හර්ෂ
ගුණසේන
රට
අද මුහුණදී සිටින බරපතල අර්බුදය තවත් බරපතල වී ඇත්තේ එයට විවිධ දේශපාලන පක්ෂ වලින්
දැක්වෙන ප්‍රතිචාර නිසාය. ඔවුන්ගේ ප්‍රතිචාර වලට පදනම වන්නේ ඔවුන්ගේ දේශපාලන දෘෂ්ටි කෝණයයි. එනම් රටේ බලය
ලබා ගැනීමේ පරමාර්ථයයි. ඇත්ත වශයෙන්ම ඔවුන් පවතින්නේද එය අරමුණු කර ගෙනය. මේවායින්
ලැබෙන විසඳුම් දීර්ඝ කාලීන ඒවා වන අතර පදනම ස්වාර්ථයයි. මෙය වර්තමාන අවශ්‍යතාව
නොවේ. අපට ජනතාව කේන්ද්‍ර කරගත් ක්ෂණික විසඳුම් අවශ්‍යව තිබේ.
ජනාධිපතිවරයා සහ ඔහු විසින් පත්කරන ලද පුද්ගලයන්
රට මුහුණ දී ඇති මෙම විනාශය සඳහා වග කිවයුතු බව අපි දනිමු. ජනාධිපතිවරයා ද එය
පිළිගෙන ඇත. ජාත්‍යන්තර මූූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය පෙන්වා දුන් පරිදි
එය වැරදි කළමනාකාරිත්වය නිසා සිදුවූවකි. පසුව එය ආර්ථික අර්බුදයක් බවටද අනතුරුව එය
දේශපාලන අර්බුදයක් බවටද විකාශනය විය.
වර්ෂ 2022
මාර්තු 11 වන දින ජාතිය අමතා කල කථාවේදී 19
වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන අනුව
පාර්ලිමේන්තුව නැවත බල ගැන්වීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බවත් ඉන්
පසුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා සාකච්ඡා පවත්වන බවත්
ජනාධිපතිවරයා කියා සිටියේය.
රටේ බරපතල අප්‍රසාදයට ලක්ව සිටින
ජනාධිපතිවරයා බලය අතහැරීම සඳහා ඉදිරිපත් කල මාර්ග සිතියම මෙයයි. එමෙන්ම මෙය නීතිඥ
සංගමය ඉදිරිපත් කල යෝජනා වලටද අනුකූල වේ. එබැවින් ඔහු එයට අනුගත විය යුතුය. රටේ
යහපත සඳහා නොවේ. අඩුම වශයෙන් ඔහුට ගෞරවනීය ඉවත් වීමක් සහතික කරගනු සඳහාය.
නැවත 19
වන ව්‍යවස්ථා ප්‍රතිපාදන ගෙන ඒමේ
අවශ්‍යතාව වන්නේ ජනාධිපතිවරයාට ආණ්ඩුවේ එදිනෙදා කටයුතු වලට ඇඟිලි ගැසීමේ හැකියාව
වැළැක්වීමයි. මක්නිසාද යත් රට මේ තත්ත්වයට වැටුනේ එම ඇඟිලි ගැසීම් නිසා බැවිනි.
එමෙන්ම මෙය ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයකට ගොස් නව ව්‍යවස්ථාවක්
අනුමත කරගැනීමේ අවස්ථාවක්ද නොවේ. නීතිඥ සංගමයේ යෝජනා වල මෙයට කාල රාමුවක් යෝජනා කර
තිබුන අතර ජනාධිපතිවරයා සිය කථාවේදී එය සඳහන් කළේය.
