හර්ෂ ගුණසේන
බොහෝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ දෙමළ
දේශපාලනඥයන් සිය දේශපාලනය යොමු කර තිබුනේ ජන වාර්ගික ප්‍රශ්ණය කෙරෙහිය. මෙම තත්ත්වය ඒ. අමිර්තලිංගම්
විපක්ෂ නායකයා වූ 1977 දී පවා වෙනස් නොවිය. එම තත්ත්වයට හේතු වූයේ සිංහල
දේශපාලනඥයන් විසින් දේශපාලන වාසි තකා ජන වාර්ගික ප්‍රශ්ණය පාවිච්චි කරමින් දෙමළ
ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ඉෂ්ට නොකිරීම නිසාය.
මෙම තත්ත්වය දැන් අනුක්‍රමයෙන් වෙනස් වෙමින්
යයි. එම වෙනස්වීමට එක ප්‍රධාන හේතුවක් වන්නේ ආර්. සම්පන්තන් දෙමළ ජාතික සන්ධානයට
ලබා දෙන දේශපාලන නායකත්වය වන අතර අනෙක් ප්‍රධාන හේතුව වන්නේ පාර්ලිමේන්තු
මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ගේ මැදහත් වීමයි.
සුමන්තිරන් කොළඹ පදිංචි එමෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයේ
අධ්‍යාපනය ලැබුවෙක් වන අතර සිංහල භාෂාවේ පරිචයක් ද ඇත්තෙකි. ඔහු දක්ෂ නීතිඥයෙක් වන
අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ ඉතාමත් වැදගත් නඩු වලදී අත්තනෝමතික ආණ්ඩු වලට
එරෙහිව ජනතාවාදීව පෙනී සිටිමින් යම් ජයග්‍රහණ අත් කරගත් අයෙකි. එමෙන්ම පසුගිය
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ එවකට සිටි අගවිනිසුරු වරිය අත්තනෝමතික ලෙස ඉවත්
කල අවස්ථාවේදී එයට එරෙහිව ඔහු විසින් ඉතාම සාධනීය ක්‍රියා මාර්ගයක් ගන්නා ලදී. ඉන්
පසුව පසුගිය ආණ්ඩු සමයේ එවකට සිටි ජනාධිපතිවරයා නීති විරෝධී අන්දමින් එවකට සිටි
අගමැතිවරයා ඉවත් කළ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදීද ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ද ජනතාව අතර
විදියේ අරගල වලට සහභාගී වෙමින්ද ඔහු විසින් ඉතාමත් ප්‍රගතිශීලි කාර්යභාරයක් ඉටු
කරන ලදී. එමෙන්ම ඔහු දකුණේ ජනතාව විවිධ සම්මන්ත්‍රණ වලදී ද රූපවාහිනී
සාකච්ඡා වලදීද සිංහලෙන් අමතා දෙමළ ජාතික ප්‍රශ්ණය ඉතාමත් ප්‍රශස්ත ලෙස සිංහල
ජනතාවට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
දැනට රට මුහුණ දෙන දැවැන්ත අර්බුදයේ දී
සුමන්තිරන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් ඉතාමත් සක්‍රිය කාර්ය භාරයක් ඉටු කරයි.
මෙහිදී යම් අවස්ථා වලදී ඔහු ගන්නා ස්ථාවර විපක්ෂ නායක වරයාගේද නොමඳ පැසසුමට ලක්වනු
පෙනෙන්නට තිබේ. ඔහුගේ ස්ථාවර නිතොරවම මුලධර්ම හෝ ප්‍රතිපත්ති (principles) හෝ මත පදනම් වූ ඒවා වේ. එක පසෙකින් මෙයට
පදනම් වන්නේ ඔහුගේ නෛතික පසුබිමයි. අනෙක් පසින් ප්‍රතිපත්ති හෝ මුලධර්ම හෝ මත
පදනම් වන දේශපාලනය පුරවැසියන් වන අප සියලුදෙනා විසින්ම අගය කල යුතුය.
එක් ප්‍රශ්ණයක් තිබේ. සුමන්තිරන් ප්‍රතිපත්ති
පදනම් කර ගන්නේ දේශපාලන යාන්ත්‍රණය උදෙසාය. උදාහරණයක් වශයෙන් ඔහුගේ තර්කනය මෙසේය.
