ශ්‍රී ලංකාව පවතින්නේ තීරණාත්මක සන්ධිස්ථානයකය. රජය විසින් ගත්  ණය ගෙවීමට නොහැකි තත්ත්වයකට රට පත්වී ඇති අතර එම තත්ත්වය සමනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය  අරමුදලේ සහයෝගය රජයට ලැබී ඇත. මූල්‍ය  අරමුදල සමඟ එකඟ වූ ක්‍රියාදාමයේ ආණ්ඩුව ඉදිරියට යන අතර ආණ්ඩුව බොහෝ ජයග්‍රහණ ලබා ගෙන තිබේ. එමෙන්ම නියමිත ඉලක්ක වලට ළඟා විය නොහැකි වූ අවස්ථා ද තිබේ.  විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට සියලු පාර්ශ්වයන් සමඟ එකඟ වීම තීරණාත්මක සන්ධිස්ථානයකි. එය තවම ඉටුවී නොමැත. මේ අතර මීළඟ ජනාධිපතිවරණයට ව්‍යවස්ථාව අනුව නියමිත කාල වකවානු ලං වෙමින් තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය  අරමුදල ලංකාවට දීමට එකඟ වී ඇත්තේ අප ණය වී ඇති ප්‍රමානය අනුව විශාල ණය මුදලක් නොවේ. ඔවුන්ගේ  සහයෝගය අවශ්‍ය වන්නේ ඔවුන් මෙවැනි අවස්ථාවක රටකට දෙන ණය අයකරගත නොහැකි නම් ඔවුන් එම රටට ණය නොදෙන නිසා ඔවුන්ගේ ණය දීමම එම රටේ මූල්‍ය  ස්ථාවරත්වය සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාවට ලැබෙන සහතිකයක් නිසාය. එබැවින් එය බංකොලොත් භාවයෙන් ගොඩ ඒමේ ප්‍රථම පියවර වෙයි.

රට බංකොලොත් තත්ත්වයට වැටෙන අවස්ථාවේ රට පාලනය කළ පිරිස් එම අවස්ථාවේදීද බලය ගැනීමට පෙරද ජාත්‍යන්තර මූල්‍ය  අරමුදල සම්බන්ධයෙන් දැරුවේ නිශේධනාත්මක ආකල්පයකි. කල්තබා මූල්‍ය  අරමුදලේ සහයෝගය පැතුවේ නම් මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වය වලක්වා ගත හැකිව තිබුණි.

අප නැවතත් බංකොලොත් වේයයි මම බියෙන් සිටිමි. මෙවැනි අවස්ථාවන්ට මුහුණ පෑ විවිධ රටවල් ජාත්‍යන්තර මූල්‍ය  අරමුදල සමඟ එකඟ වූ කොන්දේසි මුල් අවස්ථාවේදීම ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම නිසා හෝ එම කොන්දේසි නිසා පීඩාවට පත්වන ජනතාව විසින් මැතිවරණ වලදී පත්කරගන්නා වෙනත් ආණ්ඩු විසින් ජනතාවට දෙන වගකීම් විරහිත පොරොන්දු ඉටු කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් මූල්‍ය  අරමුදලේ කොන්දේසි කඩවීම නිසා හෝ පැන නැගුනු විවිධ තත්ත්වයන් හේතුවෙන් එම රටවල් විවිධ අපහසුතා වලට මුහුණ දී ඇත. සමහර රටවල් නැවත බංකොලොත් වී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය  අරමුදලේ කොන්දේසි වලින් ඉලක්ක වන්නේ රට බංකොලොත් වීමට තුඩු දුන් හේතු සමනය කිරීමයි. බංකොලොත් භාවයට පත්වීමට ප්‍රධාන හේතුව වන්නේ රජය විසින් ලබා ගත්  දේශීය සහ විදේශීය ණය ගෙවීමට නොහැකි වීමයි. ඒ සඳහා ප්‍රධාන හේතුව වන්නේ රජයේ වියදම අදායමට වඩා වැඩි වීම හේතුවෙන් ණය ගෙවීමට රුපියල් අතිරික්තයක් නොමැති වීමයි. දෙවන හේතුව වන්නේ යම් හෙයකින් රුපියල් අතිරික්තයක් තිබුණත් විදේශ  ණය ගෙවීමට එම රුපියල් ඩොලර් බවට පත් කිරීමට අවශ්‍ය ඩොලර් සංචිත නොමැති වීමයි. ඩොලර් සංචිත නොමැතිවීමට ප්‍රධාන හේතුව වන්නේ රටට ලැබෙන ඩොලර් ප්‍රමාණයට වඩා රටෙන් පිටවන ඩොලර් ප්‍රමාණය වැඩි වීමයි.

ජාත්‍යන්තර මූල්‍ය  අරමුදලේ ප්‍රධාන ඉලක්කය වන්නේ රජයේ ආදායම වියදමට වඩා වැඩි මට්ටමක තබා  ගැනීමයි. මෙවැනි තත්වයකට පත්වූ රටකට මෙය අත්‍යවශ්‍ය කොන්දේසියකි. මේ අනුව බදු ආදායම වැඩි කිරීම නිසාද රජයේ වියදම් අඩු කිරීම නිසාද ජනතාව පීඩාවට පත්වෙති. මෙය වැළැක්විය නොහැක. රජයක කාර්යභාරය වන්නේ මෙම පිඩාවට පත්වීමේ කාල සීමාව හැකිතාක් දුරට අඩු කිරීමත් පීඩාවට පත්වීම දරා ගත හැකි කොටස් වලට වැඩි බරක් දී පීඩාව දරා  ගැනීමට අපහසු කොටස් වලට යම් සහන දීමත්ය.