එබැවින් යම් දේශපාලන පක්ෂයක්, ශ්‍රී
ලංකා පොදුජන පෙරමුණ යෝජනා කරන්නාක් මෙන් ආර්ථික ප්‍රශ්ණය පළමුව විසඳා දේශපාලන ප්‍රශ්ණය
දෙවනුව විසඳිය යුතු යයි යෝජනා කරන්නේ නම් හෝ සමගි ජන බලවේගය යෝජනා කරන්නාක් මෙන්
මේ අවස්ථාවේදී ජනාධිපති ක්‍රමය සම්පුර්ණයෙන් අහෝසි කල යුතුයයි යෝජනා කරන්නේ නම් හෝ
ජාතික ජන බලවේගය යෝජනා කරන්නාක් මෙන් එකිනෙකා ගේ සොරකම් වසාගන්නා ඩීල් දේශපාලනයකට
තමන් සහයෝගය නොදක්වන්නේ යයි ප්‍රකාශ කරන්නේ නම් හෝ දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ
කරන්නාක් මෙන් තමන් තනිකර ප්‍රතිපත්ති ගරුකව දේශපාලනයේ යෙදෙන බැවින් පවතින ආණ්ඩුවට
සහයෝගය නෙදෙන්නේ යයි ප්‍රකාශ කරන්නේ නම් හෝ ඒ සියලු දෙනාම ප්‍රශ්නය දෙස බලන්නේ
තමන්ගේ දේශපාලන දෘෂ්ටි කෝණයෙනි. රටේ හෝ ජාතියේ හෝ දෘෂ්ටි කෝණයෙන් නොවේ. රටේ
පුරවැසියන් වශයෙන් මෙම ප්‍රකාශ වලට අප අනුගත නොවිය යුතුය.
අපේ ගෙය ගිනි ගනිමින් තිබේ. පළමුව අප විසින් වහාම එයින් ඉවත්විය
යුතුය. දෙවනුව ගින්න නිවිය යුතුය. වරක් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ලියූ පරිදි එළියේ සුළං
හමයිද හෝ වැසි වසියි ද හෝ වැනි ප්‍රශ්න අසමින් ගෙයින් පිටතට පැමිණීම අපට කල් දැමිය
නොහැක.
සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමන් ප්‍රතිපත්ති ගරුක
දේශපාලනයක නිරත වන බවත් අගමැති ගේ දැන් දේශපාලන ක්‍රියා ප්‍රජාතන්ත්‍රවාදී නොවන
බැවින් ඔහුට සහයෝගය නොදක්වන බවත් කීය. “කාලෝ න අයන්තේ”. මේ එයට කාලය නොවේ.
දැන් අපට ඇති ප්‍රශ්ණය ජනාධිපතිට
දඬුවම් කිරීම නොවේ. ඔහු දඬුවම් විඳිය යුතු බව වෙනම කාරණයකි. පළමුවෙන්ම අප රට මෙම
අගාධයෙන් බේරා ගත යුතුය. අනික්වා කලයුත්තේ ඉන් පසුවයි. ජාත්‍යන්තර මූල්‍ය
අරමුදලෙන් හෝ වෙනත් ඕනෑම රටකින් හෝ ආධාර ලබා ගැනීමේ ප්‍රමුඛ කොන්දේසියක් වන්නේ රටේ
දේශපාලන ස්ථාවරත්වයයි. පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ වල සහයෝගයෙන් යුතු
අන්තර් වාර ආණ්ඩුවක් අවශ්‍ය ඒ නිසාය. එමෙන්ම මහා මැතිවරණයකින් පත්වන නව ආණ්ඩුවක්
විශේෂයෙන්ම දැන් පවතින තත්ත්වය යටතේ එවැනි ආණ්ඩුවක් විශාල බලයක් සහිත විය හැකි
බැවින් රටට දැන් අවශ්‍ය බරපතල ප්‍රතිසංස්කරණ
එවැනි ආණ්ඩුවකින් කර ගත හැකි වෙතැයි සීතීම සිහිනයක් විය හැක. මේ රටේ සියලු දේශපාලන
පක්ෂ වල සම්මුතියෙන් ව්‍යවස්ථාව පිලිබඳ අණ පනත් ඇතිවී ඇත්තේ දෙකකි. එනම් 17
වන සහ 19 වන ව්‍යවස්ථා සංශෝධනයි. ඒ අවස්ථා දෙකේ දීම වැඩි බලය
තිබුනේ වර්තමාන වැඩි බලය තිබෙන කණ්ඩායම ටයි. අනෙක් සියලුම ව්‍යවස්ථාවන් සහ ව්‍යවස්ථා
සංශෝධන අත්තනෝමතික ආණ්ඩු විසින් කරන ලද ක්‍රියාවන් වේ. එබැවින් පාර්ලිමේන්තුව
විසින් මැදුම් සම්මුතියකට පැමිණීම අවශ්‍යය.