ජනාධිපතිවරයා අසාර්ථකය. එබැවින් ඔහු ඉල්ලා අස්විය යුතුය. අගමැතිවරයා පත්විය යුත්තේ
පාර්ලිමේන්තුවේ සියල්ලන්ගේම අනුමැතියෙනි. රනිල් වික්‍රමසිංහට ජන බලයක් නොමැත.
එබැවින් ඔහු අගමැතිවිම පිළිගත නොහැක. එබැවින් ඔහුද පන්නා දැමිය යුතුය. ආණ්ඩුව
විසින් යෝජිත 22 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්
කළා සේ ආණ්ඩුවට යාම ඉස්පාසුවක් ලැබෙනු ඇති අතර ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කිසියම්ම හෝ
වෙනස්කමක් ඉන් පසුව සිදු නොවනු ඇත. එබැවින් 22 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ විය
යුතුය.
සුමන්තිරන් පමණක් නොව තවත් බොහෝ දෙනෙක් මේ මතය
දරති. මෙම තර්කන ක්‍රමය සමහර විට උසාවියකදී සාර්ථක විය හැක. මෙම තර්කනය බැලූ
බැල්මට නිවැරදිය. නමුත් මෙම තර්කනය රට දැන් පවතින සන්දර්භය තුල තැබූ විට සහ රටේ
දෘෂ්ටි කෝණයෙන් බැලූ විට එහි ප්‍රශ්නාර්ථයක් තිබේ. මක්නිසාද යත් දේශපාලනය නීතිය
මෙන් සරල රේඛිය ව ගමන් නොකරන බැවිනි. එහි බොහෝ මතවාද අඩංගු වේ.
දැන් පවතින සන්දර්භය කුමක්ද? රට බංකොලොත්ය. මේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අවශ්‍යය. ඒ සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය
හිමියන්ගේ එකඟත්වය, මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙම
තත්ත්වයට ප්‍රධාන හේතූන් වන අයවැය හිඟය සහ ජංගම ගිණුමේ හිඟය අවම කිරීම සඳහා
ආණ්ඩුවේ යෝජනා සහ එම යෝජනා ක්‍රියාත්මක කිරීම සහතික විය හැකි ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යය.
එම සහයෝගය ලැබේ නම් වෙනත් රටවල ද සහයෝගය ලැබීම සඳහා පදනම සැකසෙනු ඇති අතර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන වල ණය
ශ්‍රේණි ඉහල යනු ඇත. මෙම පියවර වහ වහා ගත යුතුය. එසේ නොමැති නම් දේශපාලන අර්බුදයක්
බවට පරිවර්තනය වී තිබෙන ආර්ථික අර්බුදය නොබෝ දිනකින් පුපුරා යන මානුෂික සහ
සාමාජික අර්බුදයක් බවට පරිවර්තනය වනු ඇත.
අගමැතිවරයා විසින් මෙහෙයවනු ලබන ආණ්ඩුව මෙම
දිසාවට ගමන් කරමින් සිටි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමියන්ගේ එකඟත්වය ලබා
ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ. මේ සඳහා සමාගමක් පත්කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය
අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ. ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත්
කලයුතු යෝජනා ඉතාමත් වේදනාකාරී වනු ඇත. මේ සඳහා මෙරට ආණ්ඩු විවිධ අවස්ථා වලදී ජාත්‍යන්තර
මූල්‍ය අරමුදලට පොරොන්දු වී ඇතිමුත් එම පොරාන්දු ඉටු කිරීමට නොහැකි වී ඇත්තේ කාරනා
තුනක් නිසාය. එකක් මෙරට පවතින පසුගාමී වාමාංශික චින්තනය අනුව අකාර්යක්ෂමව
භාවිතා වන රාජ්‍ය දේපල රජය සන්තකයේම තබාගත යුතුය යන ස්ථාවරය, ඒවායේ සේවය කරන බොහෝ විට නිකමුන් වන
සේවකයන් සිය රැකියාව ආරක්ෂා කර ගැනීම සඳහා එම ස්ථාවරයට පක්ෂ වීම සහ බලයට එන ආණ්ඩු
සිය අන්තේවාසිකයන් ඒවාට පත්කිරීම හා ඒ හරහා සිය බලය ව්‍යාප්ත කිරීමට ඇති
ලොල් බව නිසාය.