රටේ ආර්ථික වර්ධනයක් ඇති කිරීම රජයේ වගකීමකි.  එමෙන්ම රටට ලැබෙන ඩොලර් ප්‍රමාණයට වඩා රටෙන් පිටවන ඩොලර් ප්‍රමාණය අඩු කිරීමද රජයේ වගකීමකි. මේ සියල්ල මූල්‍ය  අරමුදලට බාර දිය හැකිනම් ආණ්ඩු කිරීමද ඔවුන්ටම බාර දිය හැක.

එමෙන්ම රජය මූල්‍ය වශයෙන් ස්ථාවරත්වයකට පත් නොකර ආර්ථිකය වර්ධනය කිරීම සඳහා පියවර ගැනීම අසීරු කාර්යයකි. මේ සඳහා ඉතා පහසු ඉලක්කයක් වූ සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම රජය විසින් සපුරමින් තිබේ. ආර්ථිකය වර්ධනය කිරීම සඳහා ව්‍යාපාර නැංවීම අවශ්‍යයි. ඒ සඳහා පොලී අනුපාත අඩුකිරීම අවශ්‍යයි. එය දැන් සිදුවෙමින්  ඇත. පොලී අනුපාත වැඩි කිරීමට අවශ්‍ය වූයේ උද්ධමනය පාලනය කිරීමටයි.

රජය විසින් මූල්‍ය  අරමුදල සමඟ එකඟ වූයේ ප්‍රධාන වශයෙන් රජයේ ආදායම් වැඩි කිරීම සඳහා වන ප්‍රතිපත්තියකටය. එයට රජයේ වියදම් අඩු කිරීමට ප්‍රමුඛස්ථානය ලැබුනේ නැත. එයට හේතු වූයේ රජයේ ආදායම් විශාල වශයෙන් පහත වැටී තිබීමත් රජයේ වියදම් වලින් විශාල ප්‍රමාණයක් වැටුප් ගෙවීම සඳහා යෙදවෙන බැවින් වියදම් අඩු කිරීම යනු සේවකයන් ඉවත් කිරීම වන නිසාත්ය. නමුත් රජය විසින් සේවකයන් බඳවා ගැනීම සීමා කර ඇත.

බොහෝ සෙයින් අකාර්යක්ෂම වන රාජ්‍ය ව්‍යාපාර ආයතන විකුණා දැමීමට හෝ වසා දැමීමට හෝ ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ  එරෙහි ජන මතයක් මෙරට පවතී. එබැවින් මෙම කාර්යය පවතින රජය විසින් කරන්නේද මන්දගාමීවය.  ඒ අනුව විපක්ෂය ද එයට එරෙහි මතයක් දරයි. මෙම කාර්යය ඉක්මනින් කළහොත් එයින් ඉතිරි වන මුදල් හෝ ලැබෙන ආදායම හෝ යොදාගෙන රජයේ අයවැයට යම් සහනයක් ලබා ගත හැක. එවිට බදු අනුප්‍රමාණ යම් ප්‍රමාණයකින් අඩුකර ආර්ථික වර්ධනය සඳහා එය උපකාර කරගත හැක.

මූල්‍ය  අරමුදලේ ඇස්තමේන්තු අනුව රට 2019 තිබුණු තත්ත්වයට පත්වන්නේ 2028 දීය. එයට හේතුව වන්නේ පසුගිය යුගයේ තිබුණ ඍන ආර්ථික වර්ධන වේගයයි. එබැවින් ඉදිරියේදී ඇස්තමේන්තු කර ඇති 3% වර්ධන වේගය ඉක්මවා යා යුතුය.

ආණ්ඩුකරණයේ ඇති දුර්වලතාද රට මෙම තත්ත්වයට ඇද වැටීමට ප්‍රධාන හේතුවක් විය. මූල්‍ය  අරමුදලේ කොන්දේසි වල මෙම දුර්වලතාව සමනය කිරීමට අවශ්‍ය කොන්දේසිද වේ. රජය විසින් ඉටු කිරීම අතපසු කර ඇති කොන්දේසි අතර මේවා ප්‍රධානවේ.

බොහෝ දෙනෙක් සිතන පරිදි දූෂිත වන්නේ දේශපාලනඥයන් ය. එපමණක් නොවේ. රාජ්‍ය අංශයද පුද්ගලික අංශයද දූෂිතය. රාජ්‍ය අංශය අකාර්යක්ෂමය. එබැවින් මෙම දැතිරෝද කරකැවිය හැකි එමෙන්ම රාජ්‍ය අංශයට බර නොතබන පිරිසක් රට පාලනය කළ යුතුය. එමෙන්ම මෙම දුෂ්කර අවස්ථාවේදී පාලනයේ මුදුනේ සිටිය යුත්තේ පරිණත පුද්ගලයෙකි.

හර්ෂ ගුණසේන

published in www.midpoint.lk on June 6, 2024

https://midpoint.lk/2024/06/06/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%9a%e0%b7%9c%e0%b6%ba%e0%b7%92%e0%b6%b6%e0%b6%a7%e0%b6%af/