මෙයට පෙර සජිත් ප්‍රේමදාස අගමැති ලෙස පත්කිරීමට ජනාධිපති උත්සාහ
කලත් එය ව්‍යවර්ථ විය. ප්‍රේමදාස විසින් ජනාධිපතිවරයා අස්විය යුතු බවට කොන්දේසියක්
ඉදිරිපත් කළේය. රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය බාර දුන්නේ ඉන් පසුවය. වික්‍රමසිංහ
ඒ අවස්ථාවේ දී අගමැති ධුරය බාර නොගත්තේ නම්
ජනාධිපති අර්බුදය කට යන බව සත්‍යයකි. සමහර විට ඔහු ඉල්ලා අස්විය
හැකිව තිබුණි. සමහර විට ඔහු හමුදා විසඳුමක් දෙසට තල්ලු වීමට ඉඩ තිබුණි. කාබනික
පොහොර එක රැයින් තහනම් කල ජනාධිපති වරයා වැනි පුද්ගලයෙකුට ඕනෑම මුග්ධ තීරණයක් ගත
හැක. ප්‍රතිඵලය රට වේගයෙන් අගාධයට යාමයි. ඒ අනුසාරයෙන් ඔහුටද බලය අහිමි වනු ඇත. එක
අතකින් රට අගාධයට වැටීමත් අනෙක් අතින්
ජනාධිපති ඉල්ලා අස්වීමත් සලකා බැලීමේදී මේ
ජනාධිපතිගේ ඉල්ලා අස්වීමට එතරම් මිලක් ගෙවිය යුතුද?
උම්මග්ග
ජාතකයේ කථාවේ දරුවා අයිතිකර ගැනීමේ උත්සාහයේ දී ඔහු දෙපසට ඇදෙන විට පළමුවෙන් දරුවා
අත හරින්නේ ඔහුට ආදරය කරන මවයි, යකින්න
නොවේ. හුණුවටයේ කථාවේ දරුවා අතහරින්නේ ඔහු හදා වඩා ගත් කිරි මව වන ගෘෂා යි. රාජ්‍යත්වය
වෙනුවෙන් පමණක් ඔහු අවශ්‍ය වන ඔහුගේ මව වන රැජින නොවේ.
එසේය.
වත්මන් අගමැතිවරයා පත් කිරීමෙන් ජනාධිපතිවරයාට දේශපාලන වාසියක් අත්වි තිබේ. එමෙන්ම
එය ජනතාවගෙන් ප්‍රතික්ෂේපව සිටි අගමැතිවරයා ටද දේශපාලන වාසියකි. රටටද වාසියක්
අත්වි තිබේ. රටේ දෘෂ්ටි කෝණයෙන් ප්‍රශ්ණය දෙස බැලු විට මෙහි ගැටලුවක් නැත. මක්නිසාද
යත් එය රටට වාසියක් වන බැවිනි.
විපක්ෂ දේශපාලන පක්ෂ වර්තමාන දේශපාලන වැඩ
පිළිවෙලට සහයෝගය නොදෙන්නේ නම් එය රටට අහිතකරයි. එම දේශපාලන පක්ෂ සිතන ආකාරයට එය
ඔවුන්ගේ දේශපාලන ඉදිරි ගමනට වාසි සහගත වනු ඇත. එබැවින් මෙවැනි ක්‍රියා වලට
පුරවැසියන් වශයෙන් අපි විරුද්ධ විය යුතුය.
වත්මන් අගමැතිවරයා විසින් පෙර රාජපක්ෂ වරුන් රකින ලදැයි චෝදනා තිබේ. ඔහුගේ අධිකරණ
ඇමතිවරයා අතීතයේදී තමන් එසේ කල බව ප්‍රසිද්ධියේ කියා සිටියේය. එබැවින් විපක්ෂ
දේශපාලන පක්ෂ වල කාර්ය භාරය වන්නේ මෙම දේශපාලන ක්‍රියාදාමය ට සම්බන්ධ වී එහි
විනිවිද භාවය රැකීමයි.