මේවා නිසි ක්‍රමවේදයක් අනුව පුද්ගලීකරණය වුවහොත්
එම සේවා වල දැන් පවතින මිල පහත බසිනු ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් පුද්ගලීකරණය එක
උදාහරණයකි. යම් අවස්ථාවකදී එම මිල පහල ආදායම් ලබන ශ්‍රේණි වලට දරා ගැනීමට අපහසු නම් ඔවුන්ට මුදල් සහන
දිය හැකිය. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද අනුමත කරයි.
ආණ්ඩුව විසින් ඉදිරිපත් කල යුතු මෙම යෝජනා සර්ව
පාක්ෂික ආණ්ඩුවකින් ඉදිරිපත් කරන්නේ නම් එය සියලු ජාත්‍යන්තර පාර්ශ්ව වල
පිළිගැනීමට ලක් වනු ඇත. එමෙන්ම දේශීය වශයෙන් ඇතිවන විරෝධතා වලටද මුහුණ දීමට
හැකිවනු ඇත.
මෙම සන්දර්භය තුල ඉහත දැක්වූ සුමන්තිරන් ගේ තර්ක
ක්‍රමය මෙසේ සංශෝධනය කල හැකි විය යුතුය.
දේශපාලනය යනු එක්තරා විධියක සූදුවකි. අවදානම භාර
ගැනීමට හැකි විය යුතුය. රනිල් වික්‍රමසිංහ ඒ අවදානම භාර ගත්තේය. ඔහුට ඒ සඳහා කාලයද
පාර්ලිමේන්තුව තුල සහයෝගයද දිය යුතුය. ඒ සඳහා එක් විය යුතුය. මේ ප්‍රශ්ණ
දින 50 කින් විසඳිය හැකි නොවේ. එනමුත් ජනාධිපතිවරයා බරපතල ලෙස අසාර්ථක
පුද්ගලයකු වන බැවින් ආණ්ඩුවේ කටයුතු සඳහා ඔහු ඇඟිලි නොගැසිය යුතුය. එනමුත්
ඔහුට ජනාධිපති බලතල ද පාර්ලිමේන්තුව බලතල ද තිබේ. එබැවින් ඔහු මේ සඳහා පෙළඹවීමට
යොදා ගත හැකි විවිධ බලපෑම් කල යුතුය. ඒ සඳහා යම් අතරමැදි සමාදාන වලට එළඹිය යුතුය.
විසි එක් වන ව්‍යවස්ථා සංශෝධනය 19 දිසාවට ගෙන යාමට සියලු වෙර දැරිය යුතුය. ඉන්
පසුව දැන් ජනාධිපති දරන යම් බලයක් හෝ කැපී යයි නම් එයට ඡන්දය දිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී
දේශපාලන ක්‍රමය එයයි.
එයට පරිබාහිරව ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලන
ක්‍රමයක් ද තිබේ. එනම් සන්නද්ධ කැරැල්ලකි. මෙය තුන් වරක් අපේ තරුණ පරපුර විසින්
අත්හදා බලා ඇති අතර එය ඉතාමත් විනාශකාරී එකකි. එය රට කෙරෙහි පමණක් නොව ජනාධිපති
ඇතුළු සියලු දේශපාලනඥයන් කෙරෙහි බරපතල ලෙස බලපානු ඇත. එය වලක්වා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී
ප්‍රවාහයේ සිටින සුමන්තිරන් ද ඇතුළු සියලුම දේශපාලනඥයන්ගේ සහ මෙරට සියලු
පුරවැසියන් ගේ වගකීමකි.
එබැවින් මේ සුවිශේෂී දේශපාලන මොහොත තුල නිතිය මත
පදනම් වූ සරල රේඛිය තර්කන ක්‍රමයක් මත නොපිහිටා දේශපාලන තර්කන ක්‍රමයක් මත පදනම්ව
තමන්ගේ සහ තම පක්ෂයේ අනාගතය රැකෙන්නේද රටේ අනාගතය රැකුනොත් පමණකැයි යන අවබෝධයෙන්
රටේ අනාගතය රැක ගැනීමේ අභිලාෂයෙන් සියලු දේශපාලනඥයන් කටයුතු කල යුතු යයි
සිතමි.
(2022 ජුනි 30 ලියු මෙම ලිපිය අනිද්දා පත්‍රය
සති කිහිපයක් නොපළ වීම නිසා අනිද්දා පුවත් පතේ සමබිම අතිරේකයේ පල වුයේ 2022 ජුලි 24 වන දිනය.)