කොට සැලකීමේ ප්‍රතිඵලයක් ජනිත විය හැකි ඡන්ද දායකයන් හඳුනාගැනීමේ ක්‍රමවේද භාවිතා කිරීමෙන් වලකින ලෙස දැඩිව ඉල්ලා සිටින්න. (ජර්මනිය)

26.282  අසාධාරණ සේවා පිළිවෙත් ක්‍රියාත්මක කරන සේවා යෝජකයන්ට සම්භාධක පනවන්න. සේවක අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බව සහතික කරන්න. (මියන්මාරය)

26.283 දුප්පත්– පොහොසත් ආන්තීකරණය සහ සමාජ අසාධාරණත්වය නැති කිරීම සඳහා පුළුල් ක්‍රියාමාර්ග ගන්න. (චීනය)

26.286  රට පුරා අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වල නිවාස රහිත බව අඩු කිරීම සඳහා වන ක්‍රියාමාර්ග තවත් ශක්තිමත් කරන්න.( ඉතියෝපියාව)

26.288 සැමට සාධාරණව ලබාගත හැකි පුළුල් සෞඛ්‍ය සේවයක් ස්ථාපිත කරන්න.(පෝලන්තය) 

26.306 ලිංගික සහ ප්‍රජනන අයිතිවාසිකම් සහ සෞඛ්‍ය සඳහා කාන්තාවන් සහ ගැහැණු ළමයින්ට ඇති ප්‍රවේශය සහතික කරන්න.(ප්‍රංශය)

26.316 හැමට පොදු ගෙවීම් සහිත මාතෘ නිවාඩු සහ මාතෘ සෞඛ්‍ය සේවය ඇතිකිරීම මගින් සේවා ස්ථාන වල සමානාත්මතාව තවදුරටත් වර්ධනය කරන්න. (ශ්‍රී ලංකාව)

26.233 සංක්‍රමණිකයන් සඳහා වන රඳවා ගැනීම් ස්ථාන වල තත්ත්වය, විශේෂයෙන්ම බාල වයස්කාරයන් සම්බන්ධව, ජාත්‍යන්තර මානව හිමිකම් නීති වලට අනුගත වන බව ඇතික කරන්න.(නොර්වේ)

26.344 කුඩා දරුවන් ඔවුන්ගේ සංක්‍රමණික දෙමාපියන්ගෙන් වෙන් කර ඔවුන් කූඩු ඇතුලට දැමීම නවත්වන්න. (ඉරානය)

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-3-november-2023/

(Published in Colombo Telegraph and in Samabima supplement in Anidda on November 3, 2023)