රටේ විශාල දේශපාලන පරිවර්තනයකට මෙන්ම රාජ්‍ය
ආයතනවලද පරිවර්තනයකට හේතුවූ ගෝටාගෝගම රටේ නව දේශපාලන සංස්කෘතියකට සහ දේශපාලන පක්ෂ විසින් අතපසු කල ආර්ථික ප්‍රතිසංස්කරණ
සඳහා අරගල කල යුතුය.
නව දේශපාලන සංස්කෘතියකට ජනතා නියෝජිතයන් ආපසු
කැඳවිය හැකි නව ජනතා ව්‍යවස්ථාවක් සහ නව
ජනරජයක් ද දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය සේවකයන්ගේ දුෂණය අවම කෙරෙන ප්‍රතිපාදන ඇතුලත්
විය යුතුය.
ආර්ථික ප්‍රතිසංස්කරණ වල අරමුණු කල යුත්තේ රාජ්‍ය
ආදායම වැඩි කරමින් සහ රාජ්‍ය වියදම අඩු කරමින් අයවැය හිඟය අවම කිරීමට සහ ආනයන
වියදමට සාපේක්ෂව අපනයන ආදායම වැඩිකරමින් රටේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇතිකර ගැනීමටයි.
රටේ ආදායම් බෙදී යාමේ විෂමතාව ද අඩු කර ගත යුතුය.
නව දේශපාලන සංස්කෘතියක් සඳහා අගමැතිවරයා විසින්
යෝජනා කර ඇති පාර්ලිමේන්තු කමිටු ගැනද සැලකිලිමත්වීම සුදුසුය. වර්තමානයේ
පාර්ලිමේන්තු මූල්‍ය කමිටු ද නව පිබිදීමකින් කටයුතු කරනු පෙනේ. අගමැතිවරයා තවත්
මූල්‍ය කමිටුවක්ද අධීක්ෂණ කාරක සභා දහයක් ද
යෝජනා කරන අතර ඒවාට පාර්ලිමේන්තුවෙන් පිට අය පත් කිරීමටද යෝජනා කරයි.මොවුන් අතර
විද්වතුන් සහ විශේෂයෙන්ම අරගලයේ යෙදෙන තරුණ ප්‍රජාව ගේ නියෝජනත්වයද ඔහු යෝජනා
කරයි. මෙම යෝජනා නීතිඥ සංගමයේ උපදේශක සභාවෙන් ඔබ්බට යන අතර මෙතෙක් පවතී ක්‍රමය
සම්පුර්ණයෙන් වෙනස් කිරීමකි.
එයට
අමතරව ඔහු කථානායක, අගමැති, විපක්ෂ නායක සහ දේශපාලන පක්ෂ නායකයන් ගෙන්
යුතු ජාතික සභාවක් යෝජනා කරන අතර අධීක්ෂණ කාරක සභාවල සභාපතිවරුන්ද ඇමතිවරුන්ද
ජාතික සභාවට වාර්තා කල යුතු බව කියා සිටියි. මේ අනුසාරයෙන් පාර්ලිමේන්තුවේ බලය සහ
අධීක්ෂණය ශක්තිමත්වේ. මෙය 20 වන සංශෝධනය හරහා ජනාධිපතිට ලැබී තිබුන
රට විනාශය කර ගෙනගිය අත්තනෝමතික බලය පාර්ලිමේන්තුවට ගෙන එතුලද එක්තරා ආකාරයකට බලය
විමධ්‍යගත කිරීමකි.
මේ
අවස්ථාව අලුතෙන් සිතිය යුතු අවස්ථාවකි. පැරණි චින්තනයට වහල් විය යුතු අවස්ථාවක්
නොවේ.
අනිද්දා - සමබිම ඉරිදා සංග්‍රහය අතිරේකය- 5 ජුනි 2022

The disastrous situation faced by the country today is aggravated by the different responses to it by the different political parties. Their responses are based on how they look at the problem. Their perspective is based on capturing or keeping their power in the country. In fact, that is the purpose of their existence. However, this perspective provides a long-term self-centric solution which is not the need of the hour. We need a quick, people-centric solution which may have adverse effects to those political parties. Unfortunately, not only the political parties but also the people who are affiliated to those political parties look at the problem in the same respective perspectives. Hence, we have chaos in the Parliament.